Skip to content

පටුනට යන්න

මිනිසුන්ව සැබවින්ම එක්සත් කළ හැකි යමක් ඇද්ද?

මිනිසුන්ව සැබවින්ම එක්සත් කළ හැකි යමක් ඇද්ද?

මිනිසුන්ව සැබවින්ම එක්සත් කළ හැකි යමක් ඇද්ද?

ඔබේ විශ්වාසයන් කුමක් හෝ වේවා, සෑම ආගමකම පාහේ සත්‍යය සොයන්නන් සිටින බවට ඔබ එකඟ වනවා වන්ට පුළුවන්. සත්‍යය ගැඹුරින් අගය කරන, එය සෙවීමට කැමති අය හින්දු භක්තිකයන්, කතෝලිකයන්, යුදෙව්වන් සහ වෙනත් ආගම් අදහන්නන් අතර සිටිනවා. එහෙත් ආගම් මිනිසුන් අතර බෙදීම් ඇති කරන බවක් පෙනෙන්ට තිබෙනවා. ඇතමුන් තම නරක චේතනා මුදුන්පත් කරගන්ටත් ආගම යොදාගන්නවා. සියලුම ආගම්වලට අයත් වූ, හරි දෙයට හා සත්‍යයට ඇලුම් කරන අවංක පුද්ගලයන්ව කවදා හෝ එකට එක්සත් කරන්ට පුළුවන් වේවිද? එක් පොදු අරමුණක් සඳහා ඔවුන්ව එකට එක්සත් කළ හැකිද?

ආගම එන්ට එන්ටම මිනිසුන්ව බෙදා වෙන් කරන ආයුධයක් බවට පත් වී තිබීම කොතරම් කනගාටුදායකද! මෙම ගැටුම් සමහරක් ගැන සලකා බලන්න. ශ්‍රී ලංකාවේ හින්දු දහම අදහන ඇතමෙක් බෞද්ධයන් සමඟ සටන් කරමින් සිටිනවා. රෙපරමාදුවන්, කතෝලිකයන් සහ යුදෙව්වන් විවිධ ගැටුම්වලදී ලේ වගුරුවා තිබෙනවා. චෙච්නියාවේ, ඉන්දුනීසියාවේ සහ කොසෝවොහි මුස්ලිම්වරුන් කතෝලිකයන් හා සටන් වදිනවා. ඒ වගේම, 2000 මාර්තු මාසයේදී දවස් දෙකක් මුළුල්ලේ පැවති ආගමික ගැටුම් නිසා, නයිජීරියානු ජාතිකයන් 300දෙනෙක් මිය ගියා. ඇත්තෙන්ම, ආගමික වෛරය, මෙම ගැටුම්වලදී කෲරත්වය නමැති ගින්නට පිදුරු දමා තිබෙනවා.

ආගමේ නාමයෙන් සිදු කරන මෙවන් අමානුෂික ක්‍රියා ගැන අවංක මිනිසුන්ට තිබෙන්නේ මහා කලකිරීමක්. උදාහරණයක් හැටියට, දරුවන්ට ලිංගික අතවර කළ පැවිද්දන් ගැන ඇතැම් පල්ලි තම ඇස් කන් වසාගෙන සිටිනවා දකින පල්ලි සාමාජිකයන් බොහෝදෙනෙක් කම්පාවට පත් වෙලා. ක්‍රිස්තියානියයි කියාගන්නාවූ නිකායන් බොහොමයක් අතර සමලිංගික සේවනය හා ගබ්සාව වැනි කාරණා මතභේදයට තුඩු දී තිබෙන නිසා වෙනත් බැතිමතුන් මහත් වියවුලට පත් වී තිබෙනවා. මේ අනුව, ආගම මිනිසාව එක්සත් කර නැති බව මොනවට පැහැදිලියි. පහත දැක්වෙන අද්දැකීම්වලින් පෙන්වන්නාක් මෙන්, විවිධ ආගම්වල සත්‍යය සොයන අය සිටිනවා.

ඔවුන් මහත් ආශාවෙන් සත්‍යය සෙව්වා

ෆිඩෙලියා, බොලිවියාවේ ලා පාස්හි සාන් ෆ්‍රාන්සිස්කෝ කතෝලික පල්ලියට අයත් අවංක බැතිමත් කාන්තාවක්. මරියාගේ සුරුවම පාමුල මහත් බැතියකින් වැඳ වැටුණු ඇය, තමන් මිල දී ගත් හොඳම ඉටිපන්දම්, කුරුස ප්‍රතිමාව ඉදිරිපිට පත්තු කළා. සෑම සතියකම පාහේ ඇය පල්ලියේ පූජකයාට ආහාර බොහොමයක් අඩංගු පාර්සලයක් ගෙන ගොස් දුන්නේ දුප්පතුන් අතර බෙදා දීමටයි. කෙසේවෙතත්, ෆිඩෙලියාගේ කුඩා දරුවන් පස්දෙනෙක් ප්‍රසාද ස්නාපනය ලබන්ට පෙරාතුවම මිය ගියා. ඔවුන් සියලුදෙනාම ලිම්බෝහි දුක් විඳිමින් සිටිනවා කියා පූජකයා පැවසූ වෙලාවේ, ෆිඩෙලියා කල්පනා කළේ, ‘දෙවියන් යහපත් නම්, එහෙම වෙන්නේ කොහොමද?’ කියායි.

වෛද්‍යවරියක වූ ටාරා හැදී වැඩුණේ නේපාලයේ කත්මන්ඩු නුවරෙයි. තම මුතුන් මිත්තන්ගෙන් උරුම වූ, සියවස් ගණනාවක පටන් පැවත ආ සිරිත් විරිත් පිළිපැද්ද ඇය, හින්දු කෝවිලේ දෙවිවරුන්ට වැඳ නමස්කාර කළා පමණක් නොව, එම ප්‍රතිමා ඇගේ නිවසේද තබාගෙන සිටියා. එහෙත්, ඇය සිටියේ මේ වගේ ප්‍රශ්නවලින් ව්‍යාකූල වෙලා. මේ තරම් දුක් වේදනා තිබෙන්නේ ඇයි? මිනිස්සු මැරෙන්නේ ඇයි? ඈට තම ආගමෙන් සෑහීමකට පත් විය හැකි පිළිතුරු ලැබුණාද? කොහෙත්ම නැහැ.

පාන්යා, තායිලන්තයේ බැං-කොක් නුවර ඇළක් අසබඩ කුඩා නිවසක හැදී වැඩුණු බෞද්ධයෙක්. ඔහුට උගන්වා තිබුණේ දුක් වේදනා විඳින්නේ පෙර භවයේදී කළ දේවල ප්‍රතිඵලයක් ලෙස කියාත් සියලු කෙලෙස් නැසීම මගින් ඉන් මිදිය හැකිය කියාත්ය. හිමිදිරි උදෑසන පිණ්ඩ පාතේ වඩින කසා වතින් සැරසී සිටි භික්ෂුවරුන්ගේ ප්‍රඥාවට ගැඹුරු ගෞරවයක් දක්වන ලෙස, වෙනත් අවංක බෞද්ධ ආගමිකයන්ට මෙන් ඔහුටද උගන්වා තිබුණා. භාවනාවේ යෙදුණු ඔහු, බුදුන්ගේ ප්‍රතිමා එකතු කළේ ඒවායින් තමන්ට යම් ආරක්ෂාවක් ලැබේවි යන විශ්වාසයෙන්. මේ අතරතුර හදිසි අනතුරකට ලක්වීම නිසා ඉණෙන් පහළ සම්පූර්ණයෙන්ම අංශභාග තත්වයට පත් වූවායින් පසු, පාන්යා අවංක බලාපොරොත්තුවකින් යුතුව යම් ප්‍රාතිහාර්යමය සුවයක් සොයා බෞද්ධ ආරණ්‍යයක් කරා ගියා. ඔහුට ශාරීරික වශයෙන් හෝ අධ්‍යාත්මික වශයෙන් කිසිදු සුවයක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට, සිදු වුණේ ඔහු භූතවාදයට ගොදුරු වී ඒ තුළ සිරවීමයි.

එක්සත් ජනපදයේ ඉපදුණු වර්ජිල්, පාසැලේ කළු ජාතික මුස්ලිම්වරුන්ට එකතු වී සිටියා. සුදු මිනිසා යනු යක්ෂයාය යන මතය දැරූ පොත් පත් ඔහු උද්‍යෝගයෙන් බෙදාහැරියා. සුදු මිනිසුන් කළු ජාතිකයන්ට ඉතා දරුණු අන්දමින් හිරිහැර කළේ ඒ නිසාය කියායි ඔවුන් සිතුවේ. තම විශ්වාසයන්ට එකඟව ජීවත් වූවත්, මෙවන් ප්‍රශ්නවලින් වර්ජිල් මහත් ව්‍යාකූලත්වයකට පත් වුණා: ඇත්තෙන්ම, සුදු මිනිසුන් සියලුදෙනාම නරකද? ඉදිරිපත් කරන දේශනාවල වැඩියෙන්ම මුදල් ගැන සඳහන් කරන්නේ ඇයි?

චාරෝ, දකුණු අමෙරිකාවේ බහුතරයක් කතෝලික ධර්මය ඇදහූ ප්‍රදේශයක වාසය කළද, ඈ හැදී වැඩුණේ අවංක භක්තිමත් රෙපරමාදු කතක් හැටියටයි. තමා හාත්පස පැතිර තිබූ රූප වන්දනාවට තමා සහභාගි නොවී සිටීම ගැන ඇය සතුටු වුණා. සෑම ඉරු දිනකම පල්ලියේ පැවති හැඟීම්බර මෙහෙයට සහභාගි වූ ඇය මහත් හඬින් “හලෙලූයා” කියමින් ආගමික ගීතිකා ගැයීමේ හා නැටුම්වල යෙදුණා. තමාට ගැළවීම ලැබී ඇති බවත් තමා නැවත උපන් කෙනෙක් බවත් ඇය විශ්වාස කළේ අවංක සිතින්. තම ආදායමෙන් දසයෙන් කොටසක් පල්ලියට දුන් ඇය, එතෙකින් නතර නොවී තම ප්‍රියතම රූපවාහිනි එවැන්ජලිස්තවරයා තවත් සම්මාදම් ඉල්ලූ විට, අප්‍රිකාවේ දරුවන් උදෙසාද සම්මාදම් යැවුවා. ප්‍රේමනීය දෙවිකෙනෙක් නරකාදියක ආත්මවලට වධ දෙන්නේ ඇයි කියා ඇගේ දේවගැතිවරයාගෙන් ඇසුවාම, සෑහීමකට පත් විය හැකි පිළිතුරක් දීමට ඔහු අපොහොසත් වූ බව ඇයට වැටහුණා. පසුව, ඈ දැනගත්තා ඈ දුන් සම්මාදම් අප්‍රිකාවේ දරුවන්ට උපකාර කිරීමට යොදාගෙන නොතිබූ බව.

වෙනස් පසුබිම්වල සිටියත්, මෙම පුද්ගලයන් පස්දෙනාටම පොදු වූ යමක් තිබුණා. ඔවුන් සත්‍යයට ඇලුම් කළා. ඒ වගේම ඔවුන් තමන්ගේ ප්‍රශ්නවලට සත්‍ය පිළිතුරු සොයමින් සිටියේ අවංකවමයි. එහෙත් ඔවුන්ව සැබෑ නමස්කාරය තුළ එක්සත් කළ හැකිද? ඊළඟ ලිපිය එම ප්‍රශ්නයට පිළිතුරු දේවි.

[4වන පිටුවේ පින්තූරය]

වෙනස් පසුබිම්වල සිටින ජනයාට සැබවින්ම එක්සත් විය හැකිද?

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

G.P.O., Jerusalem