Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ ආශීර්වාද ඔබ කරා පැමිණෙනු ඇද්ද?

යෙහෝවාගේ ආශීර්වාද ඔබ කරා පැමිණෙනු ඇද්ද?

යෙහෝවාගේ ආශීර්වාද ඔබ කරා පැමිණෙනු ඇද්ද?

“නුඹේ දෙවිවූ [යෙහෝවාගේ] හඬට නුඹ [දිගටම, NW] කන්දෙන්නෙහි නම් මේ සියලු ආශීර්වාද නුඹ කරා පැමිණ නුඹ සමඟ වන්නේය.”—ද්විතීය කථාව 28:2.

1. ඉශ්‍රායෙල්වරුන් පිටට ආශීර්වාද හෝ ශාප පැමිණීම තීරණය වූයේ කුමකින්ද?

ඉශ්‍රායෙල්වරුන් අවුරුදු 40ක පාළුකරයේ ගමන අවසානයේදී මෝවබ් මිටියාවතේ කඳවුරු බැඳගත්තා. එම ස්ථානයේ සිට බලද්දී ඔවුන්ට පොරොන්දු දේශය දැකගන්න පුළුවන් වුණා. ආශීර්වාද හා ශාප ඇතුළත් ප්‍රකාශයන් රාශියක් අඩංගු ද්විතීය කථාව පොත මෝසෙස් ලිව්වේ ඒ කාලයේදීයි. ඉශ්‍රායෙල්වරුන් ‘යෙහෝවාගේ හඬට දිගටම සවන් දෙමින්’ කීකරු වුණා නම්, ආශීර්වාද ඔවුන් ‘කරා පැමිණෙන්න’ ඉඩ තිබුණා. ඔවුන්ව “සුවිශේෂ වස්තුවක්” ලෙස සලකමින් යෙහෝවා ඔවුන්ට ප්‍රේම කළා. ඔවුන්ගේ ශුභසිද්ධිය වෙනුවෙන් සිය බලය යෙදවීමටද ඔහු සූදානමින් සිටියා. ඒත් ඔවුන් දිගටම ඔහුට සවන් දුන්නේ නැත්නම් ඔවුන් පිටට ශාප පැමිණීම කොහෙත්ම වැළැක්විය නොහැකි දෙයක් වුණා.—ද්විතීය කථාව 8:10-14; 26:18, NW; 28:2, 15.

2. ද්විතීය කථාව 28:2හි සඳහන් ‘දිගටම සවන් දෙන්න’ හා ‘ඔබ කරා පැමිණෙන්නේය’ යනුවෙන් පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් ක්‍රියා පදවලින් අදහස් වන්නේ කුමක්ද?

2 ද්විතීය කථාව 28:2හි සඳහන් ‘දිගටම සවන් දීම’ යනුවෙන් පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් ක්‍රියා පදයෙන් ඇඟවෙන්නේ නොනැවතී සිදු වන ක්‍රියාවකි. යෙහෝවාගේ සෙනඟ ඔහුට සවන් දිය යුත්තේ ඉඳ හිට නොවේ. ඔවුන් සෑම මොහොතකම ඔහුට සවන් දෙමින් සිටිය යුතුයි. දෙවිගේ ආශීර්වාද ඔවුන් කරා පැමිණෙන්නේ ඔවුන් එසේ කරනවා නම් පමණයි. ‘ඔබ කරා පැමිණෙන්නේය’ යනුවෙන් පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් ක්‍රියා පදය දඩයම් කිරීම හා සම්බන්ධව යොදාගත් යෙදුමකි. බොහෝ අවස්ථාවලදී එයින් අදහස් වන්නේ යම් ගොදුරක් “ලුහුබැඳ අල්ලාගැනීමයි” නැත්නම් එය කරා “ළඟාවීමයි.”

3. අපටත් යෝෂුවා මෙන් විය හැක්කේ කෙසේද? මෙය ඉතා වැදගත් දෙයක් වන්නේ මන්ද?

3 ඉශ්‍රායෙල් ජනයාගේ නායකයා වූ යෝෂුවා යෙහෝවාට සවන් දීමට තෝරාගත් නිසා ආශීර්වාද අද්දැක්කා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්—මමද මාගේ පවුලද—[යෙහෝවාට] සේවයකරමු.” සෙනඟ ඊට ප්‍රතිචාරය දක්වමින් මෙසේ උත්තර දුන්නා. “අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස [යෙහෝවාව] අත්හැරීම අපෙන් දුරුවේවා.” (යෝෂුවා 24:15, 16) තම පරම්පරාවේ සිටි ස්වල්පදෙනෙකු සමඟ පොරොන්දු දේශයට ඇතුල් වෙන්න යෝෂුවාට හැකි වුණේ ඔහු තුළ තිබූ කදිම ආකල්පය නිසායි. අද අප සිටින්නේද වඩා උතුම් පොරොන්දු දේශයක් වන පාරාදීසයේ එළිපත්තෙයි. දෙවිගේ අනුමැතිය තිබෙන සෑම කෙනෙකුටම යෝෂුවාගේ කාලයේ සිටි අය භුක්ති විඳි ආශීර්වාදවලට වඩා මහත් ආශීර්වාද ඒ පාරාදීසයේදී භුක්ති විඳින්න ලැබෙනවා. ඒ ආශීර්වාද ඔබ කරා පැමිණෙනු ඇද්ද? ඔබ යෙහෝවාට දිගටම සවන් දෙමින් සිටියොත්, එම ආශීර්වාද ඔබ කරා පැමිණෙන බව නිසැකයි. යෙහෝවාට දිගටම සවන් දෙමින් සිටින්න ඔබ ගෙන තිබෙන අධිෂ්ඨානය තවත් ශක්තිමත් කරගැනීම සඳහා පුරාණ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාසය ගැනත් පාඩම් උගත හැකි ආදර්ශ සපයන පුද්ගලයන් ගැනත් සලකා බලමු.—රෝම 15:4.

ආශීර්වාද හෝ ශාප

4. සාලමොන්ගේ යාච්ඤාවට පිළිතුරු වශයෙන් දෙවි ඔහුට ලබා දුන්නේ කුමක්ද? එවැනි ආශීර්වාද ගැන අපට හැඟිය යුත්තේ කෙසේද?

4 සාලමොන් රජුගේ පාලන සමයේදී ඉශ්‍රායෙල්වරුන් අසාමාන්‍ය ලෙස යෙහෝවාගෙන් ආශීර්වාද ලැබුවා. ඒ කාලයේදී ඔවුන්ට සතුරු ප්‍රහාරවලට මුහුණ දෙන්න සිදු වුණේ නැහැ. ඒ වගේම ඔවුන්ට භුක්ති විඳින්න ඕනතරම් යහපත් දේවල්ද තිබුණා. (1 රාජාවලිය 4:25) සාලමොන් ධනවතෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියත්, ඔහු ද්‍රව්‍යමය වස්තු දෙවිගෙන් ඉල්ලා තිබුණේ නැහැ. අද්දැකීම් අඩු යෞවනයෙකුව සිටි ඔහු යෙහෝවාට යාච්ඤා කළේ තමාට කීකරු හෘදයක් ලබා දෙන්න කියායි. ඔහුගේ එම ඉල්ලීමට ප්‍රතිචාරය දැක්වූ යෙහෝවා ප්‍රඥාව හා අවබෝධය ලබා දීමෙන් සාලමොන්ට ආශීර්වාද කළා. මේ නිසා හරි වැරැද්ද අතර වෙනස තේරුම්ගනිමින් සෙනඟව හරියාකාරව විනිශ්චය කරන්න සාලමොන්ට හැකි වුණා. දෙවි ඔහුට ධනය හා කීර්තිය ලබා දී තිබුණත්, යොවුන් වියේ පසු වූ සාලමොන් ඉතා අනර්ඝ කොට සැලකුවේ ආත්මික වස්තුවෙන් ලැබෙන ප්‍රයෝජනයි. (1 රාජාවලිය 3:9-13) ද්‍රව්‍යමය අතින් දුප්පත් වුණත් පොහොසත් වුණත්, යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාදවලින් අපි ආත්මිකව පොහොසත්ව සිටිනවා නම්, ඒ සඳහා ඔහුට කොතරම් ස්තුතිවන්ත වන්න අපට හැකිද!

5. ඉශ්‍රායෙල්හි හා යූදාහි විසූ ජනයා දිගටම යෙහෝවාට සවන් නොදුන් විට සිදු වුණේ කුමක්ද?

5 ඉශ්‍රායෙල්වරුන් යෙහෝවාගෙන් ලැබූ ආශීර්වාද අගය කළේ නැහැ. ඔවුන් දිගටම ඔහුට සවන් දුන්නේ නැති නිසා කලින් පැවසූ විදිහට ඔවුන් පිටට ශාප පැමිණියා. මෙහි ප්‍රතිඵලය වුණේ ඉශ්‍රායෙල් හා යූදා රාජ්‍යයන්වල සතුරන් එම දේශයන් යටත් කරගෙන එහි වැසියන්ව වහලුන් හැටියට තබාගැනීමයි. (ද්විතීය කථාව 28:36; 2 රාජාවලිය 17:22, 23; 2 ලේකම් 36:17-20) යෙහෝවාගේ ආශීර්වාද ලැබෙන්නේ ඔහුට සවන් දෙන අයට පමණයි යන කාරණය දෙවිගේ සෙනඟ ඔවුන් අද්දුටු දුක් පීඩාවලින් ඉගෙනගත්තාද? තමන්ට “ඥානවන්ත සිතක්” තිබෙනවාද නැද්ද කියා පෙන්වීමට පො.යු.පෙ. 537දී ආපසු තම මව් බිමට පැමිණි ඉතිරි යුදෙව්වන්ට අවස්ථාවක් ලැබුණා. ඒ වගේම දිගටම යෙහෝවාට සවන් දීමේ අවශ්‍යතාව ඒ වන විට තමන් තේරුම්ගෙන සිටින බව පෙන්වීමටද ඔවුන්ට එහිදී අවස්ථාව උදා වුණා.—ගීතාවලිය 90:12.

6. (අ) යෙහෝවා තම සෙනඟට අනාවැකි පවසන්න හග්ගයිව හා සෙකරියාව යැව්වේ මන්ද? (ආ) දෙවි හග්ගයි මාර්ගයෙන් දුන් පණිවිඩයෙන් පැහැදිලි වන ප්‍රතිපත්තිය කුමක්ද?

6 ආපසු තමන්ගේ මව් බිමට පැමිණි යුදෙව්වන් පූජාසනයක් සාදා යෙරුසලමේ දේවමාළිගාව නැවත ගොඩනැඟීමේ වැඩ ආරම්භ කළා. ඒත්, බලවත් විරෝධතා එල්ල වූ අවස්ථාවලදී ඔවුන් තුළ තිබූ දැඩි උනන්දුව අඩු වී ගියා. ගොඩනැඟීමේ කටයුතු නතර වුණා. (එස්රා 3:1-3, 10; 4:1-4, 23, 24) සැපවත් ජීවිතයක් ගත කිරීම ඔවුන්ගේ ජීවිතයේ මුල් තැන ගත්තා. මේ නිසා සැබෑ නමස්කාරය සඳහා තිබූ ඔවුන්ගේ දැඩි උනන්දුව නැවත පණ ගන්වන්න දෙවි හග්ගයි හා සෙකරියා යන අනාගතවක්තෘවරුන්ව ඔවුන් වෙතට යැව්වා. හග්ගයි මාර්ගයෙන් යෙහෝවා ඔවුන්ට මෙසේ පැවසුවා. “මේ ගෘහය පාළුව තිබෙද්දීම ඇතුළත ලෑලිවලින් වසා තිබෙන නුඹලාගේ ගෙවල්වල වාසයකිරීමට නුඹලාට මෙය නිසි කාලයද? . . . නුඹලාගේ මාර්ග සිතට ගන්න. නුඹලා බොහෝ වැපුරූ නුමුත් එකතුකරගත්තේ ස්වල්පයක්ය; නුඹලා කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නහුය. . . . කුලී ලබාගන්නාද එය ලබාගන්නේ හිල් ඇති පසුම්බියකට දමන්ටය.” (හග්ගයි 1:4-6) ආත්මික දේවල් පසෙක දමා ද්‍රව්‍යමය දේවල් ලුහුබඳින්නේ නම්, යෙහෝවාගේ ආශීර්වාද අප කරා පැමිණෙන්නේ නැහැ.—ලූක් 12:15-21.

7. “නුඹලාගේ මාර්ග සිතට ගන්න” කියා යෙහෝවා යුදෙව්වන්ට පැවසුවේ මන්ද?

7 දෙවිගේ ආශීර්වාද වූ වැස්ස හා සාරවත් කාලවල් යුදෙව්වන්ට ලැබෙන්නේ, විරුද්ධවාදිකම් හමුවෙහි පවා දිගටම දෙවිට කීකරුව සිටියොත් පමණයි. ජීවිතයේ එදිනෙදා කටයුතුවලම ඇලී ගැලී සිටීම නිසා ඒ කාරණය යුදෙව්වන් අමතක වී තිබුණා. (හග්ගයි 1:9-11) එනිසා “නුඹලාගේ මාර්ග සිතට ගන්න” කියා ඔවුන්ට දුන් අවවාදය මොනතරම් යෝග්‍යයද! (හග්ගයි 1:7) ඇත්තෙන්ම, වෙනත් වචනවලින් කියනවා නම්, යෙහෝවා ඔවුන්ට කිව්වේ මෙයයි. ‘මේ ගැන ටිකක් හිතලා බලන්න. ඔබේ කෙත්වල ඔබ නිස්කාරණයේ වෙහෙසෙන්නේ මාගේ නමස්කාර ගෘහය පාළුව තිබෙන්න ඉඩහැරීම නිසා නොවේද?’ දේවමාළිගාව නැවත ගොඩනැඟීම පටන්ගෙන පො.යු.පෙ. 515දී එය නිම කිරීමෙන් පැහැදිලි වන්නේ, යෙහෝවාගේ ආනුභාවයෙන් අනාගතවක්තෘවරුන් පැවසූ දේවල්, ඔවුන්ට සවන් දුන් අයගේ සිත්වලට පසුව කාවැදුණු බවයි.

8. මලාකීගේ කාලයේදී යෙහෝවා යුදෙව්වන්ගෙන් කළ ඉල්ලීම කුමක්ද? එසේ කළේ මන්ද?

8 අනාගතවක්තෘ මලාකී විසූ කාලයේදී යුදෙව්වන් නැවතත් ඔවුන්ගේ ආත්මික සමබරතාව බිඳ වැටෙන ආකාරයෙන් කටයුතු කරන්න පටන්ගත්තා. දෙවිට පිළිගත නොහැකි පූජා පවා ඔවුන් ඔප්පු කළා. (මලාකී 1:6-8) අහසේ කවුළු ඇර නොමදව ආශීර්වාද වගුරුවන්නේ නැද්දැයි දැනගැනීම සඳහා, තමන්ගේ ගබඩාගෙට අස්වැන්නෙන් දසයෙන් කොටස ගෙනැවිත් තමාව සෝදිසි කර බලන්න කියා යෙහෝවා ඔවුන්ගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටියා.(මලාකී 3:10) යෙහෝවාගේ හඬට දිගටම ඇහුම්කන් දුන්නා නම්, යුදෙව්වන්ට බොහෝ ආශීර්වාද භුක්ති විඳින්න ඉඩ තිබුණා. ඒත් ආශීර්වාද ලෙස දෙවිගෙන් ලබාගත හැකිව තිබූ දේවල් තමන් විසින්ම ලබාගැනීමට වෙහෙසීමෙන් යුදෙව්වන් කළේ මොනතරම් මෝඩ වැඩක්ද!—2 ලේකම් 31:10.

9. අපි පරීක්ෂා කර බලන්න යන්නේ බයිබල් වාර්තාවේ සඳහන් කුමන පුද්ගලයන් තුන්දෙනා ගැනද?

9 ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාසය ගැන පමණක් නොවෙයි, දෙවිගේ ආශීර්වාද හෝ ශාප ලැබූ පුද්ගලයන් බොහෝදෙනෙකු ගැනද බයිබල් වාර්තාවේ සඳහන් වෙනවා. යෙහෝවාගෙන් ආශීර්වාද හෝ ශාප ලැබීම තීරණය වූයේ ඔවුන් ඔහුට සවන් දීම හෝ නොදීම මතයි. ඔවුන් අතරින් තුන්දෙනෙක් වන බෝවස්, නාබල් හා හන්නා යන අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියා බලමු. මොවුන් ගැන සවිස්තර වාර්තාවක් රූත් පොතේ හා 1 සාමුවෙල් 1:1–2:21 දක්වාත් 1 සාමුවෙල් 25:2-42 දක්වාත් සොයාගත හැකි අතර, ඒවා කියවා බලන්න ඔබට පුළුවන්.

දෙවිට සවන් දුන් බෝවස්

10. බෝවස් හා නාබල් යන දෙදෙනාටම පොදු වූ දේවල් මොනවාද?

10 බෝවස් හා නාබල් ජීවත් වූයේ එකම වකවානුවක නොවුවත්, දෙදෙනාටම පොදු වූ දේවල් තිබෙනවා. උදාහරණයක් හැටියට ඔවුන් දෙදෙනාම ජීවත් වූයේ යූදා දේශයේයි. දුප්පතුන්ට කරුණාව පෙන්වීමට මේ ධනවත් ඉඩම් හිමියන් දෙදෙනාටම අවස්ථාව තිබුණා. ඔවුන් අතර තිබුණේ මේ සමානකම් පමණයි.

11. බෝවස් තමන් දිගටම යෙහෝවාට සවන් දෙමින් සිටි බව පෙන්නුවේ කෙසේද?

11 බෝවස් ජීවත් වූයේ ඉශ්‍රායෙල්හි විනිශ්චයකාරයන් සිටි කාලයකයි. මිනිසුන්ට ගෞරවයෙන් සැලකූ ඔහුව, ඔහුගේ කෙත්වල අස්වැන්න නෙළන්නන් සැලකුවේ කරුණාවන්ත පුද්ගලයෙකු ලෙසයි. (රූත් 2:4) බෝවස් ව්‍යවස්ථාවේ නියමයන් පිළිපදිමින් ඔහුගේ කෙත්වල අස්වැන්න නෙළන විට දිළිඳුන්ට කොටසක් ඉතුරු කළා. (ලෙවී කථාව 19:9, 10) රූත් සහ නායොමි ගැනත්, මහලු වියේ පසු වූ ඇගේ නැන්දම්මාට ආහාර පාන ලබා දීම සඳහා රූත් කඩිසරව වැඩ කළ ආකාරය ගැනත් දැනගන්න ලැබුණු විට බෝවස් මොනවද කළේ? ඔහු රූත්ට අනුකම්පා කොට, තමාගේ කෙත්වල අස්වැන්නේ ඉතුරු වූ දේවල් එකතු කරගන්න ඇයට ඉඩ දෙන්න කියා ඔහුගේ සේවකයන්ට අණ කළා. බෝවස් වචනවලින් හා ප්‍රේමනීය ක්‍රියාවලින් පෙන්නුවේ තමා යෙහෝවාට සවන් දුන් ආත්මික පුද්ගලයෙකු බවයි. මේ නිසා දෙවිගේ අනුමැතිය හා ආශීර්වාද ඔහුට ලැබුණා.—ලෙවී කථාව 19:18; රූත් 2:5-16.

12, 13. (අ) යෙහෝවාගේ ව්‍යවස්ථාවේ සඳහන් මුදවාගැනීමේ නියමය බෝවස් මහත් ගෞරවයෙන් සැලකුවේ කෙසේද? (ආ) බෝවස් කරා පැමිණි දිව්‍ය ආශීර්වාද මොනවාද?

12 බෝවස් දිගටම යෙහෝවාට සවන් දුන් බවට තිබෙන විශිෂ්ටතම සාක්ෂිය වන්නේ, මුදවාගැනීම හා සම්බන්ධ දෙවිගේ ව්‍යවස්ථාවේ සඳහන් නියමය පරාර්ථකාමී ලෙස ඉටු කිරීමයි. නායොමිගේ මිය ගිය ස්වාමිපුරුෂයා වූ එලීමෙලෙක් බෝවස්ගේ ඥාතියෙක්. බෝවස් එලීමෙලෙක්ගේ පවුලේ උරුමය රැකගැනීම සඳහා ඔහුට හැකි සෑම දෙයක්ම කළා. “මස්සිනා සමඟ විවාහ වීම [NW]” යනුවෙන් ව්‍යවස්ථාවේ සඳහන් වූ නියමයට අනුව වැන්දඹුවක් මියගිය තම ස්වාමිපුරුෂයාගේ කිට්ටුම ඥාතියාව විවාහ කරගත යුතුව තිබුණා. එසේ කළේ එම ඥාතියාට දාව පිරිමි දරුවෙකු බිහි කර පවුලේ උරුමය අඛණ්ඩව පවත්වාගැනීම සඳහාය. (ද්විතීය කථාව 25:5-10; ලෙවී කථාව 25:47-49) දරුවන් බිහි කරන වයස පසු කර සිටි නායොමි වෙනුවට කිට්ටුම ඥාතියෙකු සමඟ විවාහ වීමට රූත් ඉදිරිපත් වුණා. එලීමෙලෙක්ගේ කිට්ටුම ඥාතියෙකු නායොමිට උපකාර කරන්න අකමැති වූ අවස්ථාවේදී බෝවස් රූත්ව විවාහ කරගත්තා. ඕබෙද් නම් ඔවුන්ගේ පිරිමි දරුවා නායොමිගෙන් පැවතෙන්නෙක් ලෙස සැලකූ අතර, එලීමෙලෙක්ගේ නීත්‍යනුකූල උරුමක්කාරයාද වුණා.—රූත් 2:19, 20; 4:1, 6, 9, 13-16.

13 බෝවස් දෙවිගේ ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කළ නිසා මහඟු ආශීර්වාද ඔහු කරා පැමිණියා. තමන්ගේ පුත්‍රයා වූ ඕබෙද් නිසා යේසුස් ක්‍රිස්තුස්ගේ මුතුන්මිත්තන් අතර සිටීමේ වරප්‍රසාදය බෝවස් හා රූත්ට ලැබුණා. (රූත් 2:12; 4:13, 21, 22; මතෙව් 1:1, 5, 6) අන් අයට ප්‍රේමය පෙන්වමින් දෙවිගේ නියමයන්ට එකඟව කටයුතු කරන අය කරා ආශීර්වාද පැමිණෙන බව බෝවස්ගේ පරාර්ථකාමී ක්‍රියාවලින් අපට ඉගෙනගන්න පුළුවන්.

සවන් නොදුන් නාබල්

14. නාබල් මොන වගේ මනුෂ්‍යයෙක්ද?

14 බෝවස්ට වෙනස්ව නාබල් යෙහෝවාට සවන් දුන්නේ නැහැ. “නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න” යනුවෙන් දෙවිගේ ව්‍යවස්ථාවේ සඳහන් නියමය ඔහු කඩ කළා. (ලෙවී කථාව 19:18) නාබල් ආත්මික මනසක් තිබූ පුද්ගලයෙක් නොවෙයි. ඔහු ‘කර්කශ වූ නපුරු වූ කෙනෙක්.’ ඔහුගේ සේවකයන් පවා ඔහුව සැලකුවේ “දුර්ජනයෙක්” ලෙසයි. “මෝඩ” යන අර්ථය ඇති ඔහුගේ නම ඔහුට හොඳින් ගැළපුණා. (1 සාමුවෙල් 25:3, 17, 25) උපකාරය අවශ්‍ය වූ යෙහෝවාගේ අභිෂේක ලත් තැනැත්තා වූ දාවිත්ට කරුණාව පෙන්වන්න අවස්ථාවක් ලැබුණු විට නාබල් කටයුතු කළේ කොහොමද?—1 සාමුවෙල් 16:13.

15. නාබල් දාවිත්ට සැලකුවේ කෙසේද? මෙහිදී අබීගායිල් ඇගේ ස්වාමිපුරුෂයාට වඩා වෙනස් ලෙස කටයුතු කළේ කෙසේද?

15 දාවිත් සිය සේවකයන් සමඟ නාබල්ගේ බැටළු රැළ සිටි ස්ථානයට නුදුරින් කඳවුරු බැඳගෙන සිටි කාලයේදී කොල්ලකරුවන්ගෙන් ඔහුගේ රැළ ආරක්ෂා කර දුන්නා. ඒ වෙනුවෙන් දාවිත් කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. “ඔව්හු රෑ දාවල් අපට ප්‍රාකාරයක්ව සිටියෝය” කියා නාබල්ගේ එඬේරෙක් පවා කිව්වා. කොහොමවුණත්, දාවිත් ආහාර ටිකක් ඉල්ලමින් නාබල් ළඟට පණිවිඩකාරයන් යැවූ අවස්ථාවේදී, ඔහු ඔවුන්ට “බැණ” හිස් අතින් ආපසු යන්ට හැරියා. (1 සාමුවෙල් 25:2-16) ඒත්, නාබල්ගේ භාර්යාව වූ අබීගායිල් අප්‍රමාදව ආහාර පාන රැගෙන දාවිත්ව හමු වෙන්න ගියා. කේන්ති ගොස් සිටි දාවිත් ඒ අවස්ථාවේදී සූදානම් වෙමින් සිටියේ නාබල්ව හා ඔහුගේ මෙහෙකරුවන්ව මරා දැමීම සඳහා පිටත්ව යන්නයි. අබීගායිල් කළ දෙය නිසා ජීවිත රැසක් ආරක්ෂා වුණා. ඒ වගේම ලේ වරදට හසුවීමෙන් ඇය දාවිත්වද වැළැක්වුවා. ඒත් නාබල්ගේ ගිජුකම හා පරුෂ ගතිය නොසලකා හැරිය හැකි දෙයක් වුණේ නැහැ. දවස් දහයකට පසු ‘යෙහෝවා නාබල්ට පහර දීම නිසා ඔහු මිය ගියා.’—1 සාමුවෙල් 25:18-38.

16. අපට බෝවස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද? එසේම නාබල් කළ දේවල් හෙළා දැකිය හැක්කේ කෙසේද?

16 බෝවස් හා නාබල් අතර තිබූ වෙනස මොනතරම්ද! නාබල් තුළ අප දකින ආත්මාර්ථකාමිත්වය හා පරුෂ ගතිය අපි හෙළා දැකිය යුතු අතර, බෝවස්ගේ කරුණාවන්තකම හා පරාර්ථකාමිත්වය අනුකරණය කළ යුතුයි. (හෙබ්‍රෙව් 13:16) ප්‍රේරිත පාවුල්ගේ මේ උපදේශය අදාළ කරගැනීමෙන් අපිට එය කරන්න පුළුවන්. “අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.” (ගලාති 6:10) ස්වර්ගයේ අමරණීය ජීවිතයක් භුක්ති විඳීමට යන 1,44,000ක් වන යෙහෝවාගේ අභිෂේක ලත් අයගේ ඉතිරි කොටසට යහපත කිරීමට ලැබීම, භූමික බලාපොරොත්තුවක් තිබෙන යේසුස්ගේ ‘වෙනත් බැටළුවන්ට’ හිමි වී තිබෙන විශේෂ වරප්‍රසාදයක්. (යොහන් 10:16; 1 කොරින්ති 15:50-53; එළිදරව් 14:1, 4) ඒ වගේ ප්‍රේමනීය ක්‍රියාවන් යේසුස් සලකන්නේ පෞද්ගලිකව තමාට කරන දේවල් ලෙසයි. මේ වගේ යහපත් දේවල් කරන විට යෙහෝවාගේ මහඟු ආශීර්වාද අප වෙත ගලා එයි.—මතෙව් 25:34-40; 1 යොහන් 3:18.

හන්නා අද්දුටු පීඩා හා ආශීර්වාද

17. හන්නා මුහුණ දුන් පීඩාවන් මොනවාද? ඇය තුළ තිබූ ආකල්පය කුමක්ද?

17 දේවභක්තික ස්ත්‍රියක් වූ හන්නා වෙතද යෙහෝවාගේ ආශීර්වාද පැමිණියා. ලෙවීවරයෙකු වූ එල්කානා නම් ඇගේ ස්වාමිපුරුෂයා සමඟ ඇය ජීවත් වූයේ කඳුකර ප්‍රදේශයක් වූ එප්‍රායිම් දේශයේයි. එල්කානාට හන්නා හැර පෙනින්නා නම් තවත් භාර්යාවක් සිටියා. මෙයට ව්‍යවස්ථාවෙන් අවසර ලැබී තිබුණා. පෙනින්නාට දරුවන් සිටියත් හන්නාට දරුවන් සිටියේ නැහැ. ඉශ්‍රායෙල් ජාතික ගැහැනියක් වඳ නම් ඇය සමාජයේ පිළිකුලට ලක් වුණා. (1 සාමුවෙල් 1:1-3; 1 ලේකම් 6:16, 33, 34) හන්නාව සනසනවා වෙනුවට ඇගේ දුක තවත් වැඩි කරවමින් පෙනින්නා ඇගේ සිතට වේදනා ගෙන දෙන දේවල් කියමින් ඇයට සැලකුවේ අකරුණාවන්ත ලෙසයි. මේ නිසා හැඬූ කඳුළින් කල් ගෙවූ හන්නා කෑම පවා නොකා සිටියා. මේ පවුලේ අය ෂීලෝහි පිහිටි යෙහෝවාගේ ගෘහයට ‘අවුරුද්දක් අවුරුද්දක් පාසා’ ගිය අතර, ඒ සෑම වතාවකදීම පෙනින්නා හන්නාට එසේ අකරුණාවන්ත ලෙස සැලකූ නිසා ඇගේ දුක තව තවත් වැඩි වුණා. (1 සාමුවෙල් 1:4-8) පෙනින්නා මොනතරම් කුරිරු ගැහැනියක්ද! හන්නා වින්ද පීඩාව මොනතරම් වේදනාකාරි එකක් වූවාද! ඒ වුණත්, හන්නා කවදාවත් යෙහෝවාට දොස් කිව්වේ නැහැ. ඇගේ ස්වාමිපුරුෂයා නමස්කාරය සඳහා ෂීලෝ බලා ගිය අවස්ථාවලදී ඇය ගෙදර නතර වෙලා හිටියෙත් නැහැ. ඈ මෙසේ ඉවසීමෙන් කටයුතු කළ නිසා යම් දවසක මහඟු ආශීර්වාදයක් ඇය කරා පැමිණීමට නියමිතව තිබුණා.

18. හන්නා තැබූ ආදර්ශය කුමක්ද?

18 අද සිටින යෙහෝවාගේ සේවකයන්ට, විශේෂයෙන්ම අනිත් අය අකරුණාවන්ත ලෙස පවසන දේවල් නිසා සිත් රිදීම්වලට ලක් විය හැකි අයට හන්නා තැබුවේ කදිම ආදර්ශයක්. අන් අය තමන්ගේ සිත් රිදවන අවස්ථාවලදී, හුදකලාව සිටීම එයට පිළියම නොවෙයි. (හිතෝපදේශ 18:1) තමන් අද්දැක්ක චිත්ත පීඩා නිසා, දෙවිගේ වචනය ගැන ඉගෙනගන්න හා ඔහුගේ සෙනඟ නමස්කාරය සඳහා එක්රැස් වෙන ස්ථානයට යන්න තිබූ තමාගේ ආශාව හන්නා නැති කරගත්තේ නැහැ. මේ නිසා දිගටම ආත්මිකව ශක්තිමත්ව සිටීමට ඇයට හැකි වුණා. ඇය ආත්මිකව මොනතරම් ශක්තිමත්ව සිටියාද කියා 1 සාමුවෙල් 2:1-10හි සඳහන් ඇගේ සිත්ගන්නාසුලු යාච්ඤාවෙන් පැහැදිලි වෙනවා.—1 සාමුවෙල් 2:1-10. *

19. ආත්මික දේවල් අගය කරන බව අපට පෙන්විය හැක්කේ කෙසේද?

19 යෙහෝවාගේ සේවකයන් වන අපි අදදින නමස්කාර කරන්නේ මණ්ඩපයක සිට නොවෙයි. ඒ කොහොමවුණත්, හන්නා වගේ අපිටත් පුළුවන් ආත්මික දේවල් සඳහා අපේ අගය පෙන්වන්න. උදාහරණයක් හැටියට ක්‍රිස්තියානි රැස්වීම්, එක්රැස්වීම් හා සමුළු පවත්වන සෑම අවස්ථාවකදීම, ඒවාට පැමිණීමෙන් අපි ආත්මික වස්තු මහත් සේ අගය කරන බව පෙන්වන්න පුළුවන්. ‘භයක් නැතුව ශුද්ධකමින්ද ධර්මිෂ්ඨකමින්ද ඔහුට සේවය කරන්න අපට වර දෙන’ යෙහෝවාගේ සැබෑ නමස්කාරයේ නිරත වන විට, එකිනෙකාව දිරිමත් කරන්න ඒ අවස්ථා යොදාගනිමු.—ලූක් 1:72, 73; හෙබ්‍රෙව් 10:24, 25.

20, 21. හන්නා දේවභක්තික ජීවිතයක් ගත කළ නිසා ලැබූ ආශීර්වාද මොනවාද?

20 යෙහෝවා හන්නාගේ භක්තිවන්ත ක්‍රියා සැලකිල්ලට ගෙන ඇයට බොහෝ ආශීර්වාද කළා. තම පවුලේ අය අවුරුදු පතා ෂීලෝ බලා ගිය එක් ගමනකදී, හන්නා අඬ අඬා දෙවිට කන්නලව් කරමින් මෙසේ බාරයක් වුණා. “සේනාවල [යෙහෝවා] ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහිකර, ඔබගේ මෙහෙකාරී මතක නැති නොකර, ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් [දෙන්නේ] නම්, ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු [ඔබට] දෙන්නෙමි.” (1 සාමුවෙල් 1:9-11) දෙවි හන්නාගේ කන්නලව්ව අසා, පිරිමි දරුවෙක් ලබා දීමෙන් ඇයට ආශීර්වාද කළා. කිරි වැරූ පසු හන්නා සාමුවෙල් නම් ඇගේ දරුවාව මණ්ඩපයේ සේවය කිරීම සඳහා ෂීලෝවලට රැගෙන ගියා.—1 සාමුවෙල් 1:20, 24-28.

21 හන්නා දෙවි කෙරෙහි තිබූ ප්‍රේමය ක්‍රියාවලින් පෙන්වමින් ඇගේ බාරය ඔප්පු කළා. තමන්ගේ ආදරණීය පුතා යෙහෝවාගේ මණ්ඩපයේ සේවය කිරීම නිසා හන්නා හා එල්කානා භුක්ති විඳි මහඟු ආශීර්වාද ගැන සිතා බලන්න! තමන්ගේ දූ පුතුන් පූර්ණ කාලීන පුරෝගාමී දේවසේවකයන් හා බෙතෙල් සේවකයන් වශයෙන් සේවය කිරීම නිසා හෝ වෙනත් ආකාරවලින් යෙහෝවාව ගෞරවයට පත් කිරීම නිසා හෝ ක්‍රිස්තියානි දෙමාපියන් බොහෝදෙනෙක් ඒ සමාන ප්‍රීතියක් මෙන්ම ආශීර්වාදද භුක්ති විඳිනවා.

යෙහෝවාට සවන් දෙන්න සැමදා

22, 23. (අ) අපි දිගටම යෙහෝවාගේ හඬට සවන් දෙනවා නම්, අපට නිසැක විය හැක්කේ කුමක් ගැනද? (ආ) ඊළඟ ලිපියේදී අපි සලකා බලන්නේ කුමක්ද?

22 අපි සෑමදාම යෙහෝවාට සවන් දෙනවා නම් අපට කුමක් ගැන නිසැක වෙන්න පුළුවන්ද? අපි මුළු හදින්ම දෙවිට ප්‍රේම කරමින් කැපවීමෙන් යුතුව ඔහුට සේවය කරනවා නම්, අපි ආත්මිකව පොහොසත් වෙන බව නම් නිසැකයි. එසේ දෙවිට සේවය කරද්දී දරුණු පීඩා විඳදරාගන්න අපිට සිදු වෙනවා. ඒත්, බොහෝ අවස්ථාවලදී අපිට සිතාගන්නවත් බැරි විදිහට අප කරා පැමිණෙන ආශීර්වාද වළක්වන්න කිසිම දෙයකට හැකි වෙන්නේ නැහැ.—ගීතාවලිය 37:4; හෙබ්‍රෙව් 6:10.

23 අනාගතයේදී දෙවිගේ සෙනඟ මහත් ආශීර්වාද භුක්ති විඳින්න යනවා. යෙහෝවාට කීකරු වෙමින් සවන් දීම නිසා ඉදිරියේදී “මහත් සමූහයක්” ‘මහත් පීඩාවෙන්’ බේරී දෙවිගේ නව ලොවේ සන්තෝෂවත් ජීවිතයක් භුක්ති විඳිනවා. (එළිදරව් 7:9-14; 2 පේතෘස් 3:13) ඒ කාලයේදී දෙවි ඔහුගේ සේවකයන් සියලුදෙනාගේම යහපත් ආශාවන් ඉටු කරනවා. (ගීතාවලිය 145:16) කොහොමවුණත්, යෙහෝවාගේ හඬට දිගටම සවන් දෙන අය ‘ඉහළින් බැස එන යහපත් දීමනා හා සම්පූර්ණ දීමනා’ අද පවා භුක්ති විඳිනවා. ඊළඟ ලිපියේදී අපි මේ ගැන සලකා බලනවා.—යාකොබ් 1:17.

[පාදසටහන්වල]

^ 18 ඡේ. හන්නා කළ යාච්ඤාවේ සඳහන් ප්‍රකාශයන් හා කන්‍යාවක් වූ මරියා තමන් මෙසියස්ගේ මව වීමට යන බව දැනගැනීමෙන් කෙටි කලකට පසු පැවසූ වදන් අතර යම් සමානකමක් තිබෙනවා.—ලූක් 1:46-55.

ඔබට මතකද?

• දෙවිගෙන් ලැබෙන ආශීර්වාද ගැන ඉශ්‍රායෙල් ඉතිහාසයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

• බෝවස් නාබල්ට වඩා වෙනස් වූයේ කෙසේද?

• අපට හන්නාව අනුකරණය කරන්න පුළුවන් කෙසේද?

• අපි දිගටම යෙහෝවාගේ හඬට සවන් දිය යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

කීකරු හෘදයක් ඉල්ලා යාච්ඤා කළ සාලමොන් රජුට ප්‍රඥාව දීමෙන් යෙහෝවා ආශීර්වාද කළා

[12වන පිටුවේ පින්තූරය]

බෝවස් ගෞරවයෙන් හා කරුණාවෙන් අනිත් අයට සැලකුවා

[15වන පිටුවේ පින්තූරය]

යෙහෝවා මත රඳා සිටීම නිසා හන්නා මහඟු ආශීර්වාද ලැබුවා