Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන් පුහුණු කිරීමේදී යෙහෝවාව අනුකරණය කරන්න

ඔබේ දරුවන් පුහුණු කිරීමේදී යෙහෝවාව අනුකරණය කරන්න

ඔබේ දරුවන් පුහුණු කිරීමේදී යෙහෝවාව අනුකරණය කරන්න

“සියලු දෙමාපියන් තම දරුවන්ව නිවැරදි කරන්නේ නැද්ද?”—හෙබ්‍රෙව් 12:7, කන්ටෙම්පරරි ඉංග්ලිෂ් වර්ෂන්.

1, 2. වර්තමානයේ දෙමාපියන් තම දරුවන්ව හදා වඩා ගැනීමේදී ගැටලුවලට මුහුණ දෙන්නේ මන්ද?

දෙමාපියන් හා දරුවන් අතර අදහස් හුවමාරුව අල්ප බවත්, ඒ වගේම දෙමාපියන් තම දරුවන්ට ඔවුන්ගේ නිදහසට ඕනෑවට වඩා ඉඩහැර තිබෙන බවත්, මීට වසර කිහිපයකට පෙර ජපානයේ පැවති සමීක්ෂණයකදී සම්මුඛ සාකච්ඡාවට ලක් කළ වැඩිහිටියන්ගෙන් අඩක්ම පිළිගත් බව හෙළි වුණා. එම රටේම තවත් සමීක්ෂණයකදී හෙළි වූ දෙයක් නම්, තමන්ගේ දරුවන්ව හසුරුවාගන්නා අන්දම තමන් නොදන්නා බව ප්‍රතිචාරය දැක්වූවන්ගෙන් සියයට 25ක් පමණ පිළිගත් බවයි. මෙම ප්‍රවණතාව ආසියානු රටවලට පමණක්ම ආවේණික වූ දෙයක් නෙවෙයි. “හොඳ දෙමාපියන් වන අන්දම ගැන තමන්ට ස්ථිර විශ්වාසයක් නැතැයි” කියා කැනේඩියානු ජාතික දෙමාපියන් බොහෝදෙනෙක් පිළිගත් බව ද ටොරොන්ටෝ ස්ටාර් පුවත්පත වාර්තා කළා. ලොව සෑම පෙදෙසකම පාහේ වෙසෙන දෙමාපියන් තම දරුවන්ව හදා වඩා ගැනීමේදී යම් දුෂ්කරතාවලට මුහුණ පාමින් සිටිනවා.

2 තම දරුවන්ව හදා වඩා ගැනීමේදී දෙමාපියන් ගැටලුවලට මුහුණ දෙන්නේ ඇයි? ප්‍රධානතම හේතුව තමයි, අප දැන් ජීවත් වෙමින් සිටින්නේ “කටයුතු කිරීමට අසීරු අන්තිම කාලවල” වීම. (2 තිමෝති 3:1NW) මීට අමතරව, “බාල වයසේ පටන් ඔහුගේ [මිනිසාගේ] සිතේ කල්පනා [නැඹුරුවාව, NW] නපුරුව තිබේ” යයි බයිබලය සඳහන් කරනවා. (උත්පත්ති 8:21) ඒ වගේම, අද්දැකීම් අඩු අයව ගොදුරු කරගන්නාවූ “ගොරවන සිංහයෙකු මෙන්” වූ සාතන්ගේ ප්‍රහාරවලට විශේෂයෙන් යෞවනයන් ලක්වීම තවත් දෙයක්. (1 පේතෘස් 5:8) තවද, “යෙහෝවාගේ හික්මවීමෙන්ද, මානසික ශික්ෂණයෙන්ද” තම දරුවන්ව ඇති දැඩි කිරීමට යත්න දරන ක්‍රිස්තියානි දෙමාපියන් ඉදිරියේ ඇති අභියෝග මහත්. (එපීස 6:4NW) ‘හරි වැරැද්ද අතර වෙනස’ වටහාගත හැකි, යෙහෝවාට නමස්කාර කරන මේරූ පුද්ගලයන් වීම දක්වා හැදී වැඩීමට තම දරුවන්ට උපකාර කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?—හෙබ්‍රෙව් 5:14.

3. දරුවන්ව සාර්ථකව හදා වඩා ගැනීමේදී දෙමාපිය පුහුණුව සහ මඟ පෙන්වීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද?

3 “මෝඩකම ළමයෙකුගේ සිතට බැඳී තිබේ” යයි ප්‍රඥාවන්ත සාලමොන් රජ නිරීක්ෂණය කළා. (හිතෝපදේශ 13:1; 22:15) දෙමාපියන් තම දරුවන්ගේ සිත්වල බැඳී ඇති එවන් මෝඩකම් දුරු කිරීමට ඔවුන්ව ප්‍රේමයෙන් නිවැරදි කළ යුතුයි. එහෙත්, දරුවන් එවන් නිවැරදි කිරීම් සැමවිටම සතුටින් භාරගන්නවා නොවෙයි. කවුරු උපදෙස් දුන්නත් සාමාන්‍යයෙන් ඒවා ඔවුන්ට රුස්සන්නේ නැහැ. එමනිසා දෙමාපියන්, ‘දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණු’ කළ යුතුයි. (හිතෝපදේශ 22:6) දරුවන් එවන් හික්මවීමක් තදින් සිතට ගැනීම ඔවුන්ගේ ජීවනයට තුඩු දිය හැකියි. (හිතෝපදේශ 4:13) එමනිසා දෙමාපියන් තම දරුවන්ව පුහුණු කිරීමේදී ඊට අයත් වන්නේ කුමක්දැයි දැනගැනීම කොතරම් වැදගත්ද!

හික්මවීම—ඉන් අදහස් කරන දෙය

4. බයිබලයේ භාවිත කර ඇති පරිදි “හික්මවීම” යන වදනේ මූලික අරුත කුමක්ද?

4 තම දරුවන්ව නිවැරදි කිරීමට යෑමෙන් තමන් ඔවුන්ට ශාරීරික වශයෙන්, වචනයෙන් හෝ හැඟීම්වලින් පහර දෙනවායයි චෝදනා නැඟේවි යන බියෙන් ඇතැම් දෙමාපියෝ ඉන් වැළකෙන්ට උත්සාහ කරනවා. එවන් බියක් හිතේ රඳවාගෙන සිටින්ට අපට අවශ්‍ය නැහැ. බයිබලයේ “හික්මවීම” යන වචනය යොදා තිබෙන්නේ යම් අන්දමක වැරදිසහගත සැලකීමක් හෝ කුරිරුකමක් ඇඟවීමට නොවෙයි. “හික්මවීම” යන්නට යොදා ඇති ග්‍රීක් වචනයෙන් මූලික වශයෙන් අදහස් වන්නේ උපදෙස් දීම, ඉගැන්වීම, නිවැරදි කිරීම සහ ඇතැම් අවස්ථාවලදී ස්ථිර නමුත් ප්‍රේමනීය දඬුවම් දීමයි.

5. යෙහෝවා සිය සෙනඟ සමඟ කටයුතු කරන ආකාරය ගැන සලකා බැලීම ප්‍රයෝජනදායක වන්නේ මන්ද?

5 එවන් ප්‍රේමනීය හික්මවීමක් සැපයීමෙහි පරිපූර්ණ ආදර්ශය තබන්නේ යෙහෝවා දෙවියි. යෙහෝවාව පියෙකුට සංසන්දනය කරමින් ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේයි: “සියලු දෙමාපියන් තම දරුවන්ව නිවැරදි කරන්නේ නැද්ද? . . . අපේ පියවරු කලක් තමන් සිතූ විදිහට තමන්ගේ උපරිම හොඳින් අපව නිවැරදි කළෝය. එහෙත්, දෙවි අපව නිවැරදි කරන්නේ අපගේම යහපත උදෙසාය, මන්දයත් අප ශුද්ධව සිටීම ඔහුට උවමනා බැවිනි.” (හෙබ්‍රෙව් 12:7-10, කන්ටෙම්පරරි ඉංග්ලිෂ් වර්ෂන්) ඔව්, යෙහෝවා තම සෙනඟව නිවැරදි කරන්නේ ඔවුන්ව ශුද්ධ කිරීමේ හෝ පවිත්‍ර කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. යෙහෝවා සිය සෙනඟව පුහුණු කළ අන්දම සලකා බැලීමෙන් දරුවන්ව පුහුණු කිරීම ගැන අපට බොහෝ දේ උගත හැකියි.—ද්විතීය කථාව 32:4; මතෙව් 7:11; එපීස 5:1.

පොලඹවන බලවේගය ප්‍රේමය විය යුතුයි

6. දෙමාපියන්ට යෙහෝවාගේ ප්‍රේමය අනුකරණය කිරීම අසීරු විය හැක්කේ මන්ද?

6 ‘දෙවි ප්‍රේමය’ යයි ප්‍රේරිත යොහන් පවසනවා. මේ අනුව, පුහුණුව ලබා දීම සඳහා සැමවිටම යෙහෝවාව පොලඹවන්නේ ප්‍රේමයයි. (1 යොහන් 4:8; හිතෝපදේශ 3:11, 12) තම දරුවන් කෙරෙහි සෙනෙහසක් තිබූ පමණින් දෙමාපියන්ට මේ සම්බන්ධයෙන් යෙහෝවාව අනුකරණය කිරීම සැමවිටම පහසු නොවෙයි. දෙවිගේ ප්‍රේමය පදනම්ව තිබෙන්නේ ප්‍රතිපත්ති මතයි. එවන් ප්‍රේමයක් “සහජ නැඹුරුවාවන් සමඟ සැමවිටම අනුගත නොවන” බව එක් ග්‍රීක් විශාරදයෙක් සඳහන් කරයි. දෙවි යනු චිත්තවේගී හැඟීම්වලට වහල් වන කෙනෙකු නොවේ. තම ජනයාට සැමවිටම හොඳම දේ කුමක්ද කියා ඔහු සලකා බලනවා.—යෙසායා 30:20; 48:17.

7, 8. (අ) යෙහෝවා සිය සෙනඟ සමඟ කටයුතු කිරීමේදී තැබුවේ ප්‍රතිපත්තිගරුක ප්‍රේමයේ කිනම් ආදර්ශයද? (ආ) බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමට හැකියාව වර්ධනය කිරීම සඳහා තම දරුවන්ට උපකාර කිරීමේදී යෙහෝවාව අනුකරණය කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?

7 යෙහෝවා ඉශ්‍රායෙලිතයන් සමඟ කටයුතු කිරීමේදී පෙන්වූ ප්‍රේමය සලකා බලමු. යෞවන වියේ පසු වූ ඉශ්‍රායෙල් ජාතිය උදෙසා යෙහෝවාගේ ප්‍රේමය විස්තර කිරීමට මෝසෙස් අලංකාර උපමාවක් යොදාගත්තා. ඒ ගැන අපට මෙසේ කියවීමට තිබෙනවා. “රාජාලියා උගේ කැදැල්ල අවුස්සා, උගේ පැටවුන් පිට තටු ගසමින් උගේ පියාපත් විහිදුවා, උන් අරන් උගේ පියාපත් පිට උසුලන්නාක් මෙන් [යෙහෝවා පමණක්ම යාකොබ් ගෙන ගියේය].” (ද්විතීය කථාව 32:9, 11, 12) තම පැටියාට ඉගිලීමට උගන්වන පිණිස, ‘තටු ගසමින් පියාපත් විහිදුවන’ රාජාලි මවක්, ඉගිලීමට උත්සාහ කිරීමට තම පැටියාව දිරිමත් කරනවා. ඉක්බිති, බොහෝවිට, ගිරි කුළක මුදුනේ පිහිටා ඇති කූඩුවක සිට කුඩා පැටවා බිමට පැන පියාසර කරන්ට පටන්ගන්නා විට මව ඌ පිට “තටු ගසමින්” සිටී. පහළට ඇදී එන පැටවා බිමට වැටෙයි කියා පෙනෙන්ට තිබේ නම්, වේගයෙන් පහළට පියඹා එන රාජාලි මව, තම පැටවාව ‘පියාපත් පිටට’ ගනී. අලුත උපන් ඉශ්‍රායෙල් ජාතිය යෙහෝවා ප්‍රේමයෙන් රැකබලා ගත්තේද මේ හා සමාන ආකාරයකින්. ඔහු සිය ජනයාට මෝසෙස් තුළින් ව්‍යවස්ථාව දුන්නා. (ගීතාවලිය 78:5-7) අනතුරුව, එම ජාතිය ඉතා ඕනෑකමින් රැකබලා ගත් දෙවි, ඔවුන්ට දුෂ්කරතා හා කටුක අද්දැකීම්වලට මුහුණ දෙන්ට සිදු වූ විට ඔවුන්ගේ පිහිටට ආවා.

8 යෙහෝවාගේ ප්‍රේමය අනුකරණය කරන්ට ක්‍රිස්තියානි දෙමාපියන්ට හැක්කේ කොහොමද? පළමුව, දේවවචනයේ සඳහන් ප්‍රතිපත්ති සහ ප්‍රමිති දෙමාපියන් තම දරුවන්ට ඉගැන්විය යුතුයි. (ද්විතීය කථාව 6:4-9) මෙහි ඉලක්කය වන්නේ බයිබල් ප්‍රතිපත්තිවලට අනුගතව තීරණ ගැනීමට තම දරුවන්ට උදව් වීමයි. මෙසේ කිරීමෙන්, දෙමාපියෝ තම දරුවන් ‘පිට තටු ගසමින් සිටියි.’ එනම්, ඔවුන් ඉගෙනගත් ප්‍රතිපත්ති අදාළ කරගන්නා ආකාරය නිරීක්ෂණය කරනවා. මෙසේ තම දරුවන් වැඩිවියට පත් වී, කෙමෙන් කෙමෙන් වැඩි නිදහසක් ලබද්දී, ‘පහළට පියඹා ගොස්’ අන්තරාවලට මුහුණ පෑමට සිදු වෙද්දී ඔවුන්ව ‘තමන්ගේ පියාපත් පිට’ ගෙන යෑමට ස්නේහවන්ත දෙමාපියන් සූදානම්. දරුවන්ට මුහුණ දීමට සිදු විය හැක්කේ කිනම් ආකාරයේ අන්තරාවලටද?

9. ප්‍රේමනීය දෙමාපියන් විශේෂයෙන් සුපරීක්ෂාවෙන් සිටිය යුත්තේ කිනම් අන්තරාය ගැනද? විස්තර කරන්න.

9 යෙහෝවා දෙවි නරක ආශ්‍රයේ දරුණු ඵල විපාක ගැන ඉශ්‍රායෙලිතයන්ට අනතුරු ඇඟෙව්වා. (ගණන් කථාව 25:1-18; එස්රා 10:10-14) නුසුදුසු පුද්ගලයන් සමඟ ඇසුරු කිරීමද අදදින තිබෙන පොදු අන්තරායක්. (1 කොරින්ති 15:33) ක්‍රිස්තියානි දෙමාපියන් මේ සම්බන්ධයෙන් යෙහෝවාව අනුකරණය කළ යුතුයි. ලීසා නමැති 15 හැවිරිදි ගැහැනු ළමයා තම පවුලේ සදාචාර හා ආත්මික සාරධර්ම පිළි නොපැද්ද පිරිමි ළමයෙකුට ඇලුම් කිරීමට පටන්ගත්තා. “මගේ දෙමාපියන් මගේ ආකල්පවල වෙනසක් දුටු වහාම මා කෙරෙහි ලොකු සැලකිල්ලක් දක්වන්ට වුණා” යයි ලීසා පවසනවා. “සමහර වෙලාවල එයාලා මාව නිවැරදි කළා, තවත් අවස්ථාවල මහත් සෙනෙහසින් යුතුව මාව දිරිමත් කළා.” ඇය සමඟ වාඩි වී මහත් ඉවසීමෙන් ඇයට සවන් දුන් දෙමාපියන් දැනගත්තේ මෙයයි, එනම් ඈට තිබූ මූලිකම ගැටලුව වුණේ සම වයසේ සිටි අයගේ පිළිගැනීමට ඇය ඇලුම් කළ බවයි. *

අදහස් හුවමාරුව විවෘතව තබාගන්න

10. ඉශ්‍රායෙලිතයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමෙහිලා යෙහෝවා කදිම ආදර්ශයක් තැබුවේ කොහොමද?

10 තම දරුවන්ව සාර්ථකව පුහුණු කිරීමට නම්, ඔවුන් සමඟ විවෘතව අදහස් හුවමාරු කරගැනීමට යෝග්‍ය වාතාවරණයක් පවත්වාගත යුතුය. අපේ හදවත්වල තිබෙන දේවල් හොඳින් දන්නවා වුවද, යෙහෝවා අපව දිරිමත් කරන්නේ ඔහු සමඟ අදහස් හුවමාරු කරගන්නා ලෙසයි. (1 ලේකම් 28:9) ඉශ්‍රායෙලිතයන්ට ව්‍යවස්ථාව දුන්නායින් පසුව, ඔවුන්ට ඉගැන්වීමට ලෙවීවරුන්ව පත් කළ යෙහෝවා, ඔවුන් හට කාරණා පැහැදිලි කර දී ඔවුන්ව නිවැරදි කිරීමට ප්‍රොපේතවරුන්වද යැව්වා. එමෙන්ම ඔවුන්ගේ යාච්ඤාවන් ඇසීමටද කැමැත්තෙන් සිටියා.—2 ලේකම් 17:7-9; ගීතාවලිය 65:2; යෙසායා 1:1-3, 18-20; යෙරෙමියා 25:4; ගලාති 3:22-24.

11. (අ) තම දරුවන් සමඟ හොඳින් අදහස් හුවමාරු කරගැනීමට දෙමාපියන්ට හැක්කේ කොහොමද? (ආ) තම දරුවන් සමඟ අදහස් හුවමාරු කරගැනීමේදී දෙමාපියන් හොඳින් සවන් දීම වැදගත් වන්නේ ඇයි?

11 තම දරුවන් සමඟ අදහස් හුවමාරු කරගැනීමෙහිලා දෙමාපියන්ට යෙහෝවාව අනුකරණය කළ හැක්කේ කෙසේද? පළමුව කළ යුතු වැදගත්ම දේ නම්, දෙමාපියන් ඔවුන් සඳහා කාලය වෙන් කිරීමයි. “අයියෝ, ඕකත් කියන්න දෙයක්ද? මං හිතුවා ඒක මේ මහ ලොකු දෙයක් කියලා;” “නිකම් පැහිච්ච කතා කියන්න එපා;” “මොකද වෙලා තියෙන්නේ? ඔයා තවම ළමයෙක්නේ” වැනි සරදම් විලාසයෙන් සිතන්නේ බලන්නේ නැතුව කියන කතාවලින් දෙමාපියන් වැළකීම යහපති. (හිතෝපදේශ 12:18) තම දරුවන්ගේ සිත්වල හිර වී ඇති දේ දැනගැනීම සඳහා ඥානවන්ත දෙමාපියෝ හොඳ සවන් දෙන්නන් වීමට වෙර දරනවා. අනෙක් අතට, බාල වියේදී තම දරුවන්ව නොසලකා හරින දෙමාපියන්ට දැනෙන දෙයක් නම්, දරුවන් වැඩිහිටියන් බවට පත් වන විට ඔවුන් තමන්වත් නොසලකා හරින බවයි. කෙසේවෙතත්, යෙහෝවා සිය ජනයාට සවන් දීමට නිතරම කැමැත්තෙන් සිටිනවා. තමන් වෙතට යටහත්ව යාච්ඤාවෙන් ළඟා වන අයට ඔහු කන් යොමනවා.—ගීතාවලිය 91:15; යෙරෙමියා 29:12; ලූක් 11:9-13.

12. දරුවන් දෙමාපියන් වෙතට එළඹීම සඳහා දෙමාපියන්ට තිබිය යුතු ගුණාංග මොනවාද?

12 දෙවිගේ පෞද්ගලිකත්වය නිසා සිය ජනයාට කොතරම් පහසුවෙන් ඔහු වෙතට ළඟාවීමට පුළුවන් වුණාද කියා සලකා බලන්න. නිදසුනක් වශයෙන්, ඉපැරණි ඉශ්‍රායෙලයේ දාවිත් රජ බැත්ෂෙබා සමඟ පරදාර සේවනයෙහි යෙදීමෙන් ඉතා බරපතළ පාපයක් කළා. අසම්පූර්ණ මිනිසෙකු වූ දාවිත් තම ජීවිත කාලය තුළදී තවත් බරපතළ පව් කළා. එහෙත්, යෙහෝවා වෙතට පහසුවෙන් ළඟා වී ඔහුගෙන් සමාව හා තරවටුව ලැබීමට ඔහු කිසි විටෙකත් අසමත් වුණේ නැහැ. දෙවිගේ ප්‍රේමනීය කරුණාව සහ දයාව දාවිත් හට යෙහෝවා වෙතට ළඟාවීමට පහසු කරවූ බවට කිසිදු සැකයක් නැහැ. (ගීතාවලිය 103:8) දයානුකම්පාව සහ කරුණාව වැනි එවන් දිව්‍ය ගුණාංග විදහාපෑමෙන්, දරුවන් වැරදි කරන විට පවා ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට දෙමාපියන්ට හැකියි.—ගීතාවලිය 103:13; මලාකි 3:17.

සාධාරණ වන්න

13. සාධාරණ වීමට ඇතුළත් වන්නේ කුමක්ද?

13 තම දරුවන්ට කන් දෙන විට, දෙමාපියන් සාධාරණ විය යුතු අතර, “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” පිළිබිඹු කළ යුතුයි. (යාකොබ් 3:17) “ඔබේ සාධාරණකම සියලු මිනිසුන් දැනගනිත්වා” කියා ප්‍රේරිත පාවුල් ලීවා. (පිලිප්පි 4:5NW) සාධාරණ වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? “සාධාරණ” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය සඳහා දී ඇති එක් නිර්වචනයක් නම්, “නීතියේ අකුරටම වහල් වී නොසිටීමයි.” සදාචාරමය සහ ආත්මික ප්‍රමිතිවලට ඇලී සිටින අතරේදී, සාධාරණ වීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?

14. ලොත් සමඟ කටයුතු කිරීමේදී යෙහෝවා සාධාරණකම පෙන්වූයේ කෙසේද?

14 සාධාරණ වීම සම්බන්ධයෙන් කැපීපෙනෙනම ආදර්ශය තබන්නේ යෙහෝවායි. (ගීතාවලිය 10:17) විනාශයට නියම කළ සොදොමෙන් පිට වන ලෙස ලොත්ගෙන් සහ ඔහුගේ පවුලේ අයගෙන් ඉල්ලා සිටි විට, ලොත් ‘ප්‍රමාද’ වුණා. කඳුකර ප්‍රදේශයට පලා යන ලෙස යෙහෝවාගේ දූතයා ඔහුගෙන් උදක්ම ඉල්ලා සිටියද, ලොත් පැවසුවේ, “මට කන්දට පලායන්ට නුපුළුවන, . . . මෙන්න පලායන්ට අර නුවර [ශොවර්] ළඟය, ඒක කුඩා එකක්ය. අහෝ එහි පලායන්ට අවසර ලැබේවා; ඒක කුඩා එකක් නොවේද?” කියායි. යෙහෝවා මීට ප්‍රතික්‍රියා කළේ කෙසේද? ඔහු පැවසුවේ මෙසේයි: “බලව, නුඹ සඳහන්කළ නුවර මා විසින් විනාශ නොකරන හැටියට මේ කාරණය ගැනත් නුඹ පිළිගතිමි.” (උත්පත්ති 19:16-21, 30) යෙහෝවා කැමති වුණා ලොත්ගේ ඉල්ලීමට එකඟ වීමට. ඔව්, යෙහෝවා දෙවිගේ වචනය වන බයිබලයෙහි සඳහන් වී ඇති ප්‍රමිතිවලට ඇලී සිටීමේ අවශ්‍යතාවක් දෙමාපියන්ට තිබෙනවා. ඒ කෙසේවුවද, බයිබල් ප්‍රතිපත්ති උල්ලංගනය නොවන අවස්ථාවලදී තම යෞවන දරුවන්ගේ සිතුම් පැතුම්වලට ඉඩහැරීමට සිදු විය හැකියි.

15, 16. යෙසායා 28:24, 25හි සඳහන් උපහැරණයෙන් දෙමාපියන්ට ඉගෙනගත හැකි පාඩම් මොනවාද?

15 සාධාරණ වීමට ඇතුළත් වන තවත් දෙයක් නම්, උපදෙස පිළිගැනීමට හැකි වන ලෙස දරුවන්ගේ හදවත් සූදානම් කරවීමයි. සංකේතමය ආකාරයකින් යෙහෝවාව ගොවියෙකුට සමාන කරමින් යෙසායා පැවසුවේ මෙසේයි: “හාන්නා වපුරන පිණිස සෑමදාම හාන්නේද? තොර නැතුව තමාගේ බිම හාරා පස්කැටි කඩන්නේද? ඔහු බිම සමතලාකොට, කොල්ලු ඉස, දුරු වපුරා, තිරිඟු පේළි වශයෙන්ද යව ඊට නියම ඉඩමේද තණහාල් එහි මායිමේද හිටවනවා නොවේද?”—යෙසායා 28:24, 25.

16 යෙහෝවා ‘වපුරන පිණිස හාන්නේය’ එමෙන්ම ‘තමාගේ බිම හාරා පස්කැටි කඩන්නේය.’ මෙසේ ඔහු සිය සෙනඟව හික්මවීමට පෙරාතුව ඔවුන්ගේ හදවත් සූදානම් කරවනවා. තම දරුවන්ව නිවැරදි කිරීමෙහිලා ඔවුන්ගේ හදවත් ‘හෑමට’ දෙමාපියන්ට හැක්කේ කෙසේද? එක් පියෙක්, තම සිව් හැවිරිදි පිරිමි දරුවාව නිවැරදි කිරීමේදී යෙහෝවාව අනුකරණය කළා. තමාගේ පුතා අසල්වැසි පිරිමි ළමයෙකුට පහර දුන් අවස්ථාවක, පියා තම පුතා නිදහසට කියන කරුණුවලට පළමුව ඉවසීමෙන් සවන් දුන්නා. අනතුරුව, වෙනත් දාමරිකයෙකු අතින් මහත් අසීරුතාවක් අත් විඳි කුඩා පිරිමි ළමයෙකු පිළිබඳ කතාන්තරයක් පියා පුතාට පැවසුවා. මෙය හරියට තම පුතාගේ හදවත ‘හෑමක්’ වූවා වැන්න. මේ කතාව ඇසූ පුතා කීවේ දාමරිකයාට දඬුවම් කළ යුතු බවයි. එවන් ‘හෑමක්’ පිරිමි ළමයාගේ හදවත උපදෙස් ලැබීමට සූදානම් කළ අතර, අසල්වැසි පිරිමි ළමයාට පහර දීම දාමරික ක්‍රියාවක් බවත් එය වැරදි බවත් දැකීමට ඔහුට පහසු වුණා.—2 සාමුවෙල් 12:1-14.

17. තම දරුවන්ව නිවැරදි කිරීම සඳහා දෙමාපියන්ට යෙසායා 28:26-29හි සපයා ඇත්තේ කිනම් පාඩමද?

17 යෙසායා යෙහෝවාගේ මෙම නිවැරදි කිරීමේ ක්‍රියාවලිය තවත් ගොවිතැනේ සංසිද්ධියකට සංසන්දනය කළා. එය නම් ධාන්‍ය පෑහීමයි. ධාන්‍යයේ පොත්තේ ඝනකම අනුව ගොවියා විවිධ පාහින උපකරණ යොදාගන්නවා. නාඹර කලු දුරු පෑහීමට මුගුරක්ද, සුදු දුරු පෑහීමට රිටක්ද යොදාගත්තද, තද පොත්තක් සහිත ධාන්‍ය වර්ග පෑහීමට කුළු ගෙඩියක් හෝ කරත්ත රෝදයක් යොදාගත යුතුයි. එසේ වුවත්, තද පොත්තක් ඇති ධාන්‍ය වුවද පාහින්නේ ඒවා කැඩී පොඩි වී චප්ප වී යන අන්දමින් නොවේ. ඒ හා සමානව, තම සෙනඟගේ යම් අප්‍රසන්න ගති ලක්ෂණයක් ඉවත් කිරීමට යෙහෝවාට වුවමනා වූ විට, පවතින අවශ්‍යතා සහ තත්වයන්ට අනුව ඔහු තමන් ක්‍රියා කරන ආකාරය වෙනස් කරනවා. ඔහු කිසිදා රළු නොවෙයි, නැතහොත් හිතක් පපුවක් නැති කුරිරු ඒකාධිපතියෙකු මෙන් ක්‍රියා නොකරයි. (යෙසායා 28:26-29) සමහර දරුවන්ට යමක් කිරීමම අවශ්‍ය නැහැ, දෙමාපියන් ඔවුන් කෙරෙහි හෙළන බැල්ම පමණක් ප්‍රමාණවත්. වෙනත් දරුවන්ට නිතර නිතර සිහිගැන්වීම් අවශ්‍යයි. තවත් දරුවන්ට තදින්ම දේවල් ඒත්තුගැන්වීමට සිදු විය හැකියි. සාධාරණ දෙමාපියන් නිවැරදි කිරීම් කරන්නේ තම එක් එක් දරුවාගේ අවශ්‍යතාවන්ට අනුවයි.

පවුල් සාකච්ඡා රස ගන්වන්න

18. නිතිපතා පවත්වන පවුලේ බයිබල් පාඩමට වේලාවක් සෙවීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?

18 ඔබේ දරුවන්ට ඉගැන්විය හැකි හොඳම ක්‍රමයක් නම්, පවුලේ නිතිපතා කරන බයිබල් පාඩම සහ දිනපතා කරන ශුද්ධ ලියවිලිමය සාකච්ඡාවයි. පවුලේ පාඩම නිතිපතා කරන විට එහි බලපෑම ප්‍රබලයි. අවස්ථාවක් ලැබුණහොත් හෝ හදිසියෙන් ගත් තීරණයක් අනුව කරනවා නම්, එය නිතිපතා නොකෙරෙන බව පෙනේ. එබැවින්, දෙමාපියන් පාඩම සඳහා “කාලය කෙසේ හෝ සොයාගත” යුතුයි. (එපීස 5:15-17, NW) පවුලේ සෑම කෙනෙකුටම පහසු නිශ්චිත වේලාවක් තෝරාගැනීම අභියෝගයක් වෙන්ට පුළුවන්. එක් පවුලක පියෙකුට තේරුම්ගිය කරුණක් නම්, තම දරුවන් වැඩි වියට පා තබන විට, ඔවුන්ගේ එකිනෙකට වෙනස් කාල සටහන් නිසා මුළු පවුලම එකට එක් කරගන්ට අපහසු වූ බවයි. එහෙත්, සභා රැස්වීම් තිබූ රාත්‍රිවල පවුලේ හැමෝම එකට සිටියා. එවන් එක් රාත්‍රියක පවුලේ පාඩම පවත්වන්ට පියා සැලසුම් කළා. මෙය ඉතාම හොඳින් ක්‍රියාත්මක වුණා. මෙම දරුවන් තිදෙනාම දැන් බව්තීස්ම වී යෙහෝවාට සේවය කරමින් සිටිනවා.

19. පවුලේ පාඩම පැවැත්වීමේදී යෙහෝවාව අනුකරණය කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?

19 කෙසේවුවත්, පාඩම අතරතුරේදී, යම් ශුද්ධ ලියවිලිමය කාරණයක් නිකම්ම උඩින් පල්ලෙන් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නැහැ. යෙහෝවා, නැවත මුදවාගන්නා ලද ඉශ්‍රායෙලිතයන්ට ඉගැන්වූයේ, “[දෙවිගේ] ව්‍යවස්ථා පොත පැහැදිලිලෙස කියවා අර්ථය තෝරාදුන්” පූජකයන් මාර්ගයෙන්. (නෙහෙමියා 8:8) යෙහෝවාට ප්‍රේම කරන්ට තම දරුවන් හත්දෙනාටම සාර්ථක ලෙස උපකාර කළ එක් පියෙක් ගැන දැන් අපි බලමු. ඔහු එසේ කළේ එක් එක් දරුවාගේ අවශ්‍යතාවලට අනුව කරුණු සකස් කරගැනීමේ අටියෙන් සෑම අවස්ථාවකම සිය කාමරයට ගොස් පාඩමට සූදානම් වීමෙනි. තම දරුවන්ට පාඩම සතුටින් භුක්ති විඳිය හැකි එකක් කරවීමට හෙතෙම සමත් වුණා. “පාඩම සැමවිටම මහත් සතුටක් ගෙන දුන්නා” කියා වැඩි වියේ සිටින එක් පුතෙක් කියනවා. “අපි වත්තේ සෙල්ලම් කරමින් සිටිනවා නම්, පවුලේ පාඩමට අපිට අඬගහනකොට, අපි විගහට බෝලය පැත්තකට දාලා පාඩමට දුවගෙන ගියා. ඒක සතියේ සතුටින් පිරි හොඳම සැන්දෑවක් වුණා.”

20. දරුවන් හදා වඩා ගැනීමේදී තවදුරටත් සලකා බැලිය යුත්තේ කිනම් ගැටලුවද?

20 ගීතිකාකරු මෙසේ ප්‍රකාශ කළා: “බලව, දරුවෝ [යෙහෝවා] දෙන උරුමයක්ය. කුසේ ඵලයද [ඔහුගෙන්] ලැබෙන විපාකයක්ය.” (ගීතාවලිය 127:3) අපගේ දරුවන්ව පුහුණු කිරීමට කාලය හා වෑයම අවශ්‍ය කරනවා. අප නිසි පරිදි එසේ කරනවා නම්, අපේ දරුවන්ගේ සදාකාල ජීවනයට එය කෙලින්ම දායක වන්ට පිළිවන්. එය මොනතරම් කදිම විපාකයක් වේවිද! එසේ නම්, අපි අපේ දරුවන්ව පුහුණු කරන විට, ඉතා ඕනෑකමින් යෙහෝවාව අනුකරණය කරමු. කෙසේවෙතත්, “දරුවන්ට කෝප නූපදවා, [යෙහෝවාගේ] හික්මවීමෙන්ද අවවාදයෙන්ද [මානසික ශික්ෂණයෙන්ද, NW] ඔවුන් ඇතිකරන්න.” මෙසේ දෙමාපියන්ට වගකීමක් පවරා තිබුණද, එහිලා ඔවුන් සැමවිටම සාර්ථක වේය කියා නිශ්චිතවම කිව නොහැක. (එපීස 6:4) දරුවෙකුට හොඳම සැලකිල්ල දුන්නත්, ඔහු කැරලිකාරයෙකු වී යෙහෝවාට සේවය කිරීම නතර කරන්ට පුළුවන්. එවන් තත්වයකදී කුමක් කරන්නද? ඊළඟ ලිපියේ විෂය එයයි.

[පාදසටහන්වල]

^ 9 ඡේ. මෙම ලිපියේ සහ අනික් ලිපියේ සඳහන් අද්දැකීම් පැමිණෙන්නේ ඔබේ රටට වෙනස් වූ සංස්කෘතීන් ඇති රටවලින් විය හැකියි. කෙසේවෙතත්, ප්‍රතිපත්තිය වටහාගැනීමට උත්සාහ කර, එය ඔබගේ සංස්කෘතික පසුබිමට අදාළ කරගන්න.

ඔබගේ පිළිතුර කුමක්ද?

ද්විතීය කථාව 32:11, 12හි විස්තර කර ඇති පරිදි යෙහෝවාගේ ප්‍රේමය අනුකරණය කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?

• යෙහෝවා ඉශ්‍රායෙලිතයන් සමඟ අදහස් හුවමාරු කරගත් අන්දමින් ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• ලොත් කළ ආයාචනයට යෙහෝවා කන් දුන් ආකාරයෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

යෙසායා 28:24-29න් දරුවන් නිවැරදි කිරීම ගැන ඔබ උගත් පාඩම් මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8, 9වන පිටුවේ පින්තූරය]

යෙහෝවා විසින් සිය සෙනඟව පුහුණු කිරීම මෝසෙස් සමාන කළේ රාජාලියෙක් උගේ පැටවුන්ව පුහුණු කිරීම සමඟයි

[10වන පිටුවේ පින්තූර]

දෙමාපියන් දරුවන් වෙනුවෙන් කාලය වෙන් කළ යුතුය

[12වන පිටුවේ පින්තූරය]

“ඒක සතියේ සතුටින් පිරි හොඳම සැන්දෑවක් වුණා”