Skip to content

පටුනට යන්න

“නාස්තිකාර” පුත්‍රයෙකුට උපකාර කිරීමට ඔබට හැක්කේ කෙසේද?

“නාස්තිකාර” පුත්‍රයෙකුට උපකාර කිරීමට ඔබට හැක්කේ කෙසේද?

“නාස්තිකාර” පුත්‍රයෙකුට උපකාර කිරීමට ඔබට හැක්කේ කෙසේද?

“ප්‍රීති වන්න, මක්නිසාද . . . ඔහු නැති වී සම්බ විය.”—ලූක් 15:32NW.

1, 2. (අ) ඇතැම් යෞවනයන් ක්‍රිස්තියානි සත්‍යයට ප්‍රතික්‍රියා කර ඇත්තේ කෙසේද? (ආ) එවන් තත්වයන්හි සිටින දෙමාපියන්ට සහ දරුවන්ට කෙසේ හැඟෙන්ට පුළුවන්ද?

“මං සත්‍යය දාලා යනවා!” ඉතා වෙහෙස මහන්සියෙන් සත්‍යතාවේ මාර්ගය තුළ තම දරුවෙකුව හදා වඩා ගත් දේවභක්තික දෙමාපියෙකුට මෙවැනි වදන් පෙළක් එම දරුවාගේ මුවින් පිට වෙද්දී කොතරම් වේදනාවක් ඇති වේවිද! තවත් යෞවනයන් තමන්ගේ අදහස් හෙළි නොකරම කෙමෙන් කෙමෙන් “අහක්ව” යනවා. (හෙබ්‍රෙව් 2:1) මෙවැන්නන්ගෙන් වැඩිදෙනෙක්, යේසුස්ගේ උපමාවේ සඳහන් කළ තම උරුමයද රැගෙන පියාගේ නිවසින් පිට වී දුරු රටකට ගොස් ඒ සියල්ල කාබාසිනියා කරගත් නාස්තිකාර පුත්‍රයාට සමාන වෙයි.—ලූක් 15:11-16.

2 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනෙකුට මේ ගැටලුව නොතිබුණද, ඇත්තටම එම ගැටලුව තිබෙන අයගේ ශෝකය කිසිම සැනසිලි වදනකින් මුළුමනින්ම පහ කරන්ට බැහැ. අයාලේ යන එවන් යෞවනයෙක් මුහුණ දෙන අසන්තෝෂය ගැනත් අප මෙහිදී අමතක නොකළ යුතුයි. ඔහුගේ හෘද සාක්ෂියේ ගැඹුරින් ඔහු ඉමහත් වේදනාවක් විඳිනවා විය හැකියි. යේසුස්ගේ උපමාවේ සඳහන් නාස්තිකාර පුත්‍රයා ‘හරි සිහිකල්පනාවට පැමිණියේ’ සිය පියාට ප්‍රීතියක් ගෙන එමිනි. අවසානයේදී එවන් නාස්තිකාර පුත්‍රයන් හට ‘හරි සිහිකල්පනාවට පැමිණෙන්ට’ උපකාර කිරීමට දෙමාපියන්ට හා සභාවේ වෙනත් අයට හැක්කේ කෙසේද?—ලූක් 15:17, නව අනුවාදය.

සමහරුන් සත්‍යය අත්හැර යෑමට හේතු

3. යෞවනයන් ක්‍රිස්තියානි සභාව අත්හැර යෑමට තීරණය කරන ඇතැම් හේතු මොනවාද?

3 ක්‍රිස්තියානි සභාවෙහි යෙහෝවාට සතුටින් සේවය කරන සිය දහස් ගණන් යෞවනයන් සිටිනවා. එසේ නම්, සමහර යෞවනයන් සත්‍යය හැර යන්නේ ඇයි? ලෝකයෙන් ලැබිය හැකි යම් දෙයක් තමන්ට අහිමි වී යනවා කියා ඔවුන්ට හැඟෙනවා වෙන්ට පුළුවන්. (2 තිමෝති 4:10) තවත් අයට හැඟී යා හැකි දෙයක් තමයි, යෙහෝවාගේ ආරක්ෂිත බැටළු ගාලේ සිටින බැටළුවන්ට ඕනෑවට වඩා තහංචි දමා තිබෙන බව. වරද සහිත හෘද සාක්ෂිය, විරුද්ධ ලිංගයේ අය කෙරෙහි තිබෙන දැඩි ඇල්ම හෝ තමන්ගේ සම වයසේ මිතුරන්ගේ පිළිගැනීමට ලක්වීමේ ආශාව වැනි දේවල් යෙහෝවාගේ රැළෙන් ඉවතට ගසාගෙන යෑමට හේතු විය හැකියි. ඒ වගේම දෙමාපියෙකු හෝ වෙනයම් ක්‍රිස්තියානියෙකු සත්‍යය තුළ බොරු මවා පෑමක් කරන බවක් පෙනෙන්ට තිබෙන නිසාද යෞවනයෙක් දෙවිට සේවය කිරීම නතර කරන්ට පිළිවන්.

4. යෞවනයන් බොහෝ විට අයාලේ යෑමට මූලික හේතුව කුමක් විය හැකිද?

4 ළමයෙකුගේ කැරලිකාර ආකල්පය සහ හැසිරීම සාමාන්‍යයෙන් ආත්මික දුර්වලකමේ ලක්ෂණයක්, එවගේම ඔහුගේ හදවතේ තිබෙන දේ ගැන හෙළි කිරීමක්. (හිතෝපදේශ 15:13; මතෙව් 12:34) යෞවනයා අයාලේ යන හේතුව කුමක් හෝ වේවා, බොහෝ විට ගැටලුවේ මුල නම්, ඔහුට “සත්‍යයේ නිවැරදි දැනුම” නොමැති වීමයි. (2 තිමෝති 3:7NW) නිකම්ම යාන්ත්‍රික විදිහට යෙහෝවාට සේවය කරනවා වෙනුවට, දරුවන් ඔහු සමඟ පුද්ගලික සම්බන්ධතාවක් වර්ධනය කරගැනීම අතිවැදගත්. එසේ කිරීමට ඔවුන් හට උදව් වනු ඇත්තේ කුමක්ද?

දෙවිට ළං වන්න

5. යෞවනයෙකුට දෙවි සමඟ පුද්ගලික සම්බන්ධතාවක් වර්ධනය කරගැනීමට නම් අත්‍යවශ්‍ය වන්නේ කුමක්ද?

5 ‘දෙවිට ළං වෙන්න, එවිට ඔහු නුඹලාට ළං වන්නේය’ කියා ශ්‍රාවක යාකොබ් පැවසුවා. (යාකොබ් 4:8) එසේ ළංවීමට නම්, දේවවචනය උදෙසා ඇල්මක් ඇති කරගැනීමට යෞවනයෙකුට උපකාර කළ යුතුයි. (ගීතාවලිය 34:8) මුලින්ම, ඔහුට “කිරි” එනම් බයිබලයේ මූලික ඉගැන්වීම් අවශ්‍යයි. එහෙත්, ඔහු දේවවචනය තුළ ඉමහත් ප්‍රීතියක් ලබමින් “දැඩි ආහාර” එනම් ගැඹුරු ආත්මික තොරතුරු සඳහා ඇල්මක් වර්ධනය කරගතහොත්, ඔහු ඉක්මනින්ම ආත්මික මේරූ පුද්ගලයෙක් වන බවට කිසිම සැකයක් නැහැ. (හෙබ්‍රෙව් 5:11-14; ගීතාවලිය 1:2) මේ ලෝකයේ රටාවට හැඩගැසී සිටි එක් යෞවනයෙක් ආත්මික සාරධර්ම අගය කිරීමට පටන්ගත්තා. මෙලෙස ජීවිතය වෙනස් කරගැනීමට ඔහුට උදව් වූයේ කුමක්ද? මුළු බයිබලයම කියවන ලෙසට ලැබූ යෝජනාවකට ප්‍රතිචාරය දක්වමින් නිතිපතා ක්‍රමයකට බයිබලය කියෙව්වා. ඔව්, යෙහෝවා සමඟ දැඩි බැඳීමක් වර්ධනය කරගැනීමට නම්, දේවවචනය නිතිපතා කියවීම අත්‍යවශ්‍යයි.

6, 7. දේවවචනය කෙරෙහි දැඩි ඇල්මක් වර්ධනය කරගැනීමට තම දරුවන්ට උපකාර කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?

6 දේවවචනය කෙරෙහි දැඩි රුචියක් වඩවාගැනීමට තම දරුවන්ට උපකාර කිරීම දෙමාපියන්ට කොතරම් වැදගත්ද! තම පවුලේ නිතිපතා බයිබල් පාඩමට සහභාගි වුවද, එක් නහඹර වියේ තරුණියක් බාලාපචාරීන්ව ඇසුරු කළා. තම පවුලේ පාඩම ගැන ඇය මතක් කළේ මෙසේයි: “මගේ තාත්තා ප්‍රශ්න අහනකොට, මං ඔහුගේ මුහුණ දිහාවත් බලන්නේ නැතුව උත්තර ඔහේ කියවගෙන ගියා.” පවුලේ පාඩමේදී නිකම්ම තොරතුරු පියවනවා වෙනුවට, ඥානවන්ත දෙමාපියන් ඉගැන්වීමේ කලාව යොදාගන්නවා. (2 තිමෝති 4:2) පාඩමෙන් යම් සතුටක් ලැබීමට නම්, ඉගෙනගන්නා දේවල් තමාගේ ජීවිතයට සම්බන්ධ බව ඔහුට දැනිය යුතුයි. හද කලතන ප්‍රශ්න අසා තමාගේම අදහස් එළියට දැමීමට ඔහුට උනන්දු නොකරන්නේ ඇයි? සාකච්ඡාවට භාජන වී ඇති තොරතුරු ප්‍රායෝගිකව අදාළ කරගැනීමට දරුවාව දිරිගන්වන්න. *

7 තව දෙයක් තමයි, ශුද්ධ ලියවිලි සම්බන්ධ සාකච්ඡාවල් ප්‍රාණවත් කිරීම. සුදුසු අවස්ථාවල, බයිබල් සිද්ධීන් සහ නාට්‍යයන් දරුවන් ලවා රඟ දක්වන්න. කියවන සිද්ධිය සිදු වූ ස්ථානය සහ එම රටේ විවිධ අංග සිතින් මවාගැනීමට ඔවුන්ට උදව් කරන්න. සිතියම් සහ වගු මේ සඳහා උපකාරවත් විය හැකියි. ඔව්, ටිකක් මනසින් දේවල් මවාගැනීමට උදව් කිරීමෙන් පවුලේ පාඩම රසවත් වගේම ජීවමාන එකක් කළ හැකියි. දෙමාපියන් යෙහෝවා සමඟ ඇති තමන්ගේම සම්බන්ධය ගැනත් පරීක්ෂා කර බැලීම වටී. ඔවුන් යෙහෝවාට කිට්ටු වන විට, තම දරුවන්ටද එසේම කිරීමට උදව් වීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා ඇති.—ද්විතීය කථාව 6:5-7.

8. දෙවිට ළංවීමට යමෙකුට යාච්ඤාව උපකාරවත් වන්නේ කෙසේද?

8 දෙවිට ළංවීමට යමෙකුට යාච්ඤාවද උදව් වෙයි. ක්‍රිස්තියානි ජීවන රටාව හා එම විශ්වාසයන් අනුගමනය නොකළාවූ මිතුරු මිතුරියන් ඇසුරු කළ නහඹර වියේ එක් ක්‍රිස්තියානි යෞවනියකට හැඟුණේ තමන් අතරමං වී සිටිනවා කියායි. (යාකොබ් 4:4) ඇය ඒ වෙනුවෙන් කළේ කුමක්ද? “මගේ ජීවිතයේ පළමු වතාවට මට හැඟුණ විදිහ ගැන මම අවංකවම යෙහෝවාට යාච්ඤා කළා.” අන්තිමේදී ක්‍රිස්තියානි සභාව තුළ දේවල් පුද්ගලිකව පැවසිය හැකි කෙනෙක් සොයාගැනීමට හැකි වූ අවස්ථාවේ ඇයගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණු බව ඇය නිගමනය කළා. යෙහෝවා තමන්ට මඟ පෙන්වමින් සිටිනවායයි හැඟුණු ඇය, දෙවි සමඟ පුද්ගලික සම්බන්ධයක් ගොඩනඟාගන්න පටන්ගත්තා. තම දරුවන්ට උපකාර කිරීමට දෙමාපියන්ට හැකි තවත් ආකාරයක් තමයි, සිය යාච්ඤාවල ගුණාත්මකබව දියුණු කිරීම. පවුලක් හැටියට යාච්ඤා කරද්දී, දෙමාපියන්ට හැකියි තම හෘද වගුරුවා තමන්ගේ හැඟීම් සහ තමන්ගේ ගැටලු ගැන දෙවිට පවසන්න. එවිට යෙහෝවා සමඟ තම දෙමාපියන්ට ඇති පුද්ගලික සම්බන්ධය දරුවන්ට දැනෙයි.

ඉවසන්න නමුත් ස්ථිරව සිටින්න

9, 10. අයාලේ ගිය ඉශ්‍රායෙල්වරුන් සමඟ බොහෝ ඉවසිලි-වන්තකමින් කටයුතු කිරීමෙන් යෙහෝවා ආදර්ශයක් තැබුවේ කෙසේද?

9 දරුවෙකු අහක්ව යෑමට පටන්ගන්නා විට, යම් ශුද්ධ ලියවිලි කරුණක් ගැන තමන් සමඟ තනිවම සාකච්ඡා කිරීමට දෙමාපියන් ගන්නා ඕනෑම වෑයමකට ඔහු එරෙහි විය හැකියි. එවන් අසීරු තත්වයකදී දෙමාපියන්ට කුමක් කළ හැකිද? ඉපැරණි ඉශ්‍රායෙල් සම්බන්ධව යෙහෝවා කළ දේ සලකා බලන්න. මෙම “තද කුළල්” ඇති ඉශ්‍රායෙලිතයන් සිය මාර්ගයෙන් ඉවතට යෑමට කලින්, යෙහෝවා ඔවුන් සමඟ අවුරුදු 900කටත් වඩා වැඩි කාලයක් ඉවසීමෙන් යුතුව කටයුතු කළා. (නික්මයාම 34:9; 2 ලේකම් 36:17-21; රෝම 10:21) ඔවුන් යෙහෝවාව යළි යළිත් ‘පරීක්ෂා කළත්’ ඔහු ඔවුන් කෙරෙහි ‘දයාව පෙන්නුවා [NW].’ ‘ඔහු නොයෙක් විට තමන්ගේ කෝපය ඉවත හරවමින්, තමන්ගේ මුළු උදහස ඇවිස්සෙන්ට දුන්නේ නැහැ.’ (ගීතාවලිය 78:38-42) දෙවි ඔවුන් සමඟ කටයුතු කරද්දී කිසිදු දෝෂයක් ඔහුගේ පැත්තෙන් සිදු වූයේ නැහැ. තම දරුවන්ට උපකාර කිරීමට තමන් ගන්නා උත්සාහයන්ට දරුවන් ඉක්මනින් ප්‍රතිචාරය නොදක්වන විට, ප්‍රේමනීය දෙමාපියන් යෙහෝවාව අනුකරණය කරනවා.

10 බොහෝ-ඉවසිලිවන්තකම යන්නෙන් අදහස් කරන්නේ “බොහෝ කාලයක් පුරා දුකක් ඉවසගෙන සිටිනවා” යන්න නොවෙයි; ඉන් ඇඟවෙන්නේ, වියවුල් වී ඇති සබඳතාවක් දියුණු කිරීමේ බලාපොරොත්තුව අත් නොහැරීමයි. බොහෝ-ඉවසිලිවන්තකම ගැන යෙහෝවා ආදර්ශයක් තබා තිබෙනවා. එම ඉවසීම කොතරම්ද කියනවා නම්, තම පණිවුඩකරුවන්ව ‘අලුයම්හි නැගිටුවා’ ඒ කියන්නේ ‘යළි යළිත්’ ඉශ්‍රායෙලිතයන් වෙතට යැව්වා. “ඔව්හු [දෙවිගේ] පණිවිඩකාරයන්ට සරදම්කර, [ඔහුගේ] වචන සුළුකර, [ඔහුගේ] ප්‍රොපේතවරුන්ට නින්දාකළෝය.” එහෙත්, යෙහෝවා ඔවුන් කෙරෙහි ‘අනුකම්පා’ කළා. (2 ලේකම් 36:15, 16) ‘එනම්, එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද නුඹලාගේ ක්‍රියාවල නපුරුකමෙන්ද හැරෙන්න’ කියා ඔහු ඉශ්‍රායෙලිතයන්ගෙන් අයැද සිටියා. (යෙරෙමියා 25:4, 5) යෙහෝවා තම ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති අතහැර දැමුවේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට අවවාද කළේ දෙවි සහ ඔහුගේ මාර්ග වෙතට ‘නැවත හැරෙන’ ලෙසටයි.

11. අයාලේ යන දරුවෙකු සමඟ බොහෝ-ඉවසිලිවන්තකමින් කටයුතු කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?

11 ඉවතට ගසාගෙන යන දරුවෙකු ගැන ඉක්මනින්ම බලාපොරොත්තු අත්හැර නොදැමීමට නම් දෙමාපියන්ට යෙහෝවාව අනුකරණය කිරීමට සිදු වෙනවා. එමනිසා බලාපොරොත්තු නැති කර නොගෙන, අදහස් හුවමාරුව විවෘතව තබාගෙන සබඳතා යළි පිහිටුවාගැනීමට පියවර ගන්න ඔවුන්ට පුළුවන්. ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට ඇලී සිටින අතරේදී, සත්‍යතාවේ මාර්ගයට නැවත පැමිණීමට ‘යළි යළිත්’ ආයාචනා කිරීමට ඔවුන්ට පිළිවන්.

බාල වයස්කාර දරුවෙකුව සභා ඇසුරෙන් කපාහැරිය විට

12. සභා ඇසුරෙන් කපාහැර ඇති මුත් තවමත් තමන් සමඟ ජීවත් වන බාල වයස්කාර දරුවෙකු කෙරෙහි දෙමාපියන්ට ඇති වගකීම කුමක්ද?

12 තම දෙමාපියන් සමඟ ජීවත් වන බාල වයස්කාර දරුවෙකු බරපතළ වරදකට හසු වී ඔහු දක්වන පසුතැවිලි නොවන ආකල්පය නිසා ඔහුව සභා ඇසුරෙන් කපාහරිනු ලැබුවහොත් තත්වය කුමක්ද? දරුවා තවමත් සිටින්නේ දෙමාපියන් සමඟ බැවින් දේවවචනයට අනුගතව ඉගැන්වීමටත් හික්මවීමටත් තවමත් වගකීම පැවරී තිබෙන්නේ ඔවුන්ටයි. මෙය කළ හැක්කේ කෙසේද?—හිතෝපදේශ 6:20-22; 29:17.

13. වැරදි කරන තම දරුවන්ගේ හදවත් කරා සමීප වෙන්ට දෙමාපියන්ට හැක්කේ කෙසේද?

13 පෞද්ගලිකව කරන බයිබල් පාඩමේදී එවන් ඉගැන්වීමක් හා හික්මවීමක් දිය හැකිය. ඇත්තෙන්ම හොඳම දෙය නම් එයයි. දරුවෙකුගේ මුරණ්ඩු ආකල්පයෙන් ඔබ්බට බලා ඔහුගේ හදවත කූරු ගා එහි මුළුගැන්වී ඇති දේ කුමක්දැයි බැලිය යුතුයි. ඔහුගේ ආත්මික අසනීපයට තුඩු දුන් හේතු සහ සිද්ධීන් සමුදාය කුමක්ද? (හිතෝපදේශ 20:5) ඔහුගේ හදවතේ මුදු මොළොක් කොටස් ස්පර්ශ කළ හැකිද? වඩාත් බලපෑමෙන් යුතුව යොදාගත හැකි ශුද්ධ ලියවිලි පද මොනවාද? ප්‍රේරිත පාවුල් මෙසේ සහතික කරනවා: “[දෙවිගේ] වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.” (හෙබ්‍රෙව් 4:12) ඔව්, නැවත වැරදි කරන්න එපා කියා තම දරුවන්ට නිකම්ම පවසනවාට වඩා යමක් දෙමාපියන් මෙහිදී කළ යුතුයි. සුව කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කොට එය දිගටම පෝෂණය කිරීමට ඔවුන්ට හැකියි.

14. වැරදි කළ යෞවනයෙකු යෙහෝවා සමඟ ඔහුගේ සම්බන්ධතාවය යළිත් පිහිටුවාගැනීමට ගත යුතු පළමු පියවර කුමක්ද? එම පියවර ගැනීමට උපකාර කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?

14 වැරදි කළ යෞවනයා යෙහෝවා සමඟ ඔහුගේ සම්බන්ධතාවය යළි ගොඩනැංවිය යුතුයි. ඔහු ගත යුතු පළමු පියවර නම්, ‘පශ්චාත්තාපව හැරීමයි.’ (ක්‍රියා 3:19, 20; යෙසායා 55:6, 7) නිවසේ සිටින පහසුවෙන් අවනත නොවන මෙම දරුවාට පසුතැවිලි වීමට උපකාර කිරීමේදී, දෙමාපියන් ‘ඉවසිලිවන්තව හා මෘදුකමින්’ තරවටු කළ යුතුයි. (2 තිමෝති 2:24-26) ඔහුට “තරවටු” කළ යුත්තේ බයිබල් අර්ථයට අනුවයි. “තරවටු” යන්නට යොදා ඇති ග්‍රීක් වචනය “ඒත්තුගන්වනසුලු සාක්ෂි” ලෙසින්ද පරිවර්තනය කළ හැකියි. (එළිදරව් 3:19; යොහන් 16:8) එබැවින් දරුවාට ඔහුගේ පාපතර මාර්ගයේ ඇති බරපතළකම ගැන පැහැදිලි ලෙස ඒත්තු යන පරිදි සාක්ෂි පෙන්වා දීමත් තරවටුවට ඇතුළත් වෙනවා. එය කිරීම පහසු නැති බව පිළිගන්ට පුළුවන්. හැකි සෑම අවස්ථාවකදීම තම දරුවාට කරුණු ඒත්තුගැන්වීම සඳහා ශුද්ධ ලියවිලි සුදුසු ලෙස යොදාගෙන ඔහුගේ හදවතට ආයාචනා කිරීමට දෙමාපියන්ට හැකියි. “නපුරට ද්වේෂකර, යහපතට ප්‍රේම” කිරීමේ අවශ්‍යතාව තේරුම්ගැනීමට ඔහුට උපකාර කිරීමට ඔවුන් උත්සාහ කළ යුතුයි. (ආමොස් 5:15) මෙසේ කිරීමෙන් ඔහුට ‘සිහිකල්පනාව ඇවිත් යක්ෂයාගේ . . . උගුලෙන් ඔහු මිදෙන්ට’ පුළුවන්.

15. වැරදි කළ යමෙකුට යෙහෝවා සමඟ තිබූ සම්බන්ධය යළි පිහිටුවාගැනීම සඳහා යාච්ඤාවෙන් ඉටු වන දේ විස්තර කළ හැක්කේ කෙසේද?

15 යමෙකුට යෙහෝවා සමඟ තිබූ තම සම්බන්ධය යළි පිහිටුවාගැනීමට නම් යාච්ඤාව අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. ඇත්තෙන්ම, කලක් ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කළාවූ යමෙක් කිසිම පසුතැවිල්ලකින් තොරව හිතාමතාම පව් කරන බව පැහැදිලිවම දකින්ට ලැබෙනවා වන්ට පුළුවන්. ඔහු ගැන කිසිවෙකු විසින් ‘ඉල්ලීමක්’ නොකළ යුතුයි. (1 යොහන් 5:16, 17; යෙරෙමියා 7:16-20; හෙබ්‍රෙව් 10:26, 27) එහෙත්, උද්ගත වී තිබෙන තත්වය සමඟ කටයුතු කිරීමට ප්‍රඥාව දෙන මෙන් දෙමාපියන්ට ඉල්ලන්ට පුළුවන්. (යාකොබ් 1:5) සභා ඇසුරෙන් කපාහරිනු ලැබූ තැනැත්තා තමා පසුතැවිලි වන බවට සාක්ෂි පෙනෙන්ට සලස්වනවා කියා සිතමු. නමුත් ඔහුට හෝ ඇයට “දෙවි සමඟ කතා කිරීමේ නිදහස” නැත්නම්, තම දරුවාට සමාව දීමට යම් පදනමක් තිබේ නම් එසේ කරන මෙන් දෙමාපියන්ට දෙවිගෙන් අයැද සිටිය හැකියි. එවිට දෙවිගේ කැමැත්ත සිදු වෙනවා ඇත. (1 යොහන් 3:21NW) එවැනි යාච්ඤාවන්ට පිළිතුරු ලැබීම යෙහෝවාව දයානුකම්පිත දෙවි කෙනෙකු ලෙස දැකීමට දරුවාට ප්‍රබල හේතුවක් වෙනවා නොඅනුමානය. *නික්මයාම 34:6, 7; යාකොබ් 5:16.

16. සභා ඇසුරින් කපාහැර ඇති බාල වයස්කාරයන්ගේ පවුලේ සාමාජිකයන්ට සහනය ගෙන දීමට අපට හැක්කේ කෙසේද?

16 බව්තීස්ම ලත් යෞවනයෙක් සභා ඇසුරෙන් කපාහැර සිටී නම්, සභා සාමාජිකයන් ඔහු සමඟ ‘සමාගම් නොපැවැත්විය’ යුතුයි. (1 කොරින්ති 5:11; 2 යොහන් 10, 11) මෙය ඔහුට ‘සිහිකල්පනාවට පැමිණ’ යළිත් දෙවිගේ ආරක්ෂිත ගාලට පැමිණීමට මහෝපකාරි වන්ට පුළුවන්. (ලූක් 15:17, න. අ.) ඔහු යළිත් වරක් දෙවිගේ සංවිධානයට පැමිණියත් නැතත්, සභා ඇසුරෙන් කපාහරිනු ලැබූ තැනැත්තාගේ පවුලේ අයව දිරිගැන්වීමට සභා සාමාජිකයන්ට හැකියි. ඔවුන් හට “සහෝදර ස්නේහය” පෙන්වා “මුදු මොළොක් දයානුකම්පාව [NW]” දැක්වීමට අවස්ථාවල් පාදාගත හැකියි.—1 පේතෘස් 3:8, 9.

අන්‍යයන්ට උපකාර කළ හැකි අන්දම

17. ආත්මිකව අයාලේ යමින් සිටින දරුවෙකුට උදව් කිරීමේදී ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් මතකයේ තබාගත යුත්තේ කුමක්ද?

17 ක්‍රිස්තියානි සභාවේ ඇසුරෙන් කපාහැර නැති නමුත් ඇදහිල්ලේ දුර්වලව ඇති යෞවනයෙකු ගැන කුමක් කිව හැකිද? “මෙසේ එක අවයවයක් වේදනා විඳී නම්, ඒ සමඟ සියලු අවයවයෝම වේදනා විඳිති” යයි ප්‍රේරිත පාවුල් ලීවා. (1 කොරින්ති 12:26) එවන් යෞවනයන් කෙරෙහි සැබෑ සැලකිල්ලක් දැක්වීමට වෙනත් අයට හැකියි. මෙහිදී තරමක් කල්පනාකාරි වීම හොඳයි. මන්ද ආත්මිකව අසනීපව සිටින යෞවනයා අනික් යෞවනයන්ට නරක බලපෑමක් කරන්ට පුළුවන්. (ගලාති 5:7-9) එක් සභාවක වැඩිහිටියන් කිහිපදෙනෙක් සභාවේ ආත්මිකව දුර්වල වී ඇති යෞවනයන් පිරිසකට ජනප්‍රිය සංගීතය වාදනය වන සාදයකට ආරාධනා කළා. ආරාධනා ලැබූ යෞවනයන් සැණෙකින් එය භාරගෙන එම සාදය සතුටින් භුක්ති වින්දද, ඔවුන් එකිනෙකා කෙරෙහි එයින් ඇති කළ බලපෑමේ ප්‍රතිඵලයක් හැටියට අවසානයේදී සභාව සමඟ ඔවුන්ට තිබූ සම්බන්ධයෙන් ඔවුන් ඉවත්ව ගියා. (1 කොරින්ති 15:33; යූද් 22, 23) ආත්මිකව රෝගාතුර වී සිටින යෞවනයෙකුව සුව කළ හැක්කේ කිසිම ආත්මික මඟ පෙන්වීමක් නැති ප්‍රිය සාදවලින් නොව, නමුත් ආත්මික දේවල් කෙරෙහි ඔහු හෝ ඇය තුළ රුචියක් නංවාලීමට උදව් වන ඇසුර තුළිනුයි. *

18. යේසුස්ගේ උපමාවේ සඳහන් නාස්තිකාර පුත්‍රයාගේ පියා දැරූ ආකල්පයම දැරීමට අපට හැක්කේ කෙසේද?

18 සභාව හැර ගිය යෞවනයෙකු රාජ්‍ය ශාලාවේ රැස්වීමකට හෝ එක්රැස්වීමකට පැමිණේ නම්, ඔහුට ඇති වන හැඟීම් ගැන සිතා බලන්න. යේසුස්ගේ උපමාවේ සඳහන් නාස්තිකාර පුත්‍රයාගේ පියා තම පුත්‍රයාව ඉතා සාදරයෙන් පිළිගත්තා. එසේ නම් එම ආකල්පයම අපත් දැරිය යුතු නැද්ද? (ලූක් 15:18-20, 25-32) සභාව හැර ගිය එක් නහඹරයෙක් පසු කලකදී දිස්ත්‍රික් සමුළුවකට සහභාගි වීමෙන් අනතුරුව මෙසේ පැවසුවා. “හැමෝම මාව ගණන් ගන්නේ නැතුව ඉඳියි කියලයි මං හිතුවේ. නමුත් සහෝදර සහෝදරියන් මට ළං වෙලා මාව සාදරයෙන් පිළිගත්තා. මේක මගේ හිතට තදින්ම කාවැදුණා.” යළිත් බයිබලය පාඩම් කරන්ට පටන්ගත් ඔහු, පසුව බව්තීස්ම වුණා.

අතහැර දමන්න එපා

19, 20. නාස්තිකාර දරුවෙකු පිළිබඳ ඒකාන්ත ආකල්පයක් ඔබ හට දිගටම තිබිය යුත්තේ ඇයි?

19 “නාස්තිකාර” පුත්‍රයෙකුට ‘හරි සිහිකල්පනාවට පැමිණෙන්ට’ උපකාර කිරීමට ඉවසීම අවශ්‍ය වෙනවා වගේම එසේ කිරීම ඔහුගේ දෙමාපියන්ට සහ අන්‍යයන්ට අභියෝගයක් වීමට පුළුවන්. එහෙත් අතහැර දමන්න නම් එපා. “ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට [යෙහෝවා] තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද [නොවන්නේය]; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට ඔහු නොකැමතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් [ඉවසන්නේය].” (2 පේතෘස් 3:9) යෙහෝවාට වුවමනා වන්නේ මිනිසුන් පසුතැවිලි වී ජීවත් වෙනවා දකින්නයි. බයිබලය ඒ ගැන අපට සහතිකවම කියා සිටිනවා. ඇත්තවශයෙන්ම, මිනිසුන් සමඟ සමාදානය ඇති කරගැනීමට මූලික පියවර රැගෙන තිබෙන්නෙත් ඔහුමයි. (2 කොරින්ති 5:18, 19) ඔහු ඉවසා ඇති නිසා මිලියන ගණනකට තමන්ගේ හරි සිහිකල්පනාවට එන්ට පුළුවන් වී තිබෙනවා.—යෙසායා 2:2, 3.

20 එසේ නම්, තමන්ගේ නාස්තිකාර බාලවයස්කාර දරුවන්ට ඔවුන්ගේ හරි සිහිකල්පනාවට පැමිණීම සඳහා ශුද්ධ ලියවිල්ලට අනුව හැකි සෑම ක්‍රමයක්ම දෙමාපියන් යොදාගත යුතු නැද්ද? යෙහෝවාව අනුකරණය කරමින්, එවැන්නවුන් කෙරෙහි බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න. යෙහෝවා වෙතට නැවත ඒම සඳහා ඔබේ දරුවාට උපකාර කිරීමට ඒකාන්ත පියවර ගන්න. බයිබල් ප්‍රතිපත්තිවලට ඇලී සිටින්න. ප්‍රේමය, යුක්තිය සහ ප්‍රඥාව යන යෙහෝවාගේ ගුණාංග පිළිබිඹු කිරීමට උත්සාහ කරන්න. උපකාර පතා යෙහෝවාට යාච්ඤා කරන්න. නැවත හැරී ඒම සඳහා යෙහෝවා කර ඇති ප්‍රේමනීය ආරාධනයට දැඩි සිත් තිබූ කැරලිකාර බොහෝදෙනෙක් ප්‍රතිචාරය දක්වා තිබෙනවාක් මෙන්, ඔබගේ නාස්තිකාර පුත්‍රයා හෝ දියණියත් දෙවිගේ ආරක්ෂිත ගාලට යළිත් පැමිණෙන්ට පුළුවන්.—ලූක් 15:6, 7.

[පාදසටහන්වල]

^ 6 ඡේ. බලපෑමෙන් යුතුව දරුවන්ට උගන්වන අන්දම ගැන තවදුරටත් යෝජනා දැනගැනීම සඳහා 1999 ජූලි 1 මුරටැඹ කලාපයේ 13-17 දක්වා පිටු බලන්න.

^ 15 ඡේ. සභා ඇසුරෙන් කපාහරින ලද බාල වයස්කාරයෙකු වෙනුවෙන් සභා රැස්වීම්වලදී ප්‍රසිද්ධියේ යාච්ඤා ඉදිරිපත් කරන්නේ නැහැ. ඊට හේතුවක් නම්, සභා ඇසුරෙන් කපාහරින ලද තැනැත්තාගේ තත්වය ගැන අනෙක් අය තොරතුරු දන්නේ නැති නිසයි.—1979 ඔක්තෝබර් 15 මුරටැඹ කලාපයේ (ඉංග්‍රීසියෙන්) 31 පිටුව බලන්න.

^ 17 ඡේ. විශේෂ යෝජනා සඳහා 1972 ජූනි 22 පිබිදෙව්! කලාපයේ 13-16 දක්වා පිටුද, 1996 සැප්තැම්බර් 22 කලාපයේ 21-3 දක්වා පිටුද බලන්න. (සිංහලෙන් නැත.)

ඔබට මතකද?

• යෞවනයන් සභාව අත්හැර යන අවස්ථාවලදී, ගැටලුවේ මූලික හේතුව කුමක් විය හැකිද?

• යෙහෝවා සමඟ පුද්ගලික සම්බන්ධතාවක් වර්ධනය කරගැනීමට යෞවනයන්ට උපකාර කළ හැක්කේ කෙසේද?

• නාස්තිකාර දරුවෙකුට උපකාර කිරීමේදී බොහෝ ඉවසිලිවන්තකම පෙන්වමින්, හරි දේ කෙරෙහි ස්ථිරව සිටීම දෙමාපියන්ට අවශ්‍ය වනුයේ මන්ද?

• නාස්තිකාර දරුවෙකුට නැවත හැරී ඒමට උදව් වීමට සභාවේ සාමාජිකයන්ට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

යෙහෝවා සමඟ කිට්ටු සබඳතාවක් වර්ධනය කිරීමට දෙවිගේ වචනය කියවීම අතිවැදගත්ය

[15වන පිටුවේ පින්තූරය]

තම දෙමාපියන් සහ යෙහෝවා අතර තිබෙන පෞද්ගලික බැඳීම දරුවන්ට දැනෙන්නේ දෙමාපියන් කරන හෘදයාංගම යාච්ඤාවෙන්ය

[17වන පිටුවේ පින්තූරය]

නාස්තිකාර පුත්‍රයෙක් ඔහුගේ ‘හරි සිහිකල්පනාවට පැමිණි කල’ ඔහුව සාදරයෙන් පිළිගන්න

[18වන පිටුවේ පින්තූරය]

යෙහෝවා වෙතට නැවත හැරී ඒමට ඔබගේ දරුවාට උපකාර කිරීම සඳහා ඒකාන්ත පියවර ගන්න