Skip to content

පටුනට යන්න

පක්ෂපාතව සිටින්නැයි කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

පක්ෂපාතව සිටින්නැයි කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

පක්ෂපාතව සිටින්නැයි කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

පොදු යුගයට පෙර දෙවන සියවසේ සිටි යුදෙව් හසිඩිම්වරුන් සිතුවේ තමන් සැබෑවටම පක්ෂපාත සෙනඟක් කියාය. ඔවුන්ගේ නම රැගෙන තිබෙන්නේ “පක්ෂපාත” යන්නට යොදන ඛ·සිධ්ʹ යන හෙබ්‍රෙව් වචනයෙනි. එය පැමිණෙන්නේ ඛීʹසෙධ් යන නාම පදයෙනි. “ප්‍රේමනීය කරුණාව,” “පක්ෂපාතී ප්‍රේමය,” “කරුණාවන්තකම,” “යහපත්කම” සහ “දයාවන්තකම” ලෙස බොහෝවිට පරිවර්තනය කර ඇත්තේ එම පදයයි. ඛීʹසෙධ් යන්නෙන් අදහස් කරන්නේ “ක්‍රියාකාරි, සමාජයට ප්‍රිය, පරාජය නොවනසුලු ගුණාංගයක් [බවත්] එය මිනිස් හදේ තිබෙන ආකල්පයක්ම නොවන නමුදු එමගින් ජනිත වන ක්‍රියාවක්යයි” තියලොජිකල් ඩික්ෂනරි ඔෆ් දි ඕල්ඩ් ටෙස්ටමන්ට් පවසයි. “පක්ෂපාතකම යනු ජීවිතය රැක දෙන හෝ ජීවිතයට පණ පොවන ක්‍රියාවකි. යමෙකු විඳින අභාග්‍යයකදී හෝ ආපදාවකදී ඒ වෙනුවෙන් මැදිහත් වීමයි පක්ෂපාතකම කියන්නේ. මිත්‍රත්වය ක්‍රියාවෙන් පෙන්වීමද මෙයින් අදහස් වේ.”

බයිබලයේ සඳහන් මෙම හෙබ්‍රෙව් වචනයෙන් ගම්‍ය වන අදහස බොහෝ භාෂාවල එක වචනයකින් විස්තර කිරීමට හැකි වී නැත. ඒ කෙසේවෙතත්, බයිබලයේ දෘෂ්ටි කෝණයෙන් බලන කල පක්ෂපාතකම කීමේදී විශ්වාසවන්තව යම් බැඳීමකට අවනත වනවාට වඩා වැඩි දෙයක් අදහස් කරයි. ස්නේහයෙන් බැඳී, අනිත් අයගේ යහපත උදෙසා ඒකාන්ත පියවර ගැනීම යන අදහසද මෙයින් පැනනැඟේ. සැබෑ පක්ෂපාතකම යනු කුමක්දැයි හොඳහැටි වටහාගැනීමට වුවමනා නම්, ආබ්‍රහම්, මෝසෙස්, දාවිත්, ඉශ්‍රායෙල් ජාතිය සහ පොදුවේ මනුෂ්‍යවර්ගයාට යෙහෝවා එය පෙන්වා ඇති ආකාරය සැලකිල්ලට ගන්න.

යෙහෝවා පක්ෂපාතකම පෙන්වයි

යෙහෝවා තම මිතුරා වූ ආබ්‍රහම්ට මෙසේ පැවසීය. ‘නුඹේ පලිහ මමය.’ (උත්පත්ති 15:1; යෙසායා 41:8) මෙය නිකම්ම නිකම් වචන පෙළක් නොවේ. යෙහෝවා ආබ්‍රහම්වත් ඔහුගේ පවුලේ උදවියවත් ඵාරාවෝ සහ අබිමෙලෙක්ගේ අතින් සුරැකිව ගළවාගත්තේය. ලොත්ව මිත්‍ර පාක්ෂික රජවරුන් සිව්දෙනෙකුගෙන් බේරාගැනීමට යෙහෝවා ආබ්‍රහම්ට උදව් කළේය. අනාගතයේදී පොරොන්දු වංශය ඉපදවීමට හැකි වන පිණිස යෙහෝවා ආබ්‍රහම්ට වයස අවුරුදු 100ක් සහ සාරාට වයස 90ක්ව තිබියදී ඔවුන්ගේ ප්‍රජනන ඉන්ද්‍රීයයන් යළි පණගැන්වීය. යෙහෝවා නිතර නිතර දර්ශන, සිහින මෙන්ම දේවදූතයන් මාර්ගයෙන් ආබ්‍රහම් හා අදහස් හුවමාරු කරගත්තේය. ඇත්තෙන්ම කියනවා නම්, ආබ්‍රහම් ජීවත්ව සිටියදීත් ඔහු මැරී බොහෝ කල් ගිය පසුත් යෙහෝවා ඔහුට දැක්වූ පක්ෂපාතකම එසේම රැකගත්තේය. එතැන් සිට ගෙවුණු සියවස් ගණනාව පුරා ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් වන ඉශ්‍රායෙල් ජාතියේ කැරලිකාරකම හමුවේ වුවද ඔහු තම වචනය වචනය ලෙසම තබාගත්තේය. ආබ්‍රහම් සමඟ යෙහෝවාට තිබූ සම්බන්ධය අව්‍යාජ පක්ෂපාතකමේ හැඩරුව මනාව කියාපායි. සැබවින්ම පක්ෂපාතකම යනු ක්‍රියාවට පෙරළුණු ආදරයයි.—උත්පත්ති 12 සිට 25 දක්වා පරිච්ඡේද.

“මනුෂ්‍යයෙකු තමාගේ මිත්‍රයාට මුහුණට මුහුණ ලා කතාකරන්නාක්මෙන් යෙහෝවා මෝසෙස් සමඟ කතා” කළේයැයි කියා තිබේ. (නික්මයාම 33:11) යේසුස් ක්‍රිස්තුස් මෙලොවට පැමිණීමට පෙර සිටි වෙන කිසිම අනාගතවක්තෘවරයෙකුට වඩා යෙහෝවා සමඟ සමීප සම්බන්ධතාවක් මෝසෙස්ට තිබිණි. යෙහෝවා මෝසෙස් කෙරෙහි වූ තම පක්ෂපාතකම විදහාපෑවේ කෙසේද?

වයස අවුරුදු 40දී බලවත් මෙන්ම හැකියාවෙන් හෙබි මිනිසෙකුව සිටි මෝසෙස් මිසරයේ වහල්භාවයෙන් තම සෙනඟව මුදවාගැනීම තමන් කරපිටට ගන්න උත්සාහ කළේ තමන් කෙරෙහි අධිවිශ්වාසයකින් යුතුවයි. නමුත් ඒ වන විට ඒ සඳහා නියමිත කාලය පැමිණ තිබුණේ නැත. මේ හේතුවෙන් පණ බේරාගැනීම සඳහා පැන යන්ට ඔහුට සිදු විය. ඔහු මිදියන් දේශයේ දශක 4ක් පුරා බැටළුවන් බලාගැනීමේ නිරත විය. (ක්‍රියා 7:23-30) එහෙත්, යෙහෝවා ඔහුව අත්හැරියේ නැත. නියම කාලය පැමිණි විට ඉශ්‍රායෙල්වරුන්ව මිසරයෙන් මුදාගැනීම සඳහා යෙහෝවා ඔහුව පාවිච්චි කළේය.

ජනාදරයට පාත්‍රව සිටි ඉශ්‍රායෙල්හි දෙවන රජ වූ දාවිත්ටද යෙහෝවා එලෙසම පක්ෂපාතකම දැක්වීය. ඒ වන විටත් තරුණයෙකුව සිටි දාවිත් ගැන අනාගතවක්තෘ සාමුවෙල්ට යෙහෝවා මෙසේ කීවේය. “නැගිට මොහු ආලේපකරන්න, මොහු ඒ තැනැත්තාය.” එතැන් සිට අනාගතික රජ ලෙස මේරුභාවය කරා ළඟා වන දාවිත්ව යෙහෝවා පක්ෂපාතීව රකිමින් ඔහුට අවැසි මඟ පෙන්වීම ලබා දුන්නේය. යෙහෝවා ඔහුව “සිංහයාගේ නියපහරින්ද වලසාගේ නියපහරින්ද” ගැළවූවා පමණක් නොව පිලිස්තීය යෝධයා වූ ගොලියත් අතින්ද ගැළවීය. යෙහෝවා ඔහුට ඉශ්‍රායෙල්ගේ සතුරන්ට විරුද්ධව එක පිට එක ජය ලබා දුන්නේය. එපමණක්ද නොව, ඊර්ෂ්‍යාවෙන් හා වෛරයෙන් පිරී සිටි සාවුල් ඔහු දෙසට හෙල්ලයෙන් දමා ගැසූ අවස්ථාවලදීද ඔහුව ගළවාගත්තේය.—1 සාමුවෙල් 16:12; 17:37; 18:11; 19:10.

කෙසේවෙතත්, දාවිත් සර්ව සම්පූර්ණ මනුෂ්‍යයෙක් නොවීය. ඇත්තෙන්ම ඔහු බරපතළ ලෙස පව් කළේය. එසේ කර තිබියදීත්, දාවිත්ව අත්හැර දමනවා වෙනුවට හද පත්ලෙන්ම පසුතැවිලි වූ ඔහුට යෙහෝවා පක්ෂපාත ප්‍රේමය පෙන්වීය. දාවිත්ගේ ජීවිත කාලය තුළදී නැවත නැවතත් ඔහුගේ ජීවිතය රැක දීම සඳහා යෙහෝවාම මූලිකත්වය ගත්තේය. දාවිත් අන්ත අසරණ තත්වයට වැටී සිටි විට යෙහෝවා ඔහු වෙනුවෙන් ඉදිරිපත් වුණේය. ප්‍රේමනීය කරුණාව කියන්නේ එයයි!—2 සාමුවෙල් 11:1-12:25; 24:1-17.

මුළු ඉශ්‍රායෙල් ජාතියම යෙහෝවා සමඟ විශේෂාකාර කැප වූ සම්බන්ධතාවකට ප්‍රවිෂ්ට විය. ඒ එදා සීනයි කඳු පාමුලදී මෝසෙස් ලවා දුන් ව්‍යවස්ථාවට එකඟ වූ අවස්ථාවේදීය. (නික්මයාම 19:3-8) එමනිසා, ඉශ්‍රායෙල්වරුන් යෙහෝවා සමඟ විවාහ බන්ධනයකට ඇතුල් වූවායැයි කිව හැකිය. ‘භාර්යාවක් මෙන් යෙහෝවා නුඹ කැඳවාගත්තේය. සදාකාල කරුණාවෙන් නුඹට අනුකම්පා කරමි’ යයි යෙහෝවා ඉශ්‍රායෙල් ජාතියට පැවසීය. (යෙසායා 54:6, 8) මේ විශේෂ සම්බන්ධයේදී යෙහෝවා තම පක්ෂපාතකම විදහාපෙන්වූයේ කෙසේද?

යෙහෝවා ඉශ්‍රායෙල්වරුන්ගේ අවශ්‍යතාවන් පිරිමැසීමේදී පමණක් නොව තමන් සමඟ ඔවුන්ට තිබෙන සම්බන්ධය ශක්තිමත් කරගැනීමේදීද ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේය. ඔහු ඔවුන්ව මිසරයෙන් ගළවාගෙන, ජාතියක් හැටියට සංවිධානය කර, “කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට” ගෙන ගියේය. (නික්මයාම 3:8) පූජකයන්, ලෙවීවරුන් සහ අනාගතවක්තෲන් මෙන්ම පණිවිඩකරුවන්වද එක දිගටම යවමින් යෙහෝවා ඔවුන්ට මූලික ආත්මික ආහාරද ලබා දුන්නේය. (2 ලේකම් 17:7-9; නෙහෙමියා 8:7-9; යෙරෙමියා 7:25) ජාතිය වෙනත් දෙවිවරුන් පස්සෙන් වැඳ වැටෙද්දී, යෙහෝවා ඔවුන්ව නිවැරදි කළේය. ඔවුන් පසුතැවිලි වූ විට ඔහු ඔවුන්ට සමාව දුන්නේය. ඉශ්‍රායෙල් ජාතිය එසේ මෙසේ ‘බිරිඳක්’ නම් වූයේ නැත. එහෙත්, යෙහෝවා ඉක්මන් වී ඇයව පන්නා දැමුවේද නැත. ආබ්‍රහම්ට දුන් පොරොන්දු නිසා ඇය පිළිබඳ වූ තම අරමුණ ඉටු වන තුරු ඔහු පක්ෂපාතව ඇය හා රැඳී සිටියේය. (ද්විතීය කථාව 7:7-9) මෙය අද සිටින විවාහකයන්ට මොනතරම් විශිෂ්ට ආදර්ශයක්ද!

යෙහෝවා තම පක්ෂපාතකම පොදුවේ මනුෂ්‍යවර්ගයාටද පෙන්වයි. ධර්මිෂ්ඨ වුවත් අධර්මිෂ්ඨ වුවත්, සෑම මිනිසෙකුගේම මූලික අවශ්‍යතා සපුරාලමින් ඔහු පක්ෂපාතකම පෙන්වා ඇත. (මතෙව් 5:45; ක්‍රියා 17:25) මේ සියල්ලකටම වඩා, සෑම මනුෂ්‍යයෙකුවම පාපයේ සහ මරණයේ වහල් බැම්මෙන් මුදවාගැනීම සඳහාත් සර්ව සම්පූර්ණ පාරාදීසයක සදාකාල ජීවනය ලැබීමේ චමත්කාරජනක අවස්ථාව ලබා දීම සඳහාත් ඔහු තම පුත්‍රයාගේ ජීවිතය මිදීමේ මිලයක් ලෙස සැපයීය. (මතෙව් 20:28; යොහන් 3:16) ජීවිතය රැක දීමටත් එය පවත්වාගෙන යෑමටත් දිය හැකි උතුම්ම තෑග්ග වූයේ මිදීමේ මිල පූජාවයි. එම ක්‍රියාව, ඇත්තෙන්ම “යමෙකු විඳින අභාග්‍යයකදී හෝ ආපදාවකදී ඒ වෙනුවෙන් මැදිහත් [වීමක්]” ලෙස සැලකිය හැක.

ඔබේ පක්ෂපාතකම ඒකාන්ත ක්‍රියාවන් මගින් ඔප්පු කරන්න

ප්‍රේමනීය කරුණාව හා සමාන අරුත් ඇති පක්ෂපාතකම තුළද අන්‍යොන්‍ය බැඳීම එනම් කෙළෙහි ගුණ සැලකීම යන ගැඹුරු අදහස ගැබ් වී ඇත. උදාහරණයක් හැටියට, යමෙකු ඔබට ප්‍රේමනීය කරුණාව පෙන්වූවා නම්, එවැනිම දෙයක් ආපසු ඔහු ඔබෙන්ද බලාපොරොත්තු විය හැකියි. මෙසේ දැක්වූ පක්ෂපාතකම පක්ෂපාතකමෙන්ම හිලව් කෙරේ. ඛීʹසෙධ් යන්නෙන් කුමක් ඇඟවෙන්නේදැයි දාවිත් වටහාගෙන සිටි බව ‘ඔබගේ ශුද්ධ මාළිගාව දෙසට හැරී නමස්කාර කරමින්, ඔබගේ නාමයට ස්තුති කරන්නෙමි’ වැනි ඔහුගේ හදපත්ලෙන්ම පැනනැඟි වදන්වලින් මනාව පෙනේ. ඔහු දෙවිගේ නාමයට ස්තුති කරන්නේ මන්ද? “[දෙවිගේ] ප්‍රේමනීය කරුණාව සහ සත්‍යවාදිකම [NW]” නිසාය. (ගීතාවලිය 138:2) යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව ලබන්නෙකු වශයෙන් ඔහුට නමස්කාරයත් ප්‍රශංසාවත් පුදන්ට දාවිත් පෙලඹුණු බවට සැකයක් නැත. ඒ හා සමානව, යෙහෝවා අප කෙරෙහි දක්වා ඇති ප්‍රේමනීය කරුණාව උදෙසා කෘතගුණ දැක්වීමට අපත් පෙලඹෙන්නේ නැද්ද? නිදසුනක් වශයෙන්, යෙහෝවාගේ නාමය නින්දාවට පත් වේ නම්, ඔහුගේ කීර්ති නාමය වෙනුවෙන් කතා කිරීමට ඔබ පෙලඹේද?

එක්තරා නවක ක්‍රිස්තියානි යුවළකට සිදු වූයේද එවැනිම දෙයකි. දිනක් යතුරුපැදි අනතුරකින් මියගිය නෑදෑයෙකුගේ අවමංගල්‍යයකට මොවුහු සහභාගි වූහ. ආගමික වතාවත්වලින් බැහැරව පැවති මේ අවමංගල්‍යයේදී ඕනෑම කෙනෙකුට මියගිය තැනැත්තාගේ ගුණ සැමරීමට අවස්ථාව සැලසුණි. කතාවක් පැවැත්වූ එක් පුද්ගලයෙක් එම තරුණයාගේ අකල් මරණය ගැන දෙවිට දොස් පවරමින් ‘දෙයියන්ට ඔහුව ඕනෑ කළ නිසා, දෙයියෝ එයාව ස්වර්ගයට ගත්තා’ යයි පැවසීය. මේ අවස්ථාවේදී තවදුරටත් මුනිවත රැකීමට නොහැකි වූ අපේ සහෝදරයා කටු සටහනක්වත්, බයිබලයක්වත් නොමැතිව පැමිණ සිටියවුන් අමතමින් මෙසේ පැවසීය. “දයාවෙන් සහ අනුකම්පාවෙන් පූර්ණ සර්වපරාක්‍රම දෙවි මේ වගේ දෙයක් කරයි කියලා ඔයගොල්ලො හිතනවාද?” එතැන් සිට විනාඩි දහයක් පුරා ඔහු හිටිවන කතාවක් ඉදිරිපත් කළේය. අප මැරෙන්නේ ඇයි? මරණයෙන් ගොඩගැනීමට දෙවි අප වෙනුවෙන් කර තිබෙන්නේ කුමක්ද? පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වීම සඳහා මළවුන්ව නැවත නැඟිටුවීමේ පුදුමාකාර බලාපොරොත්තුව වැනි කාරණා ඔහු බයිබල් පද උපුටා දක්වමින් පැහැදිලි කළේය. අසා සිටි 100කට අධික සෙනඟක් කතාව අවසානයේදී අත්පොළසන් දුන්නෝය. පසුව මේ සහෝදරයා ඒ ගැන සිහිපත් කරමින් මෙසේ පැවසීය. “මට වෙන කිසිමදාක නොදැනුණු තරම් ප්‍රීතියක් එදා දැනුණා. මට ප්‍රඥාව දීම ගැනත් කැළැල් වෙන්න ගිය ඔහුගේ නාමය වෙනුවෙන් කතා කරන්ට ලැබීම ගැනත් මම යෙහෝවාට ස්තුති කළා.”

යෙහෝවාට පක්ෂපාත වෙනවා යන්නට ඔහුගේ වචනය වන බයිබලයට පක්ෂපාත වීමද ඇතුළත්ය. ඇයි අප එසේ කියන්නේ? අපේ ජීවන රටාව සකස් කරගත යුතු ආකාරය එමගින් යෙහෝවා අපට උගන්වන නිසාය. එහි අඩංගු ව්‍යවස්ථා හා ප්‍රතිපත්ති මගින් ජීවිතයට අවැසි ඉස්තරම්ම මෙන්ම ප්‍රයෝජනවත්ම ගුරුහරුකම් ලබා දේ. (යෙසායා 48:17) අනිත් අයගෙන් පැමිණෙන පීඩන හෝ ඔබේම දුර්වලකම් යෙහෝවාගේ ව්‍යවස්ථාවෙන් පිට පැනීමට හේතුවක් කර නොගන්න. ඒ වෙනුවට දෙවිගේ වචනයට පක්ෂපාතව සිටින්න.

යෙහෝවාට පක්ෂපාත වීම කීමේදී ඔහුගේ සංවිධානයට පක්ෂපාත වීමද ඇතුළත් වේ. නිවී ගිය වසර ගණනාව පුරා සමහර බයිබල් පද පිළිබඳ අපේ අවබෝධය හරිගස්සා ගැනීමට සිදු වූවත්, අප තරම් ආත්මික ආහාරවලින් පෝෂණය වන කිසිම සෙනඟක් නැත. (මතෙව් 24:45-47) යෙහෝවා තම වත්මන් සංවිධානයට පක්ෂපාතීව බැඳී සිටින බව අප අවිවාදයෙන් පිළිගත යුතුය. අපටත් එයම කළ නොහැකිද? එසේ කළ අයෙකි ඒ. එච්. මැක්මිලන්. ඔහුගේ මරණයට මොහොතකට කලින් ඔහු මෙසේ තෙපුළේය. “එක්දහස් නවසීයේ සැප්තැම්බර් මාසයේදී මම බව්තීස්ම වෙනකොට මට වයස අවුරුදු 23යි. ඒ කාලයේදී යෙහෝවාගේ සංවිධානය පුංචියට පටන්ගත්තු විදිහ මට තාම මතකයි. එදා මෙදා තුර දෙවිගේ සත්‍යතාවන් ජ්වලිතවත්ව බෙදාගන්නා ලෝකය පුරාම විසිරුණු සමිතියක් බවට සංවිධානය පත් වෙනවා මං මගේ ඇස් දෙකින්ම දැක්කා. . . . යෙහෝවා තම සෙනඟව මෙහෙයවමින්, ඔවුන්ට අවශ්‍ය දේවල් නියමිත කාලයේදී ලබා දෙනවා කියන එක, පොළොවේ මගේ දේවසේවා කාලය අවසානයකට ළං වෙනවාත් එක්කම වෙන කිසිම දාකට වඩා මට දැන් පෙනී ගිහින් තියෙනවා.” සහෝදර මැක්මිලන් 1966 අගෝස්තු 26වැනිදා මරණයට පත් වන තුරු අවුරුදු 66ක් පමණ යෙහෝවාට ඇදහිලිවන්තවත් පක්ෂපාතවත් සේවය කර තිබුණා. යෙහෝවාගේ දෘශ්‍යමාන සංවිධානයට පක්ෂපාතව සිටීම සම්බන්ධයෙන් ඔහු මහඟු ආදර්ශයක් විය.

සංවිධානයට පක්ෂපාතව සිටිනවාට අමතරව අප එකිනෙකාටත් පක්ෂපාතව සිටිනවාද? කෲර පීඩා හා තර්ජනවලට මුහුණ දෙන විට, අප අපේ සහෝදර සහෝදරියන්ට පක්ෂපාතව සිටීවිද? දෙවන ලෝක මහා යුද්ධ සමයේදී නෙදර්ලන්තයේ සිටි අපේ සහෝදර සහෝදරියෝ මේ පිළිබඳව හොඳ ආදර්ශයක් තැබූහ. ග්‍රොනින්ගන් සභාවේ වැඩිමහල්ලෙකු වූ ක්ලැස් ඩ ව්‍රීස්, නාට්සි ගෙස්ටාපෝ හමුදාවේ දයා විරහිත කුරිරු ප්‍රශ්න කිරීම්වලට ගොදුරු විය. ඔහුව හුදකලා කුටියක දින දොළහක් පුරා තැබූ අතර, ඔහුට දුන්නේ පාන් හා වතුර පමණයි. ඉන්පසුව නැවතත් ඔහුව ප්‍රශ්න කිරීමට භාජන කරනු ලැබීය. ඒ අවස්ථාවේදී ඔවුහු ඔහු වෙත රිවොල්වරය දිගු කරමින් වගකිව යුතු සහෝදරයන් සිටින්නේ කොහෙද කියාත් වෙනත් වැදගත් තොරතුරුත් අසමින් මරණ බවට තර්ජනය කළෝය. ක්ලැස්ගෙන් ඔවුන්ට ලැබුණේ, “ඔයගොල්ලන්ට මීට වඩා දෙයක් මගෙන් ගන්න බැහැ. . . . මම ද්‍රෝහියෙක් වෙන්නේ නැහැ” යන කලින් ලැබුණු පිළිතුරමයි. තුන් වතාවක්ම රිවොල්වරය දිගු කර තර්ජනය කිරීමෙන් පරාජය වූ ගෙස්ටාපෝ හමුදා සෙබළුන් අන්තිමේදී ක්ලැස්ගෙන් තොරතුරු ගැනීම අතහැර දැමීය. ඔහුව වෙනත් සිර කඳවුරකට යැවුවත්, ඔහු නෙවෙයි තම සහෝදරයන්ව පාවා දුන්නේ.

පක්ෂපාතකම අපේ කිට්ටුම හිතවතා වන විවාහ කලත්‍රයා වෙතත් අපි පෙන්වන්නෙමුද? යෙහෝවා ඉශ්‍රායෙල් ජාතිය සමඟ ඇති කරගත් ගිවිසුමට ගරු කළා සේම අපත් අපේ විවාහ ගිවිසුමට පක්ෂපාතව සිටින්නෙමුද? මෙහිදී අපේ විවාහ පොරොන්දුවලට ඇලී සිටිනවා පමණක් නොව, අපේ කලත්‍රයා සමඟ කිට්ටු මිතුදමක් ඇති කරගැනීම සඳහාද හැකි සෑම වෙර වෑයමක්ම දැරිය යුතුය. ඔබේ විවාහ බන්ධනය ඔබේ! එය වෙන කාගේවත් නොවේ! එමනිසා, එය රැකගැනීම සඳහා වෙහෙස මහන්සි වන්න. ඒ සඳහා පෙරමුණ ගන්න. එකට දේවල් කරන්ට කාලය සොයාගන්න. හිතට නැඟෙන දේ වචනයට නඟන්ට මැළි නොවන්න. කලත්‍රයාව දිරිගන්වන්න. ඔහුට හෝ ඇයට අත දෙන්න. එකිනෙකාට ඇහුම්කන් දෙන්න. එකට සිනාසෙන්න. එකට අඬන්න. සෙල්ලම් කරන්න. අනෙකාගේ ඉලක්ක අත් කරගැනීමට සහය වෙන්න. එකිනෙකාව සතුටු කරන්න. හිතෛෂීම මිතුරා බවට පත් වන්න. තමාගේ කලත්‍රයා හැර අන් අය ගැන ලිංගිකත්වය හා බැඳි ආදර හැඟීම් ඇති කරගැනීමෙන් වැළකී සිටීමට වගබලා ගන්න. වෙනත් අය සමඟ දැන හැඳුනුම්කම් හෝ කිට්ටු මිත්‍රත්වයන් ඇති කරගැනීමේ කිසිදු වරදක් නැතත්, ඉහත ආකාරයේ හැඟීම් සහමුලින්ම සීමා විය යුත්තේ ඔබේ විවාහක කලත්‍රයාට පමණි. ඔබත් ඔබේ කලත්‍රයාත් අතරට පැමිණීමට කිසිවෙකුට ඉඩ නොතබන්න.—හිතෝපදේශ 5:15-20.

සෙසු සාක්ෂිකාර ඇදහිලිවන්තයන්ට සහ පවුලේ සාමාජිකයන්ට පක්ෂපාතව සිටින්න. කාලයා සමඟ ඔවුන්ව මතකයෙන් වළලා නොදමන්න. නිතරම ඔවුන් සමඟ සම්බන්ධයක් පවත්වාගන්න. ලියුම් ලියන්න. දුරකථනයෙන් කතාබහේ යෙදෙන්න. බැහැදකින්ට යන්න. ඔබ කොහේ ගියත් ඔබ කවරෙකු බවට පත් වුණත්, ඔවුන්ගේ බලාපොරොත්තු සුන් නොකරන්න. ඔවුන්ව සතුටු කරන්න. ඔබ ඔවුන්ගේ මිතුරෙකු වීම ගැන ඔවුන් ආඩම්බර වන බවටත් ඕනෑම තැනකදී ඔබ ගැන කතා කිරීමට ඔවුන් පසුබට නොවන බවටත් නිසැක වන්න. ඔවුන්ට පක්ෂපාතව සිටීම හරි දේ කිරීම සඳහා ඔබව ශක්තිමත් කරන්නේමය. එය ඔබට දිරිගැන්වීමේ උල්පතක් වන්නේය.—එස්තර් 4:6-16.

යම් අගනා සම්බන්ධතාවක් රැකගැනීම සඳහා යම් දෙයක් කිරීම අව්‍යාජ පක්ෂපාතකමට අයත් වේ. එමනිසා, යෙහෝවා ඔබට දක්වා ඇති ප්‍රේමනීය කරුණාව වෙනුවෙන් ඔබේ උපරිමයෙන්ම කෘතගුණ පෙන්වන්න. ක්‍රිස්තියානි සභාව, ඔබේ විවාහ කලත්‍රයා, ඔබේ පවුලේ අය සහ මිතුරන් සමඟ කටයුතු කරද්දී යෙහෝවාගේ පක්ෂපාතකම අනුකරණය කරන්න. ඔබේ අසල්වැසියන්ට යෙහෝවාගේ යහපත් ගුණාංග ගැන පක්ෂපාතීව ප්‍රකාශ කරන්න. ගීතිකාකරු මෙසේ පවසද්දී එය ඔහුගේ මනසේ තිබෙන්ට ඇත. ‘යෙහෝවාගේ [ප්‍රේමනීය, NW] කරුණාවල් ගැන සදාකල් ගීතිකා කරන්නෙමි. මාගේ කටින් ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට දන්වන්නෙමි.’ (ගීතාවලිය 89:1) එවැනි දෙවිකෙනෙකු වෙත අප ආකර්ෂණය වන්නේ නැද්ද? ඇත්තෙන්ම ‘යෙහෝවාගේ [ප්‍රේමනීය, NW] කරුණාව සදාකාලේටම පවතින්නේය.’—ගීතාවලිය 100:5.

[23වන පිටුවේ පින්තූරය]

ඒ. එච්. මැක්මිලන්