පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
හෙබ්‍රෙව් 4:9-11හි සඳහන් ‘නිවාඩුව’ නොහොත් ‘විශ්‍රාමය’ කුමක්ද? යමෙකුට “ඒ විශ්‍රාමස්ථානයට ඇතුල් [විය]” හැක්කේ කෙසේද?
පළමු සියවසේ සිටි හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “[දෙවිගේ] සෙනගට සබත් නිවාඩුවක් ඉතුරුව තිබේ. මක්නිසාද [දෙවි] තමන්ගේ වැඩවලින් නිවාඩු ගත්තාක්මෙන්, [ඔහුගේ] විශ්‍රාමස්ථානයට ඇතුල්වූ තැනැත්තාත් තමාගේ වැඩවලින් නිවාඩු ගත්තේය. එබැවින් . . . ඒ විශ්‍රාමස්ථානයට ඇතුල්වෙන්ට උත්සාහකරමු.”—හෙබ්‍රෙව් 4:9-11.
දෙවි ඔහුගේ වැඩවලින් නිවාඩු ගැනීම ගැන පාවුල් සඳහන් කළ අවස්ථාවේදී, පෙනෙන විදිහට ඔහු යොමු දක්වමින් සිටියේ උත්පත්ති 2:2හි සඳහන් දෙයට විය හැකියි. එහි අපට මෙසේ කියවීමට තිබේ. “[දෙවි] තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය සත්වෙනි දවසේ [නිම කළේය]. ඔහු තමන් විසින් කරනලද සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු [ගත්තේය].” යෙහෝවා “සත්වෙනි දවසේ නිවාඩු ගත්තේ” මන්ද? “තමන් විසින් කරනලද සියලු වැඩ” නිසා වැය වූ ශක්තිය නැවත ලබාගැනීම සඳහා විවේක ගැනීමට ඔහුට අවශ්‍ය නොවූ බව නිසැකයි. එසේ නිවාඩු ගැනීමට හේතුව ගැන යම් ඉඟියක් ඊළඟ වගන්තියෙන් මෙසේ සපයයි. “[දෙවි] තමන් මැවුවාවූ සෑදුවාවූ ස්වකීය සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත් හෙයින් ඒ දවසට ආශීර්වාදකොට එය ශුද්ධයයි [නියම කළේය].”—උත්පත්ති 2:3; යෙසායා 40:26, 28.
දෙවි ආශීර්වාද කර, ශුද්ධයයි නියම කළ එකම දවස ‘සත්වෙනි දවස’ වන නිසා එය කලින් දවස් හයට වඩා වෙනස් වේ. සත්වෙනි දවස ශුද්ධ වන්නේ ඒ දවස විශේෂ අරමුණක් සඳහා වෙන් කර තැබීම හෝ කැප කර තිබීම නිසාය. ඒ කුමන අරමුණක් සඳහාද? මනුෂ්‍යවර්ගයා හා පොළොව සම්බන්ධයෙන් තමාගේ අරමුණ කුමක්ද කියා දෙවි කලින්ම හෙළි කර තිබිණ. මුල්ම මිනිසාට හා ඔහුගේ බිරිඳට දෙවි මෙසේ පැවසුවේය. “නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කරගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් [කරන්න].” (උත්පත්ති 1:28) දෙවි මිනිසාව හා පොළොව මැව්වේ කිසිම අඩුවක් නැතිවය. එවන් ආරම්භයක් තිබුණත්, දෙවි අරමුණු කළ ආකාරයට මුළු මහත් මිනිස් සංහතියම පරිපූර්ණ පවුලක් ලෙස මුළු පොළොවම යටත් කරගැනීමට යම් කාලයක් ගතවීමට තිබිණ. මේ නිසා දෙවි ‘සත්වෙනි දවසේදී’ නිවාඩු ගෙන, ඒ වන විටත් ඔහු මවා තිබූ දේවල් ඔහුගේ අරමුණ කරා ක්‍රමානුකූලව වර්ධනය වීමට ඉඩ සලසමින් පොළොව තුළ සිදු කරමින් සිටි මැවීමේ කාර්යය නතර කළේය. දෙවි අරමුණු කර තිබූ සෑම දෙයක්ම ඒ “දවස” අවසානයේදී ඉටු වී තිබෙනු ඇත. දෙවිගේ එම නිවාඩුව කොතරම් කාලයක් පවතිනු ඇද්ද?
පාවුල් හෙබ්‍රෙව්වරුන්ට පැවසූ වදන් නැවත සලකා බලන විට අපට පෙනී යන්නේ, “[දෙවිගේ] සෙනගට සබත් නිවාඩුවක් ඉතුරුව [තිබෙන]” බවයි. එමෙන්ම “ඒ විශ්‍රාමස්ථානයට ඇතුල්වෙන්ට” තමන්ගේ උපරිමය කරන්න කියා ඔහු සෙසු ක්‍රිස්තියානීන්ව දිරිමත් කළේය. මෙයින් පැහැදිලි වන්නේ පාවුල් දෙවිගේ නිවාඩුවට ඇතුළත් ‘සත්වෙනි දවස’ ගැන ලියූ අවස්ථාව වන විටත් එම නිවාඩුව පැවති බවයි. ඒ වන විට මෙම නිවාඩු ගැනීමේ දවස ඇරඹී අවුරුදු 4,000ක් පමණ ගෙවී ගොස් තිබිණ. “සබත් දවසේ ස්වාමියා” වන යේසුස් ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය නිමාවේදී මානව සංහතිය හා පොළොව සම්බන්ධයෙන් දෙවි අරමුණු කළ දෙය ඉටු වන තෙක් එම දවස පවතිනු ඇත.—මතෙව් 12:8; එළිදරව් 20:1-6; 21:1-4.
යමෙකුට දෙවිගේ විශ්‍රාමස්ථානයට ඇතුල් විය හැකි ආකාරය ගැන පාවුල් පැහැදිලි කළේ එම මවිතකර අපේක්ෂාව මනසෙහි තබාගෙනය. ඒ ගැන ඔහු ලීවේ මෙසේය. “[දෙවිගේ] විශ්‍රාමස්ථානයට ඇතුල්වූ තැනැත්තාත් තමාගේ වැඩවලින් නිවාඩු ගත්තේය.” මෙම වදන්වලින් කියවෙන්නේ මනුෂ්‍යවර්ගයාට පරිපූර්ණ ආරම්භයක් තිබුණත්, පොදුවේ ගත් කල මිනිසුන් දෙවිගේ විශ්‍රාමස්ථානයට ඇතුල් නොවූ බවයි. මෙයට හේතුව ආදම් සහ ඒව දෙවිගේ විධිවිධානයට එකඟව කටයුතු නොකිරීම නිසා ‘සත්වෙනි දවසේදී’ දෙවිගේ නිවාඩුව සැමරීමට ඔවුන්ට නොහැකි වීමයි. දෙවිට අකීකරු වී ඔහුගෙන් ඈත් වූ ඔවුහු තමන්ගේ අභිමතය පරිදි කටයුතු කළහ. දෙවිගේ ප්‍රේමනීය මඟ පෙන්වීම් පිළිගන්නවා වෙනුවට ඔවුන් සාතන්ගේ සැලසුමට එකඟව කටයුතු කරන්නට විය. (උත්පත්ති 2:15-17) මේ නිසා පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඔවුන්ට අහිමි විය. එදා සිට මුළු මනුෂ්‍යවර්ගයාම පාපයේ සහ මරණයේ වහලුන් බවට පත් වී ඇත.—රෝම 5:12, 14.
දෙවිගේ අරමුණ කඩාකප්පල් කර දැමීමට මිනිසුන්ගේ කැරැල්ලට නොහැකි විය. ඔහුගේ නිවාඩු දවස දිගටම පවතී. කෙසේවෙතත්, දෙවි ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මිදීමේ මිලය නමැති ප්‍රේමනීය සැපයුම මනුෂ්‍යවර්ගයාට ලබා දුන්නේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එම මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල තබන අයට පාපයේ හා මරණයේ යදම්වලින් නිදහස් වන දවස දෙස දෑස් අයා බලා සිටීමට පුළුවන. (රෝම 6:23) ‘තමන්ගේ වැඩවලින් නිවාඩු ගන්න’ කියා පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටියේ ඒ නිසාය. ඔවුන් ගැළවීම සඳහා දෙවි පිළියෙළ කළ සැපයුම පිළිගත යුතු වූ අතර, ආදම් සහ ඒව කළාක් මෙන් තමන්ගේ අනාගතය තමන් විසින්ම ගොඩනඟා ගැනීමෙන්ද වැළකී සිටිය යුතු විය. තවද තමන්ගේම නිර්දෝෂීභාවය තහවුරු කරගැනීමට යෑමෙන්ද ඔවුන් වැළකී සිටීම අවශ්‍ය විය.
විශ්‍රාමය ලබාගැනීම සඳහා දෙවිගේ කැමැත්ත කළ යුතු අතර, ඒ සඳහා මාංශික ආශා පසෙක දැමිය යුතුය. මෙසේ කිරීමෙන් සහනයක් අද්දැකිය හැක. යේසුස් මෙලෙස ඇරයුම් කළේය. “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.”—මතෙව් 11:28-30.
දෙවිගේ විශ්‍රාමය ගැනත්, යමෙකුට එයට ඇතුල් විය හැකි ආකාරය ගැනත් පාවුල් කළ සාකච්ඡාව යෙරුසලමෙහි විසූ හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ටද මහත් දිරිගැන්වීමක් වූ බව නිසැකය. මන්ද ඒ වන විට ඔවුන් සිටියේ බොහෝ හිංසා පීඩා හා තමන්ගේ ඇදහිල්ල උපහාසයට ලක් කිරීම මැද විඳදරාගනිමිනි. (ක්‍රියා 8:1; 12:1-5) ඒ හා සමානව පාවුල්ගේ වදන් අදදින සිටින ක්‍රිස්තියානීන්ට මහත් දිරිගැන්වීමක් විය හැක. දෙවිගේ ධර්මිෂ්ඨ රාජ්‍ය පාලනය යටතේ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරන බවට වූ දෙවිගේ පොරොන්දුව ඉටු වන කාලය ආසන්න බව අපි වටහාගෙන සිටිමු. මේ නිසා අපේ වැඩවලින් නිවාඩු ගෙන, දෙවිගේ නිවාඩුවට ඇතුල් වීම සඳහා අප අපේ උපරිමය කළ යුතුයි.—මතෙව් 6:10, 33; 2 පේතෘස් 3:13.
[31වන පිටුවේ පින්තූර]
දෙවිගේ නිවාඩුව අවසානයේදී පොළොව පාරාදීසයක් වන බවට ඔහු දී තිබෙන පොරොන්දුව ඉටු වනු ඇත