Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ සේවයේදී නොපැතූ පැතුමන් පිරි ජීවිතයක්

යෙහෝවාගේ සේවයේදී නොපැතූ පැතුමන් පිරි ජීවිතයක්

ජීවිත කතාව

යෙහෝවාගේ සේවයේදී නොපැතූ පැතුමන් පිරි ජීවිතයක්

පැවසුවේ එරික් සහ හැසල් බ්‍රේව්රිජ්

“ඔබට මාස හයක සිර දඬුවමක් මම නියම කරනවා.” එම වචන මගේ කන්වල දෝංකාර දීමට පටන්ගත්තත් සමඟම මාව එංගලන්තයේ මැන්චේස්ටර්වල ස්ට්‍රේන්ජ්වස් බන්ධනාගාරයට රැගෙන ගියා. මෙය සිදු වුණේ 1950 දෙසැම්බරයේදීයි. එතකොට මට වයස අවුරුදු දහනවයයි. මගේ තරුණ කාලයේදීම මේ වගේ දරුණු පරීක්ෂණයකට මුහුණ දෙන්න සිදු වුණේ මම හමුදා සේවයට බැඳෙන්න අකමැති වූ නිසයි.—2 කොරින්ති 10:3-5.

මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන සේවකයෙකු නිසා හමුදා සේවයට බැඳෙන එක මට කොහෙත්ම කරන්න බැරි දෙයක්. ඒත් දේවසේවකයන් ලෙස බ්‍රිතාන්‍ය නීතිය අපිව පිළිගත්තේ නැහැ. මේ නිසා තමයි මට හිර බත් කන්න සිදු වුණේ. එක අතකින් මට මෙතනට එන්න වැඩ සිද්ධ වුණේ තාත්තා නිසා නේද කියලත් හිතුණා.

එහෙම කියන්න හේතුව මම කියන්නම්. මගේ තාත්තා ප්‍රතිපත්තිගරුක නියම යෝක්ෂයර් ප්‍රාන්තයේ මිනිහෙක්. ඒ වගේම ඔහු බන්ධනාගාර නිලධාරියෙක්. බන්ධනාගාර නිලධාරියෙක් ලෙස ඔහුට තිබූ අද්දැකීම් නිසා කතෝලික ධර්මය ගැන ඔහුට තිබුණේ බද්ධ වෛරයක්. ඔහුට මුලින්ම සාක්ෂිකරුවන්ව හමු වුණේ 1930 ගණන්වල. අපේ දොරකඩ ළඟට ආපු සාක්ෂිකරුවන්ව එළවලා දාන්න ගිය තාත්තා යළිත් ගේ ඇතුලට ආවේ ඔවුන්ගේ පොත් පත් අතේ ඇතිවයි. පස්සේ ඔහු සහනය (දැන් පිබිදෙව්!) නමැති සඟරාවට දායකයක් ලබාගත්තා. එම දායක අලුත් කිරීමට දිරිගන්වන්න සාක්ෂිකරුවෝ හැම අවුරුද්දෙම වගේ ආවා. මට අවුරුදු පහළොවක් විතර වෙන කොට සාක්ෂිකරුවොයි තාත්තායි අතර සාකච්ඡාවක් ඇති වුණා. ඒ සාකච්ඡාවේදී මම හිටියේ සාක්ෂිකරුවන්ගේ පැත්තේ. ඒ කාලයේදී තමයි මම බයිබලය පාඩම් කරන්න පටන්ගත්තේ.

වර්ෂ 1949 මාර්තුවල මට වයස අවුරුදු දාහතක් වෙන කොට යෙහෝවාට මගේ කැපවීම බව්තීස්මයෙන් සංකේතවත් කළා. ඒ අවුරුද්ද අවසානයේදී, ගිලියද් මිෂනාරි පාසැලෙන් උපාධිය ලබාගත් ජෝන් සහ මයිකල් චාරුක් තම පැවරුම සඳහා නයිජීරියාවට යන අතරේදී මට ඔවුන්ව මුණගැසුණා. මිෂනාරි සේවය සඳහා එයාලට තිබුණු ආශාවත් උනන්දුවත් ගැන මට පුදුම පැහැදීමක් ඇති වුණා. කොහොමහරි ඒ උනන්දුව හා ආශාව මගේ හිතටත් එයාලා ඇතුල් කළා. සමහර විට ඒ ගැන එයාලා නොදන්නවාත් ඇති.

මම බයිබලය පාඩම් කරන කොට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන තිබුණු උනන්දුව නැති වුණා. ඊටපස්සේ ලන්ඩනයේ රේගු දෙපාර්තමේන්තුවේ රැකියාවක් සඳහා නිවසෙන් පිට වී අවුරුද්දක් විතර ඉන්න කොට මේ රැකියාවේ දිගටම නිරත වීම දෙවිට වුණ කැපවීමට බාධාවක් කියා මට හිතුණා. මම රැකියාවෙන් සමුගන්න විට මගේ කාර්යාල මිතුරෙක් මෙහෙම කිව්වා. “කෙනෙකුගේ ආත්මය කෙලසන” රැකියාවකින් සමුගැනීම ගැන මම ඔබට සුබ පතනවා.

රස්සාවෙන් අයින් වෙනවා කියලා තාත්තාට කියන එක තමයි මට තිබුණ ලොකුම ගැටලුව. නිවාඩුවට ගෙදර ආ වේලේ හැන්දෑ වරුවක හිතේ තිබුණ දේ කොහොමහරි තාත්තට කියාගත්තා. ඊටපස්සේ තාත්තාගේ වාග් ප්‍රහාරය එල්ල වෙනකම් බලාගෙන හිටියා. මට පුදුම හිතුණේ තාත්තා කියපු දේට. “ඔයාගේ ඇඳ හදන්නෙත් ඔයාමයි. නිදාගන්නෙත් ඔයාමයි. හැබැයි ඇඳෙන් වැටුණ දාට මං ගාවට දුවගෙන එන්න එපා.” මගේ දින පොතේ 1950 ජනවාරි 1වනදා මම මෙසේ සටහන් කළා. “පුරෝගාමී සේවය ගැන තාත්තට කිව්වා. ඔහු දුන් උපේක්ෂාසහගත පිළිතුර මගේ හදවත සැනසුවා කිව්වොත් නිවැරදියි. මගේ ඇස්වලට කඳුළු ඉනුවා.” ඉන්පස්සේ මම රස්සාවෙන් අයින් වෙලා පූර්ණ කාලීන සේවය ආරම්භ කළා.

පැවරුමයි “පුංචි නවාතැනයි”

දෙවිට තිබෙන මගේ භක්තිය නැවතත් පරීක්ෂණයට භාජන වුණා. වේල්ස් නගරයේ සිට පැමිණි සෙසු ක්‍රිස්තියානියෙකු වන ලොයිඩ් ග්‍රැරැෆිත් සමඟ ලැන්කැෂර් නගරයේ තිබුණ ‘පුංචි නවාතැනක’ වෙසෙමින් පුරෝගාමී සේවය කිරීමට පැවරුමක් ලැබුණා. මම ඒ පුංචි නවාතැන ගැන දවල් සිහින මවමින් මම පදිංචිව සිටි නිතර වර්ෂාව ඇද හැළෙන නගරයක් වූ බැකප් සිට ආවා. ඒත් නවාතැන දැක්ක හැටියේ මගේ දවල් සිහින බොඳ වෙලා ගියා. ඒක බිම් මහලේ පිහිටි කුඩා ගබඩා කාමරයක්! රෑ අපේ තනි නොතනියට මීයෝ කැරපොත්තොත් හිටියා. මට හිතුණා ආයෙත් ගෙදර යන්න. නමුත් ඊටපස්සේ මේ තත්වයට මුහුණ දෙන්න උපකාර ඉල්ලා මම නිහඬව යාච්ඤා කළා. එක පාරටම වගේ මගේ හිත තුළ සන්සුන් බවක් ඇති වෙලා තත්වය දෙස ශුභවාදිව බලන්න මම පටන්ගත්තා. මේක යෙහෝවාගේ සංවිධානයෙන් ලැබුණ පැවරුමක්. උපකාරය සඳහා මම විශ්වාසය තබන්න ඕනේ යෙහෝවා මත. ඒ අවස්ථාවේදී දේවල් විඳදරාගත්තු එක ගැන මම සතුටු වෙනවා. මම ඒ පැවරුම පිළිගත්තේ නැත්නම් මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඉඩ තිබුණා!—යෙසායා 26:3, 4.

මාව සිරභාරයට ගන්න කලින්, ආර්ථික පරිහානියට ලක් වුණ රෝසෙන්ඩල් නිම්න භූමියේ මාස නවයක් දේශනා සේවයේ නිරත වුණා. සති දෙකක් ස්ට්‍රේන්ජ්වස් බන්ධනාගාරයේ හිටියට පස්සේ මාව එංගලන්තයේ දකුණු මුහුදුබඩ ප්‍රදේශයේ ලුයිස් බන්ධනාගාරයට මාරු කළා. මාත් ඇතුළු සාක්ෂිකරුවන් පස්දෙනෙක් එම සිර කුටියේ සිටි අතර එහිදී අපි යේසුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවය පැවැත්වුවා.

තාත්තා එක වතාවක් මාව බලන්න ආවා. තාත්තා හැමෝම වගේ හොඳින් දන්න බන්ධනාගාර නිලධාරියෙක් නිසා පුතා හිරේ ඉන්න එක එයාට මදි පුංචිකමක් කියලා හිතෙන්න ඇති. නමුත් තාත්තා ආව එක ගැන මම ගොඩක් සන්තෝෂ වෙනවා. වර්ෂ 1951 අප්‍රියෙල් මාසයේදී මම නිදහස් වුණා.

මම ලුයිස්වල ඉඳන් කාඩිෆ් වේල්ස්වලට දුම්රියෙන් ගියා. තාත්තා ප්‍රධාන බන්ධනාගාර නිලධාරියා ලෙස එහි සේවය කරමින් සිටියා. පිරිමි දරුවන් තුන්දෙනෙකු සහ ගැහැනු දරුවෙකුගෙන් යුත් අපේ පවුලේ වැඩිමලා මම. පුරෝගාමී සේවය දිගටම කරමින් මගේ වියදම් සඳහා මුදල් උපයාගැනීමට අර්ධ කාලීන රැකියාවක් හොයාගන්න මට සිදු වුණා. මම රෙදි ගබඩාවක රැකියාවකට ගියත් මගේ එකම අරමුණ වුණේ දේවසේවය. මේ කාලේදී තමයි අම්මා අපි සියල්ලන්වම දාලා ගියේ. මේක තාත්තටත් අවුරුදු 8 සිට 19 දක්වා වයස් මට්ටම්වල හිටිය දරුවෝ ටිකටත් විශාල පහරක් වුණා. අන්තිමේදී අපේ දෙමාපියන් දික්කසාද වුණා. ඒක අපි හැමෝටම විශාල දුකක් ඇති කළා.

යහපත් භාර්යාවක් සොයාගත්තා

අපේ සභාවේ පුරෝගාමීන් කිහිපදෙනෙක් හිටියා. ගල් අඟුරු ආකරයක් ඇති රෝන්ඩේ මිටියාවතේ සිට පැමිණි සහෝදරියක් ඒ අතර හිටියා. ඇය රැකියාව සඳහාත් දේශනා සේවය සඳහාත් දිනපතාම එහි සිට පැමිණියා. ඇගේ නම හැසල් ග්‍රීන්. ඇය කදිම පුරෝගාමී සහෝදරියක්. ඇගේ දෙමාපියන් 1920 ගණන්වල සිටම බයිබල් ශිෂ්‍යයන්ගේ (දැන් හඳුන්වන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස) රැස්වීම්වලට ගොස් තිබෙනවා. හැසල් සත්‍යය දැනගෙන තියෙන්නේ මට වඩා අවුරුදු කිහිපයකට කලින්. එයාගේ කතාව කියන්න අපි එයාට ඉඩ දෙමු.

“මම 1944දී රිලිජන් රීප්ස් ද වර්ල්වින්ඩ් නමැති පොත් පිංචය කියවන තුරු බයිබලය එතරම් ගණනකට ගත්තේ නැහැ. මගේ අම්මා කාඩ්ෆ්වල තිබුණු චාරිකා එක්රැස්වීමකට සහභාගි වෙන්න කියලා පෙරැත්ත කළා. ඒ වෙන කොට මට බයිබලය ගැන කිසි දැනුමක් තිබුණේ නැහැ. නමුත් එහිදී මම දැන්වීම් පුවරුවකුත් බෙල්ලේ එල්ලගෙන ප්‍රධාන වෙළඳ සංකීර්ණයක් ඉදිරිපිට සිටගෙන ප්‍රසිද්ධ කතාවක් ගැන දැනුම් දෙන්න හවුල් වුණා. පූජකයන් සහ වෙනත් අයගෙන් විරුද්ධවාදිකම් පැමිණියත් ඒ හැම දෙයක්ම ජයගෙන මම 1946දී බව්තීස්ම වුණා. බව්තීස්ම වුණ වසරේ දෙසැම්බරයේ ඉඳන් පුරෝගාමී සේවය ආරම්භ කළා. වර්ෂ 1951දී කාඩිෆ් නගරයෙන් තරුණ පුරෝගාමියෙක් ආවා. ඒ තමයි බන්ධනාගාරයෙන් නිදහස ලැබූ එරික්.

“අපි දෙන්නා එකට පුරෝගාමී සේවයේ යෙදුණා. එකමුතුව කටයුතු කළා. දෙවිගේ රාජ්‍යයේ අභිවෘද්ධියට දායක වීම තමයි අපි දෙන්නාගේම ජීවිතවල තිබුණු ඉලක්කය. අපි 1952 දෙසැම්බරයේදී අතිනත ගත්තා. අපි දෙන්නම පූර්ණ කාලීන සේවයේ නිරත වුණ නිසා අපේ අතේ මිටේ මුදල් තිබුණේ නැහැ. ඒත් අපි කවමදාකවත් මූලික අවශ්‍යතා නැතිව හිටියේ නැහැ. සමහර අවස්ථාවල වෙනත් සාක්ෂිකරුවෙක් ජෑම්, සබන් වගේ දේවල් වැඩිපුර මිල දී ගත්තාම ඒවා අපිට ගෙනත් දෙනවා. ඒ දේවල් අපිට ලැබෙන්නෙත් අවශ්‍ය වේලාවටමයි! ඒ වගේ ත්‍යාගයන් අපි ගොඩක් අගය කළා. පුදුමේ කියන්නේ අපිට අවශ්‍යතාවයක් මතු වෙද්දිම ඒ අය උදව්වට එන එකයි.”

අපේ ජීවිත වෙනස් කළ පුදුමයක්

වර්ෂ 1954 නොවැම්බර් මාසයේ බලාපොරොත්තු නොවුණ දෙයක් හැසල්ටයි මටයි ලැබුණා. ඒ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලන්ඩනයේ ශාඛා කාර්යාලයෙන් මට ලැබුණ ලිපිය. එහි සඳහන් වී තිබුණා චාරිකා අවේක්ෂකයෙක් ලෙස හැම සතියකම සභාවන් බැහැදැකීමට යන්න කියලා. අපි හිතුවා මේක වැරදීමක් වෙන්න ඇති කියලා. ඒ නිසා සභාවේ හිටිය කාටවත් මේ ගැන කිව්වේ නැහැ. ඒ වගේම මම පෝරමය පුරවලා යැව්වාට පස්සේ පිළිතුරක් එන කල් හිටියේ දෙගිඩියාවෙන්. දින කිහිපයකට පස්සේ “පුහුණුව සඳහා ලන්ඩනයට එන්න” කියලා ලියුමක් ලැබුණා!

ලන්ඩන් කාර්යාලයේදී ප්‍රිස් හියූ, එම්ලින් වින්ස්, එර්නි බෙවර්, එර්නි ගුවර්, බොබ් ගෆ්, ග්ලෙන් පාර්, ස්ටැන් සහ මාර්ටින් වුඩ්බර්න් ඇතුළු වෙනත් බොහෝදෙනෙකුව ආශ්‍රය කරන්න ලැබීම මට ලැබුණු ලොකු භාග්‍යයක්. මම වගේ අවුරුදු 23ක තරුණයෙකුට ආත්මික සද්දන්තයන් වැනි මේ අයව ආශ්‍රය කරන්න ලැබීම ඇත්තෙන්ම පුදුමයක්. මේ අයගෙන් හුඟදෙනෙක් දැන් ජීවතුන් අතර නැහැ. වර්ෂ 1940 ගණන්වලදී සහ 50 ගණන්වලදී බ්‍රිතාන්‍යයේ, ජ්වලිතය සහ අඛණ්ඩතාවය පවත්වාගැනීම සම්බන්ධයෙන් කදිම අත්තිවාරමක් දැමුවේ මේ අයයි.

එංගලන්තයේ චාරිකා සේවය කිසිවිටකත් නීරස වුණේ නැහැ

වර්ෂ 1954/55 හිම පතිත වන සීත කාලයේ තමයි චාරිකා සේවය ආරම්භ කළේ. අපිට පළවෙනි පැවරුම ලැබුණේ උතුරු මුහුදුබඩ සීතල සුළං හමන එංගලන්තයේ තැනිතලා භූමියක් වූ නැඟෙනහිර ඇන්ග්ලියාවට. ඒ කාලය වෙන කොට මුළු එංගලන්තයේම සාක්ෂිකරුවන් සිටියේ 31,000යි. එම පළමු චාරිකාව ටිකක් අමාරු අද්දැකීමක් වුණා අපිට. මට අද්දැකීම් තිබුණෙත් නැහැ. ඒ වගේම යෝක්ෂයර් ප්‍රාන්තයේ කෙනෙක් හැටියට මට තිබුණු ගති පැවතුම් සමහර සහෝදරයන්ට ඇල්ලුවේත් නැහැ. දක්ෂතාවලට වඩා කරුණාවන්තකමත් ක්‍රියා පිළිවෙත්වලට වඩා මනුෂ්‍යයනුත් වටිනවා කියලා කාලය ගත වෙනවාත් සමඟම මම ඉගෙනගත්තා. අනිත් අයට සහනය දෙන්න කියලා යේසුස් දුන් උපදෙස අනුගමනය කිරීමට තවමත් මම උත්සාහ කරනවා. ඒත් අසමත් වෙන අවස්ථාත් නැත්තේම නැහැ.—මතෙව් 11:28-30.

නැඟෙනහිර ඇන්ග්ලියාවේ මාස 18ක් සේවය කළාට පස්සේ එංගලන්තයේ ඊසානදිග පළාත් වන ටයින් ගඟ අසල පිහිටි නිව්කාස්ල්වලත් නෝර්ත්තම්බර්ලන්ඩ්වලත් චාරිකා සේවය කිරීමට අපට පැවරුමක් ලැබුණා. එම දර්ශනීය පළාතේ හිටිය මිත්‍රශීලී මනුෂ්‍යයන්ට මම හුඟාක් කැමතියි. එක්සත් ජනපදයේ වොෂිංටන් සිට්ල් නගරයෙන් පැමිණි දිස්ත්‍රික් අවේක්ෂක ඩොන් වොඩ්ගෙන් මට විශාල උපකාරයක් ලැබුණා. ඔහු 20වන ගිලියද් පාසැලෙන් උපාධිය ලැබූවෙක්. සාමාන්‍යයෙන් මම කතා දෙන කොට කියන්න ඕන දේවල් ඉක්මනට කියලා දානවා. ප්‍රමාණවත් වේගයකින් කතා කරන්නත්, විරාමය සහ ඉගැන්වීමේ කලාව යොදාගන්නා ආකාරයත් ඔහු තමයි මට කියලා දුන්නේ.

අපේ ජීවිත වෙනස් කළ තවත් පුදුමාකාර දෙයක්

වර්ෂ 1958දී අපිට ලිපියක් ලැබුණා. ඒ ලිපිය අපේ ජීවිතය වෙනස් කළා. ඒ ලිපියේ ආරාධනාවක් කර තිබුණා එක්සත් ජනපදයේ නියූ යෝර්ක් සවුත් ලැන්සින් නුවර ගිලියද් පාසැලට සහභාගි වෙන්න කියලා. ඉතිං අපි අපේ පුංචි ඔස්ටින් සෙවන් වර්ගයේ කාර් එක විකුණලා නියූ යෝර්ක් නුවරට යන්න අපේ ටිකට් මිල දී ගත්තා. ගිලියද් පාසැලට යන්න කලින් අපි නියූ යෝර්ක් නුවර පැවති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවට සහභාගි වුණ අතර ඔන්ටේරියෝ පිටස්බර්ග්වල මාස හයක් පුරෝගාමී සේවය කළා.

පාසැලේ උපදේශකවරු ලෙස හිටියේ දැන් පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ඇල්බට් ෂ්‍රෝඩ සහ දැන් ජීවතුන් අතර නැති මැක්ස්වෙල් ෆීන්ඩ් හා ජැක් රෙඩ්ෆොඩ්. රටවල් 14කින් පැමිණි ශිෂ්‍යයන් අසූදෙදෙනෙකුව ආශ්‍රය කරන්න ලැබීම විශාල දිරිගැන්වීමක්. අපි එකිනෙකාගේ සංස්කෘතීන් ගැන සුළු අවබෝධයකුත් ලබාගත්තා. ඉංග්‍රීසි ඉගෙනගැනීමට මහත් වෙහෙසක් ගත් විදේශීය ශිෂ්‍යයන් සමඟ ඇසුරු කිරීමේදී අපි දුටු දෙයක් තමයි වෙනත් භාෂාවක් ඉගෙනගැනීමේදී මුහුණ දෙන්ට වෙන ගැටලු කොයි වගේද කියන එක. මාස පහකින් අපේ පුහුණුව අවසන් කළ අතර අපි එක් එක්කෙනාට විවිධ රටවල් 27කට පැවරුම් ලැබුණා. ඉන්පසු අපේ උපාධි ප්‍රදානෝත්සවය අවසන් වී නැවත යුරෝපයට යන්න ක්වීන් එළිසබෙත් නැව පැමිණෙන තුරු දින කිහිපයක් නියූ යෝර්ක් නුවර සිටියා.

අපගේ පළමු විදේශ පැවරුම

අපිට පළවෙනි පැවරුම ලැබුණේ පෘතුගාලයට! අපි 1959 නොවැම්බර් මාසයේදී ලිස්බන් නුවරට ආවා. අපිට තිබුණ ප්‍රශ්නේ තමයි අලුත් භාෂාවකට සහ සංස්කෘතියට හැඩගැහෙන්නේ කොහොමද කියන එක. වර්ෂ 1959දී පෘතුගාලයේ සිටි මිලියන නවයක ජනගහනයෙන් සාක්ෂිකරුවන් හිටියේ 643යි. ඒ වෙන කොට අපේ දේශනා සේවය නීත්‍යානුකූල කර තිබුණේ නැහැ. අපටම කියලා රාජ්‍ය ශාලා තිබුණත් පිටතින් ඒවා රාජ්‍ය ශාලා කියලා හඳුනාගන්න කිසිම ලකුණක් පෙනෙන්න තිබුණේ නැහැ.

මිෂනාරිවරියක් වූ එල්සා පිකෝන් අපිට පෘතුගීසි භාෂාව ඉගැන්නුවා. ඉන්පස්සේ හැසලුයි මමයි ලිස්බන් අවට සහ ෆාරෝ, එවුරා සහ බෙසා යන නගරවල තිබුණ සභාවන් සහ කණ්ඩායම් බැහැදකින්න ගියා. වර්ෂ 1961 වෙන කොට දේවල් වෙනස් වුණා. ඒ කාලේදී මම ස්වාවොන් ගොන්සාල්විශ් මාටියස් කියන තරුණයා සමඟ බයිබලය පාඩම් කළා. පසුව ඔහු තීරණයක් ගත්තා ක්‍රිස්තියානියෙකු වශයෙන් හමුදා සේවය සම්බන්ධ ප්‍රශ්නයේදී මධ්‍යස්ථව සිටින්න. ඉන් ටික කලකට පස්සේ ප්‍රශ්න කිරීම සඳහා මාව පොලිස් මූලස්ථානයට කැඳෙව්වා. දින කිහිපයකට පසුව අපට දැනුම් දීමක් කළා දින 30ක් ඇතුළත රටින් පිට විය යුතුයි කියලා. අනෙක් මිෂනාරිවරුන් වූ එරික් සහ ක්‍රිස්ටිනාටත් බ්‍රයිටන් සහ ඩොමිනික්ටත් එල්සාටත් මෙම අද්දැකීමටම මුහුණ දෙන්න සිදු වුණා.

මම අභියාචනයක් ඉදිරිපත් කළ අතර එයට ප්‍රතිචාරයක් වශයෙන් රහස් පොලීසියේ ප්‍රධානියාව මුණගැසීමට අපට අවසර ලැබුණා. අපිව රටෙන් පිට කරන්න හේතුව, මගේ බයිබල් පාඩම වන ස්වාවොන් ගොන්සාල්විශ් මාටියස් කියලා ඔහු පැහැදිලිව සහ කෝපයෙන් කිව්වා. බ්‍රිතාන්‍යයේ අයට වගේ පෘතුගාලයේ අයට හෘදසාක්ෂිය නිසා යම් දේවල් නොකර ඉන්න බැහැ කියා ඔහු පැවසුවා. ඒ නිසා අපට පෘතුගාලයෙන් පිටවීමට සිදු වුණ අතර ස්වාවොන් ගැන කිසි දෙයක් දැනගැනීමට නොහැකි වුණා. මෙම සිද්ධිය වෙලා අවුරුදු 26ක් ගිය පසු පෘතුගාලයේ බෙතෙල් නිවස කැප කරන දවසේ ඔහුව ඔහුගේ භාර්යාවත් දියණියන් තිදෙනාත් සමඟ දකින්න ලැබුණ විට මට දැනුණ සතුට කියන්න බැරි තරම්! ඒ කියන්නේ පෘතුගාලයේ අපි කළ සේවය වතුරේ ගිහිල්ලා නැහැ!—1 කොරින්ති 3:6-9.

අපිට ඊළඟ පැවරුම ලැබුණේ අසල්වැසි රටක් වූ ස්පාඤ්ඤයට. එම පැවරුමත් අපි බලාපොරොත්තු නොවුණ දෙයක්! අපි කඳුළු පිරි දෑසින් දුම්රියෙන් ලිස්බන් සිට මැඩ්රිඩ් බලා පිටත් වුණා.

තවත් සංස්කෘතියකට හැඩගැසීම

ස්පාඤ්ඤයේ දේශනා සේවය සහ රැස්වීම් පැවැත්වූයේ රහසිගත ක්‍රමයකට. අපිට ඒ ක්‍රමයට පුරුදු වෙන්න සිදු වුණා. දේශනා සේවයේ යන කොට අපි සාමාන්‍යයෙන් එක නිවසකට ගියාට පස්සේ ඊට යාබදව තිබෙන අනෙක් නිවසට යන්නේ නැහැ. එක නිවසක සාක්ෂි දැරීමෙන් පස්සේ වීදියකට ගොස් තවත් ගොඩනැඟිල්ලකට යනවා. මේ ක්‍රමය නිසා පොලීසියට හෝ පූජකයන්ට අපව අල්ලගන්න පහසු වුණේ නැහැ. අපේ දේශනා සේවය තහනම් කරලා වගේම අපි ජීවත් වෙමින් හිටියේ ෆැසිස්වාදී කතෝලික ආඥාදායක පාලනයක් යටතෙයි කියන එකත් මතක තියාගන්න. අපි විදේශිකයන් නිසා අපිව හඳුනාගන්න බැරි වෙන විදිහට අපි ස්පාඤ්ඤ නම් දාගත්තා. මගේ නම පැබ්ලෝ. හැසල්ගේ නම ජුවානා.

මාස කිහිපයක් මැඩ්රිඩ්වල හිටියාට පස්සේ බාසිලෝනාවල චාරිකා සේවය කරන්න පැවරුමක් අපිට දුන්නා. අපි ඒ නගරයේ තිබුණ විවිධ සභාවන් බැහැදකින්න ගියා. සතියකට පොත් පාඩම් කණ්ඩායම් දෙක බැගින් වෙන් කරගෙන සභාවකට අයිති සෑම පොත් පාඩම් කණ්ඩායමකටම ගිය නිසා සති දෙකක හෝ තුනක කාලයක් එක සභාවක ගත කරන්න සිදු වුණා.

අනපේක්ෂිත අභියෝගයක්

වර්ෂ 1963දී ස්පාඤ්ඤයේ දිස්ත්‍රික් කටයුතු අධීක්ෂණය කිරීමට ආරාධනයක් ලැබුණා. චාරිකා නවයකට අයත් 3,000ක් පමණ සාක්ෂිකරුවන් පිරිසකට උපකාර කරමින් මුළු රටේම බල ප්‍රදේශය ආවරණය කිරීමට අපට සිදු වුණා. අපි අපේ මතකයෙන් ගිලිහී නොයන චාරිකා රැස්වීම් කිහිපයක් රහසිගතව පැවැත්වුවා. මෙම එක්රැස්වීම්වලින් කිහිපයක් සේවියා පළාත අසල වනාන්තරයේත් කේකොන් නගරයේ ගොවිපොළකත් මැඩ්රිඩ්, බාසිලෝනා, ලෙග්‍රොනියෝ නගරවල ගංගා අසලත් පැවැත්තුවා.

ගෙයින් ගෙට සේවයේ යෙදෙන කොට යම් අකරතැබ්බකට මුහුණ දෙන්න සිදු වුණොත් හෙමින් සැරේ ඉන් ඉවත්ව යන්න ළඟපාත නගරයේ කෙටි පාරවල් ගැන හොයා බැලුවා. එක සැරයක් තවත් සාක්ෂිකරුවෙක් සමඟ මැඩ්රිඩ්වල ගොඩනැඟිල්ලක ඉහළ මාලයේ දේශනා කරමින් ඉන්න කොට අපිට ඇහුණා පහළ කෑ ගහන ශබ්දයක්. අපි පහළට ගියාම දැක්කා මරියාගේ දූවරු කියන කතෝලික ආගමික කණ්ඩායමේ සාමාජිකයන් වූ ගැහැනු ළමයි කාණ්ඩයක් එතැන ඉන්නවා. අපෙන් පරෙස්සම් වෙන්න කියලා ඒ ළමයි අවට අසල්වැසියන්ට අනතුරු අඟවමිනුයි හිටියේ. අපිට ඒ අවස්ථාවේ එයාලට කාරණා පැහැදිලි කර දෙන්න බැරි වුණා. මොකද මට තේරුණා ඉක්මනින්ම එතැනින් ගියේ නැත්නම් අපිව පොලීසියට අසු වෙනවා කියලා. ඒ නිසා අපි අඩියට දෙකට එතනින් පිට වුණා.

ඒවා තමයි ස්පාඤ්ඤයේ ගත කළ අවුරුදු කිහිපය තුළ ලබපු රසවත්ම අද්දැකීම්. එහි සිටිය සහෝදර සහෝදරියන්ව සහ විශේෂ පුරෝගාමීන්ව දිරිගන්වන්න අපි උත්සාහයක් ගත්තා. මන්ද ඒ අය දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරන්නත් සභා ඇති කරන්නත් ඒවා වර්ධනය කරන්නත් යෑමේදී සිර අඩස්සියට සහ නොයෙකුත් දුක් ගැහැටවලට මුහුණ දුන්නා.

මේ කාලයේදී අපටත් දුක්මුසු ආරංචි ලැබුණා. ඒ ගැන හැසල් මෙසේ පවසනවා. “විශ්වාසවන්ත සාක්ෂිකාරියක් වූ මගේ අම්මා 1964දී අප අතරින් වියෝ වුණා. අන්තිම මොහොතේ අම්මා එක්ක වචනයක්වත් කතා කරන්න බැරි වෙච්ච එක ගැන මට හරිම දුකයි. මිෂනාරි සේවයේ නිරත වෙන බොහෝදෙනෙකුට කරන්න තිබෙන කැප කිරීම් අතරින් එකක් තමයි මේක.”

අන්තිමේදී ලැබූ ආගමික නිදහස

අවුරුදු ගණනාවක් දුක් වින්දායින් පස්සේ, අන්තිමේදී 1970 ජූලි මාසයේදී ෆැරැන්කෝ රජය මගින් අපේ වැඩ කටයුතු නීතික වශයෙන් පිළිගත්තා. පළමු රාජ්‍ය ශාලාව මැඩ්රිඩ්වලත් දෙවන එක බාසිලෝනා ලෙසිප්ස් නගරයේත් විවෘත කරන විට මටයි හැසල්ටයි පුදුම සතුටක් දැනුණා. ඒ වගේම ඔවුන් විශාල නාම පුවරු විදුලි ආලෝකයෙන් බැබළෙන්න සැලැස්සුවා. අපිව නීතික වශයෙන් පිළි අරන් තිබෙනවා කියාත් ස්පාඤ්ඤයේ දිගටම මෙම ආගම තිබේවි කියාත් මිනිසුන්ට දැනුම් දීමට අපට අවශ්‍ය වුණා! වර්ෂ 1972 වෙන කොට ස්පාඤ්ඤයේ සාක්ෂිකරුවන් 17,000ක් පමණ සිටියා.

මේ කාලයේදී මට එංගලන්තයෙන් ඉතාමත් දිරිගන්වනසුලු ආරංචි අසන්න ලැබුණා. මගේ තාත්තා අපිව බලන්න ස්පාඤ්ඤයට ආවා 1969දී. ඒ පැමිණි අවස්ථාවේ ස්පාඤ්ඤයේ සාක්ෂිකරුවන් ඔහුට සලකපු ආකාරය ඔහුගේ සිතට කාවැදුණා. ඔහු එංගලන්තයට ගිය පසු බයිබලය පාඩම් කිරීමට පටන්ගත් අතර වර්ෂ 1971දී තාත්තා බව්තීස්ම වුණා කියලා මට දැනගන්න ලැබුණා! අපි ගෙදර ගිය වේලාවේ තාත්තා ඒ කියන්නේ මගේ ක්‍රිස්තියානි සහෝදරයා කෑම කන්න ඉස්සර යාච්ඤා කරන කොට මගේ හදවතට දැනුණේ පුදුමාකාර සතුටක්. ඒ මොහොත කවදාකවත් අමතක වෙන්නේ නැහැ. මේ දවස එනකම් මම අවුරුදු 20ක් බලාගෙන හිටියා. මගේ මල්ලි බොබ් සහ ඔහුගේ භාර්යාව අයිරිස් 1958දී සාක්ෂිකරුවන් වුණා. එයාලගේ පුතා ෆිලිප් එයාගේ භාර්යාව ජේන් සමඟ දැන් ස්පාඤ්ඤයේ චාරිකා අවේක්ෂකයෙකු ලෙස සේවය කරනවා. ඔවුන් ඒ වගේ ලස්සන රටක සේවය කරනවා දැකීම අපිට විශාල සතුටක්.

වඩාත් මෑතක අප අද්දැක්ක පුදුමය

වර්ෂ 1980 පෙබරවාරියේදී පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් කලාපීය අවේක්ෂකයෙක් ලෙස ස්පාඤ්ඤයට ආවා. ඔහුට මාත් එක්ක දේශනා සේවයේ යන්න ඕනේ කිව්වාම මට පුදුම හිතුණා. ඔහුට මගේ වැඩ කොහොමද කියලා දැනගන්න ඕනෑකමක් තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ! සැප්තැම්බර් මාසයේදී නියූ යෝර්ක් බෘක්ලින් ලෝක මූලස්ථානයට එන්න කියලා අපට ආරාධනයක් ලැබුණා! අපිට අදහාගන්න බැරුව ගියා. අපේ ස්පාඤ්ඤ සහෝදරයන්ගෙන් වෙන්වීම දරාගත නොහැකි දුකක් වුණත් ඒ දුක හිතේ තද කරගෙන ආරාධනය අපි පිළිගත්තා. ඒ අවස්ථාව වෙන කොට සාක්ෂිකරුවන් 48,000ක් ස්පාඤ්ඤයේ හිටියා!

අපි පිටත් වෙන කොට සහෝදරයෙක් සාක්කුවේ දමන ඔරලෝසුවක් මට තෑගි කළා. ඒ ඔරලෝසුවේ උඩ “ලූක් 16:10 සහ ලූක් 17:10” යන බයිබල් පද දෙක ලියලා තිබුණා. එම බයිබල් පද දෙක මගේ තේමා බයිබල් පාඨයන් කියලා ඔහු මට කිව්වා. ලූක් 16:10හි කුඩා දේවලදී පවා අපි විශ්වාසවන්තව සිටිය යුතු බව අවධාරණය කරනවා. ලූක් 17:10 කියන්නේ අපි “නිෂ්ප්‍රයෝජන දාසයෝ” කියලයි. එනිසා පාරට්ටු කරගන්න කිසිම දෙයක් නැහැ. මම හැමතිස්සේම තේරුම්ගත් දෙයක් තමයි යෙහෝවාගේ සේවයේ අපි මොන දේ කළත් කැප වූ ක්‍රිස්තියානීන් හැටියට එය අපේ වගකීමක් කියලා.

තවත් නොසිතූ දෙයක්

වර්ෂ 1990 මට හෘදයාබාධයක ලකුණු පහළ වුණා. ඉන්පසු අවහිර වුණ මගේ රුධිර ධමනියට ප්‍රතිකර්මයක් වශයෙන් මාව සැත්කමකට භාජනය කළා. (ස්ටෙන් එකක් ඇතුළත් කළා.) ශාරීරික දුර්වලකම් තිබූ එම කාලයේ හැසල් මට නොයෙක් ආකාරවලින් උපකාර කළා. මම දුර්වලව සිටි නිසා මගේ බෑග් මලු උස්සගෙන ගියේ හැසල්. වර්ෂ 2000 මැයි මාසයේ පේස්මේකර් එකක් මගේ හෘදයට බද්ධ කළා. ඒකෙන් පස්සේ මගේ ජීවිතයේ මොනතරම් වෙනසක් ඇති වුණාද!

යෙහෝවාගේ හස්තය කොට වෙලා නැහැයි කියලා පසුගිය අවුරුදු 50 ඇතුළත හැසල් සහ මම අද්දැක්කා. ඔහුගේ අරමුණු ඉෂ්ට කරන්නේ ඔහුගේ නියමිත කාලයේදී මිසක අපට ඕන දවසක නෙමෙයි. (යෙසායා 59:1; හබක්කුක් 2:3) අපේ ජීවිතේ බොහෝ ප්‍රීතිය දනවන පුදුම දේවල් තිබුණා වගේම දුක්බර සිද්ධීන් කිහිපයකුත් තිබුණා. ඒත් ඒ සෑම අවස්ථාවකදීම යෙහෝවා අපිව රැකගත්තා. යෙහෝවාගේ සෙනඟගේ ලෝක මූලස්ථානයේදී හැමදාම වගේ පාලක මණ්ඩලයේ සාමාජිකයන් මුණගැහෙන්න ලැබීම ගැන අපි හරියට සතුටු වෙනවා. සමහර වෙලාවට මට හිතෙනවා ‘ඇත්තටම අපි මෙතැනට ආවද’ කියලා. ඇත්තෙන්ම මේක නම් අපි ලබපු මහත් කරුණාවක්. (2 කොරින්ති 12:9) යෙහෝවාගේ ධර්මිෂ්ඨ පාලනය පොළවට පැමිණෙන තුරු ඔහු අපිව සාතන්ගේ කූටෝපායන්වලින් දිගටම ආරක්ෂා කරයි කියලා අපි විශ්වාස කරනවා.—එපීස 6:11-18; එළිදරව් 21:1-4.

[26වන පිටුවේ පින්තූරය]

මම සිර දඬුවම ලැබූ මැන්චේස්ටර් ස්ට්‍රේන්ජ්වස් බන්ධනාගාරය

[27වන පිටුවේ පින්තූරය]

ඔස්ටින් සෙවන් කාර් එකේ එංගලන්තයේ චාරිකා සේවයේ යෙදෙමින්

[28වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1962දී ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්, ගර්සඩිල්ලාහි රහසිගත ලෙස එක්රැස්වීමක් පවත්වමින්

[29වන පිටුවේ පින්තූරය]

බෘක්ලින්හි බයිබල් පොත් පත් අතුරා ඇති අපගේ මේසය අසල