Skip to content

පටුනට යන්න

සැබෑ ඇදහිල්ලක් ඔබත් ගොඩනඟාගන්න!

සැබෑ ඇදහිල්ලක් ඔබත් ගොඩනඟාගන්න!

සැබෑ ඇදහිල්ලක් ඔබත් ගොඩනඟාගන්න!

දහනව හැවිරිදි සේරා ජේන්ගේ ඩිම්බ කෝෂ ආශ්‍රිතව පිළිකාවක් හටගෙන තිබිණ. සැත්කමක් කළ පසු තත්වය හොඳ අතට හැරී ඇතැයි ඇය සිතුවාය. ඇගේ බලාපොරොත්තු නැවත දළුලන්න පටන්ගත්තේය. වයස අවුරුදු 20දී ඈ විවාහ වීමට පවා සූදානම් වෙමින් සිටියාය. ඒත් එම වසරේදීම තමන්ට පිළිකාව නැවත වැළඳී ඇති බවත් තමා ජීවත් වන්නේ තව සති කිහිපයක් පමණක් බවත් ඇයට දැනගන්ට ලැබිණ. ඇගේ බලාපොරොත්තු සියල්ල සුනු විසුනු වී ගියේය. සේරා ජේන් 2000 ජූනි මස මෙලොවින් සමුගත්තාය. ඒ වන විට ඇයට අවුරුදු 21වත් සම්පූර්ණ වී තිබුණේ නැත.

සේරා ජේන්ව රෝහලේදී බැහැදැකීමට ගිය අයව පුදුමයට පත් කළ දෙයක් වන්නේ ඇගේ සන්සුන්කම හා අනාගතය පිළිබඳව ඇයට තිබූ නිසැකකමයි. දෙවි ගැනත් ඔහුගේ වචනය වන බයිබලය ගැනත් ඇයට තිබූ ගැඹුරු විශ්වාසයද ඔවුන්ගේ අවධානයට ලක් විය. කොතරම් දරුණු වේදනාවකට මුහුණ දුන්නත් ඇයට නැවත නැඟිටීම පිළිබඳව ස්ථිර විශ්වාසයක් තිබිණ. නව ලොවේදී ඇගේ හිතවතුන්ව නැවත හමුවීමේ අපේක්ෂාව ඇගේ දෘෂ්ටියෙන් බොඳ වී ගියේ නැත. (යොහන් 5:28, 29) ඇය නිතරම කිව්වේ, “දෙවිගේ අලුත් ලෝකයේදී මං ඔයගොල්ලන්ව ආයෙත් දකිනවා” කියායි.

ඇතමෙක් එවැනි ඇදහිල්ලක් මුළා කරවනසුලු යමක් සේ සලකා බැහැර කරති. ලුඩොවික් කෙනඩි එවැන්නෙකි. ඔහු ඇදහිල්ල පිළිබඳව තම අදහස් ප්‍රකාශ කළේ මෙලෙසයි. ‘මරණයෙන් පසු ඒදන් උයන වැනි ලස්සන තැනක ප්‍රණීත ආහාර පානවලින් හා සංගීතයෙන් සතුටු වී, තමන්ට පෙර මිය ගිය අය හා තමන්ට පසුව මිය යන අය සමඟ සුන්දර ජීවිතයක් ගත කරන්න පුළුවන් යන විශ්වාසය තිබෙන්නේ මතු ජීවිතය ගැන බයෙන් ඉන්න අය අතරයි.’ මෙහිදී වැදගත් ප්‍රශ්නයක් ඉස්මතු වේ. වඩාත් සාධාරණ වන්නේ කුමක්ද? කෙනඩි පැවසුවාක් මෙන් “පසු ජීවිතයක් නොමැති නිසා මේ ජීවිතයෙන් උපරිම සතුටක් ලබාගැනීමට වෑයම් කළ යුතුයි” යන විශ්වාසයද? එහෙමත් නැත්නම් සේරා ජේන් විශ්වාස කළාක් මෙන් දෙවි කෙරෙහිත් නැවත නැඟිටීම පිළිබඳව ඔහු දී තිබෙන පොරොන්දුව කෙරෙහිත් විශ්වාස කිරීමද? එවැනි ඇදහිල්ලක් වර්ධනය කරගන්නේ කෙසේද?

‘දෙවිව සම්බ වන ලෙස ඔහුව සොයන්න’

යමෙකු කෙරෙහි විශ්වාසයක් හා නිසැකකමක් වර්ධනය කරගැනීමට නම් ඔහුව හොඳින් දැනහඳුනා ගත යුතුයි. ඔහු සිතන හා ක්‍රියා කරන විදිහ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න අවශ්‍යයි. මෙයට මනස විතරක් නොව සිතද යෙදවිය යුතුයි. දෙවි කෙරෙහි නොසැලෙන ඇදහිල්ලක් වර්ධනය කරගැනීමේදීද මෙය සැබෑවකි. ඔහුව දැනහඳුනා ගන්න අවශ්‍යයි. ඔහුගේ ගතිගුණ හා පෞද්ගලිකත්වය පිළිබඳව තොරතුරුද රැස් කරගත යුතුයි. ඔහු කළ කී සෑම දෙයක්ම සලකා බලමින් ඔහු අතිශයින් විශ්වසනීය කෙනෙකු බව ඔප්පු කර ඇති ආකාරය ගැන සිතා බැලීමද වටී.—ගීතාවලිය 9:10; 145:1-21.

ඇතමෙකු සිතන්නේ දෙවි පිළිබඳව මෙවන් අවබෝධයක් කිසිදා ලබාගත නොහැකියි කියාය. දෙවි කෙනෙකු ඉන්නවා නම් ඔහු සිටින්නේ අපෙන් බොහෝ දුරස්වය කියාත් ඔහු කිසිදා තේරුම්ගත නොහැකි කෙනෙකු කියාත් ඔවුහු කියා සිටිති. ‘සේරා ජේන් වැනි ක්‍රිස්තියානීන් කියන විදිහට දෙවි ඇත්තෙන්ම ජීවමානයි නම් ඇයි අපි වගේ අයට ඔහුව දැනගන්ට සලස්වන්නේ නැත්තේ’ කියා මොවුහු ප්‍රශ්න කරති. ඒත් දෙවි සොයාගත නොහැකි, අපෙන් දුරස්ව සිටින කෙනෙක්ද? ඇතන්ස්හි විසූ දාර්ශනිකයන්ව හා බුද්ධිමතුන්ව ඇමතූ ප්‍රේරිත පාවුල් පෙන්වා දුන්නේ, ‘ලෝකයද එහි ඇති සියල්ලද මැවූ දෙවි’ ‘තමාව සම්බ වන ලෙස සොයන්න’ අවශ්‍ය සෑම තොරතුරක්ම සපයා ඇති බවය. ඇත්ත වශයෙන්ම, පාවුල් පැවසූ ලෙස ‘ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය.’—ක්‍රියා 17:24-27.

එසේ නම්, ‘දෙවිව සම්බ වන ලෙස ඔහුව සොයන්නේ’ කෙසේද? ඇතමෙකු මෙය කර තිබෙන්නේ තමන් අවට වූ විශ්වය නිරීක්ෂණය කිරීමෙනි. බොහෝදෙනෙකුට මින් පමණක්ම මැවුම්කරුවෙකු සිටින බවට ඒත්තුගන්වනසුලු සාක්ෂි ලැබී ඇත. * (ගීතාවලිය 19:1; යෙසායා 40:26; ක්‍රියා 14:16, 17) ඔවුන්ට හැඟෙන්නේ ප්‍රේරිත පාවුල්ට හැඟුණු ආකාරයටමයි. “ලෝකය මැවූ තැන් පටන් [දෙවිගේ] අදෘශ්‍යමාන දේ වන [ඔහුගේ] සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලිලෙස පෙනීයන්නේය.”—රෝම 1:20; ගීතාවලිය 104:24.

බයිබල් දැනුම අත්‍යවශ්‍යයි

මැවුම්කරු කෙරෙහි සැබෑ ඇදහිල්ලක් ගොඩනඟාගැනීමට නම් ඔහුගේ වෙනත් සැපයුමකින් ඔබ ප්‍රයෝජන ගත යුතුයි. එය කුමක්ද? එය නම් දෙවිගේ කැමැත්ත හා අරමුණු හෙළි කරන ඔහුගේ ලිඛිත වචනය වන බයිබලයයි. (2 තිමෝති 3:16) ඒත් මෙවැනි ප්‍රශ්නයක් මතු විය හැකියි. “බයිබලය පිළිපදිනවායයි කියන මිනිසුන් විසින් කර තිබෙන දුෂ්ටකම් හා අපරාධ ගැන සිතා බලද්දී බයිබලයෙහි සඳහන් කිසිම දෙයක් විශ්වාස කරන්න පුළුවන්ද?” කුහකකම, දුරාචාරය හා කෲරත්වය පිළිබඳව ක්‍රිස්තියානි ලෝකය තැතිගන්වනසුලු වාර්තාවක් තබා ඇති බව ඇත්තයි. ඒත් ක්‍රිස්තියානි ලෝකයේ ආගම් බයිබල් ප්‍රතිපත්ති ගැන කියනවා මිසක් ඒවා අදාළ කරගන්නේ නැති බව කොයි කවුරුත් දන්නා දෙයකි.—මතෙව් 15:8.

දෙවිට නමස්කාර කරනවා කියා පවසමින් ‘තමුන්ව මිලේට ගත් ආචාරීන්ව එපා කරන’ බොහෝදෙනෙකු සිටීවි කියා බයිබලයේම අනතුරු අඟවා තිබේ. “ඔවුන් නිසා සත්‍යතාවේ මාර්ගයට අපහාස පැමිණෙන්නේය” කියාත් ප්‍රේරිත පේතෘස් පැවසුවේය. (2 පේතෘස් 2:1, 2) යේසුස් ක්‍රිස්තුස් මෙවන් අයව හැඳින්වූයේ තමන්ගේ දුෂ්ට ක්‍රියා නිසා පහසුවෙන් හඳුනාගත හැකි ‘අධර්මිෂ්ඨකම් කරන්නන්’ වශයෙනි. (මතෙව් 7:15-23) ක්‍රිස්තියානි ලෝකයේ ක්‍රියාකලාපය හේතුවෙන් බයිබලය ප්‍රතික්ෂේප කිරීම හරියට විශ්වසනීය මිතුරෙකුගෙන් ලද ලිපියක් අප වෙතට රැගෙන එන්නාගේ නින්දිත හැසිරීම නිසා අහක දැමීම හා සමාන ක්‍රියාවකි.

දෙවිගේ වචනය නොමැතිව අපට සැබෑ ඇදහිල්ලක් ගොඩනඟාගැනීමට නොහැකිය. නොයෙක් කාරණා පිළිබඳව යෙහෝවාගේ ස්ථාවරය ගැන දැනගත හැක්කේ බයිබලය තුළින් පමණි. ‘දෙවි දුක් වේදනාවලට ඉඩහැර ඇත්තේ ඇයි?’ වැනි සියවස් ගණනාවක් පුරා මතු කර ඇති වැදගත් ප්‍රශ්නවලට ඔහු පිළිතුරු සපයන්නේද ඒ සම්බන්ධයෙන් ඔහු ගන්නා පියවර කුමක්ද කියා දැනුම් දෙන්නේද බයිබලය මාර්ගයෙනි. (ගීතාවලිය 119:105; රෝම 15:4) බයිබලය දේවානුභාවයෙන් ලියූ දෙවිගේ වචනය කියා සේරා ජේන් විශ්වාස කළාය. (1 තෙසලෝනික 2:13; 2 පේතෘස් 1:19-21) ඒ ඇයි? ඇගේ දෙමව්පියන් ඇයට එය විශ්වාස කරන්න කියා පැවසූ නිසාද? නැහැ, බයිබලය දෙවිගේ අද්විතීය වචනය කියා පෙන්වීමට තිබෙන සාක්ෂි අවංකව සෝදිසි කිරීමට ඇය කාලය ගත් නිසයි. (රෝම 12:2) උදාහරණයකට, බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නා අයගේ ජීවිත තුළ ඇති වන ප්‍රබල වෙනස්කම් ඇය නිරීක්ෂණය කළාය. තවද බයිබලය දෙවිගේ වචනයද නැත්නම් මිනිසාගේද? * වැනි ප්‍රකාශන පරෙස්සමෙන් අධ්‍යයනය කිරීමෙන් ලද අභ්‍යන්තර සාක්ෂි රැසකින් බයිබලය දිව්‍ය ආනුභාවයෙන් ලියන ලද්දක් බව ඇයට ඔප්පු විය.

‘ඇදහිල්ල ඇති වන්නේ පණිවුඩය ඇසීමෙන් අනතුරුවයි’

බයිබලයක් තිබූ පමණින් හෝ එය දේවානුභාවයෙන් ලියන ලද්දක් බව විශ්වාස කළ පමණින් ඇදහිල්ලක් ඇති නොවේ. “ඇදහිල්ල ඇති වන්නේ පණිවුඩය [ඇසීමෙන්]” අනතුරුවයි කියා ප්‍රේරිත පාවුල් පැහැදිලි කළේය. (රෝම 10:17, නව අනුවාදය) ඇදහිල්ල ගොඩනැඟෙන්නේ බයිබලයක් ළඟ තිබීමෙන් නොව, එහි තිබෙන පණිවිඩය ඇසීමෙන් බව මින් පැහැදිලිය. දෙවි අපට කියන දේ අපට ‘ඇසෙන්නේ’ අප බයිබලය කියවා එය අධ්‍යයනය කළොත් පමණයි. කුඩා දරුවන්ට පවා මෙය කළ හැක. තිමෝතිගේ මව සහ ආච්චි විසින් ඔහුට “බාල වයසේ පටන්” “ශුද්ධලියවිලි” උගන්වනු ලැබූ බව පාවුල් පවසයි. එයින් අදහස් කරන්නේ තිමෝතිගේ මනසට බලෙන් යම් දේවල් ඇතුල් කළා කියාද? නැහැ, මෙහිදී නම්මාගැනීමක් හෝ මුළා කිරීමක් සිදු නොවීය. තිමෝති තමා ඇසූ හා කියෙවූ දේවල් ‘ඒත්තුගත්තේය.’ ඔව්, ඒවා සත්‍යය බව විශ්වාස කිරීමට ඔහුට ඇති තරම් සාක්ෂි තිබිණ.—2 තිමෝති 1:5; 3:14, NW, 15.

සේරා ජේන් බයිබලයේ සඳහන් කාරණා ඒත්තුගත්තේද ඒ ආකාරයටමයි. පළමුවන සියවසේ විසූ බෙරීයවරුන් මෙන් ඇයද ‘සිතේ මුළු කැමැත්තෙන් [දෙමව්පියන් හා වෙනත් අය ඉගැන්වූ] වචනය පිළිගත්තාය.’ කුඩා දැරිවියක්ව සිටියදී දෙමව්පියන් කියූ දේවල් ඇය ප්‍රශ්න නොකර පිළිගත් බව නිසැකයි. ඒත් වැඩිහිටිභාවය දක්වා වර්ධනය වෙද්දී ඇය සෑම දෙයක්ම අන්ධ ලෙස ඔහේ පිළිගත්තේ නැත. ඇය ඉගැන්වූ ‘කරුණු හරි හැටි දැනගන්නා පිණිස, දිනපතා ශුද්ධ ලියවිල්ල පිරික්සා’ බැලුවාය.—ක්‍රියා 17:11, න. අ.

සැබෑ ඇදහිල්ලක් ඔබටත් ගොඩනැඟිය හැක!

ඔබටත් සැබෑ ඇදහිල්ලක් වර්ධනය කරගත හැක. ප්‍රේරිත පාවුල් එවැනි ඇදහිල්ලක් ගැන හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට විස්තර කළේය. සැබෑ ඇදහිල්ල කියන්නේ “බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය” කියා ඔහු පැහැදිලි කළේය. (හෙබ්‍රෙව් 11:1, අකුරු ඇල කළේ අපය.) ඔබට එවැනි ඇදහිල්ලක් ඇත්නම්, නැවත නැඟිටීම පිළිබඳ දෙවිගේ පොරොන්දුව ඇතුළු ඔබේ අනිකුත් සෑම අපේක්ෂාවක්ම ඉටු වන බවට අබමල් රේණුවක තරම්වත් සැකයක් ඔබට නොතිබෙනු ඇත. එවිට එය නිකම්ම අහසේ මාළිගා තැනීමක් බඳු බොළඳ සිහිනයක් නොව, නමුත් සහතික කරගත් විශ්වාසයක් මත පදනම් වූ අපේක්ෂාවක් බවට පත් වේ. මන්ද යෙහෝවා කිසිදාක ඔහුගේ පොරොන්දු ඉටු කිරීමට අසමත් නොවන බව ඔප්පු කර තිබෙනවා කියා එවිට ඔබ දැනගනී. (යෝෂුවා 21:45; 23:14; යෙසායා 55:10, 11; හෙබ්‍රෙව් 6:18) දෙවි පොරොන්දු කරන ලද අලුත් ලෝකය ඔබේ ඇස් පනාපිටම ඇති යමක් සේ පෙනෙනු ඇත. හරියට ඔබ එතැන සිටින්නාක් මෙන්ය. (2 පේතෘස් 3:13) ඇදහිල්ල නමැති ඇස්වලින් ඔබට යෙහෝවා දෙවි, යේසුස් ක්‍රිස්තුස් හා දෙවිගේ රාජ්‍යය පැහැදිලිව දැකගත හැකි වන අතර මෙම දේවල් නිකම්ම සිහිනයක් නොවන බව ඔබට සහතික වේ.

සැබෑ ඇදහිල්ලක් ගොඩනඟාගැනීමේදී ඔබ තනි වී නැති බවත් මතක තබාගන්න. තම වචනය පහසුවෙන්ම ලබාගැනීමට ඉඩ සලසා දීමට අමතරව ජාත්‍යන්තර ක්‍රිස්තියානි සහෝදරයන්ගෙන් පිරි සංවිධානයක්ද යෙහෝවා අපට දී තිබේ. එම සංවිධානයේ සෑම සාමාජිකයෙක්ම අවංක සිත් ඇති ජනයාට දෙවි කෙරෙහි ඇදහිල්ලක් ගොඩනඟාගැනීම සඳහා අත හිත දීමට සූදානමින් සිටිති. (යොහන් 17:20; රෝම 10:14, 15) මෙම සංවිධානය තුළින් යෙහෝවා සපයන සෑම උපකාරයක්ම පිළිගන්න. (ක්‍රියා 8:30, 31) ඇදහිල්ල දෙවිගේ ශුද්ධාත්මයේ ඵලයක් වන බැවින් සැබෑ ඇදහිල්ලක් ගොඩනඟාගැනීමට නිතරම ශුද්ධාත්මයේ උපකාරයද පතන්න.—ගලාති 5:22.

දෙවි සහ ඔහුගේ වචනය කෙරෙහි ඇදහිල්ල ප්‍රකාශ කරන අය සැක කරන්නන්ගේ සරදම්වලට ලක් විය හැකියි. ඒත් ඔවුන්ගේ වචන නිසා අධෛර්යයට පත් වන්න එපා. (1 කොරින්ති 1:18-21; 2 පේතෘස් 3:3, 4) ඇත්තෙන්ම එවැනි ප්‍රහාරවලට එරෙහිව සිටීම සඳහා ඔබ ගෙන ඇති ස්ථාවරය ශක්තිමත් කිරීමට සැබෑ ඇදහිල්ල මහෝපකාරි වේ. (එපීස 6:16) සේරා ජේන්ගේ අද්දුටුවේද එයයි. රෝහල්ගතව සිටියදී ඇයව බැහැදැකීමට ආ සියලුදෙනාටම ඇය නිතරම දිරිගැන්වූයේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් කරගන්න කියාය. “සත්‍යය ඔබේම වස්තුවක් කරගන්න. දෙවිගේ වචනය අධ්‍යයනය කරන්න. ඔහුගේ සංවිධානයට සමීපව සිටින්න. නිතරම යාච්ඤා කරන්න. යෙහෝවාගේ සේවයේ ක්‍රියාශීලීව සිටින්න” කියා ඇය නිතරම අන්‍යයන්ව දිරිගැන්වූවාය.—යාකොබ් 2:17, 26.

දෙවි කෙරෙහිත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව කෙරෙහිත් ඇය ගොඩනැඟූ ඇදහිල්ල දුටු එක් හෙදියක් ඇයට මෙසේ පැවසුවාය. “ඔයා මේ දේවල් ඇත්තටම විශ්වාස කරනවා නේද?” එතරම් දුෂ්කරතා මැද ශුභවාදීව කටයුතු කිරීමට ඇයට ශක්තිය ලැබුණේ කොහොමද කියා ඇගෙන් ඇසූ විට ඇය පිළිතුරු දුන්නේ මෙලෙසයි. “යෙහෝවා කෙරෙහි මට තියෙන ඇදහිල්ල නිසයි මට මෙහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. එයා තමයි මගේ හොඳම මිතුරා. මගේ මුළු හදින්ම මම එයාට ආදරෙයි.”

[පාදසටහන්වල]

^ 8 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත බලන්න.

^ 12 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි. සිංහලෙන් නොමැත.

[6වන පිටුවේ පින්තූරය]

තිමෝතිගේ මව සහ ආච්චි “බාල වයසේ පටන්” ඔහුට “ශුද්ධලියවිලි” ඉගැන්වූහ

[6වන පිටුවේ පින්තූරය]

ශුද්ධ ලියවිලි දිනපතාම පරීක්ෂා කර බැලූ බෙරීයවරුන් ප්‍රශංසාවට ලක් විය

[හිමිකම් විස්තර]

1914, “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” ආශ්‍රිතයෙනි

[7වන පිටුවේ පින්තූර]

ඇදහිල්ල ගොඩනැඟෙන්නේ බයිබලය ළඟ තිබීමෙන් නොව එහි පණිවිඩය ඇසීමෙන් හා ඊට අවනත වීමෙනි

[7වන පිටුවේ පින්තූරය]

“දෙවිගේ අලුත් ලෝකයේදී මං ඔයගොල්ලන්ව ආයෙත් දකිනවා”