සැබෑ ඇදහිල්ල අතීතයට සීමා වූ යමක්ද?
සැබෑ ඇදහිල්ල අතීතයට සීමා වූ යමක්ද?
“ඇදහිල්ල කියන්නේ දෙවිගේ කරුණාව කෙරෙහි ක්‍රියාශීලී, නොබිඳිය හැකි විශ්වාසයක්. නිර්භීතකම ජනිත කරවන එය කොයිතරම් ස්ථිරද කිව්වොත් කෙනෙක් දසදහස් වරක් වුණත් ඒ වෙනුවෙන් දිවි පුදන්න සූදානම්.”—මාර්ටින් ලූතර්, 1522.
“අපි ජීවත් වෙන්නේ අධ්‍යාත්මිකව පිරිහුණු, ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් හා ඇදහිල්ල නැත්තටම නැති සමාජයකයි.”—ලුඩොවික් කෙනඩි, 1999.
ඇදහිල්ල පිළිබඳව එකිනෙකට පරස්පර විරෝධී මතිමතාන්තර ගණනාවක් ඇත. අතීතයේදී බහුතරයක් දෙවි කෙරෙහි ඇදහිල්ලක් තැබුවද, අද පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් වාතාවරණයකි. අප ජීවත් වන්නේ ඕනෑම දෙයක් දෙස සැකයෙන් බලන හා දුක් වේදනාවලින් වෙළී සිටින සමාජයකයි. එමනිසා දෙවි කෙරෙහිත් බයිබලය කෙරෙහිත් මිනිසාගේ ඇදහිල්ල දැන් එන්න එන්නම හීන වෙමින් පවතී.
සැබෑ ඇදහිල්ල
බහුතරයකගේ මතයට අනුව “ඇදහිල්ල” යන්නෙන් අදහස් කරන්නේ යම් ආගමික විශ්වාසයක් නැතහොත් අනුගමනය කරන යම් නමස්කාර ක්‍රමයකි. ඒත් බයිබලයට අනුව නම් ඇදහිල්ල කියන්නේ දෙවි සහ ඔහුගේ පොරොන්දු කෙරෙහි අබමල් රේණුවක තරම්වත් සැකයකින් තොර නොසැලෙන විශ්වාසයකි. එය යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ගේ පෞද්ගලිකත්වය තුළ ගලක කෙටූ අකුරක් මෙන් නොමැකී පවතී.
යේසුස් ක්‍රිස්තුස් එක් අවස්ථාවක ‘නොකඩවාම’ [NW] යාච්ඤා කිරීමේ වැදගත්කම ගැන කතා කළේය. ඒත් සමඟම ඔහු අපේ කාලය පිළිබඳව වැදගත් ප්‍රශ්නයක් ඉස්මතු කරමින් මෙසේ පැවසීය. “එසේවී නුමුත් මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි පොළොවේ ඇදහිල්ල [මෙවන් ඇදහිල්ලක්, NW පාදසටහන] සම්බවේද?” අපේ කාලයේ සැබෑ ඇදහිල්ලක් ඇති පුද්ගලයන් සිටීද යන කාරණය ගැන යේසුස් ප්‍රශ්න කළේ ඇයි කියා අපි දැන් සලකා බලමු.—ලූක් 18:1, 8.
ඇදහිල්ල නැති වී
අප සතු ඇදහිල්ල නැති වී යෑමට නොයෙකුත් සාධක බලපෑ හැකියි. එදිනෙදා ජීවිතයේදී අප අද්දකින වියවුල් සහගත තත්වයන් හා පරීක්ෂාවන් මීට නිදසුන් දෙකකි. වර්ෂ 1958දී මූනික්හි සිදු වූ ඛේදජනක ගුවන් අනතුර මෙයට හොඳ නිදසුනකි. එම අවස්ථාවේදී මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝදෙනෙක් මිය ගියහ. එවකට එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරෙහි මීසමක් භාරව සිටි පූජකයෙකු වූ බයිබල් විශාරද මයිකල් ගෝල්ඩර් මෙම සිද්ධියට ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? BBC රූපවාහිනි වැඩසටහනකදී ජෝන් බේක්වෙල් එය විස්තර කළේ මෙලෙසය. ගෝල්ඩර් ‘දුකෙන් වැලපෙන ජනයා දුටු විට කිසිවක් කර කියාගත නොහැකි තත්වයකට පත් වුණා.’ එහි ප්‍රතිඵලයක් වශයෙන් “මිනිස්
කාරණාවලදී මැදිහත් වන දෙවි කෙනෙකු කෙරෙහි [ඔහුට] තිබූ විශ්වාසය මුළුමනින්ම බිඳී ගියේය.” “බයිබලය දෙවිගේ නිරවද්‍ය වචනය නොවන බවත් එහි ඇතුළත් වන්නේ අසම්පූර්ණ මිනිසාගේ දෝෂ සහිත අදහස් බවත්” ගෝල්ඩර් පැවසීය. “සමහරවිට දෙවිගේ කියමන් තැනින් තැන ඇති” කියා ඔහු තවදුරටත් සඳහන් කළේය.සමහරෙකුගේ ඇදහිල්ල නැති වී යන්නේ ක්‍රමක්‍රමයෙනි. ප්‍රචාරණ කටයුතුවල යෙදෙන ලේඛකයෙකු වන ලුඩොවික් කෙනඩිගේ අද්දැකීම මෙයට නිදසුනකි. දෙවි කෙනෙකු සිටිනවාද නැද්ද යන්න පිළිබඳව කුඩා කාලයේ සිටම “ [ඔහු තුළ] විටින් විට සැක පහළ වුණා” කියාත් “ඒක ක්‍රමක්‍රමයෙන් අවිශ්වාසය දක්වා වර්ධනය වුණා” කියාත් ඔහු පැහැදිලි කළේය. ඔහුගේ ප්‍රශ්නවලට තර්කානුකූල පිළිතුරු සැපයීමට කිසිවෙකුට නොහැකි වූ බවත් ඔහු පැවසීය. ඔහුගේ පියා අනපේක්ෂිත ලෙස මුහුදු ගමනකදී මිය යෑම, නිවී යන ගිනි පුපුරක් මෙන් තිබුණු ඔහුගේ ඇදහිල්ලට දමා ගැසූ වතුර පහරක් මෙන් විය. නාවික හමුදාවේ සිටි ලුඩොවික්ගේ පියා ගමන් කරමින් සිටි නෞකාව, දෙවන ලෝක සංග්‍රාම සමයේදී ජර්මානු යුධ නෞකාවල පහර දීම්වලට ලක් වී සුනු විසුනු වී ගියේය. “මුහුදේ සිදු විය හැකි අන්තරාවන්ගෙන්ද සතුරු ප්‍රහාරවලින්ද තමන්ව ආරක්ෂා කරන මෙන්” නාවික හමුදා භටයන් දෙවිට කළ යාච්ඤා සියල්ලම නිෂ්ඵල විය.—All in the Mind—A Farewell to God නමැති කෘතියෙන් උපුටන ලද්දකි.
ඇදහිල්ල සුනු විසුනු කරවන මෙවන් අද්දැකීම් සුලභය. මෙය සනාථ කරමින් ‘ඇදහිල්ල සැමදෙනෙකුම සතු යමක් නොවේ’ කියා ප්‍රේරිත පාවුල් පැවසුවේය. (2 තෙසලෝනික 3:2, NW) ඔබ සිතන්නේ කුමක්ද? ඕනෑම දෙයක් දෙස සැකයෙන් බැලීමට නැඹුරු වන මෙම ලෝකයේ දෙවි කෙරෙහිත් ඔහුගේ වචනය කෙරෙහිත් සැබෑ ඇදහිල්ලක් ගොඩනඟා ගත හැකිද? මේ පිළිබඳව දැනගැනීමට කරුණාකර මීළඟ ලිපිය කියවන්න.