Skip to content

පටුනට යන්න

අපේ උපරිමය අපි කරනවා!

අපේ උපරිමය අපි කරනවා!

අපේ උපරිමය අපි කරනවා!

“ඔයාගේ උපරිමය ඔයා කරන්න.” ඒ ප්‍රායෝගික උපදෙස මිෂනාරිවරයෙකුට ලැබුණේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකුගෙනි. අද්දැකීම් ලත් දේවසේවකයෙකුට එතරම් සරල උපදෙසක් දුන්නේ ඇයි? මිෂනාරිවරුන් බොහෝදෙනෙකු කෘමීන්, සර්පයින්, අධික රස්නය, ලෙඩරෝග හා වෙනත් බොහෝ උවදුරුවලට දිනපතාම මුහුණ දෙන අභීත මිනිස් කණ්ඩායමක් නොවේද?

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මිෂනාරිවරුන් කියන්නේ යෙහෝවා හා සෙසු මිනිසුන් කෙරෙහි ඇති ගැඹුරු ප්‍රේමය හේතුවෙන් පිටරටවල සේවය කිරීමට තෝරාගත් ක්‍රිස්තියානි ස්ත්‍රීන් හා පුරුෂයන්ය. ඔවුහු තම උපරිමයෙන් යෙහෝවාට සේවය කිරීමට වෙර වීරිය දරන අතර, ඔහුගෙන් ලැබෙන ශක්තිය දෙස බලා සිටිති.—එපීස 6:10.

මිෂනාරිවරයෙකුගේ වැඩය ගැන මදක් ඉගෙනගැනීමට අපි බටහිර අප්‍රිකාවේ තිබෙන මිෂනාරි නිවාසයක දවසක් ගත කරනවායැයි සිතමු.

මිෂනාරි සේවයේ එක දවසක්

අප මිෂනාරි නිවසට ළඟා වෙද්දී වේලාව උදේ හතට ළඟයි. අප එතැනට ගියේ දිනපදය සාකච්ඡා කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දියි. එහි සිටි මිෂනාරිවරු දහදෙනා බොහෝම උණුසුම් විදිහට අපව පිළි අරගෙන කෑම මේසෙට ආරාධනා කළහ. අප එකිනෙකාව ටිකක් හඳුනාගත් පසුව, කාලයක් තිස්සේ මිෂනාරි සේවයේ යෙදී සිටි මිෂනාරිවරියක් සේවයේ අද්දුටු හාස්‍යජනක සිද්ධියක් විස්තර කරන්න පටන්ගත්තාය. ඒත් එක්කම වගේ අපේ කතාව නතර වුණේ, එදිනට නියමිත දිනපද සාකච්ඡාව කළ සහෝදරයා සතුටින් සිටි අපට දිනපදය කරන්න වේලාව ඇවිත් කියා මතක් කළ විටය. සාකච්ඡාව කළේ ප්‍රංශ භාෂාවෙනි. අප ඒ භාෂාව කතා නොකළත්, වෙනත් රටවලින් පැමිණි මේ මිෂනාරිවරුන්ගේ මුහුණු බලද්දී පැහැදිලි වූයේ ඔවුන් ප්‍රංශ භාෂාව හොඳින් ඉගෙනගෙන තිබෙන බවයි.

දිනපදය සාකච්ඡා කිරීමෙන් පසු, හෘදයාංගම යාච්ඤාවක් කෙරුණි. ඊටපසු සැවොම එක්කාසු වුණේ උදේ කෑම කන්නයි. අප සිරීයල් බෙදාගෙන කන්න යද්දී, කෙසෙල් ගෙඩියක් පෙති ගහල ඒකට දාගෙන කන්න කියා අනිත් පුටුවේ සිටි මිෂනාරිවරයා අපට කීවේය. අප කෙසෙල් කන්න ආසා නැති බව කීවාම, අප කෑවොත් ඒ අදහස වෙනස් වෙයි කියා ඔහු පැවසුවේය. ඉතින් අපි කෙසෙල් පෙති කිහිපයක් සිරීයල් එකට දාගෙන කෑවෙමු. ඔහු කීවේ මොනතරම් ඇත්තක්ද! ඒ කෙසෙල් ඒ තරම්ම රසවත්! අප කෑ පාන් සාදා තිබුණේ ප්‍රංශ ක්‍රමයටයි. ඒවා පුච්චා තිබුණේ එදා හිමිදිරි පාන්දර, මිෂනාරි නිවස ඉදිරියේ පාරෙන් එහා පැත්තේ තිබෙන පුංචි බේකරියේ බව ඔවුහු අපට පැවසූහ.

උදේ කෑමෙන් පසු මිෂනාරි යුවළක් වන බෙන් සහ කැරන් සමඟ දවස ගෙවන්නයි අප සූදානම් වෙන්නේ. මේ බටහිර අප්‍රිකානු රටේ ක්ෂේත්‍රය බොහෝම ඵලදායක බව අප අසා තිබුණි. එහෙත් ඒ කතාවේ ඇත්ත නැත්ත බලාගැනීමට අපි ආශාවෙන් පෙළුණෙමු.

අප බස් නැවතුම්පොළට පැමිණි විට දහ දොළොස්දෙනෙක් පමණ එහි සිටියහ. වැඩි වේලාවක් යන්න කලින්, අපේ මිෂනාරි යුවළ එතැන සිටි ස්ත්‍රියක සහ ඇගේ පුත්‍රයා සමඟ කතා බහේ යෙදුණි. ඔවුන් බයිබල් විෂයක් ගැනයි කතා කරමින් සිටියේ. ප්‍රංශ භාෂාව නොදත් නිසා අපට කරන්න පුළුවන් වුණේ හිනාවෙන් ඔවුන්ට සංග්‍රහ කිරීම පමණි. ඒ ස්ත්‍රිය මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ලබාගන්නවාත් සමඟම බසය එතැනට ළඟා විය. රථයට එක වර ගොඩවීමට හැමෝම පොර කෑවෝය. අපත් අමාරුවෙන් ඇතුලට රිංගාගත් අතර, අපේ පිටුපස සිටි අය අපව තවත් ඉදිරියට තල්ලු කළෝය. අපිද බසයේ පසුපසටම තල්ලු වී ගියෙමු. අප නොවැටී සිටීමට නොගත් වෙහෙසක් නැත. රියැදුරු තැන රථය පදවද්දී අපිද අපේ ජීවිතය ගැන තියෙන අදහස අතහැර ගතිමු. විටින් විට බසය නතර කර තවත් සෙනඟ පටවාගත්තේය. අපිද සෙසු මඟීන් සමඟ සිනාසුණෙමු. ඔවුහුද අපට සිනහවකින් සංග්‍රහ කළෝය. ඔවුන් හා කතා කිරීමට කුමක් හෝ ක්‍රමයක් තිබුණා නම්!

බසය වේගයෙන් ඉදිරියට ඇදෙද්දී, අපි පාර දෙපැත්තේ සිදු වන දේවල් දෙස ජනේලයෙන් කර පොවා බැලුවෙමු. ස්ත්‍රීන් දෙදෙනෙක් විශාල බරක් හිස මත තබාගෙන පාර අයිනේ ගමන් කරමින් සිටියෝය. ඔවුන්ගෙන් කෙනෙකු විශාල වතුර බාල්දියක් හිස මත තබාගෙනය. නිර්මාණකරුවෙක් බ්ලැන්කෙට්ටුවක් පදික වේදිකාවේ අතුරා ඒ මත තබා තිබෙන ආභරණ විකිණීමට උත්සාහ ගනියි. සැමෝම විකුණන්න පුළුවන් සෑම දෙයක්ම විකුණමින් මිල දී ගත හැකි සෑම දෙයක්ම මිල දී ගනිමින් සිටිති.

මා ඉදිරියේ සිටගෙන සිටි බෙන්ට තමන්ගේ පයට කොටන ගතියක් හදිස්සියේම දැනුණි. ඒ කුමක් විය හැකිද? බසය සෙනඟගෙන් පිරී ඉතිරී ගොසිනි. ආයෙත් කොටනවා දැනෙයි. ඒ මොහොතේ ඔහු කෙසේ හෝ බිමට නැමී බැලුවේය. ඔහුගේ පාදය ළඟ තිබූ මල්ලේ සිටියේ තාරාවෙකි. ඌ සැරෙන් සැරේ ඔළුව එළියට දමා බෙන්ගේ පාදයට කෙටුවේය. බෙන් කියූ ආකාරයට ඒ තාරාවාගේ අයිතිකරුවා ඌව විකිණීමට වෙළඳපොළට ගෙනයමින් සිටියා විය හැකිය.

අප සේවය කරන ප්‍රදේශයට පැමිණි විට අප සිටින්නේ අප්‍රිකානු මිනිසුන්ම සිටින ප්‍රදේශයක බව දැනගන්න ලැබුණු විට අපි හුඟක් සතුටු වුණෙමු. මුල්ම ගෙදරට ගිය විට ගෙහිමියාට ඇසෙන සේ බෙන් වැරෙන් අත්පුඩි ගැසුවේය. ලෝකයේ මේ පැතිවල මිනිස්සු “දොරට තට්ටු කරන්නේ” ඔන්න ඔහොමයි. තරුණ පුරුෂයෙකු පැමිණ, ඒ මොහොතේදී තමන් වැඩක් කරමින් සිටින බවත් උදේ වරුවේම පසු වේලාවක එන ලෙසත් පැවසීය.

ඊළඟ නිවසේදී අපට හමු වූයේ බෙන් පවා නොදන්නා උපභාෂාවක් කතා කරන ස්ත්‍රියකි. බෙන් කියන දේ පරිවර්තනය කරන්නැයි ඇය තම පුතාට කීවාය. බෙන් කතා කර අවසනදී, එම ස්ත්‍රිය බයිබලය මත පදනම් විවරණිකාවක් ලබාගත් අතර, එය මවට පැහැදිලි කර දීමට පුතා පොරොන්දු විය. තුන්වන නිවසට යන විට තරුණයන් කිහිපදෙනෙක් ඉදිරි මිදුලේ වාඩි වී සිටියෝය. ඔවුන්ගෙන් දෙදෙනෙක් ඉක්මනින් ඔවුන් සිටි පුටුවලින් නැඟිට අමුත්තන්ට හිඳගැනීමට අවස්ථාව ලබා දුන්නෝය. ඉන්පසුව නමස්කාර කිරීමේදී කුරුසය භාවිතය හා බැඳි ප්‍රාණවත් සාකච්ඡාවක් කෙරුණි. ඊළඟ සතියේදී තවදුරටත් සාකච්ඡා කිරීමට සැලසුම් යොදාගත්තේය. නැවත වරක් මුල් නිවසේදී හමු වූ වැඩ බහුලව සිටි තරුණයාව හමුවීමට කාලය පැමිණ ඇත. තරුණයන් සමඟ කළ සාකච්ඡාව ගැන කෙසේ හෝ මොහුටද දැනගැනීමට ලැබී තිබුණි. ඔහුටත් බොහෝ ප්‍රශ්නවලට බයිබලයෙන් උත්තර ලබාගැනීමට අවශ්‍යව තිබූ නිසා බයිබල් පාඩමක් කරන මෙන් ඔහු ඉල්ලා සිටියේය. බෙන් තම දින දර්ශනය පරීක්ෂා කර ඊළඟ සතියේ මේ වේලාවටම පැමිණීමට එකඟ විය. දිවා ආහාරය සඳහා මිෂනාරි නිවාසයට යන අතරේ බෙන් සහ කැරන් පැවසුවේ ඔවුන්ගේ බයිබල් පාඩම් වැඩසටහන ගැන සැලකිලිමත් නොවුවහොත් කිරීමට නොහැකි තරම් බයිබල් පාඩම් සංඛ්‍යාවක් බාරගැනීමට සිදු වන බවයි.

ඔවුන් ව්‍යක්ත විදිහට ප්‍රංශ භාෂාව කතා කිරීම ගැන අපි ඔවුන්ට ප්‍රශංසා කළෙමු. අවුරුදු හයක් පුරා බෙන් සහ කැරන් මිෂනාරි සේවයේ යෙදී ඇති අතර, දැන් දැන් ප්‍රංශ භාෂාවට තමන් හුරු වෙමින් සිටින බව ඔවුහු කියා සිටියහ. අලුත් භාෂාවක් ඉගෙනගැනීම පහසු නොවුවත්, විඳදරාගැනීම ප්‍රතිඵලදායක බව ඔවුහු කියා සිටියෝය.

දහවල් 12:30ට මිෂනාරිවරු සියලුදෙනාම කෑම මේසය වටා රොක් වූහ. සෑම දවසකම උදේ සහ දහවල් ආහාරය පිළියෙළ කිරීමටත් වළං පිඟන් සේදීමටත් එක මිෂනාරිවරයෙකුට පැවරෙයි. එදින එක මිෂනාරිවරියක් අපේ කටට කෙළ උනන, ඇගේ ප්‍රියතම ආහාර වේල පිළියෙළ කර තිබුණාය. ඒ, බැදපු කුකුල් මස් සහ අල චිප්ස් එක්ක තක්කාලි සලාදයක්!

බෙන් සහ කැරන් සැන්දෑ වරුවේ කරන්න සැලසුම් කර තිබෙන්නේ මොනවාද? රටේ සිටින හැමෝම වාගේ දහවල් 1:00 සිට 3:00 පමණ වන තුරු අධික හිරු රස්නෙන් බේරීමට උත්සාහ කරයි. මිෂනාරිවරු මේ කාලය පාඩම් කිරීමට හෝ කෙටි නින්දක් සඳහා හෝ යොදාගනිති. මේ ආකාරයේ පුරුදුවලට හුරුවීමට වැඩි කාලයක් ගත නොවන බව කැරන් කී විට අපි ඒ ගැන පුදුම නොවීමු!

කෙටි නින්දකින් පසු අපි නැවතත් ක්ෂේත්‍ර සේවය සඳහා ගියෙමු. ඉන්පසු, කාලයක් තිස්සේ හමුවීමට උත්සාහ කළද හමු නොවූ උනන්දුව දැක්වූ කෙනෙකුව හමුවීමට ගියෙමු. බෙන්ගේ අත්පුඩි හඬට එළියට පැමිණියේ තරුණයන් දෙදෙනෙකි. බෙන් පැමිණෙන බව ගෙහිමියා තමන්ට දැන්වූ බවත් සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති බයිබල් ආධාරකය ලබාගන්නමයි කියා පැවසූ බවත් ඔවුහු අපට දැන්වූහ. අපි ඔවුන්ට ඉන් පිටපතක් ලබා දුන්නෙමු. අප ඊළඟට යන්න සූදානම් වන්නේ කැරන් සමඟ බයිබලය පාඩම් කරන්න කැමති වූ ස්ත්‍රියක් සිටින ප්‍රදේශයට දිවෙන බසයකට නැඟීමටයි.

දිනක් කැරන් තවත් මඟීන් කිහිපදෙනෙකු සමඟ ටැක්සියක ගමන් කරද්දී මේ ස්ත්‍රියව හමු වූ ආකාරය ගැන සෙනඟ පිරි මාවතක ගමන් කරමින් සිටි අපට ඇය පැවසුවාය. සිදුවීම මෙසේය. ගමන අතරතුරේදී කියවීමට ඇයට පත්‍රිකාවක් ලබා දුණි. ඇය එය කියවා වෙනත් එකක්ද ඉල්ලාගත්තාය. ඇය එය ඊටත් වඩා උද්‍යෝගයකින් කියවනු පෙනුණි. ගමනාන්තයේදී කැරන් එම ස්ත්‍රියව ඇගේම නිවසේදී මුණගැසීමට සැලසුම් කරගෙන තිබූ අතර ඉන්පසු දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? නමැති විවරණිකාවෙන් ඵලදායක පාඩමක් ආරම්භ කිරීමට හැකි විය. අද කැරන් බලාපොරොත්තු වෙන්නේ එහි පස්වන පාඩම ඇය සමඟ කිරීමටයි.

ක්ෂේත්‍ර සේවයෙහි ඉතාමත්ම තෘප්තිකර දවසක් ගත කළ අපට, මිෂනාරි සේවය ගැන තවත් ප්‍රශ්න කිහිපයක් අසන්න ඉතිරිව තිබුණි. අපට ආගන්තුක සත්කාරය දැක්වූ අය පැවසුවේ මිෂනාරි නිවාසයට ගොස් සුළු කෑමක් රස විඳින ගමන්ම ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්නම් කියාය.

වේගය පවත්වාගන්නා ආකාරය

බැදපු බිත්තර, ප්‍රංශ ක්‍රමයට සෑදූ පාන් සහ චීස් ගිල දමන අතරේ මිෂනාරි ජීවිතය ගැන තව බොහෝ දේ අසා දැනගතිමු. සාමාන්‍යයෙන් මිෂනාරිවරුන් විවේක ගන්නේ හෝ පෞද්ගලික වැඩ සඳහා වෙන් කර තිබෙන්නේ සඳුදා දිනයයි. බොහෝ මිෂනාරිවරුන් ඒ දිනය තමන්ගේ පවුල්වල අයට සහ යහළුවන්ට ලියුම් ලිවීමට යොදාගනියි. මිෂනාරිවරුන්ට තමන්ගේ ගෙවල්වලින් ලැබෙන තොරතුරු ඉතාම වැදගත් වන අතර, ලියුම් ලැබීමත් යැවීමත් යන දෙකෙන්ම ඔවුන් ආස්වාදයක් ලබයි.

මිෂනාරිවරුන් බොහෝවිට ජීවත් වන්නේ එකට නිසා, අනිත් මිෂනාරිවරුන් සමඟ හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගැනීම සඳහා සතුටු සාමීචියේ යෙදීමත් ආත්මික කාරණා සාකච්ඡා කිරීමත් ඉතාම වැදගත්ය. එය සාක්ෂාත් කරගැනීමට බයිබලය අධ්‍යයනය කිරීමට දෛනික කාලසටහනක් ඇතුව සිටීමට අමතරව, සෑම සඳුදා සවසකම මිෂනාරිවරු මුරටැඹ සඟරාව එකට පාඩම් කරති. බෙන් පවසන විදිහට, විවිධ පසුබිම්වලින් පැමිණි එකට වෙසෙන මිෂනාරිවරුන්ගේ අදහස් උදහස්වල සුළු සුළු වෙනස්කම් වැළැක්විය නොහැකිය. එහෙත්, පවුලේ පාඩමෙන් ලැබෙන ආත්මික උපකාරය මිෂනාරිවරුන් අතරේ සමඟිය සහ එක්සත්කම පවත්වාගැනීමට උදව් වෙයි. ඔහු තවදුරටත් කියා සිටින්නේ තමා ගැන ඕනෑවට වඩා නොසිතා සිටීමට එම පාඩම අත්වැලක් වන බවයි.

යටහත් පහත්කමද අත්‍යවශ්‍යය. වෙනත් රටවලට මිෂනාරිවරුන්ව යවා තිබෙන්නේ සේවය ලබන්න නොව සේවය කිරීමටය. මේ යුවළ පවසන ආකාරයට, විශේෂයෙන්ම කෙනෙකු නොසිතා කියූ හෝ කළ දෙයකට සමාව ඉල්ලීමට සිදු වන විටදී, ඕනෑම භාෂාවකින් කීමට දුෂ්කරම දෙය වන්නේ “මට සමාවෙන්න” කියන වචන දෙකය. මේ අවස්ථාවේදී බෙන් අපට මතක් කර දුන්නේ බයිබලයේ එන අබීගායිල් නමැති චරිතයයි. ඇය තම පුරුෂයාගේ රළු පරුෂ හැසිරීම ගැන සමාව අයැද සිටි නිසා මහා විනාශයක් වළක්වාගෙන තත්වය සමතයකට පත් කරගැනීමට හැකියාව ලැබුණි. (1 සාමුවෙල් 25:23-28) “සමාදානයෙන් සිටින්න” තිබෙන හැකියාව හොඳ මිෂනාරිවරයෙකුගේ ලක්ෂණයකි. —2 කොරින්ති 13:11.

පවුලට සම්බන්ධ කාරණා සාකච්ඡා කිරීමටත් කාලසටහන් සහ වැඩසටහන්වල වෙනස්කම් කිරීමටත් මාසයකට වරක් මිෂනාරිවරු රැස්වීමක් පවත්වති. ඉන්පසු සැවොම විශේෂ අතුරුපසක් භුක්ති විඳිති. එය ඉතා ප්‍රායෝගික වගේම රසවත් සැලැස්මක් බවද පෙනෙයි.

සවස් වරුවේ ආහාරයක් භුක්ති විඳි පසු අපි මිෂනාරි නිවාසය ඇතුලතත් පිටතත් නැරඹීමට කෙටි වේලාවක් ගත කළෙමු. චාම් නිවසක් වුණත් එය ඉතාම පවිත්‍රව තබාගැනීමට මිෂනාරිවරුන් එකා සේ මහන්සි වන බව අපි දුටිමු. එහි ශීතකරණයක්, ඇඳුම් සෝදන යන්ත්‍රයක් සහ උදුනක් ඇත. බටහිර අප්‍රිකාවේ පිහිටි මේ රට වැනි ඝර්ම කලාපීය රටවල සමහර අවස්ථාවලදී වායුසමනය කළ යන්ත්‍ර පවා තිබෙන බව කැරන් පවසයි. ප්‍රදේශයට ගැළපෙන නවාතැන්, සුවදායී ආහාර සහ සරල සෞඛ්‍ය ආරක්ෂක පියවර වැනි දේ මිෂනාරිවරුන්ට සෞඛ්‍ය සම්පන්නවත් ඵලදායකවත් සිටීමට උදව් කරයි.

ඒකාන්ත දේ කෙරෙහි අවධානය දෙන්න

අපි මේ දක්වා දුටු දෙයින් මහත් සේ පැහැදුණෙමු. සමහරවිට අපටත් මිෂනාරි සේවය කළ හැකි වේවිද? අප ඇයි එසේ කියන්නේ? අපට ආගන්තුක සත්කාරය දැක්වූ අය ඒ ගැන සිතා බැලීමට අපව පෙලඹුවේය.

මුලින්ම මතක තබාගත යුතු දේ වන්නේ, ක්‍රිස්තියානි මිෂනාරිවරුන් වෙනත් රටවලට යන්නේ ත්‍රාසජනක අද්දැකීමක් ලබාගැනීමට නෙවෙයි. ඔවුන් යන්නේ දෙවිගේ පුදුමාකාර පොරොන්දු ගැන ඉගෙනගැනීමට කැමති අවංක මිනිසුන්ව සොයාගෙනය. මිෂනාරිවරුන් මාසයකට පැය 140ක් ක්ෂේත්‍රයේ ගත කරන අතර, එසේ කිරීමට නම් දේවසේවයට මහත් ලැදිකමක් තිබීම අත්‍යවශ්‍යමය.

‘එහෙත්, සර්පයින්, කටුස්සන්, කෘමීන් ගැන ඔවුන් පවසන්නේ කුමක්ද?’ ඕනෑම මිෂනාරි පැවරුමකදී එවැනි දේවල් අද්දකින්න ලැබෙන නිසා මිෂනාරිවරු එවැනි දේවලට හුරු වෙති. ඒ ඒ මිෂනාරි පැවරුමට ආවේණික වූ සුන්දරත්වයක් තිබෙන බවත් කාලයාගේ ඇවෑමෙන් තම පැවරුමේ තිබෙන ඒකාන්ත පැත්ත වෙත ඔවුන්ගේ අවධානය යොමු වන බවත් බෙන් පැවසුවේය. රටට ගොඩබැසි කාලයේදී “අමුතුයි” කියා සිතූ දේවල් වැඩිකල් යන්න මත්තෙන් සාමාන්‍ය දේවල් බවට පත් වන අතර, සමහර අවස්ථාවලදී ඉන් ඉමහත් ආස්වාදයක්ද ලැබේ. අවුරුදු ගණනාවක් පුරා බටහිර අප්‍රිකාවේ සේවය කිරීමෙන් පසුව පෞද්ගලික වගකීම් හේතුවෙන් රට හැර යෑමට සිදු වූ මිෂනාරිවරියක පවසා තිබුණේ අවුරුදු ගණනාවකට පෙර තමන් උපන් රට හැර දමා ආවාට වඩා ඇගේ පැවරුම දමා යෑම දුෂ්කර වූ බවය. එයින් පෙනෙන්නේ ඇගේ මිෂනාරි පැවරුම ලැබූ රට ඇගේම නිවාසය වී තිබූ බවයි.

ඔබ සූදානම්ද?

බෙන් සහ කැරන් මිෂනාරි සේවය ගැන සිතා බැලීමට අපට බොහෝ තොරතුරු සැපයූහ. ඔබ ගැන කුමක් කිව හැකිද? පිට රටකට ගොස් මිෂනාරිවරයෙකු ලෙස සේවය කිරීම ගැන කිසිදාක ඔබ සිතා බලා තිබෙනවාද? එසේ කර තිබේ නම්, ඔබ සිතුවාටත් වඩා ඉක්මනින් එම ඉලක්කය සපුරාගැනීමට ඔබට හැකි වනු ඇත. ඒ සඳහා අත්‍යවශ්‍ය මූලික දෙයක් වන්නේ පූර්ණ කාලීන සේවය සඳහා ආදරයක් සහ ලැදිකමක් ඇතුව සිටීමයි. එමෙන්ම මිනිසුන්ට උපකාර කිරීමට ආශාවෙන් සිටීමයි. මිෂනාරිවරුන් කියන්නේ සුපිරි වීරයන් හෝ වීර කතුන් නොවන බව මතක තබාගන්න. ඔවුන්ද අප වගේ සාමාන්‍ය ස්ත්‍රීන් සහ පුරුෂයන්ය. ඔවුන් කරන්නේ ඉතාම වැදගත් වැඩක් ඉටු කිරීමට ඔවුන්ගේ උපරිමයෙන් දායක වීමය.

[27වන පිටුවේ පින්තූර]

සෑම දිනක්ම ආරම්භ වන්නේ බයිබල් පදයක් සාකච්ඡා කිරීමෙනි

[28, 29වන පිටුවේ පින්තූර]

අප්‍රිකාවෙන් දසුනක්

[29වන පිටුවේ පින්තූරය]

මිෂනාරිවරයෙකුගේ ජීවිතය ඉතාම තෘප්තිකර විය හැකිය