Skip to content

පටුනට යන්න

ඇන්ඩීස් කඳුවැටියේ ජීවන දිය දහරා

ඇන්ඩීස් කඳුවැටියේ ජීවන දිය දහරා

ඇන්ඩීස් කඳුවැටියේ ජීවන දිය දහරා

පෙරූ රටේ මායිම් බෙදීමට මෙන් රට මැද්දේ පිහිටා ඇති ඇන්ඩීස් කඳු යාය ඉතා අලංකාරයි. මේ කඳුවැටියේ බටහිරින් මුහුදු බඩ ප්‍රදේශයද නැඟෙනහිරින් උණුසුම් තෙත් නිවර්තන දේශගුණයක් ඇති සදාහරිත සශ්‍රීක වනාන්තරයද වෙයි. පෙරූ රටේ මුළු ජනගහනයෙන් (මිලියන 27න්) තුනෙන් එකකටත් වඩා වැඩි ජන සංඛ්‍යාවක් ජීවත් වන්නේ කඳු මුදුනෙහි උස් සමභූමිවල හෝ කඳු බෑවුමෙහි පිහිටි අතිශයින් මනහර සාරවත් මිටියාවත්වලයි.

ඇන්ඩීස් කඳුවැටිය අසල ජීවත් වන අය සිටින්නේ තමන්ටම සීමා වූ පුංචි ලෝකයකයි. කඳුවැටියෙන් එහා ලෝකය ඔවුන්ට පහසුවෙන් දැකගත නොහැකියි. කඳුවැටිය ඔවුන්ව කොතරම් සීමා කර තිබෙනවාද කියතොත් තමන්ගේ ප්‍රදේශයෙන් පිටත සිදු වන සිදුවීම් ගැන බොහෝවිට ඔවුන් නොදනියි.

එහි ජලයෙන් කිසි හිඟයක් නොමැති ගං ඉවුරු දිගේ චූටි චූටි ගම්මාන බිහි වී තිබෙනවා. එම ප්‍රදේශයේ වගාවන් සශ්‍රීක වී ඇත්තේද ලාමා, ඇල්පකා, විකුණා (ඔටුවන්ගේ පවුලට අයත්), බැටළුවන් වැනි සතුන් මේ කඳුකරයේ වසන්නේද ගංගාවල පිහිටීම නිසායි. මීට අමතරව ඇන්ඩීස් කඳුවැටිය හරහා තවත් ජල දහරාවක් ගලා බසියි. ඒ “ජීවන වතුර උල්පත” වන යෙහෝවා දෙවිගෙන් නික්මෙන නැවුම් ආත්මික ජලයයි. (යෙරෙමියා 2:13) දෙවි තම සාක්ෂිකරුවන් මාර්ගයෙන් ඇන්ඩීස් කඳු මුදුන්වල සිටින ජනයාට ඔහු ගැනත් ඔහුගේ අරමුණු ගැනත් ඒකාන්ත දැනුම ලබා දෙනවා.—යෙසායා 12:3; යොහන් 17:3.

‘සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණීම [සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලැබීම, NW]’ දෙවිගේ කැමැත්ත බව දන්නා දේවසේවකයන් බාධක දුෂ්කරතා හමුවේ එම ප්‍රදේශවල මහජනයා හමු වී දේවවචනයේ අඩංගු ජීවනයේ පණිවිඩය බෙදාහරිනවා. (1 තිමෝති 2:3) බයිබලයේ උදාර පණිවිඩය ඥානාලෝකය ලබා දෙයි. එමෙන්ම එය මළවුන්, දුෂ්ට ආත්මයන් හා ස්වාභාවික බලයන් පිළිබඳව බියක් උපදවන මිථ්‍යා ඇදහීම්, චාරිත්‍ර හා මතිමතාන්තරවලින් අවංක හෘදයක් ඇති ජනයා නිදහස් කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි, පාරාදීසයක සදාකල් ජීවත් වීමේ මහඟු බලාපොරොත්තුවද ඔවුන්ට ලැබී තිබෙනවා.

දැඩි උත්සාහයක් දැරීම

මෙම ගම්බද ප්‍රදේශවලට යන රාජ්‍ය ප්‍රචාරකයින්ට එම තත්වයන්ට හැඩ ගැහෙන්න සිදු වෙනවා. බයිබල් ගුරුවරු ජනයාගේ හෘදවලට බයිබල් සත්‍යයන් කාවද්දන්න නම් ඔවුන් කතා කරන භාෂා දෙක වන කෙච්වා හෝ අයිමරා යම් පමණකටවත් දැන සිටිය යුතුයි.

ඇන්ඩීස් ගමේ දුම්රිය සේවා පහසුකම් ඉතා අඩුයි. පවතින අයහපත් කාලගුණය හා කර්කශ පොළොව, ගමනාගමනය තවත් අඩාළ කිරීමට හේතු වී තිබෙනවා. එම නිසා එහි ජනයා මුණගැසීමට යෑම එතරම් පහසු කාරියක් වන්නේ නැහැ. එහෙම නම් රාජ්‍ය ශුභාරංචිය පැතිර වීමට සාක්ෂිකරුවන් යන්නේ කොහොමද?

යෙසායා මෙන් ස්ථීර අධිෂ්ඨානයෙන් යුත් නිර්භීත සාක්ෂිකරුවන් අභියෝගය බාරගත්තේ, “මම මෙහිය මා යැවුව මැනව” කියා කියමිනුයි. (යෙසායා 6:8) මොවුන් උතුරු, මධ්‍යම හා දකුණු පළාත්වලට ගමන් කිරීම සඳහා ජංගම නිවාස (කැරවෑන්) තුනක් යොදාගත්තා. මේ පූර්ණ කාලීන දේවසේවකයන් නොහොත් ජ්වලිත පුරෝගාමීන් සතුව මහත් ආත්මික ගබඩාවක් තිබුණා. ඔවුන් සතු වූ බයිබල් හා බයිබල් දැනුම අඩංගු පොත් පත් රාශිය උපයෝගි කරගනිමින් සත්‍යයේ බීජ හිතෛෂී, සංග්‍රහශීලී, අවංක ජනයා අතරේ වපුරනු ලැබුවා.

කඳුකරයේ වංගු සහිත මාර්ග ඉතා අවදානම්. සමහර වංගු ඉතා තියුණු නිසා වංගුවකින් එකසැරේම වාහනයක් හරවගන්න බැහැ. මේ අවස්ථාවලදී වංගුව පහු කිරීමට වාහනය දෙතුන් වතාවක් ඉදිරියට හා පස්සට ගන්න වෙනවා. මෙවැනි වංගුවක් පසු කර යන බසයක මිෂනාරිවරයෙක් අසුන් ගෙන සිටියේ පිටිපස්සේම ආසනයේයි. වංගුවෙන් බසය ඉදිරියට ගොස් ආපස්සට එන විට ඔහු ජනේලයෙන් දැක්කා පිටිපස්සේ රෝදය අඩි 600ක් පමණ ගැඹුරු ආගාධයක් අද්දර තිබෙනවා. ඔහු කොතරම් බය වුණාද කිව්වොත් වංගුව පහු කරන තුරු දෑස් පියාගෙන සිටියා.

සමහර පාරවල් ඉතා පටුයි. ඒ වගේම අවදානම්. දවසක් මෙවැනි පටු පල්ලම් මාර්ගයක කැරවෑන් එක යන විට විරුද්ධ දිශාවෙන් ට්‍රක් රථයක් පැමිණියා. මෙම රථයට මාරුවීම සඳහා ප්‍රමාණවත් ඉඩක් ලැබෙන තුරු කැරවෑන් එකට කන්ද උඩ ස්ථානයකට පස්සෙන් පස්සට යන්න සිදු වුණා.

කොහොමවුණත්, නොකඩවා දරන එවැනි වෑයම්වලින් විශිෂ්ට ප්‍රතිඵල නෙළාගෙන තිබෙනවා. තවත් එවැනි වෑයම් ගැන දැනගන්න ඔබ කැමතිද?

ටිටිකාකා විල සාරවත් කිරීම

මුහුදු මට්ටමේ සිට අඩි 12,500ක් උස ඇන්ඩීස් කඳුවැටියේ නිම්න භූමියේ පිහිටි ටිටිකාකා විල, නැව් යාත්‍රා කළ හැකි ලෝකයේ විශාලතම විලයි. ඒ අවට තිබෙන සමහර හිමෙන් වැසුණු කඳු මුදුන් අඩි 21,000ක් පමණ උසයි. ටිටිකාකා විල පෝෂණය කරන ගංගා 25න් බොහෝමයක්ම ආරම්භ වන්නේ එම හිමෙන් වැසුණු කඳුවැටියෙන්. මුහුදු මට්ටමෙන් මෙතරම් උස්ව පිහිටි නිසා එහි පවතින්නේ ඉතා ශීත දේශගුණයක්. මෙම ප්‍රදේශයට පිටින් එන්නන්ට එම දේශගුණය නිසා අසනීප තත්වයන් ඇති විය හැකියි.

කෙච්වා හා අයිමරා භාෂා කතා කළ හැකි පුරෝගාමීන් කණ්ඩායමක් ටිටිකාකා විලෙහි පිහිටි ආමාන්තානි, ටාකීල් යන දූපත්වලට ගියා. ඔවුන් ක්‍රිස්තියානි ලෝකයේ අසත්‍යයන් හෙළි කරන “පල්ලි වෙත සමීප බැල්මක්” යන මාතෘකාවෙන් යුත් නිසල ඡායා දර්ශන (ස්ලයිඩ් දර්ශන) රැගෙන ගියා. මෙයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. එක් පුද්ගලයෙක් ඔහුගේ නිවසට ඔවුන්ව සාදරයෙන් පිළිගත් අතර එහි නතර වී සිට බයිබලය ඉගැන්වීමට පුරෝගාමීන්ට හැකි වුණා.

ආමාන්තානි හා ටාකීල් දූපත්වල පැවැත්වූ රැස්වීම්වලට පිළිවෙළින් 100ක්ද 140ක්ද සහභාගි වුණ අතර මෙම මුල්ම රැස්වීම් දෙක කෙච්වා භාෂාවෙන් පවත්වනු ලැබුවා. කලින් ප්‍රධාන නගරයේ ජීවත් වූ යුවළක් කියා සිටියේ, “අපි යාච්ඤා කළා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගස්සවන්න කියලා. ඔයගොල්ලන් අපිව හම්බ වෙන්න ආව එක ගැන ගොඩාක් සන්තෝෂයි.”

ගණන් බලා ඇති පරිදි මෙම විශාල දූපත් දෙකට අමතරව “පාවෙන” කුඩා දූපත් 40ක් පමණ ටිටිකාකා විලේ තිබෙනවා. මොනවාද මේ පාවෙන දූපත්? නොගැඹුරු ජලයේ වැඩෙන ටොටොරස් නම් පන් වර්ගය මේ ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙනවා. දිය යට මඩේ පැළ වී මුල් ඇද ජලය මතුපිටට වැඩෙන මෙම පන් ගස් ඔවුන් එකට එක් කොට වියාගන්නවා. දූපත සාදාගැනීම සඳහා මෙය අත්තිවාරමක් සේ යොදාගන්නා අතර එය යටට මඩ දමා තද කර, තවත් කැපූ පන් ගස් උඩින් දමා අත්තිවාරම තවත් සවිමත් කරයි. මිනිස්සු මේවා මත තනාගත් පන් පැල්පත්වල ජීවත් වෙයි. පන් ගස්වලින් සෑදුණු මේ දූපත්වලටද ශුභාරංචිය බෙදාහැර තිබෙනවා.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ටිටිකාකා විලේ මනුෂ්‍යයන්ට දේශනා කිරීමට කුඩා බෝට්ටුවක් යොදාගත්තා. බෝට්ටුවේ 16දෙනෙකුට ගමන් කළ හැකිව තිබුණා. පාවෙන දූපත් අසල තටාකයේ බෝට්ටුව නතර කළ සාක්ෂිකරුවන් පන් මැසිවල තනා ඇති සෑම පැල්පතකටම ගොස් ශුභාරංචිය දේශනා කළා. මෙම සාක්ෂිකරුවන් කියා සිටියේ මේ දූපත්වල ඇවිදින විට පොළොව සෙලවෙන ස්වභාවයක් දැනුණු බවයි. මුහුදු ගමන් යෑමේදී අසනීප වන අයට නම් මෙවැනි ප්‍රදේශ කොහෙත්ම සුදුසු නැහැ.

මුහුදුබඩ තීරයේ ගම්මානවල හා විලට නෙරා ඇති අර්ධද්වීපවල පදිංචි වී සිටින්නේ අයිමරා භාෂාව කතා කරන අයයි. මොවුන් හමුවීමට ගොඩබිමෙන් යනවාට වඩා බෝට්ටුවෙන් යෑම පහසුයි. මේ පළාතේ 4,00,000ක් පමණ ජනකායක් ජීවත් වන බව ගණන් බලා තිබෙනවා. බෝට්ටුවෙන් ගොස් සාක්ෂිකරුවන් මෙහි වෙසෙන ජනයාට ශුභාරංචිය දේශනා කරන අතර ඒ සඳහා බෝට්ටු සේවාව දිගටම අවශ්‍ය වෙයි.

ආත්මික පිපාසය සංසිඳුවා ගැනීම

ෆ්ලේවියෝ ජීවත් වුණේ ඇන්ඩීස්වල ජුලියාකා අසල ශාන්ත ලුසියා නම් ගමකයි. ඔහු රෙපරමාදු පල්ලියේ සාමාජිකයෙක්. ඔහු ඉගෙනගෙන තිබුණේ නිරය සදාකාලිකවම ගින්නෙන් වධ හිංසා දෙන තැනක් බවයි. මේ ඉගැන්වීම නිසා ඔහු බොහෝ කාලයක් ජීවත් වුණේ භයෙන්. ඒත් ඔහු හිතුවා දෙවි ප්‍රේමනීය නම් අනියත කාලයක් මනුෂ්‍යයන්ව ගින්නෙන් පුච්ච පුච්ච වධ හිංසා කරයිද කියලා. ටිටෝ පූර්ණ කාලීන දේවසේවයේ නියුතු යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්. ටිටෝ ඒ ගමේ දේශනා සේවයේ යෙදෙන විට ෆ්ලේවියෝව මුණගැසුණා.

ෆ්ලේවියෝ ඇසූ මුල්ම ප්‍රශ්නවලින් එකක් වූයේ, “නිරයේ මනුෂ්‍යයන්ට වධ හිංසා දෙනවා කියලා ඔයගොල්ලන්ගේ ආගම උගන්වනවාද?” යන්නයි. දෙවි ප්‍රේමය බවත් ඒ නිසා මෙවැනි අදහසක් දෙවිට පිළිකුලක් වගේම යෙහෝවාගේ නාමයට මහත් නින්දාවක් බවත් ෆ්ලේවියෝගේ බයිබලයෙන් ටිටෝ පෙන්නුවා. මළවුන් කිසිවක් නොදන්නා බවත් දේවරාජ්‍යයේ පාලන සමයේදී මළාහු භූමික නැවත නැඟිටීමක් අද්දකින බවත් ඔහු තවදුරටත් පැහැදිලි කළා. (දේශනාකාරයා 9:5; යොහන් 5:28, 29) මේ සාකච්ඡාවෙන් ෆ්ලේවියෝගේ ඇස් ඇරුණා. ඔහු විගස බයිබල් පාඩමක් පිළිගත් අතර වැඩි කල් යන්න කලින් බව්තීස්ම වුණා.

අගයෙන් පිරි ගම්මානය

කිසිම දිනක බයිබල් සත්‍යය අසා නැති, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව කෙදිනකවත් මුණ නොගැසුණු, බයිබලයක් ඇහැටවත් දැක නැති කෙනෙකුට බයිබල් සත්‍යය කියා දීමට ලැබීම කෙතරම් ප්‍රබෝධජනක අද්දැකීමක්ද කියා සිතා බලන්න. මෙය රෝසා, ඇලීසියා සහ සිසීලියා යන පුරෝගාමී සහෝදරියන් තිදෙනා අද්දැක්කා. මුහුදු මට්ටමේ සිට අඩි 12,000ක් උසින් පිහිටි මධ්‍යම පෙරූ රටේ ගම්මාන දෙකක් වන ඉස්කුචාකා හා කෝනෙකා යන ප්‍රදේශය පුරාම ඔවුන් ශුභාරංචිය දේශනා කළා.

ඔවුන් ගිය පළවෙනි ගම්මානයේ නතර වීමට ස්ථානයක් තිබුණේ නැහැ. ඔවුන් ප්‍රාදේශීය පොලිස්පතිට කියා සිටියා ඔවුන්ගේ පැමිණීමට හේතුව. එහි ප්‍රතිඵලය වුණේ කුමක්ද? එදා රාත්‍රියේ පොලීසියේ නතර වීමට අවසර ලැබුණා. පසුවදා ඔවුන්ට ස්ථිර නවාතැන් පොළක් ලැබුණා ඔවුන්ගේ කටයුතු ආරම්භ කරන්න.

මේ අතර වාර්ෂිකව පවත්වන ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවය පැමිණියා. ඒ වන විට පුරෝගාමී සහෝදරියන් ඉස්කුචාකා ගමේ සියලුදෙනාවම බැහැදැක තිබුණා. බයිබල් කිහිපයක් බෙදා දී තිබුණු අතර අලුත් බයිබල් පාඩම් කිහිපයක්ද ආරම්භ කර තිබුණා. සිහි කිරීමේ දිනයට පෙර ගමේ හැමෝටම ආරාධනා පත්‍ර බෙදා දුන් අතර සිහි කිරීමේ දිනයේ අරමුණත් එම උත්සවයේදී භාවිතා කරන සංකේතවලින් අර්ථවත් වන දේ සම්බන්ධව විවරණයකුත් ඉදිරිපත් කළා. උත්සවය සාර්ථක කරගැනීමට සහෝදරයන් කිහිපදෙනෙකුගේ උපකාරය ලබා ගත් අතර ඉන් එක් සහෝදරයෙක් කතාව පැවැත්තුවා. එම ගමෙන් 50දෙනෙක් උත්සවයට සහභාගි වීම නිසා පුරෝගාමීන්ට එම අවස්ථාව ප්‍රීතිමත් අවස්ථාවක් වුණා. ඒ ගමේ මිනිස්සුන්ට එදා මුල්ම වතාවට යේසුගේ මිදීමේ මිල පූජාවේ සැබෑ අර්ථය වටහාගන්න හැකි වුණා. දෙවිගේ වචනය වන බයිබලය ඔවුන්ගේ අතට අරන් පරීක්ෂා කර බැලීමට ඔවුන්ට අවස්ථාවක් ලැබීම මොනතරම් භාග්‍යයක්ද!

බොරු ඉගැන්වීම්වලින් මිදීම

බොරු ආගමික ඉගැන්වීම්වලට යටත් වී සිටින ජනයාට බයිබල් සත්‍යය නමැති නැවුම් ජලය ලබා දීම අපමණ ප්‍රීතියට හේතු වෙයි. ඉපැරණි ඉන්කා අධිරාජ්‍යයේ බලකොටුව වූ පිසැක් නගරය බොරු නමස්කාරයේ තෝතැන්නක් වී තිබුණා. ඒ ආභාෂය නිසා අදත් එහි සිටින බොහෝදෙනෙක් මිථ්‍යා මත දරනවා. මින් එකක් තමයි නිරාගින්න. නිරාගින්නෙන් බේරී ස්වර්ගයට යෑමට නම් පූජකයාගේ මැදහත් වීමක් අවශ්‍ය බව පූජකයන් ඔවුන්ට උගන්වා තිබෙනවා.

නිසැකවම මෙවැන්නන් බයිබල් සත්‍යය නමැති නැවුම් ජලයෙන් ආත්මික පිපාසය සංසිඳුවා ගැනීමට බලා සිටිනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වූ පූර්ණ කාලීන දේවසේවකයෙක් වන සාන්තිගෝට, ගෙයින් ගෙට සේවයේදී, ධර්මිෂ්ඨ අයට පොළොව මත සදාකල් ජීවිතය භුක්ති විඳිය හැකියි යන සත්‍යය මනුෂ්‍යයෙකුට කියා දීමට අවස්ථාවක් ලැබුණා. (ගීතාවලිය 37:11) මළාහු නැවත නැඟිටින බවත්, යෙහෝවාගේ පරිපූර්ණ, ධර්මිෂ්ඨ ප්‍රමිති කියා දීමෙන් පසු ඔවුන්ට පොළොවේ සදාකල් ජීවත් විය හැකි බවත් සාන්තිගෝ බයිබලයෙන් ගෙනහැර දැක්වුවා. (යෙසායා 11:9) මේ ගේහිමියා කතෝලික භක්තිකයෙක්. ඔහු භූතවාදය හා සම්බන්ධ කටයුතුවල නියැලුණු කෙනෙක් වූ අතර මත්පැනට අධික ලෙස ලොල්වූවෙක්. නමුත් දැන් ඔහුට බයිබලයේ සඳහන් බලාපොරොත්තුව හා පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ ඉලක්කය තිබෙනවා. ඔහු භූතවාදය හා සම්බන්ධ සියලුම මෙවලම් පිලිස්සූ අතර අධික ලෙස මත්පැන් පානය කිරීමෙන්ද වැළකුණා. ඔහු ඇතුළුව පවුලේ සියලුදෙනාටම බයිබල් පාඩමක් කරන මෙන් ඉල්ලා සිටියා. කාලයාගේ ඇවෑමෙන් පවුලේ සියලුදෙනාම යෙහෝවාට කැප වී බව්තීස්ම වුණා.

ආගන්තුක සත්කාරයට ලැදි සෙනඟක්

කඳුකරයේ ජනයා ආගන්තුක සත්කාරයට ඉතා ලැදියි. බොහෝ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන ඔවුන් ජීවත් වෙන්නේ කුඩා නිවෙස්වලයි. එහෙත් තමන්ට ඇති දේ අනුන් සමඟ බෙදාගැනීමේ පොහොසත් ගුණාංගය ඔවුන් තුළ තිබෙනවා. සිරිතක් ලෙස ගෙදරට එන ආගන්තුකයන්ට කොකා කොළ (අමෙරිකාවේ ශාක විශේෂයක්) පිළිගන්වන අතර මේවා හපමින් සතුටු සාමීචියේ යෙදීමට ඔවුන් පුරුදු වී සිටිනවා. නමුත් උසස් බයිබල් ප්‍රතිපත්ති හැදෑරීමෙන් පසු ඔවුන් තවදුරටත් කොකා කොළ පිළිගන්වන්නේ නැහැ. පසු කාලයේදී සාක්ෂිකරුවන් වීමෙන් පසු ඔවුන් කොකා කොළ වෙනුවට පිළිගැන්වූයේ ඒ හා සමාන අගයක් ඇති සීනි තේ හැන්දක්.

එක් සහෝදරයෙක් මිෂනාරි සහෝදරයෙක් සමඟ නැවත බැලීමකට ගියා. දැඩි වෙහෙසක් දැනෙන්නාවූ තියුණු බෑවුමක් සහිත කන්දකට නැඟ අඩි පාරක නතර වී ගේහිමියාට ඔවුන් ආ බවට ඇඟවීම සඳහා අත්පුඩි ගැසුවා. ගේහිමියා ඔවුන්ව පිදුරු සෙවිලි කරන ලද කුඩා නිවසකට රැගෙන ගියා. එහි වහල පහත නිසා ඔවුන් ගෙට ඇතුල් වුණේ දෙකට තුනට නැමිලා. ඉතා සීරුවෙන් මඩ සහිත පොළොවට පා තැබූ ඔවුන්ට දැකගත හැකි වූයේ ගේ මැද කුඩා වළක් හාරා එයට ඇතිරිල්ලක් දමා දරුවෙක් නිදි කර ඇති ආකාරයයි. වළෙන් පිටතට එන්න බැරි නිසා දරුවා තනියම සිනා සිසී උගුරෙන් ශබ්ද කර කර වැඩිහිටියන්ගේ කතා බහට බාධා නොකර සෙල්ලම් කරමින් සිටියා. දේවරාජ්‍යය මගින් ගෙනෙන්න යන ආශීර්වාද ගැන සාකච්ඡා කිරීමෙන් පසු, ගෙදර කාන්තාව ඔවුන්ට දේශීය බීමක් පිළිගන්වනු ලැබුවා. සහෝදරයන් සංග්‍රහය භුක්ති විඳීමෙන් පසු ඒ ආශ්‍රිත වෙනත් නැවත බැලීම්වලට පිටත්ව ගියා.

දෝත පුරා අස්වැන්න

දැන් මෙම ප්‍රදේශය පුරා විසිරී ඇති හුදෙකලා කණ්ඩායම් 100ක් පමණ තිබෙන අතර 1,000කට වඩා වැඩි පිරිසක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරනවා. ලීමා නගරයේ දේවසේවා පුහුණු පාසැලෙන් උපාධි ලැබූ සහෝදරයන් කිහිපදෙනෙකුව මෙම කණ්ඩායම්වලට සභා දක්වා වර්ධනය වීමට අවශ්‍ය උපකාර සැපයීම සඳහා පිටත් කර යවා තිබෙනවා. හරි හෘද ආකල්ප තිබෙන ජනයාට මිථ්‍යා මතවලින් හා බොරු ආගමික වහල්භාවයෙන් නිදහස් වීමට රාජ්‍ය පණිවිඩය රුකුලක් වී තිබෙනවා. (යොහන් 8:32) සත්‍යය සඳහා ඔවුන්ට තිබුණු පිපාසය සංසිඳුවා ගැනීමට හැකි වී තිබෙනවා.

[10වන පිටුවේ පින්තූරය]

ටිටිකාකා විලෙහි ඇති “පාවෙන” දූපත්වල සාක්ෂි දැරීම