Skip to content

පටුනට යන්න

ඔබේ හදවත රැකගන්න

ඔබේ හදවත රැකගන්න

ඔබේ හදවත රැකගන්න

“අන් හැම දෙයට ම වඩා ඔබේ සිත [හදවත, NW] රැකගන්න; මන්ද, ඔබේ දිවි මඟ හැඩගැසෙන්නේ එයිනි.”—හිතෝපදේශ 4:23, නව අනුවාදය.

1, 2. අපගේ හදවත රැකගැනීම අවශ්‍ය වන්නේ මන්ද?

 චණ්ඩ මාරුතයකින් බේරුණු මහල්ලෙක් තමාට ආරක්ෂාව ලබා දුන් ගොඩනැඟිල්ලෙන් ඉවතට පැමිණි විට, සිය දෙනෙතට හසු වූයේ අවට සිදු වී තිබූ විනාශයයි. තම ගේට්ටුව අසල දශක ගණනාවක් තිස්සේ තිබූ ඉතා දැවැන්ත ගස පෙරළී තිබිණ! ‘මේක නම් මහ පුදුමයක්’ කියා හෙතෙම තම විමතිය පළ කළේය. ‘කොහොමද මේ මහ විශාල ගහ පෙරළුණේ? ඔක්කොම පොඩි ගස් ටික තවමත් තියෙනවානේ.’ ඔහු පෙරළී තිබූ ඒ දැවැන්ත ගස වඩාත් හොඳින් පරීක්ෂා කළේය. එවිට ඔහුගේ කුතුහලය සංසිඳීය. ඉතා සවි සම්පන්න ගසක් සේ පෙනුණත්, කඳේ අභ්‍යන්තරය දිරා ගොස් තිබිණ. දිරායෑම කාටත් නොපෙනුණද, කෙසේ හෝ කුණාටුවේ බලයෙන් එය අනාවරණය විය.

2 ක්‍රිස්තියානි ජීවිත ගමනෙහි ස්ථිරව රැඳී සිටිනවායයි පෙනෙන සැබෑ නමස්කාරකයෙක් ඇදහිල්ලේ පරීක්ෂණයකින් අසමත් වීම මොනතරම් ඛේදනීය දෙයක්ද! එසේ නම් “මිනිසෙකුගේ හදවතේ නැඹුරුවාව සිය යොවුන් වියේ පටන් නපුරුය” කියා බයිබලය පවසන්නේ හොඳ හේතු ඇතුවය. (උත්පත්ති 8:21NW) මින් අදහස් කරන්නේ නිරන්තර සෝදිසියක් සිදු නොකෙරේ නම්, හොඳම තත්වයේ පවතින හදවතක් පවා නපුරු දේ කිරීමේ පරීක්ෂාවට හසු විය හැකි බවයි. කිසිදු අසම්පූර්ණ මිනිස් හදවතක් දූෂ්‍ය වීමේ උගුලෙන් පූර්ණ ලෙස ආරක්ෂා වී නොමැති නිසා, “අන් හැම දෙයට ම වඩා ඔබේ සිත [හදවත, NW] රැකගන්න” යන අවවාදය අප විසින් සුළු කොට නොතැකිය යුතුය. (හිතෝපදේශ 4:23) එසේ නම්, අප අපගේ සංකේතමය හදවත රැකගන්නේ කෙසේද?

නිතිපතා පරීක්ෂා කිරීම අනිවාර්යයි!

3, 4. (අ) සාමාන්‍යයෙන් හෘදය සම්බන්ධයෙන් කවර ප්‍රශ්න ඇසිය හැකිද? (ආ) අපගේ සංකේතමය හදවත පරීක්ෂා කර බැලීමට කුමක් උපකාර වේද?

3 ඔබ වෛද්‍ය පරීක්ෂණයකට භාජන වුවහොත්, ඒ පරීක්ෂණය කරන වෛද්‍යවරයා ඔබේ හෘදයත් පරීක්ෂා කිරීමට බොහෝ දුරට ඉඩ කඩ තිබේ. ඔබේ හෘදය ඇතුළුව ඔබේ ශරීර සෞඛ්‍යය සලකා බලද්දී, ඔබට නිසි පෝෂණයක් ලැබෙන බවට සාක්ෂි ඇද්ද? ඔබේ රුධිර පීඩනය කෙසේද? ඔබේ හෘද ස්පන්දනය අක්‍රමවත්ද, දුර්වලද? ඔබ ප්‍රමාණවත් ලෙස ව්‍යායාමයෙහි නිරත වෙනවාද? ඔබේ හෘදය අනවශ්‍ය පීඩනවලට නිතරම ලක් වෙනවාද?

4 ඔබේ සාමාන්‍ය හෘදය වස්තුව නිතිපතා පරීක්ෂණයට ලක් කළ යුතු නම්, ඔබේ සංකේතමය හදවත ගැන කුමක් කිව හැකිද? යෙහෝවා එය සෝදිසි කරයි. (1 ලේකම් 29:17) අපද එය සෝදිසි කර බැලිය යුතුය. කෙසේද? පෞද්ගලිකව මෙවන් ප්‍රශ්න ඇසීමෙනි. නිතිපතා පෞද්ගලික අධ්‍යයනයෙන් සහ රැස්වීම්වලට යෑමෙන් මගේ හදවතට ප්‍රමාණවත් ආත්මික ආහාර ලැබෙනවාද? (ගීතාවලිය 1:1, 2; හෙබ්‍රෙව් 10:24, 25) යෙහෝවාගේ පණිවිඩය මගේ හදවතට සමීපද? හරියට ‘ඇවිළෙන ගින්නක් මෙන් එය මාගේ හදවත තුළ දැවෙමින් තිබෙන’ යමක් හා සමානද? ඒ හේතුවෙන් රාජ්‍යය දේශනා කිරීමෙහි හා ගෝලයන් සෑදීමේ වැඩයෙහි යෙදී සිටීමට මා තුළ දැවෙන ආශාවක් හා හද පත්ලෙන්ම නැඟෙන පෙලඹීමක් ඇද්ද? (යෙරෙමියා 20:9; මතෙව් 28:19, 20; රෝම 1:15, 16) හැකි සෑම අවස්ථාවකම පූර්ණ-කාලීන සේවයෙහි යම් අංගයක සහභාගි වෙමින්, වීර්යය කිරීමට මා තුළ පෙලඹීමක් තිබෙනවාද? (ලූක් 13:24) මගේ සංකේතමය හදවත නිරාවරණය කර ඇත්තේ කවර ආකාරයේ වාතාවරණයකටද? මා ඇසුරු කිරීමට බලන්නේ සැබෑ නමස්කාරය තුළ හදවත් එක්සත් කරගෙන ඇති අය සමඟද? (හිතෝපදේශ 13:20; 1 කොරින්ති 15:33) මේ ප්‍රශ්න සලකා බලද්දී අපගේ යම් අඩුපාඩු ඇති බව දුටුවොත් එය සැලකිල්ලට ගෙන වහාම නිවැරදි කරගැනීමට අදිටන් කරගනිමු.

5. ඇදහිල්ලේ පරීක්ෂාවලින් ඉටු විය හැක්කේ කවර ප්‍රයෝජනවත් කාර්යයද?

5 නිතරම පාහේ ඇදහිල්ලේ පරීක්ෂණවලට මුහුණ දීමට අපට සිදු වේ. හදවතෙහි තත්වය කෙබඳුද කියා දැනගැනීම සඳහා මේවායින් අපට අවස්ථාවන් සැලසේ. පොරොන්දු දේශය අබියස සිටි ඉශ්‍රායෙලිතයන්ට මෝසෙස් මෙසේ පැවසීය. ‘නුඹේ දෙවි වූ යෙහෝවා නුඹ යටහත් කර, නුඹ සෝදිසි කර, ඔහුගේ ආඥා නුඹ රක්ෂා කරනවාද නැද්දැයි නුඹේ සිතේ [හදවතේ, NW] තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙන ගිය මුළු මාර්ගය සිහි කරන්න.’ (ද්විතීය කථාව 8:2) යම් අනපේක්ෂිත තත්වයකට හෝ පරීක්ෂාවකට මුහුණ දෙන විට, අප තුළ පහළ වන හැඟීම්, ආශාවන් හෝ දක්වන ප්‍රතික්‍රියාවන් අපව නොයෙක් විට පුදුමයට පත් කරවනවා නොවේද? ඇත්තෙන්ම යෙහෝවා විසින් ඇතිවීමට ඉඩ දෙන පීඩාවන්, අප තුළ ඇති දෝෂයන් මොනවාද කියා අපට හෙළි කළ හැකි අතර, යම් පැතිවලින් දියුණු වීමටද අපට ප්‍රස්තාවද සලසා දෙන්නේය. (යාකොබ් 1:2-4) එසේ නම්, අප පීඩාවන්ට ප්‍රතිචාරය දක්වන ආකාරය ගැන යාච්ඤාපූර්වකව මෙනෙහි කිරීම කිසිදාක අතපසු නොකරමු.

අපගේ කතාවෙන් හෙළි වන්නේ කුමක්ද?

6. අප කතා බහට භාජන කිරීමට කැමති විෂයන්වලින් අපගේ හදවතෙහි තත්වය ගැන කුමක් හෙළි විය හැකිද?

6 අපගේ හදවතෙහි නිදන් කර ඇත්තේ කුමක්දැයි අපට දැනගත හැකි වන්නේ කෙසේද? යේසුස් මෙසේ පැවසීය. “යහපත් මනුෂ්‍යයා තමාගේ සිතෙහිවූ [හදවතෙහි, NW] යහපත් සම්පතෙන් යහපත් දේද නපුරු මනුෂ්‍යයා නපුරු සම්පතෙන් නපුරුදේද පිටතට ගෙනෙන්නේය. මක්නිසාද මුඛය කථාකරන්නේ සිතේ [හදවතෙහි, NW] පූර්ණකමෙන්ය.” (ලූක් 6:45) ඇත්තෙන්ම අප සාමාන්‍යයෙන් කතා කරන දෙයින් අප හදවතින්ම කිරීමට අදිටන් කර ඇති දෙය සම්බන්ධයෙන් හොඳ ඉඟියක් සපයයි. අප වැඩියෙන් කතා කරන්නේ ද්‍රව්‍යමය දේවල් ගැන හා ලෞකික ක්ෂේත්‍රයන්හි අප ඉටු කරගත් දේවල් ගැනද? එසේ නැතහොත් අප කතා බහ කරන විට, ආත්මික දේවල් සහ දිව්‍යාණ්ඩුමය ඉලක්කවලට මුල් තැනක් දෙනවාද? අන් අයගේ අඩුපාඩුකම් ගැන කතා කිරීමට වඩා, ප්‍රේමනීය ආකාරයකින් ඒවා වසා දැමීමට අප තුළ නැඹුරුවාවක් ඇද්ද? (හිතෝපදේශ 10:11, 12) අප වැඩියෙන් කතා කිරීමට නැඹුරු වන්නේ අන් අය සහ ඔවුන්ගේ ජීවිතවල සිදු වන දේවල් ගැනද? ප්‍රතිපත්ති හා ගැඹුරු ආත්මික කාරණා ගැන අප කතා කරන්නේ අඩුවෙන්ද? අප අනවශ්‍ය ලෙස අනුන්ගේ පෞද්ගලික වැඩ කටයුතුවලට ඇඟිලි ගසන බවට මෙය අනතුරු ඇඟවීමක් විය හැකිද?—1 පේතෘස් 4:15.

7. යෝසෙප්ගේ සහෝදරයන් දසදෙනා හා සම්බන්ධ සිද්ධියෙන් අපගේ හදවත් රැකගැනීම පිළිබඳව උගත හැකි පාඩම කුමක්ද?

7 එක්තරා විශාල පවුලකට සිදු වූ දෙය සලකා බලන්න. යාකොබ්ගේ වැඩිමල් පුත්‍රයන් දසදෙනාට ඔවුන්ගේ බාල සොහොයුරු යෝසෙප් ‘සමඟ සමාදානයෙන් කතා කරන්නට නොහැකි විය.’ ඒ මන්ද? යෝසෙප් ඔවුන්ගේ පියාගේ ප්‍රියතම පුත්‍රයා වූ නිසා ඔවුන් ඊර්ෂ්‍යාවෙන් දැවුණු බැවිනි. පසුව දෙවි යෝසෙප්ට ස්වප්න දැකීමට සැලැස්වීමෙන් ආශීර්වාද කළේය. ඔහු යෙහෝවාගේ අනුග්‍රහය ලද්දෙක් බවට මෙය මනා සාක්ෂියක් විය. කෙසේවෙතත්, යෝසෙප්ගේ සහෝදරයන් ඔහුට “වඩ වඩා වෛර” කිරීමට එය හේතු විය. (උත්පත්ති 37:4, 5, 11) ඔවුන් තම සොහොයුරා වහලෙකු ලෙස වික්කේ මහත් කුරිරු අන්දමිනි. අනතුරුව, ඔවුන් තම අවකල් ක්‍රියාව වසං කිරීමට තැත් කළේ, යෝසෙප් චණ්ඩ මෘගයෙකු අතින් මැරුම් කෑ බව පවසමින් තම පියාව මුළා කිරීමෙනි. එම අවස්ථාවේදී යෝසෙප්ගේ සහෝදරයන් දහදෙනා තම හදවත් රැකගැනීමට අසමත් වූවෝය. අපද අන් අයව විවේචනයට ලක් කරන්න ඉක්මන් නම්, අපගේ හදවතෙහි ඊර්ෂ්‍යාවක් හෝ කුඩුකේඩුකමක් ඇති බවට එය සාක්ෂියක් විය නොහැකිද? එසේ නම්, අපගේ මුවින් පිට වන දේ ගැන අප සෝදිසියෙන් සිටිය යුතු අතර, නුසුදුසු නැඹුරුවාවන් මුලිනුපුටා දැමීමට වහාම පියවර ගැනීම අවශ්‍යය.

8. බොරුවක් කීමේ උගුලට අප හසු වුවහොත්, අපගේ හදවත සෝදිසි කර බැලීමට කුමක් උපකාරවත් වේද?

8 දෙවිට නම් ‘බොරු කිව නොහැකිය.’ කෙසේවෙතත් අසම්පූර්ණ මනුෂ්‍යයෝ බොරු කීමට නැඹුරුවාවක් දක්වති. (හෙබ්‍රෙව් 6:18) මෙය සනාථ කරමින් “සියලු මනුෂ්‍යයෝම බොරු” කියන බව ගීතිකාකරු ශෝකයෙන් පැවසීය. (ගීතාවලිය 116:11) ප්‍රේරිත පේතෘස් පවා තුන් වරක්ම පිටුපෑවේ තමා යේසුස්ව හඳුනන්නේ නැති බවට බොරු කීමෙනි. (මතෙව් 26:69-75) යෙහෝවා “බොරුකාර දිව” ද්වේෂ කරන බැවින්, බොරු කීමෙන් අප වැළකී සිටිය යුතු බව පැහැදිලිය. (හිතෝපදේශ 6:16-19) බොරුවක් කීමේ පරීක්ෂාවට යම් හෙයකින් අප ගොදුරු වුවහොත්, ඊට හේතු වූ දෙය සෝදිසි කර බැලීම යහපති. එසේ කළේ මනුෂ්‍යයන්ට තිබූ භයක් නිසාද? ඊට හේතු වූයේ දඬුවමක් ලැබීමට තිබූ බියක්ද? තමාගේ ඇඟ බේරාගැනීම හෝ යම් ආත්මාර්ථකාමී චේතනාවක් ගැටලුවට මුල් වූවා විය හැකිද? හේතුව කුමක් වුවත්, සිදු වූ දෙය ගැන ගැඹුරින් කල්පනා කර, අප අතින් සිදු වූ වරද යටහත් පහත්ව පිළිගෙන, යෙහෝවාගෙන් සමාව අයැද, එම දුර්වලකමින් ජයගැනීමට ඔහුගේ උපකාරය පැතීම මොනතරම් යෝග්‍ය දෙයක්ද! බොහෝදුරට එම උපකාරය සපයා දීමට හොඳම තත්වයක සිටින්නේ “සභාවේ වැඩිමහල්ලන්” බව පැවසිය හැක.—යාකොබ් 5:14.

9. අපගේ යාච්ඤා තුළින් අපගේ හදවත ගැන හෙළි විය හැක්කේ කුමක්ද?

9 ප්‍රඥාව සහ දැනුම ලබාගැනීම සඳහා සාලමොන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් යෙහෝවා මෙසේ පැවසීය. “මේක නුඹේ සිතේ [හදවතට සමීපව, NW] තිබී, නුඹ වස්තුවවත් සම්පත්වත් ගෞරවයවත් නුඹට වෛරවෙන්නන්ගේ ජීවිතවත් ඉල්ලන්නේ නැතුව, . . . ප්‍රඥාවද දැනගැන්මද ඉල්ලූ නිසා, ප්‍රඥාවත් දැනගැන්මත් නුඹට දුනිමි; . . . වස්තුවත් සම්පතත් ගෞරවයත් නුඹට දෙන්නෙමි.” (2 ලේකම් 1:11, 12) සාලමොන් ඉල්ලූ හා නොඉල්ලූ දෙයින් ඔහුගේ හදවතට සමීපව තිබුණේ කුමක්දැයි යෙහෝවා දැනගත්තේය. දෙවි සමඟ අප කතා කරන විට, අපගේ හදවතෙහි තත්වය ගැන අනාවරණය වන්නේ කුමක්ද? අප දැනුම, ප්‍රඥාව සහ විචාර බුද්ධිය සඳහා පිපාසයකින් සිටින බව අපගේ යාච්ඤාවලින් හෙළි වේද? (හිතෝපදේශ 2:1-6; මතෙව් 5:3NW) රාජ්‍ය කටයුතු අපගේ හදවතට සමීපද? (මතෙව් 6:9, 10) අපගේ යාච්ඤා යාන්ත්‍රික, පුරුද්දට මෙන් කරන කාර්යයක් බවට පත්ව ඇත්නම්, යෙහෝවාගේ ක්‍රියා ගැන මෙනෙහි කිරීමට කාලය ගැනීමේ අවශ්‍යතාවක් ඇති බවට එය අනතුරු ඇඟවීමක් විය හැක. (ගීතාවලිය 103:2) එමනිසා, තම යාච්ඤාවලින් අනාවරණය වන දේ සම්බන්ධයෙන් සියලුම ක්‍රිස්තියානීන් සාවධානව සිටිය යුතුය.

අපගේ ක්‍රියාවලින් හෙළි වන්නේ කුමක්ද?

10, 11. (අ) පරදාර සේවනය සහ වේශ්‍යාකම නමැති පාපවලට මුල් වන්නේ කුමක්ද? (ආ) ‘අපගේ හදවතින් පරදාර සේවනයෙහි නොයෙදීමට’ උපකාරවත් වන්නේ කුමක්ද?

10 අවවාදයට වඩා ආදර්ශය උතුම් බව සාමාන්‍යයෙන් කියනු ලැබේ. ඇත්තෙන්ම අපගේ ඇතුළාන්තය සම්බන්ධයෙන් තොරතුරු සම්භාරයක් හෙළි කිරීමට අපගේ ආදර්ශය නැතහොත් ක්‍රියාවන් ඉවහල් වේ. නිදසුනකට, සදාචාරය නමැති කාරණය සලකා බලන්න. හදවත රැකගැනීම යන්නෙන් අදහස් කරන්නේ වේශ්‍යාකම නැතහොත් පරදාර සේවනය නමැති ක්‍රියාවෙහි එක වරක්වත් නොයෙදීම පමණක්ම නොවේ. සිය කන්ද උඩ දේශනයෙහි යේසුස් මෙසේ පැවසීය. “ස්ත්‍රියක දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවෙලේම ඈ සමඟ සිතින් [හදවතින්, NW] කාමමිථ්‍යාචාරය කළේය.” (මතෙව් 5:28) එසේ නම්, අපගේ හදවතින් පවා පරදාර සේවනයෙහි යෙදීමෙන් වැළකිය හැකි වන්නේ කෙසේද?

11 විශ්වාසවන්ත කුලදෙටු යෝබ් විවාහක පුරුෂයන් සහ ස්ත්‍රීන් සඳහා ආදර්ශයක් තැබීය. එදිනෙදා ජීවිතයේදී යෝබ්ට තරුණියන් සමඟ කටයුතු කිරීමට සිදු වූ අතර, උපකාර අවශ්‍ය වූ විට ඔවුන්ට එය කාරුණිකව පිරිනමන්නටද ඇත. කෙසේවෙතත්, ඔවුන් කෙරෙහි යම් අනවශ්‍ය විදිහේ ආලවන්ත හැඟීමක් ඇති කරගැනීමේ සිතුවිල්ල පවා අඛණ්ඩතාව පැවැත්වූ මෙම පුරුෂයා සැලකුවේ එකහෙළාම පහ කළ යුතු දෙයක් ලෙසය. ඒ මන්ද? ස්ත්‍රීන් දෙස රාගයෙන් නොබැලීමට හෙතෙම තිර ලෙස අදිටන් කරගෙන සිටි බැවිනි. “මාගේ ඇස් සමඟ ගිවිසුමක් කළෙමි; එබැවින් කන්‍යාවක් දෙස බලන්නේ කොහොමද” කියා හෙතෙම පැවසීය. (යෝබ් 31:1) එසේ නම්, අපිද අපගේ ඇස් සමඟ එවන් ගිවිසුමක් කොට අපගේ හදවත රැකගැනීමට පියවර ගනිමු.

12. හදවත රැකගැනීමේදී ලූක් 16:10 ඔබට අදාළ කරගත හැක්කේ කෙසේද?

12 දෙවිගේ පුත්‍රයා වරක් මෙසේ ප්‍රකාශ කළේය. “ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටියි. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටියි.” (ලූක් 16:10) මින් අදහස් කරන්නේ, ඉතා සුළුයයි පෙනී යා හැකි එදිනෙදා කටයුතුවලදී, අපගේ නිවෙස්වල කිසිවෙකුගේ අවධානයට හසු නොවන දේවලදී පවා අපගේ හැසිරීම ගැන සුපරීක්ෂාකාරිව සිටිය යුතු බවයි. (ගීතාවලිය 101:2) ශුද්ධ ලියවිල්ලෙහි ඉතා පැහැදිලිව දී ඇති මෙම අවවාදය සැලකිල්ලට ගන්න. “වේශ්‍යාකමද සියලු ආකාර අපවිත්‍රකම හෝ තණ්හාවද නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා; එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය. කැතකම්ද මෝඩ කථාද නීච කවටකම්ද යන මේවාත් නුසුදුසුය.” (එපීස 5:3, 4) නිවසේදී රූපවාහිනිය නරඹන විට හෝ අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින විට, මෙම අවවාදයට එකඟව කටයුතු කරන්න අප සැලකිලිමත් වෙනවාද? රූපවාහිනියේ හෝ වීඩියෝ ක්‍රීඩාවල දක්නට ලැබෙන සාහසිකකම් ගැන කුමක් කිව හැකිද? ‘යෙහෝවා ධර්මිෂ්ඨයා විමසයි. නමුත් ඔහුගේ ආත්මය දුෂ්ටයාටත් බලාත්කාරකමට ප්‍රිය වෙන්නාටත් ද්වේෂ කරයි’ කියා ගීතිකාකරු පවසයි.—ගීතාවලිය 11:5.

13. අපගේ හදවතින් නික්මෙන දේ ගැන මෙනෙහි කරන විට, බරපතළ ලෙස සිතට ගත යුත්තේ කුමක්ද?

13 “සියල්ලට වඩා සිත [හදවත, NW] රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද” කියා යෙරෙමියා අනතුරු ඇඟවීය. (යෙරෙමියා 17:9) හදවතෙහි රැවටිලිකාරකම මතු විය හැක්කේ කෙසේද? අප අතින් සිදු වන වැරදි සඳහා නිදහසට කරුණු ඉදිරිපත් කරන විට, අපගේ අඩුපාඩුකම් සුළු කොට තකන විට, අපගේ පෞද්ගලිකත්වයේ බරපතළ දෝෂයන් සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන විට නැතහොත් අපගේ සමර්ථකම් උලුප්පා දැක්වීමට උත්සාහ දරන විට මෙම රැවටිලිකාරකම දක්නට ලැබේ. දුෂ්ට හදකට දෙබිඩි ප්‍රතිපත්ති දැරීමට පවා පුළුවන. ඉන් අදහස් කරන්නේ, චාටු බසින් එකක් කීම නමුත් ක්‍රියාවෙන් තවත් දෙයක් කිරීමයි. (ගීතාවලිය 12:2; හිතෝපදේශ 23:7) එසේ නම්, අපගේ හදවතින් නික්මෙන දේ සෝදිසියට ලක් කරන විට අවංක වීම කොතරම් වැදගත්ද!

අපගේ ඇස සරලද?

14, 15. (අ) “සරල” ඇසක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) අපගේ ඇස සරලව තබාගැනීම හදවත රැකගැනීමට ඉවහල් වන්නේ කෙසේද?

14 “ශරීරයේ පහන නම් ඇසය” කියා යේසුස් පැවසීය. ඊට එකතු කරමින් ඔහු කීවේ, “එහෙයින් නුඹේ ඇස පැහැදිලි [සරල, NW] නම්, නුඹේ මුළු ශරීරය එළිය වන්නේය” කියාය. (මතෙව් 6:22) සරල ඇසක් යනු එක ඉලක්කයක් හෝ අරමුණක් කෙරෙහි නාභිගත වූ ඇසකි. එවන් ඇසක්, එම ඉලක්කයෙන් හෝ අරමුණෙන් වෙනතකට යොමු වී නැත. ඇත්තෙන්ම අපගේ ඇස නාභිගත විය යුත්තේ ‘පළමුකොට [දෙවිගේ] රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද සෙවීම’ මතය. (මතෙව් 6:33) ඇස සරලව තබාගැනීමට අසමත් වන විට අපගේ සංකේතමය හදවතට කුමක් සිදු විය හැකිද?

15 නිදසුනකට, ජීවත් වීම සඳහා රැකියාවක් කිරීම යන කාරණය සලකා බලමු. පවුලේ අවශ්‍යතාවන් සැපිරීම ක්‍රිස්තියානි යුතුකමකි. (1 තිමෝති 5:8) එනමුත්, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් හා වෙනත් දේවල් ලබාගැනීමට දරන උත්සාහයේදී, නවීන පන්නයේ, හොඳම සහ වඩාත්ම ජනප්‍රිය දේවල් සතු කරගැනීමේ ආශාවට අප හසුව ඇත්නම් තත්වය කුමක්ද? අපගේ හදවත සහ මනස ඊට වහල් විය නොහැකිද? ඒ දේවල් නිසා අපගේ නමස්කාරය උදාසීන, අඩ සිතකින් කරන දෙයක් බවට පත් විය නොහැකිද? (ගීතාවලිය 119:113; රෝම 16:18) අපගේ ජීවිතය පවුල, ව්‍යාපාරය හා ද්‍රව්‍යමය දේවල් වටා පමණක් කේන්ද්‍රගතව පැවතීමට සලස්වමින් අප එදිනෙදා කටයුතුවලම ඇලී ගැලී සිටිය යුත්තේ මන්ද? දේවානුභාවයෙන් දී ඇති මෙම අවවාදය සිහියේ තබාගන්න. “ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් [හදවත්, NW] බර නොවන හැටියට බලාගන්න. මක්නිසාද ඒක මුළු පොළෝතලය පිට වසන්නාවූ සියල්ලන් කෙරෙහි එසේ පැමිණෙන්නේය.”—ලූක් 21:34, 35.

16. ඇස සම්බන්ධයෙන් යේසුස් දුන්නේ කවර අවවාදයද? ඒ මන්ද?

16 ඇස යනු මනසට සහ හදවතට තොරතුරු ලබා දීමේ වැදගත් මාධ්‍යයකි. ඇස නාභිගත වන දේ අපගේ සිතිවිලි, චිත්තවේගයන් සහ ක්‍රියාවන්ට ප්‍රබල ආකාරයෙන් බලපෑම් කළ හැකිය. අපගේ ඇස්වලින් ඇති විය හැකි පරීක්ෂාවල ප්‍රබලත්වයට යොමු දක්වමින්, යේසුස් සංකේතමය විලසින් මෙසේ පැවසීය. “නුඹේ දකුණු ඇස නුඹට බාධාකෙරේ නම්, ඒක උගුලා අහකට දමන්න. මක්නිසාද නුඹේ මුළු ශරීරය [ගෙහෙන්නාවෙහි] හෙළනු ලැබීමට වඩා, නුඹේ අවයවවලින් එකක් නැතිවීම නුඹට යහපත.” (මතෙව් 5:29) එමනිසා, නුසුදුසු දේවලට යොමුවීමේ බලපෑමට එරෙහිව ඇස පාලනය කළ යුතුය. නිදසුනකට, කාමාශාව හා වෙනත් තෘෂ්ණාවන් ඇවිස්සීමේ අරමුණෙන් නිපදවා ඇති දේවල් දෙස දිගටම බැලීමෙන් ඇස වළක්වාගැනීම අවශ්‍යය.

17. කොලොස්සි 3:5 අදාළ කරගැනීම අපගේ හදවත රැකගැනීමට උපකාරවත් වන්නේ කෙසේද?

17 බාහිර ලෝකයෙන් තොරතුරු උරාගැනීමට හේතුපාදක වන එකම ඉන්ද්‍රිය අපගේ ඇස කියා පැවසිය නොහැක. ස්පර්ශ කිරීම සහ ශ්‍රවණය කිරීම මගින්ද යම් කාර්යයක් ඉටු වේ. එමනිසා, එම ඉන්ද්‍රීන් සම්බන්ධයෙන්ද යම් ආරක්ෂිත පියවර ගැනීම අවශ්‍ය වේ. ප්‍රේරිත පාවුල් මෙසේ අවවාද කළේය. “පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසන්න.”—කොලොස්සි 3:5.

18. නුසුදුසු සිතිවිලි සම්බන්ධයෙන් අප ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

18 යම් නුසුදුසු ආශාවක් නැතහොත් තෘෂ්ණාවක් අපගේ මනසෙහි මුල්ලක තැන්පත් වී තිබිය හැක. එවන් තෘෂ්ණාවක් පෝෂණය කරද්දී එය තවත් ප්‍රබල වී, අපගේ හදවතට බලපෑම් කිරීමට පටන්ගනියි. “තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහිකරන්නීය.” (යාකොබ් 1:14, 15) ස්වයං වින්දනය නමැති ක්‍රියාවට හේතුපාදක වන්නේද මෙම ක්‍රියාවලියම බව බොහෝදෙනාගේ පිළිගැනීම වේ. එසේ නම්, අපගේ මනස ආත්මික අදහස්වලින් නොකඩවා පුරවාගැනීම කොයිතරම් වැදගත්ද! (පිලිප්පි 4:8) නුසුදුසු සිතිවිල්ලක් පහළ වේ නම්, එය පහ කර හැරීමට අප උත්සාහ දැරිය යුතුය.

‘සම්පූර්ණ හදවතකින් යෙහෝවාට සේවය කරමු’

19, 20. සම්පූර්ණ හදවතකින් යෙහෝවාට සේවය කිරීමට අප සමත් වන්නේ කෙසේද?

19 වියපත්ව සිටි දාවිත් රජ තම පුත්‍රයාට මෙසේ පැවසීය. ‘සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවි හැඳින සම්පූර්ණ සිතකින් [හදවතකින්, NW] හා ප්‍රසන්න ආත්මයකින් ඔහුට මෙහෙකරන්න. මක්නිසාද යෙහෝවා සියලු සිත් [හදවත්, NW] විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නේය.’ (1 ලේකම් 28:9) සාලමොන් පවා “කීකරු හදවතක්” සඳහා යාච්ඤා කළේය. (1 රාජාවලිය 3:9NW) කෙසේවෙතත්, එවන් හදවතක් පවත්වාගැනීමේ අභියෝගයට හෙතෙම තම ජීවිත කාලය පුරාම මුහුණ දුන්නේය.

20 මේ සම්බන්ධයෙන් අප සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නම්, යෙහෝවාට ප්‍රිය හදවතක් ඇති කරගැනීමෙන් පමණක් සෑහීමට පත් නොවිය යුතුය. එය රැකගැනීමටද ප්‍රයත්න දැරිය යුතුය. එසේ කිරීමට නම්, අප දේවවචනයෙහි සිහිගැන්වීම් අපගේ හදවතට සමීපව තබාගැනීම අවශ්‍යය. වෙනත් වචනවලින් කිවහොත් ඒවා ‘අපගේ හදවත තුළ තබාගැනීම’ අවශ්‍යය. (හිතෝපදේශ 4:20-22) අනික් අතට, අපගේ හදවත සෝදිසි කිරීම, එනම් අපගේ කතාවෙන් සහ ක්‍රියාවෙන් හෙළි වන දේ ගැන යාච්ඤාපූර්වකව මෙනෙහි කිරීම අප පුරුද්දක් වශයෙන් කළ යුතුය. කෙසේවෙතත්, අප දකින යම් දුර්වලතා නිවැරදි කරගැනීමට යෙහෝවාගේ උපකාරය අවංකව පැතුවොත් මිසක, නැත්නම් එවන් මෙනෙහි කිරීමකින් ඵලක් තිබේවිද? තවද අපගේ ඉන්ද්‍රීන් තුළින් උරාගන්නා දේ ගැන සුපරීක්ෂාකාරි වීම කොතරම් වැදගත්ද! මෙසේ කිරීමෙන් අපට සහතික විය හැකි දේ නම් ‘කිසි නුවණකින් දැනගත නොහැකි දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් තුළ [අපගේ] සිත්ද [හදවත්ද, NW] සිතිවිලිද ආරක්ෂා කරන’ බවය. (පිලිප්පි 4:6, 7) එසේ නම්, අන් හැම දෙයකටම වඩා අපගේ හදවත රැකගැනීමටත්, සම්පූර්ණ හදවතකින් යෙහෝවාට සේවය කිරීමටත් අදිටන් කරගනිමු.

ඔබට මතකද?

• හදවත රැකගැනීම වැදගත් වන්නේ මන්ද?

• අප පවසන දේ විග්‍රහ කර බැලීම අපගේ හදවත රැකගැනීමට ඉවහල් වන්නේ කෙසේද?

• අපගේ ඇස ‘සරලව’ තබාගත යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූර]

ක්ෂේත්‍ර සේවයෙහිදී, රැස්වීම්වලදී සහ නිවසේදී අප සාමාන්‍යයෙන් කතා කරන්නේ කුමක් ගැනද?

[25වන පිටුවේ පින්තූර]

සරල ඇසක් යනු ඉලක්කයෙන් වෙනතකට යොමු නොවන ඇසකි