Skip to content

පටුනට යන්න

දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්නේ කවුද?

දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්නේ කවුද?

දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්නේ කවුද?

‘අප ප්‍රේම කරන්නේ ඔහු පළමුකොට අපට ප්‍රේම කළ නිසාය.’—1 යොහන් 4:19.

1, 2. (අ) අපට යමෙකු ප්‍රේම කරනවා කියා දැනසිටීම වැදගත් වන්නේ මන්ද? (ආ) අපට වැඩියෙන් අවශ්‍ය වන්නේ කාගේ ප්‍රේමයද?

 කවුරු හරි ඔබට ප්‍රේම කරනවාය යන්න දැනගෙන සිටීම ඔබ සලකන්නේ කොපමණ වටිනා යමක් ලෙසද? ප්‍රේමය ලැබීම මිනිසාගේ සහජ අවශ්‍යතාවකි. ජීවිත ගමනේ බාල අවදියේ සිට සැඳෑ සමය දක්වා වූ කාලය තුළ ඔවුන් මල් මෙන් විකසිත වන්නේ ඉන් නොමද පහසක් ලැබීමෙන් අනතුරුවය. ආදරයෙන් පිරුණු මවකගේ තුරුලෙහි සිටින දරුවෙකුගේ රූපය ඔබට සිතින් මවාගත හැකිද? එම සිඟිත්තා තම මවගේ සෙනෙහෙබර දෙනෙත් දෙස තම දෙනෙත් අයා සිටිද්දී, ඒ බිළින්දාට දැනෙන්නේ මොනතරම් සතුටක්ද, සුවයක්ද! අවට කුමක් සිදු වෙතත්, ඒ කුඩා දරුවාට එක දෙයක් නම් ස්ථිරය. එනම් අම්මා තමාට ආදරය කරන බවයි. ඔබ නව යොවුන් වියට පා තැබූ කාලය මතකද? එය රෝස මල් යහනාවක් නම් නොවීය. (1 තෙසලෝනික 2:7) ඇතැම් අවස්ථාවලදී ඔබේ ඕනෑ එපාකම්, ඔබේ හැඟීම් ඔබටම මහත් අවුලක් විය. එනමුත් ඔබේ පියා හා මව ඔබට ආදරේ කළ බව දැන සිටීම ඔබට කොතරම් හයියක් වීද! ප්‍රශ්නය හෝ ගැටලුව කුමක් වුවත්, එය සමඟින් ඔවුන් වෙත පිවිසීමට හැකි බව දැනසිටීම ඔබට ඉමහත් අස්වැසිල්ලක් ගෙන දුන්නා නොවේද? ඔව්, අපගේ ජීවිතය පුරාම ආදරය, ප්‍රේමය, සෙනෙහස ලැබීම ඉතා වැදගත් අවශ්‍යතාවකි. එවන් ප්‍රේමයක් ලැබීම අපට වටිනාකමක් ඇති බව සනාථ කරවන්නකි.

2 දෙමාපියන්ගෙන් අඛණ්ඩව ලැබෙන මෙම ප්‍රේමය යෞවනයෙකුගේ නිසි වර්ධනයට හා චිත්තවේගීය සමබරතාවට ඉඳුරාම දායක වේ. ඒ කෙසේවෙතත්, අපගේ ආත්මික හා චිත්තවේගීය සුවයට වඩාත් ප්‍රබල අන්දමින් බලපාන යමක් ඇත. එය නම් අපගේ ස්වර්ගික පිය වූ යෙහෝවා අපට ප්‍රේම කරන බවට වූ ඒකාන්ත විශ්වාසයයි. මෙම සඟරාව කියවන ඇතැම් පාඨකයන් දෙමාපිය සෙනෙහස නියමාකාරයෙන් නොලද අය විය හැක. ඔබත් එවන් අයෙක් නම්, ධෛර්යවත් වන්න. දෙමාපිය ආදරය ඔබට අහිමි වී ඇත්නම්, නොඑසේ නම් එහි පූර්ණ රසය අත් විඳ නැත්නම්, ඔබේ සරණට දෙවි සිටින බව දැන සිටීමම බිය සැක දුරු කරවන්නකි. ඔහුගේ පක්ෂපාත ප්‍රේමය ඔබට නොඅඩුව ලැබෙයි!

3. යෙහෝවා තම සෙනඟට ප්‍රේම කරන බව සහතික කර ඇත්තේ කෙසේද?

3 මවකට ඇගේ කිරි දරුවා ‘මතක නැති කරන්නට’ පුළුවන් වුවත්, තමා තම ජනතාව අමතක නොකරන බව යෙහෝවා අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් පැහැදිලි කළේය. (යෙසායා 49:15) දාවිත්ද මනා ආත්ම විශ්වාසයකින් යුතුව මෙසේ පැවසීය. ‘මාගේ පියාද මවුද මා අත්හැරියෝය. නමුත් යෙහෝවා මා පිළිගනියි.’ (ගීතාවලිය 27:10) මෙවන් අදහස් අප කොයි කාටත් මොනතරම් අස්වැසිල්ලක්ද! මොනයම් තත්වයක සිටියද, ඔබ යෙහෝවා දෙවිට කැප වී කිට්ටු සම්බන්ධයක් භුක්ති විඳිනවා නම්, ඔබ කෙරෙහි ඔහුගේ ප්‍රේමය වෙනත් කිසිදු මනුෂ්‍යයෙකුගෙන් ලැබිය හැකි ප්‍රේමයකට වඩා බොහෝ සෙයින් අබිබවා යයි. මොහොතකටවත් මෙය අමතක කරන්න එපා!

දෙවිගේ ප්‍රේමයෙහි පැවත සිටින්න

4. දෙවි තමන්ට ප්‍රේම කරන බවට මුල් සියවසේ ක්‍රිස්තියානීන් තුළ තිබූ සහතිකය විස්තර කරන්න.

4 යෙහෝවාගේ ප්‍රේමය ගැන මුලින්ම ඔබ දැනගත්තේ කවදාද? ඇතැම්විට මුල් සියවසේ ක්‍රිස්තියානීන් අද්දැක්කා හා සමාන දෙයක් ඔබේ අද්දැකීම විය හැක. වරක් දෙවිගෙන් ඈත්ව සිටි පව්කාරයන් යෙහෝවාගේ ප්‍රේමය අද්දුටු ආකාරය පාවුල් රෝමවාසීන්ට ලියූ ලිපියෙහි 5වන පරිච්ඡේදයෙහි මොනවට විස්තර කර ඇත. පස්වන පදයෙහි මෙසේ සඳහන් වේ. ‘අපට දෙන ලද ශුද්ධාත්මය මාර්ගයෙන් දෙවිගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවන ලද්දේය.’ අටවන පදයෙහි පාවුල් තවත් යමක් ඊට එකතු කරයි. ‘දෙවි අප කෙරෙහි ඇති තමන්ගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවෙන් ක්‍රිස්තුස් මරණය විඳීමෙන්ය.’

5. දෙවිගේ ප්‍රේමය කොතරම්ද කියා කෘතඥපූර්වකව අගය කිරීමට ඔබට හැකි වූයේ කෙසේද?

5 මේ හා සමානව දේවවචනයෙහි නිදන්ගත සත්‍යය ඔබට ලැබී, එය කෙරෙහි ඇදහිල්ල දක්වන්නට පටන්ගැනීමේදී, යෙහෝවාගේ ශුද්ධාත්මය ඔබේ හදෙහි ක්‍රියාත්මක වන්නට විය. නමුත්, ඔබ වෙනුවෙන් තම ප්‍රේමවන්ත පුත්‍රයා එවීමෙන් යෙහෝවා පෙන්වූ ප්‍රේමයේ තරම කොතරම්දැයි කෘතඥපූර්වකව තේරුම්ගැනීමට ඔබට හැකි වූයේ කෙමෙන් කෙමෙන්ය. මෙලෙස, යෙහෝවා මිනිස්වර්ගයාට කොතරම් ප්‍රේම කරනවාද යන්න පිළිබඳව ඔබ දැනුවත් විය. යෙහෝවාගෙන් ඈත් වූ පව්කාරයෙකු ලෙස ඉපද සිටියත්, සදාතනික ජීවිතයක් භුක්ති විඳීමට මඟ පාදමින් ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ කරනු ලැබීමේ ප්‍රස්තාව මිනිසාට විවෘත කර දී තිබෙන බව දැනගත් විට ඔබේ හදවතෙහි ඇති වූ හැඟීම් වචනවලින් විස්තර කළ හැකිද? යෙහෝවා කෙරෙහි ඔබ තුළ ප්‍රේමයක් ඇති වුණේ නැද්ද?—රෝම 5:10.

6. ඇතැම් අවස්ථාවලදී අප යම් දුරකට යෙහෝවාගෙන් දුරස් වී ඇතැයි දැනිය හැක්කේ මන්ද?

6 ඔබේ ස්වර්ගික පියාණන්ගේ ප්‍රේමයට ආකර්ෂණය වී, ඔහුගේ කැමැත්තට එකඟව ඔබේ ජීවිතය සකස් කරගැනීමෙන් අනතුරුව, ඔබ දෙවිට ඔබේ ජීවිතය කැප කළා. දැන් ඔබ දෙවි සමඟ සාමය භුක්ති විඳිමින් සිටිනවා. එනමුත් ඇතැම් අවස්ථාවලදී, යෙහෝවා ඔබෙන් යම් හෙයකින් දුරස් වී ඇතැයි ඔබට දැනෙනවාද? අපගෙන් ඕනෑම කෙනෙකුට එවන් යමක් සිදු විය හැක. කෙසේ වෙතත්, දෙවි කිසිදාක වෙනස් නොවන බව අමතක නොකරන්න. පෘථිවිය ආලෝකයෙන් නැහැවීමට කිසිදාක අසමත් නොවන හිරු කිරණ මෙන්, දෙවිගේ ප්‍රේමය නිරන්තරයෙන්ම හා නොඅඩුව අප කරා විහිදේ. (මලාකී 3:6; යාකොබ් 1:17) අනික් අතට, තාවකාලිකව හෝ වෙනස් වන්නේ අපය. පෘථිවිය කරකැවෙද්දී ඉන් අඩක්ම අන්ධකාරයෙන් වැසී යන්නාක් මෙන්, අපද දෙවිගෙන් යම් ප්‍රමාණයකට ඉවත්ව යනවා නම්, ඔහු සමඟ අපට තිබෙන සම්බන්ධයේ උණුසුම අපගෙන් ගිලිහී යා හැක. එම තත්වයෙන් ගොඩ ඒමට කුමක් කළ හැකිද?

7. දෙවිගේ ප්‍රේමයෙහි පැවත සිටීමට ආත්ම-සෝදිසියක් කිරීම අපට උපකාරවත් විය හැක්කේ කෙසේද?

7 දෙවිගේ ප්‍රේමයෙන් වෙන් වී ඇති බවක් අපට යම් හෙයකින් දැනෙනවා නම්, අපගෙන් මෙසේ ඇසීම උචිතය. ‘මා විසින් දෙවිගේ ප්‍රේමය සුළු කොට තකා ඇද්ද? මා කෙමෙන් කෙමෙන් යම් දුරකට ප්‍රේමයෙන් පූර්ණ ජීවමාන දෙවිගෙන් ඉවත් වී, විවිධ අයුරින් දුර්වල වෙමින් පවතින ඇදහිල්ලක් විදහාපෙන්වා ඇද්ද? මගේ මනස “ආත්මයේ දේවලට” වඩා “මාංසයේ දේවලට” යොමු වී ඇද්ද?’ (රෝම 8:5-8NW; හෙබ්‍රෙව් 3:12) අප යෙහෝවාගෙන් දුරස් වී ඇත්නම්, තත්වය නිවැරදි කිරීම සඳහා අපට යම් පියවර ගෙන යළිත් වරක් ඔහු සමඟ කිට්ටු, උණුසුම් සම්බන්ධයක් භුක්ති විඳීමේ ප්‍රස්තාව උදා කරගත හැක. මේ අනුව යාකොබ් අපගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ මෙසේය. ‘දෙවිට ළං වෙන්න, එවිට ඔහු නුඹලාට ළං වන්නේය.’ (යාකොබ් 4:8) එමෙන්ම යූද්ගේ වදන්ද සිතට ගන්න. ‘ප්‍රේමවන්තයෙනි, නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩනඟා ගනිමින්, ශුද්ධාත්මය [ඇතුව] යාච්ඤා කරමින්, . . . දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න.’—යූද් 20, 21.

තත්වයන් වෙනස් වුවත්, දෙවිගේ ප්‍රේමය වෙනස් නොවේ

8. අපගේ ජීවිතයෙහි හදිස්සියෙන්ම සිදු විය හැක්කේ කවර වෙනස් වීම්ද?

8 පවතින ක්‍රමයෙහි දිවි ගෙවන අපි, නොයෙකුත් විෂමතාවන්ට මුහුණ දෙන්නෙමු. මීට එකඟව “කාලයත් හදිසි කාරණාත් [අප] සියල්ලන්ට සිද්ධවෙන” බව සාලමොන් රජ නිරීක්ෂණය කළේය. (දේශනාකාරයා 9:11) එක රැයකින් මෙන් අපගේ ජීවිතය වෙනස් විය හැක. දිනෙක අපි හොඳ ශරීර සෞඛ්‍යයකින් සිටිමු. ඊළඟ දවසේ බරපතළ අසනීපයකට ගොදුරු විය හැක. දිනෙක අපගේ රැකියාව ස්ථිරය. ඊළඟ දින අපගේ රැකියාවෙන් අපව අස් කර තිබෙනවා වන්නට පුළුවන. කිසිදු පෙරනිමිත්තක් නොමැතිව අප ප්‍රේම කරන කෙනෙකු මරණයේ ග්‍රහණයට හසු වන්නටද පුළුවන. සමහර රටවල වෙසෙන ක්‍රිස්තියානීන් කලකට යම් සාමකාමී වාතාවරණයක් මැද සේවය කළත්, හදිස්සියෙන්ම දරුණු පීඩා කන්දරාවකට ඔවුහු නතු වෙති. ඇතැම්විට, අපට විරුද්ධව බොරු චෝදනා එල්ල වේ. ඒ හේතුවෙන් ඉමහත් අයුක්තියකට මුහුණ දීමට අපට සිදු විය හැක. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ජීවිතය අනියත හෝ අනපේක්ෂිත දේවලින් පිරිපුන් අමිහිරි අද්දැකීමක් විය හැකි බවයි.—යාකොබ් 4:13-15.

9. රෝම 8වන පරිච්ඡේදයෙහි කොටසක් සලකා බැලීම වටින්නේ මන්ද?

9 අපද යම් අමිහිරි අද්දැකීම්වලට මුහුණ දෙන විට, අසරණ වී ඇති බවක්, අප කෙරෙහි දෙවිගේ ප්‍රේමය පවා හීන වී ගොස් ඇති බවක් දැනෙන්නට පටන්ගත හැක. මෙවැනි දෙයක් අපගෙන් ඕනෑම කෙනෙකුට සිදු විය හැකි නිසා, රෝම 8වන පරිච්ඡේදයෙහි වාර්තා වී ඇති ප්‍රේරිත පාවුල්ගේ සැනසිලිදායක වදන් හොඳින් සලකා බැලීම වටී. මෙම වදන් ආත්මයෙන් ආලේප ලත් ක්‍රිස්තියානීන් වෙත යොමු කර තිබුණු බව ඇත්තයි. එනමුත්, ක්‍රිස්තියානීන්ට පෙර විසූ ආබ්‍රහම් මෙන් දෙවිගේ මිතුරන් වශයෙන් ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කර ඇති වෙනත් බැටළුවන්ටද එය ප්‍රතිපත්තියක් වශයෙන් අදාළ වේ. —රෝම 4:20-22; යාකොබ් 2:21-23.

10, 11. (අ) දෙවිගේ සෙනඟට විරුද්ධව සතුරන්ගෙන් ඇතැම්විට එල්ල වන චෝදනා මොනවාද? (ආ) මෙවැනි චෝදනාවලින් ක්‍රිස්තියානීන් ඇත්තටම සලිත නොවන්නේ මන්ද?

10 රෝම 8:31-34 කියවන්න. ‘දෙවි අපේ පක්ෂයෙහි සිටිනවා නම්, අපට විරුද්ධ වෙන්නේ කවුද’ කියා පාවුල් අසයි. සාතන් හා ඔහුගේ දුෂ්ට ලෝකය අපට විරුද්ධව නැඟී සිටින බව ඇත්තයි. ඇතැම්විට අප සතුරන්ගේ බොරු චෝදනාවලට ලක් විය හැක. ඒ හේතුවෙන් අපට විරුද්ධව නඩු පවරනු ලැබේ. සමහර ක්‍රිස්තියානීන් තම දරුවන්ට වෛර කරන බවටද චෝදනා එල්ල වී තිබේ. එසේ චෝදනා කරන්නේ දෙවිගේ නීතිය උල්ලංගනය කරන වෛද්‍ය ප්‍රතිකාරවලට ඉඩ නොදෙන නිසා හෝ මිථ්‍යාදෘෂ්ටික උත්සවවලට සහභාගි වීමට ඉඩ නොදෙන නිසාය. (ක්‍රියා 15:28, 29; 2 කොරින්ති 6:14-16) තවත් විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ට රාජ ද්‍රෝහීන් යන බොරු චෝදනාව එල්ල කර ඇත්තේ එකම ලේ මස් ඇති මනුෂ්‍යයන් රණ බිමෙහි ඝාතනය කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසාය. නැතහොත් දේශපාලනයට සම්බන්ධ නොවූ නිසාය. (යොහන් 17:16) ඇතැම් විරුද්ධවාදීන් ජන මාධ්‍යය තුළින් අපහාසාත්මක බොරු පතුරුවා ඇත්තේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන් යනු භයානක ආගමික කල්ලියක් යන ද්වේෂසහගත බොරුවද ඒ අතර ප්‍රචාරය කරමිනි.

11 එනමුත් ප්‍රේරිතවරුන්ගේ කාලයේදීද “මේ ලබ්ධිය ගැන සියලු තැන්හි විරුද්ධව කථා” කළ බව අමතක නොකරමු. (ක්‍රියා 28:22) බොරු චෝදනා ගැන අප කලබල විය යුතුද? සැබෑ ක්‍රිස්තියානීන් ක්‍රිස්තුස්ගේ පූජාව කෙරෙහි තබන ඇදහිල්ල පදනම් කරගෙන ඔවුන් ධර්මිෂ්ඨයන් බව ප්‍රකාශ කරනු ලබන්නේ දෙවි විසින්ය. යෙහෝවා තමාට දිය හැකි වටිනාම ත්‍යාගය වන තම ප්‍රේමවන්ත පුත්‍රයා තම සේවකයන් වෙනුවෙන් දී ඇත්නම්, ඔහු ඔවුන්ට ප්‍රේම කිරීම අත්හැර දමන්නේ කුමකටද? (1 යොහන් 4:10) දැන් මළවුන්ගෙන් නැඟිටුවා, දෙවිගේ දකුණු පැත්තෙහි අසුන්ගෙන සිටින බැවින්, ක්‍රිස්තුස් ක්‍රිස්තියානීන් වෙනුවෙන් කරන කන්නලව්ව ප්‍රබලය. ක්‍රිස්තුස් තම අනුගාමිකයන් වෙනුවෙන් පෙනී සිටිනවාය යන කාරණය සහ දෙවි තමාට ඇදහිලිවන්තව සේවය කරන අයට යහපත් විනිශ්චයක් දෙනවාය යන කාරණය සැබෑ නොවේයයි නිවැරදිව තර්ක කළ හැක්කේ කාටද? කිසිවෙකුට එසේ කළ නොහැකිය! —යෙසායා 50:8, 9; හෙබ්‍රෙව් 4:15, 16.

12, 13. (අ) දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කිරීමට නොහැක්කේ කවර තත්වයන් හෝ වාතාවරණයන්වලටද? (ආ) යක්ෂයා අපට දුෂ්කරතා විඳීමට සලස්වන්නේ කුමන පරමාර්ථය ඇතුවද? (ඇ) ක්‍රිස්තියානීන් මේ සියල්ල හමුවෙහි සුවිශේෂ ජයග්‍රහණයක් ලබන්නේ මන්ද?

12 රෝම 8:35-37 කියවන්න. යෙහෝවා සහ ඔහුගේ පුත්‍ර ක්‍රිස්තුස් යේසුස්ගේ ප්‍රේමයෙන් වෙන් කිරීමට අප හැර වෙන කිසිවෙකු හෝ වෙන දෙයක් හේතු වනු ඇද්ද? ක්‍රිස්තියානීන්ව මහත් අපහසුතාවකට ලක් කිරීම සඳහා සාතන් පොළොවේ සිටින ඔහුගේ ඉත්තන්ව අතකොළුවක් කරගත හැක. මෑතක නිම වූ සියවස පුරා නොයෙක් රටවල සිටි අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් බොහෝදෙනෙකු දරුණු පීඩාවලට ලක් වී ඇත. වර්තමානයෙහි ඇතැම් ප්‍රදේශවල අපගේ සහෝදරයෝ දිනපතා ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙති. තවත් සමහරු කුස ගින්නෙන් හෝ වෙනත් අග හිඟකම්වලින් පීඩා විඳිති. යක්ෂයා මෙවන් දුෂ්කරතා අප වෙත එල්ල කිරීමේ පරමාර්ථය කුමක්ද? ඔහුගේ එක් අරමුණක් වන්නේ අඩුම තරමින් යෙහෝවාට සැබෑ නමස්කාරය පිරිනැමීමේදී අපව අධෛර්යය කිරීමයි. අප සඳහා දෙවිගේ ප්‍රේමය හීන වී ඇති බව විශ්වාස කිරීමට සැලැස්වීම සාතන්ගේ දුෂ්ට අභිප්‍රාය වේ. එනමුත් සැබෑ තත්වය එයද?

13 ගීතාවලිය 44:22 උපුටා දැක්වූ පාවුල් මෙන් අපිද දෙවිගේ ලිඛිත වචනය අධ්‍යයනය කර ඇත්තෙමු. එනයින් මේ දේවල් දෙවිගේ ‘බැටළුවන්ට’ සිදු වන්නේ ඔහුගේ නාමය හේතුවෙන් බව අපට අවබෝධ වේ. අනික් අතට දෙවිගේ නාමය විශුද්ධ වීමත්, ඔහුගේ විශ්ව පරමාධිපත්‍යය තහවුරු කිරීමත් ඒ හා බැඳී තිබේ. එසේ නම් දෙවි පීඩාවලට ඉඩ දී ඇත්තේ ඔහු තවදුරටත් අපට ප්‍රේම නොකරන නිසා නොව, නමුත් වාදයකට තුඩු දී ඇති ඉහත සඳහන් විෂයන් නිරාකරණය කරගැනීම සඳහාය. එමනිසා, අප මුහුණ දෙන තත්වය කොතරම් අසීරු වුවත්, ශෝකයට හේතුවක් වුවත්, අප එකිනෙකා ඇතුළුව දෙවිගේ සෙනඟ සඳහා ඔහුට තිබෙන ප්‍රේමය වෙනස් වී නැති බව අපට ඒකාන්තයෙන්ම පැවසිය හැක. අප යම් පරාජයකට ලක් වී ඇති බවක් පෙනුණද, අපගේ අඛණ්ඩතාව පවත්වාගෙන ගියොත් එය ජයග්‍රහණයක් බවට පරිවර්තනය වනවා නිසැකය. ඔව්, දෙවිගේ නොබිඳෙන ප්‍රේමය ලැබෙන බවට වූ සහතිකය, අපට ශක්තියක් සහ ධෛර්යයක් වනවා නොඅනුමානය.

14. ක්‍රිස්තියානීන්ට මුහුණ දීමට සිදු විය හැකි දුෂ්කරතාවන් හමුවේ පවා දෙවිගේ ප්‍රේමය සම්බන්ධයෙන් පාවුල්ට ස්ථිර විශ්වාසයක් තිබුණේ මන්ද?

14 රෝම 8:38, 39 කියවන්න. දෙවිගේ ප්‍රේමයෙන් ක්‍රිස්තියානීන්ව වෙන් කළ හැකි කිසිවක් නොමැති බවට පාවුල් එතරම් ස්ථිර වූයේ කුමක් නිසාද? දෙවි අපට දක්වන ප්‍රේමයට යම් බලපෑමක් කිරීම සඳහා දුෂ්කරතාවන්ට නොහැකි බව තම සේවයෙන් ලද අද්දැකීම්වලින් පාවුල්ට ස්ථිර සහතිකයක් ලැබූ බවට සැකයක් නොමැත. (2 කොරින්ති 11:23-27; පිලිප්පි 4:13) අනික් අතට, යෙහෝවාගේ සදාතනික අරමුණ ගැනත් තම සෙනඟ සමඟ ඔහු අතීතයේ කටයුතු කළ ආකාරය ගැනත් පාවුල්ට අවබෝධයක් තිබිණ. දෙවිට පක්ෂපාතව සේවය කර ඇති අයෙක් මියගියත්, ඔහු කෙරෙහි ඇති දෙවිගේ ප්‍රේමය යටපත් කිරීමට එයට පුළුවන්ද? නුපුළුවන! එවන් විශ්වාසවන්ත අය මියගියත්, ඔවුහු දෙවිගේ පිරිපුන් මතකයෙහි ජීවමානව සිටිති. නිසි කාලයේදී දෙවි ඔවුන්ව නැවත නැඟිටුවාවි. —ලූක් 20:37, 38; 1 කොරින්ති 15:22-26.

15, 16. දෙවි තම විශ්වාසවන්ත සේවකයන්ට දක්වන ප්‍රේමය බිඳදැමීමට කෙදිනකවත් සමත් නොවන යම් දේවල් සඳහන් කරන්න.

15 අදදින අපට විවිධ මාදිලියේ අභාග්‍ය සම්පන්න අද්දැකීම්වලට මුහුණ දීමට සිදු විය හැක. බරපතළ හදිසි අනතුරක්, නිදන්ගත රෝගයක් එසේ නැතහොත් ආර්ථික පසුබැසීමක් ඒ අතර වේ. ඒ කෙසේවෙතත්, දෙවි තම සෙනඟ කෙරෙහි දක්වන ප්‍රේමය බිඳදැමීමට ඉන් කිසිවකට නුපුළුවන. යෙහෝවාගේ ප්‍රේමය තම භක්තිවන්ත සේවකයන් වෙත ගලා යෑම බාධා කිරීමට සාතන්ටවත් ඔහු වැනි අකීකරු වූ දේවදූතයන්ටවත් නුපුළුවන. (යෝබ් 2:3) දෙවිගේ සේවකයන්ගේ වැඩ තහනම් කිරීමටත්, ඔවුන්ව සිරගත කිරීමටත්, ඔවුන්ට අඩන්තේට්ටම් කිරීමටත්, ඔවුන්ව සමාජය විසින් පිළිගත නොහැකි පුද්ගලයන් ලෙස හංවඩු ගැසීමටත් පියවර ගත හැක. (1 කොරින්ති 4:13) එවන් අයුක්තිසහගත ලෙස ජාතීන් විදහාපෙන්වන වෛරය හේතුවෙන් මනුෂ්‍යයන් අපට විරුද්ධව නැඟී සිටීමට පෙලඹීමට පුළුවන් වුවත්, විශ්වයේ පරමාධිපති අපව අත්හැරීම ගැන මොහොතකටවත් සිතන්නේ නැත.

16 පාවුල් ‘දැන් පවතින දේවල්’ ලෙස හැඳින්වූයේ පවතින ක්‍රමයේ සිදු වන දේවල්, පැනනඟින තත්වයන් හා මුහුණ දිය යුතු අවස්ථාවන්ය. මේ කිසිවකින් හෝ අනාගතයේ බලාපොරොත්තු විය හැකි වෙනත් කිසිම දෙයකින් හෝ දෙවි තම සෙනඟ කෙරෙහි දක්වන ඇල්ම හීන වී යයි කියා අප බිය විය යුතු නැත. අපට විරුද්ධව පොළොවේ බලධාරීන් හා අපට වඩා ප්‍රබල අදෘශ්‍යමාන බලවතුන් නැඟී සිටියත්, දෙවිගේ පක්ෂපාත ප්‍රේමය අපව දරා සිටිනවාය යන්න ගැන සහතික වීමට පුළුවන. ප්‍රේරිත පාවුල් අවධාරණය කළාක් මෙන් “උසටවත්, ගැඹුරටවත්” දෙවිගේ ප්‍රේමයට බාධා කළ නොහැකියි. එසේය, අපව අධෛර්යය කරමින් යම් ආගාධයකට හෙළිය හැකි කිසිවකටවත්, අපට ඉහළින් අසාධාරණ ලෙස බලපවත්වන කිසිවකටවත්, අපව දෙවිගේ ප්‍රේමයෙන් වෙන් කිරීමට නුපුළුවන. අනික් අතට, මැවුම්කරු තම විශ්වාසවන්ත සේවකයන් සමඟ පවත්වාගෙන යන සබඳතාව බිඳදැමීමට වෙනත් කිසිදු මැවිල්ලකට බැරිය. දෙවිගේ ප්‍රේමය කිසිකලෙකත් පහව යන්නේ නැත. එය සදාකාලිකය.—1 කොරින්ති 13:8.

දෙවිගේ ප්‍රේමනීය කරුණාව සදහටම ඔබේ ළයට තුරුල් කරගන්න

17. (අ) දෙවිගේ ප්‍රේමය ‘ජීවිතයට වඩා යහපත්’ වන්නේ මන්ද? (ආ) අප දෙවිගේ ප්‍රේමනීය කරුණාව ළයට තුරුල් කරගන්නා බව පෙන්නුම් කරන්නේ කෙසේද?

17 දෙවිගේ ප්‍රේමය ලැබීම ඔබට කොතරම් වැදගත්ද? දාවිත් තම හැඟීම් මෙසේ පළ කළේය. “ඔබගේ කරුණාගුණය ජීවිතයට වඩා යහපත; මාගේ තොල් ඔබට ප්‍රශංසාකරන්නේය. මෙසේ මම ජීවත්ව සිටින තෙක් ඔබට ප්‍රශංසාකරන්නෙමි. ඔබගේ නාමයෙන් මාගේ අත් ඔසවන්නෙමි.” (ගීතාවලිය 63:3, 4) දාවිත් තුළ ජනිත වූ හැඟීම් ඔබටත් දැනෙනවාද? ඇත්තෙන්ම, දෙවිගේ ප්‍රේමය සහ පක්ෂපාත මිත්‍රත්වය භුක්ති විඳීමට වඩා මෙලොවෙහි ජීවිතයෙන් ඉදිරිපත් වන කිසිවක් ඇද්ද? නිදසුනකට, දෙවි සමඟ කිට්ටු සම්බන්ධයක් භුක්ති විඳීමෙන් ලැබෙන සිතේ සාමයට හා සන්තෝෂයට වඩා ඉහළ පෙළේ ලෞකික රැකියාවක් වටිනවාද? (ලූක් 12:15) ඇතැම් ක්‍රිස්තියානීන්ට ඉතා අසීරු තේරීමක් කරන්නට සිදු වී තිබේ. යෙහෝවාව අත්හරිනවාද නැත්නම් මරුට බිළි වෙනවාද යන්න ඔවුන්ගේ අභියෝගය වී තිබේ. දෙවන ලෝක මහ යුද්ධ සමයේදී නාට්සි ගාල් කඳවුරුවල කොටු වී සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුට සිදු වූයේ එයයි. අතළොස්සක් සලිත වී යෙහෝවාව අත්හැරියද, අපගේ ක්‍රිස්තියානි සහෝදරයන් බහුතරය දෙවිගේ ප්‍රේමයෙහි පැවත සිටීමට තීරණය කළෝය. ඔවුන් සෑදී පැහැදී සිටියේ මරණයට පවා මුහුණ දීමටයි. දෙවිගේ ප්‍රේමයෙහි පක්ෂපාතව පැවත සිටින අයට එක දෙයක් ගැන විශ්වාසයෙන් සිටිය හැක. එනම් ලෝකයාගෙන් කෙදිනකවත් බලාපොරොත්තු විය නොහැකි සදාකාලික අනාගතයක් ඔවුන්ට දෙවිගෙන් නිසැකව ලැබෙන බවයි. (මාර්ක් 8:34-36) එනමුත් එම ආශීර්වාද සදාකාල ජීවිතයක් භුක්ති විඳීමට සීමා වී නැත.

18. සදාතනික ජීවනය ඉතා ආකර්ෂණීය අපේක්ෂාවක් වන්නේ මන්ද?

18 යෙහෝවා නොමැතිව සදාකාල ජීවිතයක් භුක්ති විඳිය නොහැකිය. කෙසේවෙතත්, අපගේ මැවුම්කරු නොමැතිව ඉතා දීර්ඝ ජීවිතයක් කෙබඳු ආකාරයේ එකක් වේවිද කියා සිතින් මවාගැනීමට උත්සාහ කරන්න. එය හිස්, නිරර්ථක අරමුණක් නැති ජීවිතයක් වනු ඇත. ඇත්තෙන්ම මෙම අන්තිම දවස්වලදී, යෙහෝවා තම සෙනඟට ඉතා තෘප්තිකර කර්තව්‍යයක් භාර දී තිබේ. එමනිසා, ශ්‍රේෂ්ඨ අරමුණු කරන්නා වන යෙහෝවා අපට සදාකාල ජීවනය දානය කරන විට, ඉගෙනීමට හා කිරීමට අසංඛ්‍යාත වූ මනබන්ධනීය දේවල් රැසකින් අපගේ දිවිය පිරිපුන් වන බවට නිසැක විය හැක. (දේශනාකාරයා 3:11) අප ඉදිරියෙහි දිගහැරෙන සහස්‍ර ගණනාව පුරා කොතරම් ගවේෂණය කළද, ‘දෙවිගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද’ යන්න කිසිදාක තේරුම්ගත නොහැකි වේ. ඊට නිමක් තෙරක් නොමැත.—රෝම 11:33.

ඔබ කෙරෙහි සෙනෙහසක් පියාට ඇත

19. යේසුස් ක්‍රිස්තුස් සිය ගෝලයන්ගෙන් සමුගැනීමට පෙර ඔවුන්ගේ බිය සැක දුරු කළේ කෙසේද?

19 යේසුස් තම විශ්වාසවන්ත ප්‍රේරිතයන් 11දෙනා සමඟ පො.යු. 33 නීසාන් 14වන දා ගත කළ අවසාන රාත්‍රියේදී, ඉදිරියෙහි මුහුණ දීමට තිබුණු අභියෝගයන් සඳහා ඔවුන්ව ශක්තිමත් කිරීමේ අටියෙන් ඔවුන්ට බොහෝ දේවල් පැවසීය. යේසුස් විඳි පීඩාවලදී ඔවුන් සැම ඔහුට විශ්වාසවන්තව ඇලී සිටි අතර, ඔහු ඔවුන් කෙරෙහි දැක්වූ ප්‍රේමයද පෞද්ගලිකව අද්දැක තිබිණ. (ලූක් 22:28, 30; යොහන් 1:16; 13:1) “ඔබ කෙරෙහි සෙනෙහසක් පියාට ඇතැයි” කියමින් යේසුස් ඊළඟට ඔවුන්ගේ බිය සැක දුරු කළේය. (යොහන් 16:27NW) තම ස්වර්ගික පියාණන් ඔවුන් කෙරෙහි දැක්වූයේ මොනතරම් මුදු මොළොක් ආදරයක්ද! ඔව්, මෙම වදන් එම කාරණය සිතෙහි ධාරණය කරගැනීමට මහෝපකාරි විය.

20. ඔබේ අදිටන කුමක්ද? ඔබට සහතික විය හැක්කේ කුමක් ගැනද?

20 දැන් අප අතර සිටින බොහෝදෙනෙක් දශක ගණනාවක් පුරා යෙහෝවාට විශ්වාසවන්තව සේවය කර ඇත. දැන් පවතින මෙම දුෂ්ට ක්‍රමයේ අවසානයට පෙර, අපට තවත් පරීක්ෂා රැසකට මුහුණ දීමට සිදු වන බවට නම් අනුමානයක් නැත. ඔබ කෙරෙහි දෙවිගේ පක්ෂපාත ප්‍රේමය ගැන සැක කිරීමට එවන් පරීක්ෂාවලටවත්, ඉන් අද්දැකීමට සිදු වන කනස්සල්ලටවත් කෙසේවත් ඉඩ දෙන්න එපා. යෙහෝවාට ඔබ කෙරෙහි සෙනෙහසක් ඇති බව කිසි විටෙකත් සුළු කොට නොතැකිය යුතුය. (යාකොබ් 5:11) එමනිසා, අප සෑම කෙනෙකුම අපගෙන් බලාපොරොත්තු වන කොටස කිරීමට, එනම් දෙවිගේ ආඥා පැවැත්වීමට අදිටන් කරගැනීම අවශ්‍යයි. (යොහන් 15:8-10) උදා වන සෑම ප්‍රස්තාවක්ම ඔහුගේ නාමය ප්‍රශංසා කිරීම සඳහා යොදාගනිමු. යාච්ඤාවෙන් සහ දේවවචනය අධ්‍යයනය කිරීමෙන් යෙහෝවාට නිරන්තරයෙන් සමීප වීමට වූ අපගේ අදිටන තව තවත් ශක්තිමත් කරගනිමු. හෙට දවසෙහි කුමක් වුවත් කම් නැත, යෙහෝවාව සතුටු කිරීමට උපරිම වෑයමක් දරනවා නම්, සාමය භුක්ති විඳීමට අප සමත් වනවා නොඅනුමානය. කෙදිනකවත් නොනිවී යන ඔහුගේ ප්‍රේමය ගැන අපට සහතික විය හැක්කේ එවිට පමණි.—2 පේතෘස් 3:14.

ඔබේ ප්‍රතිචාරය?

• අපගේ ආත්මික හා චිත්තවේගීය සමබරතාව රැකගැනීමේදී අපට විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ කාගේ ප්‍රේමයද?

• දෙවි තම විශ්වාසවන්ත සේවකයන්ට දක්වන ප්‍රේමයට බාධා පැමිණවීමට කෙදිනකවත් සමත් නොවන යම් දේවල් සඳහන් කරන්න.

• යෙහෝවාගේ ප්‍රේමය අද්දැකීම ‘ජීවිතයට වඩා යහපත්’ වන්නේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූර]

දෙවිගේ ප්‍රේමයෙන් වෙන් වී ඇති බවක් අපට දැනේ නම්, තත්වය නිවැරදි කරගැනීමට වෙර දැරිය හැක

[15වන පිටුවේ පින්තූරය]

තමා පීඩා විඳින්නේ මන්දැයි පාවුල් තේරුම්ගත්තේය