Skip to content

පටුනට යන්න

යෙහෝවාට ප්‍රිය හදවතක් ඇති කරගනිමු

යෙහෝවාට ප්‍රිය හදවතක් ඇති කරගනිමු

යෙහෝවාට ප්‍රිය හදවතක් ඇති කරගනිමු

“දෙවියනි, මා තුළ නිර්මල හදවතක් ඇති කරන්න. අලුත්, ස්ථිර ආත්මයක් මා තුළ පැලපදියම් කරන්න.”—ගීතාවලිය 51:10, NW.

1, 2. අපගේ හදවත අපගේ උනන්දුවට හේතුවක් විය යුත්තේ මන්ද?

 දුටු සැමගේ සිත්ගත් මොහු උස මහතින් පිරිපුන් පුරුෂයෙකි. ඔහු දුටු විගස, ප්‍රොපේත සාමුවෙල් නිගමනය කළේ සාවුල්ට පසු රජු ලෙස දෙවි විසින් තෝරාගත් කෙනා යෙස්සේගේ මෙම වැඩිමල් පුත්‍රයා විය යුතු බවයි. එනමුත් යෙහෝවා මෙසේ කීවේය. ‘ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න. මක්නිසාද මම ඔහු එපා කළෙමි. . . . මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය. නමුත් යෙහෝවා සිත [හදවත, NW] බලන්නේය.’ යෙහෝවා තේරුවේ යෙස්සේගේ බාලම පුත්‍ර දාවිත්වයි. එනම්, ‘තම හදට ප්‍රිය පුරුෂයෙකුවයි.’—1 සාමුවෙල් 13:14, NW; 16:7.

2 මිනිස් හදවතෙහි තිබෙන දෙය දැකීම දෙවිට පහසු දෙයකි. යම් කලකට පසු යෙහෝවා එය මෙසේ පැහැදිලි කළේය. “[යෙහෝවා] වන මම එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස සිත [හදවත, NW] විභාගකොට, අදහස් සෝදිසිකරමි.” (යෙරෙමියා 17:10) “හදවත් සෝදිසි කරන්නා යෙහෝවාය.” (හිතෝපදේශ 17:3NW) කෙසේවෙතත්, යෙහෝවා පරීක්ෂා කරන මිනිස් හදවත කුමක්ද? ඔහුට ප්‍රිය හදවතක් ඇති කරගැනීමට අප කුමක් කළ යුතුද?

“හදවතේ අභ්‍යන්තර පුද්ගලයා”

3, 4. “හදවත” යන වචනය බයිබලයෙහි මූලිකවම භාවිත කරන්නේ කවර අදහස ඇතුවද? උදාහරණ සපයන්න.

3 “හදවත” සහ ඊට නෑකම් කියන වචන ශුද්ධ ලියවිල්ල පුරා දහස් වරක් පමණ දැකගත හැක. මින් බහුතරයක අරුත සංකේතමය ස්වරූපයක් ගනී. නිදසුනකට යෙහෝවා ප්‍රොපේත මෝසෙස්ට පැවසූ දේ සලකා බලන්න. “මට පඬුරක් ගෙනෙන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න. තමාගේ සිත එළඹවන [හදවත පොලඹවන, NW] එක එක අයගෙන් මාගේ පඬුර ගන්න.” එවිට, ‘තමුන්ගේ සිත් [හදවත්, NW] පොලඹවන ලද්දාවූ සියල්ලෝ’ පැමිණියෝය. (නික්මයාම 25:2; 35:21) සංකේතමය හදවතෙහි එක් අංගයක් කෙනෙකුගේ පෙලඹීම හා බැඳී පවතින බව මින් මොනවට පැහැදිලි වේ. පෙලඹීම කීමේදී අදහස් වන්නේ අපව ක්‍රියාවට පොලඹවන අභ්‍යන්තර බලයයි. අපගේ චිත්තවේගයන් හා හැඟීම් මෙන්ම ආශාවන් සහ ස්නේහයන් අපගේ සංකේතමය හදවතෙන් පිළිබිඹු වේ. විටෙක හදවත කෝපයෙන් දැවී යා හැක. බියෙන් භිරාන්ත විය හැක. සොවින් දෙකඩ වී යා හැක නැතහොත් ප්‍රීතියෙන් ඉපිල යා හැක. (ගීතාවලිය 27:3; 39:3; යොහන් 16:22; රෝම 9:2) අහංකාරය, ප්‍රේමය හා වෛරය පවා එය තුළ තිබිය හැක.—හිතෝපදේශ 16:5; මතෙව් 11:29; 1 පේතෘස් 1:22.

4 මේ අනුව, “හදවත” යමෙකුගේ පෙලඹීම මෙන්ම චිත්තවේගී හැඟීම් හා බැඳී පවතී. අනික් අතට “මනස” විශේෂයෙන්ම බුද්ධියට සම්බන්ධ වේ. මෙම යෙදුම් ශුද්ධ ලියවිල්ලෙහි එකම ස්ථානයෙහි දක්නට ලැබෙන විට, ඒවායේ අර්ථය තේරුම්ගත යුත්තේ ඉහත සඳහන් අන්දමිනි. (මතෙව් 22:37; පිලිප්පි 4:7) කෙසේවෙතත්, හදවත සහ මනස යන යෙදුම් එකිනෙකට කිසිම නෑකමක් නොදක්වන ස්වාධීන යෙදුම් ලෙස හැඳින්විය නොහැක. නිදසුනකට, මෝසෙස් ඉශ්‍රායෙලිතයන්ගෙන් උදක්ම ඉල්ලා සිටි මේ දේ සලකා බලන්න. ‘යෙහෝවා සැබෑ දෙවි බව ඔබේ හදවතට මතක් කර දිය යුතුය.’ පාදසටහනෙහි කියන්නේ “ඔබේ මනසට යළි නැඟිය යුතුය” කියාය. (ද්විතීය කථාව 4:39NW) එමනිසා, තමාට විරුද්ධව උපා යොදමින් සිටි ලියන්නන්ට යේසුස් පැවසුවේ මෙසේය. “කුමක් නිසා නුඹලා නුඹලාගේ සිත්වලින් [හදවත්වලින්, NW] නපුරු දේ සිතන්නහුද?” (මතෙව් 9:4) “නුවණ” “දැනගැන්ම” හා “කල්පනා” කිරීමද හදවතට සම්බන්ධ කර දැක්විය හැක. (1 රාජාවලිය 3:12; හිතෝපදේශ 15:14; මාර්ක් 2:7) එසේ නම්, සංකේතමය හදවත, අපගේ බුද්ධියට, එනම් අපගේ සිතුවිලි හෝ තේරුම්ගැනීමේ ශක්තියට සම්බන්ධ විය හැකි බව මින් පැහැදිලි වේ.

5. සංකේතමය හදවතින් නියෝජනය වන දේ විස්තර කරන්න.

5 එක්තරා ආශ්‍රේය ග්‍රන්ථයකට අනුව සංකේතමය හදවතින් අදහස් කරන්නේ “මිනිසා තුළ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන දෙයයි. එනම් ඔහුගේ අභ්‍යන්තරයයි. එමනිසා ඉන් ඇතුළාන්ත මිනිසාට යොමු දැක්වේ. මෙම ඇතුළාන්ත මිනිසාගේ ස්වභාවය එළි දකින්නේ ඔහුගේ විවිධාකාර ක්‍රියාකාරකම්, පළ කරන ආශාවන්, පහළ වන සෙනෙහෙබර හැඟීම් හා ඇති වන චිත්තවේගයන් තුළිනි. තවද ඔහුගේ අභිලාෂයන්, අරමුණු, සිතිවිලි, ඔහු වටහාගන්නා දේවල්, ඔහුගේ පරිකල්පනයන් (සිතින් මවාගත හැකි දේවල්), ප්‍රඥාව, දැනුම, කුසලතා, විශ්වාසයන්, තර්කයන්, ඔහුගේ මතක සටහන් හා විඥානය තුළින්ද එම ඇතුළාන්ත මිනිසා එළි දකියි.” වෙනත් වචනවලින් කිවහොත්, “හදවතේ අභ්‍යන්තර පුද්ගලයා” එනම් සැබෑවට අපගේ ඇතුළාන්තය කෙබඳුද කියා ඉන් පිළිබිඹු වේ. (1 පේතෘස් 3:4) යෙහෝවා දකින්නෙත්, පරීක්ෂා කර බලන්නෙත් එයයි. එබැවින් දාවිත් මෙසේ යාච්ඤා කිරීමට පෙලඹීය. “දෙවියනි, මා තුළ නිර්මල හදවතක් ඇති කරන්න. අලුත්, ස්ථිර ආත්මයක් මා තුළ පැලපදියම් කරන්න.” (ගීතාවලිය 51:10) එසේ නම්, නිර්මල හදවතක් ඇති කරගන්නේ කෙසේද?

දේවවචනයට ‘ඔබේ හදවත් යොමු කරන්න’

6. මෝවබ් මිටියාවතෙහි කූඩාරම් බැඳගෙන සිටි ඉශ්‍රායෙලිතයන්ට මෝසෙස් දුන්නේ කුමන අවවාදයද?

6 පොරොන්දු දේශයේ අබියසට පැමිණ, එයට ඇතුල් වීමට සූදානමින් මෝවබ් මිටියාවතෙහි එක්රැස්ව සිටි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අවවාද කරමින් මෝසෙස් මෙසේ පැවසීය. “මේ ව්‍යවස්ථාවේ සියලු වචනවල ප්‍රකාරයට කරන්ට බලාගන්න හැටියට නුඹලාගේ දරුවන්ට නුඹලා අණකරන පිණිස මා අද නුඹලාට ස්ථිරකර කියන්නාවූ සියලු වචනවලට නුඹලාගේ සිත් [හදවත්, NW] යොමුකරන්න.” (ද්විතීය කථාව 32:46) “හොඳ අවධානයක් දීම” ඉශ්‍රායෙලිතයන්ගෙන් අපේක්ෂා කෙරිණ. (නොක්ස්) මන්ද තම දරුවන් තුළ දෙවිගේ ආඥා පැලපදියම් කිරීමට ඔවුන් සමත් වනු ඇත්තේ ඔවුන් පෞද්ගලිකව ඒවා හොඳින් දැනගෙන සිටියහොත් පමණි.—ද්විතීය කථාව 6:6-8.

7. දේවවචනයට ‘අපගේ හදවත යොමු කිරීමට’ අයත් වන්නේ කුමක්ද?

7 නිර්මල හදවතක් ඇති කරගැනීම සඳහා අවශ්‍ය මූලික දෙයකි, දෙවිගේ කැමැත්ත සහ අරමුණු පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීම. එවන් දැනුමක් ලබාගත හැකි එකම මූලාශ්‍රය වන්නේ දේවානුභාවයෙන් ලියවුණු දේවවචනයයි. (2 තිමෝති 3:16) කෙසේවෙතත්, යෙහෝවාව සතුටු කරන හදවතක් අත් කරගැනීමට නම්, දැනුමෙන් නිකම්ම අපගේ මොළය පුරවාගැනීම සෑහෙන්නේ නැත. දැනුම අපගේ ඇතුළාන්තයට බලපාන්න නම්, අප ඉගෙනගන්නා දේට අපගේ ‘හදවත යොමු කළ යුතුයි.’ එසේ නැතහොත් ඒවා “සිතට ගත යුතුයි.” (ද්විතීය කථාව 32:46, An American Translation) මෙය කරන්නේ කෙසේද? ගීතිකාකාර දාවිත් එය පැහැදිලි කරන්නේ මෙසේය. “පුරාණ දවස් සිහිකරමි; ඔබගේ සියලු ක්‍රියා භාවනාකරමි. ඔබගේ හස්තකර්ම මෙනෙහිකරමි.”—ගීතාවලිය 143:5.

8. අධ්‍යයනයෙහි නිරත වන විට අපට ගැඹුරින් කල්පනා කර බැලිය හැක්කේ කවර ප්‍රශ්න ගැනද?

8 අපද යෙහෝවාගේ ක්‍රියා ගැන කෘතඥපූර්වකව මෙනෙහි කළ යුතුය. බයිබලය නැතහොත් බයිබලය මත පදනම් ප්‍රකාශන කියවන විට, මතු දැක්වෙන ප්‍රශ්න ගැන ගැඹුරින් කල්පනා කිරීම අවශ්‍යය. ‘මෙයින් මට යෙහෝවා ගැන උගත හැක්කේ කුමක්ද? මෙහිදී මා දකින්නේ යෙහෝවාගේ කවර ගුණාංගද? යෙහෝවාට ප්‍රසන්න වන හා අප්‍රසන්න වන දේවල් සම්බන්ධයෙන් මෙම වාර්තාවෙන් මට උගත හැක්කේ කුමක්ද? යෙහෝවා පිළිකුල් කරන මාර්ගයක් අනුගමනය කරනවා වෙනුවට ඔහු ප්‍රිය කරන මාර්ගයක් අනුගමනය කිරීමෙන් අත් වන ප්‍රතිවිපාක මොනවාද? මා දැනටමත් දන්නා දේවල් සමඟ මෙම තොරතුරු සම්බන්ධ වන්නේ කෙසේද?’

9. පෞද්ගලික අධ්‍යයනය සහ මෙනෙහි කිරීම කොතරම් වැදගත්ද?

9 අරමුණක් සහිතව අධ්‍යයනයෙහි සහ මෙනෙහි කිරීමෙහි නිරත වීමේ වැදගත්කම අගය කිරීමට පුළුවන් වූ ආකාරය 32 හැවිරිදි ලීසා a පැහැදිලි කරන්නේ මෙසේය. “1994දී බව්තීස්ම වුණායින් පස්සේ, අවුරුදු දෙකක් විතර මම සත්‍යයෙහි ක්‍රියාශීලීව සිටියා. ඔක්කොම ක්‍රිස්තියානි රැස්වීම්වලටත් ගියා. මාසෙකට ක්ෂේත්‍ර සේවයෙහි පැය 30ක් 40ක් විතර දැම්මා. සෙසු ක්‍රිස්තියානීන් එක්ක ආශ්‍රය කළා. ඊට පස්සේ මම සත්‍යයෙන් හෙමින් හෙමින් ඈත් වෙන්න පටන්ගත්තා. කොච්චර ප්‍රපාතයකට ඇද වැටුණාද කිව්වොත්, දෙවිගේ නීති පවා කඩ කළා. කොහොම වුණත්, මම ප්‍රකෘති සිහියට ඇවිත්, මගේ ජීවිතය පිරිසිදු කරගන්න තීරණය කළා. යෙහෝවා මගේ පසුතැවිල්ල පිළිගෙන, ආපහු තමාගේ සංවිධානයට පිළිගත්ත එක ගැන මම කොච්චර සන්තෝෂ වෙනවද! ‘මම වැටී ගියේ ඇයි’ කියන ප්‍රශ්නය නිතරම මගේ සිතේ හොල්මන් කර තිබෙනවා. මට නැවත නැවතත් තේරුණේ ඒකට හේතුව අරමුණක් ඇතුව අධ්‍යයනය කිරීම සහ මෙනෙහි කිරීම නොසලකා හැරීම කියලයි. බයිබලයේ සත්‍යතාවයන් මගේ හදවතට කිඳා බැහැලා තිබුණේ නැහැ. ඒ හින්දා මම අධිෂ්ඨාන කරගත්තා, පෞද්ගලික අධ්‍යයනය සහ මෙනෙහි කිරීම මගේ ජීවිතයේ අනිවාර්යය කොටසක් කරගන්නවා කියලා.” එසේ නම්, යෙහෝවා, ඔහුගේ පුත්‍රයා සහ දේවවචනය ගැන දැනුමෙන් වර්ධනය වෙද්දී, අර්ථවත් ලෙස ආත්මික දේවල් ගැන ගැඹුරින් කල්පනා කිරීමට කාලය මිඩංගු කිරීම කොතරම් වැදගත් දෙයක්ද!

10. පෞද්ගලික අධ්‍යයනය සහ මෙනෙහි කිරීම සඳහා අප කාලය මිඩංගු කිරීම හදිසි කාරණයක් වන්නේ මන්ද?

10 අප කාර්යබහුල ලොවක ජීවත් වන නිසා, අධ්‍යයනය සහ මෙනෙහි කිරීම සඳහා කාලය මිඩංගු කිරීම ඇත්තෙන්ම අභියෝගයකි. කෙසේවෙතත්, ක්‍රිස්තියානීහු අදදින චමත්කාර පොරොන්දු දේශයක් අබියස, එනම් දෙවිගේ ධර්මිෂ්ඨ නව ලොව අද්දර පෙළගැසී සිටිති. (2 පේතෘස් 3:13) ‘මහ බබිලෝනියේ’ විනාශයත් “මාගොග් දේශයේ ගොග්” අතින් යෙහෝවාගේ ජනයාට එරෙහිව එල්ල වන ප්‍රහාරයත් ළඟදීම බලාපොරොත්තු විය හැක. (එළිදරව් 17:1, 2, 5, 15-17; එසකියෙල් 38:1-4; 14:16; 39:2) මෙවැනි දේවල් සිදු වෙද්දී, යෙහෝවා සඳහා අප තුළ කොතරම් ප්‍රේමයක් ඇද්ද යන්න පරීක්ෂාවට ලක් විය හැක. එමනිසා, දැන් කාලය කෙසේ හෝ සොයාගෙන, දේවවචනයට අපගේ හදවත යොමු කිරීම හදිසි කාරණයකි!—එපීස 5:15, 16NW.

‘දේවවචනය හැදෑරීමට ඔබේ හදවත සූදානම් කරගන්න’

11. අපගේ හදවත පසට සමාන කළ හැක්කේ කෙසේද?

11 සංකේතමය හදවත සත්‍යය නමැති බීජය පැළ කළ හැකි පසකට සමාන කළ හැක. (මතෙව් 13:18-23) යම් වගාවක් සරු කරගැනීමට සාමාන්‍යයෙන් පස සකස් කරගනු ලැබේ. එලෙසම හදවතද සූදානම් කරගත යුතුයි. එවිට දේවවචනයට වඩාත් හොඳින් ප්‍රතිචාරය දැක්වීමට එයට පුළුවන. පූජක එස්රා “[යෙහෝවාගේ] ව්‍යවස්ථාව සොයන්ටත් [හදාරන්නත්, න. අ.] පවත්වන්ටත් . . . තමාගේ සිත යොමුකරගත්තේය [හදවත සූදානම් කරගත්තේය, NW].” (එස්රා 7:10) අපගේ හදවත සූදානම් කරගත හැක්කේ කෙසේද?

12. අධ්‍යයනය සඳහා අපගේ හදවත සූදානම් කරගැනීමට කුමක් ඉවහල් වේද?

12 දේවවචනය විභාග කර බැලීම සඳහා හදවත සූදානම් කරගැනීමට කදිම ආධාරකයකි, හද පත්ලෙන්ම නැඟෙන යාච්ඤාව. එමනිසා, සැබෑ නමස්කාරකයන් සහභාගි වන ක්‍රිස්තියානි රැස්වීම් ආරම්භ වන්නෙත් අවසන් වන්නෙත් යාච්ඤාවකිනි. එසේ නම්, පෞද්ගලික බයිබල් අධ්‍යයනයෙහි නිරත වන සෑම අවස්ථාවකදීද, එය අවංක යාච්ඤාවකින් ආරම්භ කර, අධ්‍යයනය පුරාම යාච්ඤාපූර්වක ආකල්පයක් පවත්වාගැනීම කොතරම් යෝග්‍යද!

13. යෙහෝවාට ප්‍රිය හදවතක් ඇති කරගැනීමට අප කුමක් කළ යුතුද?

13 මෙහිදී කලින් එළඹි මතයන් පසෙක ලෑමට සංකේතමය හදවත සූදානම් කරගත යුතුය. යේසුස්ගේ කාලයේ විසූ ආගමික නායකයන් මෙසේ කිරීමට මනාපයක් දැක්වූයේ නැත. (මතෙව් 13:15) ඊට වෙනස්ව, යේසුස්ගේ මව වූ මරියා, තම සවනට වැකුණු දේ පදනම් කරගෙන “හදවතින්” නිසි නිගමනවලට එළඹීය. (ලූක් 2:19, 51NW) ප්‍රතිඵලයක් වශයෙන්, ඇය යේසුස්ගේ විශ්වාසවන්ත ගෝලයෙක් විය. පාවුල් තියාතිරාහි ලිදියාට කතා කළ විට, ‘කියන ලද කාරණා සලකන ලෙස යෙහෝවා ඇගේ සිත [හදවත, NW] විවර කළේය.’ ඇයද ඇදහිලිවන්තියක් බවට පත් වූවාය. (ක්‍රියා 16:14, 15) මේ අනුව, පෞද්ගලික මතවල හෝ බොහෝ කලක් තිස්සේ රැකගෙන ඇති ආගමික විශ්වාසයන්වල එල්බගෙන නොසිටීමට අදිටන් කරගනිමු. ඒ වෙනුවට, ‘සියලු මනුෂ්‍යයන් බොරුකාරයන් වුණත් දෙවි සැබෑ බව’ පිළිගැනීමට කැමැත්තක් දක්වමු.—රෝම 3:4.

14. ක්‍රිස්තියානි රැස්වීම්වලදී සවන් දීමට අපගේ හදවත සූදානම් කරගත හැක්කේ කෙසේද?

14 ක්‍රිස්තියානි රැස්වීම්වලට සවන් දීම සඳහා හදවත සූදානම් කරගැනීම විශේෂ වැදගත්කමක් උසුලයි. පවසනු ලබන දෙයට අප දෙන අවධානය බිඳී යෑමට නොයෙකුත් බාධාවන් හේතු විය හැක. ගෙවී ගිය දවසේදී සිදු වූ දේවල් ගැන හෝ හෙට දවසෙහි බලාපොරොත්තු විය හැකි දේවල් ගැන හෝ සිතමින් අප බර කල්පනාවක සිටිනවා නම්, පවසනු ලබන දේවල් අප කෙරෙහි යම් බලපෑමක් ඇති කරයි කියා පැවසිය නොහැක. එසේ නම්, පවසනු ලබන දෙයින් ප්‍රයෝජන ලැබීමට නම්, සවන් දී ඉගෙනගැනීමට අප ස්ථිර අධිෂ්ඨානයකින් සිටිය යුතුය. විස්තර සහිතව පැහැදිලි කරනු ලබන බයිබල් පදවල අර්ථය තේරුම්ගැනීමට අප අදිටන් කරගෙන සිටිනවා නම්, අපට කොයිතරම් ප්‍රයෝජන ලබාගත හැකි වේවිද!—නෙහෙමියා 8:5-8, 12.

15. ඉගැන්වීම්වලට වඩා පහසුවෙන් අවනත වීමේ ස්වභාවයක් අප තුළ ජනිත කරවීමට යටහත් පහත්කම දායක වන්නේ කෙසේද?

15 නිසි පොහොර දැමීමෙන් පස සාරවත් කළ හැකිවාක් මෙන්, ආත්මික දේවල් සඳහා කුසගින්නක් ඇති කරගැනීමෙන් සහ යටහත් පහත්කම, විශ්වාසය, දේවභය, දෙවි කෙරෙහි ප්‍රේමය වැනි ගුණාංග වගා කිරීමෙන් අපගේ සංකේතමය හදවතෙහි ගුණය වැඩි කළ හැක. යටහත් පහත්කමෙන් හදවත මොළොක් වේ. එවිට ඉගැන්වීම්වලට වඩා පහසුවෙන් අවනත වීමේ ස්වභාවයක් අප තුළ දිස් වේ. යෙහෝවා යොෂියා රජුට පැවසූ දෙයින් එය පැහැදිලිය. “පාළුවක්ද ශාපයක්ද වේය කියා මා විසින් මේ ස්ථානයටත් මෙහි වැසියන්ටත් විරුද්ධව කියා තිබෙන කාරණා නුඹ ඇසූ විට නුඹේ සිත [හදවත, NW] මෘදුවී, නුඹ [යෙහෝවා] ඉදිරියෙහි යටහත් වී, . . . මා ඉදිරියෙහි හැඬූ නිසා, මමත් නුඹට ඇහුම්කන්දුන්නෙමි.” (2 රාජාවලිය 22:19) යොෂියාට තිබුණේ හොඳ ප්‍රතිචාරයක් දක්වන යටහත් පහත් හදවතකි. ‘ප්‍රඥාවන්තයන්ගෙන් හා නුවණැත්තන්ගෙන්’ ගිලිහී ගිය ආත්මික සත්‍යයන් ග්‍රහණය කරගෙන අදාළ කරගැනීමට යේසුස්ගේ “අපණ්ඩිතවූ නූගත්” ගෝලයන්ට පුළුවන් වූයේ ඔවුන්ගේ යටහත් පහත්කම නිසාවෙනි. (ලූක් 10:21; ක්‍රියා 4:13) එසේ නම්, යෙහෝවාට ප්‍රිය හදවතක් ඇති කරගැනීමට වෙර දරමින් සිටින අපි ‘යෙහෝවා ඉදිරියෙහි යටහත්’ වීමට උත්සාහ කරමු.—එස්රා 8:21.

16. ආත්මික ආහාර සඳහා කුසගින්නක් වර්ධනය කරගැනීමට උත්සාහයක් අවශ්‍ය වන්නේ මන්ද?

16 “තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්” කියා යේසුස් පැවසීය. (මතෙව් 5:3NW) ආත්මිකත්වයක් ගොඩනැඟීම සඳහා හැකියාව අප සැමට දානය කර තිබුණත්, මෙම දුෂ්ට ලෝකයෙන් එල්ල වන පීඩන හෝ අලසකම වැනි ගතිලක්ෂණ හේතුවෙන් අප එම අවශ්‍යතාව සපුරාගැනීමට දක්වන සැලකිල්ල අඩපණ වී ගොස් තිබිය හැක. (මතෙව් 4:4) එමනිසා ආත්මික ආහාර සඳහා රුචියක් වර්ධනය කරගත යුතුය. මුලදී බයිබල් කියවීමෙන් සහ පෞද්ගලික අධ්‍යයනයෙන් අප එතරම් ආස්වාදයක් නොලැබුවද, අඛණ්ඩ උත්සාහයක් දැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැනුම ‘අපගේ ආත්මයට ප්‍රසන්න වන’ ආකාරය අපට කෙමෙන් කෙමෙන් අත් විඳිය හැකි වේ. එවිට අධ්‍යයනය සඳහා අප වෙන් කර ඇති කාලය උදා වන තෙක් අප ඉමහත් ආශාවකින් බලා සිටින බවක් අපට දැනෙයි.—හිතෝපදේශ 2:10, 11.

17. (අ) යෙහෝවා අපගේ පූර්ණ විශ්වාසය ලැබීමට වටින්නේ මන්ද? (ආ) අපට දෙවි කෙරෙහි විශ්වාසයක් ගොඩනැඟිය හැක්කේ කෙසේද?

17 ‘නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් [හදවතින්, NW] යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න’ කියා සාලමොන් රජ අවවාද කළේය. (හිතෝපදේශ 3:5) යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන හදවතක්, ඔහු තම වචනය තුළින් ඉල්ලා සිටින හෝ කිරීමට මඟ පෙන්වන ඕනෑම දෙයක් හරි කියා දනියි. (යෙසායා 48:17) ඇත්තෙන්ම යෙහෝවා අපගේ පූර්ණ විශ්වාසය ලැබීමට වටින්නේය. තමා අරමුණු කර ඇති සෑම දෙයක්ම ඉටු කිරීමට ඔහුට හැකියාව තිබේ. (යෙසායා 40:26, 29) මීට එකඟව ඔහුගේ නාමයෙහි අර්ථය වන්නේ “ඔහු සිදුවීමට සලස්වයි” යන්නය. ඒ නිසා, තමා පොරොන්දු වී ඇති දේ ඉටු කිරීමට ඔහුට තිබෙන හැකියාව කෙරෙහි අපගේ විශ්වාසය ගොඩනැඟේ. තවද ‘යෙහෝවා ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය, ස්වකීය සියලු ක්‍රියාවලින් දයාවන්තය’ නැතහොත් පක්ෂපාතීය. (ගීතාවලිය 145:17) කෙසේවෙතත් ඔහු කෙරෙහි එවන් විශ්වාසයක් ගොඩනැඟීමට නම්, ‘යෙහෝවා යහපත් බව රස බලා දැනගත’ යුතුය. ඉන් අදහස් කරන්නේ බයිබලයෙහි සඳහන් දේවල් අපගේ පෞද්ගලික ජීවිතයට අදාළ කරගෙන, එසේ කිරීමෙන් නෙළාගත හැකි යහපත් ප්‍රතිඵල ගැන මෙනෙහි කිරීමයි.—ගීතාවලිය 34:8.

18. දෙවි දෙන මඟ පෙන්වීමට හොඳ ප්‍රතිචාරයක් දැක්වීමට දේවභය අපට උපකාරයක් වන්නේ කෙසේද?

18 දිව්‍ය මඟ පෙන්වීමට වඩාත් හොඳ ප්‍රතිචාරයක් දක්වන හදවතක් වර්ධනය කරගැනීමට දායක වන තවත් ගුණාංගයකට යොමු දක්වමින් සාලමොන් මෙසේ පැවසීය. ‘යෙහෝවා කෙරෙහි භයව නපුරෙන් දුරු වෙන්න.’ (හිතෝපදේශ 3:7) පුරාණ ඉශ්‍රායෙල් සම්බන්ධයෙන් යෙහෝවා පැවසුවේ මෙසේය. “අහෝ ඔවුන්ටද ඔවුන් සමඟ ඔවුන්ගේ දරුවන්ටද සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස නිතරම මට භයවීමටත් මාගේ සියලු ආඥා රක්ෂාකිරීමටත් මෙයාකාර සිතක් තිබුණොත් [හදවතක් වර්ධනය කරගතහොත්, NW] යහපත!” (ද්විතීය කථාව 5:29) එසේය, දෙවිට භය වන අය ඔහුට කීකරු වෙති. ‘යෙහෝවා කෙරෙහි සම්පූර්ණ හදවතක් ඇත්තන්ට පිහිට වෙන පිණිස තම බලය පාන්නටත්,’ ඔහුට අකීකරු වන්නන්ට දඬුවම් කිරීමටත් යෙහෝවාට පුළුවන. (2 ලේකම් 16:9) අපගේ සියලු ක්‍රියා, සිතුවිලි හා හැඟීම් පාලනය කිරීමට දෙවිව අසතුටු කිරීමට තිබෙන ගෞරවාන්විත බිය අපට ආධාරකයක් වේවා!

‘ඔබේ මුළු හදවතින් යෙහෝවාට ප්‍රේම කරන්න’

19. යෙහෝවාගේ මඟ පෙන්වීමට හොඳ ප්‍රතිචාරයක් දක්වන හදවතක් ඇති කරගැනීමට ප්‍රේමයෙන් ඉටු වන කාර්යය විස්තර කරන්න.

19 යෙහෝවාගේ මඟ පෙන්වීමට හොඳ ප්‍රතිචාරයක් දැක්වීම සඳහා, අන් සියලු ගුණාංගවලට වඩා අපගේ හදවතට උපකාරවත් වන්නේ ප්‍රේමය නමැති ගුණාංගයයි. දෙවි කෙරෙහි ප්‍රේමයෙන් පිරි හදවතක් ඇති කෙනෙක්, දෙවිව සතුටු කරන දේ හා අසතුටු කරන දේ ඉගෙනීමට ඉමහත් ආශාවකින් සිටියි. (1 යොහන් 5:3) යේසුස් පැවසුවේ ‘නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කරන්න’ කියාය. (මතෙව් 22:37) එසේ නම් දෙවි කෙරෙහි තිබෙන අපගේ ප්‍රේමය තවත් තවත් ගැඹුරු කරගැනීමට උත්සාහ දරමු. එසේ කිරීමට ඔහුගේ යහපත්කම ගැන මෙනෙහි කරමු. කුලුපග මිතුරෙකු සමඟ කතා කරන්නාක් මෙන් ඔහු සමඟ නිතිපතා කතා බහ කරමු. අන් අය සමඟද ඔහු ගැන උනන්දුවෙන් කතා කරමු.

20. යෙහෝවාට ප්‍රිය හදවතක් අපට අත් කරගත හැක්කේ කෙසේද?

20 අප මෙතෙක් සාකච්ඡා කළ කරුණු සාරාංශ කරමුද? යෙහෝවාට ප්‍රිය හදවතක් ඇති කරගැනීමට නම්, අපගේ ඇතුළාන්තය, එනම් හදවතේ අභ්‍යන්තර පුද්ගලයාට බලපෑම් කිරීමට අප දේවවචනයට ඉඩ දිය යුතුය. ඒ සඳහා පෞද්ගලිකව ශුද්ධ ලියවිලි අර්ථවත් ලෙස අධ්‍යයනය කිරීම සහ කෘතඥපූර්වකව මෙනෙහි කිරීම අත්‍යවශ්‍යය. මෙවන් දෙයක් කිරීමට බෙහෙවින් උපකාරවත් වන්නේ සූදානම් කළ හදවතකි. එනම්, කලින් එළඹි මතවලින් නිදහස් හා ඉගැන්වීම්වලට වඩා පහසුවෙන් අවනත වීමේ ස්වභාවයක් ඇති කිරීමට දායක වන ගුණාංගවලින් සමන්විත හදවතකි. යෙහෝවාගේ උපකාරය ඇතුව, යහපත් හදවතක් ඇති කරගත හැකි බව නිසැකය. කෙසේවෙතත්, අපගේ හදවත් ආරක්ෂා කරගැනීමට කවර පියවර ගත හැකිද?

[පාදසටහන]

a පුද්ගලයාගේ නම වෙනස් කොට තිබේ.

ඔබේ ප්‍රතිචාරය?

• යෙහෝවා සෝදිසි කර බලන සංකේතමය හදවත කුමක්ද?

• දේවවචනයට ‘අපගේ හදවත යොමු කළ’ හැක්කේ කෙසේද?

• දේවවචනය හැදෑරීමට අපගේ හදවත සූදානම් කරගත යුත්තේ කෙසේද?

• මෙම තොරතුරු සලකා බැලීමෙන් අනතුරුව, ඔබ පෙලඹී ඇත්තේ කුමක් කිරීමටද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ පින්තූරය]

දාවිත් ආත්මික දේවල් ගැන කෘතඥපූර්වකව මෙනෙහි කළේය. ඔබත් එසේ කරනවාද?

[18වන පිටුවේ පින්තූර]

දේවවචනය අධ්‍යයනය කිරීමට පෙර ඔබේ හදවත සූදානම් කරගන්න