Skip to content

පටුනට යන්න

සතුටින් පිරි ලොවකට මඟ

සතුටින් පිරි ලොවකට මඟ

සතුටින් පිරි ලොවකට මඟ

“ගෙවී ගිය සහස්‍ර දෙක තුළ පමණක් නොව, මිනිස් ඉතිහාසයේ ආරම්භයේ සිට මේ දක්වා බිහි වූ ප්‍රබලතම පුද්ගලයා වන්නේ නාසරෙත්හි යේසුස්” කියා ටයිම් සඟරාවේ සඳහන් විය. යේසුස් මිහිතලය මත විසූ කාලයේ සිටි අවංක මිනිසුන් දහස් ගණනකගේ අවධානය ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය කෙරෙහි පමණක් නොව, ඔහු අනිත් අයට දැක්වූ ප්‍රේමනීය සැලකිල්ල කෙරෙහිද යොමු විය. මේ නිසා, ඔහුව තමන්ගේ රජු ලෙස පත් කරගැනීමට ඔවුන් උත්සාහ කිරීම ගැන පුදුම විය යුතු නැත. (යොහන් 6:10, 14, 15) එහෙත්, කලින් ලිපියේ සඳහන් කළ පරිදි දේශපාලනයට සම්බන්ධ වෙන්න යේසුස් කැමති වූයේ නැත.

යේසුස් දේශපාලනයට සම්බන්ධ නොවීමට අවම වශයෙන් හේතු තුනක් බලපෑවේය. මුල්ම හේතුව වූයේ මිනිසා ස්වාධීනව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය පියා දැරූ ආකල්පයම ඔහුත් දැරීමයි. හොඳ පාලනයක් ගෙන යෑමට ඇතැම් මිනිසුන් අවංක වෑයමක් දැරුවත්, ඊට එරෙහි වන ප්‍රබල අදෘශ්‍යමාන බලයන් තිබෙන බව ඔහු දැන සිටීම දෙවන හේතුවයි. තුන්වන හේතුව වූයේ, මුළු පොළොවම පාලනය කරන ස්වර්ගික ආණ්ඩුවක් පිහිටුවීමට දෙවි අරමුණු කර තිබීමයි. වඩාත් යහපත් ලෝකයක් බිහි කිරීමට මිනිසුන් දරන ප්‍රයත්නයන් අසාර්ථක වීමට හේතුව, මේ කරුණු තුන හොඳින් පරීක්ෂා කර බලන විට අපට තේරුම්ගත හැකි වනු ඇත. සාර්ථකත්වය අත් කරගත හැකි ආකාරය ගැනද අපි සලකා බලන්නෙමු.

මිනිසාට මිනිසාව පාලනය කළ හැකිද?

දෙවි මිනිසාව මවා, සතුන්ව පාලනය කිරීමේ බලය ඔහුට දුන්නේය. (උත්පත්ති 1:26) එනමුත් මිනිසුන් සිටියේ දෙවිගේ පරමාධිපත්‍යය යටතේය. ‘යහපත හා නපුර දැනගැනීමේ ගහ’ කියා හැඳින්වූ එක් ගසකින් ගෙඩි අනුභව නොකර සිටීමෙන් තමන් දෙවිට යටත් බව පෙන්වීමට මුල් පුරුෂයාට හා ස්ත්‍රියට අවස්ථාවක් තිබිණ. (උත්පත්ති 2:17) ආදම් සහ ඒව ඔවුන් සතු වූ නිදහස් කැමැත්ත වැරදි ලෙස යොදාගනිමින් දෙවිට අකීකරු වූහ. තහනම් කර තිබූ ගසෙන් ගෙඩියක් කඩාගෙන අනුභව කිරීම, හුදෙක් තමන්ට අයිති නැති දෙයක් ගැනීමකට පමණක් සීමා නොවීය. දෙවිගේ පරමාධිපත්‍යයට විරුද්ධව කැරලිගැසීමක්ද එයින් සිදු විය. නව යෙරුසලම් බයිබලයේ උත්පත්ති 2:17ට යොමු දක්වා තිබෙන පාද සටහනක මෙසේ සඳහන් වේ. ආදම් සහ ඒව ගත් ක්‍රියාමාර්ගයෙන් කියවෙන්නේ ඔවුන්ට “සදාචාරමය ස්වාධීනත්වයක් ලබාගැනීමට සම්පූර්ණ අයිතියක් තිබෙන [බවයි]. එමගින් මිනිසා, මවන ලද ජීවියෙක් බවට වූ තම තත්වය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. . . . මුල්ම පාපය වූයේ දෙවිගේ පරමාධිපත්‍යයට එරෙහි වීමය.”

හරි වැරැද්ද හා සම්බන්ධ බරපතළ ගැටලු ඉස්මතු වූ නිසා ආදම් සහ ඒවටද ඔවුන්ගෙන් පැවතෙන්නන්ටද කැමති මාර්ගයක් තෝරාගැනීමට දෙවි ඉඩහැරියේය. හරි වැරැද්ද පිළිබඳ ප්‍රමිති ඔවුන් විසින්ම පිහිටුවාගන්නා ලදි. (ගීතාවලිය 147:19, 20; රෝම 2:15) මිනිසුන් දෙවිගෙන් ස්වාධීනව කටයුතු කිරීමට පටන්ගත්තේ එදා සිටය. මිනිසුන් ගත් එම ක්‍රියාමාර්ගය සාර්ථක වී තිබේද? වසර දහස් ගණනක් පුරා මිනිසුන් අද්දැක තිබෙන දේවලින් පැහැදිලි වන්නේ සාර්ථක වී නොමැති බවයි. මේ පිළිබඳව දේශනාකාරයා 8:9හි මෙසේ සඳහන් වේ. ‘මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩු කරනු’ ඇත. ස්වයං පාලනයක් ගෙන යෑම නිසා මිනිසා අද්දකින කනගාටුදායක ප්‍රතිඵලවලින් යෙරෙමියා 10:23හි සඳහන් මෙම වදන්වල සත්‍යතාව හොඳින් තහවුරු වේ. “[යෙහෝවා], මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.” මැවුම්කරුගේ මඟ පෙන්වීම් නොමැතිව මිනිසාට සාර්ථක ලෙස පාලනය කළ නොහැකි බව ඉතිහාසයෙන් ඔප්පු වී තිබේ.

යේසුස්ද එය හා එකඟ විය. දෙවිගෙන් ස්වාධීනව කටයුතු කිරීම ඔහු සම්පූර්ණයෙන්ම හෙළාදැක්කේය. ‘මාගේම කැමැත්තෙන් මා කිසිවක් නොකරමි. [දෙවිට] ප්‍රසන්නවූ දේවල් මම නිතරම කරමි’ කියා ඔහු පැවසුවේය. (යොහන් 4:34; 8:28, 29) එනිසා යේසුස් දෙවිගේ අවසරය නොමැතිව මිනිසුන් පිරිනැමූ රජකම ලබාගැනීම ගැන සලකා බලන්නවත් ගියේ නැත. කෙසේවෙතත්, ජනයාට උපකාර කිරීමට ඔහු මැළි වූ බව එයින් අදහස් නොකරයි. එදා සිටි ජනයාට ඔවුන්ගේ ජීවිත කාලයේදීත් අනාගතයේදීත් උතුම්ම සතුට භුක්ති විඳින්න උපකාර කිරීම සඳහා යේසුස් ඔහුට හැකි සෑම දෙයක්ම කළේය. මිනිසුන් වෙනුවෙන් තමාගේ ජීවිතය පවා යේසුස් පූජා කළේය. (මතෙව් 5:3-11; 7:24-27; යොහන් 3:16) “සෑම දෙයකටම නියමිත කාලයක්” තිබෙන බව යේසුස් දැන සිටියේය. (දේශනාකාරයා 3:1NW) මනුෂ්‍යවර්ගයාව පාලනය කිරීමට දෙවිටත් නියමිත කාලයක් තිබෙන බව ඔහු තේරුම්ගෙන සිටියේය. (මතෙව් 24:14, 21, 22, 36-39) ඒදන් උයනේදී අපේ මුල් දෙමාපියන් දෘශ්‍යමාන සර්පයෙකු මාර්ගයෙන් කතා කළ අදෘශ්‍යමාන දුෂ්ට ආත්ම පුද්ගලයෙකුගේ කැමැත්තට යටත් වූ බව ඔබට මතකද? මේ සිද්ධිය යේසුස් දේශපාලනයට හවුල් නොවීමට බලපෑ දෙවන හේතුව හා සම්බන්ධයි.

කාටත් නොපෙනිම ලෝකය පාලනය කරන්නෙක්

තමන්ට එක් වරක් නමස්කාර කළහොත් “ලෝකයේ සියලු රාජ්‍යයන්ද එහි ඓශ්වර්යයද” දෙනවා කියා සාතන් යේසුස්ට පැවසූ බව බයිබලයේ සඳහන් වේ. (මතෙව් 4:8-10) මෙහිදී සාතන් යේසුස්ට ඉදිරිපත් කළේ තමාගේ කොන්දේසිවලට යටත්ව මුළු ලෝකයම පාලනය කිරීමේ ප්‍රස්තාවයි. යේසුස් සාතන්ගේ එම පරීක්ෂාවට හසු වූයේ නැත. ඇත්තෙන්ම එය පරීක්ෂාවක්ද? ඒ තරම් මහත් දෙයක් ඉදිරිපත් කරන්න සාතන්ට හැකියාවක් තිබුණාද? ඔව්. මන්ද යේසුස්ම සාතන්ව හැඳින්වූයේ “ලෝකයේ අධිපතියා” කියාය. එමෙන්ම, ප්‍රේරිත පාවුල් සාතන් ගැන සඳහන් කරමින් පැවසුවේ ඔහු “පවතින ක්‍රමයෙහි දෙවියා” කියාය.—යොහන් 14:30; 2 කොරින්ති 4:4NW; එපීස 6:12.

මිනිසාගේ යහපත ගැන අවංක උනන්දුවක් සාතන්ට නොමැති බව යේසුස් හොඳින් දැන සිටියේය. ඔහු සාතන්ව හැඳින්වූයේ “මිනීමරන්නෙක්” කියාය. එපමණක්ද නොව, සාතන් “බොරුවේ පියා මෙන්ම සෑම බොරුවකම උල්පතය” කියාද යේසුස් පැවසුවේය. (යොහන් 8:44; දි ඇම්ප්ලිෆයිඩ් බයිබල් ) එවන් නොපෙනෙන දුෂ්ට තැනැත්තෙකුගේ ‘පාලනය යටතේ පවතින’ ලෝකයක ප්‍රීතිය, සතුට කෙදිනකවත් බලාපොරොත්තු විය නොහැකි බව පැහැදිලිය. (1 යොහන් 5:19NW) නමුත් යක්ෂයාට සදහටම එවන් බලයක් නොතිබෙනු ඇත. දැන් බලවත් අදෘශ්‍යමාන පුද්ගලයෙකු වන යේසුස් නොබෝ කලකින් සාතන්ගේ සියලු බල බිඳ දමනු ඇත.—හෙබ්‍රෙව් 2:14; එළිදරව් 20:1-3.

ලෝකයේ පාලනය තමන්ගේ අතෙහි තිබෙන්නේ තව ස්වල්ප කාලයක් බව සාතන් දනී. මේ නිසා සාතන් නෝවාගේ කාලයේ සිදු වූ ජල ගැල්මට කලින් කළාක් මෙන් කිසිවිටකත් හරිගැස්විය නොහැකි පරිදි මිනිස් සමාජය විනාශ කර දැමීමට හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටී. (උත්පත්ති 6:1-5; යූද් 6) මේ ගැන එළිදරව් 12:12හි මෙසේ සඳහන් වේ. “ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.” බයිබල් අනාවැකිවලින් හා ලෝක සිද්ධීන්ගෙන් පැහැදිලි වන්නේ අප එම ‘ස්වල්ප කාලයේ’ අවසානයේ ජීවත් වන බවයි. (2 තිමෝති 3:1-5) සහනය ලැබෙන කාලය වැඩි ඈතක නොවේ.

සතුට ගෙනෙන ආණ්ඩුව

අනාගතයේදී මුළු පොළොවම පාලනය කරනු ලබන ස්වර්ගික ආණ්ඩුවක් දෙවි පිහිටුවන බව යේසුස් දැන සිටියේය. යේසුස් දේශපාලනයෙන් වැළකී සිටීමට බලපෑ තුන්වන හේතුව වූයේ එයයි. එම ආණ්ඩුව දේවරාජ්‍යය යනුවෙන් බයිබලයෙහි හඳුන්වා තිබෙන අතර, යේසුස් ජනයාට ඉගැන්වූ අවස්ථාවලදී මූලික අවධානය යොමු කළේ එය වෙතටයි. (ලූක් 4:43; එළිදරව් 11:15) ‘දෙවිගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වන්නේ’ එම රාජ්‍යය පොළොව පාලනය කරන කාලයේදී වන නිසා, එම රාජ්‍යය පැමිණෙන්න කියා යාච්ඤා කරන මෙන් යේසුස් සිය ගෝලයන්ට ඉගැන්වූයේය. (මතෙව් 6:9, 10) ‘ඉදිරියේදී මුළු පොළොවම පාලනය කරනු ලබන්නේ මේ රාජ්‍යයෙන් නම් මිනිස් ආණ්ඩුවලට සිදු වන්නේ කුමක්ද’ කියා ඔබ කල්පනා කරන්න පුළුවනි.

එම ප්‍රශ්නයට පිළිතුර දානියෙල් 2:44, 45හි සඳහන් වේ. එහි අපට මෙසේ කියවීමට තිබේ. “ඒ [පවතින ක්‍රමයේ අවසාන භාගයේදී පාලනය කරන] රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ [දෙවි] කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් [පිහිටුවන්නේය]. ඒකේ ආණ්ඩුව අන් සෙනගකට අත්අරිනු නොලබන්නේය. . . . ඒක ඒ [මිනිසුන් විසින් පිහිටුවන ලද] සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.” (අකුරු ඇල කළේ අපය.) දෙවිගේ රාජ්‍යය මගින් ලෝකයේ තිබෙන පාලන ක්‍රම “පොඩිකර නැති කරන්නේ” මන්ද? මෙයට හේතුව වන්නේ, ඒදන් උයනේදී සාතන්ගේ අනුබලය මත වර්ධනය වූ ස්වාධීනව කටයුතු කරමින් දෙවිට අකීකරු වීමේ ස්වභාවය මෙම මිනිස් පාලන ක්‍රමවලින් අඛණ්ඩව දිස්වීමය. මීට අමතරව, මිනිස් පාලන මිනිසාගේ ශුභසිද්ධිය පසෙක ලා කටයුතු කරමින් එවන් ස්වභාවයක් දිගටම විදහාපෙන්වීම නිසා මැවුම්කරු සමඟ සතුරුකමක් ඇති කරගෙන තිබේ. (ගීතාවලිය 2:6-12; එළිදරව් 16:14, 16) මේ නිසා අප අපගෙන්ම මෙසේ අසාගත යුතුයි. ‘අපි දෙවිගේ පාලනයට පක්ෂද නැත්නම් විපක්ෂද?’

ඔබ තෝරාගන්නේ කාගේ ආධිපත්‍යයද?

මේ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගැනීම සඳහා ජනයාට උපකාර කිරීමේ අරමුණින්, “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ [ප්‍රකාශ කරන්න]” කියා යේසුස් සිය ගෝලයන්ට බලපැවරුමක් දුන්නේය. වත්මන් ක්‍රමය අවසන් වෙන්න කලින් එය කළ යුතුව තිබේ. (මතෙව් 24:14) දේවරාජ්‍යය ගැන දේශනා කිරීම සම්බන්ධයෙන් අද ලොව පුරා ප්‍රසිද්ධව සිටින්නේ කවුද? යෙහෝවාගේ සාක්ෂිකරුවන්ය. බොහෝ කාලයක සිට මෙම සඟරාවේ මුල් පිටුවේ “යෙහෝවාගේ රාජ්‍යය ප්‍රචාරය කරයි” නමැති පාඨය සඳහන් වේ. රටවල් 230කට වැඩි ගණනක සිටින සාක්ෂිකරුවෝ දශලක්ෂ හයක් පමණ එම රාජ්‍යය ගැන නිවැරදි දැනුමක් ලබාගැනීම සඳහා ජනයාට උපකාර කරමින් සිටිති. a

දේවරාජ්‍යයේ යටත්වැසියන් ලබන ආශීර්වාද

යේසුස් සැම විටම දේවල් කළේ දෙවිගේ ක්‍රමයටයි. එනිසා ස්වාධීනව කටයුතු කිරීමටවත් දේශපාලනයට හවුල් වීමෙන් පවතින ක්‍රමයේ තත්වය නඟා සිටුවීමටවත් ඔහු උත්සාහ කළේ නැත. එසේ කරනවා වෙනුවට මිනිසාගේ ගැටලුවලට එකම විසඳුම වන දේවරාජ්‍යය හා බැඳි කටයුතුවල වර්ධනයට අත හිත දීමට ඔහු වෙහෙස මහන්සි වී වැඩ කළේය. මෙසේ ඔහු දේවරාජ්‍යයට පක්ෂව ක්‍රියා කළ නිසා, අගය කිරීමක් වශයෙන් ඔහුව එම රාජ්‍යයේ රජු බවට පත් කර තිබේ. දෙවිට යටත් වීම නිසා ඔහු ලැබුවේ මොනතරම් අපූර්ව ත්‍යාගයක්ද!—දානියෙල් 7:13, 14.

අදදින දේවරාජ්‍යයට මුල්තැන දෙමින් හා දෙවිගේ කැමැත්තට යටත් වෙමින් යේසුස්ව අනුකරණය කරන දශලක්ෂ ගණනක්දෙනා දේවරාජ්‍යයේ යටත්වැසියන් වීමේ වරප්‍රසාදය භුක්ති විඳිති. (මතෙව් 6:33) සියලු දේවල් ප්‍රේමයෙන් හසුරුවනු ලබන එම පාලනයේදී ඔවුන් සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඇතුව පරිපූර්ණත්වය කරා පැමිණෙනු ඇත. (එළිදරව් 21:3, 4) පළමුවන යොහන් 2:17හි මෙසේ සඳහන් වේ. “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් [දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.” සාතන්ව හා ඔහුගේ අනුගාමිකයන්ව නැති කර දමා, මිනිසුන්ව භේද කරවන ජාතිවාදයද, දූෂිත වාණිජ ක්‍රමයද, බොරු ආගම්ද තවදුරටත් දැකිය නොහැකි පාරාදීසයක් බවට මේ මුළු පොළොවම පත් වූ පසු, එහි සැමදා ජීවත් වෙද්දී ඇති වන ප්‍රීතිය මොනතරම්ද!—ගීතාවලිය 37:29; 72:16.

ඇත්තෙන්ම, සතුටින් පිරි ලොවකට එකම මඟ දේවරාජ්‍යයයි. ඒ ගැන මිනිසුන්ට ප්‍රකාශ කරන පණිවිඩය ශුභාරංචියක් කියා හැඳින්වීම ඉතාමත් යෝග්‍යයි. මෙය සැබවින්ම ශුභාරංචියක් බව තවදුරටත් පැහැදිලි කරගැනීමට ඔබ කැමති නම්, ඊළඟ වතාවේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබේ නිවසට පැමිණෙන විට, මෙම ශුභාරංචියට ඕනෑකමින් සවන් දෙන්න කියා ඔබට ආරාධනා කරන්න කැමතියි.

[පාදසටහන]

a දේවරාජ්‍යයට පූර්ණ සහය දක්වන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දේශපාලනයට හවුල් නොවෙති. එමෙන්ම සාක්ෂිකරුවන්ගේ ආගමික කටයුතු තහනම් කරමින් ඔවුන්ට හිංසා පීඩා කරන රටවල පවා තිබෙන ආණ්ඩුවලට එරෙහිව ඔවුහු කැරලි නොගසති. (තීතස් 3:1) යේසුස් හා පළමු සියවසේ සිටි ඔහුගේ ගෝලයන් කළාක් මෙන් ඔවුන්ද වෑයම් කරන්නේ දේශපාලනයට සම්බන්ධ නොවන ආකාරවලින්, විශේෂයෙන්ම අධ්‍යාත්මික පැත්තෙන් සමාජයට යහපතක් කිරීමටය. පවුල් සාමාජිකයන්ට ප්‍රේමය පෙන්වීම, අවංකකම, සදාචාරසම්පන්න දිවියක් ගත කිරීම හා රැකියාවේදී යහපත් ආචාර ධර්ම පිළිපැදීම වැනි බයිබලයේ සඳහන් ගුණ ධර්ම අනුව ජීවිත හැඩගස්සවාගැනීම සඳහා තමන් ජීවත් වන ප්‍රදේශයේ සිටින දැහැමි ජීවිතයක් ගත කිරීමට කැමැත්තක් දක්වන ජනයාට උපකාර කරන්න සාක්ෂිකරුවෝ මහත් පරිශ්‍රමයක් දරති. මෙහිදී ඔවුන් ප්‍රමුඛත්වයක් දෙන්නේ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත හැකි ආකාරය ඉගැන්වීමටත් මිනිසුන්ගේ එකම සැබෑ බලාපොරොත්තුව වශයෙන් දේවරාජ්‍යය දෙස බලා සිටීමට ජනයාව උනන්දු කිරීමටත්ය.

[5වන පිටුවේ පින්තූර]

දෙවිගෙන් ඈත්ව මිනිසාට මිනිසාව සාර්ථකව පාලනය කළ නොහැකි බවට ඉතිහාසය සාක්ෂි දරයි

[5වන පිටුවේ පින්තූරය]

වත්මන් ක්‍රමය පාලනය කරන්නේ සාතන් නිසා ‘ලෝකයේ සියලු රාජ්‍යවල්’ යේසුස්ට දෙන බව පවසන්න ඔහුට හැකි විය

[7වන පිටුවේ පින්තූර]

දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී මේ ලෝකය සුන්දර තැනක් වන බව යේසුස් ඉගැන්නුවේය