Skip to content

පටුනට යන්න

‘අපව පොහොසත් කරවන්නේ යෙහෝවා දෙන ආශීර්වාදයි’

‘අපව පොහොසත් කරවන්නේ යෙහෝවා දෙන ආශීර්වාදයි’

‘අපව පොහොසත් කරවන්නේ යෙහෝවා දෙන ආශීර්වාදයි’

අපි කොයි කවුරුත් ආශීර්වාද ලබන්න ආසයි. මන්ද ආශීර්වාද අපේ සන්තෝෂයට, ශුභසිද්ධියට හෝ සමෘද්ධියට දායක වෙනවා. “සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද” පැමිණෙන්නේ අපේ ප්‍රේමනීය මැවුම්කරු වන යෙහෝවාගෙන් නිසා සැබෑ මෙන්ම කල්පවතින ආශීර්වාද සියල්ලකම උල්පත වන්නේද ඔහුයි. (යාකොබ් 1:17) ඔහු තම ආශීර්වාද සෑම මනුෂ්‍යයෙක් කෙරෙහිම වගුරුවනවා. යේසුස් පැහැදිලි කළ ආකාරයට තම පියාව නාඳුනන අය පවා ආශීර්වාද භුක්ති විඳිනවා. ‘ඔහු නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදා කරයි, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්සවයි.’ (මතෙව් 5:45) කොහොමවුණත්, යෙහෝවා තමාට ප්‍රේම කරන අය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනවා—ද්විතීය කථාව 28:1-14; යෝබ් 1:1; 42:12.

ගීතිකාකරු ලිව්වේ, ‘යෙහෝවා අවංක ලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් වළක්වන්නේ නැහැ’ කියායි. (ගීතාවලිය 84:11) ඔව්, යෙහෝවාට සේවය කරන අය අර්ථාන්විත මෙන්ම සාර්ථක ජීවිත ගත කරනවා. ‘යෙහෝවාගේ ආශීර්වාද පොහොසත්කම ලබා දෙයි. ඔහු ඊට දුක එකතු නොකරයි’ යන්න ඔවුන්ගේ අද්දැකීමයි. ඒ වගේම, බයිබලයේ පවසා ඇති පරිදි “[යෙහෝවාගෙන්] ආශීර්වාදලද්දෝ දේශය උරුමකර ගන්නෝය.” (හිතෝපදේශ 10:22; ගීතාවලිය 37:22, 29) එය මොනතරම් ආශීර්වාදයක් වේවිද කියා සිතා බලන්න!

අපි යෙහෝවාගෙන් ආශීර්වාද ලබන්න නම් කුමක් කළ යුතුද? එක් දෙයක් වන්නේ ඔහු ප්‍රිය කරන ගුණාංග වර්ධනය කරගැනීමයි. (ද්විතීය කථාව 30:16, 19, 20; මීකා 6:8) මෙය සනාථ කරන, පුරාණයේ විසූ යෙහෝවාගේ සේවකයන් තුන්දෙනෙකුගේ ආදර්ශ සලකා බැලීම වටිනවා.

යෙහෝවා තම සේවකයන්ට ආශීර්වාද කරයි

නෝවා දෙවිට විශිෂ්ට සේවයක් පිරිනැමූ කෙනෙක්. උත්පත්ති 6:8හි පවසන්නේ, “නෝවා [යෙහෝවාගෙන්] කරුණාව ලැබුවේය” කියායි. ඒ ඇයි? ඔහු දෙවිට කීකරුව සිටි නිසයි. වාර්තාවේ සඳහන් වන ආකාරයට ‘නෝවා දෙවි සමඟ හැසිරුණා.’ නෝවා යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රකිමින් ඔහුගේ ආඥාවලට කීකරුව සිටි බව මින් පැහැදිලි වෙනවා. සැහැසියාවෙන් හා දූෂිත ක්‍රියාවන්ගෙන් පිරුණු ලෝකයක ජීවත් වූ ඔහු ‘දෙවි අණ කළ සියල්ල නොපිරිහෙළා ඉටු කළා.’ (නව අනුවාදය) (උත්පත්ති 6:9, 22) ඒ නිසා, යෙහෝවා ‘නෝවාගේ පවුලේ අය ගළවාගැනීම සඳහා නැවක්’ සාදන්න කියා ඔහුට මඟ පෙන්වුවා. (හෙබ්‍රෙව් 11:7, න. අ.) මේ ආකාරයට, නෝවා සහ ඔහුගේ පවුලේ අය එම පරම්පරාව මත ගෙනා විනාශයෙන් බේරී ජීවත් වූ අතර අද මිනිස් සංහතිය පවතින්නේද ඒ නිසයි. නෝවා මිය ගියේ, නැවත නැඟිටීමක් ලැබීමේ හා පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුවයි. ඔහු මොනතරම් ආශීර්වාද ලැබුවාද!

ආබ්‍රහම්ටද යෙහෝවා ප්‍රිය කළ ගුණාංග තිබුණා. ඔහුගේ වඩාත්ම කැපීපෙනෙන ගුණාංගය වූයේ ඇදහිල්ලයි. (හෙබ්‍රෙව් 11:8-10) ආබ්‍රහම් ඌර්හි හා පසු කලෙක හාරාන්හි තමා ගත කළ සැප පහසු ජීවිතය අත්හැර ගියේ, තමාගේ වංශය වැඩි වී සියලු ජාතීන්ට ආශීර්වාදයක් වන බවට යෙහෝවා දුන් පොරොන්දුව කෙරෙහි ඇදහිල්ල තැබූ නිසයි. (උත්පත්ති 12:2, 3) අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ පරීක්ෂාවන්ට මුහුණ දීමට සිදු වුවත් ඔහුගේ ඇදහිල්ල නිසා දෙවි ඔහුට ඊසාක් නම් පුත්‍රයෙක් දී ආශීර්වාද කළා. ආබ්‍රහම්, දෙවි තෝරාගත් ඉශ්‍රායෙල් ජාතියේද පසු කලෙක පැමිණි මෙසියස්ගේද මුතුන්මිත්තෙක් බවට පත් වුණේ ඊසාක්ගේ මාර්ගයෙනුයි. (රෝම 4:19-21) තවද ඔහු “අදහන්නාවූ සියල්ලන්ගේ පියා” වන අතර ‘දෙවිගේ මිත්‍රයා’ වශයෙන්ද හඳුන්වනු ලැබුවා. (රෝම 4:11; යාකොබ් 2:23; ගලාති 3:7, 29) ඔහු ගත කළේ කොයිතරම් අර්ථාන්විත ජීවිතයක්ද! එමෙන්ම ඔහු මොනතරම් ආශීර්වාද ලත් කෙනෙක්ද!

ඇදහිලිවන්ත මිනිසා වූ මෝසෙස්ගේ ආදර්ශයත් සිතට ගන්න. ඔහුගේ ගුණාංග අතරින් විශිෂ්ටතම එක වූයේ ආත්මික දේවල් කෙරෙහි දැක්වූ අගයයි. මෝසෙස් මිසරයේ සැප සම්පත් අත්හැර දමා ‘අදෘශ්‍යමාන තැනැත්තා දකින්නාක් මෙන් ස්ථිරව සිටියා.’ (හෙබ්‍රෙව් 11:27) මිදියන් දේශයේ අවුරුදු හතලිහක් ගත කළායින් පසු ඔහු ආපසු මිසරයට පැමිණියේ මහලු වියේදීයි. ඉන්පසු ඔහු එවකට සිටි බලවත්ම පාලකයා වන ඵාරාවෝ ඉදිරිපිටට ගොස් තම සහෝදරයන්ව නිදහස් කරන මෙන් ඉල්ලා සිටියා. (නික්මයාම 7:1-7) පීඩා දසය, රතු මුහුද දෙබෑ කිරීම සහ ඵාරාවෝගේ සේනාව විනාශ කිරීම ඔහු ඇස් දෙකෙන්ම දැක්කා. ව්‍යවස්ථාව ඉශ්‍රායෙල්වරුන්ගේ අතට පත් කිරීමටත් එම අලුත් ජාතිය සමඟ කළ ගිවිසුමේ මැදිහත්කරු වීමටත් යෙහෝවා යොදාගත්තේ ඔහුවයි. මෝසෙස් අවුරුදු හතලිහක් පුරා පාළුකරයේදී ඉශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නුවා. ඔහුගේ ජීවිතයට නියම අරුතක් තිබුණ අතර අනගි සේවා වරප්‍රසාද රැසකින් ඔහු ආශීර්වාද ලැබුවා.

වත්මන් ආශීර්වාද

මෙම අද්දැකීම්වලින් පැහැදිලි වන්නේ දෙවිට සේවය කරන අයගේ ජීවිත සැබවින්ම අර්ථවත් බවයි. තවද යෙහෝවාගේ ජනයා කීකරුකම, ඇදහිල්ල හා ආත්මික දේවලට අගයක් දැක්වීම වැනි ගුණාංග වර්ධනය කරත්ම ඔවුන්ට මහඟු ආශීර්වාද අත් වෙනවා.

අදදින අපි ආශීර්වාද ලබන්නේ කොයි ආකාරවලින්ද? මෙය සලකා බලන්න. ක්‍රිස්තියානි ලෝකයේ මිලියන ගණනක් ආත්මික කුසගින්නෙන් පෙළුණත් අපට ‘යෙහෝවාගේ යහපත්කම’ නිසා ප්‍රීති ප්‍රමුදිත විය හැකියි. (යෙරෙමියා 31:12) මන්ද යෙහෝවා, යේසුස් ක්‍රිස්තුස් හා “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මාර්ගයෙන් ‘ජීවනයට යන මඟෙහි’ රැඳී සිටීමට උපකාරවත් වන ආත්මික ආහාර බහුලව සපයා තිබෙනවා. (මතෙව් 7:13, 14; 24:45; යොහන් 17:3) අපේ ක්‍රිස්තියානි සහෝදරත්වය සමඟ ඇසුරු කරන්න ලැබීම තවත් මහඟු ආශීර්වාදයක්. රැස්වීම්වලදී මෙන්ම වෙනත් අවස්ථාවලදී ප්‍රේමයෙන් කටයුතු කරන හා ‘අලුත් පෞද්ගලිකත්වය’ පැළඳගැනීමට දැඩි ආයාසයක් දරන සෙසු නමස්කාරකයන් සමඟ ඇසුරු කිරීම මොනතරම් ප්‍රීතිමත් අද්දැකීමක්ද! (කොලොස්සි 3:8-10; ගීතාවලිය 133:1) ඒත් උතුම්ම ආශීර්වාදය වන්නේ යෙහෝවා දෙවි සමඟ පෞද්ගලික සබඳතාවක් තබාගනිමින් ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ අඩි පාරේ ගමන් කිරීමට ලැබෙන භාග්‍යයයි.—රෝම 5:1, 8; පිලිප්පි 3:8.

අපි මෙම ආශීර්වාද ගැන සිතා බලද්දී දෙවිට අපි කරන සේවය කොයිතරම් අනර්ඝද කියා පැහැදිලියි. මෙහිදී අනර්ඝ මුතු සොයන්න ගිය වෙළෙන්දෙක් පිළිබඳව යේසුස් කී උපමාව අපේ මතකයට නැඟෙනවා ඇති. යේසුස් එම මනුෂ්‍යයා පිළිබඳව පැවසුවේ මෙලෙසයි. “ඉතා අනර්ඝවූ එක මුතු ඇටයක් ඔහුට සම්බවී, ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒක මිලදී ගත්තේය.” (මතෙව් 13:46) දෙවි සමඟ අපට තිබෙන සම්බන්ධය, ඔහුට සේවය කිරීමේ වරප්‍රසාදය, අපේ ක්‍රිස්තියානි ඇසුර, ක්‍රිස්තියානි බලාපොරොත්තුව සහ අපේ ඇදහිල්ලට සම්බන්ධ වෙනත් ආශීර්වාද ගැනත් අපට හැඟෙන්නේ එසේ නොවේද? මීට වඩා අනගි ආශීර්වාද ගැන අපට සිතාගත හැකිද?

යෙහෝවාට ආපසු දීම

සෑම යහපත් දීමනාවක උල්පත යෙහෝවා බව අප පිළිගන්නා නිසා ඔහුගෙන් ලද ආශීර්වාද හදපත්ලෙන්ම අගය කිරීමට පෙලඹෙනවා. අපට මෙසේ කළ හැක්කේ කෙසේද? එක ක්‍රමයක් වන්නේ එම ආශීර්වාද ලැබීමට අන්‍යයන්ට උපකාර කිරීමයි. (මතෙව් 28:19) රටවල් 230කට වැඩි සංඛ්‍යාවක සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙසේ කරමින් සිටිනවා. ඔවුන් තමන් සතු සීමිත සම්පත් වන කාලය, ශ්‍රමය හා ද්‍රව්‍යමය දේවල් උපයෝගී කරගනිමින් “සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක්” ලබා දීමට තම අසල්වැසියන්ට උපකාර කරනවා.—1 තිමෝති 2:3NW.

එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ ග්ලෙන්ඩේල්වල සිටින පුරෝගාමීන්ගේ අද්දැකීම සැලකිල්ලට ගන්න. සෑම සෙනසුරාදා උදෑසනකම ඒකාබද්ධ රැඳවුම් කඳවුරකට යෑමට හා ඒමට ඔවුන් කිලෝමීටර් 100ක් ගමන් කරනවා. ඔවුන්ට එහි සිරකරුවන් සමඟ ගත කිරීමට ලැබෙන්නේ පැය කිහිපයක් පමණයි. ඒත් ඔවුන් අධෛර්යයට පත් වන්නේ නැහැ. එක් පුරෝගාමියෙක් මෙසේ පවසනවා. “මේ විශේෂ බලප්‍රදේශයේ සේවය කිරීමෙන් අපි ලොකු ප්‍රීතියක් අද්දකිනවා. ඒක හුඟක් ඵලදායී සේවයක් කියලයි අපිට හැඟෙන්නේ. උනන්දුව දක්වන අය කොච්චර ඉන්නවාද කිව්වොත් ඒ සෑම කෙනෙකුටම අවධානය දෙන්න අමාරුයි. අපි දැනට පස්දෙනෙක් එක්ක බයිබල් පාඩම් පවත්වනවා. තවත් හතරදෙනෙක් පාඩම් කරන්න කැමැත්ත පළ කරලා තියෙනවා.”

ජ්වලිත ක්‍රිස්තියානි දේවසේවකයන් තමන් කරන ජීවිත ගළවන වැඩය සඳහා කිසිම මුදලක් අය කරන්නේ නැහැ. යේසුස්ට මෙන් ඔවුන්ටද තිබෙන්නේ “නුඹලා නොමිලයේ ලැබුවහුය, නොමිලයේ දෙන්න” යන ආකල්පයයි. (මතෙව් 10:8) ලෝ වටා මිලියන ගණන් ජනයා මේ හා සමානව පරාර්ථකාමී සේවයක නිරත වෙනවා. ඊට ප්‍රතිචාරයක් වශයෙන් අවංක ජනයාගෙන් යුත් මහත් සමූහයක් ගෝලයන් බවට පත් වෙනවා. පසුගිය අවුරුදු පහ තුළදී පමණක් මිලියන 1.7කට ආසන්න සංඛ්‍යාවක් යෙහෝවාට තම ජීවිත කැප කළා. නිරතුරුවම සිදු වන මෙම වර්ධනය හේතුවෙන් බයිබල් හා බයිබල් විෂයන් පදනම් කරගත් පොත් පත් නිපදවීමේ මෙන්ම අලුත් රාජ්‍ය ශාලා හා වෙනත් රැස්වීම් ශාලා ගොඩනැඟීමේ අවශ්‍යතාව පැන නැඟ තිබෙනවා. මෙම අවශ්‍යතාවන් මුළුමනින්ම සපුරාලන්නේ ස්වේච්ඡා සම්මාදම්වලින්.

ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ජනයා කොයිතරම් දුගීද කිවහොත් තම පවුලේ දෛනික අවශ්‍යතාවන් සපුරාගන්න දැඩි වෙහෙසක් දරනවා. නියූ සයන්ටිස්ට් සඟරාවට අනුව, බිලියනයක් තම පවුලේ ආදායමෙන් සියයට 70ක්ම යොදාගන්නේ ආහාර සඳහායි. අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් බොහෝදෙනෙක්ද මේ හා සමාන තත්වයකට මුහුණ දෙනවා. සෙසු ඇදහිලිවන්තයන්ගෙන් උපකාර නොලැබුවා නම් ඔවුන්ට කිසිවිටෙක ක්‍රිස්තියානි ප්‍රකාශන හෝ පහසුකම් සහිත රාජ්‍ය ශාලා සාදාගැනීමට නොහැකි වේවි.

ඇත්ත වශයෙන්ම, මින් අදහස් කරන්නේ ඔවුන් තමන්ගේ බර තවත් අය විසින් රැගෙන යාමට ඉඩ දී බලා සිටිනවා යන්න නෙවෙයි. එහෙත් ඔවුන්ට උපකාර අවශ්‍යයි. යෙහෝවාගෙන් ලැබුණු ආශීර්වාදවලට ද්‍රව්‍යමය දේවලින් තුති පිදීමට මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ට දිරිගැන්වූයේ මෙලෙසයි. “නුඹේ දෙවිවූ [යෙහෝවා] නුඹට දී තිබෙන ආශීර්වාදයේ හැටියට, එකිනෙකා තම තමාගේ පුළුවන්කම ප්‍රකාර දීමනාවක් ඇතුව පෙනී [සිටින්න].” (ද්විතීය කථාව 16:17) වටිනාකමකින් ඉතා අඩු “කුඩා මිල දෙකක්” දේවමාළිගාවට පරිත්‍යාග කළ වැන්දඹු ස්ත්‍රිය ගැන යේසුස් ප්‍රශංසාත්මක ආකාරයකින් ගෝලයන් සමඟ කතා කළා. මන්ද ඇය පරිත්‍යාග කළේ ඇගේ පුළුවන්කම හැටියටයි. (ලූක් 21:2, 3) ඒ හා සමානව, දිළිඳු ක්‍රිස්තියානීන් තමන්ට හැකි පමණින් සම්මාදම් කරනවා. හිඟයක් ඇත්නම් දිළිඳු නොවන තම සෙසු නමස්කාරකයන්ට එම හිඟය පියවීමට පුළුවන්.—2 කොරින්ති 8:13-15.

මේ ආකාරවලින් අප දෙවිට ආපසු දෙන විට අපේ චේතනා පිරිසිදුව තබාගැනීම වැදගත්. (2 කොරින්ති 8:12) පාවුල් කිව්වේ, මෙලෙසයි. “කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස [දෙන්න]. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවි [ප්‍රේම කරයි].” (2 කොරින්ති 9:7) අපි නොමසුරු සිතකින් දෙන විට නවීන දින දිව්‍යාණ්ඩු විධිවිධානවල වර්ධනයට දායක වෙනවා විතරක් නෙවෙයි අපේ ප්‍රීතියද දෙගුණ තෙගුණ වෙනවා.—ක්‍රියා 20:35.

දේශනා සේවයේ හවුල් වීම හා ස්වේච්ඡා සම්මාදම් දීම යෙහෝවා අපට දී තිබෙන ආශීර්වාද සඳහා කෘතඥතාව දැක්විය හැකි ක්‍රම දෙකක්. ඒ වගේම, යෙහෝවා ඔහුව නොදන්නා තවත් අවංක මිනිසුන් බොහෝදෙනෙක් කෙරෙහි ආශීර්වාද වගුරුවන්න කැමැත්තෙන් සිටින බව දැනගැනීම කොතරම් දිරිගන්වනසුලුද! (2 පේතෘස් 3:9) එබැවින් දිගින් දිගටම දෙවිගේ සේවය සඳහා අප සතු සම්පත් උපයෝගී කරගනිමින් අවංක ජනයාව සොයා ඔවුන්ට කීකරුකම, ඇදහිල්ල හා අගය දැක්වීම වැනි ගුණාංග ප්‍රවර්ධනය කිරීමට උපකාර කරමු. එවිට ‘යෙහෝවා යහපත් බව රස බැලීමට’ ඔවුන්ට උපකාර කිරීමෙන් ලද ප්‍රීතිය අප සතු විය හැකියි.—ගීතාවලිය 34:8.

[28, 29වන පිටුවේ කොටුව]

ලෝක ව්‍යාප්ත වැඩයට සම්මාදම්

දීමට සමහරුන් තෝරාගන්නා ක්‍රම

“ලෝක ව්‍යාප්ත වැඩයට සම්මාදම්—මතෙව් 24:14” යනුවෙන් සඳහන් කර ඇති පෙට්ටිවලට සම්මාදම් දැමීම සඳහා බොහෝදෙනෙක් යම් මුදලක් ඉතිරි කරති, නැතහොත් වෙන් කරති.

සෑම මසකම සභාවන් මෙම මුදල නියූ යෝක් බෘක්ලින්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයට හෝ දේශීය ශාඛා කාර්යාලයට යවයි. ස්වේච්ඡා සම්මාදම් මුදල් කෙළින්ම යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300 යන ලිපිනයට හෝ ඔබේ රටේ පිහිටි ශාඛා කාර්යාලයට එවිය හැක. රන් ආභරණ මෙන්ම වෙනත් වටිනා භාණ්ඩද පරිත්‍යාග කළ හැක. මේවා සම්පූර්ණයෙන්ම තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කරන කෙටි ලිපියක්ද මෙම සම්මාදම් සමඟ එවිය යුතුයි.

කොන්දේසි සහිතව ප්‍රදානය කිරීමේ විධිවිධානය

පෞද්ගලික අවශ්‍යතාවක් ඇති වුවහොත් එය දායකයාට ආපසු ලබාගත හැකි වන පරිදි විශේෂ කොන්දේසියක් මත මුදල් පරිත්‍යාග කළ හැක. තවත් තොරතුරු සඳහා ඉහත සඳහන් ලිපිනයට ලියා සමිතියේ භාණ්ඩාගාරයෙන් විමසන්න.

සැලසුම් කරන ලද පරිත්‍යාග

සම්පූර්ණ තෑග්ගක් හැටියට හෝ කොන්දේසි සහිතව මුදල් ප්‍රදානය කරනවාට අමතරව, ලෝක ව්‍යාප්ත රාජ්‍ය සේවයට ප්‍රයෝජනවත් වන ආකාරයට පරිත්‍යාග කළ හැකි වෙනත් ක්‍රමද තිබේ. මෙයට පහත සඳහන් දේවල් ඇතුළත් වේ.

රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කළ හැක.

බැංකු ගිණුම්: රටේ පවතින බැංකු නීතිය අනුව බැංකු ගිණුම්, තැන්පතු සහතික හෝ විශ්‍රාම දීමනා යනාදිය වොච් ටවර් සමිතියේ භාරකාරත්වය යටතේ පවත්වාගෙන යෑමට හෝ මරණින් පසු ඒවායේ හිමිකාරත්වය වොච් ටවර් සමිතියට ලැබෙන සේ ඒවා පවරා දිය හැක.

ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට හෝ ලාභය දිගටම දායකයාට ලැබෙන විධිවිධානයක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච් ටවර් සමිතියට ප්‍රදානය කළ හැක.

නිශ්චල දේපොළ: සම්පූර්ණ තෑග්ගක් හැටියට නැතහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරා තමාට එහි වාසය කළ හැකි වන පරිදි ජීවිත භුක්තිය දායකයා වෙත තබාගෙන, විකිණිය හැකි නිශ්චල දේපොළ වොච් ටවර් සමිතියට පරිත්‍යාග කළ හැක. යම් නිශ්චල දේපොළක් පැවරීමට කලින් ඔබ එසේ කිරීමට අදහස් කරන බව ඔබේ රටේ ශාඛා කාර්යාලයට දැනුම් දිය යුතුය.

පරිත්‍යාග කරන ලද වාර්ෂිකය: පරිත්‍යාග කරන ලද වාර්ෂිකය යනු යමෙකු තමා සතු මුදල් හෝ සුරැකුම් වොච් ටවර් සමිතිය වෙත පැවරීමට කරන සැලසුමකි. ඒ සඳහා දායකයාට හෝ දායකයා විසින් පත් කරන ලද අයට ජීවිතාන්තය දක්වාම වසරක් වසරක් පාසා යම් නිශ්චිත මුදලක් ගෙවනු ලබයි.

අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච් ටවර් සමිතිය වෙත දේපොළ හා මුදල් පවරා දීමට හෝ විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කිරීමට පුළුවන. ආගමික සංවිධානයකට ප්‍රයෝජන ගෙන දෙන විශ්වාස භාරයක් පිරිනැමීම මගින් ඇතැම් බදු සහන සපයා දිය හැක.

කුමන ආකාරයකින් හෝ පරිත්‍යාග කිරීමට සතුටු අයට, ඉහත සඳහන් ලිපිනයට හෝ ඔබේ රටෙහි තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ඒ බව දැන්විය හැක. මෙම සැලසුම්වලට සම්බන්ධ ලියවිලිවල පිටපතක් සමිතියට ලබා දිය යුතුයි.