Skip to content

පටුනට යන්න

“ආගමට දිනයක්”

“ආගමට දිනයක්”

“ආගමට දිනයක්”

පෝලන්තයේ පාසැලක විදුහල්පතිනිය යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ පැවැත්වූ සංවාදයකින් පසුව ඇති වූ කුතුහලය සහ උනන්දුව හේතුවෙන් තම පාසැලෙහි “ආගමට දිනයක්” කියා දවසක් වෙන් කළාය. එදාට තම ආගමික විශ්වාසයන් හා වත් පිළිවෙත් සම්බන්ධයෙන් අන් ශිෂ්‍යයන්ව දැනුවත් කිරීම සඳහා කෙටි විස්තරයක් දීමට ඉදිරිපත් වන්න කියා ඇය ශිෂ්‍යයන්ට යෝජනා කළාය. ඔවුන් අතර කතෝලික, බෞද්ධ හා යෙහෝවාගේ සාක්ෂිකාර ශිෂ්‍යයෝ වූහ. ඒ මොහොතේම නව යොවුන් වියේ පසු වන සාක්ෂිකාරයන් තිදෙනෙක් ඉදිරිපත් වූහ.

දිනය උදා විය. මුලින්ම කතා කළේ 15-හැවිරිදි මාල්විනාය. ඇය පැවසූ දෙයින් කොටසකි මේ. “අපි ඕගොල්ලන්ගේ ගෙවල්වලට ඇවිත් තියෙන නිසා අපි මේ පාසැලට එන්නත් කලින් ඕගොල්ලන්ගෙන් වැඩිදෙනෙක් අපිව දැනගෙන හිටියා. අපි එහෙම එන්නේ ඇයි කියලා සමහරවිට ඕගොල්ලන් කල්පනා කරනවා ඇති. අපි එන්නේ ක්‍රිස්තු ධර්මය පිහිටෙවූ යේසුස් ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුගමනය කරන නිසයි. ඔහු සියලු තැන්වල සිටි මිනිසුන්ට දේවරාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කළා. ප්‍රේරිතවරුන් හා වෙනත් මුල් ක්‍රිස්තියානීන්ද එලෙසම කළා. ඇදහිල්ල නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට හුඟක් තැන්වලදී හිංසා පීඩාවලට මූණ දෙන්න සිද්ධ වුණත්, ඔබ සියලුදෙනාගේම දායකත්වය හේතුවෙන් අපේ පාසැලේ අපිට සාමයෙන් ඉන්න පුළුවන් වීම ගැන අපි ප්‍රීති වෙනවා. ඒ වෙනුවෙන් ඕගොල්ලන්ට ස්තුති කරන්න අපි කැමතියි!”

මාල්විනා ඇගේ කතාවේ අවසානයේදී මෙසේ පැවසුවාය. “අපි ඕගොල්ලන්ගේ නිවසට පැමිණීමට තවත් හේතුවක් තියෙනවා. ඒ අපි ඕගොල්ලෝ ගැන උනන්දු වෙන නිසයි. ළඟදීම ලොව සසල කරන සිද්ධීන් අද්දකින්න සිදු වන බව බයිබලයේ පවසනවා. ඒ නිසා අපි ඕගොල්ලන්ගේ නිවසට පැමිණෙන ඊළඟ වතාවේදී පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. පාරාදීසයක් බඳු පොළොවක සදහටම එකමුතුව ජීවත් වෙන්න පුළුවන් වෙන විදිහ ගැන පවසන්න අපි කැමතියි.”

ඊළඟ කථිකයා වූ මාටෙයූෂ්ගේද වයස අවුරුදු 15කි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් වසර ගණනාවක් පුරා සුබ අස්න පතළ කිරීමට විවිධ ක්‍රම යොදාගත් බව මාටෙයූෂ් තම සබයට පැවසීය. උදාහරණයකට, 1914දී, එනම් නිසල රූ දර්ශන පෙන්වූ යුගයේදී, සාක්ෂිකරුවෝ “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” පෙන්වූහ. එය සචල පින්තූර හා ස්ලයිඩ් කාච ඇතුළත් දර්ශනයකි. එයට හඬ කවා තිබුණි.

රාජ්‍ය පණිවිඩය පතළ කිරීමේදී ගුවන්විදුලිය දරන කාර්යභාරය සම්බන්ධයෙන් අදහස් පළ කළ මාටෙයූෂ්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් නිර්මාණය කර පරිගණක ගත කළ බහු භාෂා විද්‍යුත් ඡායාරූප අකුරු ඇමුණුම් ක්‍රමය (MEPS) ගැනද විස්තර කළේය. රුධිරය රහිතව ප්‍රතිකාර කිරීමේ තාක්ෂණයන් පිළිබඳව වෛද්‍යවරුන්ට දැනුම් දීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් දායක වූ ආකාරය සම්බන්ධයෙන්ද ඔහු පැවසුවේය. “දැන්, පෝලන්තයේ සිටින ප්‍රවීණ වෛද්‍යවරුන් අපේ ස්ථාවරයට පක්ෂව අදහස් පළ කරන අතර, සෑම වසරකම රුධිරය රහිතව සැත්කම් කරගන්නා සාක්ෂිකරුවන් නොවන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වන බව විශේෂයෙන්ම ඔවුන් සඳහන් කළ බව” ඔහු පැවසීය.

රාජ්‍ය ශාලා ඉදි කිරීම ගැන පවසමින් මාටෙයූෂ් සිය කතාව මෙසේ නිම කළේය. “අපේ රාජ්‍ය ශාලාවකට ඇවිත් බලන්න ඔබ කැමතිද? ඇතුල් වෙන්න අය කරන්නේවත්, එහිදී සම්මාදම් එකතු කරන්නේවත් නැහැ.” සොස්නොව්යෙට්ස්හි සමුළු මධ්‍යස්ථානය ගැන කතා කරමින් මාටෙයූෂ් මෙසේ පැවසීය. “ඒ විශාල ගොඩනැඟිල්ලේ සිදු වන ක්‍රියාකාරකම් බලන්න වටිනවා. ඇයි අපි කට්ටිය එකතු වෙලා ඒක බලන්න යන්නේ නැත්තේ? අපි ඔබට යෝජනාවක් කරන්න කැමතියි. දැන් කාටාසිනා ඒ ගැන ඔබට කියයි.”

ඊළඟට, 15-හැවිරිදි කාටාසිනා උද්‍යෝගයෙන් මෙසේ පැවසීය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් සොස්නොව්යෙට්ස්හි පවත්වන දිස්ත්‍රික් සමුළුවට පැමිණෙන මෙන් අපි ඔබට සාදරයෙන් ඇරයුම් කරනවා. එහිදී යෞවනයන් හා සම්බන්ධ කරුණු සාකච්ඡා කරනවා.” ක්‍රිස්තියානීන් පවත්වන ප්‍රධාන උත්සවය වන යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම ගැනද කාටාසිනා සඳහන් කළාය. ඇය ඇගේ සවන් දෙන්නන්ට මෙසේ දිරිගැන්වූවාය. “ගිය වසරේ ලොව පුරා මිලියන 14කට වඩා වැඩි සංඛ්‍යාවක් ඒ උත්සවයට සහභාගි වුණා. ඊළඟ වතාවේදී ඔබත් අප සමඟ එක් නොවන්නේ මන්ද?”

මාල්විනා, මාටෙයූෂ් සහ කාටාසිනා තම අදහස් ඉදිරිපත් කළ පසු, දේවරාජ්‍යය ප්‍රචාරය කරන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ (සිංහලෙන් නැත) නම් පොතද, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් හා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන වීඩියෝ පට දෙකක්ද ගුරුවරුන්ට පිළිගැන්වූහ. a ස්තුතිපූර්වකව ඒවා පිළිගත් ගුරුවරු ඉතිහාස පංතිවලදී ඒවා යොදාගන්න බවට පොරොන්දු වූහ.

සැසිවාරය අවසානයේදී, රැස්ව සිටි සියල්ලන්ට ඇසෙන සේ 12 හැවිරිදි මාටිනා “යෙහෝවා, අපි ඔබට ස්තුති වෙමු” නමැති ගීතිකාව වාදනය කළාය. මෙම නහඹර සාක්ෂිකරුවෝ ‘දෙවි තුළ නිර්භීත වූ’ අතර කදිම සාක්ෂියක් දැරුවෝය. (1 තෙසලෝනික 2:2) සෑම තැනකම සිටින යෞවන සාක්ෂිකරුවන් සඳහා මොනතරම් විශිෂ්ට ආදර්ශයක්ද!

[පාදසටහන]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිතය.

[26වන පිටුවේ පින්තූරය]

පාසැලේදී කතාව දීමට දවස් කීපයකට පෙර මාල්විනා එය සූදානම් කරමින්

[26වන පිටුවේ පින්තූරය]

කතාව දීම සඳහා කාටාසිනා ශුද්ධ ලියවිලි පද තෝරමින්