Skip to content

පටුනට යන්න

‘බොහෝ ඉවසිලිවන්තකම පැළඳගන්න’

‘බොහෝ ඉවසිලිවන්තකම පැළඳගන්න’

‘බොහෝ ඉවසිලිවන්තකම පැළඳගන්න’

“දයානුකම්පාවේ මුදු මොළොක් ස්නේහයද . . . බොහෝ ඉවසිලිවන්තකමද පැළඳගන්න.”—කොලොස්සි 3:12, NW.

1. බොහෝ ඉවසිලිවන්තකම පිළිබඳ කදිම ආදර්ශයක් විස්තර කරන්න.

 රෙජීස්, නිරිත දිග ප්‍රංශයේ ජීවත් වන සාක්ෂිකරුවෙක්. ඔහු බව්තීස්ම වූයේ 1952දී. ඔහුගේ බිරිඳ අවුරුදු ගණනාවක්ම තමන්ට පුළුවන් උපරිමයෙන් උත්සාහ දැරුවා, යෙහෝවාට ඔහු කරන සේවයට බාධා කරන්න. ඔහු රැස්වීම්වලට යෑම වළක්වන්න ඇය ඔහුගේ වාහනයේ ටයර් සිදුරු කළා. එක් අවස්ථාවක, ඔහු ගෙයින් ගෙට දේශනා සේවයේ යද්දී, ඇය ඔහු පසුපස ගොස් ඔහු ගෙයි වැසියන්හට රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරන විට, ඔහුට අවමන් කරන්ට වුණා. නිතර නිතර තිබූ මේ පීඩා කොතරම් වුවත්, රෙජීස් දිගින් දිගටම බොහෝ ඉවසිලිවන්තකම දැක්වූවා. ඇත්තෙන්ම, රෙජීස් සියලු ක්‍රිස්තියානීන්හට මහඟු ආදර්ශයක්. මන්ද, යෙහෝවාගේ සියලු නමස්කාරකයන් අනුන් සමඟ කටයුතු කිරීමේදී බොහෝ ඉවසිලිවන්තකම විදහාපෑම යෙහෝවා ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා.

2. “බොහෝ ඉවසිලිවන්තකම” යන්නට යොදා ඇති ග්‍රීක් වචනයේ පදගතාර්ථය කුමක්ද? තවද මෙම වචනයෙන් ඇඟවෙන්නේ කුමක්ද?

2 “බොහෝ ඉවසිලිවන්තකම” සඳහා යොදා ඇති ග්‍රීක් වචනයේ පදගතාර්ථය නම්, “ස්වභාවය දිගටම පවත්වාගැනීම” යන්නයි. ඉංග්‍රීසි බසින් පළ වී ඇති නව ලෝක පරිවර්තනයෙහි “බොහෝ ඉවසිලිවන්තකම” යන වචනය, තුන් වතාවක් “ඉවසීම” ලෙසටත්, එක් වතාවක් “ඉවසීම විදහාපෙන්වීම” ලෙසටත් පරිවර්තනය කර තිබෙනවා. “බොහෝ ඉවසිලිවන්තකම” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් සහ ග්‍රීක් වචනයෙහි ඉවසීම, ඉවසා දරාගැනීම සහ කෝපවීමට ප්‍රමාද වීම යන අදහස ඇතුළත්.

3. පළමු සියවසේ ග්‍රීක් ජාතිකයන්ට වඩා වෙනස්ව පළමු සියවසේ ක්‍රිස්තියානීන් බොහෝ ඉවසිලිවන්තකම දෙස බැලුවේ කෙසේද?

3 පළමු සියවසේ ග්‍රීක් ජාතිකයන්, බොහෝ ඉවසිලිවන්තකම ගුණාත්මකබවක් ඇති දෙයක් ලෙස සලකනු ලැබුවේ නැහැ. ස්තෝයික දර්ශනවාදීන් විසින් මෙම වචනය කිසිම විටෙක භාවිතා කරනු ලැබුවේද නැහැ. බයිබල් විශාරද විලියම් බාක්ලේ පවසන පරිදි, බොහෝ ඉවසිලිවන්තකම “යනු ග්‍රීක් සංස්කෘතියේ පැවති ප්‍රතිපත්තිවලට මුළුමනින්ම පටහැනි දෙයක්.” ඇත්තෙන්ම ග්‍රීක්වරුන් “අවමානයක් හෝ අපහාසයක් කිසිම විදිහකින් නොඉවසූ සෙනඟක්” යයිද ඔහු පවසනවා. “ග්‍රීක් සංස්කෘතිය තුළ කෙළින්ම ඉස්සරහට ගොස් පළිගත් මිනිසා තමයි, ලොකුම මිනිසා. නමුත් ක්‍රිස්තියානීන් අතර ලොකුම මිනිසා තමයි, පුළුවන් වුණත් එසේ පළිගැනීම ප්‍රතික්ෂේප කරන තැනැත්තා” යනුවෙන් ඔහු තවදුරටත් පවසනවා. බොහෝ ඉවසිලිවන්තකම ඉතා දුර්වල ගුණාංගයක් හැටියට ග්‍රීක් ජාතිකයන් සැලකුවා වෙන්ට පුළුවන්. නමුත් වෙනත් තත්වයන්හිදී මෙන්ම මෙහිදීද, ‘දෙවිගේ මෝඩකම මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥාවන්තය; දෙවිගේ දුර්වලකම මනුෂ්‍යයන්ට වඩා බලවත්ය.’—1 කොරින්ති 1:25.

බොහෝ ඉවසිලිවන්තකම පිළිබඳ ක්‍රිස්තුස්ගේ ආදර්ශය

4, 5. බොහෝ ඉවසිලිවන්තකම සම්බන්ධයෙන් යේසුස් අප ඉදිරියේ තැබූ පුදුමාකාර ආදර්ශය විස්තර කරන්න.

4 බොහෝ ඉවසිලිවන්ත වීම අතින් යෙහෝවාට පමණක් දෙවෙනි වන කදිම ආදර්ශය තමයි යේසුස් ක්‍රිස්තුස්. පීඩනය යටතේදී යේසුස් පුදුම ලෙස තමාව දමනය කරගැනීමේ හැකියාවක් විදහා පෙන්වූවා. ඔහු ගැන මෙසේ පුරෝකථනය කර තිබුණා: ‘ඔහුට පීඩා කළ විට, ඔහු යටත් වී තමන්ගේ මුඛය නෑර සිටියේය; මරන්ට ගෙනයන බැටළු පැටවෙකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක් මෙන්ද ඔහු තමන් මුඛය නෑර සිටියේය.’ —යෙසායා 53:7.

5 පොළොව මත තම දේවසේවය අතරතුරේදී යේසුස් තැබුවේ බොහෝ ඉවසිලිවන්තකමේ මොනතරම් කැපීපෙනෙන ආදර්ශයක්ද! තම සතුරන්ගේ රැවටිලිකාර ප්‍රශ්න සහ විරුද්ධවාදීන්ගේ අවමන් හමුවේ යේසුස් විඳදරාගත්තා. (මතෙව් 22:15-46; 1 පේතෘස් 2:23) තම ගෝලයන් සමඟ කටයුතු කරද්දී, යේසුස් ඉවසුවා. තමන් අතරේ උතුම්ම තැනැත්තා කවුද කියා ඔවුන් දබර කරද්දීත් ඔහු ඉවසුවා. (මාර්ක් 9:33-37; 10:35-45; ලූක් 22:24-27) ඇරත්, ‘අවදිව සිටින්න’ කියා කී පසුත් පේතෘස් සහ යොහන් නිදි කිරා වැටි වැටී සිටි ඒ රාත්‍රියේ යේසුස්ව පාවා දෙන විට මොනතරම් පුදුමසහගත ලෙස ඔහු තමාවම දමනය කරගත්තාද!—මතෙව් 26:36-41.

6. යේසුස්ගේ බොහෝ ඉවසිලිවන්තකමින් පාවුල් ප්‍රයෝජන ලැබුවේ කෙසේද? තවද අපට මින් ඉගෙනගත හැක්කේ කුමක්ද?

6 තම මරණයෙන් හා නැවත නැඟිටීමෙන් පසුව පවා, යේසුස් දිගින් දිගටම බොහෝ ඉවසිලිවන්තකම පෙන්නුවා. ප්‍රේරිත පාවුල් කලින් ක්‍රිස්තියානීන්ට පීඩා කළ කෙනෙක්. එමනිසාදෝ ඔහු මේ කාරණය ගැන හොඳින් සාවධානව සිටියා. පාවුල් මෙසේ ලීවා: “පව්කාරයන් ගළවන්ට ක්‍රිස්තුස් [යේසුස්] ලෝකයට [ආයේය] යන කීම විශ්වාසවූ සර්ව ප්‍රකාරයෙන් පිළිගත යුතුවූ කීමක්ය; ඔවුන් අතුරෙන් මම ප්‍රධාන පව්කාරයාය. එසේවී නුමුත් මට කරුණාව ලැබුණේ මේ නිසාය. එනම්, සදාකාල ජීවනය ලැබීම සඳහා යේසුස් [ක්‍රිස්තුස්] කෙරෙහි අදහන්ට සිටින අයට ආදර්ශයක් කොට [ඔහු] විසින් ප්‍රධාන පව්කාරයාවූ මා කෙරෙහි [තමන්ගේ] මුළු ඉවසිලිවන්තකම දැක්වීම පිණිසය.” (1 තිමෝති 1:15, 16) අපේ යටගියාව කුමක් වුවත්, අප යේසුස් මත අපගේ ඇදහිල්ල තබනවා නම්, ඔහු අප සමඟත් බොහෝ ඉවසනවා ඇති. එහෙත්, එසේ ඉවසන්නේ අප “පසුතැවිල්ලට සුදුසු ඵල” නිපදවයි යන අපේක්ෂාවෙන්. (ක්‍රියා 26:20NW; රෝම 2:4) සුළු ආසියාවේ සභා සතට යැවූ ලිපිවලින් අපට පෙනී යන දෙයක් නම්, බොහෝ ඉවසන අතරේදී, ඔහු පුද්ගලයන්ගෙන් ආත්මික ප්‍රගතියක් අපේක්ෂා කරන බවයි.—එළිදරව් 2 සහ 3 වන පරිච්ඡේද.

ආත්මයේ ඵලයක්

7. බොහෝ ඉවසිලිවන්තකම සහ ශුද්ධාත්මය අතර ඇති සම්බන්ධය කුමක්ද?

7 ගලාතිවරුන්ට යැවූ තම ලිපියේ 5වන පරිච්ඡේදයේ, මාංසයේ ක්‍රියා සහ ආත්මයේ ඵල අතර වෙනස පාවුල් පැහැදිලි කරනවා. (ගලාති 5:19-23) බොහෝ ඉවසිලිවන්තකම යෙහෝවාගේ ගුණාංගවලින් එකක් නිසා, මෙම ගුණාංගයේ උල්පත ඔහුයි. ඇරත් එය ඔහුගේ ආත්මයේ ඵලයක්. (නික්මයාම 34:6, 7) ඇත්තෙන්ම, ආත්මයේ ඵල ගැන පාවුල් කළ විස්තරය තුළ, “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, . . . කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම-දමනය” අතර බොහෝ ඉවසිලිවන්තකමට ලැබෙන්නේ හතරවෙනි තැනයි. (ගලාති 5:22, 23NW) එමනිසා, දෙවිගේ සේවකයන් දිව්‍ය ඉවසීම හෝ බොහෝ ඉවසිලිවන්තකම පිළිබිඹු කරන්නේ ශුද්ධාත්මයේ බලපෑම යටතේයි.

8. බොහෝ ඉවසිලිවන්තකම ඇතුළු ශුද්ධාත්මයේ ඵල වගා කිරීමට අපට ඉවහල් වන්නේ කුමක්ද?

8 කෙසේවෙතත්, මින් අදහස් කරන්නේ, යෙහෝවා සිය ආත්මය පුද්ගලයෙක් පිට බලෙන් පටවනවා යන්න නොවේ. එහි බලපෑමට අපි කැමැත්තෙන්ම යටත් විය යුතුයි. (2 කොරින්ති 3:17; එපීස 4:30) අපේ ජීවිතවල ආත්මයට ක්‍රියාත්මක වීමට අප ඉඩහරින්නේ අප කරන සියලු දේ තුළ එහි ඵල වගා කිරීමට හැකි වන පරිද්දෙන්. මාංසයේ ක්‍රියා සහ ආත්මයේ ඵල එකිනෙක පිළිවෙළින් විස්තර කිරීමෙන් පසුව, පාවුල් මෙසේද සඳහන් කළා: “අපි [ආත්මය] කරණකොටගෙන ජීවත්වෙමු නම්, [ආත්මය] කරණකොටගෙන හැසිරෙමු. නොරැවටෙන්න; [දෙවිට] සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය. ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; [ආත්මය] සඳහා වපුරන්නා [ආත්මයෙන්] සදාකාල ජීවනය කපාගන්නේය.” (ගලාති 5:25; 6:7, 8) බොහෝ ඉවසිලිවන්තකම වර්ධනය කිරීමෙහිලා අප සාර්ථක වීමට නම්, ශුද්ධාත්මය මගින් ක්‍රිස්තියානීන් තුළ නිපදවිය යුතු අනෙකුත් ඵලද අප වගා කළ යුතුයි.

“ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය”

9. “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය” කියා පාවුල් ක්‍රිස්තියානීන්ට පැවසුවේ කුමක් නිසා විය හැකිද?

9 “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය” කියා පාවුල් පැවසූ විට, ප්‍රේමය සහ බොහෝ ඉවසිලිවන්තකම අතර ඇති විශේෂ සම්බන්ධය ඔහු ගෙනහැර දැක්වූවා. (1 කොරින්ති 13:4) බයිබල් විශාරදයෙකු වන ඇල්බට් බාර්න්ස් කියා සිටින්නේ, කොරින්තියේ ක්‍රිස්තියානි සභාවේ පැවති දබර හා ආරවුල් නිසා පාවුල් මෙම කරුණ අවධාරණය කළ බවයි. (1 කොරින්ති 1:11, 12) බාර්න්ස් මෙසේද ගෙනහැර දක්වනවා: “[බොහෝ ඉවසිලිවන්තකම සඳහා] මෙහි භාවිතා කර තිබෙන වචනය, ඉක්මන් වීමට එනම් කෝපාවිෂ්ට සිතුවිලි හා කතාවට හා කිපීමට මුළුමනින්ම පටහැනිය. පීඩනයට පත් කරනු ලැබූ විට, බොහෝ කුපිත කළ විට මනසින්  ගු කාලීනව දරාගෙන සිටීක් මින් ඇඟවෙයි.” ප්‍රේමය සහ බොහෝ ඉවසිලිවන්තකම ක්‍රිස්තියානි සභාවේ සාමයට බොහෝ සෙයින් දායක වෙයි.

10. (අ) බොහෝ ඉවසිලිවන්තව සිටීමට ප්‍රේමය අපට උපකාරවත් වන්නේ කිනම් අන්දමින්ද? මේ සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් අපට දෙන උපදේශය කුමක්ද? (ආ) දෙවිගේ බොහෝ ඉවසිලිවන්තකම සහ කරුණාව ගැන එක් බයිබල් විශාරදයෙක් පැවසුවේ කුමක්ද? (පාද සටහන බලන්න.)

10 “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය [කරුණාවන්තය, NW], ප්‍රේමය . . . තමාගේම කාරණා සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත.” මෙබැවින්, බොහෝ ඉවසීම සඳහා ප්‍රේමය අපට විවිධ පැතිවලින් උදව් වෙනවා. a (1 කොරින්ති 13:4, 5) එකිනෙකා සමඟ ඉවසීමෙන් කටයුතු කිරීමටත් අසම්පූර්ණ නිසා අප සියලුදෙනා අතින්ම වැරදි සහ අඩු පාඩුකම් සිදු වන බව මතක තබාගැනීමටත් ප්‍රේමය අපට හේතු වෙනවා. අනුන් කෙරෙහි සැලකිලිමත් වීමටත් සමාව දීමටත් එය අපට ඉවහල් වෙනවා. “එබැවින් නුඹලා කැඳවනු ලැබූ කැඳවීමට ඔබිනලෙස, සියලු ආකාර යටහත්කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන්ද හැසිර, එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා, සමාදානයේ බැම්මෙන් [ආත්මයේ] එකමුතුකම පවත්වාගන්ට උත්සාහකරන මෙන්” ප්‍රේරිත පාවුල් අපව දිරිගන්වනවා.—එපීස 4:1-3.

11. ක්‍රිස්තියානි ප්‍රජාව තුළ බොහෝ ඉවසිලිවන්තකම විශේෂයෙන් වැදගත් වන්නේ ඇයි?

11 සභාවන් වේවා, බෙතෙල් නිවාස වේවා, මිෂනාරි නිවෙස් වේවා, ඉදි කිරීමේ කණ්ඩායම් වේවා, පාසැල් වේවා, මේ සියල්ලෙන් සමන්විත වන ක්‍රිස්තියානි ප්‍රජාවේ සාමාජිකයන් දක්වන බොහෝ ඉවසිලිවන්තකම එම ප්‍රජාව තුළ සාමය සහ සන්තෝෂයට දායක වෙනවා. පෞද්ගලිකත්වයන්, රුචි අරුචිකම්, සමාජ පසුබිම්, ආචාර කිරීමේ ක්‍රම, එමෙන්ම සනීපාරක්ෂක පුරුදු සම්බන්ධයෙන් විවිධ වෙනස්කම් පවතින නිසා, කලින් කලට අසීරු තත්වයන් පැනනඟින්නට පුළුවන්. මෙය පවුල්වලටද ඒ හා සමානව බලපාන සත්‍යයක්. මේ නිසා, කෝපවීමට ප්‍රමාද වීම නම් ඉතා වැදගත්. (හිතෝපදේශ 14:29; 15:18; 19:11) බොහෝ ඉවසිලිවන්තකම, ඒ කියන්නේ දේවල් වෙනස් වේය යන බලාපොරොත්තුවෙන් විඳදරාගැනීම ඇත්ත වශයෙන්ම අප සියල්ලන්ගෙන්ම අවශ්‍ය කරවන්නක්. —රෝම 15:1-6.

බොහෝ ඉවසිලිවන්තකම අපට විඳදරාගැනීමට උපකාරවත් වෙයි

12. අසීරු තත්වයන් යටතේදී බොහෝ ඉවසිලිවන්තකම පෙන්වීම වැදගත් වන්නේ ඇයි?

12 කෙළවරක් හෝ කිසිම ඉක්මන් විසඳුමක් නැතැයි කියා පෙනෙන්ට තිබෙන අසීරු තත්වයන් විඳදරාගැනීමට අපට උපකාරවත් වන්නේ බොහෝ ඉවසිලිවන්තකමයි. මෙම ලිපියේ මුලින්ම සඳහන් වූ රෙජීස් සම්බන්ධයෙන් මෙය සැබෑවක් වුණා. ඔහු යෙහෝවාට සේවය කිරීමට ගත් උත්සාහයන්වලට ඔහුගේ බිරිඳ වසර ගණනාවක් පුරා විරුද්ධවාදිකම් පෑවා. කෙසේවෙතත්, එක් දවසක් ඇය ඇස්වල කඳුළු පුරවාගෙන ඔහු වෙතට පැමිණ මෙහෙම කිව්වා: “මං දන්නවා මේක සත්‍යය කියලා. මට උදව් කරන්න. මට බයිබල් පාඩමක් ඕනෑ.” අන්තිමේදී ඇය බව්තීස්ම වී සාක්ෂිකාරියක් බවට පත් වුණා. රෙජීස් මෙහෙම කියනවා: “වසර ගණනාවක් පුරා මා කළ පොරබැදීමට, ඉවසීමට සහ විඳදරාගැනීමට යෙහෝවා ආශීර්වාද කළා කියා මේකෙන් ඔප්පු වෙනවා.” ඔහුගේ බොහෝ ඉවසිලිවන්තකමට ප්‍රතිඵල ලැබුණා.

13. විඳදරාගැනීම සඳහා පාවුල්ට උපකාරවත් වූයේ කුමක්ද? ඔහුගේ ආදර්ශය අපට විඳදරාගැනීමට උපකාරවත් වන්නේ කෙසේද?

13 පොදු යුගයේ පළමු සියවසේ සිටි බොහෝ ඉවසිලිවන්තකමේ තවත් කදිම ආදර්ශයක් තමයි, ප්‍රේරිත පාවුල්. (2 කොරින්ති 6:3-10; 1 තිමෝති 1:16) තම දිවියේ අවසාන භාගයේදී, ඔහු තමාගේ සහයකයා වූ තිමෝතිට උපදෙස් දෙන විට, සියලු ක්‍රිස්තියානීන් අසීරු තත්වයන්ට මුහුණ දෙයි කියා ඔහුට අනතුරු ඇඟෙව්වා. තමාගේම ආදර්ශය ගැන කතා කළ පාවුල්, විඳදරාගැනීමට අත්‍යවශ්‍ය වන මූලික ක්‍රිස්තියානි ගුණාංග කිහිපයක් නිර්දේශ කළා. ඔහු මෙසේ ලීවා: “නුඹ මාගේ ඉගැන්වීමද හැසිරීමද අභිප්‍රායද ඇදහිල්ලද ඉවසිලිවන්තකමද ප්‍රේමයද ක්ෂාන්තියද, අන්තියෝකියේදීත් ඉකෝනියේදීත් ලුස්ත්‍රාවේදීත් මට සිදුවුණාවූ මට පැමුණුණ පීඩාද දුක්විඳීම්ද බලාගත්තෙහිය. එයාකාර පීඩා වින්දෙමි, ඒ සියල්ලෙන්ද [ස්වාමීන්] මා [මිදුවේය]. එසේය, ක්‍රිස්තුස් [යේසුස්] තුළ භක්තිවන්තලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය.” (2 තිමෝති 3:10-12; ක්‍රියා 13:49-51; 14:19-22) විඳදරාගැනීමට නම්, අප සියල්ලන්ටම ඇදහිල්ල, ප්‍රේමය සහ බොහෝ ඉවසිලිවන්තකම අවශ්‍යයි.

බොහෝ ඉවසිලිවන්තකම පැළඳගන්න

14. බොහෝ ඉවසිලිවන්තකම වැනි දිව්‍ය ගුණාංග පාවුල් සමාන කළේ කුමකටද? තවද ඔහු කොලොස්සියේ ක්‍රිස්තියානීන්හට දුන් උපදෙස කුමක්ද?

14 “පරණ පෞද්ගලිකත්වයේ” [NW] ගති ලක්ෂණ පහ කර දැමුවායින් පසු ක්‍රිස්තියානීන් විසින් පැළඳගත යුතු බොහෝ ඉවසිලිවන්තකම හා වෙනත් දිව්‍ය ගුණාංග, ඇඳගත යුතු වස්ත්‍රයකට ප්‍රේරිත පාවුල් සමාන කළා. (කොලොස්සි 3:5-10) ඔහු මෙසේ ලීවා: “එබැවින් [දෙවිගේ] ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද [බොහෝ ඉවසිලිවන්තකමද, NW] පැළඳගෙන, එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; [යෙහෝවා] නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරන්න. මේ සියල්ලට උඩින් ප්‍රේමය නැමති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න.”—කොලොස්සි 3:12-14.

15. ක්‍රිස්තියානීන් බොහෝ ඉවසිලිවන්තකම සහ වෙනත් දිව්‍ය ගුණාංග ‘පැළඳගන්නා’ විට ඇති වන ප්‍රතිඵලය කුමක්ද?

15 සභාවේ සාමාජිකයන් දයානුකම්පාව, කරුණාව, යටහත් මනස, මෘදුකම, බොහෝ ඉවසිලිවන්තකම සහ ප්‍රේමය ‘පැළඳගන්නා විට,’ තමන්ට තිබෙන ගැටලු විසඳාගෙන යෙහෝවාගේ සේවය තුළ එක්සත්ව ඉදිරියට යෑමට හැකි වෙනවා. විශේෂයෙන්ම බොහෝ ඉවසිලිවන්තකම විදහා පෙන්විය යුත්තේ ක්‍රිස්තියානි අවේක්ෂකයනුයි. සෙසු ක්‍රිස්තියානියෙකුට අවවාද කිරීමට ඔවුන්ට ඇතැම් අවස්ථාවලදී සිදු වෙන්ට පුළුවන්. නමුත් මෙය කිරීමට විවිධ ක්‍රම තිබෙනවා. එසේ කිරීමේදී තිබිය යුතු හොඳම ආකල්පය ගැන පාවුල් විස්තර කළේ මෙහෙමයි: “සියලු ආකාර [බොහෝ] ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනා කරන්න.” (2 තිමෝති 4:2) ඔව්, යෙහෝවාගේ බැටළුවන්ට සෑමවිටම සැලකිය යුත්තේ බොහෝ ඉවසීමෙන්, ගෞරවයෙන් සහ මෘදුකමින් යුක්තවයි.—මතෙව් 7:12; 11:28; ක්‍රියා 20:28, 29; රෝම 12:10.

“සියල්ලන් කෙරෙහි බොහෝ ඉවසිලිවන්තකම”

16. අප ‘සියල්ලන් ගැන [බොහෝ] ඉවසිලිවන්තව සිටීම’ නිසා ඇති විය හැක්කේ කිනම් ප්‍රතිඵලද?

16 යෙහෝවා මුළු මිනිස් සංහතිය උදෙසා බොහෝ ඉවසිලිවන්තව ක්‍රියා කොට තිබීමම, ‘සියල්ලන් ගැන [බොහෝ] ඉවසිලිවන්තව සිටීමට’ ප්‍රතිපත්තිමය වගකීමකින් අපව බැඳ තබයි. (1 තෙසලෝනික 5:14) මින් අදහස් කරන්නේ සාක්ෂිකරුවන් නොවන පවුල් සාමාජිකයන්, අසල්වාසීන්, රැකියා ස්ථානයේ එකට වැඩ කරන අය, පංතියේ ළමුන් කෙරෙහි ඉවසීමෙන් කටයුතු කිරීමයි. ඇතැම් අවස්ථාවලදී, තමන් සමඟ එකට රැකියා කරන අයගෙන් හෝ පාසැලේ එකට ඉගෙනගන්නාවූ සිසුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් එල්ල වූ අවමන්සහගත කතා සහ ඍජු විරුද්ධවාදිකම් මැද්දේ වසර ගණනාවක් පුරා විඳදරාගත් සාක්ෂිකරුවන්ට එවන් අගතිසහගත ආකල්පවලින් ඒ අයව මුදවාගැනීමට හැකි වී තිබෙනවා. (කොලොස්සි 4:5, 6) ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවා: “නුඹලා නපුරකරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාගකිරීමේ දවසේදී [දෙවිට] ගෞරවකරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වන්න.” —1 පේතෘස් 2:12.

17. යෙහෝවාගේ ප්‍රේමය සහ බොහෝ ඉවසිලිවන්තකම අනුකරණය කිරීමට අපට හැක්කේ කෙසේද? තවද අප එසේ කළ යුත්තේ මන්ද?

17 යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම නිසා මිලියන ගණනකට ගැළවීම ලැබීමට මඟ පෑදෙනවා. (2 පේතෘස් 3:9, 15) අපි යෙහෝවාගේ ප්‍රේමය සහ බොහෝ ඉවසිලිවන්තකම අනුකරණය කරනවා නම්, අප ඉවසීමෙන් යුතුව දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දිගටම දේශනා කරනවා ඇති; ඒ වගේම ක්‍රිස්තුස්ගේ රාජ්‍යයට යටත් වීමට අන්‍යයන්ට උගන්වනවා ඇති. (මතෙව් 28:18-20; මාර්ක් 13:10) අප දේශනා කිරීම නවත්වනවා නම්, එය හරියට යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම සීමා කිරීමට අපට වුවමනා වී තිබෙනවාක් වගේ. ඒ වගේම එය හරියට යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකමේ නියම අරමුණ වටහාගැනීමට අපි අපොහොසත් වී තිබෙනවා වගේ. මන්ද ජනයාට පසුතැවිලි වීමට ඉඩ කඩ සලස්වන්නේ යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකමයි.—රෝම 2:4.

18. කොලොස්සිවරුන් උදෙසා පාවුල් කළ යාච්ඤාව කුමක්ද?

18 කුඩා ආසියාවේ පිහිටි කොලොස්සි නගරයේ විසූ ක්‍රිස්තියානීන්ට ලියූ පාවුල්ගේ ලිපියේ ඔහු සඳහන් කළේ මෙසේයි: ‘එබැවින් අපිත් ඒ ඇසූ දා පටන් නුඹලා උදෙසා නොකඩවාම යාච්ඤා කරමින්, නුඹලා සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස ඔහුගේ කැමැත්ත දැනගැනීමෙන් පූර්ණ වී, සියලු යහපත් ක්‍රියාවලින් ඵල දරමින්ද, දෙවි [නිවැරදි] දැනගැනීමෙහි වර්ධනය වෙමින්ද, ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමටත් [විඳදරාගැනීමටත්, NW] [බොහෝ ඉවසිලිවන්තකමටත්, NW] ඔහුගේ තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත් වෙමින්ද . . . නුඹලා යෙහෝවාට ඔබින ලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසිරෙන ලෙස ඉල්ලමුව.’ —කොලොස්සි 1:9-12.

19, 20. (අ) යෙහෝවා දිගින් දිගටම බොහෝ ඉවසිලිවන්තකම දැක්වීම පරීක්ෂාවක් ලෙස දැකීමෙන් වැළකීමට අපට හැක්කේ කෙසේද? (ආ) බොහෝ ඉවසිලිවන්තව සිටීමෙන් අපට ලැබෙනු ඇති ප්‍රයෝජන මොනවාද?

19 අප ‘දෙවිගේ කැමැත්ත පිළිබඳ නිවැරදි දැනුමෙන් පිරී’ සිටිනවා නම්, යෙහෝවා දිගින් දිගටම බොහෝ ඉවසීම විදහාපෑම අපට පරීක්ෂණයක් වන්නේ නැහැ. දෙවිගේ කැමැත්ත වන්නේ ‘සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමයි.’ (1 තිමෝති 2:3) අපි “සියලු යහපත් ක්‍රියාවලින් ඵලදරමින්” සිටිනවා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම “රාජ්‍යයේ මේ ශුභාරංචිය” දිගටම දේශනා කරමින් සිටිනවාත් ඇති. (මතෙව් 24:14) අප විශ්වාසවන්තව මේ දෙය දිගටම කරමින් සිටිනවා නම්, “සියලු ආකාර බලයෙන්” ‘ප්‍රීතිය ඇතුව සියලු ආකාර විඳදරාගැනීමටත් බොහෝ ඉවසිලිවන්තකමටත්’ යෙහෝවා අපව පොලඹවයි. අප එසේ කරන විට, ‘යෙහෝවාට ඔබින ලෙස . . . හැසිරෙනු’ ඇති අතර, අප ඔහුව “ප්‍රසන්න” කරන බව දැනීමෙන් ලබන සාමයද තිබේවි.

20 යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකමේ ප්‍රඥාව මුළුමනින්ම ඒත්තුගැනීමට අපට හැකි වේවා! එය අපගේ ගැළවීමටද, එමෙන්ම අපගේ දේශනා සේවයේදී සහ ඉගැන්වීමේදී අපට සවන් දෙන අයගේ ගැළවීමටද හේතු පාදක වෙයි. (1 තිමෝති 4:16) අප විසින් ආත්මයේ ඵල, එනම් ප්‍රේමය, කරුණාවන්තකම, යහපත්කම, මෘදුකම හා ආත්ම දමනය වගා කිරීම ප්‍රීතියෙන් යුතුව බොහෝ ඉවසිලිවන්තව සිටීමට අපට උපකාර වේවි. එමෙන්ම අපගේම පවුලේ සාමාජිකයන් සමඟත් එමෙන්ම සභාව තුළ අපගේම සහෝදර සහෝදරියන් සමඟත් සාමයෙන් ජීවත් වීමට අපට වඩාත් හොඳින් හැකි වේවි. අප සමඟ එකට රැකියා කරන අය සමඟත් අපගේ පාසැලේ සිසු සිසුවියන් හා ගුරුවරුන් සමඟත් ඉවසීමෙන් කටයුතු කිරීමට බොහෝ ඉවසිලිවන්තකම නමැති ගුණාංගය මහෝපකාරි වෙයි. තවද අපගේ බොහෝ ඉවසිලිවන්තකමට අරමුණක් තිබෙනු ඇති. වැරදි කරන්නන්ව ගළවාගැනීමත් බොහෝ ඉවසිලිවන්තකමේ දෙවි වන යෙහෝවාව ගෞරවයට පත් කිරීමත් එහි අරමුණයි.

[පාදසටහන]

a ‘ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය’ යන පාවුල්ගේ ප්‍රකාශය ගැන අදහස් දක්වමින් බයිබල් විශාරද ගෝර්ඩන් ඩී. ෆී මෙසේ ලියනවා: “පාවුල් ඉගැන්වූ දේවධර්මය තුළ මෙයින් [බොහෝ ඉවසිලිවන්තකම සහ කරුණාව], මිනිස් සංහතිය කෙරෙහි වූ දිව්‍යමය ආකල්පයේ දෙපැත්තක් නිරූපණය කරයි. (රෝම 2:4NW) එක අතකට, දෙවිගේ ප්‍රේමනීය ඉවසා දරා සිටීම නිරූපණය වන්නේ, මිනිස් කැරැල්ලේදී ඔහු තම උදහස නොවගුරුවා සිටීමෙන්; අනෙක් අතට, ඔහුගේ කරුණාව දක්නට ලැබෙන්නේ ඔහුගේ දයාව දහසක් වර ප්‍රකාශ කිරීම තුළින්. මෙසේ, දෙවි පිළිබඳ මෙම දෙවැදෑරුම් විස්තරය සමඟින් ප්‍රේමය පිළිබඳ පාවුල්ගේ ප්‍රකාශය ආරම්භ වෙයි. එමෙන්ම දිව්‍ය විනිශ්චය ලැබීමට සුදුස්සන්හට දෙවි ක්‍රිස්තුස් තුළින් මහත් ඉවසීමක් මෙන්ම කරුණාවක් පෙන්වා තිබේ.”

ඔබට පැහැදිලි කළ හැකිද?

• ක්‍රිස්තුස් වනාහි බොහෝ ඉවසිලිවන්තකමේ පුදුමාකාර ආදර්ශයක් වනුයේ කිනම් ආකාරවලින්ද?

• බොහෝ ඉවසිලිවන්තකම වගා කිරීමට අපට උපකාරවත් වනු ඇත්තේ කුමක්ද?

• බොහෝ ඉවසිලිවන්තකම පවුල්වලට, ක්‍රිස්තියානි ප්‍රජාවන්ට සහ වැඩිමහල්ලන්ට උපකාරවත් වන්නේ කෙසේද?

• අපගේ බොහෝ ඉවසිලිවන්තකම අපටත් අනුන්ටත් ප්‍රයෝජනදායක වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

මහත් පීඩනයක් යටතේ පවා, යේසුස් සිය ගෝලයන් සමඟ ඉවසීමෙන් කටයුතු කළා

[16වන පිටුවේ පින්තූරය]

තම සහෝදරයන් සමඟ බොහෝ ඉවසිලිවන්තව කටයුතු කිරීමෙන් කදිම ආදර්ශයක් තබන ලෙස ක්‍රිස්තියානි අවේක්ෂකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටිනවා

[17වන පිටුවේ පින්තූරය]

අප යෙහෝවාගේ ප්‍රේමය සහ බොහෝ ඉවසිලිවන්තකම අනුකරණය කරනවා නම්, අප දිගටම ශුභාරංචිය දේශනා කරනවා ඇති

[18වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානීන් ‘ප්‍රීතියෙන් යුතුව බොහෝ ඉවසිලිවන්තකම පෙන්වාවි’ යයි පාවුල් යාච්ඤා කළා