Skip to content

පටුනට යන්න

යෙහෝවා බොහෝ ඉවසිලිවන්ත දෙවිකෙනෙකි

යෙහෝවා බොහෝ ඉවසිලිවන්ත දෙවිකෙනෙකි

යෙහෝවා බොහෝ ඉවසිලිවන්ත දෙවිකෙනෙකි

“[යෙහෝවා], අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය.”—නික්මයාම 34:6.

1, 2. (අ) යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකමින් ප්‍රයෝජන ලැබුවේ අතීතයේ විසූ කවුරුන්ද? (ආ) “බොහෝ ඉවසිලිවන්තකම” යන වදනින් අදහස් කරන්නේ කුමක්ද?

 නෝවාගේ දවස්වල විසූ මිනිසුන්, මෝසෙස් සමඟ පාළුකරයේ මහත් වෙහෙසක් දරා ගමන්ගත් ඉශ්‍රායෙලිතයන්, යේසුස් පොළොව මත විසූ කාලයේ ජීවත්ව සිටි යුදෙව්වන්—මේ හැම කෙනෙක්ම ජීවත් වුණේ විවිධ තත්වයන් යටතේයි. එහෙත් මේ සියල්ලන්ම යෙහෝවාගේ ඉතා ප්‍රේමනීය ගුණාංගයකින් ඉමහත් ප්‍රයෝජන ලැබුවා. එම ගුණාංගය තමයි බොහෝ ඉවසිලිවන්තකම. එය ඇතමුන්ට ඔවුන්ගේ දිවි රැකගැනීමට හේතු වුණා. තවද යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම අපගේ ජීවිත සුරැකීමටද මහත් සේ හේතු වෙයි.

2 බොහෝ ඉවසිලිවන්තකම යනු කුමක්ද? යෙහෝවා එය පෙන්වන්නේ කොයි අවස්ථාවලදීද? ඒ ඇයි? “බොහෝ ඉවසිලිවන්තකම” යන වචනය නිර්වචනය කර තිබෙන්නේ, “වැරදි දේ හෝ කෝපය අබියස ඉවසිලිවන්තව විඳදරාගැනීමයි. කැඩී බිඳී ගිය සම්බන්ධතා යළි දියුණු කරගැනීමට ඇති බලාපොරොත්තු අත් නොහැරීම යන අදහසද ඊට සම්බන්ධයි.” මේ අනුව, මෙම ගුණාංගයට යම් අරමුණක් තිබෙනවා. ඒ තමයි, එකඟ විය නොහැකි තත්වයක් ඇති කළ තැනැත්තාගේ සුභසාධනය ගැන විශේෂයෙන් සැලකිලිමත් වීම. කෙසේවෙතත්, බොහෝ ඉවසිලිවන්තකම යනුවෙන් අදහස් කරන්නේ වරදක් සුළු කොට තැකීම නම් නොවේ. බොහෝ ඉවසිලිවන්තකමේ අරමුණ ඉටු වන විට, නැතහොත් තත්වය හමුවේ තවදුරටත් ඉවසා සිටීමේ කිසිම ප්‍රයෝජනයක් නැති විට, බොහෝ ඉවසිලිවන්තකම නිමා වෙනවා.

3. යෙහෝවා දක්වන බොහෝ ඉවසිලිවන්තකමේ අරමුණ කුමක්ද? තවද එහි සීමාව කුමක්ද?

3 මිනිසුන් තුළත් බොහෝ ඉවසිලිවන්තකම තිබිය හැකි නමුත්, මෙම ගුණාංගයේ උත්කෘෂ්ට ආදර්ශය තමයි, යෙහෝවා. යෙහෝවා සහ සිය මිනිස් මැවිල්ල අතර තිබූ සම්බන්ධය පාපය නිසා පලුදු වූ දා පටන්, අපගේ මැවුම්කරු ඉවසීමෙන් විඳදරාගෙන ඇති අතර, පසුතැවිලි වෙන මිනිසුන්ට යළිත් තමන් සමඟ තිබූ සම්බන්ධය වැඩි දියුණු කරගැනීම සඳහා මඟ සලසා දී තිබෙනවා. (2 පේතෘස් 3:9; 1 යොහන් 4:10) එහෙත් බොහෝ ඉවසිලිවන්තකමේ අරමුණ ඉටු වූ කල, වත්මන් දුෂ්ට ක්‍රමය නිමාවකට ගෙන එමින් හිතාමතා වැරදිකරන්නන්ට එරෙහිව දෙවි ක්‍රියාත්මක වනවා ඇති.—2 පේතෘස් 3:7.

දෙවිගේ ප්‍රධාන ගුණාංග සමඟ එකඟය

4. (අ) හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල බොහෝ ඉවසිලිවන්තකම විස්තර කොට තිබෙන්නේ කෙසේද? (පාද සටහනත් බලන්න.) (ආ) ප්‍රොපේත නාහුම් යෙහෝවාව විස්තර කොට තිබෙන්නේ කෙසේද? තවද යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම ගැන මින් හෙළි වන්නේ කුමක්ද?

4 බොහෝ ඉවසිලිවන්තකම පිළිබඳ සංකල්පය හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල හෙබ්‍රෙව් වචන දෙකකින් විස්තර කොට තිබෙනවා. පදගතාර්ථයෙන් ඉන් අදහස් වන්නේ, “නාස් කුහරවල දිග” යන්නයි. නව ලෝක පරිවර්තනයෙහි (සිංහලෙන් නොමැත) එය පරිවර්තනය කර තිබෙන්නේ, “කෝපවීමට ප්‍රමාද වීම” කියායි. a දෙවිගේ බොහෝ ඉවසිලිවන්තකම ගැන කතා කරමින්, ප්‍රොපේත නාහුම් පැවසුවේ මෙසේයි: ‘යෙහෝවා ඉවසිලිවන්තව බලයෙන් මහත්ව සිටින්නේය. වරදකාරයන් කොයි ප්‍රකාරයකින්වත් නිදොස් නොකරන්නේය.’ (නාහුම් 1:3) මෙබැවින්, යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම දුර්වලකමේ ලක්ෂණයක් නොවේ. එසේම එයට සීමා නැතුවාද නොවේ. සර්වබලධාරි දෙවි කෝපවීමට ප්‍රමාද වන්නා සේම බලයෙන් මහත්ව සිටීය යන කාරණයෙන් පෙනී යන්නේ, ඔහු ඉවසා දරා සිටින්නේ අරමුණක් ඇතුව බවයි. දඬුවම් කිරීමේ අධිකාරය ඔහු සතුයි. නමුත් සැණෙකින් එසේ කිරීමෙන් ඔහු වැළකී සිටී. ඒ, වැරදිකාරයාට වෙනස් වීමට ප්‍රස්තාවක් දීම සඳහායි. (එසකියෙල් 18:31, 32) එබැවින්, යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම වනාහි ඔහුගේ ප්‍රේමයේ ලක්ෂණයක්. තවද සිය බලය යොදාගැනීමෙහිදී ඔහුගේ ප්‍රඥාවත් මැනවින් පිළිබිඹු වෙනවා.

5. යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම ඔහුගේ යුක්තිය සමඟ සමගාමීව දිව යනවා කියා කිව හැක්කේ කෙසේද?

5 යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම, ඔහුගේ යුක්තිය සහ ධර්මිෂ්ඨකම සමඟද සමගාමීව දිවයයි. ඔහු මෝසෙස්හට තමා “අනුකම්පාවෙන් පූර්ණවූ, දයාවන්තවූ, උදහස්වීමට ප්‍රමාදවන්නාවූ [“බොහෝ ඉවසිලිවන්තකම ඇත්තාවූ,” කිං ජේම්ස් වර්ෂන්] අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය” කියා පෙන්වූවා. (නික්මයාම 34:6) වසර ගණනාවකට පසු, මෝසෙස් යෙහෝවාට ප්‍රශංසා ගීතයක් ගායනා කළේ මෙසේයි. ‘ඔහුගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය [යුක්තිසහගතය, NW]. ඔහු විශ්වාස වූ අයුතුකමෙන් තොර වූ දෙවිකෙනෙකි. ඔහු වනාහි ධර්මිෂ්ඨය, අවංකය.’ (ද්විතීය කථාව 32:4) ඔව්, යෙහෝවාගේ දයාව, බොහෝ ඉවසිලිවන්තකම, යුක්තිය සහ අවංකකම යන ගුණාංග සියල්ලම එකිනෙක හා බැඳී ක්‍රියාත්මක වෙනවා.

ජලගැල්මට පෙර යෙහෝවා පෙන්වූ බොහෝ ඉවසිලිවන්තකම

6. ආදම් සහ ඒවගෙන් පැවතෙන්නන් කෙරෙහි යෙහෝවා විදහාපෙන්වා ඇති බොහෝ ඉවසිලිවන්තකමේ කැපීපෙනෙන සාක්ෂිය කුමක්ද?

6 ඒදන් උයනේදී ආදම් සහ ඒව කැරලිගැසීම නිසා තම ප්‍රේමනීය මැවුම්කරුවාණන් වන යෙහෝවා සමඟ ඔවුන්ට තිබූ වටිනා සම්බන්ධය කැඩී බිඳී ගියා. (උත්පත්ති 3:8-13, 23, 24) දෙවිගෙන් මෙසේ ඈත්වීම ඔවුන්ගේ දරුවන්ටද බලපෑවා. ඒ වගේම ඔවුන්ට පාපය, අසම්පූර්ණකම සහ මරණයද උරුම වුණා. (රෝම 5:17-19) පළමු මිනිස් යුවළ හිතාමතා පව්කරන්නන් වුවත්, දරුවන් බිහි කිරීමට යෙහෝවා ඔවුන්ට ඉඩහැරියා. පසුව, ආදම් සහ ඒවගෙන් පැවතෙන්නන්ට තමන් සමඟ සමඟි වීමට යෙහෝවා ප්‍රේමනීය ලෙස යම් විධිවිධානයක් යෙදුවා. (යොහන් 3:16, 36) ප්‍රේරිත පාවුල් මෙසේ පැහැදිලි කළා: ‘දෙවි අප කෙරෙහි ඇති තමන්ගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් මරණය විඳීමෙන්ය. එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස්ගේ ලේ කරණකොටගෙන ධර්මිෂ්ඨ කරනු ලැබූ අපි ඔහු කරණකොටගෙන දෙවිගේ උදහසෙන් ගළවනු ලබන්නෙමුව. මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවිගේ පුත්‍රයාණන්ගේ මරණය කරණකොටගෙන ඔහු සමඟ අපි සමඟි කරනු ලැබුවෙමු නම්, සමඟි වුණාවූ අපි ඊටත් වඩා ඔහුගේ ජීවනය කරණකොටගෙන ගළවනු ලබන්නෙමුව.’—රෝම 5:8-10.

7. ජලගැල්මට පෙර යෙහෝවා බොහෝ ඉවසිලිවන්තකම පෙන්වූයේ කෙසේද? එමෙන්ම ජලගැල්මට පෙර විසූ පරම්පරාවේ විනාශය යුක්තිසහගත වූයේ මන්ද?

7 යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම නෝවාගේ දවස්වලදී දක්නට තිබුණා. ජලගැල්මට සියවසකට පමණ පෙර, ‘දෙවි පොළොව දෙස බැලුවේය. බලව, එය දූෂ්‍යව තිබුණාය. මක්නිසාද මාංසමය වූ සියල්ලෝ පොළොවෙහි තමන්ගේ මාර්ග දූෂ්‍ය කරගෙන සිටියෝය.’ (උත්පත්ති 6:12) එහෙත්, යෙහෝවා යම් සීමිත කාලපරිච්ඡේදයකට මිනිස් සංහතිය කෙරෙහි බොහෝ ඉවසිලිවන්තව කටයුතු කළා. ඔහු මෙසේ පැවසුවා: “මාගේ ආත්මය මනුෂ්‍යයා හා සමඟ සදාකල්ම විවාද නොකරන්නේය. මක්නිසාද ඔහුත් මාංසයය, එසේවී නුමුත් ඔහුගේ කාලය එකසිය විසි අවුරුද්දක් වන්නේය.” (උත්පත්ති 6:3) එම වසර 120 තුළදී පවුලක් බිහි කිරීමටද, දෙවිගේ ආඥාව සැලවූ වහාම නැවක් සෑදීමට හා තමන්ගේ කාලයේ විසූ අයට අනතුරු ඇඟවීමටද නෝවාට හැකි වුණා. ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවා: ‘නෝවාගේ දවස්වලදී, නැව සාදන අතර, දෙවි ඉවසිල්ලෙන් [බොහෝ ඉවසිලිවන්තකම හා බැඳි ගුණාංගයක්] බලා සිටියේය. . . . ඒ නැවට ස්වල්පදෙනෙක් එනම් අටදෙනෙක් ඇතුල් වී වතුරෙන් ගැළවුණෝය.’ (1 පේතෘස් 3:20) නෝවාගේ පවුලට අයත් නොවූවන්, ඔහුගේ දේශනා කිරීම “ගණනකට නොගත්” බව සැබෑය. (මතෙව් 24:38, 39NW) එහෙත්, නෝවා නැව සාදන අතරතුර සමහරවිට දශක ගණනාවක් පුරා “ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්” හැටියට දේශනා කළා. මේ තුළින් යෙහෝවා නෝවාගේ කාලයේ විසූ මිනිසුන්ට තම ප්‍රචණ්ඩකාරි මාර්ග ගැන පසුතැවිලි වී ඒවායින් හැරී ඔහුට සේවය කිරීමට ඇති තරම් ප්‍රස්තාවන් සලසා දුන්නා. (2 පේතෘස් 2:5; හෙබ්‍රෙව් 11:7) අවසානයේ එම දුෂ්ට පරම්පරාව විනාශ කිරීම මුළුමනින්ම යුක්තිසහගත වුණා.

ඉශ්‍රායෙල් ජනතාවට දැක්වූ බොහෝ ඉවසිලිවන්තකමේ ආදර්ශය

8. ඉශ්‍රායෙල් ජාතිය කෙරෙහි යෙහෝවා බොහෝ ඉවසිලිවන්තකම පෙන්වූයේ කෙසේද?

8 යෙහෝවා ඉශ්‍රායෙල් ජනතාව කෙරෙහි දැක්වූ බොහෝ ඉවසිලිවන්තකම වසර 120කටත් වඩා දිව ගියා. දෙවිගේ තෝරාගත් ජනතාව ලෙස, වසර 1,500කට වඩා වැඩි කලක් පුරාම ඔවුන් දෙවිගේ බොහෝ ඉවසිලිවන්තකම එහි උපරිම සීමාවටම පරීක්ෂා නොකළේ සන්සන්දනාත්මකව ගත් කල ඉතාමත් ස්වල්ප කාලපරිච්ඡේදයන් කිහිපයකදී පමණයි. මිසරයෙන් ප්‍රාතිහාර්යමය ලෙස ගැළවී ඇවිත් ගත වූයේ සති කිහිපයක් පමණයි, රූප නමස්කාරයට ඇදී ගිය ඔවුන් තමන්ගේ ගැළවුම්කරු කෙරෙහි ඉමහත් අගෞරවයක් පෙන්වූවා. (නික්මයාම 32:4; ගීතාවලිය 106:21, 22) ඉන්පසු ගත වූ දශක කිහිපය තුළ, වනාන්තරයේදී යෙහෝවා ආශ්චර්යවත් ලෙස සැපයූ ආහාර ගැන චෝදනා නැඟූ ඉශ්‍රායෙලිතයන්, මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධව මැසිවිලි කීවා, මිථ්‍යාදෘෂ්ටිකයන් සමඟ වේශ්‍යාකම් කළා, ඒ වගේම බාල් වන්දනාවේ පවා නිරත වුණා. (ගණන් කථාව 11:4-6; 14:2-4; 21:5; 25:1-3; 1 කොරින්ති 10:6-11) යෙහෝවාට සිය ජනයාව විනාශ කරන්ට පුළුවන්කම තිබුණා. එසේ කළත් එය යුක්තිසහගතයි. නමුත් ඒ වෙනුවට ඔහු ඔවුන් සමඟ බොහෝ ඉවසිලිවන්තව කටයුතු කළා.—ගණන් කථාව 14:11-21.

9. විනිශ්චයකරුවන්ගේ සහ රජවරුන්ගේ කාලවලදී යෙහෝවා තමන් වනාහි බොහෝ ඉවසිලිවන්තකමේ දෙවිකෙනෙකු බව ඔප්පු කළේ කෙසේද?

9 විනිශ්චයකරුවන්ගේ කාලයේදී, ඉශ්‍රායෙලිතයන් විටින් විට රූප නමස්කාරයට වැටුණා. ඔවුන් එසේ රූප වන්දනාවට ඇදී ගිය විට, යෙහෝවා ඔවුන්ව සතුරන්ට හසුවීමට ඉඩහැරියා. එහෙත් පසුතැවිලි වී උපකාරය පතා තමාට මොරගසන විට, බොහෝ ඉවසිලිවන්තකම දැක්වූ ඔහු, ඔවුන්ව ගළවාගැනීම සඳහා විනිශ්චයකරුවන්ව නැඟිටෙව්වා. (විනිශ්චයකාරයන් 2:17, 18) රාජාණ්ඩු ක්‍රමය පැවති සමය අතරතුරේදී, යෙහෝවාහට තනි භක්තිය පිරිනැමුවේ රජවරුන් කිහිපදෙනෙකු පමණයි. විශ්වාසවන්ත රජවරුන්ගේ කාලයේදී පවා, ජනයා බොහෝවිට සැබෑ නමස්කාරය බොරු නමස්කාරය සමඟ මිශ්‍ර කළා. නොඇදහිලිවන්තභාවයට එරෙහිව අනතුරු ඇඟවීමට යෙහෝවා ප්‍රොපේතවරුන්ව නැඟිටෙවූ අවස්ථාවේ, සාමාන්‍යයෙන් ජනයා වඩාත් කැමති වුණේ දූෂිත පූජකයන්ට හා බොරු ප්‍රොපේතවරුන්ට සවන් දෙන්ටයි. (යෙරෙමියා 5:31; 25:4-7) ඇත්ත වශයෙන්ම, ඉශ්‍රායෙලිතයන් යෙහෝවාගේ ඇදහිලිවන්ත ප්‍රොපේතවරුන්ට පීඩා කළා පමණක් නොව ඔවුන්ගෙන් ඇතමෙකුව මරුමුවට පවා පත් කළා. (2 ලේකම් 24:20, 21; ක්‍රියා 7:51, 52) ඒ කුමක් වුවත්, යෙහෝවා දිගටම ඔවුන්හට බොහෝ ඉවසිලිවන්තකම විදහාපෙන්වූවා.—2 ලේකම් 36:15.

කිසිදා පහව නොයන යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම

10. යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම එක්තරා සීමාවකට ආවේ කවදාද?

10 කෙසේවෙතත්, ඉතිහාසයෙන් පෙන්වන්නේ දෙවිගේ බොහෝ ඉවසිලිවන්තකමට සීමාවක් තිබෙන බවකි. පොදු යුගයට පෙර 740දී, ගෝත්‍ර දසයේ ඉශ්‍රායෙල් රාජ්‍යය පෙරළා දමා එහි වැසියන්ව වහල්භාවයට ගෙනයෑමට අෂූරියන්හට ඔහු ඉඩහැරියා. (2 රාජාවලිය 17:5, 6) ඊළඟ සියවසේ අවසාන භාගයේදී, ගෝත්‍ර දෙකේ යූදා රාජ්‍යය ආක්‍රමණය කිරීමට බබිලෝනියයන්හට ඉඩහළ ඔහු, යෙරුසලමේ දේවමාළිගාව සමඟ එය විනාශ වීමටද ඉඩ දුන්නා.—2 ලේකම් 36:16-19.

11. විනිශ්චය ගෙනෙන විට පවා යෙහෝවා බොහෝ ඉවසිලිවන්තකම විදහාපෑවේ කෙසේද?

11 කෙසේවෙතත්, ඉශ්‍රායෙල් සහ යූදාට එරෙහිව විනිශ්චය ක්‍රියාත්මක කළත්, බොහෝ සෙයින් ඉවසිලිවන්තව සිටීමට යෙහෝවා අමතක කළේ නැහැ. තම ප්‍රොපේත යෙරෙමියා මගින්, යෙහෝවා සිය සෙනඟගේ නැවත පිහිටුවීම ගැන මෙසේ පුරෝකථනය කළා. “බබිලෝනියේ අවුරුදු සැත්තෑවක් සම්පූර්ණවූ කල්හි මම නුඹලා දෙස බලා නැවත මේ ස්ථානයට නුඹලා පැමිණවීමෙන් නුඹලා ගැන මාගේ යහපත් වචනය ඉෂ්ටකරන්නෙමි. . . . මම නුඹලාට සම්බවන්නෙමි. . . . මම නුඹලාගේ වාල්කම පහකොට, සියලු ජාතීන් අතරෙන්ද මා නුඹලා පන්නාදැමූ සියලු තැන්වලින්ද නුඹලා එකතුකොට, මා විසින් නුඹලා යම් ස්ථානයකින් ගෙන ගියාද ඒ ස්ථානයට නුඹලා නැවත ගෙනෙන්නෙමි.”—යෙරෙමියා 29:10, 14.

12. යුදෙව්වන්ගෙන් ඉතිරි කොටසක් යූදා දේශය කරා ආපසු හැරී ඒම, මෙසියස්ගේ පැමිණීම හා සම්බන්ධ දේව මඟ පෙන්වීමක් වූයේ කෙසේද?

12 ඇත්ත වශයෙන්ම, වහල්භාවයේ සිටි යුදෙව්වන්ගෙන් ඉතිරි කොටසක් යූදා දේශයට යළි පැමිණ, නැවත ඉදි කරන ලද යෙරුසලමේ දේවමාළිගාවේ යෙහෝවාගේ නමස්කාරය යළිත් ආරම්භ කළා. යෙහෝවාගේ අරමුණ ඉටුවීම තුළ, මෙම ඉතිරි කොටස ‘යෙහෝවාගෙන් පැමිණෙන පිනි මෙන්’ වූ අතර, ඔවුන් ප්‍රබෝධය සහ සෞභාග්‍යය ගෙන ආවා. ඔවුන් “කැලෑවේ මෘගයන් අතරෙහි සිටින සිංහයෙකු මෙන්” ධෛර්යසම්පන්නවත් ශක්තිමත්වත් සිටිනු ඇති. (මීකා 5:7, 8) දෙවන වරට සඳහන් වූ ප්‍රකාශය මකබිවරුන්ගේ කාලයේදී ඉෂ්ට වූවා විය හැකියි. මකබිවරුන්ගේ පවුල යටතේ විසූ යුදෙව්වන්, පොරොන්දු දේශයෙන් තම සතුරන් පලවාහැර, දූෂිත වී තිබූ දේවමාළිගාව යළි කැප කළා. මෙසේ, දේශය සහ දේවමාළිගාව ආරක්ෂා වුණා. මේ නිසා, මෙසියස් පොළොව මත පෙනී සිටින විට, දෙවිගේ පුත්‍රයාව පිළිගැනීමට ඇදහිලිවන්ත ඉතිරි කොටසක් සිටියේය.—දානියෙල් 9:25; ලූක් 1:13-17, 67-79; 3:15, 21, 22.

13. යුදෙව්වන් සිය පුත්‍රයාව සිඳදැමුවායින් පසුව පවා යෙහෝවා දිගටම බොහෝ ඉවසිලිවන්තව ක්‍රියා කළේ කෙසේද?

13 යුදෙව්වන් සිය පුත්‍රයාව සිඳදැමුවායින් පසුව පවා, යෙහෝවා තවත් වසර තුනහමාරක් මුළුල්ලේ ඔවුන් හා බොහෝ ඉවසිලිවන්තව ක්‍රියා කළා. එනයින් ඔවුන්හට පමණක් ආබ්‍රහම්ගේ ආත්මික වංශයේ ඉතිරි කොටස බවට පත්වීමට සුවිශේෂ ප්‍රස්තාවක් දානය කෙරුණා. (දානියෙල් 9:27) b පොදු යුගයේ 36ට පෙර සහ පසුව, යුදෙව්වන්ගෙන් ඇතමෙක් මෙම ආරාධනාව පිළිගත්තා. මෙසේ, පසුව පාවුල් පැවසූ පරිදි, “මේ කාලයේදීත් අනුග්‍රහයේ [මහත් කරුණාවේ, NW] තෝරාගැනීමේ ප්‍රකාරයට ඉතිරිවූ කොටසක් සිටියි.”—රෝම 11:5.

14. (අ) පොදු යුගයේ 36දී, ආබ්‍රහම්ගේ ආත්මික වංශයේ කොටසක් වීමේ වරප්‍රසාදය ලබාගැනීමේ හැකියාව සලසා තිබුණේ කාටද? (ආ) යෙහෝවා ආත්මික ඉශ්‍රායෙලයේ සාමාජිකයන්ව තෝරාගන්නා අන්දම ගැන පාවුල් අදහස් පළ කළේ කෙසේද?

14 පොදු යුගයේ 36දී, ආබ්‍රහම්ගේ ආත්මික වංශයේ කොටස්කරුවන් වීමේ වරප්‍රසාදය පළමු වතාවට ලබාගැනීමේ හැකියාව දැන් සලසා තිබුණේ යුදෙව්වන්වත් යුදෙව් ආගමට හරවාගත් අයවත් නොවන පිරිසකටයි. එසේම මීට ප්‍රතිචාරය දැක්වූ ඕනෑම කෙනෙකු යෙහෝවාගේ මහත් කරුණාවට සහ බොහෝ ඉවසිලිවන්තකමට පාත්‍ර වුණා. (ගලාති 3:26-29; එපීස 2:4-7) යෙහෝවාගේ දයානුකම්පිත බොහෝ ඉවසිලිවන්තකම පිටුපස අතිමහත් ප්‍රඥාවක් සහ අරමුණක් තිබුණා. ඒ තුළින් ඔහු ආත්මික ඉශ්‍රායෙල් සම්පූර්ණ කිරීමට කැඳවනු ලැබූවන් තෝරාගත්තා. මේ ගැන පාවුල් මහත් හඬින් මෙසේ පැවසුවා. ‘අහෝ, දෙවිගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! ඔහුගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් ඔහුගේ මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද!’—රෝම 11:25, 26, 33; ගලාති 6:15, 16.

සිය නාමය උදෙසා බොහෝ ඉවසිලිවන්තකම

15. දෙවිගේ බොහෝ ඉවසිලිවන්තකමට ප්‍රධානතම හේතුව කුමක්ද? තවද නිරාකරණය කිරීමට තිබෙන ප්‍රශ්නය කුමක්ද?

15 යෙහෝවා බොහෝ ඉවසිලිවන්තකම පෙන්වන්නේ මන්ද? මූලික වශයෙන් ඔහුගේ නම මහිමයට පත් කරනු පිණිසත් ඔහුගේ පරමාධිපත්‍යය තහවුරු කරනු පිණිසත්ය. (1 සාමුවෙල් 12:20-22) යෙහෝවා සිය පරමාධිපත්‍යය හසුරුවන ආකාරයේ හරි වැරැද්ද පිළිබඳ සාතන් පැනනැඟූ ප්‍රශ්නය මුළු මැවිල්ල ඉදිරියේ නිරාකරණය කිරීමට යෙහෝවාට කාලය අවශ්‍ය වුණා. (යෝබ් 1:9-11; 42:2, 5, 6) මීට එකඟව, සිය ජනයා මිසරයේ පීඩා විඳිමින් සිටි අවස්ථාවේදී, යෙහෝවා ඵාරාවෝට පැවසුවේ මෙසේයි: “සැබවින් මා විසින් නුඹ ආරක්ෂාකළේ නුඹට මාගේ බලය පෙන්වන පිණිසත් මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවෙන පිණිසත්ය.”—නික්මයාම 9:16.

16. (අ) යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම සිය නාමය සඳහා සෙනඟක් ඇති කරගැනීමට හේතු වූයේ කෙසේද? (ආ) යෙහෝවාගේ නාමය විශුද්ධ වන්නෙත් ඔහුගේ පරමාධිපත්‍යය තහවුරු වන්නෙත් කෙසේද?

16 දෙවිගේ ශුද්ධ නාමය ගෞරවයට පත් කිරීමෙහිලා ඔහු දක්වන බොහෝ ඉවසිලිවන්තකම තුළ ඉටු වන භූමිකාව ගැන පාවුල් පැහැදිලි කළ අවස්ථාවේදී, යෙහෝවා විසින් ඵාරාවෝට කී දේ පාවුල් උපුටා දැක්වූවා. අනතුරුව ඔහු මෙසේ ලීවා: “[දෙවි] තමන්ගේ උදහස පෙන්වන්ටත් තමන්ගේ බලය ප්‍රකාශකරන්ටත් කැමතිව, විනාශයට සූදානම්කරනලද උදහසේ භාජන ගැන බොහෝ ක්ෂාන්තියෙන් ඉවසා, මහිමය පිණිස පූර්වයෙන් [තමන්] විසින් සූදානම් කරනලද දයාවේ භාජනවූ, යුදෙව්වරුන්ගෙන් පමණක් නොව අන්‍යජාතීන්ගෙන්ද කැඳවනලද අප කෙරෙහි, [තමන්ගේ] මහිමයේ සම්පත ප්‍රකාශකරන්ට [කැමති වූයේ] නම් කිමෙක්ද? එසේම [ඔහු] හොෂෙයාගේ පොතෙහි: මාගේ සෙනගව නොසිටියවුන්ට මාගේ සෙනඟය කියා . . . කියන්නෙමියි [කීවේය].” (රෝම 9:17, 22-25) යෙහෝවා බොහෝ ඉවසිලිවන්ත වූ හෙයින්, ‘තමන්ගේ නාමයට අන්‍යජාතීන්ගෙන් සෙනඟක් ගැනීමට’ ඔහුට හැකි විය. (ක්‍රියා 15:14) තම නායකයා වන යේසුස් ක්‍රිස්තුස් යටතේ, මෙම “ශුද්ධවන්තයන්” එම රාජ්‍යයේ උරුමක්කාරයන් වෙයි. යෙහෝවා සිය මහත් නාමය විශුද්ධ කරන්නෙත් තම පරමාධිපත්‍යය තහවුරු කරන්නෙත් මෙම රාජ්‍යයෙනුයි.—දානියෙල් 2:44; 7:13, 14, 27; එළිදරව් 4:9-11; 5:9, 10.

යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම ගැළවීමට මඟ පාදයි

17, 18. (අ) යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම ගැන අපි නොදැනුවත්වම විවේචනය කරනවා විය හැක්කේ කෙසේද? (ආ) යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම දෙස බැලීමට අපට දිරිගන්වා ඇත්තේ කෙසේද?

17 මූලාරම්භයේදී මිනිස් සංහතිය පාපයට වැටීමේ පටන් අද දක්වා යෙහෝවා තමන් බොහෝ ඉවසිලිවන්ත දෙවිකෙනෙකු බවට ඔප්පු කර තිබෙනවා. ජලගැල්මට පෙර ඔහු දැක්වූ බොහෝ ඉවසිලිවන්තකම සහ අනතුරු ඇඟවීමට ඉඩහළ කාලය නිසා ගැළවීමට මඟක් පෑදුණා. එහෙත් ඔහුගේ ඉවසීමේ සීමාව නිමාවකට පැමිණියා. ජලගැල්ම ආවා. ඒ හා සමානව, අදදිනත් යෙහෝවා ඉමහත් ඉවසිලිවන්තකමක් පෙන්වනවා. ඔහුගේ බොහෝ ඉවසිලිවන්තකම සමහරුන් බලාපොරොත්තු වුණාටත් වඩා දිගු කලකට විහිදී තිබෙනවා. කෙසේවෙතත්, බලාපොරොත්තු අත්හැරීමට කිසිම හේතුවක් නැහැ. එය හරියට දෙවි බොහෝ ඉවසිලිවන්තව සිටීම ගැන කරන විවේචනයක් වගේ. පාවුල් මෙසේ ඇසුවා: ‘නොහොත් නුඹ පසුතැවිල්ලට පමුණුවන පිණිස දෙවිගේ යහපත්කම පවතින බව නොදැන, ඔහුගේ යහපත්කමේද ක්ෂාන්තියේද ඉවසීමේද [බොහෝ ඉවසිලිවන්තකමේද, NW] බහුලත්වය සුළු කොට සිතනවාද?’—රෝම 2:4.

18 අපට දෙවිගෙන් ගැළවීම අත් වෙයි කියා සහතික කරගැනීම පිණිස ඔහුගේ බොහෝ ඉවසිලිවන්තකම කොතෙක් දුරට අවශ්‍යද කියා අපගෙන් කිසිවෙකුට හරි හැටි දැනගත නොහැකිය. පාවුල් අපට අවවාද කරන්නේ, “භයෙනුත් වෙවුලුමෙනුත් [අපගේම] ගැළවීම ඉෂ්ටකරගන්න” කියායි. (පිලිප්පි 2:12) ප්‍රේරිත පේතෘස් සෙසු ක්‍රිස්තියානීන්හට ලීවේ මෙසේයි: ‘ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට යෙහෝවා තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවන්නේය; නුමුත් සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට ඔහු නොකැමතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසන්නේය.’—2 පේතෘස් 3:9, අකුරු ඇල කළේ අපය.

19. යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකමින් ප්‍රයෝජන ගැනීමට අපට හැකි වන්නේ කුමන අන්දමින්ද?

19 මෙබැවින්, යෙහෝවා දේවල් හසුරුවන ආකාරය සම්බන්ධයෙන් අපි නොඉවසිලිමත් නොවෙමු. ඒ වෙනුවට, පේතෘස් තවදුරටත් දුන් උපදෙස අනුගමනය කරමු. එය නම්, “අපගේ [ස්වාමීන්ගේ] ඉවසිලිවන්තකම ගැළවීමයයි සලකන්න.” කාගේ ගැළවීමද? අපගේය. තවද තවමත් “රාජ්‍යයේ මේ ශුභාරංචිය” ඇසීමට සිටින අසංඛ්‍යාත ගණනකගේය. (2 පේතෘස් 3:15; මතෙව් 24:14) මෙය අපට යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම අගය කිරීමට මහෝපකාරි වෙනවා ඇත. එමෙන්ම අනුන් සමඟ කටයුතු කිරීමේදී බොහෝ ඉවසිලිවන්ත වීමට අපටද පෙලඹීමක් වනවා ඇත.

[පාදසටහන්වල]

a හෙබ්‍රෙව් භාෂාවේ “නාසය” හෝ “නාස් කුහරය” සඳහා භාවිත කොට ඇති වචනය (‘ආෆ්) බොහෝවිට සංකේතමය ලෙස යොදාගැනෙන්නේ කෝපය විස්තර කිරීමටය. මෙය මෙසේ යොදා තිබෙනුයේ වියරු වැටී සිටින පුද්ගලයෙකු තදින් හුස්ම හෙළන නිසා හෝ ගවයෙකු මෙන් තප්පුලන නිසායි.

b මෙම අනාවැකියේ විස්තරාත්මක විවරණයක් සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කොට ඇති දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! නමැති පොතේ 191-4 දක්වා පිටු බලන්න.

ඔබට පැහැදිලි කළ හැකිද?

• බයිබලයෙහි සඳහන් “බොහෝ ඉවසිලිවන්තකම” යන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද?

• ජලගැල්මට පෙර, බබිලෝනීය වහල්භාවයට පසුව සහ පළමුවන සියවසේදී යෙහෝවා බොහෝ ඉවසිලිවන්තකම පෙන්වූයේ කෙසේද?

• යෙහෝවා බොහෝ ඉවසිලිවන්තකම විදහාපෙන්වා තිබෙන්නේ කිනම් වැදගත් හේතු නිසාද?

• යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම දෙස අප බැලිය යුත්තේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

ජලගැල්මට පෙර යෙහෝවා දැක්වූ බොහෝ ඉවසිලිවන්තකම, පසුතැවිලි වීම සඳහා ජනයාට ඇති තරම් අවස්ථාව ලබා දුන්නා

[10වන පිටුවේ පින්තූරය]

බබිලෝනිය වැටුණායින් පසුව, යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකමින් යුදෙව්වන් ප්‍රයෝජන ලැබුවා

[11වන පිටුවේ පින්තූරය]

පළමු සියවසේදී යුදෙව්වන් සහ යුදෙව් නොවන්නන් යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකමින් ප්‍රයෝජන ලැබුවා

[12වන පිටුවේ පින්තූර]

අදදින ක්‍රිස්තියානීන් යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකමින් ප්‍රයෝජන ගන්නවා