වන සම්පත වනසන්නෝ
වන සම්පත වනසන්නෝ
බයිබල් කාලවලදී ගස් වටිනා සම්පතක් සේ සලකනු ලැබුණි. මේ සම්බන්ධව උදාහරණයක් සලකා බලමු. ආබ්‍රහම් තම ප්‍රේමනීය භාර්යාව වූ සාරාව භූමදානය කිරීම සඳහා මිල දී ගත් කෙතේ පවරාගැනීමේ ලියකියවිලිවල එහි තිබුණු ගස් ගැන සඳහන් වී තිබිණ.—උත්පත්ති 23:15-18.
වන සම්පත සංරක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තරව අවධානය යොමු කර තිබෙන්නේ එදා මෙන් අදත් වන සම්පත ඉතා අගය කොට සලකනු ලබන බැවිනි. ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ් 1998 නමැති පොතේ සඳහන් වනුයේ “සෞම්‍ය කලාපීය දේශගුණයක් පවතින රටවල ජනයා නිවර්තන කලාපීය වනාන්තර ගැන සැලකිල්ලක් දැක්වුවත්, ඔවුන්ගේම රටේ වන සම්පත ඊටත් වඩා ක්‍රම ක්‍රමයෙන් මුඩු බිම් වීමේ තර්ජනයට ලක් වන බව ඔවුහු නොදනිති” කියාය. උතුරු යුරෝපයේ හා උතුරු අමෙරිකාවේ වන සම්පත ක්ෂය වීමට හේතු පාදක වී ඇත්තේ කුමක්ද? බොහෝදෙනෙකු මෙයට හේතුව ලෙස දක්වන්නේ වන විනාශයයි. මීට අමතරව ඉතා සූක්ෂ්ම විදියට ගහේ පත්‍රවලින් පටන්ගෙන මුළු ගහම විනාශයට පත් කිරීමට හේතු වන සාධක දෙකක් තිබේ. මින් එකක් ඇසිඩ් වර්ෂාව වන අතර අනෙක වායු දූෂණයයි. මෙම දූෂ්‍ය කාරක මගින් සිදු කරන්නේ ගහ දුර්වල කිරීමයි. මෙම දුර්වල තත්වය නිසා ගස් පහසුවෙන්ම පළිබෝධකයින්ට හා රෝගවලට ගොදුරු වෙයි.
පරිසර පද්ධතිය රැකගැනීමේ ඇති දැඩි අවශ්‍යතාවය ගැන පරිසරවේදීන් හා පරිසරයට ඇල්මක් දක්වන අය දශක ගණනාවක් පුරා අනතුරු අඟවා තිබේ. එක්දහස් නවසිය අසූ ගණන්වල ජර්මනියේ විද්‍යාඥයන් කණ්ඩායමක් පරිසරයට ඇසිඩ් වර්ෂාවෙන් හා වායු දූෂණයෙන් වන හානි ගැන අධ්‍යයනය කිරීමෙන් පසු ඔවුන්ගේ නිගමනය වූයේ ‘මේ සම්බන්ධව කුමක් හෝ පියවරක් නොගත්තොත්, වසර 2000 වන විට අපට වනාන්තරයක සිරි නැරඹීමට හැකි වන්නේ කලින් ලබාගත් ඡායාරූපවලින් හෝ චිත්‍රපටිවලින් පමණක්’ බවයි. කෙසේ නමුත්, පොළොව සතු පුනර්ජනන හැකියාව නිසා පරිසරයට හානි ගෙන දෙන අහිතකර බලපෑම්වලට එරෙහිව හැඩගැසීමට පරිසරයට අද වන තුරු හැකියාවක් තිබීම සතුටට කාරණයකි.
නුදුරු අනාගතයේදී පරිසර පද්ධතිය සුරැකීම සඳහා අන් කිසිවෙකුට වඩා ක්‍රියා කරනු ඇත්තේ දෙවියි. ‘ඔහු තම උඩු මහල්වලින් කඳු තෙමන්නේය.’ තවද ඔහු “පොළොවෙන් කෑම හටගන්වන පිණිස සිව්පාවුන්ට තණකොළත්, මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට පලා ජාතිත්” සපයයි. ඒ වගේම දෙවි “පොළොව විනාශකරන්නවුන් [විනාශ කරන]” බවද පොරොන්දු වන්නේය. (ගීතාවලිය 104:13, 14; එළිදරව් 11:18) සියලුදෙනාට පරිසර දූෂණයෙන් තොර පිරිසිදු පොළොවක සදාකල් ජීවත් වීමට ලැබීම කියා නිම කළ නොහැකි වරප්‍රසාදයක් වනවාට කිසිම සැකයක් නැත.—ගීතාවලිය 37:9-11.