Skip to content

පටුනට යන්න

කුහකකමට ඔබ මුහුණ දෙන්නේ කෙසේද?

කුහකකමට ඔබ මුහුණ දෙන්නේ කෙසේද?

කුහකකමට ඔබ මුහුණ දෙන්නේ කෙසේද?

ගෙත්සෙමනේ උයනෙහිදී යූදස් ඉස්කාරියොත් යේසුස් ළඟට ගොස් ‘ඔහුව සිඹගත්තේ ඉමහත් ස්නේහයක් පාමිනි.’ [NW] මුදු මොළොක් සෙනෙහස පෙන්වීමට යුදෙව්වන් පුරුදු වී සිටියේ එලෙසය. එනමුත් යූදස් එය කළේ වෙනත් අරමුණක් සඳහාය. එනම් එම රාත්‍රියේ යේසුස්ව අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණි පිරිසට ඔහුව හඳුනාගැනීමට ලකුණක් වශයෙනි! ඔහුගේ එම සෙනෙහෙවන්ත ක්‍රියාව පුහු මවාපෑමක් විය. (මතෙව් 26:48, 49) ඇත්තෙන්ම යූදස් කුහකයෙක් වූ බව පැහැදිලිය. කුහකයෙකු යනු නැති ගුණ ඇඟවීමට උත්සාහ කරන, තම නරක චේතනා වසං කිරීමට බොරු මවා පෑමක් කරන තැනැත්තෙකි. “කුහකයා” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයෙහි මූලික අරුත “පිළිතුරු සපයන්නෙකු” වන අතර, වේදිකාවේ රඟපාන්නෙකුවද ඉන් ඇඟවේ. කාලයාගේ ඇවෑමෙන්, අන් අයව මුළා කිරීමේ අදහස ඇතුව යම් රඟපෑමක් කළ ඕනෑම කෙනෙකුව හැඳින්වීමට එම වචනය භාවිත කළේය.

කුහකකම හමුවේ ඔබ ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? නිදසුනකට, වෛද්‍ය ක්ෂේත්‍රයෙන් දුම්පානය සිරුරට හානිකර බවට ඕනෑතරම් සාක්ෂි සොයාගෙන තිබේ. ඒ කෙසේවෙතත්, දුම්වැටි නිෂ්පාදකයන් ප්‍රචාරණ කටයුතුවල යෙදෙන ආකාරය ඔබේ කෝපයට හේතු වේද? තම භාරයට දී ඇති අයව හිංසාවට පත් කරන භාරකරුවන්ගේ කුහකකම දකින විට ඔබ තුළ උදහසක් ජනිත කරවනවාද? අවංකයයි සිතූ මිතුරෙක් බොරුකාරයෙකු බව ප්‍රත්‍යක්ෂ වන විට ඔබ තුළ දැඩි වේදනාවක් ඇති වෙනවාද? ආගම්වල සිදු වන ප්‍රෝඩාවන් ඔබට බලපාන්නේ කෙසේද?

‘කුහකයන් වූ ඔබට වන විපතක මහත!’

යේසුස් මිහිපිට දිවි ගෙවූ කාලයේදී පැවති ආගමික වාතාවරණය සලකා බලන්න. ලියන්නන් සහ ඵරිසිවරුන් පෙනී සිටියේ දෙවිගේ ව්‍යවස්ථාවට ලැදි ගුරුවරුන් පිරිසක් ලෙසටය. එනමුත් යථාර්ථය වූයේ වෙන දෙයකි. ඔවුහු මිනිසුන්ව දෙවිගෙන් ඈත් කිරීමට තුඩු දුන් මිනිස් ඉගැන්වීම්වලින් ජනතාවගේ මනස් පිරෙව්වෝය. ලියන්නන් සහ ඵරිසිවරුන් බල කර සිටියේ නීතිය අකුරටම පිළිපැදීමටය. එනමුත්, ප්‍රේමය සහ දයානුකම්පාව පිළිබිඹු කළ මූලික ප්‍රතිපත්ති ඔවුහු නොසලකා හැරියෝය. ප්‍රසිද්ධියේ ඉතා භක්තිවන්ත මවාපෑමක් කළ ඔවුහු, පෞද්ගලිකව දුෂ්ටකමේ ආගාධයක වැටී සිටියෝය. ඇත්තෙන්ම ඔවුන්ගේ කතාව හා ක්‍රියාව අතර තිබුණේ සුවිශාල පරතරයකි. ඔවුන් සෑම දෙයක්ම කළේ “මිනිසුන්ට පෙනෙන පිණිස ය.” ඔවුන් පිටතින් ඉතා අලංකාර වූ “හුණු ගා සුදු කළ සොහොන්වලට සමාන” විය. “ඒවා පිටතින් ශෝභන ව පෙනෙතත් ඇතුළත මළවුන්ගේ ඇටකටුවලින් ද සියලු ආකාර කැලිකසළින් ද පිරී තිබේ.” ඔවුන්ගේ කුහකකම් නිර්භීතව හෙළි කරමින් යේසුස් නැවත නැවතත් ඔවුන්ව හෙළා දුටුවේ, “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් [කුහකයන්, NW] වූ ඔබට වන විපතක මහත!” යයි පවසමිනි.—මතෙව් 23:5, 13-31, නව අනුවාදය.

ඔබත් එදා ජීවත්ව සිටි අයෙක් වී නම්, එවකට විසූ අවංක හදවත් ඇති අය තුළ ඇති වුණාක් මෙන්, එවන් ආගමික කුහකකම් දැකීමෙන් ඔබ තුළත් ඉමහත් පිළිකුලක් ඇති වනවා නොඅනුමානය. (රෝම 2:21-24; 2 පේතෘස් 2:1-3) ලියන්නන්ගේ සහ ඵරිසිවරුන්ගේ කුහකකම් ගැන කලකිරීමක් ඇති වීම අපේක්ෂා කළ හැකිය. එම කලකිරීමම යේසුස් ක්‍රිස්තුස් සහ ඔහුගේ ගෝලයන් අනුගමනය කළ ආගම ඇතුළුව සියලු ආගම් ප්‍රතික්ෂේප කිරීමට පවා ඔබ පෙලඹෙනු ඇද්ද? මෙය ඔබට අවාසියක් වනවා නොවේද?

ධාර්මිකයයි සැලකෙන පුද්ගලයන් අතින් කුහකකම් සිදු වන විට, ඉමහත් පිළිකුලකින් ආගම්වලින් බැහැර වීමට අප පෙලඹිය හැක. කෙසේවෙතත්, එවන් ප්‍රතිචාරයක් දැක්වීම නිසා සැබෑ නමස්කාරකයන් විදහාපෙන්වන අවංකකම නොදකින තරමටම අප අන්ධ විය හැකිය. කුහකකමින් ආරක්ෂා වීම සඳහා අප වටා මානසිකව වැටක් බැඳීමට පෙලඹිය හැක. මෙය සැබෑ මිතුරන්ව අපගෙන් වෙන් කිරීමටද හේතු වන්නට පුළුවන. එමනිසා, කුහකකම සමඟ කටයුතු කිරීමේදී අපගේ ප්‍රතික්‍රියාව සාධාරණ මෙන්ම සමබරව තබාගත යුතුය.

“පරෙස්සම් වන්න”

මුලින්ම කුහකයන් කවුදැයි හඳුනාගැනීමට අප ඉගෙනගත යුතුය. මෙසේ කිරීම සැමවිටම පහසු කාර්යයක් නොවේ. නිදසුනකට, එක්තරා පවුලකට මුහුණ දීමට සිදු වූ ඛේදනීය තත්වය සලකා බලන්න. රෝගාතුරව සිටි මව සිහි මුර්ච්ඡා තත්වයකට පත්විය. එයට වගකිව යුතු වූ රෝහලට විරුද්ධව නඩුවක් දැමූ පවුලේ සාමාජිකයෝ, ඔවුන්ගේ සහායට නීතිඥවරයෙකුගේ උපකාරය පැතූහ. මෙම නීතිඥයා ඔවුන් සිටි ප්‍රදේශයේ පල්ලියේ දේශනාකරන්නෙකු ලෙසද කටයුතු කළේය. සිදු වූ දෙයට වන්දියක් වශයෙන් රෝහල ඩොලර් මිලියන 3.4ක් ගෙවුවත් එම පවුලට සිදු වූ විපත ඉන් කෙළවර නොවීය. මව මියගියේ දිළිඳෙකු ලෙසය. ඇගේ අවමඟුල් කටයුතු සඳහා වැය වූ මුදල් ගෙවා දැමීමට කිසිදු මුදලක් නොතිබිණ. ඒ මන්ද? එම නීතිඥවරයා සියලුම මුදල් තමන් සතු කරගත් නිසාය. එක්තරා නීති සඟරාවක මෙම නීතිඥයා ගැන මෙසේ අදහස් පළ විය. “ඔහු කළ ක්‍රියාවට එකඟව ඔහු දේශනා කළා නම්, . . . ඔහුගේ පණිවිඩය ‘අපි සූරා කමු’ විය යුතුයි.” මෙවැනි පුද්ගලයන්ගෙන් අපට ආරක්ෂා විය හැක්කේ කෙසේද?

එදා ආගමික කුහකකම්වලට මුහුණ දීමට සිදු වූ අයට යේසුස් දුන් අවවාදය මෙයයි. “පරෙස්සම් වන්න.” (මතෙව් 16:6, න. අ.; ලූක් 12:1) මින් අදහස් කරන්නේ අප විමසිලිමත්ව සිටිය යුතු බවය. ඔව්, අප පරෙස්සම් විය යුතුය. තමන්ට ඉතා උදාර අරමුණු ඇති බව කියමින් ඇතැම් පුද්ගලයන් අවංක හා අහිංසක ලීලාවක් පුදුම ආකාරයකින් ප්‍රදර්ශනය කරනවා විය හැක. එනමුත්, පරෙස්සම් වීමේදී සාධාරණ විය යුතුය. සෑම දෙයක්ම ඇසූ දුටු විගස එය මතුපිටින් තක්සේරු කර භාර නොගැනීමට වගබලා ගත යුතුය. හොර නෝට්ටු ව්‍යවහාරයෙහි තිබෙන බව අප දැනසිටියා නම්, අප අතට පත් වන මුදල් නෝට්ටු හොඳින් පරීක්ෂා කරනවා නොවේද?

සැබෑ ක්‍රිස්තියානි සභාව තුළ පවා කුහකයන් හිස ඔසවා ඇත. ශ්‍රාවක යූද් ඔවුන් ගැන අනතුරු අඟවමින් මෙසේ පැවසීය. “මොව්හු නම් නුඹලා සමඟ මංගල්‍ය කෑම කන විට නුඹලාගේ ප්‍රේම-මංගල්‍යවල නොපෙනී තිබෙන්නාවූ පර්වතයෝය, නිර්භීතව තමුන්ම පෝෂ්‍යකරගන්න එඬේරුය; හුළඟින් ගහගෙනයන වතුර නැති වලාකුළුය; ඵල නැත්තාවූ, දෙවරක් මළාවූ, මුලින් උදුරනලද්දාවූ ශරත්කාලයේ ගස්ය.”—යූද් 12.

“පරෙස්සම් වන්න” කියා කීමෙන් අදහස් වන්නේ, ප්‍රේමයෙන් පිරුණු මවාපෑමක් කරන කෙනෙකුට නොරැවටීමයි. යම් මවාපෑමක් කළද, එවන් කෙනෙක් ආත්මාර්ථකාමීය, දේවවචනය මත පදනම් නොවන මතිමතාන්තර පතුරුවයි. එමනිසා ඔහු නිසල දිය මතුපිටට මදක් යටින් පිහිටි උල් සහිත පර්වතයක් වැන්නය. විමසිලිමත් නොවන අයගේ ආත්මිකත්වය බිඳදැමීමට එවන් පුද්ගලයෙකුගෙන් එල්ල විය හැකි තර්ජනය බරපතළය. (1 තිමෝති 1:19) ආත්මික ප්‍රබෝධයක් ලබා දෙන බවට බොහෝ පොරොන්දු දුන්නත්, කුහකයා ‘වතුර නැති වලාකුළක්,’ එනම් හිස් පුද්ගලයෙක් බවට ඔප්පු වේ. ඵල නැති ගසක් මෙන්, මෙවන් මුළා කරන්නෙකු සැබෑ ක්‍රිස්තියානි ඵල උපදවන්නේද නැත. (මතෙව් 7:15-20; ගලාති 5:19-21) එවන් මුළාකරන්නන් සම්බන්ධයෙන් පරෙස්සම් වීමේ වැදගත්කම මින් මොනවට පැහැදිලි වේ. කෙසේවෙතත්, කොයි කාගෙත් චේතනා ගැන වපර ඇසින් බැලීම සම්බන්ධයෙන්ද අප පරෙස්සම් වීම වැදගත්ය.

“විනිශ්චය නොකරන්න”

තමාගේ වැරදි නොතකමින්, අන් අයගේ වැරදි දෙස ඇඟිල්ල දිගු කිරීම අසම්පූර්ණ මනුෂ්‍යයන්ට මොනතරම් පහසු කාර්යයක් වී ඇද්ද! කෙසේවෙතත්, මෙම නැඹුරුවාව නිසා අපද කුහකකම නමැති උගුලට හසු විය හැක. “කෛරාටිකය [කුහකය, NW], පළමුකොට ඔබේ ඇසෙන් ලී කොටය පහ කරන්න; එවිට සහෝදරයාගේ ඇසෙන් ලී කුඩ පහ කරන්න ඔබට හොඳින් පෙනෙනු ඇත” යන්න යේසුස්ගේ අවවාදය විය. ඇත්තෙන්ම ඔහුගේ මෙම අවවාදයද සිහියට ගැනීම ඥානවන්තය. “විනිශ්චය නොකරන්න; එවිට ඔබ ද විනිශ්චය කරනු නොබලන්නෙහි ය. ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. . . . ඔබේ ම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන්ද?”—මතෙව් 7:1-5, න. අ.

මින් අදහස් කරන්නේ ඇතැම් අවස්ථාවලදී අන් අය අතින් කුහකයයි පෙනෙන දේවල් සිදු වන විට, ඔවුන්ව කුහකයන් ලෙස හංවඩු ගැසීමට අප ඉක්මන් නොවිය යුතු බවයි. නිදසුනකට ප්‍රේරිත පේතෘස් කළ දේ බලන්න. ඔහු අන්තියෝකියේ සෙසු ඇදහිලිවන්ත අන්‍යජාතිකයන් සම්බන්ධයෙන් “පසුබැස වෙන්ව සිටියේය.” එසේ කළේ යෙරුසලමේ සිට පැමිණි යුදෙව් පසුබිමක් ඇති අයව සතුටු කිරීමේ අදහසිනි. බාර්ණබස් ‘පවා පේතෘස් සහ වෙනත් අය සමඟ ඒ බොරු මවාපෑමට ඇදී ගියේය.’ [NW] පේතෘස් මෙවන් දෙයක් කළේ, ඔහුම අන්‍යජාතිකයන්ට ක්‍රිස්තියානි සභාව තුළට පිවිසීමේ දොරගුල් විවෘත කිරීමට වරප්‍රසාද ලත් තැනැත්තාව සිටිද්දීමය. (ගලාති 2:11-14; ක්‍රියා 10:24-28, 34, 35) කෙසේවෙතත්, බාර්ණබස් සහ පේතෘස් අතින් සිදු වූ ඒ සුළු දෝෂය නිසා ඔවුන්ව ලියන්නන් හා ඵරිසිවරුන් හෝ යූදස් ඉස්කාරියොත්ගේ ගණයෙහි ලා සැලකීමට හේතුවක් නොවූ බව නම් පැහැදිලිය.

“ඔබේ ප්‍රේමය කුහකකමින් තොර වේවා”

“ඔබ දන් දෙන කල, මිනිසුන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස ධර්මශාලාවල දීත්, වීථිවල දීත් කෛරාටිකයන් [මවාපෑම් කරන්නන්, ෆිලිප්ස්] කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑ නොපිඹින්න” කියා යේසුස් අවවාද කළේය. (මතෙව් 6:2, න. අ.) ප්‍රේරිත පාවුල්ද “ඔබේ ප්‍රේමය කුහකකමින් තොර වේවා” කියා ලීවේය. (රෝම 12:9NW) තරුණ තිමෝතිට දිරිගන්වන ලද්දේ “පවිත්‍ර හදවතකින් . . . හා කුහකකමින් තොර ඇදහිල්ලක් ඇතුව ප්‍රේමය දක්වන්න” කියාය. (1 තිමෝති 1:5NW) අපගේ ප්‍රේමය හා ඇදහිල්ල අව්‍යාජ විය යුතුයි. එනම් ආත්මාර්ථකාමිත්වයෙන් හා මුළාවෙන් පලුදු නොවිය යුතුයි. එවිට අන් අය අපව විශ්වාස කරයි. අප අවට සිටින්නන්ට සැබෑ ශක්තියක් සහ දිරියක් ලබා දීමට අපට හැකි වේ. (පිලිප්පි 2:4; 1 යොහන් 3:17, 18; 4:20, 21) ඒ සියල්ලට වඩා වැදගත් දේ නම්, අපට යෙහෝවාගේ අනුමැතිය ලැබීමයි.

අනික් අතට, කුහකකමට කුමක් සිදු වේද? කුහකකම් කරන අයට අන්තිමේදී මාරාන්තික ප්‍රතිඵල නෙළාගැනීමට සිදු වේ. කවදාහරි සියලුම කුහකකම්වල වෙස් මුහුණ ගළවා දමනු ලැබේවි. යේසුස් ක්‍රිස්තුස් පැවසුවාක් මෙන් “දැන් සැඟ වී ඇති සෑම දේ ම හෙළි කරනු ලැබේ. සෑම රහසක් ම ප්‍රකට කරනු ලැබේ.” (මතෙව් 10:26, න. අ.; ලූක් 12:2) ප්‍රඥාවන්ත සාලමොන් රජද මෙසේ ප්‍රකාශ කළේය. ‘යහපත් වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවි විනිශ්චයට පමුණුවන්නේය.’—දේශනාකාරයා 12:14.

කෙසේවෙතත්, ඒ අතරතුරේදී සැබෑ මිතුරන්ගේ අව්‍යාජ ප්‍රේමය නොලැබීමේ තත්වයකට පත් කරවන්න අප අන් අයගේ කුහකකම්වලට ඉඩ දිය යුත්තේ මන්ද? අනවශ්‍ය ලෙස සැක කරන්නේ නැතුව, අපට නුවණැතිව කටයුතු කළ හැකිය. ඒ අතරවාරයේදී අපගේම ප්‍රේමය හා ඇදහිල්ල කුහකකමින් තොරව තබාගැනීමට සෑම උත්සාහයක්ම දරමු.—යාකොබ් 3:17; 1 පේතෘස් 1:22.

[22, 23වන පිටුවේ පින්තූර]

එදා ලියන්නන්ගේ සහ ඵරිසිවරුන්ගේ කුහකකම් දුටුවා නම්, ඔබ යේසුස් ක්‍රිස්තුස් හා ඔහුගේ ගෝලයන්ගෙන් ඉවත් වීමට එය හේතුවක් කරගන්නවාද?