නෝවාගේ ඇදහිල්ල මගින් ලෝකය හෙළා දැකිණි
නෝවාගේ ඇදහිල්ල මගින් ලෝකය හෙළා දැකිණි
ඔබ නෝවා ගැන අසා තිබෙනවාද? ඔහු තමයි විශාල ජලගැල්ම තුළින් ජීවිත ආරක්ෂා කරගැනීමට නැවක් සෑදූ මිනිසා. මේ කතන්දරය කොතරම් ඉපැරණි වුණත් එය මිලියන ගණනක් ජනයාට හොඳට හුරුපුරුදුයි. ඒ කෙසේවෙතත්, නෝවාගේ ජීවිතය අප සියලුදෙනාගේම ජීවිත අරුත් ගන්වනවා යන කාරණය බොහෝදෙනෙක් වටහාගෙන නැහැ.
මෙතරම් අවුරුදු දහස් ගණනක් ඉපැරණි වාර්තාවක් ගැන අප උනන්දු විය යුත්තේ ඇයි? නෝවාගේ තත්වය සහ අපේම තත්වය අතර සමානකමක් තිබෙනවාද? එසේ තිබෙනවා නම්, ඔහුගේ ආදර්ශයෙන් යමක් ඉගෙනගන්න අපට පුළුවන්ද?
නෝවාගේ දවසේ ලෝකය
නෝවාගේ උපත පො.යු.පෙ. 2970දී එනම් ආදම්ගේ මරණයට අවුරුදු 126කට පසුව සිදු වූ බව බයිබල් කාලගණිතයෙන් හෙළි වෙනවා. නෝවාගේ සමයේදී මේ පොළොව අපරාධවලින් පිරී තිබුණා. ආදම්ගෙන් පැවතෙන බහුතරයක් තමන්ගේ මුතුන්මිත්තාගේ හිතුවක්කාර ක්‍රියාකලාපය අනුගමනය කරමින් සිටියා. මෙසේ, “මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන්ම නපුරුව තිබෙන බවද [යෙහෝවා දුටුවේය].”—උත්පත්ති 6:5, 11, 12.
යෙහෝවාගේ අප්රසන්නභාවයට හේතු වූ එකම කරුණ මිනිසාගේ කැරැල්ලම නොවේ. උත්පත්ති වාර්තාව මෙසේ කියයි: “[දෙවිගේ] පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්තෝය. . . . ඒ දවස්හි යෝධයෝ [නෙඵිලීම්වරු, NW] පොළොවෙහි සිටියෝය. ඉන්පසුත් [දෙවිගේ] පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණි කල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහිකළාවූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූහ.” (උත්පත්ති 6:2-4) ප්‍රේරිත පේතෘස් වාර්තා කරන ලද ප්‍රකාශයක් සමඟ මෙම පද සසඳා බැලූ විට ඇඟවෙන කරුණක් නම්, මෙම ‘දෙවිගේ පුත්‍රයන්’ අකීකරු දේවදූතයන් බවයි. නෙඵිලීම්වරුන් වනාහි ස්ත්‍රීන් සහ මිනිස් ශරීර මවාගත් ඇදහිල්ලෙන් වැටී ගිය දේවදූතයන් අතර ඇති වූ නීතිවිරෝධී විකෘති සම්බන්ධතා නිසා ඔවුන්ට දාව ඉපදුණු දරුවන්ය.—1 පේතෘස් 3:19, 20.
“නෙඵිලීම්” යන්නෙහි තේරුම “බිමට හෙළන්නන්” යන්නයි. ඉන් ඇඟවෙන්නේ අන්‍යයන්ට පහර ගසා බිම හෙළන තැනැත්තන්වයි. තවද කාම රාගයෙන් දැවුණු ඔවුන්ගේ පියවරුන්ගේ පාපයන් සොදොමේ සහ ගොමොරාවේ වැසියන්ගේ නින්දිත ක්‍රියාකාරකම්වලට සමාන කර තිබෙනවා. (යූද් 6, 7) මේ දෙපිරිසම මේ පොළොව දැරිය නොහැකි දුෂ්ටකමකින් නැහැව්වා.
“තමාගේ සමකාලීනයන් අතර නිදොස්ව”
නපුරුකම කොතරම් හාත්පස පැතිර තිබුණාද කිවහොත් මිනිස් සංහතිය විනාශ කර දැමීමට යෙහෝවා අදිටන් කරගත්තා. එහෙත් දේවානුභාවය ලත් වාර්තාව මෙසේ කියයි: ‘නෝවා යෙහෝවාගෙන් කරුණාව ලැබුවේය. . . . නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ය. නෝවා තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව [සමකාලීනයන් අතර නිදොස්ව, NW] සිටියේය. නෝවා දෙවි සමඟ හැසුරුණේය [ගමන් කළේය, NW].’ (උත්පත්ති 6:8, 9) විනාශයට පමණක් සුදුසුව තිබූ අභක්තික ලෝකයක ‘දෙවි සමඟ ගමන් කිරීමට’ නෝවාට හැකි වූයේ කෙසේද?
ආදම්ගේ සමකාලීනයෙකු හා ඇදහිලිවන්ත මිනිසෙකුව සිටි තම පියා වූ ලාමෙක්ගෙන් නෝවා බොහෝ දෑ ඉගෙනගත් බවට කිසිදු සැකයක් නැහැ. තම පුත්‍රයා වූ නෝවාට නම් තැබීමේදී (එහි තේරුම “විශ්‍රාමය” හෙවත් “සැනසීම” යන්නයි), ලාමෙක් මෙසේ පුරෝකථනය කළා. “යෙහෝවා ශාපකළ භූමිය කරණකොටගෙනවූ අපගේ වැඩද අත්වල වෙහෙසද ගැන මේ තෙමේ අප සනසන්නේය.” දෙවි භූමිය මතට කළ ශාපය අහෝසි කිරීමේදී එම අනාවැකිය ඉෂ්ට වුණා.—උත්පත්ති 5:29; 8:21.
දේවභක්තික දෙමාපියන් ඇතුව සිටීම ආත්මිකත්වය සඳහා සහතිකයක් නොවේ. මන්ද එක එක පුද්ගලයා යෙහෝවා සමඟ පෞද්ගලික සම්බන්ධතාවයක් ගොඩනඟාගත යුතු බැවිනි. දිව්‍ය අනුමැතිය තිබූ ජීවිත මාර්ගයක් අනුගමනය කරමින් නෝවා ‘දෙවි සමඟ ගමන් කළේය.’ තමන් දෙවි ගැන ඉගෙනගත් දෙය දෙවිට සේවය කිරීමට නෝවාව පෙලඹෙව්වා. ‘මාංසමය වූ සියල්ලන් ජලගැල්මෙන් විනාශ කිරීමට’ වූ තමන්ගේ අරමුණ දෙවි නෝවාට දැනුම් දුන් විට, ඔහු තම ඇදහිල්ල චංචල වීමට ඉඩහැරියේ නැහැ. —උත්පත්ති 6:13, 17.
මීට පෙර නොවූ විරූ මෙම ව්‍යසනය අනිවාර්යයෙන්ම සිදු වන බව විශ්වාස කළ නෝවා යෙහෝවාගේ මෙම අණට කීකරු වුණා. “නුඹ ගොඵෙර් ලීවලින් නැවක් සාදාගන්න; නැවෙහි කාමර සාදා එහි ඇතුළත් පිටත් කීල් ගාන්න.” (උත්පත්ති 6:14) දෙවිගේ සවිස්තරාත්මක නියෝගවලට කීකරු වීම සුළු පටු දෙයක් වූයේ නැහැ. ඒ කෙසේවෙතත්, “නෝවා එසේ කළේය; [දෙවි] ඔහුට අණකළ සියල්ල ලෙස ඔහු කළේය.” (උත්පත්ති 6:22) නෝවා මෙය කළේ ඔහුගේ භාර්යාව සහ ඔවුන්ගේ පුතුන් තිදෙනා වූ ෂෙම්, හාම් සහ යඵෙත් මෙන්ම ඔවුන්ගේ භාර්යාවන්ගේද සහය ඇතුවයි. යෙහෝවා එවන් ඇදහිල්ලකට ආශීර්වාද කළා. අදදින අපගේ පවුල්වලට මොනතරම් මහඟු ආදර්ශයක්ද!
නැව සෑදීමට ඇතුළත් වූයේ මොනවාද? අඩි 437ක දිගින්ද, අඩි 73ක පළලකින්ද, අඩි 44ක උසකින්ද යුත් වතුරට ඔරොත්තු දෙන තට්ටු තුනක් සහිත ලී පෙට්ටියක හැඩැති අතිවිශාල නැවක් සෑදීමට යෙහෝවා නෝවාට මඟ පෙන්වූවා. (උත්පත්ති 6:15, 16) එම නැවේ ධාරිතාව වත්මන් බඩු ගෙනයන නැවක ධාරිතාවයට සමානයි.
මොනතරම් අතිවිශාල පැවරුමක්ද! දහස් ගණනක් ගස් වර්ග කපා බිම දමා ඒවා නැව ඉදි කරන තැනට ඇදගෙන ගොස් ලෑලි සහ කඳන්වලට ඉරීම කරන්නට තිබූ බවට කිසිදු සැකයක් නැහැ. පලංචි බැඳීම, ඇණ හෝ කූඤ්ඤ ගැසීම, වතුර කාන්දු වීම වැළැක්වීමට කීල් යෙදීම මෙන්ම අවශ්‍ය බඩු මුට්ටු හා ආවුද ලබාගැනීම යන මේ සියල්ල නැව ගොඩනැඟීමේ කටයුත්තට ඇතුළත් වුණා. අවශ්‍ය කරන වෙනත් ද්‍රව්‍ය සහ සේවා ලබාගැනීම සඳහා වෙළඳුන් සමඟ යම් යම් දේ කතා කරගැනීමත් මීට ඇතුළත් වන්ට ඇති. අවශ්‍ය ප්‍රමාණයට ශක්තිමත්ව නැවේ ව්‍යූහය තනාගැනීමට ලෑලි නිසි ලෙස සකස් කරගැනීම සඳහා වඩු වැඩ සම්බන්ධයෙන් දක්ෂතාවක් අවශ්‍ය වූ බව පෙනෙන්ට තිබෙනවා. නිකම් සිතා බලන්න. මෙම ඉදි කිරීමේ වැඩයට අවුරුදු 50ක් හෝ 60ක් ගත වෙන්ට ඇති.
උත්පත්ති 6:21) එමෙන්ම සත්වයන් රාශියක් නැවට එකතු කර උන්ව පාලනය කිරීමටත් ඔහුට තිබුණා. දෙවි නෝවාට අණ කළ සියල්ල නෝවා කළා. වැඩය නිම වුණා. (උත්පත්ති 6:22) එම වැඩය සාර්ථක ලෙස නිම කිරීමට යෙහෝවාගේ ආශීර්වාද ලැබුණා.
නෝවා ඊළඟට අවධානය යොමු කළේ තම පවුලේ අයට සහ සත්වයන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණවත් අයුරින් සූදානම් කරගැනීම වෙතයි. (“ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්”
නැව සාදනවාට අමතරව, නෝවා, “ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්” ලෙස දෙවිට විශ්වාසවන්තව සේවය කරමින් අනතුරු ඇඟවීමක්ද කළා. නමුත් “ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු” ඔවුන් එය ගණනකටවත් ගත්තේ නැහැ.—2 පේතෘස් 2:5; මතෙව් 24:38, 39.
එම කාලයේ පැවති ආත්මික හා සදාචාරාත්මක පිරිහීම ගැන අප දන්නා හෙයින්, නෝවාගේ පවුල, කිසිම දෙයක් පිළිනොගන්නා තම අසල්වාසීන්ගේ සරදම් සහ උසුළු විසුළුවලට ලක් වූ බව තේරුම්ගැනීම අපහසු දෙයක් නොවේ. මිනිස්සු සිතන්න ඇති ඔවුන්ට පිස්සු හැදිලා කියා. කොහොමවුණත්, නෝවා තම පවුලේ අයට සාර්ථක ලෙස ආත්මික දිරිගැන්වීම සහ අනුබලය ලබා දුන්නා. ඒ නිසයි ඔහුගේ පවුලේ අය තමන් අවට සිටි ජනයාගේ සාහසික, දුරාචාරමය, කැරලිකාර ක්‍රම කිසිවිටෙකත් අනුගමනය නොකළේ. කතාවෙන් සහ ක්‍රියාවලින් තම ඇදහිල්ල නිරූපණය කළාවූ නෝවා එමගින් ඒ සමයේ ලෝකය හෙළා දුටුවා.—හෙබ්‍රෙව් 11:7.
ජලගැල්මෙන් බේරී
ජලකඳන් ඇදහැළෙන්නට දින කිහිපයකට පෙරාතුව, සම්පූර්ණ කරන ලද නැවට ඇතුල් වන ලෙස දෙවි නෝවාට පැවසුවා. නෝවාගේ පවුලේ අය සහ සත්වයන් නැවට ඇතුල් වූ පසු, අවට සිටි ජනයාගේ අවමන් සහගත නින්දා කිසිවක් නෑසෙන පරිදි, ‘යෙහෝවා දොරගුලු වසා දැම්මා.’ ජලගැල්ම පැමිණි විට, පෙනෙන විදිහට දේවදූතයන් තමන් මවාගෙන සිටි මිනිස් ශරීර ඉවත් කළ බැවින් ඔවුන් ජලගැල්මෙන් බේරුණා. නමුත් අනික් අයගේ තත්වය කුමක්ද? නෙඵිලීම්වරුන් ඇතුළු නැවෙන් පිටත භූමිය මතුපිට සිටි සෑම ජීවමාන සත්වයෙක්ම විනාශ වුණා! නෝවා සහ ඔහුගේ පවුලේ අය පමණක් දිවි ගළවාගත්තා.—උත්පත්ති 7:1-23.
චන්ද්‍ර දින දර්ශනයට අනුව නෝවා සහ ඔහුගේ පවුලේ අය අවුරුද්දකුත් දවස් දහයක් නැවේ ගත කළා. ඔවුන් නැවේ ගත කළේ වැඩ බහුල ජීවිතයක්. සතුන්ට කවා පොවා නහවා උන්ගේ අපද්‍රව්‍ය ඉවත් කිරීමත් කාලය මැනගෙන සිටීමත් එම වැඩකොටසට ඇතුළත් වුණා. හරියට නැවක ගමන් මඟේ විස්තරයක් මෙන් උත්පත්ති පොත නෝවාගේ කාලයේ සිදු වූ මෙම ජලගැල්ම පිළිබඳ නිවැරදි වාර්තාවක් අපට ලබා දෙනවා.—උත්පත්ති 7:11, 17, 24; 8:3-14.
නැවේ සිටින අතරතුරේදී නෝවා තම පවුලේ අය සමඟ ආත්මික දේවල් ගැන සාකච්ඡා කොට දෙවිට ස්තුති දී යාච්ඤා කළ බවට කිසිදු සැකයක් නැහැ.
නෝවා සහ ඔහුගේ පවුලේ අය නිසා ජලගැල්මට පෙර පැවති තත්වය පිළිබඳ ඉතිහාසය ආරක්ෂා වී ඇති බව පෙනෙන්ට තිබෙනවා. ජලගැල්ම අතරතුරේදී විශ්වාසවන්ත, මුඛ පරම්පරාවෙන් පැමිණි කතන්දර ඔවුන් සාකච්ඡා කරන්න ඇති, නැත්නම් ඓතිහාසික ලිඛිත වාර්තා ඔවුන් ළඟ තිබෙන්ට ඇති. මේවායින් ඔවුන් බොහෝ ප්‍රයෝජන ගත් බවක් සිතන්ට පුළුවන්.යළිත් වරක් වියළි බිමට පා තබන්ට හැකිවීම ගැන නෝවා සහ ඔහුගේ පවුලේ අය කොතරම් සතුටු වන්ට ඇත්ද! ඔහු කළ පළමු දෙය වුණේ, පූජාසනයක් ඉදි කර තමාගේ පවුලේ අය වෙනුවෙන් පූජකයෙකු ලෙස ක්‍රියා කරමින් තමන් ඇතුළු පවුලේ අයව ගැළවූ තැනැත්තාට පූජාවක් ඔප්පු කිරීමයි.—උත්පත්ති 8:18-20.
“නෝවාගේ දවස් මෙන්”
යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැවසුවා. “නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය.” (මතෙව් 24:37) අදදින ක්‍රිස්තියානීන්ද, පසුතැවිලි වීමට මනුෂ්‍යයන්ගෙන් උදක්ම ඉල්ලා සිටින ධර්මිෂ්ඨකමේ දේශනාකරුවන් කියා කියන්ට පුළුවන්. (2 පේතෘස් 3:5-9) අපට සමාන තත්වයක සිටි නෝවාගේ මනසේ ජලගැල්මට පෙර කුමක් තිබෙන්ට ඇතිදැයි අප කල්පනා කරන්ට පුළුවන්. දේශනා කිරීම කිසිම ඵලක් නැති දෙයක් කියා ඔහුට කවදාවත් හැඟුණාද? යම් අවස්ථාවල ඔහු වෙහෙසට පත් වෙන්ට ඇතිද? බයිබලය ඒ ගැන කිසිවක් කියන්නේ නැහැ. අපට සරලව කියා තිබෙන්නේ නෝවා දෙවිට කීකරු වූවා කියායි.
නෝවාගේ තත්වය හා අපගේ තත්වය අතර යම් සම්බන්ධයක් තිබෙනවා කියා ඔබට පෙනෙනවාද? කොතරම් විරුද්ධවාදිකම් හා අසීරුතාවන් තිබුණත් ඔහු යෙහෝවාට කීකරු වුණා. ඔහුව ධර්මිෂ්ඨයෙකු ලෙස යෙහෝවා සැලකුවේ ඒ නිසයි. දෙවි කවදා ජලගැල්ම ගෙන ඒවිදැයි නෝවාගේ පවුලේ උදවිය හරියටම දැන සිටියේ නැහැ. නමුත් එය පැමිණෙන බව නම් ඔවුන් දැනගෙන සිටියා. අවුරුදු ගණනාවක් පුරා නෝවා දැරූ වෙහෙස හා ඔහු කළ දේශනා කිරීම වෙනත් අයගේ ඇස් හමුවේ නිෂ්ඵල යමක් ලෙස පෙනෙන්ට තිබුණද, එම දේශනාව දිගටම කරගෙන යන්නට නෝවාව ශක්තිමත් කළේ දෙවිගේ වචනය කෙරෙහි වූ ඔහුගේ ඇදහිල්ලයි. ඇත්ත වශයෙන්ම, ඒ ගැන අපට කියවීමට තිබෙන්නේ මෙසේයි. “ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේ ගැන [දෙවි] විසින් දන්වනු ලැබ, දේවභයින් පෙලඹී, තමාගේ පවුල ගැළවීමට නැවක් සෑදුවේය; එයින් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමක්කාරයෙක් වූයේය.” —හෙබ්‍රෙව් 11:7.
නෝවා එවන් ඇදහිල්ලක් අත් කරගත්තේ කෙසේද? පෙනෙන අන්දමට, යෙහෝවා ගැන තමා දැන සිටි සෑම දෙයක්ම මෙනෙහි කිරීමට කාලය ගත් හේ, එම දැනුමෙන් තමන්ට මඟ පෙන්වනු ලැබීමට ඉඩහැරියා. නෝවා දෙවිට යාච්ඤාවෙන් කතා කළ බවට කිසිදු සැකයක් නැහැ. ඇත්ත වශයෙන්ම, ඔහු යෙහෝවාව කොතරම් සමීපව දැනහඳුනා ගත්තාද කියනවා නම්, ඔහු ‘දෙවි සමඟ ගමන් කළා.’ පවුලේ මූලිකයා වශයෙන් නෝවා, මහත් සතුටින් තම පවුල සමඟ කාලය ගත කොට ඔවුන්ට අවශ්‍ය වූ අවධානය දුන්නා. තම භාර්යාවගේ, පුතුන් තිදෙනාගේ සහ ලේලියන් තිදෙනාගේ ආත්මික අවශ්‍යතා ගැන බලාගැනීමත් මීට ඇතුළත් වුණා.
එදා නෝවා මෙන් අදදින ක්‍රිස්තියානීන්ද මෙම අභක්තික ක්‍රමය මතට යෙහෝවා විසින් ළඟදීම අවසානයක් ගෙනෙන බව මැනවින් දන්නවා. එම දවස හා පැය අප දන්නේ නැහැ. නමුත් මෙම ‘ධර්මිෂ්ඨකමේ දේශනාකාරයාගේ’ ඇදහිල්ල සහ කීකරුකම අනුගමනය කිරීමෙන් ‘ප්‍රාණ ගළවාගත හැකි’ බව අපි වටහාගෙන තිබෙනවා.—හෙබ්‍රෙව් 10:36-39.
[29වන පිටුවේ කොටුව]
එය ඇත්තටම සිදු වුණාද?
සියලු ජාතීන්ගෙන් සහ ගෝත්‍රවලින් ජලගැල්ම හා සම්බන්ධ ප්‍රබන්ධ කථා 270ක් පමණ මානව විද්‍යාඥයන් එකතු කරගෙන තිබෙනවා. “ජලගැල්ම පිළිබඳ කතන්දර ලෝකය පුරා සොයාගැනීමට පිළිවන්” කියා පවසන්නේ විශාරද ක්ලෝස් වෙස්ටර්මන්. “මැවීමේ විස්තරය වගේම, එයත් අපගේ සංස්කෘතික උරුමයේ කොටසක්. එය හරිම පුදුමයි. ආදි කාලයේ ජලගැල්මක් පිළිබඳ කතන්දර ලෝකයේ ඕනෑම තැනකින් සොයාගන්ට පුළුවන්.” මේ සඳහා දී තිබෙන පැහැදිලි කිරීම? “ලෝකයේ හාත්පස විසිර ජීවත් වන විවිධ ජනයා තමන්ගේ සංස්කෘතිය තුළ ජලගැල්මක් ගැන කතා කර තිබීමෙන් පෙනී යන්නේ එම සංස්කෘතියට මුසු වූ සංසිද්ධිය ඇත්තටම සිදු වූ යමක් බවයි.” කෙසේවෙතත්, විශාරදයන්ගේ නිරීක්ෂණවලට වඩා ක්‍රිස්තියානීන්ට මෙහිදී වැදගත් වන්නේ, ජලගැල්ම වනාහි මිනිස් ඉතිහාසයේ සිදු වූ සැබෑ සිදුවීමක් බව යේසුස් විසින්ද සඳහන් කිරීමයි.—ලූක් 17:26, 27.
[30වන පිටුවේ කොටුව]
ප්‍රබන්ධ කථාවල නෙඵිලීම්වරුන් ගැන සඳහන් වේද?
දෙවිවරු සහ මිනිසුන් අතර ඇති වූ ලිංගික සම්බන්ධතා සහ මේවායින් බිහි වූ “වීරයන්” හෝ “අඩදේවතාවන්” පිළිබඳ කතා ග්‍රීක, මිසර, උගරිටික්, හරියන් සහ මෙසපොතේමියානු දේවකතාවල පොදුවේ දක්නට තිබෙනවා. ග්‍රීක මිථ්‍යා දේවකතාවල සඳහන් දෙවි දේවතාවන්ට මිනිසුන්ට සමාන ඉතාමත් ලස්සන පෙනුමක් තිබුණා. ඔවුන් කෑවා, බීවා, නිදාගත්තා, ලිංගික සම්බන්ධකම් පැවැත්වූවා, සණ්ඩු දබර කළා, සටන් කළා, රැවට්ටුවා මෙන්ම ස්ත්‍රීන්ව දූෂණය කළා. ශුද්ධ බවක් පෙනෙන්ට තිබුණත් රැවටීමට හා අපරාධවලට ඔවුන් හරි හපන්නු. අකිලීස් වැනි වීරයන්ට දේව ස්වභාවයක් සහ මිනිස් ස්වභාවයක් තිබුණ බව කියැවෙන අතර, අමරණීය ස්වභාවයක් නැතත් සුපිරි මිනිස් හැකියාවන් තිබුණා කියා පැවසෙනවා. එබැවින්, නෙඵිලීම් ගැන උත්පත්ති පොතේ කියන කතාව, එවන් මිථ්‍යා කථාවල සැබෑ ආරම්භය වන්ට පිළිවන්.