Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යහපත හා නපුර දැනගැනීමේ ගස පිළිබඳ දේවනීතිය උල්ලංගනය කිරීමේ අදහස, ඒදන් උයනේදී සර්පයා ඒවගේ මනසට ඇතුල් කළේ කෙසේද?

උත්පත්ති 3:1 මෙසේ කියයි. “සර්පයා වනාහි [යෙහෝවා දෙවි] සෑදූ වනයේ කවර සත්වයෙකුටත් වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද: ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා [දෙවි] කීවාදැයි ස්ත්‍රියගෙන් ඇසීය.” සර්පයා ඒව සමඟ අදහස් හුවමාරු කරගත්තේ කෙසේද යන්න ගැන විවිධ මත ඉදිරිපත් කර ඇත. එක අදහසක් නම්, සර්පයා එසේ කළේ ශාරීරික භාෂණයෙන් හෝ අංග චලනයෙන් බවයි. නිදසුනක් වශයෙන්, ඉංග්‍රීසි ජාතික ක්ලෙරික් ජෝසෆ් බෙන්සන් මෙසේ ප්‍රකාශ කළේය. “එය යම් ආකාරයක සංඥා මගින් කළ බවක් දක්නට ලැබේ. ඇත්තවශයෙන්ම, සිතීමේ හැකියාව සහ කතා කිරීමේ හැකියාව සර්පයන්ගේ මූලික ලක්ෂණයක්ව පැවතුණා යන්න ඇතමෙකුගේ මතය වූ බව පෙනෙන්ට තිබේ. . . . නමුත් මෙය ඔප්පු කළ හැකි කිසිවක් නැත.”

කෙසේවෙතත්, තහනම් ඵලය කෑමෙන් දෙවිට සමාන වන බවටත්, තමන් විසින්ම යහපත හා නපුර තීරණය කිරීමේ හැකියාව ලැබෙන බවටත් වූ අදහස දීම සඳහා ශාරීරික භාෂණය උපයෝගී කරගැනීමට සර්පයාට හැකි වූයේ කෙසේද? තවදුරටත්, මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණක් නම්, සාතන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් ඒවද මෙම සංවාදයට එක්වීමයි. (උත්පත්ති 3:2-5) සර්පයා ඒවට සංඥාවලින් සහ අංග චලනයෙන් අදහස් දැක්වූවාය යන අදහස අනුව නිගමනය කිරීමට තිබෙන්නේ ඒවද අංග චලනය යොදාගනිමින් සර්පයාට පිළිතුරු දුන් බවකි. නමුත් බයිබලයේ කියා තිබෙන්නේ ඒව කතා කළ බවයි.

මෙම සිද්ධිය ගෙනහැර දක්වමින් ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ අනතුරු ඇඟවීය. “සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් . . . නුඹලාගේ සිත් දූෂ්‍යකරනු ලැබේදෝයි කියා භයවෙමි.” පාවුල් කතා කළ මෙම අනතුරුදායක තත්වයට මුල් වුණේ ‘බොරු ප්‍රේරිතයන් හා වංචාකාර සේවකයන්ය.’ එවැනි ‘උත්කෘෂ්ට ප්‍රේරිතයන්ගෙන්’ පැමිණි තර්ජනය ශාරීරික භාෂණය සහ අංග චලනයට සීමා වූයේ නැත. ඊට, ඔවුන්ගේ කතාව, එනම් අන්‍යයන්ව මුළා කිරීමට ඔවුන් යොදාගත් කපටි වචනද ඇතුළත් විය.—2 කොරින්ති 11:3-5, 13.

ඒදන් උයනේ සිටි ඒවව වචන මගින් මුළා කෙරුවද, සර්පයාට ස්වර තන්ත්‍ර තිබූ බවක් අදහස් කරන කිසිවක් එහි සඳහන්ව නැත. ඇත්තෙන්ම සර්පයාට එය අවශ්‍ය වූයේ නැත. දෙවිගේ දූතයා බාලාම්හට කොටළු දෙනක් මගින් කතා කළ විට, ඒ සඳහා මෙම සත්වයාට මිනිසෙකුට මෙන් සංකීර්ණ ස්වර තන්ත්‍ර අවශ්‍ය නොවීය. (ගණන් කථාව 22:26-31) පෙනෙන විදිහට, ‘ගොළු කොටළුවෙක් මනුෂ්‍ය හඬින් කතා කළ’ විට, මෙම ක්‍රියාව සඳහා බලය පැමිණියේ ආත්ම විෂයෙනි.—2 පේතෘස් 2:16.

ඒවට කතා කළ සර්පයා පිටුපස සිටි ආත්ම මැවිල්ල බයිබලයේ හඳුන්වා දී ඇත්තේ ‘යක්ෂයා සහ සාතන්යයි කියන ලද මහා සර්පයා’ කියාය. (එළිදරව් 12:9) ඒවට ඇසුණු වචනවලට ඇය ප්‍රතිචාරය දැක්වූ අතර, ඒවා පැමිණියේ ‘ආලෝකයේ දූතයෙකුගේ වෙස්ගන්නාවූ’ සාතන්ගෙනි. —2 කොරින්ති 11:14.

[27වන පිටුවේ පින්තූරය]

‘නුඹ යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන්නෙහිය’