Skip to content

පටුනට යන්න

“යේසුස් ගළවයි!”—ඒ කෙසේද?

“යේසුස් ගළවයි!”—ඒ කෙසේද?

“යේසුස් ගළවයි!”—ඒ කෙසේද?

“යේසුස් ගළවයි!” “යේසුස් අපගේ ගැළවුම්කරුවාණෝ!” මෙවැනි පණිවිඩ ලෝ පුරා බොහෝ රටවල විවිධ ගොඩනැඟිලි බිත්තිවල සහ වෙනත් ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කර ඇත. යේසුස් තමන්ගේ ගැළවුම්කරු බව මිලියන ගණන් ජනයාගේ අවංක විශ්වාසයයි. “යේසුස් අපව ගළවන්නේ කෙසේද?” කියා ඔබ ඔවුන්ගෙන් ප්‍රශ්න කළොත්, “යේසුස් අප වෙනුවෙන් තම ජීවිතය දුන්නා” හෝ “යේසුස් අපේ පව් වෙනුවෙන් දිවි පිදුවා” කියා ඔවුන් ඇතැම්විට උත්තර දෙනු ඇත. ඔව්, අපේ ගැළවීමට මඟ සලසා දෙන්නේ යේසුස්ගේ මරණයයි. එහෙත් එක් මිනිසෙකු දිවි පිදීම මගින් මුළු මිනිස්වර්ගයාගේම පාපවලට වන්දි ගෙවිය හැක්කේ කෙසේද? “යේසුස්ගේ මරණය තුළින් අපිට ගැළවීම ලැබෙන්නේ කොහොමද” කියා ඔබගෙන් ඇසුවොත් ඔබ උත්තර දෙන්නේ කෙසේද?

මෙයට බයිබලයේ දී තිබෙන පිළිතුර ඉතා සරල එකක් වුවත්, එය පැහැදිලි මෙන්ම අර්ථාන්විත එකකි. එහි වැදගත්කම තේරුම්ගැනීමට නම් අප යේසුස්ගේ ජීවිතය හා මරණය දෙස බැලිය යුත්තේ උභතෝකෝටික ප්‍රශ්නයකට දී තිබෙන විසඳුමක් දෙස බලන ආකාරයටයි. යේසුස්ගේ මරණයෙහි මිල කළ නොහැකි වටිනාකම අපට තේරුම්ගත හැකි වන්නේ එසේ කළොත් පමණි.

යේසුස්ට ඔහුගේ ජීවිතය පරිත්‍යාග කිරීමට සැලැස්වීමෙන් ආදම්ගේ පාපය නිසා ඇති වූ අසීරු තත්වයට දෙවි විසඳුමක් ලබා දුන්නේය. ආදම්ගේ පාපය කොතරම් ඛේදනීය එකක් වීද! මුල් මිනිසා හා ඔහුගේ බිරිඳ වූ ඒව පරිපූර්ණ අය විය. ඔවුන්ට ජීවත් වීම සඳහා ඒදන් නමැති මනහර උයන දී තිබුණ අතර එම උයන බලාකියා ගැනීමේ අර්ථාන්විත වැඩයද දෙවි ඔවුන්ට දී තිබුණේය. තවදුරටත් පොළොවේ අනෙකුත් ජීවීන් කෙරෙහි ප්‍රේමනීය ආධිපත්‍යයක් දැරීමේ වගකීමද ඔවුන්ට පැවරිණ. බෝ වෙමින් මුළු පොළොවම මිනිස්වර්ගයාගෙන් පූර්ණ කොට එය පාරාදීසයක් බවට පත් කිරීමේ ප්‍රස්තාවද මිනිසා ඉදිරියේ විය. (උත්පත්ති 1:28) ඔවුන්ට දී තිබුණේ මොනතරම් ප්‍රීතිමත් හා උනන්දුමත් වැඩ කොටසක්ද! එමෙන්ම ඔවුහු දෙදෙනා එකිනෙකා සමඟ උණුසුම්, ප්‍රේමනීය සබඳතාවක් භුක්ති වින්දෝය. (උත්පත්ති 2:18) ඔවුන්ට කිසිම දෙයකින් අඩුවක් තිබුණේ නැත. සදාකාලයටම සතුටින් දිවි ගෙවීමේ අපේක්ෂාව ඔවුන්ට තිබිණ.

මේ සියල්ල සලකා බලද්දී ආදම් සහ ඒව පාපයට වැටුණේ කෙසේද කියා තේරුම්ගැනීම අපට අසීරු විය හැකියි. එහෙත් ඒ මුල් මනුෂ්‍ය යුවළ තමන්ව මැවූ තැනැත්තාට, ඔව් යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසූහ. ආත්ම ජීවියෙක් වන සාතන් නමැති යක්ෂයා සර්පයෙකු මාර්ගයෙන් යෙහෝවාට අකීකරු වීමට ඒවව පෙලඹෙව්වේය. ආදම්ද ඒවව අනුකරණය කළේය.—උත්පත්ති 3:1-6.

ඒ අවස්ථාවේදී ආදම් සහ ඒව සමඟ මැවුම්කරු කටයුතු කරනු ඇත්තේ කෙසේද යන්න පිළිබඳව කිසිම සැකයක් තිබුණේ නැත. මන්ද ඔහු මුල සිටම “නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය” කියා සඳහන් කරමින් අකීකරු වීමේ ප්‍රතිවිපාක ගැන අනතුරු අඟවා තිබිණ. (උත්පත්ති 2:16, 17) එහෙත් ඊටත් වඩා බැරෑරුම් ප්‍රශ්නයකට පිළිතුරක් ලබාගැනීමට අවශ්‍ය විය.

මිනිස් සංහතිය උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙයි

මුල් පාපය නිසා මිනිස්වර්ගයා ඉතා බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. ආදම්ගේ ජීවිතය ඇරඹුණේ පරිපූර්ණ මිනිසෙකු හැටියටයි. එබැවින් ඔහුගේ දරුවන්ට පරිපූර්ණ මෙන්ම සදාකාලික ජීවිතයක් ගත කිරීමේ ප්‍රස්තාව තිබිණ. එහෙත් පියෙකු වෙන්නත් කලින්ම ආදම් පව් කළේය. එමනිසා, “නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය” යනුවෙන් පවසමින් දෙවි ඔහුට දඬුවම් කළේය. (උත්පත්ති 3:19) ඒ වන විටත් මිනිස් පවුලේ කිසිවෙකු ආදම්ගෙන් පැවතැවිත් තිබුණේ නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ආදම් පව් කළ විට දෙවි කී ලෙසම ඔහු මරණය කරා ඇදුණු අතර මුළු මිනිස් සංහතියටම මරණ දණ්ඩනය නියම විය.

ප්‍රේරිත පාවුල් එය ඉතා යෝග්‍ය අයුරින් පැහැදිලි කර දුන්නේ මෙලෙසයි. “එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.” (රෝම 5:12) ඔව්, මුල් පාපය හේතුවෙන් පරිපූර්ණ මනුෂ්‍යයන් වශයෙන් සදාකාල ජීවිතය භුක්ති විඳීමට සිටි දරුවන්ට අසනීප, මහලු විය හා මරණයට මුහුණ දෙන්න සිදු විය.

“ඒක අසාධාරණයි. දෙවිට අකීකරු වෙන්න තෝරාගත්තේ අපි නෙවෙයි, ආදම්. වෙන කෙනෙක් කළ වරදකට ඇයි අපේ සදාකාල ජීවනය හා සතුට අහිමි වුණේ” කියා ඇතමෙකු පැවසීමට පුළුවන. එම තත්වය මෙසේ නිදර්ශනය කළ හැක. යමෙකු කළ කාර් සොරකමකට ඔහුගේ පුතාව සිර අඩස්සියේ තැබිය යුතු බවට අධිකරණය තීන්දු කළායයි සිතමු. “මේක මොනතරම් අසාධාරණයක්ද! මං මොකක්ද කළ වරද” කියා එම තීන්දුව ගැන පුතා ප්‍රශ්න කළහොත් එසේ කිරීමට ඔහුට පූර්ණ අයිතියක් තිබෙන බව අප පිළිගත යුතු නොවේද?—ද්විතීය කථාව 24:16.

මුල් මිනිසාව හා ස්ත්‍රියව පාපයට පෙලඹවීමෙන් තමා දෙවිව ඉතා අසීරු තත්වයකට පත් කළායයි සාතන් සිතුවා විය හැක. යක්ෂයා මෙම ප්‍රහාරය එල්ල කළේ මිනිස් ඉතිහාසයේ ඉතා ළාබාල අවදියේදී, එනම් එක් දරුවෙකුවත් බිහිවීමට පෙරය. ආදම් පව් කළ මොහොතේදීම ඉතා වැදගත් ප්‍රශ්නයක් ඉස්මතු විය. එය නම් ආදම් සහ ඒව බිහි කරන දරුවන් සමඟ යෙහෝවා කටයුතු කරනු ඇත්තේ කෙසේද යන්නය.

යෙහෝවා ඔවුන් සමඟ කටයුතු කළේ සාධාරණ හා යුක්තිගරුක ආකාරයකටයි. ඔව්, ධර්මිෂ්ඨ මිනිසෙකු වූ එලීහු පැවසුවාක් මෙන් ‘සැබෑ දෙවිගෙන් දුෂ්ටකම්ද සර්වපරාක්‍රම තැනැත්තාගෙන් අයුතුකම්ද කිසිවිටෙක නික්මිය නොහැක.’ (යෝබ් 34:10NW) එමෙන්ම අනාගතවක්තෘ මෝසෙස්ද යෙහෝවා ගැන මෙසේ පැවසීය. ‘ඔහු පර්වතයය, ඔහුගේ ක්‍රියාව සම්පූර්ණය; මක්නිසාද ඔහුගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. ඔහු විශ්වාස වූ අයුතුකමෙන් තොර වූ දෙවිකෙනෙකි. ඔහු වනාහි ධර්මිෂ්ඨය, අවංකය.’ (ද්විතීය කථාව 32:4) ආදම්ගේ පාපයෙන් ඉස්මතු වූ ගැටලුවට සැබෑ දෙවි දුන් විසඳුම, පාරාදීස පොළොවක් මත සදාකාලයටම ජීවත් වීමේ ප්‍රස්තාව අපට අහිමි කරවන්නක් නොවේ.

දෙවි පරිපූර්ණ විසඳුමක් සපයයි

සාතන් නමැති යක්ෂයාට විරුද්ධව දුන් තීන්දුවේදී දෙවි එම විසඳුම ගැන කළ සඳහන සලකා බලන්න. “මම තා [සාතන්] සහ ස්ත්‍රිය [දෙවිගේ ස්වර්ගික සංවිධානය] අතරෙහිද තාගේ වංශය [සාතන්ගේ බලයට නතු වී සිටින ලෝකය] සහ ඇගේ වංශය [යේසුස් ක්‍රිස්තුස්] අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය [යේසුස්ව මරණයට පත් කරන්නෙහිය]” යනුවෙන් යෙහෝවා සාතන්ට කීය. (උත්පත්ති 3:15) බයිබලයේ සඳහන් එම මුල්ම අනාවැකියෙන් එම විසඳුම හා බැඳි ඔහුගේ අරමුණ පිළිබඳව යම් ඉඟියක් සැපයීය. එම අරමුණ නම්, තම ආත්මික පුත්‍රයා යේසුස් නම් පරිපූර්ණ මිනිසෙකු වශයෙන් පොළොවට එවා, එහි ජීවත් වීමට සලස්වා, ඉන්පසු කිසිම පාපයක් නොකර සිටියදීම මිය යෑමට හෙවත් ඔහුගේ විලුඹ පොඩි කරනු ලැබීමට ඉඩහැරීමයි.

පරිපූර්ණ මිනිසෙකු මරණයට පත්වීම දෙවිට අවශ්‍ය වූයේ මන්ද? හොඳයි, මෙහෙම සිතා බලන්න. ආදම් පව් කළොත් ඔහුට නියම වෙනවායයි කියූ දඬුවම කුමක්ද? මරණය නොවේද? (උත්පත්ති 2:16, 17) ප්‍රේරිත පාවුල් ලීවේ “පාපයේ කුලී නම් මරණය” කියාය. (රෝම 6:23) තම පාපයට වන්දි ගෙවීමක් වශයෙන් ආදම්ට මරණය අද්දකින්න සිදු විය. ඔහුට ජීවනය දී තිබියදීත් ඔහු පාපතර මාර්ගයක් තෝරාගත් අතර එයට වන්දියක් වශයෙන් ඔහුට මිය යෑමට සිදු විය. (උත්පත්ති 3:19) එහෙත් එම පාපය නිසා වරදකරුවන් බවට පත් වූ මුළු මිනිස් සංහතියම වැටුණේ කුමන තත්වයකටද? ඔවුන්ගේ පාපවලට වන්දි ගෙවීමට ජීවිත පූජාවක් අවශ්‍ය විය. ඒත් යුක්තියේ තරාදිය සමබර කරමින් මිනිසාගේ පාපයට හිලව්වක් වශයෙන් දිය හැක්කේ කවරෙකුගේ ජීවිතයද?

පුරාණ ඉශ්‍රායෙලිතයන්ට දෙවි දුන් ව්‍යවස්ථාවට අනුව ‘ප්‍රාණයට ප්‍රාණයක් [හෙවත් ජීවිතයකට ජීවිතයක්]’ දීම අවශ්‍ය කරවීය. (නික්මයාම 21:24) මෙම නීත්‍යානුකූල ප්‍රතිපත්තියට එකඟව මිනිසා කළ පාපයට හිලව්වක් වශයෙන් ආදම් නැති කළ ජීවිතයට සමාන වටිනාකමක් ඇති ජීවිතයක් පිදීමට සිදු විය. පාපයේ කුලිය ගෙවීමට තවත් පරිපූර්ණ මිනිසෙකු මරණයට පත් විය යුතුව තිබිණ. යේසුස් එවන් පරිපූර්ණ මනුෂ්‍යයෙකු වූයේය. ඇත්ත වශයෙන්ම, ගැළවීමට සුදුසු තත්වයේ සිටින, ආදම්ගෙන් පැවතෙන සෑම මනුෂ්‍යයෙකු උදෙසා ඔහු “අනුරූපී මිදීමේ මිලයක්” විය.—1 තිමෝති 2:6NW; රෝම 5:16, 17.

යේසුස්ගේ අමිල මරණය

ආදම් පව් කළ නිසා ඔහු මිය යා යුතු විය. එමනිසා ඔහුගේ මරණයෙහි කිසිදු වටිනාකමක් තිබුණේ නැත. ඒත් යේසුස් පව් නොකළ නිසා ඔහුගේ මරණයෙහි මිල කළ නොහැකි තරම් වටිනාකමක් තිබිණ. එමනිසා ආදම්ගෙන් පැවතෙන කීකරු මනුෂ්‍යවර්ගයා උදෙසා යේසුස්ගේ පරිපූර්ණ ජීවිතයේ වටිනාකම මිදීමේ මිලයක් හැටියට පිළිගැනීමට යෙහෝවා දෙවිට පුළුවන් විය. තවද යේසුස්ගේ ජීවිත පූජාවෙන් සිදු වන්නේ අපේ පසුගිය පාපවලට වන්දි ගෙවීමක් පමණක්ම නොවේ. එසේ වූවා නම් අපට අනාගත ජීවිතයක් ගැන බලාපොරොත්තු තබාගත නොහැක. මන්ද පාප සහිතව මව් කුසේ පිළිසිඳෙන අපි සියලුදෙනාම නැවත නැවතත් පව් කිරීමට පෙලඹෙන්නෙමු. (ගීතාවලිය 51:5) ආදම් සහ ඒවගේ දරුවන් උදෙසා යෙහෝවා මුලදී අරමුණු කළ පරිපූර්ණත්වය අපට යේසුස්ගේ මරණය මාර්ගයෙන් අත් කරගත හැකිවීම ගැන අප කොතරම් ස්තුති පූර්වක විය යුතුද!

විශාල ණයක් ගෙන, එම ණය බර (පාපය) අප පිට පටවමින් මිය ගිය පියෙකුට ආදම්ව සමාන කළ හැක. එම ණය බරින් මිදීමට අපට කිසි සේත් නොහැකිය. අනික් අතට, අපට ඉතා වටිනා උරුමයක් දායාද කරමින් මිය ගිය යහපත් පියෙකුට යේසුස්ව සමාන කළ හැක. ආදම් අප පිට පැටවූ ණයෙන් අපව නිදහස් කරලීමට අමතරව මෙම උරුමය අපට සදාකාල ජීවනයද දායාද කරවයි. යේසුස්ගේ මරණය, අප කලින් සිදු කළ පාපවලින් අපව නිදහස් කරනවා පමණක් නොව, අපට ඉතා මවිතකර අනාගතයක්ද උරුම කර දෙයි.

යේසුස් අපව ගළවන බව පැවසිය හැක්කේ ඔහු අප වෙනුවෙන් දිවි පිදූ නිසයි. එම ජීවිත පූජාවේ වටිනාකම කොතරම්ද! ආදම්ගේ පාපයෙන් ඉස්මතු වූ සංකීර්ණ ගැටලුවට දෙවි දුන් විසඳුම හැටියට අප එම පූජාව පිළිගන්නා විට යෙහෝවා කෙරෙහිද, ඔහු කටයුතු කරන ආකාරය කෙරෙහිද තිබෙන අපේ ඇදහිල්ල වඩ වඩාත් ශක්තිමත් වනු ඇත. ඔව්, යේසුස්, “[ඔහු] කෙරෙහි අදහාගන්න සෑමදෙනම” පාපයෙන්, ලෙඩ රෝගවලින්, මහලු වියෙන් හා මරණයෙන් ගළවාගන්නේ තම මරණය මාර්ගයෙනි. (යොහන් 3:16) ඔබේ ගැළවීම උදෙසා කර ඇති මෙම ප්‍රේමනීය සැපයුම ගැන ඔබ දෙවිට ස්තුති පූර්වක වන්නෙහිද?

[5වන පිටුවේ පින්තූරය]

මිනිස් සංහතියට පාපය හා මරණය උරුම කර දුන්නේ ආදම්ය

[6වන පිටුවේ පින්තූරය]

යෙහෝවා පරිපූර්ණ විසඳුමක් සැපයීය