Skip to content

පටුනට යන්න

සිතියන්වරු අතීතයේ විසූ අභිරහස් වැසියෝ

සිතියන්වරු අතීතයේ විසූ අභිරහස් වැසියෝ

සිතියන්වරු අතීතයේ විසූ අභිරහස් වැසියෝ

දූලි වලා විහිදුවමින් කොල්ල කෑ වස්තුවෙන් සෑදල මලු පුරවාගෙන පිම්මේ පැමිණි අහිකුණ්ටක තුරඟ සේනාවකි. මේ අභිරහස් වැසියෝ පො.යු.පෙ. 700 සිට 300 පමණ කාලයේ යුරේෂියාවේ පිහිටි විශාල ස්ටෙප්ස් තැනිතලාව පුරා අණසක පතුරුවමින් විසූහ. පසු කාලයේදී ඔවුන් තුරන්ව ගියද, එසේ ගියේ ඉතිහාසයේ වෙනමම තැනක් තමන්ට වෙන් කරගෙනය. ඔවුන් ගැන බයිබලයද සඳහන් කරයි. මොවුහු කවරහුද? මොවුහු වනාහි සිතියන්වරුය.

නැඟෙනහිර යුරෝපයේ කාපේතියන් කඳුකරයේ සිට ගිනිකොනදිග රුසියාව ලෙස දැන් හඳුන්වන ප්‍රදේශය පුරා, අහිකුණ්ටකයන් සහ කැලෑ අශ්වයන් සියවස් ගණනාවක් සැරිසරා තිබුණි. එහෙත්, පො.යු.පෙ. අටවන සියවස වන විට, චීන අධිරාජයා වූ ෂුවන් විසින් ක්‍රියාත්මක කළ යුධ ක්‍රියාමාර්ගයක් නිසාවෙන් සිතියන්වරුන්ට බටහිර දෙසට සංක්‍රමණය වීමට සිදු විය. බටහිර දෙසට ඇදුණු මොවුහු කොකේෂස් සහ කළු මුහුදේ උතුරු ප්‍රදේශ පාලනය කරමින් සිටි සිමේරියන්වරුන් හා සටන් වැද ඔවුන්ව පලවාහැරියහ.

ධන සම්පත් සොයා ගිය සිතියන්වරු අෂූරියේ අගනුවර වූ නිනිවය කොල්ල කෑහ. පසුව අෂූරියයන් සමඟ හාද වී මේදියාව, බබිලෝනිය ඇතුළු වෙනත් ජාතීන්ට විරුද්ධවද සටන් කළහ. ඔවුන්ගේ ආක්‍රමණ මිසරයේ උතුරු ප්‍රදේශයටද එල්ල වුණි. ඊශ්‍රායෙලයේ ඊසාන දිගින් පිහිටි බෙත්-ෂාන් නගරය පසු කාලයේදී සිතෝපොලිස ලෙස නම් කිරීමම, එම නගර සිතියන්වරුන්ගේ අණසකට නතුව පැවති බවට සාක්ෂියකි.—1 සාමුවෙල් 31:11, 12.

වත්මන් රුමේනියාව, මෝල්ඩෝවා, යුක්‍රේනය සහ දකුණු රුසියාව පිහිටි ස්ටෙප්ස් තැනිතලාවට පැමිණි සිතියන්වරු අවසානයේදී එහි අරක්ගත්හ. වත්මන් යුක්‍රේනය සහ දකුණු රුසියාව පිහිටි ප්‍රදේශයේ ධාන්‍ය බෝග වගා කළ ගොවීන්ගේ සහ ග්‍රීක් ජාතිකයන්ගේ අතරමැදියන් ලෙස ක්‍රියා කිරීමෙන් ඔවුහු ධනවතුන් බවට පත් වූහ. සිතියන්වරු ග්‍රීක් වයින්, රෙදිපිළි, ආයුධ සහ ලලිත කලා නිර්මාණ වැනි දේ සඳහා ධාන්‍ය, මී පැණි, ලොම් සහ ගවයන් හුවමාරු කරගත්හ. මෙසේ ඔවුන්ට ඇදහිය නොහැකි තරම් ධන ස්කන්ධයකට උරුමකම් කීමට හැකි විය.

අභිමානවත් අශ්වාරෝහකයෝ

කාන්තාර වැසියන්ට ඔටුවා යම් සේද ස්ටෙප් රණශූරයන්ට අශ්වයාද එසේමය. සිතියන්වරුන් අතිවිශිෂ්ට අශ්වරෝහකයන් වූ අතර, සෑදලය සහ සෑදලයේ පය දමන වළල්ල නිර්මාණය කිරීමේ පුරෝගාමී වූවන් අතර ඔවුන්ද විය. ඔවුහු අශ්ව මස් බුදිනු ලැබූ අතර අශ්ව ධේනුවන්ගේ කිරි බීවෝය. අශ්වයන්ව දවන පූජා සඳහා යොදාගත් සිතියන්වරු, ඔවුන්ගේ සටන්කාමියෙකු මිය ගිය විට ඔහුගේ අශ්වයාව මරා, ඌට ඇන්දවූ ඇඳුම සහ අශ්වාරෝහක ඇඳුම්ද සමඟ වළ දමා ගරුතර ආදාහනයක් සිදු කළහ.

ඉතිහාසඥ හෙරඩොටස් විස්තර කරන ආකාරයට සිතියන්වරුන්ගේ චාරිත්‍ර ඉතාම කුරිරු ඒවා වූ අතර, ඔවුහු සතුරාගේ හිස් කබල බීමට ගන්නා කුසලාන ලෙස පාවිච්චි කළෝය. සතුරාට හිටි හැටියේම පහර දෙමින් යකඩ කඩු, යුද්ධයට පාවිච්චි කරන පොරෝ, හෙල්ල සහ සිරුර ඉරා දැමිය හැකි කටු සහිත ඊතල පාවිච්චි කරමින් ඔවුහු සතුරාව කුරිරු අන්දමින් නාස්ති කළෝය.

සදාතනික වූ සොහොන් ගෙවල්

යන්ත්‍ර මන්ත්‍ර, මායා කර්ම යනාදියේ යෙදෙමින් ෂමන් නමැති ලබ්ධියද ඇදැහූ සිතියන්වරු, ගින්නට සහ මව් දේවතාවකට නමස්කාර කළෝය. (ද්විතීය කථාව 18:10-12) මළවුන් ජීවත් වන ස්ථානය හැටියට ඔවුහු සොහොන් ගෙය සැලකූහ. මියගිය ස්වාමියාගේ ප්‍රයෝජනය සඳහා වහලුන් සහ සතුන්ව පූජා කරනු ලැබීය. වස්තුව සහ නිවසේ සිටි සේවකයන් මියගිය ප්‍රධානියා සමඟ “අනිත් ලෝකයට” යා යුතු විය. එක් රාජකීය සොහොන් ගෙයක සේවකයන් පස්දෙනෙකුව ස්වාමියා දෙසට පා සිටින සේ තැන්පත් කර තිබූ අතර, එය හරියට නැඟිට ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට සූදානමින් සිටින්නාක් මෙනි.

පාලකයන්ව භූමදාන කිරීමේදී පුද පූජා රාශියක් පැවැත්වූ අතර, ශෝක වන කාලය තුළ සිතියන්වරු තමන්ගේ සිරුරු කපා ලේ වගුරුවාගත් අතර, හිසකේද බූගා දැමූහ. හෙරඩොටස් ඒ ගැන මෙසේ ලියයි. “ඔවුහු තම කන්වල කොටසක් කපා දැමූ අතර, හිස බූගෑවෝය. තම අත් වටේටත් නළල් සහ නාසත් කපාගත්තෝය. එමෙන්ම ඊතලවලින් තම වම් අත් හිල් කරගත්තෝය.” එහෙත්, එම යුගයේම සිටි ඉශ්‍රායෙල්වරුන්ට දෙවිගේ ව්‍යවස්ථාවේ අණ කර තිබුණේ, “මළවුන් නිසා නුඹලාගේ ශරීරවල කැපුමක් කර නොගන්න” කියායි.—ලෙවී කථාව 19:28.

සිතියන්වරු සෑදූ ක’ගන් (සොහොන් ගොඩැලි) දහස් ගණනක් තවමත් ඇත. ක’ගන්හි තිබී සොයාගත් විවිධාකාර වූ විසිතුරු භාණ්ඩවලින් කියාපාන්නේ සිතියන්වරුන්ගේ දෛනික ජීවිතයේ හැඩරුවයි. රුසියානු සාර්වරයෙකු වූ මහා පීටර් 1715දී මේවා එකතු කිරීමට පටන්ගත්තේය. එම දිදුලන ද්‍රව්‍ය රුසියාවේ සහ යුක්‍රේනයේ කෞතුකාගාරවලදී වර්තමානයේ දැකබලා ගැනීමට හැකිය. මෙම “සත්ව රූප” අතරේ අශ්වයන්ගේ, රාජාලීන්ගේ, උකුස්සන්ගේ, බළලුන්ගේ, දිවියන්ගේ, එල්ක් ගෝනුන්ගේ, මුවන්ගේ සහ පක්ෂීන්ගේ මෙන්ම සිංහයන්ගේ රූපද (පියාපත් ඇති හෝ නැති සතෙකුගේ සිරුරක් සහ වෙනත් සතෙකුගේ හිසක් ඇති මිථ්‍යා සතුන්) ඇත.

සිතියන්වරු සහ බයිබලය

බයිබලයෙහි සිතියන්වරුන් ගැන සඳහන් වන්නේ එක් අවස්ථාවක පමණි. කොලොස්සි 3:11හි අපට කියවීමට තිබෙන්නේ මෙසේය. “එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මඡේද්‍යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් (සිතියෙක්වත්) දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, [ක්‍රිස්තුස්] සියල්ලව, සියල්ලන් තුළ [සිටින්නේය].” ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් මේ වචන ලියනු ලැබූ විට ‘සිතියන්’ යන ග්‍රීක් වචනය යොදාගත්තේ නිශ්චිත ජාතියක් නොව ශිෂ්ටසම්පන්න නොවන ජනයා අතර පවා සිටින දරුණුතම පුද්ගලයන්ව හඳුන්වා දීමටය. පාවුල් පැවසුවේ යෙහෝවාගේ ශුද්ධාත්මයේ නැතහොත් ඔහුගේ ක්‍රියාකාරක බලයේ ආනුභාවයෙන් එවැනි අයටත් දෙවිගේ පුද්ගලිකත්වය පැළඳගැනීමට හැකි බවය.—කොලොස්සි 3:9, 10.

යෙරෙමියා 51:27හි සඳහන් අෂ්කෙනස් යන නම සිතියන්වරුන් සඳහා පාවිච්චි කළ අෂූරියානු ඇෂ්ගුසායි යන වදනට සමාන බව සමහර පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසයයි. පොදු යුගයට පෙර හත්වන සියවසේදී සිතියන්වරුන් මන්නායිවරුන් හා එක්ව අෂූරියයන්ට විරුද්ධව කැරලි ගැසීම ගැන කීලාකාර පුවරුවල සඳහන්ව තිබේ. යෙරෙමියා අනාවැකි පවසන්ට ඔන්න මෙන්න කියා තිබියදී සිතියන්වරුන් කිසිම කරදරයක් නොකර මිසරයට යෑම් ඊම් කළේ යූදා දේශය උඩිනි. එමනිසා, යූදා දේශය විනාශ කිරීමට උතුරෙන් ජාතියක් පැමිණෙන බව ඔහු පවසද්දී එහි සත්‍යතාව ගැන බොහෝදෙනෙකු සැක පහළ කරන්ට ඇත.—යෙරෙමියා 1:13-15.

“ඔව්හු දුනුද හෙල්ලද දරන්නෝය; ඔව්හු කෲරය, කරුණාවක් නොපෙන්වති; ඔවුන්ගේ හඬ මුහුද මෙන් ඝෝෂාකරයි, ඔව්හු අසුන් පිට නැඟීඑති; බබිලොන් දියණිය, ඔව්හු එකෙකු මෙන් නුඹට විරුද්ධව යුද්ධකරන්ට පෙළට සෑදී සිටිති” යයි යෙරෙමියා 50:42හි පවසන්නේ සිතියන්වරුන් ගැනය කියා ඇතැම් බයිබල් විශාරදයෝ සිතති. එහෙත්, මේ පදය මූලිකව අදාළ වන්නේ පො.යු.පෙ. 539දී බබිලෝනිය ආක්‍රමණය කළ මේදීයයන් සහ පර්සියානුවන්ටය.

එසකියෙල් 38 සහ 39වන පරිච්ඡේදවල ‘මාගොග් දේශය’ ලෙස හඳුන්වන්නේ සිතියන් ගෝත්‍ර කියාද සමහරුන් පවසා ඇත. කෙසේවෙතත්, ‘මාගොග් දේශය’ යන්නෙහි සංකේතාර්ථයක් ගැබ්ව තිබේ. පැහැදිලිවම ඉන් යොමු දක්වන්නේ ස්වර්ගයේ සිදු වූ යුද්ධයෙන් පසු සාතන්වත් ඔහුගේ භූතයන්වත් සීමා කළ පොළොවට ආසන්න පෙදෙසටයි.—එළිදරව් 12:7-16.

නිනිවය පරාජය කිරීම පිළිබඳව නාහුම් පුරෝකථනය කළ අනාවැකියෙහි ඉටුවීමට සිතියන්වරුන් සම්බන්ධය. (නාහුම් 1:1, 14) පොදු යුගයට පෙර 632දී කල්දිවරු, සිතියන්වරු සහ මේදීයවරු නිනිවය විනාශ කර දමා, අෂූරීය අධිරාජ්‍යය බිඳ හෙළූහ.

අභිරහස් පිරිහීමක්

සිතියන්වරු අතුරුදහන් වී ගියහ. ඊට හේතුව? “ඇත්තම කියනවා නම් අපි දන්නේ නැහැ ඔවුන්ට මොකද වුණේ කියලා” යයි ප්‍රමුඛ පෙළේ යුක්‍රේන් ජාතික පුරාවිද්‍යාඥයෙක් පවසයි. සමහර විශාරදයන් සිතන්නේ ඔවුන් සුඛෝපභෝගී ජීවිතයකට දැක්වූ අධික ලොල්කම නිසා ඔවුන්ගේ ශක්තිය හීන වී ගොස්, පො.යු.පෙ. දෙවෙනි සහ පළමුවෙනි සියවස්වලදී ආසියාවෙන් පැමිණි වෙනත් අහිකුණ්ටකයන් පිරිසක් වන සාමේෂන්වරුන් අතට හසු වූ බවය.

සිතියන් ගෝත්‍ර තුළ හටගත් කලකෝලහාල හේතුවෙන් ඔවුන්ගේ පිරිහීම සිදු විණැයි වෙනත් අය සිතති. තවත් අය කියා සිටින්නේ සිතියන්වරුන්ගෙන් ඉතිරි වූ අය කොකේෂස් ප්‍රදේශයේ පදිංචි ඔසීෂන්වරුන් අතරේ සිටිතියි කියාය. ඔවුන්ට සිදු වූයේ කුමක්දැයි අප නොදනිතත්, අතීතයේ ජීවත් වූ මේ අභිරහස් මිනිසුන් මිනිස් ඉතිහාසයේ තමන්ටම ආවේණික වූ නමක් රඳවා ගිය බව නම් අපි දනිමු. එය කළේ, සිතියන් යන නාමය කෲරත්වය ඇඟවීමට තබා යෑමෙනි.

[24වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

◻ පුරාණ නගරය

• වත්මන් නගරය

ඩැනියුබ්

සිතියාව සංක්‍රමණය වූ මාර්ගය

• කීව්

ඩ්නිප්‍රො

ඩ්නිස්ට

කළු මුහුද

ඔසීෂියාව

කොකේෂස් කඳු

කැස්පියන් මුහුද

අෂූරිය ← ආක්‍රමණ සඳහා යොදාගත් මාර්ග

◻ නිනිවය

ටයිග්‍රීස්

මේදියාව ← ආක්‍රමණ සඳහා යොදාගත් මාර්ග

මෙසපොතේමියාව

බබිලෝනියාව ← ආක්‍රමණ සඳහා යොදාගත් මාර්ග

◻ බබිලෝනිය

යුප්‍රටීස්

පර්සියානු අධිරාජ්‍යය

◻ සූසා

පර්සියානු බොක්ක

පලස්තීනය

• බෙත්-ෂාන් (සිතෝපොලිස)

මිසරය ← ආක්‍රමණ සඳහා යොදාගත් මාර්ග

නයිල්

මධ්‍යධරණි මුහුද

ග්‍රීසිය

[25වන පිටුවේ පින්තූර]

සිතියන්වරු සටන්කාමීන් වූහ

[හිමිකම් විස්තර]

The State Hermitage Museum, St. Petersburg

[26වන පිටුවේ පින්තූර]

සිතියන්වරු තම භාණ්ඩ ග්‍රීක් කලා නිමැවුම්වලට හුවමාරු කරගත් අතර, මහා ධනවතුන් බවට පත් වූහ

[හිමිකම් විස්තර]

Ukraine Historic Treasures Museum, Kiev අනුග්‍රහයෙනි