Skip to content

පටුනට යන්න

ආත්මික හෘදයාබාධයක් වළක්වාගන්න ඔබට පුළුවන්

ආත්මික හෘදයාබාධයක් වළක්වාගන්න ඔබට පුළුවන්

ආත්මික හෘදයාබාධයක් වළක්වාගන්න ඔබට පුළුවන්

බැලූ බැල්මට නිරෝගී පෙනුමක් තිබූ ඉතා දක්ෂ ලෝක ශූර මලල ක්‍රීඩකයෙක් පුහුණු වෙමින් සිටියදී එකපාරටම ඇද වැටී මිය ගියා. ඔහු ඔලිම්පික් තරඟාවලියේ අයිස් මත ලිස්සා යෑමේ ඉසව්වලට සහභාගි වෙමින් දෙවරක් රන් පදක්කම් දිනූ ස්යිර්ගියා ග්‍රින්කොෆ්ය. අවාසනාවකට මෙන්, ඔහුට මිය යෑමට සිදු වුණේ ඔහුගේ ක්‍රීඩා දිවියේ දීප්තිමත්ම අවදියකදී, එනම් වයස අවුරුදු 28දියි. ඔහු මිය ගියේ හෘදයාබාධයක් නිසයි. ඒත් හෘද රෝගයක් තිබූ බව පෙන්වන කිසිම රෝග ලක්ෂණයක් නොතිබූ බැවින් ඔහුගේ මරණය කිසිවෙක් අපේක්ෂා කළේ නැහැ. කෙසේවෙතත්, ඔහුගේ හෘදය වස්තුව විශාල වී තිබූ බවත් කිරීටක ධමනි සහමුලින්ම හිර වී තිබූ බවත් වෛද්‍ය පරීක්ෂණයකින් පසු හෙළි වුණා.

බොහෝ හෘදයාබාධ කිසිදු හෝඩුවාවක් නොමැතිව ඇති වෙනවායයි පෙනෙන්ට තිබුණත්, ඇත්තෙන්ම මෙය සිදු වන්නේ කලාතුරකින් බව වෛද්‍යවරුන් පවසනවා. බොහෝවිට හුස්මගැනීමේ අපහසුතා, තරබාරුකම, පපුවේ වේදනාව වැනි අනතුරු අඟවන රෝග ලක්ෂණ නොසලකා හැර තිබෙනවා. හෘදයාබාධයකට ගොදුරු වූ ඇතමෙක් මරණයට පත් නොවුවත් ජීවිත කාලය පුරාම ආබාධිතයන් බවට පත් විය හැකියි.

හෘදයාබාධයක් වැළැක්වීම සඳහා ආහාර රටාව හා ජීවන රටාව ගැන ඉතා සුපරීක්ෂාකාරි විය යුතු බවත් නිතිපතා වෛද්‍ය පරීක්ෂණවලට භාජන විය යුතු බවත් වර්තමාන වෛද්‍යවරුන් පොදුවේ පිළිගන්නවා. a එවන් පියවර ගැනීමට අමතරව අවශ්‍ය වෙනස්කම් කිරීමට කැමැත්තක් දැක්වීමද හෘදයාබාධයකින් ඇති විය හැකි ඛේදනීය ප්‍රතිඵල වළක්වාගැනීමට මහෝපකාරි වෙනවා.

කෙසේවෙතත්, අපේ හදවත පිළිබඳව ඊට වඩා වැඩි අවධානයක් දිය යුතු තවත් පැත්තක් තිබෙනවා. “අන් සෑම දෙයකටම වඩා ඔබේ හදවත රැකගන්න. මන්ද, ජීවනය නික්මෙන්නේ එතුළිනි.” (හිතෝපදේශ 4:23NW) මෙම ශුද්ධ ලියවිලි පදය ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ සංකේතාත්මක හදවත ගැනයි. අපේ හෘදය වස්තුව රැකගැනීම ගැන අප සුපරීක්ෂාකාරි විය යුතු බව ඇත්තයි. නමුත් ආත්මිකව මිය යෑම වැළැක්වීම සඳහා, අපේ සංකේතාත්මක හදවත රෝගාතුර තත්වයකට පත් නොවීම ගැන අප ඊටත් වඩා සුපරීක්ෂාකාරි විය යුතුයි.

ආත්මික හෘදයාබාධයක ලක්ෂණ

ශාරීරික හෘදයාබාධයක් මෙන්ම ආත්මික හෘදයාබාධයක් වැළැක්වීමට හොඳම ක්‍රමය නම් එහි හේතුකාරක කුමක්ද කියා හඳුනාගෙන එය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමයි. එසේ නම්, භෞතික හා ආත්මික හදවත රෝගාතුර වීමට හේතු වන සාධක කිහිපයක් දැන් සලකා බලමු.

ආහාර රටාව. කඩචෝරු කෑමට ප්‍රිය වුවත් එය නිරෝගී සෞඛ්‍යයකට දායක වෙනවා නම් වෙන්නේ අල්ප වශයෙන් බව පොදුවේ පිළිගන්නා කාරණයක්. ඒ වගේම කඩචෝරු හා සමාන අහිතකර දේවලින් මනස පෝෂණය කිරීමටත් අප තුළ දැඩි ආශාවක් ඇති වෙන්න පුළුවන්. මන්ද එවැනි දේවල් ක්ෂණිකව ලබාගත හැකි අතර අපේ ඉන්ද්‍රියන් පිනවනවා. ඒත් අපේ ආත්මික සෞඛ්‍යයට එය ඉතා හානිකරයි. ජනමාධ්‍යය හරහා ඉතා සූක්ෂ්ම අන්දමින් අනිසි ලිංගික සබඳතා, මත්ද්‍රව්‍ය, සැහැසියාව හා භූතවාදය හා සබැඳි දේවල් ප්‍රණීත ලෙස පිළිගන්වා තිබෙනවා. එවැනි දේවලින් අපේ මනස පෝෂණය කිරීම අපේ සංකේතාත්මක හදවතට මාරාන්තික පහරක් එල්ල කළ හැකියි. දේවවචනයේ මෙසේ අනතුරු අඟවනවා. “ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් [පුහු ආටෝපයත්, NW] [පියාණන්ගෙන්] නොව ලෝකයෙන් වේ. ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් [දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.”—1 යොහන් 2:16, 17.

කඩචෝරුවලට ඇබ්බැහි වී සිටින කෙනෙක් කවදාවත් පලතුරු හා පලා වර්ග වැනි ගුණදායක ආහාරවලට ප්‍රිය කරන්නේ නැහැ. ඒ හා සමානව, ලෞකික දේවලින් මනස හා හදවත පෝෂණය කිරීමට පුරුදු වී සිටින කෙනෙක් ගුණදායක වූ ආත්මික ඝන ආහාර කිසිසේත් ප්‍රිය නොකරයි. සමහරවිට ඔහු යම් කලකට දේවවචනයේ ‘කිරිවලින්’ පෝෂණය ලබනවා ඇති. (හෙබ්‍රෙව් 5:13) ඒත්, දිගුකාලීනව ගත් කල, ඔහු කිසිවිටෙක ක්‍රිස්තියානි සභාවේ හා දේවසේවයේ වගකීම් දරන්න අවශ්‍ය ආත්මික මේරුභාවය දක්වා වර්ධනය වෙන්නේ නැහැ. (මතෙව් 24:14; 28:19; හෙබ්‍රෙව් 10:24, 25) එවන් තත්වයක සිටින ඇතමෙක් ඔවුන්ගේ ආත්මිකත්වය කොතරම් දුර්වල වීමට ඉඩ දී තිබෙනවාද කිව්වොත් ඔවුන් අක්‍රියාශීලී සාක්ෂිකරුවන් බවට පත් වී තිබෙනවා.

කෙනෙකුගේ පිටාතර පෙනුම මුළා කරවනසුලු වීම තවත් අන්තරාවක් විය හැකියි. යමෙක් තම ක්‍රිස්තියානි වගකීම් යාන්ත්‍රික ලෙස ඉටු කරන නිසා ඔහුගේ සැබෑ ආත්මික තත්වය සැඟවී යා හැකියි. ඔහු රහසිගතව ලෞකික දර්ශනවාදයන් හෝ දුරාචාරය, සැහැසියාව හා භූතවාදය මුල් කරගත් විනෝදාස්වාදයන් මගින් තම හදවත පෝෂණය කරන නිසා එය ක්‍රමක්‍රමයෙන් දුර්වල තත්වයකට පත් වෙන්න පුළුවන්. එවැනි දේවලින් මනස පෝෂණය කිරීමෙන් ආත්මිකත්වයට එතරම් හානියක් එල්ල නොවන බව පෙනිය හැකියි. ඒත්, අහිතකර ආහාර ගැනීමෙන් ධමනි බිත්ති දැඩි වී හෘදය වස්තුවට හානි කළ හැකි සේම සංකේතාත්මක හදවතද අක්‍රියාශීලී බවට පත් වෙන්න පුළුවන්. අහිතකර ආශාවන් හදවතට ඇතුල් වීමට ඉඩ දීම ගැන යේසුස් මෙසේ අනතුරු ඇඟෙව්වා. “ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමග සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය [පරදාර සේවනයෙහි යෙදුණේය, NW].” (මතෙව් 5:28) ඔව්, අහිතකර දේවලින් මනස පෝෂණය කිරීම ආත්මික හෘදයාබාධයකට තුඩු දිය හැකියි. දැන් අපි තවත් කාරණයක් වෙත අවධානය යොමු කරමු.

ව්‍යායාමය. ව්‍යායාමයෙන් තොර වූ ජීවන රටාවක් හෘදයාබාධයකට තුඩු දිය හැකි බව හොඳින් දන්නා කාරණයක්. ඒ හා සමානව අප ආත්මික ව්‍යායාම්වල යෙදුණේ නැත්නම් බරපතළ ප්‍රතිවිපාක අද්දකින්න සිදු වෙනවා. උදාහරණයකට, ඇතමෙක් යම් තාක් දුරට ක්‍රිස්තියානි දේවසේවයේ සහභාගි වුවත් එසේ කරන්නේ ඔහුට පහසු නම් පමණයි. එවැනි කෙනෙක් “සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්” වීම සඳහා සුවිශේෂී වෑයමක් දරන්නේ නැහැ. (2 තිමෝති 2:15) එසේත් නැත්නම්, ඔහු සමහර ක්‍රිස්තියානි රැස්වීම්වලට ගියත් ඒවාට සූදානම් වීමට හා සහභාගි වීමට කිසිම වෑයමක් නොදරනවා විය හැකියි. එවැනි කෙනෙක් ආත්මික ඉලක්ක නොතබන අතර ආත්මික කාරණා ගැන කිසිදු උනන්දුවක් හෝ රුචියක් දක්වන්නේ නැහැ. ඔහු ආත්මික ව්‍යායාමවල නිරත වෙන්නේ නැති නිසා අල්ප වශයෙන් හෝ තිබෙන ඔහුගේ ඇදහිල්ල අන්තිමේදී දුර්වල වී නැත්තටම නැති වෙලා යනවා. (යාකොබ් 2:26) හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත පාවුල් ලියූ ලිපියක මෙම අවදානම ගැන සඳහන් කළා. පෙනෙන ආකාරයට ඔවුන්ගෙන් සමහරෙකු ආත්මික ව්‍යායාමවලින් තොර වූ ජීවන රටාවක් ගත කරමින් සිටියා. මෙවැනි ජීවන රටාවකින් හදවත දැඩි වී ආත්මිකත්වයට හානියක් එල්ල විය හැකි ආකාරය පිළිබඳව පාවුල් දුන් අනතුරු ඇඟවීම සැලකිල්ලට ගන්න. “සහෝදරයෙනි, ජීවමාන [දෙවි] කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් [හදවතක්, NW] නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න. නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.”—හෙබ්‍රෙව් 3:12, 13.

මානසික පීඩනය. හෘදයාබාධවලට තුඩු දෙන තවත් සාධකයක් වන්නේ අධික මානසික පීඩනයයි. ඒ හා සමානව, මානසික පීඩනය හෙවත් ‘ජීවිතයේ කරදර’ අපේ සංකේතාත්මක හදවතටද මාරාන්තික පහරක් එල්ල කළ හැකියි. ඇතැම් අවස්ථාවලදී එයට ගොදුරු වන අය දෙවිට සේවය කිරීම මුළුමනින්ම නතර කරන්න පවා පෙලඹිය හැකියි. මේ සම්බන්ධව යේසුස් දුන් අනතුරු ඇඟවීම ඉතා කාලෝචිතයි. “ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත් කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද [ජීවිතයේ කරදරවලින්, නව අනුවාදය] නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.” (ලූක් 21:34, 35) දීර්ඝ කාලයක් තිස්සේ අප කළ පාපයක් සඟවාගැනීම හේතුවෙන්ද දැඩි මානසික පීඩනයක් ඇති විය හැකි අතර මෙයින් අපේ සංකේතාත්මක හදවත දැඩි වේදනාවට පත් වෙන්න පුළුවන්. දාවිත් රජ මෙවැනි හානිකර මානසික පීඩනයෙන් අත් විය හැකි වේදනාව අද්දුටුවා. ඔහු එය විස්තර කළේ මෙලෙසයි. “මාගේ පාපය නිසා මාගේ ඇටවලට කිසි සනීපයක් නැත. මක්නිසාද මාගේ අයුතුකම් මාගේ හිසටත් උඩින් නැංගේය. එහි බර මට දරාගත නොහැකිය.”—ගීතාවලිය 38:3, 4NW.

පමණට වැඩි වූ ආත්ම විශ්වාසය. හෘදයාබාධයක් ඇතිවීමට පෙර බොහෝදෙනෙකු තමන්ගේ සෞඛ්‍ය තත්වය ගැන දැඩි විශ්වාසයක් තබා තිබුණා. බොහෝවිට වෛද්‍ය පරීක්ෂණයකට යෑමට ඔවුන්ට උනන්දු කළ විට ඔවුන් එය අනවශ්‍යයයි කියා පවසන්න ඇති. එසේත් නැත්නම් එය විහිළුවකට ගණන් ගත්තා විය හැකියි. ඊට සමානව, බොහෝ කාලයක් තිස්සේ ක්‍රිස්තියානීන්ව සිටින ඇතමුන්ට තමන්ගේ ආත්මිකත්වයට කිසිදු තර්ජනයක් එල්ල නොවෙයි කියා හැඟෙන්න පුළුවන්. ඒ නිසා හදිසි විපතක් වන තෙක් ආත්මික වෛද්‍ය පරීක්ෂණයක් හෙවත් ආත්ම සෝදිසියක් කිරීම ඔවුන් අතපසු කරනවා විය හැකියි. පමණට වැඩි වූ ආත්ම විශ්වාසයක් පිළිබඳව ප්‍රේරිත පාවුල් දුන් මෙම අවවාදය සිතට ගැනීම ඉතා වැදගත්. “එහෙයින් තමා කෙළින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට [බලාගන්න].” එමනිසා අපේ අසම්පූර්ණ ස්වභාවය පිළිගනිමින් අපේ ආත්මිකත්වය පිළිබඳව කලින් කලට ආත්ම සෝදිසියක් කිරීම නුවණට හුරුයි. —1 කොරින්ති 10:12; හිතෝපදේශ 28:14.

අනතුරු ඇඟවීම් නොසලකා හරින්න එපා

අපේ සංකේතාත්මක හදවතට ශුද්ධ ලියවිලිවල සුවිශේෂී අවධානයක් දී තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි. මන්ද යෙරෙමියා 17:9හි පවසා ඇති පරිදි, “සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද? [යෙහෝවා] වන මම එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස සිත [හදවත, NW] විභාගකොට, අදහස් සෝදිසිකරමි.” (යෙරෙමියා 17:9, 10) යෙහෝවා අපේ හදවත සෝදිසි කරනවාට අමතරව අපට ආත්ම සෝදිසියක් කිරීම සඳහා අවශ්‍ය උපකාරයද ඔහු ප්‍රේමනීය ලෙස සපයනවා.

“විශ්වාසවූ නුවණ ඇති දාසයා” මාර්ගයෙන් අපට කාලෝචිත සිහිගැන්වීම් ලැබෙනවා. (මතෙව් 24:45) අපේ සංකේතාත්මක හදවත මුළා විය හැකි ප්‍රධාන ක්‍රමයක් වන්නේ ලෞකික නැත්නම් මාංශික දේවල් ගැන දිගින් දිගටම සිතීමයි. මෙයට යථාර්ථවාදී නොවන මනඃකල්පිතයන්, දවල් සිහින හා මනසට නැඟෙන වැදගැම්මකට නැති සිතිවිලි ඇතුළත් වෙයි. අසභ්‍ය හැඟීම් උපදවන සිතිවිලි විශේෂයෙන් හානිකරයි. එමනිසා අපි මෙවැනි සිතිවිලි මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතුයි. අප යේසුස් මෙන් අධර්මිෂ්ඨකමට ද්වේෂ කරනවා නම් ලෞකික දේවල් ගැන සිහින මැවීමෙන් වැළකී සිටින්න දැඩි උත්සාහයක් දැරිය යුතුයි.—හෙබ්‍රෙව් 1:8, 9.

මීට අමතරව අපට ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලන්ගේ ප්‍රේමනීය උපකාරය ලබාගත හැකියි. අන්‍යයන් අප කෙරෙහි දක්වන උනන්දුව ඉතා අගය කොට සැලකුවත්, අපේ සංකේතාත්මක හදවත රැකගැනීමේ ප්‍රධානතම වගකීම තිබෙන්නේ අපටමයි කියා අප මතක තබාගත යුතුයි. “සියල්ල සෝදිසිකර බලා” අපි ‘ඇදහිල්ලෙහි සිටිනවාද කියා පරීක්ෂා කර බැලීමට’ අප සියලුදෙනාටම පෞද්ගලික වගකීමක් තිබෙනවා.—1 තෙසලෝනික 5:21; 2 කොරින්ති 13:5.

හදවත රැකගන්න

“තමා වපුරන දේම කපා ගන්නේය” යන බයිබල් ප්‍රතිපත්තිය අපේ සංකේතාත්මක හදවතේ නිරෝගීභාවයටද බලපානවා. (ගලාති 6:7) බොහෝවිට ක්ෂණිකව තමා කරා එන ආත්මික විපතකට තුඩු දෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ නිරුවත් රූප නැරඹීම, ද්‍රව්‍යමය දේවල් ගැන දැඩි උනන්දුවක් දැක්වීම හෝ ප්‍රසිද්ධිය, නම්බුව හා බලය පසු පස හඹා යෑම වැනි ආත්මික වශයෙන් හානිකර වූ ක්‍රියාවල රහසිගතව නිරත වීමයි.

එමනිසා අපේ හදවත රැකගන්න නම් අපේ ආත්මික ආහාර වේල කෙරෙහි අප හොඳ අවධානයක් දිය යුතුයි. ඔබේ මනස හා හදවත දේවවචනයෙන් පෝෂණය කරන්න. ක්ෂණිකව ලබාගත හැකි හා අපේ මාංශික ආශාවන් පිනවන කඩචෝරු වැනි හානිකර දේවලින් මනස පෝෂණය කිරීමෙන් වැළකී සිටින්න. මන්ද එවැනි දේවල් අපේ සංකේතාත්මක හදවත දැඩි හෙවත් අසංවේදී තත්වයකට පත් කරනවා. ගීතිකාකරු ඉතා යෝග්‍ය ලෙස වෛද්‍ය විද්‍යාවේ උපහැරණයක් යොදාගනිමින් අපට මෙසේ අනතුරු අඟවනවා. “ඔවුන්ගේ හදවත් අසංවේදීය. තෙල මෙන්ය.”—ගීතාවලිය 119:70NW.

ඔබ දීර්ඝ කාලයක් පුරා රහසිගතව යම් දුර්වලතා සමඟ පොරබදමින් සිටිනවා නම් ඔබේ සංකේතාත්මක ධමනි හිර නොවීම සඳහා ඒවායින් මිදීමට දැඩි උත්සාහයක් දරන්න. මේ ලෝකය විනෝද වීමට බොහෝ ප්‍රස්තා විවෘත කර දෙන ආකර්ෂණීය තැනක් මෙන් ඔබට පෙනෙන්ට තිබේ නම් ප්‍රේරිත පාවුල්ගේ මෙම නැණවත් උපදෙස් ගැන මෙනෙහි කරන්න. ‘සහෝදරවරුනි, වැඩි කාලයක් ඉතිරි වී නැත. මෙතැන් සිට . . . මෙලොව සැප සම්පත් භුක්තිවිඳින්නන් ඒවායේම ඇලී ගැලී නොසිටින්නන්ව සිටිය යුතුයි. මන්ද, දැන් පවතින මේ ලෝකය පහ වී යන්නේය.’ (1 කොරින්ති 7:29-31, න. අ.) ඒ වගේම ද්‍රව්‍යමය සැප සම්පත්වලට ඔබ ආකර්ෂණය වන බව තේරෙනවා නම් යෝබ්ගේ මෙම වදන් සිතට ගන්න. ‘රත්තරන් මාගේ බලාපොරොත්තුව කොට ගතිමි නම්, නුඹ මාගේ විශ්වාසයයි පවිත්‍ර රනට කීයෙමි නම්, ඉහළ සිටින දෙවි මා විසින් එපා කළ නිසා, ඒකත් විනිශ්චයකාරයන් විසින් දඬුවම් කළ යුතු අපරාධයක් වේ.’—යෝබ් 31:24, 28; ගීතාවලිය 62:10; 1 තිමෝති 6:9, 10.

පුරුද්දක් වශයෙන් බයිබලයේ උපදෙස් නොසලකා හැරීමෙහි ඇති බරපතළකම පෙන්වමින් බයිබලය මෙසේ අනතුරු අඟවනවා. “බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත; එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි.” (හිතෝපදේශ 29:1, න. අ.) ඊට වෙනස්ව, අපි අපේ සංකේතාත්මක හදවත රැකගන්නවා නම් සරල මෙන්ම නිරවුල් ජීවිතයක් ගත කිරීමෙන් ඇති වන ප්‍රීතිය හා මානසික සුවය අපට භුක්ති විඳිය හැකියි. එදා සිටම ක්‍රිස්තියානීන්ට නිර්දේශ කර ඇති ජීවන මඟ එයයි. ප්‍රේරිත පාවුල් දේවානුභාවයෙන් මෙසේ ලිව්වා. “ලත් පමණින් සතුටුවීම සමග භක්තිවන්තකම මහත් ලාභයක්මය. මක්නිසාද අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් අපට කිසිවක් ගෙනයන්ටත් බැරිය. තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමුව.”—1 තිමෝති 6:6-8.

ඔව්, දේවභක්තික ජීවිතයක් ගත කිරීම සඳහා පුහුණු වීම හා ව්‍යායාම කිරීම මගින් අපේ සංකේතාත්මක හදවත ශක්තිමත්ව තබාගන්න පුළුවන්. අපේ ආත්මික ආහාර වේල ගැන සැලකිලිමත් වීමෙන් මේ ලෝකයේ විනාශකාරි මාර්ගවලින් හා සිතිවිලිවලින් අපේ ආත්මිකත්වයට හානියක් වීම වළක්වාගත හැකියි. ඒ සියල්ලට වඩා තම සංවිධානය මගින් යෙහෝවා දෙන සැපයුම් පිළිගෙන නිතිපතා අපේ සංකේතාත්මක හදවත පරීක්ෂණයට භාජන කරමු. මේ සම්බන්ධයෙන් ඔබ දරන දැඩි වෙහෙස ආත්මික හෘදයාබාධයක් වළක්වාගන්න මහෝපකාරි වන බවට කිසිම සැකයක් නැහැ.

[පාදසටහන]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කළ 1996 දෙසැම්බර් 8 පිබිදෙව්! කලාපයේ පළ වූ “හෘදයාබාධ ගැන කුමක් කළ හැකිද?” (ඉංග්‍රීසියෙන්) යන ලිපියෙන් වැඩිමනත් තොරතුරු ලබාගත හැකියි.

[10වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අහිතකර ආහාර ගැනීමෙන් ධමනි බිත්ති දැඩි වී හෘදයට හානි කළ හැකි සේම අහිතකර දේවලින් මනස පෝෂණය කිරීමද සංකේතාත්මක හදවත අක්‍රියාශීලී කළ හැකියි

[10වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ආත්මික ව්‍යායාමයෙන් තොර වූ ජීවන රටාවකින් බරපතළ ප්‍රතිඵල අත් වෙන්න පුළුවන්

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘ජීවිතයේ කරදර’ අපේ සංකේතාත්මක හදවතට පහසුවෙන්ම මාරාන්තික පහරක් එල්ල කළ හැකියි

[11වන පිටුවේ පින්තූරය]

අපේ ආත්මික සෞඛ්‍යය ගැන නොසලකා හැරීම දැඩි වේදනාවලට තුඩු දිය හැකියි

[13වන පිටුවේ පින්තූර]

හොඳ ආත්මික පුරුදු වර්ධනය කරගැනීම මගින් අපේ සංකේතාත්මක හදවත රැකගත හැකියි

[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

AP Photo/​David Longstreath