“ඔබගේ ආලෝකයෙන් අපි ආලෝකය දකින්නෙමු”
“ඔබගේ ආලෝකයෙන් අපි ආලෝකය දකින්නෙමු”
බොහෝ වේලාවට අපි ආලෝකය ගැන සිතන්නේ සැහැල්ලුවෙන්. ආලෝකයේ අගය දැනෙන්නේ හදිස්සියේ විදුලිය ඇණහිටීම නිසා මුළු පළාතම කළුවර වූ විටයි. භාග්‍යයකට මෙන් අපේ ස්වාභාවික “විදුලි බලාගාරය” එනම් හිරු ඇණහිටින්නේ නැතුව නොකඩවා ආලෝකය ලබා දෙනවා. අපට කෑමට, දේවල් දැකීමට, ආශ්වාස ප්‍රශ්වාස කිරීමට හා ජීවත් වීමට නැතුවම බැරි ආලෝකය ලබා දීම ගැන හිරුට අප කොතරම් කෘතඥ විය යුතුද?
අපේ ජීවිතයට ආලෝකය කොතරම් අත්‍යවශ්‍යද කියනවා නම් දෙවි මැවීමේ පළමු දවසේදීම ආලෝකය ඇති කළ බව උත්පත්ති පොතේ කියවීමට තිබෙනවා. “දෙවි ආලෝකය වේවයි කීවේය. එවිට ආලෝකය විය.” (උත්පත්ති 1:3, NW) යෙහෝවා සම්බන්ධයෙන් ගෞරවාන්විත ආකල්පයක් දැරූ දාවිත් වැනි පුරුෂයන්, දෙවි ජීවනයේ උල්පත හා ආලෝකය බව එක හෙළා පිළිගත්තා. “ජීවනයේ උල්පත ඔබ සමඟය. ඔබගේ ආලෝකයෙන් අපි ආලෝකය දකින්නෙමු” යයි දාවිත් පැවසුවා.—ගීතාවලිය 36:9, NW.
දාවිත්ගේ එම වදන් වචනානුසාරයෙන් හා උපමාලංකාරයෙන් යන දෙයාකාරයෙන්ම අදාළ වෙනවා. එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකාහි පෙන්නුම් කරන්නේ “යමක් දැකීමේ හැකියාව ලැබෙන්නේ ආලෝකය නිසා” බවයි. එය තවදුරටත් පවසන්නේ “වෙනත් ඉන්ද්රියයන් සමඟ සසඳන විට මොළයට වැඩියෙන්ම තොරතුරු සපයන්නේ ඇස්වලින්” කියාය. අප ඉගෙනගන්නා බොහෝ දේවල් උකහාගන්නේ ආලෝකය මත රඳා පවතින පෙනීම නමැති දායාදයෙන්. ආලෝකය උපමාලංකාරවද බයිබලයේ යොදා තිබෙන්නේ එනිසයි.
යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වේ “මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය” කියාය. (යොහන් 8:12) යේසුස් උපමාලංකාරයෙන් කතා කළ ආලෝකය නම් ඔහු දේශනා කළ සත්‍යයේ පණිවිඩයයි. එම පණිවිඩයට සවන් දුන් මනුෂ්‍යයන්ගේ සිත් හා මනස් සත්‍යය නමැති ආලෝකයෙන් දීප්තිමත් වුණා. එවිට වසර ගණනාවක් පුරා ආත්මික අන්ධකාරයේ විසූ යේසුස්ගේ ගෝලයන්ට දෙවිගේ අරමුණත්, දේවරාජ්‍යය තුළින් මනුෂ්‍යයන්ට ලබා දී ඇති බලාපොරොත්තුවත් දැනගන්න ලැබුණා. මෙම දැනුම සදාකල් ජීවනය ලබා දෙන නිසා එය සැබවින්ම ‘ජීවනයේ ආලෝකයයි.’ යේසුස් ස්වර්ගික පියාට කළ යාච්ඤාවේදී කිව්වේ “සදාකාල ජීවනය නම් මෙයයි,” එනම් “එකම සැබෑ වූ දෙවි වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව දැනුම ලබාගැනීමයි” කියායි. (යොහන් 17:3, NW) එමනිසා අපිට ලැබෙන ආත්මික ආලෝකය කිසිදා සැහැල්ලුවට නොගනිමු.