Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ක්‍රිස්තියානි සභාවේ පසුතැවිලි නොවන කෙනෙකුව නෙරපනු ලැබූ විට ඔහු උදෙසා ක්‍රිස්තියානීන් යාච්ඤා කිරීම නුසුදුසු බව යෙරෙමියා 7:16හි අඟවනවාද?

යෙහෝවා අකීකරු යූදා සෙනඟ කෙරෙහි විනිශ්චය ප්‍රකාශ කිරීමෙන් පසු යෙරෙමියාට කීවේ මෙසේයි. “නුඹ වනාහි මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න. ඔවුන් උදෙසා විලාපයද යාච්ඤාවද ඔප්පු නොකරන්න, මට කන්නලව්ද නොකරන්න. මක්නිසාද මම නුඹේ බසට කන් නොදෙන්නෙමි.”—යෙරෙමියා 7:16.

යෙහෝවා ඉශ්‍රායෙල්වරුන් වෙනුවෙන් යෙරෙමියාට යාච්ඤා කරන්න එපා කිව්වේ ඇයි? පැහැදිලිවම එයට හේතුව යෙහෝවාගේ නීති කඩ කරමින් ඔවුන් සිදු කළ බරපතළ පාපයයි. කිසිම පැකිලීමක් හෝ ලැජ්ජාවක් නොමැතිව ඔවුන් ප්‍රසිද්ධියේ ‘සොරකම් කර, මිනීමරා, කාමමිථ්‍යාචාරය කර [පරදාර සේවනය කර, NW], බොරුවට දිවුරා, බාල්ට සුවඳ දුම් ඔප්පු කර, නොදන්න අන්‍ය දෙවිවරුන් පස්සේ ගොස්’ තිබුණා. ඒ හේතුවෙන් යෙහෝවා ඇදහිල්ලක් නැති එම යුදෙව්වන්ට මෙසේ පැවසුවා. “මම නුඹලාගේ සියලු සහෝදරයන් වන මුළු එප්‍රායිම් වංශය අහක දැමුවාක්මෙන් නුඹලාත් මා ඉදිරියෙන් අහක දමන්නෙමි.” යෙහෝවා එවැනි විනිශ්චයක් ප්‍රකාශ කර තියෙන විට යෙරෙමියා හෝ වෙනත් කිසිම කෙනෙකු එම විනිශ්චය වෙනස් කරන්න කියා යාච්ඤා කිරීම සුදුසු දෙයක් නොවෙයි.—යෙරෙමියා 7:9, 15.

නමුත් මීට එකඟව, දෙවිට යාච්ඤා කළ යුතු උචිතම ආකාරය පිළිබඳව යොහන් ලියූ දේ සලකා බලන්න. මුලින්ම ඔහු ක්‍රිස්තියානීන්ට ඒත්තුගැන්වූයේ, ‘අප ඔහුගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් ඔහු අපේ ඉල්ලීම අසන බවය.’ (1 යොහන් 5:14) ඒ වගේම අනික් අය සම්බන්ධව යාච්ඤා කිරීමේදී යොහන් පැවසුවේ මෙසේයි. “යමෙක් තමාගේ සහෝදරයා මරණයට නොපමුණුවන පාපයක් කරන බව දුටුවොත් ඔහු යාච්ඤා කරාවා, එවිට ඔහුට, එනම් මරණයට නොපමුණුවන්නාවූ පාපයක් කරන්නන්ට, [දෙවි] ජීවනය දෙන්නේය. මරණයට පමුණුවන්නාවූ පාපයක් ඇත්තේය. ඔහු ඉල්ලිය යුතුය කියා මා කියන්නේ ඒ ගැන නොවේ.” (1 යොහන් 5:16) ‘කමා කරනු නොලබන’ පාපය ගැන යේසුත් සඳහන් කළා. එය නම් ශුද්ධාත්මයට විරුද්ධව කරන පාපයයි.—මතෙව් 12:31, 32.

මෙයින් අදහස් කරන්නේ පසුතැවිලි නොවී දිගටම පව් කිරීම නිසා සභාවෙන් නෙරපනු ලබන සෑම ක්‍රිස්තියානියෙකුම “මරණයට පමුණුවන්නාවූ” පාපයක් කර ඇති නිසා ඔවුන් වෙනුවෙන් යාච්ඤා නොකළ යුතු බවද? අනිවාර්යයෙන්ම එය එසේ විය යුතු නැහැ. සමහර අවස්ථාවලදී සිදු කරන එවැනි පාප මරණයට පමුණුවන්නාවූ පාප නොවිය හැකි අතර එය තීරණය කිරීම ඉතා අසීරුයි. යූදාහි මනස්සේ රජ මේ සඳහා කදිම උදාහරණයක්. ඔහු බොරු දෙවිවරුන් සඳහා පූජාසන තනා, තමාගේ පුත්‍රයන් ගිනි මැදින් යවා පූජා කළා. තවද ඔහු ආත්ම බන්ධන ක්‍රියාවල නියැලුණු අතර ඔහු සෑදූ දේවතා රූප යෙහෝවාගේ දේවමාළිගාවෙහි තැබුවා. මනස්සේ හා ඔහුගේ සෙනඟ, ‘යෙහෝවා ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශ කළාවූ ජාතීන්ට වඩා නපුරුකම් කළ’ බව බයිබලයේ වාර්තා වෙනවා. මේ ක්‍රියාවලට යෙහෝවා මනස්සේට දඬුවම් කළේ ඔහුව විලංගු ලා බබිලෝනියට ගෙන යෑමට ඉඩ හැරීමෙනුයි.—2 රාජාවලිය 21:1-9; 2 ලේකම් 33:1-11.

මනස්සේ සිදු කළ පාප ඔහුව මරණයට පමුණුවන තරම්ම බරපතළ පාප වුණාද? නැහැ. මේ සම්බන්ධව තවදුරටත් බයිබලයේ පවසන්නේ මෙසේයි. ‘ඔහු තමාගේ විපතේදී තමාගේ දෙවි වූ යෙහෝවාට කන්නලව් කොට, තමාගේ පියවරුන්ගේ දෙවි ඉදිරියෙහි ඉතා යටහත් වී, ඔහුට යාච්ඤා කළේය. දෙවි ඔහුට ඇහුම්කන් දී ඔහුගේ කන්නලව්ව අසා යෙරුසලමටත් ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණෙව්වේය. එවිට යෙහෝවා [සත්‍යය, NW] දෙවි බව මනස්සේ දැනගත්තේය.’—2 ලේකම් 33:12, 13.

යමෙක් වරදක් කර සභාවෙන් නෙරපූ පමණින්ම ඔහු මරණයට පමුණුවන්නාවූ පාපයක් කර ඇති කෙනෙක් බව අප නිශ්චය නොකළ යුතුයි. ඔහුගේ හෘදයේ සැබෑ තත්වය හෙළිවීමට කාලයක් ගත වෙයි. කෙනෙකුව සභා ඇසුරෙන් කපාහැරීමට එක හේතුවක් නම් ඔහුගේ වරදෙහි බරපතළකම වටහාගැනීමට හා එයින් මිදී, පසුතැවිලි වී නැවත හැරීමට ඔහුට අවස්ථාව දීමයි.

ඔහුට සභාවේ ආශ්‍රයක් නොමැති නිසා ඔහුගේ සිතුවිලි හා ආකල්පවල වෙනස මුලින්ම වටහාගන්නේ ළඟම ආශ්‍රිතයන් වන විවාහ කලත්‍රයා හෝ පවුලේ සාමාජිකයනුයි. මෙවැනි වෙනස්කම් දකින විට පව් කළ තැනැත්තා මරණයට පමුණුවන පාපයක් නොකළ බව ඒත්තුගැන්වෙනවා. දේවානුභාවයෙන් ලියන ලද දෙවිගේ වචනයෙන් ඔහුට අවශ්‍ය ශක්තිය ලබා දෙන මෙන්ද, යෙහෝවාගේ කැමැත්තට අනුව ඔහු ගැන ක්‍රියා කරන මෙන්ද ඉල්ලා ඔවුන්ට යාච්ඤා කළ හැකියි.—ගීතාවලිය 44:21; දේශනාකාරයා 12:14.

සමහරක් අය ඔහුගේ පසුතැවිලි වීම ගැන ප්‍රමාණවත් සාක්ෂි නිරීක්ෂණය කළ හැකි අතර සමස්තයක් හැටියට සභාවේ සියලුදෙනාට මෙය වටහාගන්න බැරි විය හැකියි. මේ නිසා යමෙක් ඔහු වෙනුවෙන් ප්‍රසිද්ධියේ යාච්ඤා කරන විට සභාවේ අනික් අයට මෙය සිත කලබල කරවන දෙයක් හෝ ප්‍රහේලිකාවක් විය හැකි අතර සමහර විට බාධාවක්ද විය හැකියි. මේ හේතුව නිසා යමෙක් පව් කළ තැනැත්තා වෙනුවෙන් යාච්ඤා කිරීමට කැමති නම් ඔහුට මෙය පෞද්ගලිකව කළ හැකියි. මේ කාරණය සම්බන්ධව වැඩි යමක් කිරීම සභාවේ වගකිව යුතු වැඩිමහල්ලන් සතුයි.

[31වන පිටුවේ පින්තූරය]

යෙහෝවා ඉදිරියේ යටහත් පහත්ව ක්‍රියා කළ නිසා මනස්සේගේ බරපතළ පාපවලට සමාව ලැබුණා

[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Reproduced from Illustrierte Pracht-Bibel/​Heilige Schrift des Alten und Neuen Testaments, nach der deutschen Uebersetzung D. Martin Luther’s