Skip to content

පටුනට යන්න

යෙහෝවාට භයව ඔහුගේ ආඥා පවත්වන්න

යෙහෝවාට භයව ඔහුගේ ආඥා පවත්වන්න

යෙහෝවාට භයව ඔහුගේ ආඥා පවත්වන්න

“[දෙවිට] භයව [ඔහුගේ] ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.”—දේශනාකාරයා 12:13.

1, 2. (අ) භය අපව ශාරීරික අනතුරුවලින් ආරක්ෂා කරන්නේ කෙසේද? (ආ) තම දූ පුතුන් තුළ හිතකර භයක් ඇති කිරීමට නැණවත් දෙමාපියන් වෑයම් කරන්නේ මන්ද?

 “නිර්භය ජීවිතය අනතුරේ හෙළයි. එහෙත් භය ජීවිතය සුරකියි” කියා ලියනාඩෝ ඩාවින්චි සඳහන් කළේය. බොරු චණ්ඩිකම නැතහොත් මෝඩකම හා බැඳි නිර්භීතකම, අනතුරු නොපෙනෙන ලෙස මිනිසෙකුගේ දෙනෙත් වසාලයි. එනමුත් භය, පරෙස්සම් වන්න කියා ඔහුට සිහිගන්වයි. නිදසුනක් වශයෙන් ප්‍රපාතාකාර කඳු මුදුනක අයිනේ සිටගෙන, ප්‍රපාතය දෙස බැලුවොත්, එතැනින් ඉවත් වීමට අපගෙන් වැඩිදෙනෙකු තුළ පෙලඹීමක් ඇති වන්නේ නිරායාසයෙනි. ඒ හා සමානව කලින් ලිපියේ අප ඉගෙනගත් පරිදි හිතකර භයක් දෙවි සමඟ යහපත් සබඳතාවකට මඟ පාදනවා පමණක් නොව, අනතුරුවලින්ද අපව ආරක්ෂා කරයි.

2 කෙසේවෙතත්, අද තිබෙන බොහෝ අනතුරුවලට භයවීම, ඉගෙනගත යුතු දෙයකි. විදුලි බලයෙන් හෝ නගරයේ රථ වාහනවලින් සිදු වන අනතුරු ගැන දැනුමක් නොමැති නිසා කුඩා දරුවන් බරපතළ අනතුරුවලට පහසුවෙන්ම ගොදුරු විය හැක. a නැණවත් දෙමාපියෝ අවට තිබෙන අනතුරු ගැන තම දූ පුතුන්ට නිතර නිතර අවවාද කිරීමෙන් ඔවුන් තුළ හිතකර භයක් ඇති කරවීමට උත්සාහ දරති. මෙසේ කරන්නේ එවන් භයක් මගින් දරුවන්ගේ ජීවිතවලට ආරක්ෂාවක් සැලසෙන බව දෙමාපියන් දන්න නිසාය.

3. ආත්මික අනතුරු ගැන යෙහෝවා අපට අනතුරු අඟවන්නේ මන්ද? කෙසේද?

3 යෙහෝවාද අපේ ශුභසිද්ධිය ගැන දක්වන්නේ එවන් සැලකිල්ලකි. අපට ප්‍රයෝජන අත් කර දීම සඳහා ප්‍රේමනීය පියෙකු මෙන් ඔහු සිය වචනය හා සංවිධානය මාර්ගයෙන් අපට උගන්වයි. (යෙසායා 48:17) අපේ ආත්මිකත්වයට අනතුරු කරන මලපත් ගැන සුවදායක භයක් ගොඩනඟා ගැනීමට අපට උපකාර කිරීමේ අරමුණින් “නැවත නැවත” අනතුරු ඇඟවීම, දිව්‍ය ඉගැන්වීම්වල ලක්ෂණයකි. (2 ලේකම් 36:15NW; 2 පේතෘස් 3:1, 2) ‘දෙවිට භයවීමටත් ඔහුගේ ආඥා රක්ෂා කිරීමටත් හැකි වන ලෙස මිනිසුන් තමන්ගේ [හෘද ගොඩනඟා ගත්තා නම්, NW]’ මිනිස් ඉතිහාසය පුරා බොහෝදෙනෙකුගේ ආත්මිකත්වයට සිදු වූ අනතුරු වළක්වාගන්න ඉඩ තිබිණ. එමෙන්ම බොහෝ දුක් වේදනාද වළක්වාගැනීමට හැකිව තිබිණ. (ද්විතීය කථාව 5:29) මෙම ‘කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවලදී’ දෙවිට භය වන ලෙස අපේ හෘද ගොඩනඟා ගනිමින් අපේ ආත්මිකත්වයට විය හැකි අනතුරුවලින් ආරක්ෂා වන්න අපට හැක්කේ කෙසේද?—2 තිමෝති 3:1NW.

නපුරෙන් දුරු වන්න

4. (අ) ක්‍රිස්තියානීන් වර්ධනය කරගත යුතු ද්වේෂය කුමක්ද? (ආ) පාපතර හැසිරීම ගැන යෙහෝවාට හැඟෙන්නේ කෙසේද? (පාදසටහන බලන්න.)

4 “[යෙහෝවා] කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂ කිරීමය” කියා බයිබලය පැහැදිලි කරයි. (හිතෝපදේශ 8:13) ද්වේෂ කිරීම යන්නෙහි අර්ථය එක් බයිබල් ශබ්දකෝෂයක මෙසේ විස්තර කරයි. “එය වනාහි තමන් විරෝධය පාන, පිළිකුල් කරන හා හෙළා දකින, කිසිම සම්බන්ධයක් ඇති කරගැනීමට අකමැති පුද්ගලයන් හෝ දේවල් කෙරෙහි තිබෙන චිත්තවේගයන් හා බැඳි ආකල්පයකි.” මෙයින් පැහැදිලි වන්නේ යෙහෝවාගේ ඇස් හමුවෙහි නපුරුයයි සැලකෙන සෑම දෙයක් කෙරෙහිම අභ්‍යන්තරයෙන්ම දැඩි අරුචියක් හෝ පිළිකුලක් ඇති කරගැනීම දේවභයට ඇතුළත් වන බවයි. b (ගීතාවලිය 97:10) ප්‍රපාතාකාර කඳු මුදුනක අයිනේ සිටින විට අප තුළ නිරායාසයෙන්ම ඇති වන භය අපව එතැනින් ඉවත් කරවන්නාක් මෙන්, දෙවිට ඇති භය නපුරු දේවලින් ඉවත්ව සිටීමට අපව පොලඹවයි. “[යෙහෝවා] කෙරෙහි භයවීමෙන් මනුෂ්‍යයෝ නපුරෙන් දුරුවෙති” කියා බයිබලයේ සඳහන් වේ.—හිතෝපදේශ 16:6.

5. (අ) අප තුළ තිබෙන දේවභය හා නපුරු දේවල් කෙරෙහි ද්වේෂය තවත් වර්ධනය කරගැනීමට අපට හැක්කේ කෙසේද? (ආ) මේ සම්බන්ධයෙන් ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාසයෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

5 පාපතර ක්‍රියාවල නිරත වීම නිසා අනිවාර්යයෙන්ම අද්දැකීමට සිදු වන ඵලවිපාක ගැන කල්පනා කර බැලීමෙන්, මෙහි සඳහන් හිතකර භය මෙන්ම නපුරු දේවල් කෙරෙහි ද්වේෂය තව තවත් වර්ධනය කරගැනීමට අපට පුළුවනි. මාංසය සඳහා වැපුරුවත් ආත්මය සඳහා වැපුරුවත් අප කපාගන්නේ අප වැපුරූ දෙය බව බයිබලය අපට සහතික කරයි. (ගලාති 6:7, 8) මේ නිසා තමාගේ ආඥාවන් නොසලකා හැරීමෙන් හා සැබෑ නමස්කාරය අත්හැරීමෙන් අද්දකින වැළැක්විය නොහැකි ප්‍රතිවිපාක ඉතාමත් පැහැදිලිව යෙහෝවා විස්තර කර තිබේ. දෙවිගේ ආරක්ෂාව නොතිබුණා නම් ගණනින් කුඩා වූ, ශක්තිමත් නැති ඉශ්‍රායෙල් ජාතිය කුරිරු බලවත් අසල්වාසීන්ගේ පහසු ගොදුරක් වනවාට සැකයක් නැත. (ද්විතීය කථාව 28:15, 45-48) ඉශ්‍රායෙල්වරුන්ගේ අකීකරුකම නිසා අද්දුටු විපත්ති “අනතුරු ඇඟවීමක්” ලෙස සවිස්තරව බයිබලයේ වාර්තා කර තිබෙන්නේ ඒවායින් පාඩමක් ඉගෙනගනිමින් දේවභය වර්ධනය කරගැනීමට අපට උපකාර කිරීම සඳහාය.—1 කොරින්ති 10:11NW.

6. දේවභය ගැන ඉගෙනගැනීමේදී අපට සලකා බැලිය හැකි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ආදර්ශ කිහිපයක් සඳහන් කරන්න. (පාදසටහන බලන්න.)

6 සමස්තයක් වශයෙන් ඉශ්‍රායෙල් ජාතියට සිදු වූ දෙය ගැන පමණක් නොව, ඊර්ෂ්‍යාව, දුරාචාරය, ගිජුකම හා උඩඟුකම යනාදියේ ග්‍රහණයට හසු වූ පුද්ගලයන්ගේ අද්දැකීම් ගැනද බයිබලයේ සඳහන් වේ. c මේ අයගෙන් සමහරදෙනෙකු වසර ගණනාවක් යෙහෝවාට සේවය කර තිබුණත්, ඔවුන්ගේ ජීවිතයේ ඇතැම් තීරණාත්මක අවස්ථාවලදී දෙවි කෙරෙහි තිබූ භය නොසැලෙන තත්වයක නොතිබිණ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් කපාගත්තේ දුකෙන් පිරි අස්වැන්නකි. ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් එවන් අද්දැකීම් ගැන මෙනෙහි කිරීමෙන් ඒ හා සමාන වැරදි නොකිරීමට වූ අපේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් කරගත හැක. දෙවිගේ උපදෙස් හෘදයට නොගෙන පෞද්ගලිකව යම් ඛේදජනක දෙයක් අද්දකින තෙක් බලා සිටියොත් එය මොනතරම් කනගාටුදායක දෙයක් වේවිද! ඉගෙනගැනීමට තිබෙන හොඳම ක්‍රමවලින් එකක් නම් පෞද්ගලිකව දේවල් අත්හදා බැලීම බව බොහෝදෙනෙක් විශ්වාස කරති. එහෙත් තමාට රිසි දේ කිරීමෙන් ලද අද්දැකීම් හොඳම ගුරුවරයා ලෙස සැලකිය නොහැක.—ගීතාවලිය 19:7.

7. යෙහෝවා තමන්ගේ සංකේතමය කූඩාරමට ආරාධනා කරන්නේ කාටද?

7 දේවභය වර්ධනය කරගැනීම සඳහා තිබෙන තවත් ප්‍රබල හේතුවක් වන්නේ දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව රැකගැනීමට අප තුළ තිබෙන ආශාවයි. දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය අනර්ඝ දෙයක් වන නිසා යෙහෝවාව අසතුටට පත් කරන්න අපි භය වන්නෙමු. තමාගේ සංකේතමය කූඩාරමට ආරාධනා කළ හැකි මිතුරෙකු ලෙස දෙවි සලකන්නේ කවුරුන්වද? “අවංකලෙස හැසිරෙන්නාවූ, ධර්මිෂ්ඨකම් කරන්නාවූ” තැනැත්තාව පමණි. (ගීතාවලිය 15:1, 2) අපේ මැවුම්කරු සමඟ තිබෙන මෙම වරප්‍රසාද ලත් සබඳතාව අප අගය කොට සලකනවා නම් ඔහුගේ ඇස් හමුවෙහි අවංකව හැසිරීමට අපි වගබලා ගන්නෙමු.

8. මලාකීගේ කාලයේ විසූ ඇතැම් ඉශ්‍රායෙල්වරුන් දෙවි සමඟ තිබූ මිත්‍රත්වය සුළු කොට සැලකුවේ කෙසේද?

8 මලාකීගේ කාලයේ විසූ ඇතැම් ඉශ්‍රායෙල්වරුන් දෙවි සමඟ තිබූ සබඳතාව සුළු කොට තැකීම කනගාටුවට කරුණකි. යෙහෝවාට භය වෙමින් ගෞරව කරනවා වෙනුවට ඔහුගේ පූජාසනය මත ඔවුන් පූජා කළේ ලෙඩ වූ කොර සතුන්ය. ඔවුන් විවාහය සැලකූ ආකාරයෙන්ද පෙන්නුම් කළේ දේවභය ඔවුන් තුළ අඩු බවයි. තමන් තරුණ වයසේදී විවාහ කරගත් ස්ත්‍රීන්ට වඩා වයසින් අඩු තරුණියන්ව විවාහ කරගැනීමේ අරමුණින් ඔවුහු සුළු සුළු හේතු මුල් කරගෙන තමන්ගේ භාර්යාවන්ව දික්කසාද කළහ. “දික්කසාදය” [NW] යෙහෝවා පිළිකුල් කරන දෙයක් බව මලාකී ඔවුන්ට පැවසුවේය. ඔවුන්ගේ එම ද්‍රෝහිකමේ ප්‍රතිඵලය වූයේ ඔවුන් දෙවිගෙන් ඈත්වීමයි. අත්හරිනු ලැබූ ඔවුන්ගේ භාර්යාවන්ගේ දුක් කඳුළුවලින් පූජාසනය තෙත් වෙද්දී, ඔවුන්ගේ පූජාවලට ආශීර්වාද කිරීමට දෙවිට හැක්කේ කෙසේද? ඔහුගේ ප්‍රමිතිවලට බරපතළ ලෙස අගෞරව කළ නිසා යෙහෝවා හැඟීමෙන් යුතුව ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය. “මා කෙරෙහි ඇති භය [කොහේද?]”—මලාකී 1:6-8; 2:13-16.

9, 10. යෙහෝවාගේ මිත්‍රත්වය අප අගය කරන බව පෙන්විය හැක්කේ කෙසේද?

9 ආත්මාර්ථකාමී හා දුරාචාරයේ නියැලෙන ස්වාමිපුරුෂයන් හා පියවරුන් එසේ නැතහොත් භාර්යාවන් හා මව්වරුන් නිසා අසරණ වී සිටින අහිංසක කලත්‍රයන් හා දරුවන් විඳින සිත් වේදනා එදා මෙන් අදත් යෙහෝවා දකියි. ඔහු ඔවුන් ගැන දුක් වෙනවාට සැකයක් නැත. දෙවිගේ මිත්‍රයෙකු කාරණා දෙස බලන්නේ දෙවි බලන ආකාරයටයි. එමෙන්ම එවැනි කෙනෙක් තමාගේ විවාහය ශක්තිමත්ව තබාගැනීමට මහත් පරිශ්‍රමයක් දරමින්, විවාහ බන්ධනයේ වැදගත්කම සුළු කොට සලකන ලෝකයේ අදහස් ප්‍රතික්ෂේප කරන අතර, ‘වේශ්‍යාකම කෙරෙන් පලා දුවයි.’—1 කොරින්ති 6:18.

10 විවාහය ඇතුළු ජීවිතයේ වෙනත් කාරණාවලදී යෙහෝවාගේ ඇස් හමුවෙහි නපුරුයයි සැලකෙන සෑම දෙයක්ම ද්වේෂ කිරීමෙන් හා යෙහෝවාගේ මිත්‍රත්වය ඉමහත් සේ අගය කිරීමෙන් ඔහුගේ අනුමැතිය අපට ලබාගත හැක. ප්‍රේරිත පේතෘස් තරයේ මෙසේ ප්‍රකාශ කළේය. “[දෙවි] මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ [ඔහු] කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ [ඔහුට] ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ.” (ක්‍රියා 10:34, 35) විවිධ දුෂ්කරතා යටතේ හරි දෙය කිරීමට දේවභය ඇතැම් පුද්ගලයන් තුළ පෙලඹීමක් ඇති කළ ආකාරය ගැන ආදර්ශ බොහොමයක් ශුද්ධ ලියවිල්ලෙහි අපට සොයාගැනීමට තිබේ.

දෙවි කෙරෙහි භය විදහාපෑ තිදෙනෙක්

11. ආබ්‍රහම් ‘දෙවි කෙරෙහි භය’ විදහාපෑ පුද්ගලයෙකු බව ප්‍රකාශ කරනු ලැබුවේ කුමන අවස්ථාවේදීද?

11 යෙහෝවා පෞද්ගලිකවම තමාගේ මිතුරා ලෙස හැඳින්වූ එක් පුද්ගලයෙකු ගැන බයිබලයෙහි සඳහන් වේ. ඒ කුලදෙටු ආබ්‍රහම්ය. (යෙසායා 41:8) තමන්ගෙන් පැවතෙන්නන් මහත් ජාතියක් බවට පත් වනවා කියා දෙවි දුන් පොරොන්දුව ඉටු කිරීමට සිටි ඔහුගේ එකම පුත්‍රයා වූ ඊසාක්ව පූජාවක් ලෙස ඔප්පු කරන මෙන් දෙවි ඉල්ලා සිටි විට ආබ්‍රහම්ගේ දේවභය පරීක්ෂණයට ලක් විය. (උත්පත්ති 12:2, 3; 17:19) ‘යෙහෝවාගේ මිත්‍රයා’ මෙම වේදනාකාරි පරීක්ෂණයෙන් සමත් වනු ඇද්ද? (යාකොබ් 2:23) ආබ්‍රහම් ඊසාක්ව මරන්න ඔහුගේ අත එසවූ අවස්ථාවේදී යෙහෝවා එවූ දූතයා මෙසේ පැවසුවේය. “නුඹේ අත තරුණයා පිට නොතබව, ඔහුට කිසිවක් නොකරව. මක්නිසාද නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඹ [දෙවිට] භයවෙන බව දැන් දනිමි.”—උත්පත්ති 22:10-12.

12. දේවභය පෙන්වීමට ආබ්‍රහම්ව පෙලඹුවේ කුමක්ද? එවන් ස්වභාවයක් අපටත් පෙන්විය හැක්කේ කෙසේද?

12 යෙහෝවා කෙරෙහි භයක් තිබූ පුද්ගලයෙකු බව ආබ්‍රහම් කලින් ඔප්පු කර තිබුණත්, කැපීපෙනෙන ආකාරයකින් දේවභය ඔහු විදහාපෙන්වූයේ ඒ අවස්ථාවේදීය. ආබ්‍රහම් ඊසාක්ව පූජා කිරීමට කැමති වීමෙන් පෙනෙන්නේ ඔහු හුදෙක් දෙවිට ගෞරවාන්විත ලෙස කීකරු වීමෙන් පමණක් සෑහීමට පත් නොවූ බවයි. අවශ්‍ය නම් ඊසාක්ව නැවත නැඟිටවීමෙන් තම ස්වර්ගික පියා තමාට වූ පොරොන්දු ඉටු කරන බවට පූර්ණ විශ්වාසයක් ආබ්‍රහම්ට තිබිණ. එතරම් බැරෑරුම් පියවරක් ගැනීමට ඔහුව පොලඹවනු ලැබුවේ ඒ විශ්වාසයයි. පසු කලෙක පාවුල් සඳහන් කළාක් මෙන් ආබ්‍රහම් ‘[දෙවි] පොරොන්දු වූ දේ ඉෂ්ට කරන්ට ඔහුට පුළුවන කියා නිසැකව විශ්වාස කළේය.’ (රෝම 4:16-21) මහත් කැප කිරීම් කිරීමට සිදු වන විට පවා දෙවිගේ කැමැත්ත කිරීමට අපත් සූදානම්ද? යෙහෝවා “[ඔහුව උනන්දුවෙන්, NW] සොයන්නන්ට විපාක දෙන කෙනෙකු” බව තේරුම්ගනිමින්, දෙවිට එලෙස කීකරු වීමෙන් දිගු කාලීන ප්‍රයෝජන අත් කරගත හැකි බවට පූර්ණ නිසැකකමක් අපට තිබෙනවාද? (හෙබ්‍රෙව් 11:6) දෙවි කෙරෙහි සැබෑ භයක් පෙන්වනවා කියන්නේ එයටයි.—ගීතාවලිය 115:11.

13. ‘දෙවි කෙරෙහි භය ඇති’ කෙනෙකු වශයෙන් තමාව යෝග්‍ය ලෙස හැඳින්වීමට යෝසෙප්ට හැකි වූයේ මන්ද?

13 ක්‍රියාවට නැංවූ දේවභය පිළිබඳව තවත් ආදර්ශයක් අපි සලකා බලමු. මේ ආදර්ශය සපයන්නේ යෝසෙප්. පෝතිඵර්ගේ නිවසේ වහලෙකු ලෙස සේවය කරමින් සිටියදී පරදාර සේවනයෙහි නියැලීමට දිනපතාම ඔහුට දැඩි පීඩනයක් එල්ල විය. තම ස්වාමියාගේ භාර්යාව තමන් සමඟ දුරාචාරයේ යෙදීමට නිතර නිතර කළ ඇවිටිලි කිරීම් මඟහැරීමට කිසිම මඟක් යෝසෙප්ට නොතිබිණ. අවසානයේදී, ඇය ‘ඔහුගේ සළුවෙන් ඔහුව අල්ලාගත්’ විට ඔහු “පිටතට පලා ගියේය.” එම නරක ක්‍රියාවෙන් ගැළවී විගස පලා යෑමට ඔහු තුළ පෙලඹීමක් ඇති කළේ කුමක්ද? දෙවිට ඇති භය එනම්, ‘දෙවිට විරුද්ධව ඒ මහත් දුෂ්ටකම’ කිරීමෙන් වැළකී සිටීමට ඔහු තුළ තිබූ ආශාව ඊට මූලිකවම හේතු වූ බවට සැකයක් නැත. (උත්පත්ති 39:7-12) ඒ නිසා, ‘දෙවි කෙරෙහි භය ඇති’ කෙනෙකු වශයෙන් තමාව යෝග්‍ය ලෙස හැඳින්වීමට යෝසෙප්ට හැකි විය.—උත්පත්ති 42:18.

14. දයාව පෙන්වීම මගින් යෝසෙප් දෙවි කෙරෙහි සැබෑ භයක් පෙන්වූයේ කෙසේද?

14 කිසිම අනුකම්පාවක් නොදක්වා තමාව වහලෙකු ලෙස විකුණූ සිය සහෝදරයන්ව වසර කිහිපයකට පසු යෝසෙප්ට මුහුණට මුහුණ හමු විය. ඔවුන් දැඩි ආහාර හිඟයකින් පසු වූ ඒ අවස්ථාවේදී යෝසෙප්ට පහසුවෙන්ම තමාට කළ අකටයුත්ත වෙනුවෙන් ඔවුන්ගෙන් පළිගන්න හැකියාව තිබිණ. නමුත් දෙවිට භයක් දක්වන කෙනෙක් මිනිසුන්ව තළා පෙළා අධිපතිකම් නොකරයි. (ලෙවී කථාව 25:43) මේ නිසා තම සහෝදරයන් අවංකවම වෙනස් වී සිටි බවට ප්‍රමාණවත් සාක්ෂි දුටු විට යෝසෙප් ඔවුන්ට දයාව පෙන්වමින් සමාව දුන්නේය. යෝසෙප් හා සමානව, යහපතින් නපුර පරාජය කිරීමටත් පරීක්ෂාවලට හසු නොවී සිටීමටත් අපව පොලඹවන්නේ අප තුළ තිබෙන දේවභයයි.—උත්පත්ති 45:1-11; ගීතාවලිය 130:3, 4; රෝම 12:17-21.

15. යෝබ්ගේ හැසිරීම යෙහෝවාගේ සිත සතුටට පත් කළේ මන්ද?

15 දෙවි කෙරෙහි භය විදහාපෙන්වීම පිළිබඳව කැපීපෙනෙන ආදර්ශයක් තැබූ තවත් අයෙකි යෝබ්. යෙහෝවා යෝබ් ගැන සාතන්ට මෙසේ පැවසුවේය. “නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනා කළෙහිද? ඔහු මෙන් නිර්දෝෂ වූ, අවංක වූ, [දෙවි] කෙරෙහි භය ඇත්තා වූ, නපුරෙන් වැළකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැත.” (යෝබ් 1:8) වසර ගණනාවක් පුරා යෝබ් නිර්දෝෂ ලෙස හැසිරීමෙන් ඔහුගේ ස්වර්ගික පියාගේ හදවත සතුටු කර තිබිණ. යෝබ් දෙවිට භයක් විදහාපෑවේය. මන්ද එය කළ යුතු හරි දෙය මෙන්ම ජීවත් වීමට තිබෙන හොඳම විදිහ බව ඔහු දැන සිටි බැවිනි. යෝබ් හැඟීමෙන් යුතුව මෙසේ පැවසුවේය. ‘ප්‍රඥාව නම් යෙහෝවා කෙරෙහි භයින් සිටීමය. නුවණ නම් නපුරෙන් වැළකී සිටීමය.’ (යෝබ් 28:28) විවාහක පුරුෂයෙකු වූ යෝබ් තරුණියන් දෙස නුසුදුසු ලෙස බැලුම් හෙළුවේවත් පරදාර සේවනයේ යෙදීම සඳහා කූට ලෙස සැලසුම් යෙදුවේවත් නැත. ධනවතෙකු වුවත් ඔහු ධනය කෙරෙහි විශ්වාසය තැබුවේ නැත. සෑම ආකාරයකම පිළිම නමස්කාරය ඔහු ප්‍රතික්ෂේප කළේය.—යෝබ් 31:1, 9-11, 24-28.

16. (අ) යෝබ් ප්‍රේමනීය කරුණාව පෙන්වූයේ කිනම් ආකාරවලින්ද? (ආ) සමාව දීමෙන් තමන් වැළකී නොසිටි බව යෝබ් පෙන්වූයේ කෙසේද?

16 කෙසේවෙතත්, දෙවිට භයවීම යනුවෙන් අදහස් කරන්නේ නපුරු දේවලින් වැළකී සිටීම පමණක් නොවේ. යහපත කිරීමද ඊට ඇතුළත් වේ. යෝබ් දේවභය විදහාපාමින් අන්ධ හා කොර අය මෙන්ම දුප්පත් අය කෙරෙහි කරුණාව පෙන්නුවේ එනිසාය. (ලෙවී කථාව 19:14; යෝබ් 29:15, 16) “දිළිඳුන්ට ප්‍රේමනීය කරුණාව පෙන්වීමෙන් වැළකී සිටින්නා සර්ව පරාක්‍රමයා කෙරෙහි භයවීම අත්හරින්නේය” යන්න යෝබ් දැන සිටියේය. (යෝබ් 6:14NW) සමාව දීමෙන් වැළකී සිටීම හෝ අමනාපය සිතේ තබාගෙන සිටීම ප්‍රේමනීය කරුණාව පෙන්වීමෙන් වැළකී සිටීමට අයත් විය හැක. දෙවි දුන් මඟ පෙන්වීම පිළිපදිමින් යෝබ් තමන්ට බොහෝ දුක් වේදනා ගෙන දුන් තම සගයන් තිදෙනා වෙනුවෙන් යාච්ඤා කළේය. (යෝබ් 42:7-10) සෙසු නමස්කාරකයෙකු යම් ආකාරයකින් අපේ සිත රිදවා තිබිය හැකි අවස්ථාවකදී යෝබ් මෙන් අපටත් සමාව දිය හැකිද? යම් කෙනෙකු අතින් අපට වරදක් සිදු වූ විටක ඔහු හෝ ඇය වෙනුවෙන් අවංක යාච්ඤාවක් කිරීමෙන්, අමනාපය සිතේ රඳවාගැනීමෙන් වැළකීමට අපට හැක. ‘යෙහෝවා තමන් කෙරෙහි භය ඇත්තන්ට නිධාන කොට තිබෙන යහපත්කම්,’ යෝබ් දේවභය විදහාපෙන්වීමෙන් ලැබූ ආශීර්වාදවලින් පිළිබිඹු වේ.—ගීතාවලිය 31:19; යාකොබ් 5:11.

මිනිස් භයට එරෙහිව දෙවිට ඇති භය

17. මිනිස් භයට හැක්කේ අපට කුමක් කරන්නද? එහෙත් එවන් භයක් අදූරදර්ශී දෙයක් වන්නේ මන්ද?

17 හරි දෙය කිරීමට අප තුළ පෙලඹීමක් ඇති කිරීමට දෙවිට ඇති භයට හැකි අතර, අපේ ඇදහිල්ල දුර්වල කිරීමට මිනිස් භයට හැක. මෙය සැලකිල්ලට ගනිමින් යේසුස් ශුභාරංචිය ජ්වලිතව ප්‍රකාශ කරන්නන් වන්න කියා ප්‍රේරිතවරුන්ව දිරිමත් කළ අවස්ථාවේදී ඔවුන්ට මෙසේ පැවසුවේය. “ශරීරය නසන නුමුත් ආත්මය නසන්ට නුපුළුවන්වූ අයවලුන්ට භය නොවෙන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි [ගෙහෙන්නාවෙහි, NW] විනාශකරන්ට පුළුවන් [තැනැත්තාටම] භයවෙන්න.” (මතෙව් 10:28) අපේ අනාගත ජීවිතය පිළිබඳ අපේක්ෂාව විනාශ කර දමන්න මිනිසුන්ට නොහැකි නිසා ඔවුන්ට භයවීම අදූරදර්ශී දෙයක් බව යේසුස් පැහැදිලි කළේය. එපමණක්ද නොව, ගරු බිය දනවන දෙවිගේ බලය සමඟ සියලුම ජාතීන් සතු බලය සසඳන විට ඔවුන් මොනතරම් දුර්වලද කියා අපි දනිමු. මෙයද දෙවිට භයවීමට අපව පොලඹවයි. (යෙසායා 40:15) තම විශ්වාසවන්ත සේවකයන්ව නැවත නැඟිටවන්න යෙහෝවාට බලය තිබෙන බවට ආබ්‍රහම්ට මෙන් අපටත් පූර්ණ නිසැකකමක් තිබේ. (එළිදරව් 2:10) “[දෙවි] අපේ පක්ෂයට [සිටින්නේ] නම්, අපට විරුද්ධ වෙන්නේ කවුද” කියා අප නිසැකකමින් යුතුව පවසන්නේ එම නිසාය.—රෝම 8:31.

18. තමන් කෙරෙහි භය ඇති අයට යෙහෝවා ප්‍රතිඵල දෙන්නේ කෙසේද?

18 අපට විරුද්ධකම් කරන්නා පවුලේ සාමාජිකයෙකු හෝ පාසැලේ සිටින චණ්ඩි ළමයෙකු විය හැක. එහෙත් ‘යෙහෝවා කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක්’ අපි ලබන්නෙමු. (හිතෝපදේශ 14:26) දෙවි අපේ යාච්ඤාවලට සවන් දෙන බව විශ්වාස කරමින් ශක්තිය ඉල්ලා ඔහුට යාච්ඤා කරන්න අපට පුළුවන. (ගීතාවලිය 145:19) තමන් කෙරෙහි භයෙන් සිටින අයව යෙහෝවා කවදාවත් අමතක නොකරයි. ඔහු සිය අනාගතවක්තෘ මලාකී මාර්ගයෙන් අපේ බිය සැක දුරු කරමින් මෙසේ පවසයි. ‘යෙහෝවා කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කතා කරගත්තෝය. යෙහෝවාද කන් දී ඇසුවේය. එවිට යෙහෝවා කෙරෙහි භය ඇත්තාවූ, ඔහුගේ නාමය සැලකුවාවූ අය ගැන ඔහු ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියන ලද්දේය.’—මලාකී 3:16.

19. පහ වනු ඇති භය කුමක්ද? එහෙත් සදහටම පවතිනු ඇති භය කුමක්ද?

19 පොළොවේ සිටින සෑම කෙනෙකුම යෙහෝවාට නමස්කාර කරන කාලය වැඩි ඈතක නොවේ. ඒ කාලයේදී මිනිසුන් කෙරෙහි තිබෙන භය පහ වනු ඇත. (යෙසායා 11:9) කුසගින්න, ලෙඩ රෝග, අපරාධ හා යුද්ධ යනාදිය කෙරෙහි තිබෙන භයද තවදුරටත් නොතිබෙනු ඇත. එහෙත් ස්වර්ගයෙහි මෙන්ම පොළොවෙහිද සිටින දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් ඔහුට හිමි ගෞරවය හා කීකරුකම දිගටම පෙන්වද්දී දෙවි කෙරෙහි භය සදහටම පවතී. (එළිදරව් 15:4) ඒ කාලය පැමිණෙන තුරු අපි සියලුදෙනාම දේවානුභාවයෙන් සාලමොන් දුන් මෙම උපදේශය හෘදයට ගනිමු. “නුඹේ සිත පව්කාරයන්ට ඊර්ෂ්‍යා නොකොට, හැම කල්හිම [යෙහෝවා] කෙරෙහි භය ඇතුව තිබේවා. මක්නිසාද සැබවින් විපාකයක් ලැබෙන්ට තිබේ; නුඹේ බලාපොරොත්තුවද සිඳදමනු නොලැබේ.”—හිතෝපදේශ 23:17, 18.

[පාදසටහන්වල]

a ඇතැම් අය කරන රැකියාවන් අනතුරුදායකයි. එහෙත් ඔවුන් එම අනතුරුදායක වැඩවල දිගු කාලයක් නිරත වීම නිසා ඔවුන්ගේ භය නැති වී ගොස් තිබේ. වඩු කර්මාන්තයේ නියැලෙන බොහෝදෙනෙකුගේ ඇඟිල්ලක් නැතිවීමට හේතුව විමසනු ලැබූ විට, පළපුරුදු වඩු කාර්මිකයෙක් මෙසේ පිළිතුරු දුන්නේය. “අධිවේගයෙන් ක්‍රියාත්මක වන විදුලි කියත්වලට කිසිම භයක් ඔවුන් තුළ දක්නට නැහැ.”

b මෙවන් පිළිකුලක් යෙහෝවාටද හැඟෙයි. නිදසුනක් වශයෙන් එපීස 4:29හි අසභ්‍ය භාෂාව විස්තර කරන්නේ “දූෂ්‍ය කථා” ලෙසයි. “දූෂ්‍ය” යන වචනය සඳහා භාවිත කර තිබෙන ග්‍රීක් වචනයේ පදගතාර්ථයෙන් විස්තර කෙරෙන්නේ නරක් වූ පලතුරු, මාළු හෝ මස් යනාදියයි. අසභ්‍ය භාෂාව නැතහොත් දූසමාන කතා ගැන අප තුළ ජනිත විය යුතු පිළිකුල එම වදනින් විචිත්‍රවත් ලෙස දක්වයි. මේ හා සමානව ශුද්ධ ලියවිල්ලේ පාඨ කිහිපයක පිළිම, ‘ගොමවලට’ [NW] සමාන කර දක්වා තිබේ. (ද්විතීය කථාව 29:17; එසකියෙල් 6:9) ඕනෑම ආකාරයක පිළිම නමස්කාරයක් ගැන දෙවිට දැනෙන දැඩි පිළිකුල මොනතරම්ද කියා තේරුම්ගැනීමට, ගොම නැතහොත් අශූචි දකින විට අප තුළ නිතැතින්ම ඇති වන අප්‍රියබව ගැන සිතා බැලීම උපකාරවත් වේ.

c පාඩමක් ඉගෙනගැනීමේ අරමුණින් කායින් (උත්පත්ති 4:3-12); දාවිත් (2 සාමුවෙල් 11:2–12:14); ගෙහාසි (2 රාජාවලිය 5:20-27) සහ උස්සියා (2 ලේකම් 26:16-21) යන අය ගැන ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වාර්තා සලකා බලන්න.

ඔබට මතකද?

• නපුරු දේවලට ද්වේෂ කරන්න අප ඉගෙනගන්නේ කෙසේද?

• මලාකීගේ කාලයේ සිටි ඇතැම් ඉශ්‍රායෙල්වරුන් යෙහෝවා සමඟ තිබූ මිත්‍රත්වය සුළු කොට සැලකුවේ කෙසේද?

• දෙවිට භයවීම ගැන ආබ්‍රහම්, යෝසෙප් හා යෝබ් වැනි අයගේ ආදර්ශවලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

• සදහටම පවතිනු ඇති භය කුමක්ද? ඊට හේතුව කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[19වන පිටුවේ පින්තූරය]

නැණවත් දෙමාපියෝ හිතකර භයක් තම දරුවන් තුළ ඇති කරති

[20වන පිටුවේ පින්තූරය]

භය අපව අනතුරුවලින් ඈත් කරන්නාක් මෙන් දේවභය අපව නපුරු දේවලින් ඈත් කරනු ඇත

[23වන පිටුවේ පින්තූරය]

වංක මිතුරන් තිදෙනෙකුගේ දෝෂාරෝපණවලට මුහුණ දීමට සිදු වුවත් යෝබ් දෙවි කෙරෙහි තිබූ භය අත්හැරියේ නැත

[හිමිකම් විස්තර]

From the Bible translation Vulgata Latina, 1795