Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබ මෑතක පළ වූ මුරටැඹ සඟරාවල ලිපි කියවීමෙන් දැනුම රැස් කරගත්තාද? එසේ නම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් ඔබේ දැනුම උරගා බලන්න.

• ජර්මනියේ ෆෙඩරල් ආණ්ඩුක්‍රම අධිකරණය දුන් තීන්දුව මගින් ලැබූ ආගමික ජයග්‍රහණය කුමක්ද?

එම අධිකරණය, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට හා ඔවුන්ව නීතික සංස්ථාවක් හැටියට පිළිගැනීමට එරෙහිව වෙනත් අධිකරණයක් විසින් දමනු ලැබූ නීතිමය බාධක අහෝසි කළේය. එම අධිකරණ තීන්දුවට අනුව, නීතියෙන් ලබා දී තිබෙන ආගමික නිදහස තුළ යම් කෙනෙකුට ආණ්ඩුවට වඩා ‘තම ආගමික විශ්වාසයන්ට මුල් තැන දීමට හැකිය.’—8/15, 8වන පිටුව.

යෝබ් පීඩා විඳි කාලය කොතරම් දීර්ඝ වීද?

ඔහු පීඩා විඳි කාලය අවුරුදු ගණනාවක් දක්වා දිව ගිය බව යෝබ් පොතෙහි සඳහන් කරන්නේ නැත. යෝබ්ගේ පීඩාව හා එයට විසඳුමක් ලැබීම අතරතුර මාස කිහිපයක් හෝ අවුරුද්දකට වඩා අඩු කාලයක් ගත වූවා විය හැකියි.—8/15, 31වන පිටුව.

යක්ෂයා මිථ්‍යාවක් නොවෙයි කියා අපට ස්ථිර විය හැක්කේ කෙසේද?

යේසුස් ක්‍රිස්තුස් යක්ෂයා සැබෑ පුද්ගලයෙකු බව දැන සිටියේය. මන්ද යේසුස්ව පරීක්ෂා කරනු ලැබුවේ ඔහු තුළ තිබූ යම් නපුරු ස්වභාවයකින් නොව සැබෑ පුද්ගලයෙකු විසිනි. (මතෙව් 4:1-11; යොහන් 8:44; 14:30) —9/1, 5-6 පිටු.

හිතෝපදේශ 10:15හි මෙසේ පවසයි. “ධනවතාගේ සම්පත ඔහුගේ බලකොටුවය; දුප්පතුන්ගේ විනාශය ඔවුන්ගේ දිළිඳුකමය.” මෙය සත්‍යයක්ද?

බලකොටුවලින් වට වුණ නුවරක වැසියන්ට යම් තාක් දුරකට ආරක්ෂාවක් ලැබෙන්නා සේම ජීවිතයේ මුහුණ දීමට සිදු වන යම් තත්වයන්වලදී මුදලද ආරක්ෂාවක් සපයයි. අනෙක් අතට ජීවිතයේ අනපේක්ෂිත තත්වයන්ට මුහුණ දෙන විට දුගීකමෙන් පෙළෙන කෙනෙකුව අන්ත අසරණභාවයකට පත් විය හැකියි.—9/15, 24වන පිටුව.

ඒනොෂ්ගේ කාලයේදී ජනයා ‘යෙහෝවාගේ නාමය කියා යාච්ඤා කරන්ට පටන්ගත්තෝය’ යන කීමෙහි අරුත කුමක්ද? (උත්පත්ති 4:26)

දිව්‍ය නාමය භාවිත කර තිබෙන්නේ මිනිස් ඉතිහාසයේ පටන්ගැන්මේ සිටය. ඒ නිසා, ඒනොෂ්ගේ කාලයේදී සිදු වූ මෙම ක්‍රියාව යෙහෝවා කෙරෙහි වූ ඇදහිල්ලෙන් කළ ආමන්ත්‍රණයක් නොවෙයි. මනුෂ්‍යයන් දෙවිට නමස්කාර කරනවා කියා බොරුවට මවා පාමින්, දිව්‍ය නාමය කෙලසමින් තමන්ව හෝ වෙනත් මිනිසුන්ව ඒ නමින් හැඳින්වූවා විය හැකියි.—9/15, 29වන පිටුව.

බයිබලයේ භාවිත කර ඇති පරිදි, “හික්මවීම” යන වදනේ අරුත කුමක්ද?

මෙම වචනය යොදා තිබෙන්නේ යම් අන්දමක වැරදිසහගත සැලකීමක් හෝ කුරිරුකමක් ඇඟවීමට නොවෙයි. (හිතෝපදේශ 4:13; 22:15) “හික්මවීම” යන්නට යොදා ඇති ග්‍රීක් වචනයෙන් මූලිකවම අදහස් වන්නේ උපදෙස් දීම, ඉගැන්වීම, නිවැරදි කිරීම සහ ඇතැම් අවස්ථාවලදී ස්ථිර නමුත් ප්‍රේමනීයව දඬුවම් දීමයි. තම දරුවන් සමඟ අදහස් හුවමාරුව දිගටම පවත්වාගැනීමෙන් දෙමාපියන්ට යෙහෝවාව අනුකරණය කළ හැකිය. (හෙබ්‍රෙව් 12:7-10)—10/1, 8 සහ 10 පිටු.

අදදින සැබෑ ක්‍රිස්තියානීන් තමන් දෙවිගේ පාලනය පටන්ගන්නා තෙක් බලා සිටිනවා කියා පෙන්වන්නේ කෙසේද?

දේවරාජ්‍යයට පූර්ණ සහය දක්වන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දේශපාලනයට හවුල් නොවෙති. එමෙන්ම සාක්ෂිකරුවන්ගේ ආගමික කටයුතු තහනම් කරමින් ඔවුන්ට හිංසා පීඩා කරන රටවල පවා තිබෙන ආණ්ඩුවලට එරෙහිව ඔවුහු කැරලි නොගසති. (තීතස් 3:1) යේසුස් හා පළමු සියවසේ සිටි ඔහුගේ ගෝලයන් කළාක් මෙන් ඔවුහුද අවංකකම, සදාචාරමය පිරිසිදුකම සහ රැකියාවේදී යහපත් ආචාර ධර්ම පිළිපැදීම වැනි බයිබලයේ සඳහන් ගුණධර්ම අනුව හැඩගැසීමට ජනයාට උපකාර කිරීමට මහත් පරිශ්‍රමයක් දරති.—10/15, 6වන පිටුව.

ඇන්ඩීස් කඳුවැටියෙන් ජීවන දිය දහරා ගලා බසින්නේ කෙසේද?

එහි සිටින මනුෂ්‍යයන්ගේ භාෂාවන් කෙච්චා හෝ අයිමරා වුවත් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ බයිබල් සත්‍යය ඔවුන්ට දීම සඳහා මහත් වෑයමක් දරති. ඒ සඳහා, සාක්ෂිකරුවෝ ටිටිකාකා විලෙහි ජලයේ වැවෙන පන් ගස්වලින් අත්තිවාරම් තනා සාදාගත් “පාවෙන” දූපත්වලටද විලෙහි අනෙක් දූපත්වලටද යති.—10/15, 8-10 පිටු.

නවීන පන්නයේ මඟී ගුවන් යානයක තිබෙන පරිගණකයට සමාන කළ හැකි යමක් දෙවි විසින් අපගේ මඟ පෙන්වීම සඳහා දී තිබේ. එය කුමක්ද?

දෙවි අධ්‍යාත්මික සහ සදාචාරමය කාරණාවලදී නිසි ලෙස කටයුතු කිරීමේ හැකියාව මනුෂ්‍යයාට දී තිබේ. එම හැකියාව නම් අපට උරුම වූ හෘදය සාක්ෂියයි. (රෝම 2:14, 15)—11/1, 3-4 පිටු.

යේසුස්ගේ මරණයට අමිල වටිනාකමක් ඇත්තේ මන්ද?

සම්පූර්ණ මිනිසෙකු වූ ආදම් පව් කළ විට මනුෂ්‍ය ජීවිතය ඔහුට අහිමි වූවා පමණක් නොව ඔහුගෙන් පැවතෙන්නන්ටද එය අහිමි විය. (රෝම 5:12) නමුත් ඇදහිලිවන්ත මනුෂ්‍යයන්ට සදාතන ජීවිතය ලබා දීම සඳහා පරිපූර්ණ මිනිසෙක් වූ යේසුස් තම මනුෂ්‍ය ජීවිතය මිදීමේ මිලයක් ලෙස පූජා කළේය.—11/15, 5-6 පිටු.

කොලොස්සි 3:11හි සඳහන් සිතියන්වරු කවරහුද?

සිතියන්වරු පො.යු.පෙ. 700 සිට 300 පමණ කාලයේ යුරේෂියාවේ පිහිටි විශාල ස්ටෙප්ස් තැනිතලාව පුරා අණසක පතුරුවමින් සිටි අහිකුණ්ටක ජාතියකි. ඔවුහු අතිවිශිෂ්ට අශ්වාරෝහකයන් සහ රණශූරයන් වූහ. කොලොස්සි 3:11හි මොවුන් ගැන සඳහන් කර තිබෙන්නේ, නිශ්චිත ජාතියක් නොව ශිෂ්ටසම්පන්න නොවන ජනයා අතර පවා සිටින දරුණුතම පුද්ගලයන් හඳුන්වා දීමටය.—11/15, 24-5 පිටු.

රන් අණ නිතිපතා සලකා බැලිය යුතු ඉගැන්වීමක් කියා අපට කිව හැක්කේ මන්ද?

මෙම මූලික ආචාර ධර්මය තුළ ඇති අදහස යුදෙව් ධර්මයේ, බෞද්ධ ධර්මයේ, ග්‍රීක් දර්ශනවාදයේ හා කොන්ෆියුෂියස්වාදයේ වෙනස් මුහුණුවරකින් පැහැදිලි කර තිබේ. නමුත් යේසුස් කන්ද උඩ දේශනයෙහි පැවසූ දෙයින් ශුභවාදී ආකල්පයකින් යුතුව පියවර ගැනීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරන අතර, සෑම තැනකම සිටින කොයි කාගෙත් ජීවිතවලට බලපෑම් කරයි. (මතෙව් 7:12)—12/1, 3වන පිටුව.