Skip to content

පටුනට යන්න

ඔවුන්ව ගිලියද් පාසැල කරා රැගෙන ගියේ සිතේ මුළු කැමැත්තයි

ඔවුන්ව ගිලියද් පාසැල කරා රැගෙන ගියේ සිතේ මුළු කැමැත්තයි

ඔවුන්ව ගිලියද් පාසැල කරා රැගෙන ගියේ සිතේ මුළු කැමැත්තයි

ගිලියද් මුරටැඹ බයිබල් පාසැල පිහිටුවා තිබෙන්නේ කැප වූ පුරුෂයන් හා ස්ත්‍රීන්ව විදේශ රටවල මිෂනාරි සේවය සඳහා පුහුණු කිරීමටයි. ගිලියද් පාසැලට පැමිණීමට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද? සිතේ මුළු කැමැත්තෙන්ම ඉදිරිපත් වන ස්වභාවයක් තිබෙන අයයි. (ගීතාවලිය 110:3) වර්ෂ 2001 සැප්තැම්බර් 8වනදා, 111වැනි පංතිය උපාධි ලැබූ අවස්ථාවේ මෙය පැහැදිලිව දකින්ට ලැබුණා.

එම පංතියේ ඇතැම් ශිෂ්‍යයන්, අවශ්‍යතාව වඩාත් පවතින රටවල සේවය කිරීම සඳහා තමන්ගේ පවුලේ අයගෙන්, මිතුරන්ගෙන් සහ නිවෙස්වලින් ඒ වන විටත් වෙන්ව ඇවිත් සිටියා. එසේ කිරීමෙන් ඔවුන් තමන්ටම සනාථ කරගෙන සිටි දෙයක් නම් යම් තරමක වෙනස් වූ වාතාවරණයක් මැද යම් යම් සකස් කිරීම් කරගෙන ජීවත් වීමට තමන්ට හැකි බවයි. උදාහරණයක් වශයෙන්, රීෂේ සහ නතාලි බොලීවියාවේද, ටොඩ් සහ මිෂෙල් ඩොමිනිකානු ජනරජයේද, ඩේවිඩ් සහ මොනීක් ආසියාවේ පිහිටි රටකද දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය පතළ කිරීම සඳහා තමන්ගේ කටයුතු සකස් කරගෙන සිටියා. වෙනත් සිසුන් නිකරගුවාවේ, ඉක්වදෝරයේ සහ ඇල්බේනියාවේ ඒ වන විටත් සේවය කර තිබුණා.

ක්‍රිස්ටි විවාහ වීමට පෙර ඉක්වදෝරයේ වසර දෙකක් සේවය කළා. ඇය උසස් අධ්‍යාපනය ලබන විට ස්පාඤ්ඤ බස ඉගෙනගැනීමට ලැබූ දිරිගැන්වීම එහිදී ඇයට මහෝපකාරි වුණා. තවත් අය තමන්ගේ මව් රටේ විදේශ භාෂා කතා කරන සභාවලට සම්බන්ධ වුණා. වෙනස් අභියෝගයකට මුහුණ දෙමින් සෝල් සහ ප්‍රිසිලා මෙම පාසැලට ඒමට පෙරාතුව ඉංග්‍රීසි බස දියුණු කරගැනීමට වෙහෙස මහන්සි වූයේ සිතේ මුළු කැමැත්තෙන්.

සති 20ක් පුරා පැවති මිෂනාරි පුහුණු කාලය ඉක්මනින් ගෙවී ගියා. උපාධි පිරිනමන දිනය උදා වුණා. ප්‍රඥාවන්ත උපදෙස් හා පාසැලෙන් පිට වී යන විට ලබාගත හැකි දිරිගැන්වෙන වදන්වලට සවන් දීමට සිසුන් පැමිණ සිටියේ තමන්ගේ මිතුරන් සහ පවුල්වල අයත් සමඟයි.

මෙම වැඩසටහනේ සභාපති ලෙස ක්‍රියා කළේ දැනට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු මෙන්ම ගිලියද් පාසැලේ හත්වන පංතියේ උපාධිලාභියෙකුද වන, තියඩෝ ජැරැස්. සංවිධානයක් හැටියට ගිලියද් පාසැලේ සිසුන්ව පුහුණු කිරීමේ පරමාර්ථය කිසිවිටෙකත් අපගේ දෘෂ්ටියෙන් බොඳ වී නැති බව ඔහුගේ කතාවේ ආරම්භක වචනවල කැපීපෙනෙන්ට තිබුණා. එම පරමාර්ථය වනුයේ ජනාවාස පොළොව පුරා රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමයි. (මාර්ක් 13:10) පෙරට වඩා මහා පරිමාණයෙන් දේශනා කටයුතු දියත් කිරීම සඳහාත්, පුහුණු කරන ලද මිෂනාරීන්ගේ අවශ්‍යතාවයක් පවතින රටවලට ඔවුන්ව යැවීම සඳහාත් ගිලියද් පාසැල සුදුසුකම් ලත් සිසුන්ට මනා පුහුණුවක් ලබා දෙනවා. ඔවුන් දැන් පැවරුම් ලැබ සිටින රටවල් 19 තුළ සේවය කිරීමටත්, එම රටවල දැනටමත් සේවය කරමින් සිටින්නාවූ මිෂනාරීන්ට හවුල් වී සේවය කිරීමටත්, ගිලියද් පාසැලෙන් ලද පුහුණුවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස සහෝදර ජැරැස් උපාධිලාභීන්ට අනුශාසනා කළා.

ගිලියද් උපාධිලාභීන්ට කාලෝචිත අවවාද

ඉන්පසු කතා මාලාවක් ඉදිරිපත් කෙරුණා. එක්සත් ජනපද ශාඛා කමිටුවේ සාමාජිකයෙකු වන විලියම් වැන් ඩි වෝල්, “මිෂනාරි ජ්වලිතය සැබෑ ක්‍රිස්තියානීන්ගේ ලක්ෂණයකි” යන මැයෙන් කතා කළා. මතෙව් 28:19, 20හි වාර්තා කර ඇති “ගෝලයන් කරන්න” යන ආඥාවට අවධානය යොමු කළ ඔහු, “ජ්වලිතයෙන් හා උද්‍යෝගයෙන් යුතුව තම මිෂනාරි පැවරුම ඉටු කළ යේසුස්ව අනුකරණය කරන්න” යැයි ශිෂ්‍යයන්ට අනුශාසනා කළා. ඉදිරියේදී මිෂනාරීන් ලෙස වැඩ කිරීමට සිටින අයට තම මිෂනාරි සේවය තුළ ජ්වලිතව ක්‍රියා කිරීමට උපකාර කරනු වස් ඔහු මෙසේ දිරිගැන්වූවා. “ප්‍රායෝගික කාල සටහනකට ඇලී සිටින්න, හොඳ පෞද්ගලික අධ්‍යයන පුරුදු පවත්වාගන්න, දිව්‍යාණ්ඩු කාරණාවල අලුත් අවබෝධයන් ඇතුළු වෙනත් දේ ගැන හොඳින් සාවධානව සිටින්න. එමෙන්ම ඔබ ඔබේ පැවරුම තුළ සිටින්නේ ඇයිද කියා නිතරම කල්පනාවෙන් සිටින්න.”

ඊළඟට කතා කළේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන ගයි පියර්ස්. ඔහුගේ කතාව ගොඩනංවා තිබුණේ, “‘ඔබ සතු තර්කානුකූලව සිතීමේ හැකියාව’ නොකඩවා වැඩි දියුණු කරන්න” යන තේමාව මතයි. (රෝම 12:1) උපාධි ලබන පංතියට ප්‍රායෝගික අවවාද දෙමින් සිතීමට හා තර්කානුකූලව විමර්ශනය කිරීමට දෙවි දී ඇති හැකියාව යොදාගන්නා ලෙසට ඔහු ඔවුන්ව දිරිගැන්වූවා. “යෙහෝවා තම වචනය තුළින් ඔබට කියන දේ ගැන ගැඹුරට සිතන්න. මෙය ඔබට ආරක්ෂාවක් වේවි” කියා ඔහු සඳහන් කළා. (හිතෝපදේශ 2:11) තවදුරටත් සහෝදර පියර්ස් අවවාද කළේ “තර්කානුකූලව සිතීමේ හැකියාව” බොඳවීමට තුඩු දෙන අගතිසහගත අදහස්වලට වහල් වී නොසිටින ලෙසයි. උපාධිලාභීන් මිෂනාරීන් ලෙස සේවය කරන විට මෙම කාලෝචිත සිහිගැන්වීම් උපකාරි වන බව සහතිකයි.

වැඩසටහනේ සභාපති ඊළඟට හඳුන්වා දුන්නේ ගිලියද් උපදේශකයෙකු වන ලෝරන්ස් බොවන්වයි. ඔහු කතා කළ තේමාව වූයේ “කිසිවක් දැන නොගැනීමට තීරණය කරන්න” යන්නයි. ප්‍රේරිත පාවුල් කොරින්තියේ තමාගේ මිෂනාරි සේවය ගැන කතා කරන විට ‘යේසුස් ක්‍රිස්තුස් . . . මිස වෙන කිසිවක් නොදැන සිටීමට [තමා] නියම කරගත්’ බව පෙන්වා දුන්නා. (1 කොරින්ති 2:2, අකුරු ඇල කළේ අපය) මුළු බයිබලය පුරාම පිළිබිඹු කර තිබෙන පණිවුඩය විශ්වයේ තිබෙන මහත්ම බලවේගය හෙවත් ශුද්ධාත්මය තුළින් මෙහෙයවනු ලබන බව පාවුල් දැන සිටියා. එම පණිවුඩය නම් පොරොන්දු වංශය තුළින් යෙහෝවාගේ පරමාධිපත්‍යය තහවුරු වීමයි. (උත්පත්ති 3:15) සාර්ථක මිෂනාරීන් බවට පත්වීම සඳහා “සුවදායී වචනවල රටාව . . . අල්ලාගෙන” සිටි පාවුල් සහ තිමෝති මෙන් වන ලෙස උපාධිලාභී ශිෂ්‍යයන් 48දෙනාගෙන් උදක්ම ඉල්ලා සිටිනු ලැබුවා.—2 තිමෝති 1:13NW.

“දෙවිගෙන් ලද ත්‍යාගයක් වන ඔබගේ වරප්‍රසාදය අගය කරන්න” යන්න ආරම්භක කතා මාලාවේ අවසාන කතාවේ තේමාව වුණා. ගිලියද් පාසැලේ රෙජිස්ට්‍රාර් වොලස් ලිවරන්ස් උපාධිලාභීන්ට යම් දෙයක් තේරුම්ගැනීමට උපකාර කළා. එනම්, සේවා වරප්‍රසාද යනු තමන්ට ලැබිය යුතු හෝ තමන් උපයාගෙන සිටින යම් දෙයක් නොව නමුත් දෙවිගේ මහත් කරුණාවේ ප්‍රතිඵලයක් ලෙස ලැබූ දෙයක් බව ඔහු පැහැදිලි කළා. ප්‍රේරිත පාවුල්ගේ ආදර්ශය ගෙනහැර දක්වමින් සහෝදර ලිවරන්ස් මෙසේ කීවා. “ජාතීන්ගේ ප්‍රේරිතයෙක් හැටියට යෙහෝවා විසින් පාවුල්ව තෝරාගැනීමට තීරණය කරනු ලැබුවේ ඔහු කළ වැඩ නිසා නොවේ. එසේ වූවා නම් එය පාවුල් කළ වැඩ නිසා හෝ ඔහුට එය අයිති වෙන්ට තිබූ දෙයක් නිසා බව පෙනීයන්ට තිබිණි. තවද, එම තෝරාගැනීම රඳා පැවතුණේ සේවයේ වැඩිකලක් නියැලී සිටීම මත හෝ අද්දැකීම් ලබා සිටීම මත නොවේ. මිනිස් දෘෂ්ටිකෝණයෙන් බැලූ කල, තෝරාගැනීමට සිටි සුදුසුම පුද්ගලයා බාර්ණබස් බව පෙනෙන්ට තිබිණි. නමුත් එම තේරීම කරනු ලැබුවේ පෞද්ගලික හැකියාව මත නොවේ. පෙනෙන විදිහට අපොල්ලොස් පාවුල්ට වඩා කතාවේ දක්ෂයෙකු විය. කෙසේවෙතත්, එය දෙවිගේ මහත් කරුණාවේ ප්‍රතිඵලයක් ලෙස ලැබූ දෙයක්.” (එපීස 3:7, 8) තමන්ට ලැබී තිබෙන එම දීමනාව හෙවත් සේවා වරප්‍රසාදය මගින් ජනයාට දෙවිගේ මිතුරන් වීමටත්, ඒ තුළින් ඔවුන්ට ‘දෙවිගේ දීමනාව [වූ] අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් තුළ සදාකාල ජීවනය’ ලබාගැනීමටත් උපකාර කරන ලෙස සහෝදර ලිවරන්ස් උපාධිලාභීන්ව දිරිගැන්වූවා.—රෝම 6:23.

ඉන්පසු තවත් ගිලියද් උපදේශකවරයෙකු වන මාර්ක් නූම්‍යෙ ශිෂ්‍යයන් කිහිපදෙනෙකු සමඟ ඉතා ප්‍රාණවත් සාකච්ඡාවක් මෙහෙයවූවා. එහි තේමාව වූයේ, “සූදානමින් හොඳ ප්‍රතිඵල ලැබේ” යන්නයි. (හිතෝපදේශ 21:5) යම් දේවසේවකයෙක් දේවසේවය සඳහා හොඳින් සූදානම් වන විට විශේෂයෙන්ම ඔහුගේ හදවත සූදානම් කරගත් විට ජනයා කෙරෙහි අවංක උනන්දුවක් ඔහු තුළ නියත වශයෙන්ම ඇති වන බව මෙම අද්දැකීම්වලින් පැහැදිලිව පෙනී ගියා. කියන්ට යන්නේ මොනවාද කියා ඔහුට ළත වෙන්ට සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට, ඔහු කියන දේ සහ කරන දේ මගින් ඔවුන් ආත්මිකව උපකාර ලබනවා නියතයි. “සාර්ථක මිෂනාරියෙකු වීමට රහස මෙයයි” සහෝදර නූම්‍යෙ මෙසේ ගෙනහැර දැක්වූයේ අප්‍රිකාවේ මිෂනාරියෙකු හැටියට තමන්ගේම අද්දැකීම මතක් කරමින්.

මිෂනාරි සේවය—තෘප්තිමත් ජීවන මාර්ගයක්

රැල්ෆ් වෝල්ස් සහ චාල්ස් වූඩි අද්දැකීම් ලත් මිෂනාරීන් කිහිපදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවන්ට භාජනය කළා. ඔවුන් පැටසන් අධ්‍යාපනික මධ්‍යස්ථානයේ විශේෂ පුහුණුවකට පැමිණ සිටි අයයි. මිෂනාරි සේවය තුළ ප්‍රීතිය ලැබෙන්නේ ජනයාට ප්‍රේමය දැක්වීමෙන් බව මෙම සම්මුඛ සාකච්ඡාවලදී අවධාරණය කෙරුණා. මිෂනාරි සේවය යන්න තෘප්තිමත් ජීවිත මාර්ගයක් බව මේ අද්දැකීම් ලත් අයගෙන් කෙළින්ම අසා දැනගන්ට ලැබීම ශිෂ්‍යයන්ටත්, ඔවුන්ගේ පවුල්වල උදවියටත් ඔවුන්ගේ මිතුරන්ටත් මහත් අස්වැසිල්ලක් වුණා.

පාලක මණ්ඩලයේ සේවය කරන ජෝන් ඊ. බාර් දවසේ ප්‍රධාන කථාව ඉදිරිපත් කළා. එහි තේමාව වූයේ, “යෙහෝවාට නව ගීයක් ගයන්න” යන්නයි. (යෙසායා 42:10NW) බයිබලයේ “නව ගීයක්” යන යෙදුම නව වතාවක් සඳහන් වන බව සහෝදර බාර් කියා සිටියා. “මේ නව ගීයේ ඇති වැදගත්කම මොකක්ද?” කියා ඔහු ප්‍රශ්න කළා. අනතුරුව ඔහු පිළිතුරු දෙමින් කියා සිටියේ, “නව ගීයක් ගයන්නේ යෙහෝවාගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වූ නව සංසිද්ධියක් පෙරදැරි කරගෙන බව පාඨ සම්බන්ධයෙන් හෙළි කරනවා.” මෙසියානු රජු වන යේසුස් ක්‍රිස්තුස්ගේ හස්තයේ තිබෙන දෙවිගේ ජයග්‍රාහක රාජ්‍යයේ ප්‍රශංසා ගී ගායනයේදී තමන්ගේ කටහඬ නොකඩවා මුසු කරන මෙන් ඔහු ශිෂ්‍යයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියා. ගිලියද් පාසැලේදී ඔවුන් ලැබූ පුහුණුව මෙම ‘නව ගීතයේ’ විවිධ අංග වෙන කවරදාටත් වඩා ගැඹුරින් වටහාගැනීමට ඔවුන්ට උපකාරවත් වූ බව සහෝදර බාර් සඳහන් කළා. “ඔබ කොහේ ගියත් ඔබගේ සහෝදර සහෝදරියන් සමඟ යෙහෝවාට ප්‍රශංසා ගී ‘ගැයීමට’ තිබෙන අවශ්‍යතාව මෙම පාසැලේදී අවධාරණය කෙරුණා. ඔබගේ පැවරුම තුළ සෑමවිටම එක්සත්කමට දායක වන අයුරින් කටයුතු කරන්න.”

ශිෂ්‍යයන් හට ඔවුන්ගේ උපාධි ප්‍රදානය කළ පසු ගිලියද් පාසැලින් ලැබූ පුහුණුව ගැන අවංක අගය කිරීමක් ප්‍රකාශ වන ලිපියක් පංතියේ නියෝජිතයෙක් කියෙව්වා.

ඔබ දෙවිට කරන සේවය පුළුල් කරමින් එය වඩාත් ඵලදායක එකක් කිරීමට ඔබට පුළුවන්ද? මෙම උපාධිලාභී ශිෂ්‍යයන් කර ඇතිවාක් මෙන් ඔබත් මෙම පුහුණුවට ඉල්ලුම් කරන්න. මිෂනාරි සේවය තුළ සුදුසුකම් ලැබීමට මොවුන්හට උපකාරවත් වී ඇත්තේ මෙයයි. යමෙක් සතුටින් යුතුව සිය මුළු කැමැත්තෙන්ම දේවසේවයට ඉදිරිපත් වන විට මහත් ප්‍රීතියක් නෙළාගත හැකියි.—යෙසායා 6:8.

[25වන පිටුවේ කොටුව]

පංතියේ දත්ත

නියෝජිත රටවල් සංඛ්‍යාව: 10

පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 19

ශිෂ්‍ය සංඛ්‍යාව: 48

වයස් සාමාන්‍යය: 33.2

සත්‍යය තුළ සිටි අවුරුදු ගණනේ සාමාන්‍යය: 16.8

පූර්ණ කාලීන සේවය කර ඇති අවුරුදු ගණනේ සාමාන්‍යය: 12.6

[26වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ උපාධි ලැබූ 111වන පංතිය

පහත සඳහන් ලැයිස්තුව අංකනය කර තිබෙන්නේ ඉදිරි පෙළ සිට පසු පෙළ දක්වායි. නම් ලැයිස්තු ගත කර තිබෙන්නේ වමේ සිට දකුණටයි.

(1) යෝමන්ස්, සී.; ටොකාරි, ඒ.; නූන්යෙස්, එස්.; ෆිලිප්ස්, ජේ.; ඩෝකින්, එම්.; සිල්වෙස්ට්‍රි, පී. (2) මොරින්, එන්.; බයිනි, ජේ.; ලෝපෙස්, එම්.; වැන් හෝට්, එම්.; කැන්ටූ, ඒ.; සිල්වාශී, එෆ්. (3) විලියම්ස්, එම්.; ඊටෝ, එම්.; වැන් කෝයිලී, එස්.; ලෙවරිං, ඩී.; ෆුයසල්, එෆ්.; ගීස්ලර්, එස්. (4) යෝමන්ස්, ජේ.; මොස්, එම්.; හොජින්ස්, එම්.; ඩඩිං, එස්.; බ්‍රිසෙන්යෝ, ජේ.; ෆිලිප්ස්, එම්. (5) ලෝපෙස්, ජේ.; ඊටෝ, ටී.; සොමරුඩ්, එස්.; කෝසා, සී.; ෆුයසල්, ජී.; මොස්, ඩී. (6) විලියම්ස්, ඩී.; ඩඩිං, ආර්.; ගීස්ලර්, එම්.; මොරින්, ආර්.; බයිනි, එස්.; කැන්ටූ, එල්. (7) ඩෝකින්, එම්.; හොජින්ස්, ටී.; ලෙවරිං, එම්.; සිල්වෙස්ට්‍රි, එස්.; වැන් හෝට්, ඩී.; බ්‍රිසෙන්යෝ, ඒ. (8) වැන් කෝයිලී, එම්.; නූන්යෙස්, ඒ.; කෝසා, බී.; සොමරුඩ්, ජේ.; ටොකාරි, එස්.; සිල්වාශී, පී.