Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

තම නොඇදහිලිවන්ත ස්වාමිපුරුෂයා ආගමික නිවාඩු හා බැඳි ක්‍රියාකාරකම්වල හවුල් වන අවස්ථාවලදී, දෙවිට පක්ෂපාත වීමත් තම නොඇදහිලිවන්ත ස්වාමිපුරුෂයාට යටත් වීමත් සමබර කරගැනීමට ක්‍රිස්තියානි භාර්යාවකට හැක්කේ කෙසේද?

මේ සඳහා ඇයට ප්‍රඥාව මෙන්ම තැනට සුදුසු නුවණද අවශ්‍ය වේ. තම යුතුකම් දෙක සමබර කරගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමේදී, ඇය කරන්නේ හරි දෙයයි. මේ හා සමාන තත්වයක් ගැන යේසුස් මෙසේ උපදෙස් දුන්නේය. ‘කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවිගේ දේ දෙවිටත් දෙන්න.’ (මතෙව් 22:21) මෙහිදී යේසුස් කතා කරමින් සිටියේ ආණ්ඩු වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් ගැන බව ඇත්තයි. ආණ්ඩුවලට යටත් වන්න කියා පසු කලෙක ක්‍රිස්තියානීන්ට පවසන ලදි. (රෝම 13:1) කෙසේවෙතත්, ශුද්ධ ලියවිල්ලෙහි පවසා තිබෙන පරිදි නොඇදහිලිවන්තයෙකු වුවත් තම ස්වාමිපුරුෂයාට යටත් වීමත් දෙවිට යටත් වීමත් සමබර කරගැනීමේදී භාර්යාවකට යේසුස් දුන් ඉහත උපදේශය අදාළ කරගත හැක.

සර්වපරාක්‍රම දෙවි සම්බන්ධයෙන් ගත් කල ක්‍රිස්තියානියෙකුගේ ප්‍රථම යුතුකම වන්නේ සෑම අවස්ථාවකදීම දෙවිට පක්ෂපාත වීම කියා බයිබලය අවධාරණයෙන් යුතුව පවසන බව බයිබලය ගැන දන්න අය පිළිගනිති. (ක්‍රියා 5:29) එහෙත්, දෙවිගේ උසස් නීති කඩ නොකරමින් පවුලේ අධිකාරය හොබවන නොඇදහිලිවන්තයෙකුගේ ඉල්ලීම්වලට එකඟ වීමට සැබෑ නමස්කාරකයෙකුට බොහෝ අවස්ථාවලදී පුළුවන.

දානියෙල් 3වන පරිච්ඡේදයේ සඳහන් හෙබ්‍රෙව්වරුන් තිදෙනාගේ ආදර්ශයෙන් අපට යමක් ඉගෙනගත හැක. ඔවුන්ව පාලනය කළ ආණ්ඩුවේ උසස්ම තැනැත්තා වූ නෙබුකද්නෙශර් ඔවුන් තිදෙනා ඇතුළු තවත් අයට දූරා සමභූමියෙහි පෙනී සිටින්න කියා නියෝග කළේය. බොරු නමස්කාරය හා සම්බන්ධ යමක් සැලසුම් කර ඇති බව දැන සිටි නිසා එතැනට නොයා සිටීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්න ඇති. ඇතැම්විට දානියෙල්ට නොයා සිටීම සඳහා හැකියාව තිබුණත්, හෙබ්‍රෙව්වරුන් තිදෙනාට එය මඟහැරිය නොහැකි විය. a ඔවුහු එතැනට යන්නට එකඟ වුණත් කිසිම වැරදි දෙයකට හවුල් නොවීමට තීරණය කළ අතර එම තීරණයට එකඟව ක්‍රියා කළහ.—දානියෙල් 3:1-18.

ඒ හා සමානව, ආගමික නිවාඩු උත්සව පවත්වන කාලවලදී නොඇදහිලිවන්ත ස්වාමිපුරුෂයෙකු ඔහුගේ ක්‍රිස්තියානි භාර්යාවගෙන් ඇය කිරීමට අකමැති දෙයක් කරන්න කියා ඉල්ලා සිටිය හැක. මේ හා සම්බන්ධ උදාහරණ කිහිපයක් සලකා බලන්න. ඔහු තවත් අය සමඟ එක්ව ආගමික නිවාඩු උත්සවයක් පවත්වන දවසකදී යම් ආහාරයක් පිළියෙළ කරන්න කියා ඔහු ඇයට පවසයි. නැත්නම් එදින තමන්ගේ ඥාතීන් සමඟ ආහාරයක් ගැනීමට හෝ ඔවුන්ව බැහැදකින්න යෑමට එක් වන්න කියා ඔහු (තම භාර්යාව ඇතුළු) පවුලේ අයගෙන් ඉල්ලා සිටියි. සාප්පු ගිය විට ආගමික නිවාඩු දිනය සැමරීමට අවශ්‍ය ආහාර පානාදිය, තෑගි බෝග හා ඒවා එතීමට අවශ්‍ය කඩදාසි හා ශුභ පැතුම් පත් යනාදි දේවල් මිල දී ගෙනෙන්න කියා ඔහු කලින් දවසේ ඇයට පැවසීමට පුළුවන.

ක්‍රිස්තියානි භාර්යාවක් අදිටන් කරගත යුත්තේ බොරු ආගම් හා සම්බන්ධ ක්‍රියාවල හවුල් නොවීමටයි. එහෙත් කලින් සඳහන් කළ ඉල්ලීම් ගැන කුමක් කිව හැකිද? ඔහු පවුලේ හිස වන අතර, දේවවචනය මෙසේ පවසයි. “භාර්යාවෙනි, [ස්වාමීන්] තුළ සුදුසුව තිබෙන ලෙස, නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න.” (කොලොස්සි 3:18) කලින් සඳහන් කළ අවස්ථාවලදී, ක්‍රිස්තියානි ස්ත්‍රියකට දෙවිට පක්ෂපාත වන අතරතුර භාර්යාවක් ලෙස ස්වාමිපුරුෂයාට යටත්කම පෙන්විය හැකිද? ස්වාමිපුරුෂයාට කීකරු වීමත් සෑම දෙයකටම වඩා වැදගත් කරුණක් වන යෙහෝවාට කීකරු වීමත් සමබර කරන්නේ කෙසේද කියා තීරණය කළ යුත්තේ ඇයයි.

ආගමික උත්සව දවසක් හැර වෙනත් දවසකදී යම් ආහාරයක් පිළියෙළ කරන්න කියා ඇගේ ස්වාමිපුරුෂයා ඉල්ලා සිටිය හැකියි. ඔහු මෙම ඉල්ලීම කරන්නේ එය ඔහුගේ ප්‍රියතම ආහාරය වීම නිසා හෝ ඔහු ඇතැම් දවස්වලදී එම ආහාරය අනුභව කිරීමට පුරුදු වී සිටින නිසා විය හැකියි. ඔහු කෙරෙහි තිබෙන තමන්ගේ ප්‍රේමයත් ඔහුගේ මූලිකත්වය තමන් පිළිගන්න බවත් පෙන්වීමට ඇය එම අවස්ථාවේ ආශාවෙන් කටයුතු කරනු ඇත. ආගමික නිවාඩු දවසකදී එම ආහාරයම පිළියෙළ කරන්න කියා ඔහු ඉල්ලා සිටියහොත් ඇයට එය කළ හැකිද? ඇතැම් ක්‍රිස්තියානි භාර්යාවන් යහපත් හෘදය සාක්ෂියක් ඇතුව එයට එකඟ වීමට ඉඩ තිබේ. ඔවුන් මෙය කරන්නේ එම ආහාරය පිළියෙළ කිරීම දිනපතා පිළියෙළ කරන ආහාරයක් හා සමානයි කියා සිතන නිසාය. ඇගේ ස්වාමිපුරුෂයා මෙම ආහාරය ආගමික උත්සවයක් සඳහා පිළියෙළ කර තිබෙනවා කියා සිතමින් එයට විශේෂත්වයක් දුන්නත්, පක්ෂපාත ක්‍රිස්තියානියෙක් එසේ නොකරයි. ඒ හා සමානව සෑම මාසයකම හෝ අවුරුද්දකම ඇතැම් කාලවලදී ඔහු තමාගේ ඥාතීන්ව බැහැදැකීමට යන්න තමන් සමඟ එන්න කියා ඇයගෙන් ඉල්ලා සිටිය හැකියි. ආගමික නිවාඩු දවසකදී ඇයට එම ඉල්ලීමට එකඟ විය හැකිද? තමන් සාප්පු ගොස් මිල දී ගන්න දේවල් ඔහු යොදාගන්න යන්නේ කුමක් සඳහාද කියා විනිශ්චය කරන්නේ නැතුව, ඔහු ඉල්ලා සිටින දේවල් මිල දී ගන්න ඇය කැමති වනු ඇද්ද?

ඇත්තෙන්ම, ක්‍රිස්තියානි භාර්යාවක් තමන් ගන්න තීරණය අනිත් අයට බලපාන ආකාරය ගැන කල්පනා කර බැලිය යුතුය. (පිලිප්පි 2:4) තමන් දූරා සමභූමියට ගමන් කිරීම අනිත් අය නොදකිනවාට හෙබ්‍රෙව්වරුන් තිදෙනා වැඩි කැමැත්තක් දක්වන්න ඇති. ඒ හා සමානව ඇය ආගමික නිවාඩු දිනයකට හවුල් වෙමින් සිටින බවට කිසිම ආකාරයක හැඟීමක් ඇති නොකිරීමට ඇයද කැමති වනු ඇත. තමන්ට ප්‍රේම කරන හා ගෞරව කරන භාර්යාවගේ හැඟීම් සැලකිල්ලට ගනිමින් ආගමික නිවාඩුව හා සම්බන්ධ ඇතැම් දේවල් ඔහුටම කරගැනීමට හැකිද කියා සොයා බැලීමට ඔහු සමඟ උපායශීලීව කාරණා කතා කිරීමට ඇයට උත්සාහ කළ හැක. බොරු ආගම් හා බැඳි ක්‍රියාවල හවුල් නොවීමට ඇය තීරණය කර තිබෙන අවස්ථාවක, දෙදෙනා අතර යම් ගැටලු ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ ඇති ඥානවන්තකම ඔහු තේරුම්ගැනීමට ඉඩ තිබේ. ඔව්, කලින්ම කාරණා සන්සුන්ව කතා කරගැනීමෙන් ඇති විය හැකි ගැටලු වළක්වාගත හැකියි.—හිතෝපදේශ 22:3.

අවසාන වශයෙන් විශ්වාසවන්ත ක්‍රිස්තියානියෙකු කළ යුත්තේ, සියලු කාරණා හොඳින් සලකා බැලීමෙන් පසු තමන් කළ යුත්තේ කුමක්ද කියා තීරණය කිරීමයි. හෙබ්‍රෙව්වරුන් තිදෙනා කළාක් මෙන් මුල් තැන දිය යුත්තේ දෙවිට කීකරු වීමටයි. (1 කොරින්ති 10:31) එයද මනසෙහි තබාගෙන, පවුලේ හෝ සමාජයේ සිටින අධිකාරය හොබවන කෙනෙකුගේ ඉල්ලීම්වලදී ප්‍රතිපත්ති පාවා නොදී කළ හැකි දේවල් මොනවාද කියා සෑම ක්‍රිස්තියානියෙකුම පෞද්ගලිකව තීරණය කළ යුතුය.

[පාදසටහන]

a 2001 අගෝස්තු 1 මුරටැඹ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” නමැති කොටස බලන්න.