Skip to content

පටුනට යන්න

පීඩනයෙන් සහනය ලැබීමට ප්‍රායෝගික පිළියමක්

පීඩනයෙන් සහනය ලැබීමට ප්‍රායෝගික පිළියමක්

පීඩනයෙන් සහනය ලැබීමට ප්‍රායෝගික පිළියමක්

‘වෙහෙස වෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි.’—මතෙව් 11:28.

1, 2. (අ) අධික පීඩනය අඩු කරගැනීම සඳහා බයිබලයේ අන්තර්ගත උපකාරය කුමක්ද? (ආ) යේසුස්ගේ ඉගැන්වීම් කොතරම් බලපෑමෙන් යුක්ත වීද?

 අධික මානසික සහ කායික පීඩනය හානිකර බවට ඔබ එකඟ වීමට ඉඩ ඇත. මන්ද එය චිත්ත පීඩාවට හේතු වන බැවිනි. මුළු මහත් මිනිස් පවුලම කොතරම් බරකින් පෙළේදැයි කිවහොත් පවතින වෙහෙසකර ජීවිතයෙන් සහනයක් ලැබෙන තුරු බොහෝදෙනෙකු මහත් ඕනෑකමින් බලා සිටින බව බයිබලයේ කියයි. (රෝම 8:20-22) එසේ වුණත්, චිත්ත පීඩාවෙන් සැලකිය යුතු තරම් සහනයක් ලැබීමට දැන් පවා හැකි බවද බයිබලය කියයි. එවන් සහනයක් ලබාගත හැක්කේ දැනට අවුරුදු 2,000කට පමණ පෙර විසූ තරුණ පුරුෂයෙකුගේ ඔවදන් පිළිපැදීමෙන් සහ ඔහුගේ ආදර්ශය අනුකරණය කිරීමෙනි. වඩුවෙකු වූ නුමුදු ඔහු වැඩියෙන්ම ආදරය කළේ මිනිසුන්ටය. ඔහු මිනිස් හදවතටම කතා කළේය. ඔවුන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කළේය. දුර්වලයන්ට උපකාර කරමින් කනස්සලු වූවන් සැනසුවේය. මේ සියල්ලටම වඩා වැදගත් දෙයක් කිරීමට ඔහු බොහෝදෙනෙකුට උපකාර කළේය. සැබවින්ම ඔහු ඔවුන්ගේ ආත්මික වර්ධනය සඳහා තිබූ ඉඩ කඩ පුළුල් කරගැනීමට ඔවුන්ට සහය වූයේය. එසේ කිරීම නිසා ඔවුන්ට ජීවිතයේ අධික පීඩනයෙන් සහනයක් ලැබුණි. ඒ හා සමානව ඔබටත් සහනය ලබාගත හැකියි.—ලූක් 4:16-21; 19:47, 48; යොහන් 7:46.

2 මේ මිනිසා වූයේ නාසරෙත්හි යේසුස්ය. පුරාණ රෝමයේ, ඇතන්ස් සහ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි සමහරුන් සෙවූ ආකාරයේ ලෞකික දර්ශනවාදි අදහස් මගින් ඔහු පාලනය නොවීය. එහෙත්, ඔහුගේ ඉගැන්වීම් ජනයා අතර සුප්‍රසිද්ධ විය. ඔහුගේ ඉගැන්වීම්වලට තේමාවක් තිබුණි. එය නම්, දෙවි විසින් අපේ පොළොව සාර්ථකව පාලනය කරනු ලබන ආණ්ඩුවයි. ජීවිතයට අත්‍යවශ්‍යම ප්‍රතිපත්ති ගැනද යේසුස් පැහැදිලි කළේය. ඒවායේ වටිනාකම අදටත් අඩු වී නොමැත. යේසුස් විසින් උගන්වනු ලැබූ දේවල් ඉගෙනගෙන අදාළ කරගන්නාවූ අය කඩිනම් ප්‍රයෝජන භුක්ති විඳිනවා පමණක් නොව, අධික පීඩනයෙන් සහනයද ලබති. ඔබත් එවන් දෙයකට කැමති වන්නේ නැද්ද?

3. යේසුස් දුන් සිත්ගන්නා ආරාධනාව කුමක්ද?

3 ‘මගේ ජීවිතයට හොඳක් කරන්න එච්චර කාලයකට කලින් හිටපු කෙනෙකුට පුළුවන්ද?’ සමහරවිට ඔබට එවන් සැකයක් ඇති විය හැකියි. එසේ නම්, යේසුස්ගේ මේ සිත්ගන්නා වචනවලට ඇහුම්කන් දෙන්න: ‘වෙහෙස වෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි. මම මෘදුව සිතින් යටහත්ව සිටින බැවින්, මාගේ වියගහ ඔබ පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.’ (මතෙව් 11:28-30) ඔහු එයින් අදහස් කළේ කුමක්ද? අපි මේ වචන සවිස්තරව පරීක්ෂා කරමු. දැඩි පීඩනයෙන් සහනය ගෙනෙන්ට ඒවාට හැක්කේ කෙසේද කියාත් බලමු.

4. යේසුස් කතා කළේ කා සමඟද? යුදෙව් නායකයන් අණ කළ දේවල් කිරීම දුෂ්කර දෙයක් ලෙස යේසුස්ට සවන් දුන් අය සලකන්නට ඇත්තේ මන්ද?

4 යේසුස් කතා කළේ ව්‍යවස්ථාවට එකඟ වූ දේ කිරීමට දැඩි උත්සාහයක් දැරූ නමුත්, දරාගැනීමට නොහැකි ‘බරක් ඉසිලුවාවූ’ අය සමඟයි. ආගමක් ඇදහීම මෙතරම් පීඩාකාරි බරක් බවට පත් වී තිබුණේ යුදෙව් නායකයන් හේතුවෙනි. (මතෙව් 23:4) ජීවිතයේ සෑම අංගයකටම වාගේ නිමක් නැති නීති දැමීමට ඔවුහු මාන බැලූහ. නිතරම ඔබේ කනට ඇසෙන්නේ ‘ඔබ මෙසේ නොකළ යුතුය’ කියා නම්, ඔබට වුණත් ජීවිතය තිත්ත වෙන්නේ නැද්ද? එහෙත්, ඊට හාත්පසින්ම වෙනස්ව, යේසුස්ගේ ආරාධනාවට ඇහුම්කන් දීම, මිනිසුන්ව සැබෑව, ධර්මිෂ්ඨකම සහ වඩා සුවබර ජීවිතයක් වෙතට යොමු කළේය. සැබෑ දෙවිව දැනහඳුනා ගැනීමට අයත් වූයේ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි අවධානය යොමු කිරීමයි. මන්ද මිනිසාට යෙහෝවාගේ සැබෑ හැඩරුව දැකීමට හැකි වූයේත් හැකි වන්නේත් ඔහු මාර්ගයෙන් පමණි. යේසුස් “මා දුටු තැනැත්තේ [පියා] දුටුවේය” කියා පැවසුවේ එමනිසයි.—යොහන් 14:9.

ඔබේ ජීවිතය අධික පීඩනයකින් මිරිකී ඇද්ද?

5, 6. යේසුස්ගේ කාලයේ කෙනෙකුගේ රැකියාවේ තත්වය කුමනාකාර වීද? එය අපේ කාලයට සමාන වන්නේ කෙසේද?

5 සමහරවිට ඔබේ පවුලේ ප්‍රශ්න සහ රැකියාවේ ගැටලු, උසුලාගැනීමට බැරි මහමෙරක් මෙන් විය හැකියි. එමනිසා, මේ කාරණය ගැන ඔබ විශේෂ සැලකිල්ලක් දැක්වීමට ඉඩ ඇත. එසේත් නැතිනම් අනිකුත් වගකීම් දරාගැනීමට බැරි තරම් බරකැයි ඔබට හැඟී ඇති. ඔබ සිටින්නේ එවන් තත්වයක නම්, ඔබත්, යේසුස්ට හමු වූ ඔහුගේ උපකාරය ලද අවංක අයගෙන් කෙනෙකු මෙනි. උදාහරණයක් හැටියට, යාන්තමින් ජීවිතයේ දෙකොන ගැටගසාගැනීමට දරන වෙහෙස ගැන කල්පනා කරන්න. අද සිටින බොහෝදෙනෙක් ජීවත් වීමට පොර බදිති. මේ ගැටලුව සම්බන්ධයෙන් ගනිද්දී, යේසුස්ගේ කාලයත් අපේ කාලයත් අතර වෙනසක් නැත.

6 එදා කම්කරුවෙක් දවසට පැය 12 ගානේ සතියකට දවස් හයක්ම වැඩ කළේය. ඔහුට මුළු දවසම වැඩ කර ලබාගත හැකි වූයේ මස්සක් වැනි මුදලක් පමණි. (මතෙව් 20:2-10) මෙය ඔබේත් ඔබේ හිතවතුන්ගේ මාසික වේතනයත් සමඟ සන්සන්දනය වෙන්නේ කෙසේද? එදා වේතනයත් අද වේතනයත් සන්සන්දනය කිරීම අමාරු දෙයක් විය හැකියි. එහෙත්, සලකා බැලිය හැකි දෙයක් වන්නේ, මුදලින් යමක් මිල දී ගැනීමට එදා මෙදාතුර තිබෙන හැකියාවයි (මුදල්වල ක්‍රය ශක්තිය). එක් විශාරදයෙකු කියන්නේ යේසුස්ගේ කාලයේ තිරිඟු පිටි කෝප්ප හතරකින් පමණ සෑදූ රොටියක් මිල දී ගැනීමට පැයක වේතනයක් අවශ්‍ය වූ බවය. තව විශාරදයෙකු පවසන්නේ හොඳ මුද්‍රිකපාන කුසලානක් මිල දී ගැනීමට පැය දෙකක වේතනයක් අවශ්‍ය වූ බවය. එවැනි තොරතුරුවලින් අපට පැහැදිලිව පෙනෙන්නේ එදා සිටි මිනිසුන් පවා ජීවිතය ගැටගසාගැනීමට මහත් සේ වෙර දැරූ බවයි. අපට මෙන් ඔවුන්ටද සහනය සහ ප්‍රබෝධය අවැසි විය. ඔබ රැකියාවක නිරත වන කෙනෙක් නම්, තව තවත් වැඩ කිරීමේ පීඩනයට ඔබ හසු වී ඇති. හොඳ හැටි සිතා බලා තීරණයක් ගැනීමට තරම් කාලයක් සොයාගැනීම බොහෝවිට දුෂ්කර කාර්යයකි. එබැවින් ඔබද සහනය ලැබීමට බොහෝ ආශාවෙන් බලා සිටින කෙනෙකු බව ඔබත් කියාවි.

7. යේසුස්ගේ පණිවිඩයට මිනිසුන් දැක්වූ ප්‍රතිචාරය කුමක් වීද?

7 පැහැදිලිවම, ‘වෙහෙසෙන සහ බර උසුලන’ සැමෝටම යේසුස් කළ ආරාධනාව, එදා සිටි බොහෝදෙනෙකුගේ සිත් ඇදගන්ට ඇති. (මතෙව් 4:25; මාර්ක් 3:7, 8) ‘මම ඔබට සහනය දෙමි’ යයි යේසුස් පොරොන්දු වූ බවද මතක තබාගන්න. එම පොරොන්දුව අදටත් වලංගුයි. අපත් ‘වෙහෙසෙන සහ බර උසුලන’ අය නම්, එය අපටත් අදාළ වෙයි. එපමණක්ද නොව ඒ හා සමාන තත්වයක සිටින අප ආදරය කරන අයටත් එය අදාළයි.

8. දරුවන් හදාවඩා ගැනීම සහ මහලු වයස අපේ ජීවිතයේ පීඩනය වැඩි කරන්නේ කෙසේද?

8 මිනිසුන්ගේ ජීවිතවලට බරක් වන්නාවූ වෙනත් බොහෝ දේවල්ද තිබේ. දරුවන් හදා වඩා ගැනීම විශාල අභියෝගයකි. දරුවෙකුව සිටීම පවා අභියෝගයකි. තවදුරටත් මානසික මෙන්ම කායික ගැටලුවලට මුහුණ දෙන විවිධ වයස් මට්ටම්වල සිටින අයගේ සංඛ්‍යාවද වැඩි වෙමින් පවතී. වෛද්‍ය විද්‍යාව දියුණු වී මිනිසුන් දිගු කාලයක් ආයු වැලඳුවත් තමන්ටම ආවේණික ගැටලුවලට මුහුණ දීමට මහලු අයටද සිදු වේ. —දේශනාකාරයා 12:1.

වියගහ පිටට ගෙන

9, 10. පුරාණ කාලයේදී, වියගහෙන් සංකේතවත් කළේ කුමක්ද? යේසුස් තම වියගහ ඔවුන් පිටට ගන්නැයි සෙනඟට ආරාධනා කළේ මන්ද?

9 මතෙව් 11:28, 29න් උපුටාගත් යේසුස්ගේ වචනවල ‘මාගේ වියගහ ඔබ පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න’ යන කොටස ඔබ දුටුවාද? තමන් වැඩ කරන්නේ වියගහක් පිටේ තියාගෙන කියා එවකට සිටි සාමාන්‍ය වැසියෙකු සිතන්න ඇති. අතීතයේ සිට වහල් හෝ මෙහෙකාර ජීවිතය වියගහෙන් සංකේතවත් විය. (උත්පත්ති 27:40; ලෙවී කථාව 26:13; ද්විතීය කථාව 28:48) යේසුස්ට මුණගැසුණු දවසේ පඩියට වැඩ කළ කම්කරුවෝ ඔවුන්ගේ පිට මත සැබෑම වියගහක් දැරුවෝය. ඔවුන්ගේ වැඩයට අයත් වූයේ මහමෙරක් මෙන් බරක් කරගසාගෙන යෑමය. වියගහක් බෙල්ලටත් උරහිසටත් පහසුවක් වීම හෝ ඇතිල්ලී හම යෑම හෝ රඳා පැවතුණේ එම වියගහ සාදා තිබෙන ආකාරය මතය. වඩුවෙකු හැටියට, යේසුස් වියගස් සාදන්න ඇති. එමෙන්ම ඒවා දැරීමට “පහසු” වන ආකාරයට නිර්මාණය කිරීමටත් ඔහු දැනගෙන සිටින්න ඇති. දරන්නාට උපරිම පහසුව සැලසීම සඳහා සමහරවිට බෙල්ලෙහි හෝ උරහිස්වල වදින තැන් රෙදි හෝ හම්වලින් ඔතන්නත් ඇති.

10 ‘මාගේ වියගහ ඔබේ පිටට ගන්න’ කියා යේසුස් පැවසූ විට වැඩකරුවාගේ බෙල්ලට සහ උරහිසට ‘පහසුවක්’ දැනෙන ලෙස වියගස් සෑදූ කෙනෙකුට ඔහු තමාව සමාන කරගත්තා විය හැකියි. මේ අනුව, යේසුස් ඊට මෙසේද එකතු කරයි. “මාගේ බරද සැහැල්ලුය.” මෙයින් අඟවන්නේ වියගස් දණ්ඩ, පාවිච්චි කිරීමට අමාරු එකක්වත්, එම වැඩය වහල් වැඩක්වත් නොවේ යන්නයි. ඔහුගේ වියගහ පිළිගැනීමට තමන්ට ඇහුම්කන් දුන් අයට ආරාධනා කිරීමෙන් යේසුස් එවකට තිබූ සෑම පීඩාකාරි තත්වයකින්ම ඉක්මන් සහනයක් ලබා නුදුන් බව ඇත්තයි. එහෙත්, යේසුස් ඉදිරිපත් කළ නැවුම් දෘෂ්ටිය ඔවුන්ට සැලකිය යුතු තරම් සහනයක් ලබා දුන්නේය. එමෙන්ම ඔවුන් තම ජීවන රටාවේ සහ දේවල් කරන ආකාරයේ වෙනස්කම් සිදු කරගනිද්දී ඔවුන්ට සහනයක් ලැබුණේය. කොටින්ම කියනවා නම්, පැහැදිලි මෙන්ම ස්ථිරසාර බලාපොරොත්තුවක් ඇතුව සිටීම ජීවිතයේ පීඩන අවම කරගැනීමට ඔවුන්ට පිහිට විය.

ඔබටත් සහනය ලැබිය හැකියි

11. වියගහක් තව එකකට මාරු කිරීමක් ගැන යේසුස් කතා නොකළේ මන්ද?

11 මෙහිදී වියගහක් තව වියගහකට මාරු කළ යුතුයි කියා යේසුස් නොකී බව මතක තබාගන්න. උදාහරණයක් හැටියට, එදා යූදා දේශය පාලනය කරමින් සිටියේ රෝමයයි. රෝම අයබදු ක්‍රමය ඒ වන විටත් ක්‍රියාත්මක විය. සෞඛ්‍ය ගැටලු සහ ආර්ථික ගැටලුද දිගටම පැවතුණි. අසම්පූර්ණකම සහ පාපය මිනිසාට දිගටම පහර දුණි. එදා මෙන් අදත් ක්‍රිස්තියානීන් සිටින රටවල් ආණ්ඩු මගින් පාලනය කරයි. එදා මිනිසුන් විඳි දුක් ගැහැටම අදත් මිනිසුන් විඳියි. නමුත්, යේසුස්ගේ ඉගැන්වීම් අදාළ කරගැනීමෙන් එදා මිනිසුන්ට සහනය ලබාගත හැකි වූවා සේම අපටත් සහනය ලබාගත හැකිය.

12, 13. යේසුස් කාවැද්දූ ලෙස සහනය ගෙනෙනු ඇත්තේ කුමක්ද? සමහරුන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

12 වියගහ සම්බන්ධව යේසුස් පැවසූ උපහැරණයෙහි ප්‍රධාන අදාළ කිරීමක් ගෝලයන් සෑදීමේ වැඩය හා බැඳී පැවති බව පෙනෙන්න තිබුණි. යේසුස්ගේ මූලික කාර්යය වූයේ දෙවිගේ රාජ්‍යය පෙරදැරි කරගෙන අන් අයට ඉගැන්වීම බවට කිසිම සැකයක් නැත. (මතෙව් 4:23) ඉතින්, යේසුස් ‘මාගේ වියගහ ඔබ පිටට ගන්න’ කියා කී විට තමන් කරමින් සිටි දෙය අනුකරණය කිරීම ඊට අයත් වූ බව නිසැකය. බොහෝදෙනෙකුට ජීවිතයේ වදයක්ව තිබූ ඔවුන්ගේ වෘත්තිය වෙනස් කරගැනීමට යේසුස් අවංක මිනිසුන්ගේ හදවත් පෙලඹූ බව සුවිශේෂ වාර්තාව පෙන්වා දෙයි. ඔහු පේතෘස්ට, අන්දෘට, යාකොබ්ට සහ යොහන්ට ආරාධනා කළ හැටි මතක් කරගන්න. “මා අනුව එන්න, මම [ඔබ] මනුෂ්‍යයන් අල්ලන්නන් වෙන්ට සලස්වන්නෙමි.” (මාර්ක් 1:16-20) යේසුස් තම ජීවිතයේ මුල් තැනට දැමූ වැඩය ඔහුගේ උපකාරය සහ මඟ පෙන්වීම යටතේ කිරීමට එම මසුන් මරන්නන් හවුල් වුණොත්, එය ඔවුන්ට කොතරම් තෘප්තියක් ගෙනෙනු ඇද්දැයි ඔහු පෙන්වා දුන්නේය.

13 ඔහුට ඇහුම්කන් දුන් සමහර යුදෙව්වෝ ඔහු කී දෙයෙහි හරය තේරුම්ගෙන එය අදාළ කරගත්හ. ලූක් 5:1-11හි වාර්තා කර ඇති මුහුදුබඩ දසුන සිතේ මවාගන්න. මසුන් මරන්නන් සිව්දෙනෙකු මුළු රැයම වෙහෙසුණත් ඇති වැඩක් වුණේ නැත. හදිසියේම ඔවුන්ගේ දැල් මාළුන්ගෙන් පිරේ! මෙය අහම්බෙන් සිදු වූවක් නොවේ. එය සිදු වූයේ යේසුස්ගේ මැදිහත් වීම හේතුවෙනි. ඔවුන් වෙරළ දෙස බැලූ විට ඔවුන් දුටුවේ ජනී ජනයා යේසුස්ගේ ඉගැන්වීම් අසන්න උනන්දුවෙන් සිටින බවය. යේසුස් ඔවුන් සිව්දෙනාට කී දෙය තේරුම්ගැනීමට එය උදව් වෙයි. “මෙතැන් පටන් [ඔබ] මනුෂ්‍යයන් අල්ලනවා ඇත.” ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක් වීද? “ඔවුහු තමුන්ගේ ඔරු ගොඩට ඇද, සියල්ල අත්හැර, [ඔහු] අනුව ගියෝය.”

14. (අ) අදදින අපට සහනය ලබාගත හැක්කේ කෙසේද? (ආ) යේසුස් ප්‍රකාශ කළේ සැනසිල්ල ගෙන දෙන කිනම් ශුභාරංචියද?

14 ඔබටත් ඒ ආකාරයටම ප්‍රතිචාරය දැක්විය හැකියි. බයිබලයේ ඇති සත්‍යතාවයන් ගැන මිනිසුන්ට ඉගැන්වීමේ කාර්යය තවමත් සිදු වෙමින් පවතී. ‘ඔහුගේ වියගහ පිටට ගැනීමට’ වූ යේසුස්ගේ ආරාධනය පිළිගත් හැටලක්ෂයක් පමණ වූ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ලොව පුරාම සිටිත්. ඔවුන් “මනුෂ්‍යයන් අල්ලන්නන්” බවට පත් වී ඇත. (මතෙව් 4:19) සමහරුන් එය ඔවුන්ගේ පූර්ණ කාලීන වෘත්තිය බවට පත් කරගෙන ඇත. අනිත් අය ඔවුන්ට හැකි උපරිමයෙන් අර්ධ කාලීනව එහි යෙදෙති. සැමෝම එය සහනයක් බව දකියි. මෙසේ ඔවුන්ගේ ජීවිතයේ වෙහෙස නිවෙයි. එහිදී ඔවුන් කරන්නේ තමන් ප්‍රිය කරන දෙයකි. එනම් “රාජ්‍යයේ ශුභාරංචිය” අන් අය සමඟ කතා කිරීමයි. (මතෙව් 4:23) ශුභාරංචියක් ගැන, විශේෂයෙන්ම මෙවැනි ශුභාරංචියක් ගැන කතා කිරීම ඇත්තෙන්ම හොඳ දෙයකි. මන්ද අවම පීඩනයකින් යුත් ජීවිතයක් ගත කරන්නේ කෙසේදැයි බොහෝදෙනෙකුට ඒත්තුගැන්විය හැකි මූලික ඉගැන්වීම් බයිබලයෙහි අන්තර්ගතය.—2 තිමෝති 3:16.

15. ජීවිතය ගත කළ යුතු ආකාරය පිළිබඳව යේසුස් ඉගැන්වූ දෙයින් ප්‍රයෝජන ලැබීමට ඔබට හැක්කේ කෙසේද?

15 සමස්තයක් වශයෙන්, අලුතෙන් දෙවිගේ රාජ්‍යය ගැන ඉගෙනගැනීමට පටන්ගත් ඇතැම් අය, තම ජීවිත ගත කළ යුතු ආකාරය ගැන යේසුස් ඉගැන්වූ දෙයින් ප්‍රයෝජන ගෙන ඇත. තමන් යේසුස්ගේ ඉගැන්වීම්වලින් සහනයක් ලැබූ බවත් ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරගැනීමට ඒවා උදව් වූ බවත් බොහෝදෙනෙකුට අවංකවම පැවසිය හැකිය. විශේෂයෙන්ම මතෙව්, මාර්ක් සහ ලූක් යන සුවිශේෂකවරුන් විසින් ලියන ලද යේසුස්ගේ ජීවිතය සහ දේවසේවය පිළිබඳ වාර්තාවල සඳහන්ව ඇති ජීවිතයට අවශ්‍ය ප්‍රායෝගික ප්‍රතිපත්ති සමහරක් ඔබ විසින්ම අධ්‍යයනය කිරීමෙන් ඔබටත් ඒ බව තහවුරු කරගත හැකිය.

සහනය සොයාගැනීමට මඟක්

16, 17. (අ) යේසුස්ගේ මූලික ඉගැන්වීම් සමහරක් සොයාගත හැක්කේ කොහෙන්ද? (ආ) යේසුස්ගේ ඉගැන්වීම් අදාළ කරගැනීමෙන් සහනය සොයාගැනීමට අවශ්‍ය වන්නේ කුමක්ද?

16 යේසුස් පො.යු. 31 වසන්තයේදී අදටත් ලෝ සුපතළ දේශනයක් කළේය. එය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ කන්ද උඩ දේශනය කියායි. මතෙව් 5 සිට 7 දක්වා පරිච්ඡේදවලත් ලූක් 6වන පරිච්ඡේදයෙත් මෙය වාර්තා වී තිබෙන අතර, එය ඔහුගේ ඉගැන්වීම් රාශියක් සාරාංශ කරයි. යේසුස් ඉදිරිපත් කළ අනිකුත් ඉගැන්වීම් සුවිශේෂයන්හි වෙනත් තැන්වලද දැකිය හැකිය. ඔහු කී දේවල් බොහෝමයක් ප්‍රායෝගිකව අදාළ කරගැනීම අභියෝගයක් විය හැකි වුවත්, ඒවා තේරුම්ගැනීමට අසීරු නැත. එබැවින් එම පරිච්ඡේද පරෙස්සමින් කල්පනාකාරිව කියවා නොබලන්නේ මන්ද? ඔබේ සිතුවිලි සහ ආකල්ප මෙහෙයවීමට ඔහුගේ අදහස්වල ප්‍රබලත්වයට ඉඩහරින්න.

17 පැහැදිලිවම, යේසුස්ගේ ඉගැන්වීම් විවිධ ආකාරයට වර්ග කළ හැකිය. අපි දැන් දවසකට එක බැගින් ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක කළ හැකි ඉලක්කයක් තබාගත හැකි වන පරිදි මේ මූලික ඉගැන්වීම් කාණ්ඩගත කරමු. ඒ කෙසේද? ඒවා උඩින් පල්ලෙන් කියවාගෙන යන්නේ නැතිව, පරෙස්සමින් සලකා බැලීමට කාලය ගනිමු. “සදාකාල ජීවනය උරුමකරගන්නා පිණිස මම කුමක් කරම්දැයි” යේසුස් ක්‍රිස්තුස්ගෙන් ඇසූ ධනවත් මුලාදෑනියාව ඔබට මතකද? දෙවිගේ ව්‍යවස්ථාවෙන් ඉල්ලා සිටින අත්‍යවශ්‍ය දේවල් ගැන යේසුස් මතක් කර දුන් විට, ඒ දේවල් තමන් දැනටමත් කරමින් සිටින බව ඔහු කියා සිටියේය. එහෙත්, ඊටත් වඩා යමක් කළ යුතු බව ඔහු පසුව වටහාගත්තේය. ක්‍රියාශීලී ගෝලයෙකු වීම සඳහා දිව්‍ය ප්‍රතිපත්ති ප්‍රායෝගිකව අදාළ කරගැනීමට මහත් සේ වෙර දැරිය යුතු බව යේසුස් ඔහුට කියා සිටියේය. පෙනෙන විදිහට, එම මිනිසා ඒ තරම්ම වෙහෙසක් දැරීමට සූදානමින් සිටියේ නැත. (ලූක් 18:18-23) මේ අනුව, යේසුස් ඉගැන්වූ දේ ඉගෙනගැනීමට කැමති වර්තමානයේ සිටින සියලුදෙනාම මතකයේ තබාගත යුතු දෙයක් වන්නේ, එම ඉගැන්වීම් සමඟ එකඟ වීමත්, ඒවා ඇත්තෙන්ම වැලඳගැනීමත් අතර විශාල වෙනසක් තිබෙන බවය. ඒවා වැලඳගැනීම ජීවිතයේ පීඩනය අඩු කරයි.

18. මේ සමඟ ඇති කොටුව ප්‍රයෝජනදායක අන්දමින් භාවිතයට ගත හැකි ආකාරය නිදර්ශනය කරන්න.

18 යේසුස්ගේ ඉගැන්වීම් පරීක්ෂා කර අදාළ කරගැනීම ඇරඹීමට මේ සමඟ ඇති කොටුවේ තිබෙන මුල් ප්‍රශ්නය වෙත අවධානය යොමු කරන්න. එය මතෙව් 5:3-9 වෙත යොමු දක්වයි. ඇත්ත වශයෙන්ම, එම පදවල ඇති අනගි උපදෙස් මෙනෙහි කිරීමට අපෙන් ඕනෑම කෙනෙකුට ඕනෑතරම් කාලයක් ගත හැකියි. කෙසේවෙතත්, සමස්තයක් හැටියට එහි ඇති දේ සලකා බලා සැසඳීමක් කිරීමෙන් පසු, ඔබ ඔබේ ආකල්පය සම්බන්ධව පැමිණෙන නිගමනය කුමක්ද? ඔබේ ජීවිතයට අධික පීඩනයක් ගෙනෙන දේවලින් ජයගැනීමට ඔබට සැබවින්ම වුවමනා නම්, ඔබට උපකාරයක් වන්නේ මොනවාද? ඔබ ඔබේ ආත්මික කාරණා කෙරෙහි දක්වන අවධානය වැඩි කරගෙන ඔබේ සිතුවිලි වැඩි වැඩියෙන් ඒ වටා ගොනු කරගන්නවා නම්, එයින් ඔබට යහපත් බලපෑමක් එල්ල වන්නේ කෙසේද? ඔබේ ජීවිතයේ අඩු අවධානයක් දිය හැකි වගකීම් හඳුනාගෙන, ඒ වෙනුවට ආත්මික කාරණා කෙරෙහි වඩා වැඩි අවධානයක් දීමට ඔබට හැකිද? එසේ කරනවා නම්, ඔබ දැන් පවා ඔබේ ජීවිතයට සන්තෝෂය එක් කරගනු ඇත.

19. තීක්ෂ්ණ බුද්ධිය සහ අවබෝධය වැඩි කරගැනීමට ඔබට කුමක් කළ හැකිද?

19 දැන් අපි මේ කරුණු සම්බන්ධයෙන් තවත් පියවරක් ඉදිරියට යමු. එම බයිබල් පද ඔබේ විවාහ කලත්‍රයා හෝ කිට්ටු නෑයෙකු හෝ මිතුරෙකු සමඟ සාකච්ඡා නොකරන්නේ මන්ද? (හිතෝපදේශ 18:24; 20:5) කලින් කතා කළ ධනවත් මුලාදෑනියා වෙන කෙනෙකු සමඟ එනම් යේසුස් සමඟ මේ හා සමාන කාරණා සාකච්ඡා කළ බව මතක තබාගන්න. ඊට ඔහු දක්වන ප්‍රතිචාරය ඔහුගේ සන්තෝෂයේත් සදාකාල ජීවනයේත් අපේක්ෂාව වැඩි කිරීමට හේතු වන්න ඉඩ තිබුණි. ඔබ මේ බයිබල් පද සාකච්ඡා කරන සෙසු ඇදහිලිවන්තයාව යේසුස්ට සමාන කළ නොහැකිය. එහෙත්, යේසුස්ගේ ඉගැන්වීම් ගැන කරන මේ සාකච්ඡාවෙන් ඔබ දෙදෙනාම ප්‍රයෝජන ලබනු ඇත. හැකි ඉක්මනින් මේ අභ්‍යාසය කිරීමට උත්සාහ කරන්න.

20, 21. යේසුස්ගේ ඉගැන්වීම් ගැන ඉගෙනගැනීම සඳහා අනුගමනය කළ හැකි වැඩසටහන කුමක්ද? ඔබට ඔබේ ප්‍රගතිය තක්සේරු කළ හැක්කේ කෙසේද?

20 නැවතත් “ඔබට ප්‍රයෝජනවත් ඉගැන්වීම්” නමැති කොටුව බලන්න. මේ ඉගැන්වීම් කාණ්ඩගත කර තිබෙන්නේ අඩුම තරමින් ඔබට දවසකට එක ඉගැන්වීමක්වත් සලකා බැලීමට හැකි වන පිණිසයි. මුලින්ම, සඳහන් කර ඇති බයිබල් පදය තුළ යේසුස් පවසන දේ කියවා බැලිය හැකිය. ඉන්පසු ඔහුගේ වචන ගැන කල්පනා කර බලන්න. ඔබේ ජීවිතය තුළ එය අදාළ කරගත හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න. ඔබ දැනටමත් ඒ දේ කරමින් සිටින බව ඔබට හැඟේ නම්, දිව්‍ය ඉගැන්වීම්වලට අනුව ජීවත් වීම සඳහා ඔබ විසින් තවදුරටත් කළ යුතු දේවල් ගැන මෙනෙහි කරන්න. ඒ දවසේදීම එය අදාළ කරගැනීමට උත්සාහ කරන්න. එය තේරුම්ගැනීමට හෝ අදාළ කරගැනීමට ඔබට දුෂ්කරතාවක් ඇත්නම්, ඒ සඳහා තවත් දවසක් ගත කරන්න. කෙසේවෙතත්, ඊළඟ කාරණයට යෑමට පෙර කලින් කාරණය සියයට සියයක්ම අදාළ කරගන්නා තුරු සිටිය යුතු නැති බව මතක තබාගන්න. ඊළඟ දවසේදී තව ඉගැන්වීමක් අදාළ කරගත හැකිය. සතිය අවසානයේදී, යේසුස්ගේ ඉගැන්වීම් හතරක් හෝ පහක් අදාළ කරගැනීමේදී කොතරම් සාර්ථක වී ඇද්දැයි ඔබට පරීක්ෂා කර බැලිය හැකිය. දෙවන සතියේදී නැවතත් දිනපතා ඊට තවත් එකතු කරගන්න. මේ කරුණු අදාළ කරගනිමින් යද්දී, ඔබ කලින් අදාළ කරගත් සමහර දේවල් දැන් මඟහැරී ඇතැයි දැනගතහොත්, ඉන් අධෛර්යයට පත් නොවන්න. සෑම ක්‍රිස්තියානියෙකුටම එම අද්දැකීමට මුහුණ දීමට සිදු වනු ඇත. (2 ලේකම් 6:36; ගීතාවලිය 130:3; දේශනාකාරයා 7:20; යාකොබ් 3:8) දිගටම තුන්වන සහ හතරවන සතිවලත් මේ දේම කරගෙන යන්න.

21 මාසයකට පමණ පසුව ඔබ එහි ඇති කරුණු 31ම සාකච්ඡා කර තියේවි. එහි ප්‍රතිඵලයක් හැටියට ඔබට කෙසේ හැඟේවිද? කලින්ට වඩා වැඩි සතුටක් හෝ සන්සුන්කමක් ඔබට දැන් දැනේවිද? ඔබ ප්‍රගතියක් ලැබුවේ සුළුවෙන් විය හැකි වුණත්, ඔබට දැනෙන පීඩනය අවම කරගැනීමට හෝ පීඩනය පෙරට වඩා හොඳින් හැසිරවීමට හෝ යම් පිළිවෙළකට දේවල් කිරීමට ඔබට හැකියාව ලැබෙයි. මේ ලැයිස්තුවේ නැති යේසුස් ඉගැන්වූ තවත් කදිම කාරණා රාශියක් තිබෙන බව අමතක නොකරන්න. ඒවායින් සමහරක් සොයාගෙන ක්‍රියාවට නැඟීමට උත්සාහ නොකරන්නේ මන්ද?—පිලිප්පි 3:16.

22. යේසුස්ගේ ඉගැන්වීම් අනුගමනය කිරීමෙන් ඇති විය හැකි ප්‍රතිඵලය කුමක්ද? එනමුත් අධ්‍යයනය කළ යුතු තවත් පැත්තක් වන්නේ කුමක්ද?

22 යේසුස්ගේ වියගහ සැහැල්ලු එකක් පමණක් නොව දැරීමට පහසු එකක් බවත් ඔබට පෙනෙයි. ඔහුගේ ඉගැන්වීම් සහ ගෝලයෙකු වීමේ වගකීම සැහැල්ලුය. අවුරුදු 60ක පමණ කාලයක පුද්ගලික අද්දැකීමෙන් පසු යේසුස්ගේ හිතවත් මිතුරා වන ප්‍රේරිත යොහන් ඉහත කාරණය තහවුරු කරන්නේ මෙසේයි. ‘දෙවිට ප්‍රේමවීම නම් අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බර නැත.’ (1 යොහන් 5:3) ඔබටත් එවැනිම විශ්වාසයක් තැබිය හැකිය. යේසුස්ගේ ඉගැන්වීම් ඔබ වැඩි වැඩියෙන් අදාළ කරගන්නා තරමට අදදින බොහෝදෙනෙකුට ජීවිතයේ අතිවෙහෙසකරයයි හැඟෙන දේවල් ඔබට සන්තාපයට හේතුවක් නොවනු ඇත. සැලකිය යුතු තරම් සහනයක් ලැබී ඇති බව ඔබටම දැනෙනු ඇත. (ගීතාවලිය 34:8) එසේ වුවත්, යේසුස්ගේ දැරීමට පහසු වියගහේ සලකා බැලිය යුතු තවත් පැත්තක් තිබේ. තමන් ‘මෘදුව සිතින් යටහත්ව’ සිටින බවද යේසුස් තවදුරටත් පැවසුවේය. අප විසින් යේසුස්ගෙන් ඉගෙනීමටත් ඔහුව අනුකරණය කිරීමටත් එම කාරණය අදාළ වන්නේ කෙසේද? ඊළඟ ලිපියේදී අපි මෙය සලකා බලමු. —මතෙව් 11:29.

ඔබේ පිළිතුර කුමක්ද?

• අධික පීඩනයෙන් සහනයක් සෙවීමේදී අප යේසුස් වෙත යොමු විය යුත්තේ මන්ද?

• වියගහක් මගින් සංකේතවත් වූයේ කුමක්ද? ඒ මන්ද?

• යේසුස් තමන්ගේ වියගහ ගෙන යෑමට මිනිසුන්ට ආරාධනා කළේ මන්ද?

• ආත්මික සහනය ලබාගැනීමට ඔබටත් හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

වර්ෂ 2002 සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පදය මෙසේයි: ‘මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි.’—මතෙව් 11:28.

[12, 13වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබට ප්‍රයෝජනවත් ඉගැන්වීම්

මතෙව් 5 සිට 7වන පරිච්ඡේදය දක්වා තිබෙන ඔබට යහපතක් විය හැකි ඉගැන්වීම් මොනවාද? මේ පරිච්ඡේදවල ඇත්තේ උතුම් ගුරුවරයා වන යේසුස් ක්‍රිස්තුස් විසින් ගලීලයේ කඳු බෑවුමකදී කළ ඉගැන්වීම්ය. කරුණාකර ඔබේ බයිබලය උපයෝගි කරගෙන පහත සඳහන් බයිබල් පද කියවා, ඊට අදාළ ප්‍රශ්නවලට උත්තර ඔබෙන්ම අසාගන්න.

1. 5:3-9 මෙය මගේ සාමාන්‍ය ආකල්පය ගැන කියාපාන්නේ මොකක්ද? වැඩි සන්තෝෂයක් අත් කරගැනීමට මම ක්‍රියා කළ යුත්තේ කොහොමද? මගේ ආත්මික අවශ්‍යතාවලට වැඩි අවධානයක් දීමට මට හැක්කේ කොහොමද?

2. 5:25, 26 බොහෝදෙනෙකු තුළ ඇති කලහකාරි ස්වභාවය අනුකරණය කරනවාට වඩා හොඳ දෙය මොකක්ද?—ලූක් 12:58, 59.

3. 5:27-30 ලිංගික ක්‍රියා පිළිබඳව දවල් සිහින දැකීම ගැන යේසුස් අවධාරණය කරන්නේ මොකක්ද? එවැනි දේවලින් වැළකීම මගේ සන්තෝෂයටත් මනසේ සාමයටත් දායක වන්නේ කොහොමද?

4. 5:38-42 වර්තමාන සමාජයේ පවතින සටන්කාමී රැල්ලට හසු නොවී සිටීමට මා උත්සාහ කළ යුත්තේ ඇයි?

5. 5:43-48 සතුරෝයැයි කලින් සැලකූ අය සමඟ වඩා හොඳ මිත්‍රත්වයක් ඇති කරගැනීමෙන් මට ප්‍රයෝජන ලබාගත හැක්කේ කොහොමද? එවැනි මිත්‍රත්වයක් ඇති කරගැනීම පීඩනය අඩු කරගැනීම හෝ නැති කර දැමීම සඳහා දායක වන්නේ කොහොමද?

6. 6:14, 15 සමහර අවස්ථාවලදී මම සමාව දීමට අකමැති බවක් දක්වන විට, ඊට මුල් වන හේතුව ඊර්ෂ්‍යාව හෝ අමනාපය විය හැකිද? එවන් ආකල්පයක් මම වෙනස් කරගන්නේ කොහොමද?

7. 6:16-18 මට ඇත්තේ අභ්‍යන්තරයෙන් මම කවුද කියන කාරණයට වඩා මගේ පිටාතරය ගැන සැලකිලිමත් වීමේ නැඹුරුවාවක්ද? මම වැඩියෙන් සැලකිලිමත් විය යුත්තේ මෙයින් කුමක් ගැනද?

8. 6:19-32 මම මුදල් සහ දේපළ කෙරෙහි අනවශ්‍ය උනන්දුවක් දැක්වීමට ගියොත් එය මට කිනම් බලපෑමක් ඇති කරයිද? මේ ගැන සමබරව කටයුතු කිරීම සඳහා උපකාරවත් වන්නේ කුමක් ගැන සිතීමද?

9. 7:1-5 නිතරම අනුන්ව හෙළා දකින සහ විවේචනය කරන අය මෙන්ම සැමවිටම අනුන්ගේ වැරදි පමණක්ම දකින අය අතරේ සිටිද්දී මට හැඟෙන්නේ කොහොමද? මමත් ඔවුන් හා සමාන වීමෙන් වැළකී සිටීම වැදගත් වන්නේ ඇයි?

10. 7:7-11 දෙවිගෙන් යම් දේවල් ඉල්ලා සිටින විට නොකඩවාම අධිෂ්ඨානපූර්වකව එසේ කිරීම ප්‍රශංසනීය දෙයක් කියා මට හැඟේ නම්, ජීවිතයේ අනිත් කාරණාවලදීත් ඒ හා සමාන ආකල්පයක් මා විදහා පෙන්වනවාද?—ලූක් 11:5-13.

11. 7:12 මම රන් අණ දැන සිටියත්, අනිත් අය සමඟ කටයුතු කරද්දී එහි ඇති උපදෙස් මා කී වතාවක් අදාළ කරගන්නවාද?

12. 7:24-27 මගේ ජීවිතයේ කටයුතු මෙහෙයවීමේ වගකීම තිබෙන්නේ මට නිසා, දුෂ්කරතා නමැති චණ්ඩ මාරුත සහ ගැටලු නමැති ජලගැලීම්වලට මුහුණ දීමට මම හොඳින් සූදානම් වන්නේ කොහොමද? මේ ගැන මම දැන්ම සිතා බැලිය යුත්තේ ඇයි?—ලූක් 6:46-49.

මට සලකා බැලිය හැකි අමතර ඉගැන්වීම්:

13. 8:2, 3 යේසුස් නිතර දෙවේලේ කළා සේ නැති බැරි අසරණ අයට දයානුකම්පාව පෙන්වීමට මට හැක්කේ කොහොමද?

14. 9:9-38 දයාව පෙන්වීම මා සලකන්නේ මගේ ජීවිතයේ කොතරම් වැදගත් දෙයක් හැටියටද? තව ටිකක් වැඩියෙන් දයාව පෙන්වීමට මට හැක්කේ කොහොමද?

15. 12:19 අනාවැකියේ සඳහන් ලෙස යේසුස් මෙන් කලහකාරි විවාද මඟහැරීමට මම වෑයම් කරනවාද?

16. 12:20, 21 මගේ වචනවලින් හෝ ක්‍රියාවෙන් අනිත් අයව හපයක් බවට පත් නොකිරීමෙන් මට කවර යහපතක් ඉටු කරගත හැකියිද?

17. 12:34-37 මම වැඩිපුරම කාලය ගත කරන්නේ මොනවා ගැන කතා කිරීමටද? දෙහි ගෙඩියක් මිරිකුවොත් දෙහි යුෂ එන බව මම දන්නවා. එසේනම්, අභ්‍යන්තරයේ එනම් මගේ හෘදයේ තිබෙන්නේ කුමක්දැයි මා සිතා බැලිය යුත්තේ ඇයි?—මාර්ක් 7:20-23.

18. 15:4-6 යේසුස් මහලු උදවියට දැක්වූ ආදර සැලකිල්ල ගැන ඔහු කී දෙයින් මට පැහැදිලි වන්නේ මොකක්ද?

19. 19:13-15 කුමක් කිරීමටද මම කාලය ගත යුත්තේ?

20. 20:25-28 පුද්ගලික වාසිය තකා බලතල තමාට රිසි ලෙස හැසිරවීම අවාසිදායක වන්නේ ඇයි? මේ කාරණය සම්බන්ධයෙන් මට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කොහොමද?

මීට අමතරව මාර්ක් වාර්තා කළ අදහස්:

21. 4:24, 25 මම අන් අයට සලකන ආකාරයේ ඇති වැදගත්කම මොකක්ද?

22. 9:50 මම කියන දේ සහ කරන දේ තෝරා බේරීමකින් යුතුව කරනවා නම්, ඉන් පැමිණිය හැකි හොඳ ප්‍රතිඵල මොනවාද?

අවසන් වශයෙන් ලූක් වාර්තා කළ ඉගැන්වීම් කිහිපයක්:

23. 8:11, 14 කනස්සල්ලට, ධන සම්පත්වලට සහ විනෝදාස්වාදයට මම මගේ ජීවිතය පාලනය කරන්න ඉඩහැරියොත්, එහි ප්‍රතිඵලය කුමක් විය හැකියිද?

24. 9:1-6 ලෙඩුන් සුව කිරීමට යේසුස්ට බලය තිබුණත්, ඔහු ප්‍රමුඛත්වය දුන්නේ කුමකටද?

25. 9:52-56 මම ඉක්මනින් අමනාප වනසුලු කෙනෙක්ද? මම පළිගැනීමේ ස්වභාවයෙන් වැළකී සිටිනවාද?

26. 9:62 දෙවිගේ රාජ්‍යය සම්බන්ධයෙන් කතා කිරීමට තිබෙන මගේ වගකීම දෙස මා බැලිය යුත්තේ කොහොමද?

27. 10:29-37 මම අසල්වැසියෙක් මිස නාඳුනන්නෙක් නොවන බව පෙන්විය හැක්කේ කොහොමද?

28. 11:33-36 මගේ ජීවිතය වඩා සරල කරගැනීම සඳහා මට කුමන වෙනස්කම් කරගත හැකියිද?

29. 12:15 ජීවිතයත් ධන සම්පතුත් අතර ඇති සම්බන්ධය මොකක්ද?

30. 14:28-30 තීරණයක් ගැනීමේදී මම කරුණු කිරා මැන බැලීමට කාලය ගන්නවා නම්, වළකිනු ඇත්තේ කුමකින්ද? ඉන් ලබන ප්‍රයෝජන මොනවාද?

31. 16:10-12 අඛණ්ඩතාවය රැකගන්නා ජීවිතයක් ගත කිරීමෙන් මට කිනම් ප්‍රයෝජන ලැබිය හැකියිද?

[10වන පිටුවේ පින්තූර]

යේසුස්ගේ වියගහ යට කෙරෙන ජීවිත ගළවන වැඩය සහනදායී එකකි