Skip to content

පටුනට යන්න

‘මම සීසර්ගේ විනිශ්චය ඉල්ලමි’

‘මම සීසර්ගේ විනිශ්චය ඉල්ලමි’

‘මම සීසර්ගේ විනිශ්චය ඉල්ලමි’

මැර පිරිසක් අසරණයෙකු අල්ලාගෙන පහර දීමට පටන්ගනිති. ඔවුන්ගේ අදහස ඔහු මියයෑමට සුදුස්සෙකු බවයි. මැර පිරිසට මැදි වී මරු කටේ සිටින ඔහුව හේවායන් බේරගන්නේ අසීරුතා මැදයි. ඔහු නම් ප්‍රේරිත පාවුල්ය. ඔහුට පහර දෙන්නේ ඔහුගේ දේශනා සේවයට තදින්ම විරුද්ධ වෙමින්, ඔහු දේවමාළිගාව කෙලසන බවට චෝදනා නඟමින් සිටින යුදෙව්වන්ය. ඔහුව බේරාගැනීමට පැමිණෙන රෝම හේවායන්ව මෙහෙයවන්නේ ඔවුන්ගේ සේනාධිපතියා වූ ක්ලෞදියස් ලිසියස්ය. මෙම කලබලය මැද පාවුල්ව අත්අඩංගුවට ගන්නේ අපරාධකාරයෙකු ලෙසයි.

ක්‍රියා පොතේ අවසාන පරිච්ඡේද හත වෙන් වන්නේ පාවුල්ව අත්අඩංගුවට ගෙන පැවැත්වූ නඩු විභාගය පිළිබඳ කතා පුවත වෙනුවෙනි. නීතිය හා බැඳි පාවුල්ගේ ඉතිහාසය, ඔහුට විරුද්ධව එල්ල කළ චෝදනා, ඔහු තම නිර්දෝෂිභාවය ප්‍රකාශ කිරීමට ඉදිරිපත් කළ කරුණු හා රෝමානු දණ්ඩන නීති විධිවිධානය පිළිබඳව අප යම් අවබෝධයක් ලබාගැනීම මෙම පරිච්ඡේද කිහිපය තේරුම්ගැනීමට උපකාරයක් වේ.

ක්ලෞදියස් ලිසියස්ගේ භාරයේ

යෙරුසලමේ නීතිය රැකීම ක්ලෞදියස් ලිසියස්ගේ රාජකාරියේ කොටසක් විය. ඔහුගේ ප්‍රධානියා වූ යුදයේ රෝම ආණ්ඩුකාරයා විසුවේ කායිසාරියෙහිය. පාවුල් සම්බන්ධයෙන් ලිසියස් ගත් ක්‍රියාමාර්ගය සඳහා ප්‍රචණ්ඩත්වයට මැදිව සිටින්නෙකු සුරැකීම හා සාමයට බාධා කරන්නෙකු සිරභාරයේ රැඳවීම යන කාරණා දෙකම ඇතුළත් විය හැක. යුදෙව්වන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ලිසියස් විසින් තම සිරකරුවාව ඇන්ටෝනියාවේ පිහිටි හේවායන්ගේ බලකොටුවට මාරු කරනු ලැබීය.—ක්‍රියා 21:27-22:24.

පාවුල් කළ වරද කුමක්දැයි සොයා බැලීමට ලිසියස්ට සිදු විය. කෝලාහලය සිදු වූ අවස්ථාවේදී ඇත්ත නැත්ත දැනගැනීමට ඔහුට නොහැකි විය. මේ නිසා ඔහු තවත් ප්‍රමාද නොකර ‘කුමන කාරණයක් නිසා ඔවුහු ඔහුට විරුද්ධව එසේ මොරගැසුවෝදැයි දැනගන්නා පිණිස, ඔහුට කසයෙන් තළා විභාග කරන්ට නියම කළේය.’ (ක්‍රියා 22:24) අපරාධකරුවන්, වහලුන් හා පහත් සේවකයන්ගෙන් සාක්ෂි ගැනීම සඳහා ක්‍රියාත්මක කළ ක්‍රමයකි එය. කසය (ෆ්ලේග්‍රම්) මගින් එම අරමුණ ඉටු කරගැනීමට සමත් වූවා විය හැකි වුවත්, එය භයානක ආයුධයකි. සමහර කසවල දම්වැල්වල යකඩ බෝල එල්ලෙමින් තිබිණ. හම් පටි යොදා සාදා තිබූ අනික් ඒවාවල තියුණු කටු හා යකඩ කෑලි අමුණා තිබිණ. ඒවා හම තීරු තීරුවලට ඉරී යෑමට සලස්වමින් දරුණු තුවාල ඇති කළේය.

කෙසේවෙතත්, කසයෙන් තළන්න නියම කළ අවස්ථාවේදී පාවුල් ඔහුගේ රෝම පුරවැසිභාවය පිළිබඳව හෙළි කළේය. වරදකරුවෙකු ලෙස තීන්දු නොවූ රෝම වැසියෙකුට තැළීම වරදක් හෙයින් තම අයිතිය සම්බන්ධයෙන් පාවුල් කළ ප්‍රකාශයට ඒ මොහොතේම පිළිතුරු ලැබිණ. රෝම පුරවැසියෙකුට නින්දා කිරීම හෝ දඬුවම් කිරීම රෝම නිලධාරියෙකුගේ තනතුර අහිමි වීමට හේතුවක් වන්නට තිබිණ. එමනිසා එතැන් පටන්, පාවුල්ට සලකනු ලැබුවේ සාමාන්‍ය සිරකරුවෙකුට වඩා වෙනස් අයුරකිනි. ඔහුව බැහැදැකීමට අන් අයට ඉඩ කඩ සැලසිණ.—ක්‍රියා 22:25-29; 23:16, 17.

පාවුල්ට විරුද්ධව ගෙනැවිත් තිබෙන පැමිණිල්ල නිශ්චය කරගැනීමට නොහැකි වූ හෙයින් වැඩිදුරට සාක්ෂි ගැනීම සඳහා ලිසියස් ඔහුව මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ගියේය. එහෙත් පාවුල් නැවත නැඟිටීමේ කාරණය සම්බන්ධයෙන් විනිශ්චය කරනු ලැබ සිටිමියි පැවසූ විට එහි භේදයක් හටගත්තේය. මත භේදය කෙතරම් උග්‍ර වුණාද කියනවා නම් පාවුල්ව කැබලි කොට ඉරා දමයි කියා ලිසියස් බිය වූ අතර නැවතත් එම කෝපාවිෂ්ට යුදෙව්වන්ගෙන් පාවුල්ව බේරාගැනීමට ඔහුට සිදු විය.—ක්‍රියා 22:30-23:10.

තමාගේ භාරයේ සිටින රෝම වැසියෙකුගේ මරණයේ වගකීම භාරගැනීමට ලිසියස්ට වුවමනා නොවීය. පාවුල්ව මරා දැමීමට කුමන්ත්‍රණයක් කෙරෙන බව දැනගත් විගසම ඔහු තම සිරකරුවාව කායිසාරියට ගෙන යෑමට කටයුතු යෙදුවේය. නීති රීතිවලට අනුව, සිරකරුවන්ව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යවන විට නඩුව සම්බන්ධයෙන් තිබෙන වාර්තාද යැවිය යුතු විය. එම වාර්තාවලට මුල් නඩු විභාගයේ ප්‍රතිඵල, ගත් ක්‍රියා මාර්ගයට හේතු සහ නඩුව සම්බන්ධයෙන් විමර්ශකයාගේ අදහස්ද ඇතුළත් කරනු ලැබේ. ‘යුදෙව් ව්‍යවස්ථාවේ ප්‍රශ්න ගැන ඔහුට වැරදි තබන බව මිස මරණයටවත් බැඳුම්වලටවත් සුදුසු යම් දෝෂයක්’ පාවුල් තුළ සොයාගත නොහැකි බව දැනුම් දුන් ලිසියස්, නෛතික බලය පවරන ලද ෆීලික්ස් වෙත තමන්ගේ පැමිණිලි ඉදිරිපත් කරන්න කියා පාවුල්ගේ එදිරිවාදීන්ට අණ කළේය.—ක්‍රියා 23:29, 30.

ෆීලික්ස් ආණ්ඩුකාරයා තීන්දුවක් දීමට අසමත් වේ

පළාත් අධිකරණය පැවතියේ ෆීලික්ස්ගේ බලය හා අධිකාරිය යටතේය. ඔහුට වුවමනා නම්, පොදු ජනයාට අදාළ නීති හෝ ඉහළ සමාජයට හා රජයේ නිලධාරීන්ට අදාළ ව්‍යවස්ථාපිත අපරාධ නීති ක්‍රියාත්මක කළ හැකිව තිබිණ. ඒවා හඳුන්වනු ලැබුවේ ඕඩෝ නොහොත් නිල ලැයිස්තුවක් කියාය. එමෙන්ම ඕනෑම අපරාධයකදී පියවර ගත හැකි එක්ස්ට්‍රා ඕඩිනෙම් අධිකරණයද උපයෝගි කරගැනීමට ඔහුට හැකිකම තිබිණ. පළාත් ආණ්ඩුකාරයෙකුගෙන් අපේක්ෂා කළේ ‘රෝමයේදී සිදු කළ දෙය නොව නමුත් සිටි ඕනෑම තැනකදී කළ යුතුව තිබුණ දේ සලකා බැලීමය.’ මේ අනුව බලන කල, ඔහුට විනිශ්චය කිරීම සඳහා වැඩි බලයක් තිබිණ.

පුරාණ රෝම නීතියේ සියලු විස්තර නොදන්නා නමුත් පාවුල්ගේ නඩුව “එක්ස්ට්‍රා ඕඩිනෙම් නම් පළාත් දණ්ඩ නීති ක්‍රමය පිළිබඳ කදිම උදාහරණයකි.” උපදේශකයන්ගේ සහාය ඇතුව ආණ්ඩුකාරයා විසින් එක් එක් පුද්ගලයන්ගේ චෝදනාවලට සවන් දෙනු ලැබීය. පැමිණිලිකරු ඉදිරියේ තම නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට විත්තිකරුගෙන් ඉල්ලා සිටි නමුත්, පැමිණිල්ල සත්‍යය බව ඔප්පු කිරීමේ වගකීම පැවරී තිබුණේ පැමිණිලිකරු මතය. ඕනෑම දඬුවමක් දෙනු ලැබුවේ නඩුකාරයාගේ කැමැත්තට අනුවය. ඔහුට හදිසි තීරණයක් දීමට හෝ දින නියමයක් නොමැතිව නඩුව කල් දැමීමට හැකියාව තිබිණ. එවිට විත්තිකරුට දිගටම අත්අඩංගුවේ සිටීමට සිදු විය. “එවැනි ඒකාධිපති බලයක් තිබීම හේතුවෙන් විත්තිකරුව නිදහස් කිරීම, ඔහුව වරදකරුවා කිරීම හෝ නඩුව කල් දැමීම සඳහා ආණ්ඩුකාරයාව ‘අයුතු ලෙස නම්මවාගැනීමට’ හා ඔහුට අල්ලස් දීමට හැකියාවක් තිබුණ බවට සැකයක් නැත” කියා ප්‍රවීණයෙකු වූ හෙන්රි කැඩ්බෙරි පවසයි.

යුදෙව්වන්ගේ වැඩිමහල්ලෙකු වූ උත්තම පූජක අනනියස් සහ තෙර්තුලස්, පාවුල් “කරදරකාරයෙකු බවද ලොව පුරා සියලු යුදෙව්වරුන් අතර කැරලි උපදවන්නෙකු බවද” ෆීලික්ස් ඉදිරියේ පැවසූහ. ඔහු “නාසරියයන්ගේ නිකායේ” නායකයෙකුව සිටි බවටත්, දේවමාළිගාව කෙලසීමට උත්සාහ කළ බවටත් ඔවුහු පවසා සිටියහ.—ක්‍රියා 24:1-6, නව අනුවාදය.

පාවුල්ට මුලින් පහර දුන් අය සිතුවේ යුදෙව්වන්ට පමණක් වෙන් කරන ලද මළුව තුළට අන්‍යජාතික ත්‍රොපිමස්ව ගෙනාවේ පාවුල් කියාය. a (ක්‍රියා 21:28, 29) ඇත්තෙන්ම කියනවා නම් නීති විරෝධී ලෙස ඇතුල් වී වරද කළේ ත්‍රොපිමස්මයි. එහෙත් එම තැනැත්තාගේ වරදට පාවුල් අනුබල දුන්නායයි යුදෙව්වන් තීරණය කළා නම්, එය මරණීය දණ්ඩනය ලැබිය යුතු වරදක් ලෙස තීන්දු කිරීමට ඉඩ තිබිණ. එමෙන්ම මෙම අපරාධය සඳහා මරණීය දණ්ඩනය දීමට රෝමයෙන් අවසර දී තිබුණ බවක් පෙනෙන්ට තිබිණ. එමනිසා ලිසියස් විසින් පාවුල්ව අත්අඩංගුවට ගන්නවා වෙනුවට යුදෙව් දේවමාළිගාවේ ආරක්ෂක භටයන් විසින් පාවුල්ව අත්අඩංගුවට ගත්තා නම්, ටිකක් මහන්සි වී කිසි ප්‍රශ්නයක් නැතුව ඔහුව මරණයට නියම කිරීමට මන්ත්‍රණ සභාවට හැකියාව තිබිණ.

පාවුල් ඉගැන්වූයේ යුදෙව් ධර්මය හෝ නීත්‍යනුකූල ධර්මයක් (රිලිජිඕ ලයිකිටා) නොවන බවට යුදෙව්වෝ හේතු දැක්වූහ. එය නීති විරෝධි, විප්ලවකාරි එකක් ලෙස සලකන ලදි.

පාවුල් “ලොව පුරා සියලු යුදෙව්වරුන් අතර කැරලි උපදවන්නෙකු” කියාද ඔවුහු පැවසූහ. (ක්‍රියා 24:5, න. අ.) “ලොව පුරා වසංගතයක් බඳු තත්වයක් හටගන්වා තිබීම” සම්බන්ධයෙන් ක්ලෞදියස් අධිරාජයා එම කාලයේදී අලෙක්ෂන්ද්‍රියේ යුදෙව්වන්ව හෙළාදැක්කේය. එම සමානත්වය උනන්දුව ඇති කරවන්නකි. “ක්ලෞදියස්ගේ පාලනය හෝ නීරෝගේ පාලන සමයේ මුල් කාලයේදී යුදෙව්වෙකුට එරෙහිව ගෙනා පැමිණිල්ලත් එයමයි” කියා ඉතිහාසඥ ඒ. එන්. ෂර්වන්-වයිට් පවසයි. “යුදෙව්වන් උත්සාහ කරමින් සිටියේ, පාවුල්ගේ දේශනා කිරීම, අධිරාජ්‍යය තුළ සිටින යුදෙව් ජනතාව අතර භේද හටගැන්වීමකට සමානයි කියා අධිරාජයාට ඒත්තුගැන්වීමටයි. ආගමික හේතූන් මත පමණක් කරන පැමිණිලිවලින් කෙනෙකුව වරදකරුවෙකු කිරීමට ආණ්ඩුකාරවරුන් කැමති නොවන බව දැන සිටි හෙයින් ඔවුහු ආගමික පැමිණිල්ලට දේශපාලනික මුහුණුවරක් දීමට වෑයම් කළහ.”

පාවුල් තම නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට කරුණු එකින් එක ගෙනහැර දැක්වීය. ‘මම කිසිම කැලඹීමක් නොකළෙමි. “නිකායක්” කියා ඔවුන් කියන්නාවූ දෙයට අනුව මම යුදෙව් ව්‍යවස්ථාව විශ්වාස කරමි. එහෙත් ආසියාවේ සිට ආවාවූ සමහර යුදෙව්වරු කැරැල්ලක් හටගැන්වූහ. මට විරුද්ධව යමක් ඔවුන්ට තිබුණේ නම්, මට දෝෂාරෝපණය කරන පිණිස මෙහි ඔබ ඉදිරියට එන්ට ඔවුන්ට යුතුව තිබුණේය.’ තමා පිළිබඳව ගෙනැවිත් තිබූ පැමිණිල්ල යුදෙව්වන් සමඟ තිබූ ආගමික ආරවුලකට සීමා වූ එකක් නිසා, ඒ පිළිබඳව රෝමයට කිසිවක් කළ නොහැකි බවට පාවුල් කරුණු ගෙනහැර දැක්වීය. ඒ වන විට නොඉවසිලිවන්තව සිටි යුදෙව්වෝ කුමක් කරත්දැයි නොදත් ෆීලික්ස් සම්පූර්ණයෙන්ම නඩුව ඇණහිටුවමින් සභාව විසුරුවා හැරීය. ෆීලික්ස්, බලය තිබෙන බව පවසා සිටි යුදෙව්වන් අතට පාවුල්ව පත් කළේවත්, රෝම නීතිය මගින් ඔහුව විනිශ්චය කළේවත්, ඔහුව නිදහස් කළේවත් නැත. ෆීලික්ස්ට බලෙන් විනිශ්චයක් දීමට නොහැකි වූ අතර යුදෙව්වන්ගේ හොඳ හිත දිනාගැනීමට අමතරව නඩුව ඇණහිටුවීමෙන් පාවුල්ගෙන් අල්ලසක් ගැනීමටත් හැකි වෙයි කියා ඔහු බලාපොරොත්තු විය.—ක්‍රියා 24:10-19, 26, න. අ. b

පොර්කියුස් ෆෙස්තුස්ගේ පාලනයේදී සංධිස්ථානයක්

වසර දෙකකට පසුව යෙරුසලමේ නව ආණ්ඩුකාරයා ලෙස පොර්කියුස් ෆෙස්තුස් පත් වූ විට, යුදෙව් සෙනඟ පාවුල්ව තමන්ගේ අධිකරණයට භාර දෙන මෙන් ඉල්ලමින් ඔවුන්ගේ පැමිණිලි අලුත් කළහ. එහෙත් ෆෙස්තුස් තරයේ කියා සිටියේ මෙයයි. “යම් වරද තබනු ලැබුවෙකු ඉදිරියට වරද තබන්නන් ගෙන්වා වරද ගැන උත්තරදීමට ඔහුට ඉඩදෙන්ට පළමුවෙන් ඔහු පාවාදීම රෝමයන්ගේ සිරිතක් නොවේ.” ඉතිහාසඥ හැරි ඩබ්. ටාෂ්‍ර මෙසේ පවසයි. “රෝම පුරවැසියෙකුව නීති විරෝධී ලෙස මරණයට නියම කිරීමට සැලසුමක් යොදා තිබූ බව ෆෙස්තුස් වටහාගත්තේය.” එබැවින් කායිසාරියේදී නඩුව ඉදිරිපත් කරන්න කියා යුදෙව්වරුන්ට පවසන ලදි.—ක්‍රියා 25:1-6 න. අ., 16.

පාවුල් “තවත් ජීවත්ව සිටින්නට නොවටනේයයි” යුදෙව්වරුන් තරයේ කියා සිටියත්, ඔවුන් ඒ ගැන ඔප්පු කළ හැකි සාක්ෂි ඉදිරිපත් කළේ නැත. එමනිසා මරණය ලැබීමට සුදුසු කිසිවක් පාවුල් කර නැති බව පෙස්තුස් ඒත්තුගත්තේය. ‘ඔහුට විරුද්ධව ඔවුන් ඉදිරිපත් කළේ තම ආගම ගැනත්, යේසුස් නම් මියගිය කෙනෙකු යළි ජීවත්ව සිටිතියි යන පාවුල්ගේ කීම ගැනත් විවාද සමහරක් පමණකි’ කියා ෆෙස්තුස් තවත් නිලධාරියෙකුට පැහැදිලි කළේය.—ක්‍රියා 25:7, 18, 19, 24, 25, න. අ.

පාලනයට එරෙහි වූ බවට යම් පැමිණිල්ලක් කර තිබුණා නම් ඒ සම්බන්ධයෙන් පාවුල් සම්පූර්ණයෙන්ම නිදොස් වූ නමුත්, ආගමික වියවුල සම්බන්ධයෙන් බලන කල, යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට බලය තිබුණේ ඔවුන්ගේ අධිකරණයට පමණක් බව යුදෙව්වන් තර්ක කළා විය හැක. මේ කාරණා සම්බන්ධයෙන් විනිශ්චයක් ලැබීමට පාවුල් යෙරුසලමට ගියාද? එසේ කිරීමට කැමතිදැයි ෆෙස්තුස් පාවුල්ගෙන් ඇසුවත්, ඇත්තෙන්ම එය නුසුදුසු යෝජනාවකි. පැමිණිලිකරුවන් විනිශ්චයකරුවන් බවට පත් වන යෙරුසලමට යතොත් යුදෙව්වන්ට යටත් වීමට පාවුල්ට සිදු වේ. එබැවින් “මම සීසර් අධිරාජයාගේ විනිශ්චාසනය ඉදිරියෙහි සිටිමි; මා විනිශ්චය කළ යුත්තේ මෙහිදීය” කියා පාවුල් පැවසීය. “යුදෙව්වරුන්ට මා කිසි වරදක් කළේ නැත; . . . මා ඔවුන් අතට පාවා දීමට කිසිවෙකුට බැරිය. මම සීසර් අධිරාජයාගේ විනිශ්චය ඉල්ලමි.”—ක්‍රියා 25:10, 11, 20, න. අ.

රෝම වැසියෙකුගේ එම වදන්වලින් පළාත් අධිකරණයේ සියලු කටයුතු ඇණහිටෙව්වේය. ඉල්ලීමක් (ප්‍රෝවොකාෂියෝ) කිරීමට ඔහුට තිබූ අයිතිය “සැබෑ, පූර්ණ මෙන්ම ප්‍රයෝජනවත්” එකක් විය. එබැවින් ෆෙස්තුස් තම උපදේශකයන් සමඟ නීති රීති පිළිබඳව සාකච්ඡා කළ පසු මෙසේ පැවසීය. ‘ඔබ සීසර්ගේ විනිශ්චය ඉල්ලුවෙහිය. ඔබ සීසර් වෙත යන්නෙහිය.’—ක්‍රියා 25:12, න. අ.

පාවුල්ගෙන් ගැළවීමට ලැබීම සම්බන්ධයෙන් ෆෙස්තුස් සතුටු විය. පසු දිනක ඔහු IIවන හෙරෝද් අග්‍රිපා සමඟ කතා කරමින් පවසා සිටියේ නඩුව ඔහුව ව්‍යාකූල කළ බවය. අධිරාජ්‍යයා සඳහා නඩුව පිළිබඳ ප්‍රකාශයක් පිළියෙළ කිරීමට ෆෙස්තුස්ට සිදු වී තිබිණ. එහෙත් යුදෙව් නීතියේ තේරුම්ගත නොහැකි සංකීර්ණ කාරණා පැමිණිලිවල අඩංගු විය. කෙසේවුවත් එවැනි කාරණා සම්බන්ධයෙන් අතිදක්ෂයෙකු වූ අග්‍රිපා නඩුව පිළිබඳව උනන්දුවක් දැක්වූ වහාම ලිපිය සකස් කිරීමට උපකාර කරන්නැයි ෆෙස්තුස් ඔහුගෙන් ඉල්ලා සිටියේය. අග්‍රිපා ඉදිරියේ පාවුල් පැවසූ දේ ග්‍රහණය කරගත නොහැකිව ෆෙස්තුස් “පාවුල් ඔබට පිස්සු. බොහෝ උගත්කම ඔබ පිස්සෙකු කර ඇත” කියා මහ හඬින් පැවසුවේය. එහෙත් අග්‍රිපා කාරණය සම්පූර්ණයෙන්ම වටහාගත්තේය. “වැඩි වෙලාවක් යන්න කලින් ඔබ මාව ක්‍රිස්තියානියෙකු වීමට පොලඹවයි” කියා ඔහු පැවසීය. පාවුල්ගේ තර්කවලින් තමන්ට වැටහුණ දේ අනුව ෆෙස්තුස් සහ අග්‍රිපා පාවුල් නිර්දෝෂ බවටත්, සීසර්ගේ විනිශ්චය නොඉල්ලුවා නම් ඔහුව නිදහස් කළ හැකිව තිබූ බවටත් එකඟත්වය පළ කළහ.—ක්‍රියා 25:13-27; 26:24-32NW.

විනිශ්චමය වට රවුමක නිමාව

රෝමයට පැමිණි විට පාවුල් යුදෙව් ප්‍රධානීන්ව කැඳෙව්වේය. එසේ කළේ දේශනා කිරීමට පමණක් නොව නමුත් තමන් ගැන ඔවුන් දන්නේ කුමක්ද කියා දැනගැනීමටය. එයින් ඔහුට නඩු පවරන්නන්ගේ චේතනා සම්බන්ධයෙන් යමක් හෙළි කරගැනීමට හැකි වූවා විය හැක. නඩු විභාගයක් පවතින විට යෙරුසලමේ අධිකාරීන් රෝම යුදෙව්වන්ගේ උපකාරය පැතීම අසාමාන්‍ය දෙයක් නොවූ නමුත් තමා පිළිබඳව ඔවුන්ට කිසි උපදෙසක් ලැබී නැති බව පාවුල්ට දැනගැනීමට ලැබිණ. නඩු තීන්දුව දෙන තුරු නිවසක් කුලියට ගෙන, නිදහසේ දේශනා කරමින් සිටීමට පාවුල්ට අවසර ලැබිණ. එලෙස දයාව පෑමෙන් අදහස් වූයේ රෝම වැසියන් පාවුල්ව නිර්දෝෂ කෙනෙකු ලෙස සැලකූ බවය.—ක්‍රියා 28:17-31.

පාවුල් තවත් වසර දෙකක් සිර අඩස්සියේ සිටියේය. මන්ද? බයිබලයේ වැඩිදුර විස්තර සපයන්නේ නැත. නඩු පවරන්නන් තම පැමිණිල්ල ඉදිරියට ගෙන යෑමට ඉදිරිපත් වන තුරු සාමාන්‍යයෙන්ම අභියාචකයෙකුව රඳවා තැබේ. එහෙත් යෙරුසලමේ යුදෙව් සෙනඟ තම නඩුවේ දුර්වලත්වය වටහාගත් නිසාදෝ යළි කිසිදා ඉදිරිපත් නොවූහ. පාවුල්ව නිහඬ කරවීමට ඔවුන්ට තිබුණු හොඳම ක්‍රමය එය විය හැක. කෙසේවුවත්, පාවුල් නීරෝ ඉදිරියේ පෙනී සිටි අතර ඔහු නිර්දෝෂ තැනැත්තෙකු බව ප්‍රකාශයට පත් කරනු ලැබූ බව පෙනෙන්ට තිබේ. අවසානයේදී යළිත් තම මිෂනාරි ක්‍රියාකාරකම්වල යෙදීමට පාවුල්ට නිදහස ලැබිණ. එසේ හැකි වූයේ අත්අඩංගුවට ගෙන වසර පහක් ගත වූ පසුවය.—ක්‍රියා 27:24.

අතීතයේ සිටම සත්‍යයට එරෙහි වන්නෝ ක්‍රිස්තියානි දේශනා සේවය නවතාලීමට ‘අයුතු නීතියෙන් නපුර’ යොදා ඇත. මෙය අපව පුදුමයට පත් කරවන්නක් නොවිය යුතුය. මන්ද යේසුස් මෙසේ පැවසීය. “ඔව්හු මට පීඩා කළෝ නම් නුඹලාටත් පීඩාකරන්නෝය.” (ගීතාවලිය 94:20, න. අ.; යොහන් 15:20) එහෙත්, මුළු ලොවටම සුබ අස්න පළ කිරීමේ නිදහස ලබා දෙන බවද යේසුස් අපට සහතික විය. (මතෙව් 24:14) ප්‍රේරිත පාවුල් පීඩා හා විරුද්ධවාදිකම් හමුවේ නැඟී සිටි අයුරින්ම අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවෝද ‘ශුභාරංචියට පක්ෂව කතා කරමින් හා එය නීත්‍යනුකූලව ස්ථාපිත කරමින්’ සිටිති.—පිලිප්පි 1:7NW.

[පාදසටහන්වල]

a රියන් තුනක් උස ගල් වැටකින් අන්‍යජාතීන්ගේ මළුව හා ඇතුල් මළුව වෙන් කර තිබිණ. මෙම තාප්පයේ තැනින් තැන ග්‍රීක් හා ලතින් භාෂාවෙන් මෙවැනි අනතුරු ඇඟවීම් කර තිබිණ. “විදේශිකයන්ට මෙම සීමාවෙන් ඇතුලට හා ශුද්ධස්ථානය වටා ඇති වැටෙන් ඇතුලට පැමිණීම තහනම්. එසේ කර අසු වෙන ඕනෑම කෙනෙකුට මරණ දඬුවම ලැබෙනු ඇත.”

b මෙය ඇත්තෙන්ම නීති විරෝධි දෙයකි. එක් මූලාශ්‍රයක මෙසේ පැවසේ. “ලෙක්ස් රිපෙටුන්ඩාරුම් නමැති කප්පන් ගැනීම සම්බන්ධයෙන් වූ නීතියට අයත් කොන්දේසිවලට අනුව කෙනෙකුව බැඳ තැබීම හෝ මුදාහැරීම, විනිශ්චයක් දීම හෝ නොදීම එසේ නැතහොත් සිරකරුවෙකු මුදාහැරීම සඳහා පාලන බලය හෝ පරිපාලනය හොබවන ඕනෑම කෙනෙකු අල්ලසක් ඉල්ලා සිටීම හෝ පිළිගැනීම තහනම් කර තිබිණ.”