Skip to content

පටුනට යන්න

“මාගෙන් ඉගෙනගන්න”

“මාගෙන් ඉගෙනගන්න”

“මාගෙන් ඉගෙනගන්න”

‘මම මෘදුව සිතින් යටහත්ව සිටින බැවින්, මාගේ වියගහ ඔබ පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.’—මතෙව් 11:29.

1. යේසුස්ගෙන් ඉගෙනීම ප්‍රියමනාප මෙන්ම අර්ථවත් දෙයක් විය හැක්කේ මන්ද?

 යේසුස් ක්‍රිස්තුස් සැමවිටම සිතුවේ, ඉගැන්නුවේ සහ ක්‍රියා කළේ වඩාත්ම උචිත ආකාරයටය. ඔහු මිහිපිට ගත කළ කාලය කෙටි වුවත්, විපාකදායී මෙන්ම තෘප්තිකර වෘත්තියක නියැලුණු අතර සැමවිටම සතුටින් සිටියේය. ඔහු ගෝලයන් ඇති කරගත්තේය. දෙවිට නමස්කාර කරන ආකාරය, මිනිසුන්ට ප්‍රේම කරන ආකාරය සහ ලෝකයෙන් ජයගන්නා ආකාරය ඔහු ඔවුන්ට කියා දුන්නේය. (යොහන් 16:33) ඔහු ඔවුන්ගේ හදවත් බලාපොරොත්තුවෙන් පුරවා ‘ශුභාරංචිය තුළින් ජීවනයත් අමරණීයභාවයත් [නොදිරනභාවයත්, NW] එළිදරව්’ කළේය. (2 තිමෝති 1:10) ඔබ ඔබව ඔහුගේ ගෝලයෙකු ලෙස සලකනවා නම්, ඔබ සිතන විදිහට ගෝලයෙකු වීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ගෝලයන් ගැන යේසුස් කියන්නේ කුමක්දැයි සලකා බැලීමෙන් අපේ ජීවිත වඩා අරුත්බර කරගන්නේ කෙසේදැයි උගත හැකියි. ඉන් අදහස් කරන්නේ ඔහුගේ දෘෂ්ටිකෝණයට අනුකූල වීමත් මූලික ප්‍රතිපත්ති සමහරක් අදාළ කරගැනීමත්ය.—මතෙව් 10:24, 25; ලූක් 14:26, 27; යොහන් 8:31, 32; 13:35; 15:8.

2, 3. (අ) යේසුස්ගේ ගෝලයෙකු කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) ‘මම පත් වෙලා තියෙන්නේ කාගේ ගෝලයෙකු බවටද’ කියා අපෙන්ම අසාගැනීම වැදගත් වන්නේ මන්ද?

2 ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ලේ පරිවර්තනය කර ඇති “ගෝලයා” යන වචනයෙන් මූලිකව අදහස් වන්නේ යමක් කෙරෙහි තම මනස යොමු කරන කෙනෙකු හෝ ඉගෙනගන්නා කෙනෙකු යන්නයි. ඒ හා සමාන වචනයක් අපේ තේමා පාඨයේද සඳහන්ය. මතෙව් 11:29 කියන්නේ, ‘මම මෘදුව සිතින් යටහත්ව සිටින බැවින්, මාගේ වියගහ ඔබ පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබගේ ආත්මවලට සහනය ලැබෙන්නේය’ කියායි. (අකුරු ඇල කළේ අපය.) එසේ නම්, ගෝලයෙකු කියන්නේ ඉගෙනගන්නා කෙනෙකුටයි. සුවිශේෂයේ සාමාන්‍යයෙන් “ගෝලයා” යන වචනය, යේසුස් දේශනා කරන අතරතුරේදී ඔහු සමඟ ගමන් කළ හා ඔහුගෙන් උපදෙස් ලැබූ ඔහුගේ හිතෛෂීම අනුගාමිකයන්ට අදාළ කර තිබේ. සමහරුන් රහසිගතව පවා යේසුස්ගේ ඉගැන්වීම් පිළිගන්න ඇති. (ලූක් 6:17; යොහන් 19:38) “[යොහන් බව්තීස්තගේ] ගෝලයන්ද ඵරිසිවරුන්ගේ ගෝලයන්ද” ගැන සුවිශේෂ වාර්තාකරුවෝ සඳහන් කළහ. (මාර්ක් 2:18) ‘ඵරිසිවරුන්ගේ ඉගැන්වීම්වලින් ප්‍රවේසම් වෙන්නැයි’ යේසුස් කී නිසා ‘මම පත් වෙලා තියෙන්නේ කාගේ ගෝලයෙකු බවටද’ කියා අප අපෙන්ම අසාගැනීම වැදගත් වේ.—මතෙව් 16:12.

3 අප යේසුස්ගේ ගෝලයන් නම්, අප ඔහුගෙන් ඉගෙනගෙන තිබේ නම්, අපව ආශ්‍රය කරන අය අපෙන් ආත්මික සහනයක් ලැබිය යුතුය. අප පෙරට වඩා මෘදු මෙන්ම සිතින් යටහත් කෙනෙකු බවට පත්ව ඇති බව ඔවුන්ට වැටහිය යුතුය. අප රැකියාවක පරිපාලන කටයුතු මෙහෙයවන කෙනෙකු නම්, දෙමාපියන් නම්, ක්‍රිස්තියානි සභාවේ එඬේර වගකීම් දරන්නන් නම්, යේසුස්ගේ රැකවරණය යටතේ සිටි අයට යේසුස් සැලකූ ලෙසම අපේ රැකවරණයේ සිටින අයට අපත් සලකන බව ඔවුන්ට දැනෙනවාද?

යේසුස් මිනිසුන්ට සැලකූ අයුරු

4, 5. (අ) පීඩිත තත්වයක සිටි මිනිසුන් සමඟ යේසුස් කටයුතු කළ ආකාරය දැනගැනීම අසීරු දෙයක් නොවන්නේ මන්ද? (ආ) ඵරිසිවරයාගේ නිවසේ කෑම කමින් සිටියදී යේසුස් ලද අද්දැකීම කුමක්ද?

4 විශේෂයෙන්ම බරපතළ ගැටලු තිබූ මිනිසුන්ට යේසුස් සැලකූ ආකාරය ගැන අප ඉගෙනීම අවශ්‍යයි. එය ඉගෙනගැනීම අසීරු දෙයක් නොවන්නේ යේසුස් අන් අය සමඟ, විශේෂයෙන්ම පීඩිතභාවයට ලක්ව සිටි අය සමඟ කටයුතු කළ ආකාරය පිළිබඳ බොහෝ වාර්තා බයිබලයෙහි අඩංගු වන නිසයි. එම ගැටලු තිබූ අය සමඟ එවකට සිටි ආගමික නායකයන්, විශේෂයෙන්ම ඵරිසිවරුන් කටයුතු කළ ආකාරයද අපි සලකා බලමු. එම වෙනස අපට යමක් උගන්වයි.

5 පොදු යුගයේ 31දී යේසුස් ගලීලයේ දේශනා සංචාරයක යෙදී සිටියදී ‘එක්තරා ඵරිසිවරයෙක් තමා සමඟ කෑමට එන මෙන් යේසුස්ගෙන් [උදක්ම, NW] ඉල්ලා සිටියේය.’ යේසුස් ඒ ඉල්ලීමට පිටුපෑවේ නැත. ‘ඔහු ඵරිසිවරයාගේ ගෙට ඇතුල්ව කෑමට හිඳගත්තේය. ඒ නුවර සිටි පව්කාර ස්ත්‍රියක් ඔහු ඵරිසිවරයාගේ ගෙයි කෑමට පැමිණ සිටින බව දැන, සුවඳ තෙලින් පිරූ සුදු ගල් කරඬුවක් ගෙනැවිත්, ඔහුගේ පාමුල ඔහුට පිටුපසින් හිඳිමින් හඬ හඬා, ඔහුගේ පාද කඳුළෙන් තෙමන්ට පටන්ගෙන, ඒවා ඇගේ හිසකේවලින් පිසදමා, ඔහුගේ පාද සිඹ සිඹ, ඒ සුවඳ තෙල් ගෑවාය.’—ලූක් 7:36-38.

6. “පව්කාර ස්ත්‍රියක්” ඵරිසිවරයාගේ නිවසට පැමිණ සිටියේ කුමක් නිසා විය හැකිද?

6 ඔබට මේ සිදුවීම සිතින් මවාගත හැකිද? එක් මූලාශ්‍රයක් මේ ගැන කියන්නේ, “අඟහිඟකම්වලින් පෙළෙන අයට මෙවැනි භෝජන සංග්‍රහයකින් පසුව ඉතිරි වී ඇති දේවල් එකතු කරගැනීමට අවසර ලැබුණු අතර, එම සමාජ චාරිත්‍රයෙන් මේ ස්ත්‍රිය (37 ඡේ.) ප්‍රයෝජන ගත්තාය” කියායි. ආරාධනයකින් තොරව කෙනෙකුට එවැනි අවස්ථාවකට පැමිණීමට හැකි වූයේ කෙසේද කියා එය අපට අඟවයි. සංග්‍රහයෙන් පසු ඉතුරු වී ඇති දෙයක් අරගෙන යෑමට තව අයද පැමිණ සිටින්න ඇති. කෙසේවෙතත්, මේ අවස්ථාවේදී මෙම ස්ත්‍රිය හැසිරුණේ සාමාන්‍ය විදිහට නම් නොවෙයි. ආරාධිතයන් රාත්‍රි කෑම කා අවසන් වන තුරු ඇය පිටුපසට වී සිටියේ නැත. කවුරුත් පාහේ දැන සිටි “පව්කාර ස්ත්‍රියක්” වූ ඇයට තිබුණේ ඉතාම නරක නාමයකි. “බොහෝ වූ ඇගේ පව්” ගැන තමාද දැන සිටි බව යේසුස් පවා පැවසීය.—ලූක් 7:47.

7, 8. (අ) ලූක් 7:36-38 දක්වා වාර්තා කර ඇති අවස්ථාවට සමාන අවස්ථාවලදී අප කෙසේ ප්‍රතිචාරය දක්වන්න ඉඩ තිබේද? (ආ) සීමොන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

7 මොහොතකට අතීතයට යන්න. ඔබ සිටින්නේ යේසුස්ගේ තත්වයේයයි සිතන්න. ඔබ කෙසේ ප්‍රතික්‍රියා කරනු ඇද්ද? මේ ස්ත්‍රිය ඔබ වෙතට පැමිණෙන විට, ඔබට අපහසුතාවක් දැනේවිද? එවැනි තත්වයක් ඔබට බලපාන්නේ කෙසේද? (ලූක් 7:45) ඔබ තුළ ඉමහත් පිළිකුලක්, තැතිගැන්මක් ඇති වනු ඇද්ද?

8 ඔබ සිටියේ අනිකුත් ආරාධිතයන් අතරේ නම්, ඔබත් යන්තම් හෝ සීමොන් නමැති ඵරිසිවරයා මෙන් සිතන්න ඉඩ තිබුණාද? “[යේසුස්] කැඳවාගත් ඵරිසියා ඒ දැක: [මොහු] අනාගතවක්තෘ කෙනෙක් නම් තමාට අත ගසන මේ ස්ත්‍රිය කවුද කියාත් කොහොම කෙනෙක්ද කියාත් දැනගන්නවා ඇත, මක්නිසාද ඈ පව්කාරියෙකැයි තමාගේ සිත තුළ සිතාගත්තේය.” (ලූක් 7:39) එහෙත්, යේසුස් ඔවුන්ට වඩා වෙනස් කෙනෙක් එනම්, අධික දයානුකම්පාවකින් යුතු මිනිසෙක් විය. එම ගැහැනියගේ දුඃඛිත තත්වය ඔහු තේරුම්ගත් අතර, ඇගේ සන්තාපය ඔහුට දැනුණි. ඇය එවන් පව්කාර ජීවිතයකට ඇද වැටුණේ කෙසේදැයි බයිබලය අපට නොපවසයි. ඇය ඇත්තෙන්ම වේශ්‍යාවක් වූවා නම්, නුවර සිටි මිනිසුන් එනම්, බැතිමත් යුදෙව්වන් ඇයගේ උදව්වට නොපැමිණි බව සහතිකයි.

9. යේසුස් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? සමහරවිට කිනම් ප්‍රතිඵල ඇතුවද?

9 එහෙත්, ඇයට උදව් කිරීමට යේසුස්ට උවමනා විය. ඔහු ඇයට මෙසේ පැවසීය. ‘ඔබේ පව් ඔබට කමා කරන ලද්දේය.’ ඔහු තවදුරටත් ඇයට මෙසේද කීය. ‘ඔබේ ඇදහිල්ල ඔබව ගැළෙව්වේය, සමාදානයෙන් යන්න.’ (ලූක් 7:48-50) එතැනින් එම වාර්තාව අවසන් වෙයි. යේසුස් ඇය වෙනුවෙන් වැඩි යමක් කළේ නැතැයි කියා සමහරුන් තම විරෝධය පළ කළ හැකියි. ඔහු කළේ ඇයට ආශීර්වාද කර යන්න හැරීමයි. සමහරවිට ඇය නැවත වරක් ඇගේ දුඃඛිත ජීවිත රටාවට හැරුණායයි ඔබට සිතෙනවාද? අපට ඒ බව නිසැකවම කිව නොහැකි වුවත්, ලූක් මීළඟට වාර්තා කරන දෙය සලකා බලන්න. ඔහු පවසන්නේ යේසුස් ‘දේශනා කරමින්, රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කරමින්, නුවරවලත් ගම්වලත් සංචාරය’ කළ බවයි. තවදුරටත් ලූක් පවසන්නේ ‘තමුන්ගේ වස්තුවෙන් ඔවුන්ට උපස්ථාන කළ සමහර ස්ත්‍රීන්’ යේසුස් සහ ඔහුගේ ගෝලයන් අතරේ සිටි බවයි. දේවභක්තික ජීවිතයක් අරඹා, පිරිසිදු හෘදය සාක්ෂියකින් යුතුව හා ජීවත් වීම සඳහා නැවත පණගන්වන ලද අරමුණක් ඇතිව, පෙරට වඩා දෙවිට ප්‍රේම කරන පසුතැවිලි වූ මේ කෘතඥපූර්වක ස්ත්‍රිය ඔවුන් අතරේ සිටි බවට විශ්වාස කිරීමට තිබෙන ඉඩ කඩ අහක දැමීමට නුපුළුවන.—ලූක් 8:1-3.

යේසුස් සහ ඵරිසිවරුන් අතර වෙනස

10. යේසුස් සහ සීමොන්ගේ නිවසට පැමිණි ස්ත්‍රිය ගැන තිබෙන වාර්තාව සලකා බැලීම වටින්නේ මන්ද?

10 මේ හැඟීම්බර වාර්තාවෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? එය අපේ හැඟීම් අවුස්සන්නේ නැද්ද? ඔබ සිටින්නේ සීමොන්ගේ නිවසේ කියා සිතන්න. ඔබට කෙසේ හැඟේවිද? ඔබ ප්‍රතිචාරය දක්වන්නේ යේසුස් වගේද? එසේ නැතිනම් යාන්තමින් හෝ, සංග්‍රහ කළ ඵරිසිවරයාට මෙන් ඔබට හැඟේවිද? යේසුස් දේවපුත්‍රයාය. ඔහුට හැඟුණු ආකාරයටම සහ ඔහු ක්‍රියා කළ ආකාරයටම කටයුතු කිරීමට අපට හැකියාවක් නැත. අනිත් අතට සීමොන් ඵරිසිවරයාගේ තත්වයට අපව දමාගැනීමටද අප කැමති නොවන්න පුළුවන. ඇත්තෙන්ම තමා ඵරිසිවරයෙකු මෙන් ක්‍රියා කරනවා කියා සිතන්නවත් බොහෝදෙනෙකු කැමති නොවන්නට පුළුවන.

11. අපට ඵරිසිවරුන්ගේ ගණයට වැටෙන්න උවමනාවක් නැත්තේ මන්ද?

11 මහජනයාගේ මෙන්ම ජාතියේ සුභසාධනය සඳහා කටයුතු කරන රැකවලුන් ලෙස ඵරිසිවරුන් තමන් ගැන සිතූ බව බයිබල් සහ ලෞකික සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අපට නිගමනයකට එළඹිය හැකිය. දෙවි දුන් ව්‍යවස්ථාව පැහැදිලි, තේරුම්ගැනීමට පහසු එකක්ය යන කාරණයෙන් ඔවුන් සෑහීමට පත් වූයේ නැත. ව්‍යවස්ථාවේ නිශ්චිතව දක්වා නැතැයි තමන්ට සිතුණු සෑම තැනක්ම පියවීමට උත්සාහ දැරූ ඔවුහු, හෘදය සාක්ෂිය පාවිච්චි කිරීමේ අවශ්‍යතාව ඉවතලමින් එය අදාළ වන ආකාරය අකුරටම පැහැදිලි කිරීම සඳහා කටයුතු කළහ. මේ ආගමික නායකයෝ ජීවිතයේ සෑම කාරණයක්ම එනම් ඉතාම සුළු කාරණා පවා පාලනය කිරීමට නීති සෑදූහ. a

12. ඵරිසිවරුන් තමන් ගැන සිතා සිටියේ කෙසේද?

12 තමන් කාරුණික, මුදු මොළොක්, ධර්මිෂ්ඨ මෙන්ම තනතුරට සුදුසු අය ලෙස ඵරිසිවරුන් ඔවුන් ගැනම සිතූ බව පළමු සියවසේ සිටි යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් පැහැදිලිව පවසයි. ඔවුන්ගෙන් සමහරුන් එවන් තත්වයකට හිමිකම් නොකිව්වාම කියා පැවසිය නොහැක. සමහරවිට, නිකොදේමුස්ව ඔබේ මතකයට නැඟෙනවා ඇති. (යොහන් 3:1, 2; 7:50, 51) කාලයාගේ ඇවෑමෙන්, ඔවුන්ගෙන් සමහරෙක් ක්‍රිස්තියානි ධර්මය වැලඳගත්හ. (ක්‍රියා 15:5) ක්‍රිස්තියානිවරයෙකු වූ ප්‍රේරිත පාවුල් ඵරිසිවරුන්ද ඇතුළු සමහර යුදෙව්වන් ගැන මෙසේ කීවේය. “ඔවුන්ට [දෙවි] උදෙසා ජ්වලිතකමක් ඇති බවට ඔවුන් ගැන මම සාක්ෂි දෙමි. නුමුත් එය දැනගැන්ම [නිවැරදි දැනුම, NW] ඇතුව නොවේ.” (රෝම 10:2) කෙසේවෙතත්, සුවිශේෂකවරුන් ඵරිසිවරුන් ගැන ලියන්නේ මහජනයා ඔවුන්ව දුටු ආකාරයට අනුවයි. මහජනයා ඔවුන්ව දුටුවේ, උඩඟු, උද්ධච්ච, ආත්ම ධර්මිෂ්ඨ, වැරදිම හොයන, අනුන්ව හෙළා දකින සහ අනුන්ට අවමාන කරන සෙනඟක් හැටියටයි.

යේසුස්ගේ දෘෂ්ටිය

13. ඵරිසිවරුන් ගැන යේසුස්ට කීමට තිබුණේ කුමක්ද?

13 ලියන්නන් සහ ඵරිසිවරුන් කුහකයන්යයි පවසමින් යේසුස් ඔවුන්ව දැඩි සේ විවේචනය කළේය. “ඔවුහු උසුලන්ට අමාරු මහත් බර බැඳ මනුෂ්‍යයන්ගේ කරේ තබති; නුමුත් තමුන්ගේ ඇඟිල්ලවත් ඒවාට තබන්ට කැමති නොවෙති.” ඔවුන් ජනයා මත අධික බරක් පැටවූ අතර, ඔවුන්ගේ වියගහ රළු එකක් විය. යේසුස් තවදුරටත් ලියන්නන්ට සහ ඵරිසිවරුන්ට “අඥානයෙනි” කියාද ආමන්ත්‍රණය කළේය. අඥානයන් ප්‍රජාවකට තර්ජනයක් වේ. එමෙන්ම “අන්ධ වූ මඟ පෙන්වන්නෙනි” කියාද යේසුස් ඵරිසිවරුන්ව ඇමතීය. “යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා [ඔවුන්] විසින් අත්හැර” ඇති බව යේසුස් ස්ථිරවම කියා සිටියේය. යේසුස් විසින් අපවත් ඵරිසිවරයෙකුගේ ගණයට දමනු ලබනවාට කැමති වන්නේ අපෙන් කවුද?—මතෙව් 23:1-4, 16, 17, 23.

14, 15. (අ) යේසුස් මතෙව් ලෙවී සමඟ කටයුතු කළ ආකාරයෙන් ඵරිසිවරුන්ගේ කුමන ආකල්ප හෙළි වීද? (ආ) මේ වාර්තාවෙන් අපට කිනම් වැදගත් පාඩම් ඉගෙනගත හැකිද?

14 සුවිශේෂ වාර්තා කියවන හැම කෙනෙකුටම වාගේ ඵරිසිවරුන් බොහෝදෙනෙකු තුළ තිබූ විවේචනාත්මක ස්වභාවය දැකගත හැකිය. යේසුස්, බදු අයකරන්නෙකු වූ මතෙව් ලෙවීට තම ගෝලයෙකු වීමට ආරාධනා කළ පසු, ලෙවී යේසුස් වෙනුවෙන් විශාල මංගල්‍යයක් සූදානම් කළේය. වාර්තාව මෙසේ කියයි. “එකල ඵරිසිවරුද ඔවුන්ගේ ලියන්නෝද [යේසුස්ගේ] ගෝලයන්ට විරුද්ධව කොඳුරමින්: නුඹලා සුංගම් අයකරන්නන්ද පව්කාරයන්ද සමඟ කන්නේත් බොන්නේත් මක්නිසාදැයි කීවෝය. [යේසුස්] ඔවුන්ට උත්තර දෙමින්: . . . පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් පසුතැවිලි වීමට කැඳවන්ට මම නාවෙමියි [කීවේය].”—ලූක් 5:27-32.

15 එම අවස්ථාවේදී යේසුස් කී යමක් ලෙවීට හොඳහැටි ඒත්තුගියේය. එනම් “මම පූජාවට නොව දයාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය නුඹලා ගොස් ඉගෙනගන්න” යන්නයි. (මතෙව් 9:13) තමන් හෙබ්‍රෙව් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි විශ්වාස කරන බව ඵරිසිවරුන් කියා සිටියත්, හොෂෙයා 6:6හි සඳහන් අදහස ඔවුන් පිළිගත්තේ නැත. ඔවුහු දයාවන්ත වීම හා බැඳි අවශ්‍යතා පැහැරහැරියත් චාරිත්‍ර වාරිත්‍රවලට කීකරු වීම නම් අකුරටම පිළිපැද්දහ. එමනිසා අප එක් එක්කෙනාටත් මෙසේ අසාගත හැකියි. ‘සුළු සුළු කාරණාවලදී, විශේෂයෙන්ම කෙනෙකුට පෞද්ගලික තේරීමක් කළ හැකි කාරණාවලදී හෝ කාරණයකට විකල්ප කිහිපයක් තිබෙන විටකදී නීති දැමීමට මම නැඹුරු වෙනවාද? එහෙම නැතිනම්, දයාවෙන් පිරුණු හදවතක් ඇති යහපත් කෙනෙක් හැටියටද අනිත් අය මාව සලකන්නේ?’

16. ඵරිසිවරුන්ගේ ක්‍රමය කුමක් වීද? ඔවුන් මෙන් වීමෙන් වැළකීමට අපට හැක්කේ කෙසේද?

16 වැරදිම සෙවීම. පන්න පන්නා විවේචනය කිරීම. ඵරිසිවරුන්ගේ ක්‍රමය වූයේ එයයි. ඇත්තම අඩු පාඩු වේවා හිතින් මවාගත් ඒවා වේවා ඵරිසිවරු ඒ සෑම අඩු පාඩුවක් දෙසම තියුණු බැලුම් හෙළූහ. ඔවුහු සාමාන්‍ය ජනතාව විත්තිකරුවන් නැතහොත් වගඋත්තර බඳින්නන් කරමින් ඔවුන්ට අතපසු වන දේ ගැන ඇන ඇන මතක් කළෝය. තමන් සුවඳතලා (මිංචි), ශතපුෂ්ප (මහදුරු) සහ සුදුදුරු (කළුදුරු) වැනි ඉතාම කුඩා කුළු බඩුවලින් දසයෙන් කොටසක් දීම ගැන ඵරිසිවරු උදම් ඇනූහ. ඔවුහු අඳින ඇඳුමෙන් තම උපාසකකම ප්‍රදර්ශනය කළ අතර, ජාතියටම මඟ පෙන්වන්න උත්සාහ කළෝය. ඊට වෙනස්ව අපට අපේ ක්‍රියාවන් යේසුස්ගේ ආදර්ශයට සමාන කරගැනීමට ඕනෑ නම්, අපද නිතරම අනිත් අයගේ වැරදි දෙස බැලීමේ සහ ඒවා උලුප්පා දැක්වීමේ නැඹුරුවාවෙන් වැළකී සිටිය යුතුය.

යේසුස් ගැටලු හැසිරවූයේ කෙසේද?

17-19. (අ) ඉතාම බරපතළ ප්‍රතිඵල ඇතිවීමට තිබූ අවස්ථාවක් යේසුස් හැසිරවූ ආකාරය පැහැදිලි කරන්න. (ආ) එම අවස්ථාව එතරම්ම චිත්ත පීඩිත හා අප්‍රසන්න එකක් කළේ කුමක්ද? (ඇ) එම ස්ත්‍රිය යේසුස්ව මුණගැසුණු අවස්ථාවේ ඔබ එතැන සිටියා නම්, ඔබ කෙසේ ක්‍රියා කරන්න ඉඩ තිබුණාද?

17 ගැටලු හැසිරවීමේ යේසුස්ගේ ක්‍රමය ඵරිසිවරුන්ගේ ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් විය. සමහරවිට ඉතාම බරපතළ වීමට ඉඩ තිබූ ගැටලුවක් යේසුස් හැසිරවූ ආකාරය ගැන සිතා බලන්න. මේ වාර්තාව තිබෙන්නේ ලූක් 8:42-48 දක්වායි. පුරා අවුරුදු 12ක් මහලේ රෝගයෙන් පෙළුණු (අධික ලේ ගැලීමකින් වේදනා විඳි) ස්ත්‍රියක් ගැනයි මේ වාර්තාව.

18 මාර්ක්ගේ වාර්තාවේ සඳහන් විදිහට මේ ස්ත්‍රිය “භය වී වෙවුලමින්” සිටියාය. (මාර්ක් 5:33) හේතුව? තමන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව කැඩූ බව ඇය ස්ථිරවම දැන සිටීමයි. ලෙවී කථාව 15:25-28ට අනුව, අසාමාන්‍ය ලෙස ලේ ගැලීමකින් වේදනා විඳින ස්ත්‍රියක්, එය අවසන් වන තුරුත් එතැන් සිට සතියක් යන තුරුත් අපවිත්‍රව සිටින්නීය. ඇය අතගැසූ සෑම දෙයක්ම සහ ඇගේ ඇඟේ වදින සෑම කෙනෙකුම දූෂ්‍ය විය. යේසුස් වෙත ළඟාවීම සඳහා මේ ස්ත්‍රියට රැස් කන ජනයා අතර තෙරපෙමින් ගමන් කිරීමට සිදු විය. මේ සිද්ධිය සිදු වී අවුරුදු 2,000කට පමණ පසු එම වාර්තාව කියවන විටදී පවා, ඇය විඳි අපහසුතාව ගැන අපේ හදවත් උණු වී යයි.

19 එහෙත්, ඔබ එය සිදු වූ දවසේදී එතැන සිටියා නම් එම සිදුවීම දෙස බලන්න ඉඩ තිබුණේ කෙසේද? ඔබ කුමක් කියනු ඇද්ද? මේ ස්ත්‍රිය කෙරෙහි යේසුස් දැක්වූ කරුණාව, ආදරය සහ සැලකිලිමත්භාවය ගැන සිතා බලන්න. ඇය ඇති කළ ගැටලු ගැන ඇඟවීමක්වත් ඔහු කළේ නැත.—මාර්ක් 5:34.

20. ලෙවී කථාව 15:25-28 දක්වා ඇති අවශ්‍යතාව අදට අදාළ දෙයක් වූවා නම්, අප කිනම් අභියෝගයට මුහුණ දෙනු ඇද්ද?

20 මේ සිද්ධියෙන් අපට යමක් ඉගෙනගත හැකිද? ඔබ ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙකුයයි සිතන්න. තවදුරටත්, ලෙවී කථාව 15:25-28 දක්වා ඇති දෙය අදටත් අදාළ ක්‍රිස්තියානි අවශ්‍යතාවකැයි සිතන්න. දැන් එක්තරා ක්‍රිස්තියානි ස්ත්‍රියක් අතින් මේ ව්‍යවස්ථාව කැඩී, භයෙන් ගැහි ගැහී අසරණව සිටිනවායයිද සිතන්න. ඔබ ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? ඔබ ඇයව තදින් විවේචනය කරමින් ප්‍රසිද්ධියේ නින්දාවට පත් කරාවිද? “අනේ, මම නම් කවදාවත් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ! මම යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරල ඒ සහෝදරීට පුළුවන් තරම් කරුණාවෙන් ආදරයෙන් සැලකිල්ල දක්වනවා” කියා ඔබ කියාවි. බොහොම හොඳයි! එහෙත් අභියෝගය වන්නේ එසේ කරන එකයි. එනම් යේසුස් තැබූ ආදර්ශය අනුකරණය කරන එකයි.

21. යේසුස් ව්‍යවස්ථාව ගැන ජනයාට ඉගැන්නුවේ කුමක්ද?

21 කොටින්ම කියනවා නම්, මිනිසුන් යේසුස් ඉදිරියේ ප්‍රාණවත් වුණි. ගොඩනැඟුණි. දිරිමත් වුණි. ව්‍යවස්ථාව නිශ්චිතව දක්වා ඇති තැන්වලදී ඒවා ක්‍රියාත්මක කළ යුතු බවත්, එහි අදාළත්වය වඩාත් පුළුල් පරාසයක් ගත් අවස්ථාවලදී වැඩියෙන් තම හෘදය සාක්ෂිය පාවිච්චි කළ යුතු වූ බවත් ජනයා දැන සිටියහ. මෙසේ, තමන් ගන්නා තීරණ මගින්, ඔවුන් දෙවිට කොතරම් ආදරේදැයි පෙන්වීමට ඔවුන්ට හැකි විය. ව්‍යවස්ථාව නම්‍යශීලී විය. (මාර්ක් 2:27, 28) දෙවි තම සෙනඟට ප්‍රේම කළ අතර, ඔවුන්ගේ යහපත වෙනුවෙන් නිරතුරුවම ක්‍රියා කළේය. ඔවුන් පැකිලෙන අවස්ථාවලදී දයාව දැක්වීමටද කැමැත්තෙන් සිටියේය. යේසුස්ද ඒ හා සමාන විය.—යොහන් 14:9.

යේසුස්ගේ ඉගැන්වීම්වල ප්‍රතිඵල

22. යේසුස්ගෙන් ඉගෙනගැනීම ඔහුගේ ගෝලයන්ට කිනම් ආකල්පයක් ඇති කරගැනීමට උදව් වීද?

22 යේසුස්ට ඇහුම්කන් දී ඔහුගේ ගෝලයන් වූ සැමෝම, “මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය” යනුවෙන් ඔහු කී දෙයෙහි සත්‍යතාව වටහාගත්හ. (මතෙව් 11:30) එය ඔවුන්ට බරක්, වදයක් හෝ දැඩි දේශනයක් ලෙස කිසිදාක දැනුණේ නැත. ඔවුන්ට වඩා නිදහස්, නිවහල් මෙන්ම වඩා ප්‍රීතිමත් ගතියක් දැනුණි. දෙවි සමඟ මෙන්ම වෙනත් අය සමඟ ඇති සම්බන්ධතා කෙරෙහි වැඩි විශ්වාසයක් ඔවුන්ට දැනුණි. (මතෙව් 7:1-5; ලූක් 9:49, 50) ආත්මික කාරණාවලදී මූලිකත්වය ගන්නා කෙනෙකු අන් අයට ප්‍රබෝධය ගෙන දෙන, මනසින් සහ හදවතින් යටහත් පහත් කෙනෙකු විය යුතුය යන්න ඔවුහු ඔහුගෙන් ඉගෙනගත්තෝය.—1 කොරින්ති 16:17, 18; පිලිප්පි 2:3.

23. යේසුස් සමඟ සිටීමෙන් ගෝලයන් ඉගෙනගත් වැදගත් පාඩම කුමක්ද? එය ඔවුන්ට කිනම් නිගමනයකට ඒමට උදව් වීද?

23 මේ සියල්ලටම වඩා ක්‍රිස්තුස් මත දිගටම රඳා සිටීමේත් ඔහු පෙන්වූ ස්වභාවය තමන් තුළද වර්ධනය කරගැනීමේත් වැදගත්කම ඔවුන්ට ප්‍රබල ලෙස ඒත්තුගියේය. ඔහු තම ගෝලයන්ට මෙසේ කීවේය. ‘පියා මට ප්‍රේම කළා සේ මමත් ඔබට ප්‍රේම කළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න. මම මාගේ පියාගේ ආඥා රක්ෂා කර, ඔහුගේ ප්‍රේමයෙහි යම් සේ පවතිම්ද, එසේම ඔබත් මාගේ ආඥා රක්ෂා කරයි නම් මාගේ ප්‍රේමයෙහි පවතියි.’ (යොහන් 15:9, 10) ඔවුන් දේවගැතියන් සහ ඔහුගේ සේවකයන් හැටියට සාර්ථකත්වය ලබන්න නම්, ඔවුන් යේසුස්ගෙන් ඉගෙනගත් දේ දෙවිගේ පුදුම දනවන ශුභාරංචිය ප්‍රසිද්ධියේ දේශනා කිරීමේදී සහ ඉගැන්වීමේදී උනන්දුවෙන් අදාළ කරගත යුතු විය. එමෙන්ම, පවුලේ අය සහ හිතමිතුරන් සමඟ කටයුතු කරද්දීත් අදාළ කරගත යුතු විය. සහෝදරත්වය සභාවන් තුළ වැඩෙන්න පටන්ගත් විට, යේසුස්ගේ ක්‍රමය නිවැරදි ක්‍රමය බව නැවත නැවතත් මතක් කරගැනීමට ඔවුන්ට සිදු වනු ඇත. ඔහු ඉගැන්වූ දෙය සත්‍යය බවත්, ඔවුන්ගේ ජීවිත සඳහා ආදර්ශයක් සපයන එකම ජීවන රටාව ඔහු ගත කළ ජීවිතය බවත් ඔවුහු වටහාගත්හ.—යොහන් 14:6; එපීස 4:20, 21.

24. යේසුස්ගේ ආදර්ශයෙන් අප සිතට ගත යුතු දේවල් මොනවාද?

24 අප දැනටමත් සාකච්ඡා කළ දේවල් ඔබ නැවත සලකා බලද්දී, දියුණු විය යුතු පැති ඔබට පෙනෙනවාද? යේසුස් සැමවිටම සිතුවේ, ඉගැන්නුවේ සහ ක්‍රියා කළේ වඩාත්ම උචිත ආකාරයටයි කියා ඔබ එකඟ වෙනවාද? එසේ නම්, ඔහු අපට කරන දිරිගැන්වීමෙන් ධෛර්යවත් වන්න. ‘මේ දේවල් දන්නාවූ ඔබ ඒවා කරනවා නම් ආශීර්වාද ලද්දේය [සන්තෝෂවත්ය, NW]’ යන්න ඔහු දෙන දිරිගැන්වීමයි.—යොහන් 13:17.

[පාදසටහන]

a “[යේසුස් සහ ඵරිසිවරුන් අතර] තිබූ මූලික වෙනස පැහැදිලි වන්නේ මේ එකිනෙකාට දෙවි පිළිබඳව තිබූ ප්‍රතිවිරුද්ධ අවබෝධය දෙස බලන විටය. ඵරිසිවරුන්ට නම් දෙවි මූලිකව ආඥා දායකයෙකි. එහෙත් යේසුස්ට දෙවි යනු කරුණාභරිත දයානුකම්පිත කෙනෙකි. ඵරිසිවරයෙකු දෙවිගේ යහපත්කම සහ ප්‍රේමය සහමුලින්ම ප්‍රතික්ෂේප කළායයි මෙයින් අදහස් නොකෙරේ. දෙවිගේ යහපත්කම සහ ප්‍රේමය දෙවිගේ තිළිණයක් වූ ටෝරාහි [ව්‍යවස්ථාවේ] ලියැවී තිබෙන බව ඵරිසියා දැනසිටියේය. එය ඉටු කළ විට ඔහු ව්‍යවස්ථාවට කීකරු විය. ව්‍යවස්ථාව ඉටු කිරීමෙන් ඔහු අදහස් කළේ, වාචික ව්‍යවස්ථාවේ ඇති චාරිත්‍ර වාරිත්‍ර සහ නීති රීතිවලට ඇලී සිටීමයි. . . . යේසුස්, දෙවිට සහ අසල්වැසියාට ප්‍රේම කිරීම නමැති ආඥා දෙක (මතෙ. 22:34-40) කොයි කවුරුත් ක්‍රියාත්මක කළ යුතු දෙයක් බවට පත් කළේය. ඊට අමතරව, වාචික ව්‍යවස්ථාව මිනිසුන්ව බැඳ හිර කර තබන එකක් නිසා ඔහු එය හෙළා දැක්කේය. ප්‍රතිඵලයක් හැටියට, යේසුස්ගේ ඉගැන්වීම් සහ වාචික ව්‍යවස්ථාව මෙන්ම එහි දැඩි ස්වභාවය අතර ගැටුමක් ඇති විය.—ද නියූ ඉන්ටර්නැෂනල් ඩික්ෂනරි ඔෆ් නියූ ටෙස්ටමන්ට් තියොලජි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

• යේසුස්ගේ ගෝලයෙකු වීම කීමෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?

• යේසුස් මිනිසුන් සමඟ කටයුතු කළේ කෙසේද?

• යේසුස් ඉගැන්වූ ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

• ඵරිසිවරුන් සහ යේසුස් අතර තිබූ වෙනස කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18, 19වන පිටුවේ පින්තූර]

යේසුස් මිනිසුන් කෙරෙහි දැක්වූ ආකල්පය ඵරිසිවරුන්ට වඩා මොනතරම් වෙනස්ද!