Skip to content

පටුනට යන්න

“මා කවරෙකු කියා මිනිස්සු කියත් ද?”

“මා කවරෙකු කියා මිනිස්සු කියත් ද?”

“මා කවරෙකු කියා මිනිස්සු කියත් ද?”

නත්තල් සමය යළිත් උදා වෙලා. ලොව වටා ජනයා උපන් දිනයක් සමරනවා. කාගේ උපන් දිනයද? එය දෙවිගේ පුත්‍රයාගේද නැතහොත් පළමු සියවසේ තමා ජීවත් වූ පෙදෙසේ පැතිර පවතින ආගමක් පිහිටුවන්ට උත්සාහ කළ ශ්‍රද්ධාවත් යුදෙව්වෙකුගේද? එය දුප්පතුන්ගේ වීරයෙකුගේ උපන් දිනයක්ද නැත්නම් තමාව මරා දැමූ රෝම අධිරාජ්‍යයට තර්ජනයක් වූ කැරලිකරුවෙකුගේ උපන් දිනයක්ද, එසේත් නැත්නම් ස්වයං දැනුම සහ තමා තුළ පවතින ප්‍රඥාවේ ගබඩාවක් ගැන කියා පෑ ඉසිවරයෙකුගේද? ‘ඇත්තෙන්ම, යේසුස් ක්‍රිස්තුස් කවරෙකු වීද?’ කියා කල්පනා කිරීමට ඔබට සාධාරණ හේතු තිබෙනවා.

මිනිසුන් එම ප්‍රශ්නයට දක්වන ප්‍රතිචාරය ගැන දැනගැනීමට යේසුස්ම උනන්දු වුණා. “මා කවරෙකු කියා මිනිස්සු කියත් ද?” යනුවෙන් වරෙක ඔහු ගෝලයන්ගෙන් ඇසුවා. (මාර්ක් 8:27, නව අනුවාදය) එවන් ප්‍රශ්නයක් ඇසුවේ ඇයි? මන්දයත් ඒ වන විටත් ඔහුව අනුගමනය කරමින් සිටි බොහෝදෙනෙක් එසේ කිරීම අත්හැර දමා තිබුණා. ඔහුව රජෙකු බවට පත් කිරීමට තවත් අය ගත් වෑයම අසාර්ථක වූ නිසා ඔවුන් ඒ ගැන කලකිරී සිටි බවක්ද පෙනෙන්ට තිබුණා. එපමණක්ද නොව, තමා කවුද කියා ඔප්පු කිරීමට යේසුස්ගේ සතුරන් ස්වර්ගයෙන් ලකුණක් ඉල්ලමින් යේසුස්ට අභියෝග කළ විට ඔහු එය ප්‍රතික්ෂේප කළා. එසේ නම්, යේසුස්ගේ එම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී ඔහුගේ ප්‍රේරිතයන් ඔහු ගැන පැවසුවේ කුමක්ද? එවකට මිනිසුන් අතර යේසුස් ගැන තිබූ සමහරක් මත ගැන ඔවුන් මෙසේ සඳහන් කළා. “සමහරෙක්: යොහන් බව්තීස්තය කියාද, අන් සමහරෙක්: එලියාය කියාද, තවත් අය: යෙරෙමියා නොහොත් අනාගතවක්තෲන්ගෙන් එක්කෙනෙක් කියාද කියති.” (මතෙව් 16:13, 14) දේවාපහාසකරන්නා, බොරුකාරයා, බොරු අනාගතවක්තෲ, ඔල්මාදකාරයා යනුවෙන් එසමයේ සිටි ඇතමුන් නින්දාසහගත ලෙස සහ විවේචනාත්මක ලෙස යේසුස්ව හැඳින්වූ ආකාරය ගැන ඔවුන් ප්‍රකාශ කළේ නැහැ.

යේසුස් පිළිබඳ විවිධ මතිමතාන්තර

එම ප්‍රශ්නයම අදත් යේසුස් ඇසුවා නම්, ඔහු එය මෙසේ ඇසිය හැකියි. “මා කවරෙක් කියාද විශාරදයන් කියන්නේ?” නැවතත් කියන්ට වන්නේ පිළිතුරට විවිධ මත ඇතුළත් වන බවයි. “යේසුස් හරියට විවිධ දිශාවන්ට ගමන් කිරීමට විවිධාකාර අසරුවන් විසින් යොදාගත් අශ්වයෙකු වගේ” යයි චිකාගෝ සරසවියේ ඩේවිඩ් ට්‍රේසි පැවසුවා. පසුගිය සියවස පුරා, යේසුස් කියන්නේ ඇත්තටම කවුද යන ප්‍රශ්නයට, සමාජ විද්‍යාව, මානව විද්‍යාව හා සාහිත්‍යය යන විෂයන් යොදාගෙන ඉතා සංකීර්ණ පිළිතුරු රාශියක් දී තිබෙනවා. මෙහිදී ඔවුන් යේසුස් නමැති චරිතය දකින්නේ කෙසේද?

ඇතැම් විශාරදයන් දිගින් දිගටම කියා සිටින දෙය නම්, ඉතිහාසගත චරිතයක් වන යේසුස් යනු පශ්චත්තාප වන ලෙස ලෝකයාගෙන් ඉල්ලා සිටි, ලෝකාන්තිමයක් ගැන දේශනා කළ යුදෙව් ජාතික ප්‍රොපේතවරයෙකු කියායි. කෙසේවුවත්, ඔහුට දේවපුත්‍රයා, මෙසියස් සහ ගැළවුම්කරු කියා අමතන්ට ඔවුන් පසුබට වෙනවා. යේසුස් ස්වර්ගයේ සිටි බවටත් ඔහු නැවත නැඟිටුණු බවටත් බයිබලයේ සඳහන් තොරතුරු ගැන වැඩිදෙනෙක් ප්‍රශ්න කරනවා. තවත් අය විශ්වාස කරන්නේ, යේසුස් යනු ආදර්ශවත් ජීවිතයක් ගත කළාවූ තම ඉගැන්වීම් මගින් ආගම් කිහිපයක්ම ඇති කර ඒ මගින් කිතු දහම ගොඩනැඟූ සාමාන්‍ය මනුෂ්‍යයෙකු කියායි. තියොලොජි ටුඩේ පවසන ලෙස, තවත් අය යේසුස්ව දකින්නේ, “අශුභවාදී, තැනින් තැන යන ඉසිවරයෙකු, සාමාන්‍ය ජනයා අතර විසූ ගුප්තවාදියෙකු, ප්‍රජා සංවිධායකයෙකු, සමාජය දෝෂාරෝපණයට ලක් කළ හිපි කවියෙකු, පලස්තීන දේශයේ නිසරු හුදෙකලා ගම්මානවල විසූ ජනයාව කලඹවමින් ප්‍රකෝප කළ පුද්ගලයෙකු” ලෙසයි.

මීටත් වඩා අසාමාන්‍ය මත බොහොමයක් තිබෙනවා. යේසුස් කළු ජාතිකයෙකු යන සංකල්පය රැප් සංගීතයට ඈඳා තිබෙනවා. තවද එම සංකල්පයට අනුව සකස් කළ පිළිරූ ප්‍රසිද්ධ නගර ස්මාරකවල දක්නට ලැබෙන අතර, යේසුස් පිළිබඳ එම සංකල්පය ප්‍රසිද්ධ නැටුම්වලටත් ඈඳාගෙන තිබෙනවා. a තවත් අය පවසන දෙයක් තමයි, යේසුස් ඇත්තටම ස්ත්‍රියක් වූ බව. වර්ෂ 1993 ග්‍රීෂ්ම සමයේ, කැලිෆෝනියාවේ එක්තරා වෙළඳ පොළකට ගිය අමුත්තන්ට, “ක්‍රිස්ටී” හෙවත් කුරුසිය මත නිරුවත් කළ ස්ත්‍රියක බඳු “ක්‍රිස්තුස්” රූපයක් දක්නට ලැබුණා. එම වකවානුවේදීම, නියූ යෝක් නගරයේ “ක්‍රිස්ටා” හෙවත් කුරුසියේ ඇණගසන ලද “යේසුස්” නම් ස්ත්‍රිය ප්‍රදර්ශනය කර තිබුණා. මෙම පිළිම දෙක ගැන විවිධ මතභේද ඇති වන්ට පටන්ගත්තා. වර්ෂ 1999 මුලදී, “යේසුස් නම් පිරිමි ළමයා සහ ඒන්ජල් නම් ඔහුගේ බල්ලා අතර ඇති කරගෙන තිබූ ප්‍රේමය” ගැන ලියවුණු එක්තරා පොතක් පාඨකයන් අතට පත් වුණා. ඔවුන් අතර තිබූ සම්බන්ධය එහි විස්තර කොට තිබුණේ මෙසේයි. “එය ගැඹුරු අධ්‍යාත්මික හැඟීම් ඇති කරවන්නකි. තවද පිරිමි ළමයා සහ බල්ලා එකිනෙකා වෙනුවෙන් තම ජීවිත පුද කිරීමට පවා සූදානම්ව සිටී.”

එය ඇත්තෙන්ම වැදගත්ද?

යේසුස් කවරෙකු වීද කියා සහ දැන් යේසුස් කවරෙකුද කියා දැනගැනීමට ඔබ උනන්දු විය යුත්තේ ඇයි? නැපෝලියන් ප්‍රකාශ කළ දෙයක් මෙහිලා උපුටා දැක්වීම වටිනවා. තම ප්‍රබල ඉගැන්වීම්වලින් හා ඒවාට එකඟව ඔහු ජීවත් වූ ආකාරයෙන්, වසර දෙදහක පමණ කාලයක් පුරා යේසුස් මනුෂ්‍යයන් බිලියන ගණනකගේ ජීවිතවලට බලපෑම් කර තිබෙනවා. එක් ලේඛකයෙකු ප්‍රකාශ කළ පරිදි, “මෙතෙක් ගමන් කළ සියලුම හමුදාද, මෙතෙක් සංවිධානය කළ සියලුම නාවුක හමුදාද, මෙතෙක් රැස් වූ සියලුම පාර්ලිමේන්තුද, මෙතෙක් පාලනය කළ සියලුම රජවරුන්ද එකට එක් කළත්, මේ පොළොව මත මිනිසාගේ ජීවිතයට එතරම් ප්‍රබල ලෙස බලපා නැත.”

එපමණක්ද නොව, ඔහු කවරෙකු වීද කියා සහ දැන් ඔහු කවරෙකුද කියා ඔබ දැනගත යුතු වන්නේ, එය ඔබේ අනාගතය කෙරෙහි ඍජු බලපෑමක් ඇති කරන බැවිනි. ස්ථාපිත කරන ලද ස්වර්ගික ආණ්ඩුවේ, එනම් යේසුස්ගේ පාලනය යටතේ ඇති දෙවිගේ රාජ්‍යයේ යටත් වැසියෙකු වීමේ ප්‍රස්තාව ඔබට විවෘතයි. දුක් කරදරවලින් පිරී ඇති අපගේ පෘථිවිය, යේසුස්ගේ මඟ පෙන්වීම යටතේ එහි මනස්කාන්ත ජෛව විවිධත්වයට සහ පාරිසරික සමබරතාවයට යළි ගෙනෙනවා ඇත. යේසුස්ගේ රාජ්‍යය මගින් සාගතයෙන් පෙළෙන අයට පෝෂණය ලැබෙන බවටත්, දුගී ජනයාව බලාගන්නා බවටත්, අසනීපවූවන්ව සුව කරන බවටත්, මළ අයව නැවත ජීවනයට ගෙනෙන බවටත් බයිබල් අනාවැකි අපට සහතික කරයි.

එතරම්ම අවශ්‍ය කරන ආණ්ඩුවක් පාලනය කරන්නේ කෙබඳු ආකාරයේ පුද්ගලයෙකුද යන්න ගැන දැනගැනීමට ඔබට වුවමනා වෙනවාට කිසිදු සැකයක් නැහැ. සැබවින්ම යේසුස් යනු කවරෙකුද කියා හොඳින් වටහාගැනීමට ඊළඟ ලිපිය ඔබට උපකාර කරාවි.

[පාදසටහන]

a යේසුස්ගේ ශාරීරික පෙනුම සම්බන්ධව, 1998 දෙසැම්බර් 8 පිබිදෙව්! කලාපයේ පළ වූ “යේසුට මොන වගේ පෙනුමක්ද තිබුණේ?” යන ලිපිය බලන්න.