Skip to content

පටුනට යන්න

සැබෑ යේසුස්

සැබෑ යේසුස්

සැබෑ යේසුස්

තමා කවුදැයි කියා මිනිසුන් සිතන විදිහ ගැන සිය ප්‍රේරිතයන්ගෙන් විමසුවායින් පසු, “ඔබ මා කවරෙකු කියා කියන්නහු ද” යනුවෙන් යේසුස් ඔවුන්ගෙන් ඇසුවා. ප්‍රේරිත පේතෘස්ගේ පිළිතුර මතෙව් සුවිශේෂයේ මෙසේ වාර්තා වෙනවා. ‘ඔබ ක්‍රිස්තුස්ය, ජීවමාන දෙවිගේ පුත්‍රයාය.’ (මතෙව් 16:15, 16, නව අනුවාදය) එලෙස සිතූ වෙනත් අයද සිටියා. පසුව ප්‍රේරිතයෙකු බවට පත් වූ නතානියෙල් යේසුස්ට පැවසුවේ: ‘රබ්බි, ඔබ දෙවිගේ පුත්‍රයාය; ඔබ ඉශ්‍රායෙල්වරුන්ගේ රජ්ජුරුවෝය’ කියායි. (යොහන් 1:49) තමාගේ කාර්යභාරයේ ඇති වැදගත්කම ගැන යේසුස්ම පැවසුවේ මෙසේයි. “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් [පියා] වෙතට පැමිණෙන්නේ නැත.” (යොහන් 14:6) විවිධ අවස්ථාවලදී ඔහු, තමා ‘දෙවිගේ පුත්‍රයා’ යයි ප්‍රකාශ කළා. (යොහන් 5:24, 25; 11:4) මළවුන්ව නැවත නැඟිටුවීම ඇතුළු ආශ්චර්යයන් කිරීමෙන් ඔහු තමා කියා සිටි දෙය ඔප්පු කර පෙන්වූවා.

ස්ථිර පදනමක් ඇති සැකයන්ද?

නමුත් යේසුස් පිළිබඳව සුවිශේෂවල සඳහන් දේ ගැන අපට ඇත්තටම විශ්වාස කරන්ට පිළිවන්ද? ඒවායින් සැබෑ යේසුස් ගැන පැහැදිලිවම හෙළි කරනවාද? එංගලන්තයේ මැන්චෙස්ටර් සරසවියේ බයිබල් පාඨ විවරණය පිළිබඳ මහාචාර්යවරයෙකුව සිටි ෆ්‍රෙඩ්‍රික් එෆ්. බෲස් මෙසේ සඳහන් කළා. “බයිබලය තුළ හෝ බයිබලයෙන් බාහිර වූ ඉපැරණි ලියවිල්ලක ඇති සෑම තොරතුරකම සත්‍යතාව ඓතිහාසික වශයෙන් විස්තර කිරීම සාමාන්‍යයෙන් කළ නොහැකි දෙයක්. ලේඛකයාගේ සමස්ත විශ්වාසවන්තභාවය කෙරෙහි සාධාරණ නිසැකකමක් තිබීම සෑහේ. ලේඛකයා විසින්ම ඉදිරිපත් කර ඇති තොරතුරු සත්‍යය බවට පිළිගැනීමට සාක්ෂි තිබේ නම්, එසේ කිරීම වටී. . . . අලුත් ගිවිසුම ක්‍රිස්තියානීන් විසින් ‘ශුද්ධ’ ලියවිල්ලක් ලෙස පිළිගෙන ඇති නිසාම එය ඓතිහාසික වශයෙන් දෝෂ සහිතයයි කියා පැවසීම සාධාරණ නොවේ.”

යේසුස් ගැන සුවිශේෂවල විස්තර කර ඇති දේ සම්බන්ධයෙන් තිබූ සැකයන් පරීක්ෂා කර බැලීමෙන් පසු, එ. ජ. උතුරු ඩාකොටාහි ජේම්ස්ටවුන් පාසැලේ ආගම පිළිබඳ මහාචාර්ය ජේම්ස් ආර්. එඩ්වඩ්ස්, මෙසේ ලීවා. “යේසුස් පිළිබඳ නියම සත්‍යය අඩංගු සාක්ෂි සම්භාරයක් සුවිශේෂවල ආරක්ෂා වී ඇති බව අපට සනාථ කළ හැකියි. . . . යේසුස් ගැන සුවිශේෂ වාර්තාවල මෙසේ සඳහන් වී තිබෙන්නේ මන්ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී අපට දිය හැකි තර්කානුකූලම පිළිතුර නම්, සුවිශේෂවල කතා කරන යේසුස් නියම යේසුස් වීමය. යේසුස් සිය අනුගාමිකයන්ගේ මතකයේ රඳවා ගිය තොරතුරු ඒ අයුරින්ම විශ්වාසවන්ත ලෙස සුවිශේෂවල ආරක්ෂා වී තිබෙනවා. යේසුස් දෙවි විසින් එවන ලද, දිව්‍ය බලය ලැබූ දෙවිගේ පුත්‍රයා සහ සේවකයා බවට ඒවා ඔප්පු කරනවා.” a

යේසුස් සොයා

යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ බයිබලයට පරිබාහිරව දක්වා ඇති යොමු සටහන් ගැන කුමක් කිව හැකිද? ඒවා විශ්ලේෂණය කළ හැක්කේ කෙසේද? ටැසිටස්, සුයිටොනියස්, ජොසීෆස්, කනිෂ්ඨ ප්ලිනි සහ තවත් ලේඛකයන් කිහිපදෙනෙකුගේ ග්‍රන්ථවල යේසුස් ගැන සඳහන් වූ අවස්ථා ගණනාවක් තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා (1995) පවසන්නේ මෙසේයි. “මෙම ස්වාධීන වාර්තාවලින් ඔප්පු වන දෙයක් නම්, ඉපැරණි කාලවල ක්‍රිස්තියානි ධර්මයට විරුද්ධ වූවන් පවා යේසුස්ගේ ඓතිහාසිකභාවය ගැන කිසිදා සැක නොකළ බවයි. මෙම කාරණය පළමුවෙන්ම කිසිම පදනමක් නැතුව සැකයට භාජනය කරන ලද්දේ 18වන සියවසේ අගභාගයේ සිට 19වන සියවස සහ 20වන සියවසේ මුල් භාගය අතර කාල වකවානුවේදීයි.”

කනගාටුවට කරුණක් නම්, “සැබෑ” හෙවත් “ඓතිහාසික” යේසුස් සොයා යන නවීන විශාරදයන්, ඔහුගේ සැබෑ අනන්‍යතාවය සාක්ෂි නැති සැකයන්, නිෂ්ඵල අනුමාන කිරීම්, සහ පදනම් විරහිත න්‍යායන් නමැති තිර පිටුපස සඟවා ඇති බවක් පෙනෙන්ට තිබෙනවා. එක්තරා අර්ථයකින් ගත් කල, සුවිශේෂවල ලේඛකයන් මිථ්‍යා කතා ගොතා තිබෙන බවට ඔවුන්හට එල්ල කර ඇති බොරු චෝදනා ගැන එම විශාරදයන් වැරදිකරුවන් වෙනවා. ඇතමුන් තමන්ගේ කීර්තිය මුදුන් පමුණුවා ගැනීමට හා අලුත සොයාගත් න්‍යායකට තමන්ගේ නම් ඈඳාගැනීමට කොතරම් යත්න දරනවාද කියනවා නම්, යේසුස් පිළිබඳ සාක්ෂි අවංක ලෙස පරීක්ෂා කර බැලීමට ඔවුන් අපොහොසත් වෙනවා. අන්තිමේදී ඔවුන් කරන්නේ යම් යම් විශාරදයන්ගේ මනසේ ඇඳී තිබෙන සිත්තමක සිටින ‘යේසුස්ව’ ඉදිරිපත් කිරීමයි.

යේසුස් ඇත්තටම කවුද කියා සොයා බැලීමට කැමති අයට බයිබලය තුළින් සැබෑ යේසුස්ව සොයාගත හැකියි. එම්රි සරසවියේ කැන්ඩ්ලර් දේවධර්ම පාසැලේ අලුත් ගිවිසුම සහ ක්‍රිස්තියානි මූලාරම්භය පිළිබඳ මහාචාර්ය ලූක් ජොන්සන් තර්ක කරමින් කියා සිටින්නේ, ඓතිහාසික යේසුස් ගැන බයිබලයේ සඳහන් පැහැදිලි තොරතුරු පර්යේෂකයන් බොහෝදෙනෙක් නොසලකා හරින බවයි. යේසුස්ගේ ජීවිතය සහ ජීවත් වූ යුගය පිළිබඳ සමාජීය, දේශපාලනික, මානවවාදී සහ සංස්කෘතික පසුබිම් ගැන සෝදිසි කර බැලීම මහත් උනන්දුව දනවන කරුණක් විය හැකි බව ඔහු කියා සිටී. එහෙත්, ඓතිහාසික යේසුස්යයි විශාරදයන් විස්තර කරන තැනැත්තාව හඳුන්වා දීම “ශුද්ධ ලියවිලිවල අරමුණ නොවේ” යයි ඔහු තවදුරටත් සඳහන් කරනවා. ශුද්ධ ලියවිල්ලේ වැඩි අවධානයක් දී තිබෙන්නේ “යේසුස්ගේ චරිතය පිළිබඳ විස්තර කිරීමට” සහ ඔහුගේ පණිවුඩය ගැන මෙන්ම ගැළවුම්කරු ලෙස ඔහුගේ භූමිකාව ගැන විග්‍රහ කිරීමටයි. එසේ නම්, යේසුස්ගේ සැබෑ චරිතය සහ පණිවුඩය කුමක් වීද?

සැබෑ යේසුස්

යේසුස්ගේ ජීවිතය ගැන කතා කරන බයිබලයේ සුවිශේෂ වාර්තා හතර මගින් විචිත්‍රණය කරන්නේ මහත් සංවේදනීය මිනිසෙකුවයි. අසනීපවලින්, අන්ධබවින් සහ වෙනත් දුක් පීඩා හිරිහැරවලින් ගැහැට විඳි ජනතාවට උදව් කිරීමට යේසුස්ව පෙලඹවූයේ අනුකම්පාව හා දයානුකම්පාවයි. (මතෙව් 9:36; 14:14; 20:34) සිය මිත්‍ර ලාසරුස්ගේ මරණය ඇසූ සහ ලාසරුස්ගේ සහෝදරියන්ගේ ශෝකය දුටු යේසුස් ‘ආත්මයෙන් සුසුම් ලා ඇඬුවා.’ (යොහන් 11:32-36) ඇත්තවශයෙන්ම, සුවිශේෂවල විස්තර කරන විදිහට යේසුස් යනු විවිධාකාරයේ හැඟීම් පළ කළ පුද්ගලයෙක්. යේසුස්ගේ හැඟීම් පුළුල්ව දක්වන අවස්ථා කිහිපයක් සඳහන් කරනවා නම්, ලාදුරු රෝගීන් කෙරෙහි දැක්වූ අනුකම්පාව, තම ගෝලයන්ගේ සාර්ථකත්වය කෙරෙහි දැක්වූ ඉමහත් ප්‍රීතිය, කිසි හැඟීමක් හෝ අනුකම්පාවක් නැති නීතියට වහල්වූවන් කෙරෙහි දැක්වූ උදහස, යෙරුසලම විසින් මෙසියස් ප්‍රතික්ෂේප කිරීම ගැන දුක්වීම යනාදිය දැක්විය හැකියි.

යේසුස් ආශ්චර්යයක් කළ විට, “නුඹේ ඇදහිල්ල නුඹ සුව කළේයයි” පැවසුවේ, ඉන් ප්‍රයෝජන ලත් පුද්ගලයා ඔහුගේ හෝ ඇයගේ පැත්තෙන් කළ දෙය ගැන විමසිලිමත් වූ නිසයි. (මතෙව් 9:22) එක් අවස්ථාවකදී, නතානියෙල් ගැන කතා කරමින් “මෙන්න, සැබවින්ම ඉශ්‍රායෙලිතයෙක්! මොහු තුළ කිසි වංචාවක් නැතැයි” කියමින් ඔහුට ප්‍රශංසා කළා. (යොහන් 1:47) එක්තරා ස්ත්‍රියක් තෑග්ගක් සඳහා පමණට වැඩියෙන් වියදම් කළායයි ඇතමුන් සිතූ අවස්ථාවේ, ඇගේ පිහිටට ආ යේසුස්, ඇගේ මේ ත්‍යාගශීලී ක්‍රියාව බොහෝ කලක් මතක සිටිනු ඇතැයි පැවසුවා. (මතෙව් 26:6-13) තමා සැබෑ මිතුරෙක්යයි ඔප්පු කළ ඔහු, සිය අනුගාමිකයන්ට ‘අන්තිමය දක්වා ප්‍රේම කරමින්’ ඔවුන්හට දයානුකම්පිත සහෘදයෙක් වුණා.—යොහන් 13:1; 15:11-15.

සුවිශේෂවල තවත් හෙළි කරන දෙයක් නම්, යේසුස් තමාට හමු වූ වැඩිදෙනෙකුගේ අවශ්‍යතාවන් මොනවාද කියා තේරුම්ගත් බවයි. ළිඳ ළඟ සිට කතා කළ ස්ත්‍රියකගේ, උයනක සිටියදී කතා කළ ආගමික ගුරුවරයෙකුගේ, විලක් අසල සිටි ධීවරයෙකුගේ සහ වෙනත් බොහෝදෙනෙකුගේ හදවතට ඔහු ඍජුවම කිඳා බැස්සා. මොවුන් අතරින් බොහෝදෙනෙක් යේසුස් ඔවුන් සමඟ කතා කරන්ට පටන්ගත් විගසම වාගේ තමන්ගේ ඇතුළාන්තයේ සඟවාගෙන සිටි අදහස් ඔහුට කීවා. ඔහු ඔවුන්ගේ චිත්තවේගීය හැඟීම් පුබුදු කළා. ඔහු ජීවත්ව සිටි එසමයේ අධිකාරිත්වයක් හෙබවූ අයගෙන් සාමාන්‍ය ජනයා දුරස්ථව සිටියද, යේසුස් කරා ඒමට එම ජනයාට කිසිදු අපහසුවක් දැනුණේ නැහැ. යේසුස් වටා රොක්වීමට ජනයා දැඩි ආශාවක් දැක්වූවා. ඔහුට ළංවීමට ඔවුන්ට ඉතා පහසු වුණා. දරුවන්ද ඔහු ළඟට ආවේ ඉතා ආශාවෙන්. තම ගෝලයන්ට පාඩමක් කියා දීමට කුඩා දරුවෙකු තමා ළඟට ගත් අවස්ථාවේදී දරුවාව නිකම් තමා ළඟ තබාගෙන සිටිනවා වෙනුවට ‘ඔහුව වඩාගත්තා.’ (මාර්ක් 9:36; 10:13-16) ඇත්තවශයෙන්ම, ජනයාව ආකර්ෂණය කරගත් උදාර පුද්ගලයෙකු ලෙස යේසුස්ව සුවිශේෂවල කොතරම් මනාව විස්තර කරනවාද කියනවා නම්, ඔහුගේ සවන් පිනවන වදන් අසන්නට ඔවුන් දවස් තුනක්ම ඔහු හා රැඳී සිටි බව එහි සඳහන් වෙනවා.—මතෙව් 15:32.

යේසුස් පරිපූර්ණ මිනිසෙක්. ඒ වුණත් එසමයේ ජීවත් වූ තමාගේ දේශනා ඇසූ පාපයෙන් මිරිකී සිටි අසම්පූර්ණ ජනයාව ඔහු කිසිවිටෙකත් විවේචනය කළේවත්, ඔවුන් ඉදිරියේ උද්ධච්ච පුද්ගලයෙකු ලෙස ක්‍රියා කළේවත්, ඔවුන් මත බර පැටවූයේවත් නැහැ. (මතෙව් 9:10-13; 21:31, 32; ලූක් 7:36-48; 15:1-32; 18:9-14) ඔහු කිසිවිටෙකත් ජනයාගෙන් පමණට වඩා දේවල් බලාපොරොත්තු වුණේ නැහැ. තිබුණු බරට තවත් බර එකතු කළේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ මෙහෙමයි: ‘වෙහෙස වෙන්නාවූ, . . . සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි.’ ඔව්, ඔහු ‘මෘදුව යටත්ව සිටි’ බව ඔහුගේ ගෝලයන්ට තේරුණා. ඔහුගේ වියගහ දැරීම පහසු වුණා, ඔහුගේ බර සැහැල්ලු වුණා.—මතෙව් 11:28-30.

යේසුස්ගේ චරිතය පිළිබඳව සුවිශේෂවල සඳහන් වාර්තාව තුළ ඒකායන සත්‍යයක් දැකගත හැකියි. වෙනස් පුද්ගලයන් හතරදෙනෙකු විසින් උදාර පුද්ගලයෙකු ගැන කතාවක් ගොතා තම තමන්ගේ වාර්තාවල එකම විදිහට එම චරිතය විස්තර කිරීම පහසු කරුණක් නොවෙයි. විවිධ පුද්ගලයන් හතරදෙනෙකුට කිසිදා ජීවත් නොවූ පුද්ගලයෙකුගේ චරිතයක් ගැන එක සමාන තොරතුරුවලින් විස්තර කිරීමට නොහැකි බවට කිසිදු සැකයක් නැහැ.

ඉතිහාසඥ මයිකල් ග්‍රාන්ට් සිතිවිලි කලතන මෙබඳු ප්‍රශ්නයක් අසනවා: “විශේෂයෙන් සමාජයේ අවමානයට ලක් වූ ස්ත්‍රීන් ඇතුළු සියලු තරාතිරම්වල ස්ත්‍රීන්ව ඇසුරු කරමින්, කිසිම ආකාරයක වැරදි හැඟීමක් නොදී සාමාන්‍ය මිනිසෙකු ලෙස නමුත් විනීතව හැසිරෙමින් සෑම අවස්ථාවකදීම තමාගේ සරල, පිරිසිදු චරිතය රැකගෙන ජීවත් වූ කඩවසම් තරුණයෙකු ගැන මෙතරම් පැහැදිලිව සුවිශේෂ වාර්තාවල විස්තර කර ඇත්තේ කෙසේද?” මීට දිය හැකි සාධාරණ පිළිතුර නම්, බයිබලය පවසන පරිදිම එවන් පුද්ගලයෙක් ජීවත් වූ බවටත් ක්‍රියා කළ බවටත් තේරුම්ගැනීමට හැකිවීමයි.

සැබෑ යේසුස් සහ ඔබගේ අනාගතය

යේසුස්ගේ මිහිපිට ජීවිතය ගැන පිංතූරයක් දෙනවාට අමතරව, දෙවිගේ ඒක ජාතක පුත්‍රයා වශයෙන් මිනිසත් බව ලැබීමට පෙර පැවැත්මක් ඔහුට තිබූ බවත්, ඔහු වනාහි “මුළු මැවිල්ලේ කුළුඳුලා” බවත් බයිබලයේ පෙන්වනවා. (කොලොස්සි 1:15) මීට සියවස් විස්සකට ඉහත, දෙවි විසින් තමන්ගේ ස්වර්ගික පුත්‍රයාගේ ජීවිතය යුදෙව් කාන්තාවකගේ ගර්භාශයේ තැන්පත් කර මිනිසෙකු විලස ඉපදීමට සැලැස්සුවා. (මතෙව් 1:18) පොළොව මත සිය දේවසේවා කාලයේදී, දුකට පත් මිනිස් සංහතියේ එකම බලාපොරොත්තුව හැටියට දේවරාජ්‍යය ගැන ප්‍රකාශ කළ යේසුස්, එම දේශනා වැඩය දිගටම කරගෙන යෑමට සිය ගෝලයන්ව පුහුණු කළා.—මතෙව් 4:17; 10:5-7; 28:19, 20.

පොදු යුගයේ 33, නීසාන් මස 14වනදා (අප්‍රියෙල් 1වනදා පමණ) යේසුස්ව අත්අඩංගුවට ගනු ලැබ, පරීක්ෂා කර, දඬුවම් දී, කැරලිගැසීම ගැන කළ බොරු චෝදනා මත මරා දමනු ලැබුවා. (මතෙව් 26:18-20, මතෙ 26:48-27:50) යේසුස්ගේ මරණය මිදීමේ මිලයක් ලෙස ක්‍රියා කරනවා. එය මිනිස් සංහතිය පාපතර තත්වයෙන් මුදා ඔහු කෙරෙහි ඇදහිල්ල දක්වන සියලුදෙනාට සදාතනික ජීවිතයේ මං උදා කරනවා. (රෝම 3:23, 24; 1 යොහන් 2:2) නීසාන් 16වනදා, නැවත නැඟිටුවනු ලැබූ යේසුස්, ස්වල්ප දිනකට පසුව යළිත් ස්වර්ගයට නැග්ගා. (මාර්ක් 16:1-8; ලූක් 24:50-53; ක්‍රියා 1:6-9) යෙහෝවාගේ ආලේප ලත් රජු වශයෙන්, නැවත නැඟිටුවනු ලැබූ යේසුස්ට මිනිසා උදෙසා දෙවිගේ මුල් අරමුණ ඉටු කරන්ට සියලු බලතල ලැබී තිබෙනවා. (යෙසායා 9:6, 7; ලූක් 1:32, 33) ඔව්, දෙවිගේ අරමුණ ඉටු කිරීමෙහිලා ප්‍රධාන භූමිකාව රඟන්නේ යේසුස් බව බයිබලයේ පවසනවා.

පළමු සියවසේදී, යේසුස්ගේ සැබෑ චරිතය කුමක්ද කියා වැඩිදෙනෙක් තේරුම්ගත්තා. එනම්, ඔහු, යෙහෝවාගේ පරමාධිපත්‍යය තහවුරු කිරීමට සහ මිනිස් සංහතිය වෙනුවෙන් මියයෑමට පැමිණි පොරොන්දු වූ මෙසියස් හෙවත් ක්‍රිස්තුස් බව ඔවුන් පිළිගත්තා. (මතෙව් 20:28; ලූක් 2:25-32; යොහන් 17:25, 26; 18:37) ජනයා යේසුස් කවුද කියා හරියටම හඳුනාගෙන නොතිබුණා නම්, දැඩි විරුද්ධතා හා පීඩා හමුවේ යේසුස්ගේ ගෝලයන් වීමට ඔවුන් කිසිවිටෙකත් පෙලඹෙන්නේ නැති බව පැහැදිලියි. “සියලු ජාතීන් ගෝලයන් කරන්න” යන බලපැවරුම ඔවුන් ජ්වලිතවත්ව හා ධෛර්යයෙන් යුතුව භාරගත්තේ එමනිසයි.—මතෙව් 28:19.

අදදින, අවංක මෙන්ම දැනුවත් වී ඇති මිලියන ගණනක් ක්‍රිස්තියානීන් දන්නා දෙයක් නම් යේසුස් යනු මිථ්‍යා ප්‍රබන්ධවල සිටින පුද්ගලයෙකු නොවන බවයි. ස්වර්ගයෙහි පිහිටුවා ඇති දේවරාජ්‍යයේ රජු ඔහු බවත්, පොළොවේ සහ එහි කටයුතුවල සම්පූර්ණ අධීක්ෂණය භාරගැනීමට දැන් ඔහු සැරසී සිටින බවත් ඔවුන් පිළිගන්නවා. මෙම දිව්‍ය ආණ්ඩුව පිළිබඳ පුවත ශුභාරංචියකි. මන්ද එය ලෝකයේ ගැටලුවලට විසඳුම් ගෙනෙන බවට පොරොන්දු වෙනවා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය” අනුන්ට ප්‍රකාශ කිරීම මගින් යෙහෝවාගේ තෝරාගත් රජුට සැබෑ ක්‍රිස්තියානීන් තම පක්ෂපාතකම විදහාපානවා.—මතෙව් 24:14.

ජීවමාන දෙවිගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් තුළින් පිහිටුවා ඇති රාජ්‍ය විධිවිධානයට සහයෝගය දක්වන අය, සදාකාලික ආශීර්වාද භුක්ති විඳිනවා නියතයි. ඔබටත් මේ ආශීර්වාද භුක්ති විඳිය හැකියි! මෙම සඟරාවේ ප්‍රකාශකයෝ ඔබට මේ සැබෑ යේසුස් ගැන දැනගැනීමට උපකාර කිරීමට කැමැත්තෙන් සිටිනවා.

[පාදසටහන]

a සුවිශේෂ වාර්තාවල සවිස්තරාත්මක සෝදිසියක් සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද ද බයිබල්—ගෝඩ්ස් වර්ඩ් ඕ මෑන්ස් නමැති පොතේ 5 සිට 7 දක්වා පරිච්ඡේද බලන්න.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වෙනත් අය පවසා ඇති දේ

“මේ ලෝකයේ විසූ ප්‍රබලතම ගුරුවරුන්ගෙන් කෙනෙකු හැටියට නාසරෙත්හි යේසුස්ව මම පිළිගන්නවා. . . . ඔබ යේසුස්ගේ ඉගැන්වීම් ගෞරවසම්ප්‍රයුක්තව අධ්‍යයනය කරන්නේ නැත්නම් ඔබේ ජීවිත අසම්පූර්ණ වන බව මම හින්දු භක්තිකයන්ට කියනවා.” මොහාන්දාස් කේ. ගාන්ධි, ද මෙසෙජ් ඔෆ් ජීසස් ක්‍රයිස්ට්.

“මෙතරම් අද්විතීය වූ, මෙතරම් සම්පූර්ණ වූ, මෙතරම් ස්ථිර වූ, මෙතරම් පරිපූර්ණ වූ, මෙතරම් මිනිසත්බව තිබූ, එමෙන්ම සියලු මිනිස් ශ්‍රේෂ්ඨයන්ට වඩා උසස් වූ මෙවන් චරිතයක් කිසිවිටකත් මිථ්‍යාවක් හෝ ප්‍රයෝගයක් විය නොහැකියි. . . . යේසුස්ගේ ශ්‍රේෂ්ඨ චරිතයට පිවිසීමට සමත් වූ මිහිපිට කිසිවෙක් නැත.” ෆිලිප් ශාෆ්, හිස්ටරි ඔෆ් ද ක්‍රිස්ටියන් චර්ච්.

“එක පරම්පරාවක විසූ සරල මිනිසුන් කිහිපදෙනෙක් මෙතරම් ප්‍රබල, ආකර්ෂණීය, සාරධර්මවලින් මෙතරම් උසස්, මිනිස් සහෝදරත්වය ගැන මෙතරම් උදාර දර්ශනයක් බිහි කළ මෙතරම් ශ්‍රේෂ්ඨ පෞද්ගලිකත්වයක් බිහි කිරීම, සුවිශේෂවල වාර්තා වන අන් සැමටම වඩා මහා පුදුමාකාර ආශ්චර්යයකි.” විල් ඩ්‍යුරන්ට්, සීස ඇන්ඩ් ක්‍රයිස්ට්.

“අලුත් ආගම් බිහි කිරීමට යත්න දරා අසාර්ථක වූ මිහිපිට සැබවින්ම ජීවත් වූ මිනිසුන්ගේ සංඛ්‍යාව සලකා බලද්දී, කිසිවිටෙකත් ජීවත් නොවූ මනඃකල්පිත පුද්ගලයෙකු විසින් ලෝක ව්‍යාප්ත ආගමික කණ්ඩායමක් බිහි කළායයි සිතීම උගහටය.” ග්‍රෙග් ඊස්ටර්බෲක්, බිසයිඩ් ස්ටිල් වෝටර්ස්.

‘මානව ඉතිහාසඥයෙකු වශයෙන් මට පැහැදිලිවම ඒත්තුගොස් ඇති දෙයක් නම් සුවිශේෂවල පවසන්නේ කුමක් වුවත්, ඒවා ප්‍රබන්ධ කතා නොවන බවයි. ප්‍රබන්ධ කතාවක්යයි කීමට මෙහි කිසිවක් ගොතා නොමැත. . . . යේසුස්ගේ ජීවිතයේ බොහොමයක් දේ අපට දැනගන්ට බැරිය. ප්‍රබන්ධ කතාවක් ගොතන කිසිවෙක් එය එසේ ගෙතීමේදී කතාව තුළ කිසිම අඩු පාඩුවක් නොතබයි.’ සී. එස්. ලුවිස්, ගෝඩ් ඉන් ද ඩොක්.

[7වන පිටුවේ පින්තූර]

යේසුස් පළ කළ විවිධාකාර හැඟීම් ගැන සුවිශේෂවල එළිදරව් කර තිබෙනවා