Skip to content

පටුනට යන්න

වැඩිමහල්ලෙනි, වගකීම් ඉසිලීමට අන්‍යයන්ව පුහුණු කරන්න

වැඩිමහල්ලෙනි, වගකීම් ඉසිලීමට අන්‍යයන්ව පුහුණු කරන්න

වැඩිමහල්ලෙනි, වගකීම් ඉසිලීමට අන්‍යයන්ව පුහුණු කරන්න

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සභාවන්වල, අවේක්ෂකයෙකුට සම්බන්ධ කටයුතුවල යෙදිය හැකි පුරුෂයන්ගේ හදිසි අවශ්‍යතාවක් තිබේ. මෙම තත්වය උද්ගත වීමට ප්‍රධාන හේතු තුනකි.

පළමුව, “සුළු තැනැත්තා බලවත් ජාතියක්” බවට පත් කරන බවට දුන් පොරොන්දුව යෙහෝවා ඉෂ්ට කරමින් සිටී. (යෙසායා 60:22) ඔහුගේ මහත් කරුණාවේ ප්‍රතිඵලයක් වශයෙන්, පසුගිය වසර තුන ඇතුළත නවක ගෝලයන් මිලියනයක් පමණ බව්තීස්ම වෙමින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් වී සිටිති. මෙම අලුත බව්තීස්ම වූ අයට ක්‍රිස්තියානි මේරුකමට පත්වීම සඳහා උපකාර කිරීමට වගකීම් දැරිය හැකි පුරුෂයන් අවශ්‍යය.—හෙබ්‍රෙව් 6:1, 2.

දෙවනුව, දශක ගණනාවක් පුරා වැඩිමහල්ලන් ලෙස සේවය කර ඇති ඇතැමුන් වයස්ගත වීම නිසා හෝ ඔවුන්ට සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදුවීම නිසා තමන් සභාවේ රැගෙන යන වගකීම්වල බර අඩු කිරීමට සිදු වී තිබේ.

තුන්වෙනුව, ජ්වලිතවත් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් ගණනාවක්ම දැන් රෝහල් සබඳතා කමිටුවල, ප්‍රාදේශීය ඉදි කිරීම් කමිටුවල හෝ එක්රැස්වීම් ශාලා කමිටුවල සාමාජිකයන් ලෙස සේවය කරති. ඇතැම් අවස්ථාවලදී මෙම වගකීම් දැරීම සමබර කිරීමට සිදු වී ඇත්තේ සභාවේ තමන් දරන ඇතැම් වගකීම් අඩු කරගැනීමෙනි.

සුදුසුකම් ලත් අමතර පුරුෂයන් සඳහා පවතින මෙම දැඩි අවශ්‍යතාව සපුරාලිය හැක්කේ කෙසේද? පුහුණු කිරීම මේ සඳහා ඇති ප්‍රධානතම යතුරයි. බයිබලය මෙහිදී ක්‍රිස්තියානි අවේක්ෂකයන්ට දිරිගන්වන්නේ ‘උගන්වන්ට සමර්ථ වූ, විශ්වාස, වූ මනුෂ්‍යයන්ව’ පුහුණු කරන ලෙසය. (2 තිමෝති 2:2) එක්තරා ශබ්දකෝෂයකට අනුව, “පුහුණු කිරීමට” යන ක්‍රියා පදයෙන් අදහස් කරන්නේ, “සමර්ථ වීමට, සුදුසුකම් ලැබීමට හෝ නිපුණයෙක් වීමට ඉගැන්වීමයි.” සුදුසුකම් ලත් පුරුෂයන් වීම පිණිස අන්‍යයන්ව පුහුණු කිරීමට වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේද කියා අපි දැන් සලකා බලමු.

යෙහෝවාගේ ආදර්ශය අනුගමනය කරන්න

යේසුස් ක්‍රිස්තුස් තම වැඩයට ‘සමර්ථ’ කෙනෙකු වූ බවටත් ඒ සඳහා ‘සුදුසුකම් ලැබ, නිපුණයෙක්’ වී සිටි බවටත් කිසිදු සැකයක් නැත. එය පුදුම වීමට දෙයක්ද නොවේ! මන්ද ඔහුව පුහුණු කරනු ලැබුවේ යෙහෝවා දෙවි විසින්මය. මෙම පුහුණු වැඩසටහන මෙතරම් ඵලදායී එකක් වීමට හේතුපාදක වූ සාධක මොනවාද? යේසුස් සාධක තුනක් සඳහන් කළේය. යොහන් 5:20හි අපට ඒ ගැන මෙසේ කියවීමට තිබේ.‘පියාණන් පුත්‍රයාට ප්‍රේම කරයි [1] [ස්නේහය පෙන්වයි, NW]. තමන් කරන්නාවූ සියල්ල [2] ඔහුට පෙන්වයි. නුඹලා මවිත වන පිණිස [3] මීට වඩා මහත් ක්‍රියාවලුත් ඔහුට පෙන්වනවා ඇත.’ (අකුරු ඇල කළේ අපය.) මෙම සාධක තුන ගැන අප ඉතා කිට්ටුවෙන් සෝදිසි කර බැලුවහොත්, පුහුණු කිරීම යන විෂය ගැන වඩාත් ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට අපට හැකි වනු ඇත.

යේසුස් පළමුව කී දේ සැලකිල්ලට ගන්න. ‘පියාණන් පුත්‍රයාට ස්නේහය පෙන්වයි.’ මැවීමේ ආරම්භයේ පටන්, යෙහෝවා සහ සිය පුත්‍රයා අතර ඉතා කිට්ටු උණුසුම් සම්බන්ධයක් පැවතුණි. හිතෝපදේශ 8:30හි එම සම්බන්ධය ගැන වඩාත් පැහැදිලි අවබෝධයක් දී තිබේ. එහි මෙසේ පවසයි. ‘මම [යේසුස්] ඔහු [යෙහෝවා දෙවි] වෙත [අසල, NW]ප්‍රධාන කර්මාන්තකාරයාව සිටියෙමි. සෑම කල්හිම ඔහු ඉදිරියෙහි නිතර සන්තෝෂ වෙමින්, දවසින් දවස ඔහුගේ ප්‍රීතිය වීමි.’ යෙහෝවා තමන් ගැන ‘ප්‍රීති වූ’ බවට යේසුස් තුළ කිසිදු සැකයක් තිබුණේ නැත. තම පියා සමඟ සිටිමින් ඔහු හා එක්ව වැඩ කරන විට, යේසුස් තමන්ට හැඟුණු ප්‍රීතිය සඟවාගත්තේ නැත. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සහ ඔවුන් විසින් පුහුණු කරනු ලබන අය අතර උණුසුම් විවෘත සම්බන්ධතාවයක් තිබීම කොතරම් කදිමද!

යේසුස් සඳහන් කළ දෙවෙනි සාධකය නම්, පියාණන් ‘තමන් කරන්නාවූ සියල්ල ඔහුට පෙන්වීමයි.’ මෙම වචනවලින්, යෙහෝවා විශ්වය මවමින් සිටි අවස්ථාවේදී යේසුස් යෙහෝවා ‘අසල සිටියේය’ යනුවෙන් හිතෝපදේශ 8:30හි සඳහන් වචන තහවුරු කරයි. (උත්පත්ති 1:26) මෙසේ වැඩිමහල්ලන්ට සභා සේවකයන් සමඟ එකට වැඩ කරමින් සහ තමන්ගේ වැඩ කටයුතු මැනවින් ඉෂ්ට කරන ආකාරය පෙන්වා දෙමින් එම අනර්ඝ ආදර්ශය අනුගමනය කළ හැකියි. කෙසේවෙතත්, ප්‍රගතිශීලී පුහුණුව අවශ්‍ය වන්නේ අලුත පත් වූ සභා සේවකයන්ට පමණක්ම නොවේ. වසර ගණනාවක් පුරා, අවේක්ෂකයෙකුගේ කාර්ය භාරය ඉසිලීමට යත්න දරමින් සිටින නමුත් කිසිවිටෙකත් පත් කර නැති විශ්වාසවන්ත සහෝදරයන් ගැන කුමක් කිව හැකිද? (1 තිමෝති 3:1) වැඩිමහල්ලන් එවන් පුරුෂයන්ට සුවිශේෂී උපදෙස් පිරිනැමිය යුතුය. එවිට, තමන් දියුණු විය යුත්තේ කොයි පැත්තෙන්ද කියා ඔවුන් දැනගන්නවා ඇත.

නිදසුනක් වශයෙන්, එක් සභා සේවකයෙක් විශ්වාසවන්ත, කලට වේලාවට වැඩ කරන තමන්ගේ යුතුකම් නොපිරිහෙළා ඉටු කරන කෙනෙකුද විය හැකියි. ඔහු හොඳ ගුරුවරයෙකුද වෙන්ට පුළුවන්. බොහෝ පැතිවලින් සභාව තුළ ඔහු කදිම සේවයක් කරමින් සිටිනවා විය හැකියි. කෙසේවෙතත්, ඔහු සභාවේ සෙසු ක්‍රිස්තියානීන් සමඟ කටයුතු කරන විට රළු ස්වභාවයක් දැක්වීමට නැඹුරු වී සිටින බව ඔහුට නොවැටහෙනවා වන්ට පුළුවන. මෙවන් අවස්ථාවකදී වැඩිමහල්ලන් “ප්‍රඥාවට ආවේණික මෘදුකම” පෙන්විය යුතුය. (යාකොබ් 3:13, NW) මෙහිදී යම් වැඩිමහල්ලෙකු ඉදිරිපත් වී මෙම සභා සේවකට කතා කොට, ඔහුගේ ගැටලුව පැහැදිලිව අවබෝධ කර දී, එසේ ඔහු විසින් රළු ලෙස කටයුතු කළ අවස්ථා පෙන්වා දී, මේ පැත්තෙන් දියුණු වීමට යම් ප්‍රායෝගික යෝජනා දෙන්නේ නම් එය ඉතා කාරුණික ක්‍රියාවක් වනවා ඇත. මෙම වැඩිමහල්ලා තමන් දෙන ‘උපදෙස ලුණෙන් රස ගන්වනවා’ නම්, ඔහු කියන දේවල් හොඳින් භාරගනු ලබන බවට කිසිදු සැකයක් නැත. (කොලොස්සි 4:6) අනෙක් අතට, වැඩිමහල්ලා විසින් පවසන දෙයට හොඳින් ඇහුම්කන් දී තමන්ට ලැබෙන මොනයම් උපදෙසක් හෝ කෘතඥ පූර්වක හදවතකින් පිළිගැනීමට සභා සේවක සූදානම් නම්, වැඩිමහල්ලාට තම උපදෙස් වඩාත් පහසුවෙන් දීමට හැකි වේවි.—ගීතාවලිය 141:5.

ඇතැම් සභාවල, වැඩිමහල්ලෝ සභා සේවකයන්හට ප්‍රායෝගික මෙන්ම නිරන්තර පුහුණුවක් දෙමින් සිටිති. නිදසුනක් හැටියට, අසනීප වී සිටින හෝ වයස්ගත අයව බැලීමට යන විට ඔවුහු සුදුසුකම් ලත් සභා සේවකයන්ව කැටුව යති. මේ අයුරින්, සභා සේවකයෝ එඬේර වැඩ කිරීමට අවශ්‍ය අද්දැකීම් ලබති. මෙහිදී ඇත්ත වශයෙන්ම, තමන්ගේම ආත්මික ප්‍රගතිය උදෙසා කළ හැකි බොහෝ දේවල් සභා සේවකයෙකුට තිබේ.—“සභා සේවකයන්ට කළ හැකි දේ” යන මාතෘකාව යටතේ තිබෙන පහත ඇති කොටුව බලන්න.

යේසුස්ට ලැබුණු පුහුණුව එතරම්ම ඵලදායී එකක් වීමට තිබූ තුන්වන සාධකය වූයේ, මතු ප්‍රගතිය මනසේ තබාගෙන යෙහෝවා විසින් ඔහුව පුහුණු කරනු ලැබීමයි. තම පියා තමන්ට‘මීට වඩා මහත් ක්‍රියාවලුත්’ පෙන්වන බව යේසුස් පැවසුවේය. මේ පොළොව මත ජීවත් වන විට යේසුස් ලැබූ අද්දැකීම, තමන්ට අනාගතයේ පැවරෙනු ඇති දේවල් කිරීමට අවශ්‍ය ගුණාංග වර්ධනය කරගැනීමට මහෝපකාරි විය. (හෙබ්‍රෙව් 4:15; 5:8, 9) නිදසුනක් වශයෙන්, යේසුස් ඉතා නුදුරු අනාගතයේදී ලබනු ඇත්තේ මොනතරම් බරපතළ පැවරුමක්ද! එය නම්, දැනට මියගොස් සිටින බිලියන ගණනක් ජනයාව නැවත නැඟිටුවා විනිශ්චය කිරීමයි.—යොහන් 5:21, 22.

සභා සේවකයන්ව පුහුණු කිරීමේදී වර්තමාන වැඩිමහල්ලන් අනාගත අවශ්‍යතා ගැන මනසේ තබාගත යුතුය. වත්මන් අවශ්‍යතාවලට ගැළපෙන පරිදි, වැඩිමහල්ලන් හා සභා සේවකයන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සිටින බවට පෙනෙන්ට තිබුණද, අලුත් සභාවක් පිහිටෙවූ කල, තත්වය කෙබඳු වේවිද? සභා කිහිපයක් පිහිටුවනු ලැබූ විට තත්වය කෙබඳු වේවිද? පසුගිය වසර තුන ඇතුළත, ලොව වටා නව සභා 6,000ක් දක්නට තිබිණ. මෙම අලුත් සභාවන් රැකබලා ගැනීමට වැඩිමහල්ලන් හා සභා සේවකයන් කොතරම් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වෙනවාද!

වැඩිමහල්ලෙනි, ඔබ යෙහෝවාගේ ආදර්ශය අනුගමනය කරමින්, ඔබ පුහුණු කරමින් සිටින පුරුෂයන් සමඟ උණුසුම් පෞද්ගලික සම්බන්ධයක් ගොඩනඟා ගනිමින් සිටින්නෙහිද? තමන්ගේ වැඩ කටයුතු නිසියාකාරව කරන අන්දම ඔබ කියා දෙමින් සිටින්නෙහිද? අනාගත අවශ්‍යතා ඔබ මනසේ තබාගෙන සිටිනවාද? යේසුස්ව පුහුණු කිරීමෙහිලා යෙහෝවාගේ ආදර්ශය අනුගමනය කිරීම බොහෝදෙනෙකුට මහඟු ආශීර්වාද ගෙන එනවා නිසැකයි.

වැඩ පැවරීමට භය වන්න එපා

බරපතළ පැවරුම් ගණනාවක් එකවර කරගැනීමට පුරුදු වී සිටින දක්ෂකම් ඇති වැඩිමහල්ලෝ, තමන්ගේ බලතල අනුන්ට පැවරීමට තරමක් අදිමදි කරති. ඔවුන් මීට පෙර එසේ පැවරීමට උත්සාහ කර තිබෙනවා විය හැකි මුත් ඉන් ලැබී ඇති ප්‍රතිඵල එතරම් සාර්ථක වී නැතුවා විය හැකියි. එබැවින් ‘යම් වැඩක් හොඳින් කරගන්ට වුවමනා නම්, මමම එය කරගන්න එක හොඳයි’ යන ආකල්පය ඇතුව ඔවුන් සිටිනවා වන්ට පුළුවන්. නමුත් ශුද්ධ ලියවිලිවල දක්වා ඇති පරිදි, මෙය යෙහෝවාගේ කැමැත්තට එකඟද? අද්දැකීම් අඩු අය අද්දැකීම් වැඩි අයගෙන් පුහුණුව ලැබිය යුතු නොවේද?—2 තිමෝති 2:2.

ප්‍රේරිත පාවුල්ගේ සංචාරක සහයකයෙකු වූ යොහන් මාර්ක් පම්පිලියේදී තමන්ගේ පැවරුම පසෙක දමා ආපසු හැරී ගිය විට ප්‍රේරිත පාවුල්ගේ බලාපොරොත්තු කඩ විය. (ක්‍රියා 15:38, 39) කෙසේවෙතත්, අනුන්ව පුහුණු කිරීමෙන් වැළකී සිටීමට මෙම කාරණය පාවුල්හට හේතුවක් වූයේ නැත. ඔහු තවත් යෞවන සහෝදරයෙකු වූ තිමෝතිව තෝරාගත් අතර, මිෂනාරි සේවය සඳහා ඔහුව පුහුණු කළේය. a (ක්‍රියා 16:1-3) බෙරීය නගරයේදී මිෂනාරීන් මුහුණපෑ දැඩි විරෝධතා කොතරම් දරුණු වීද යත්, පාවුල් එහි රැඳී සිටීම ප්‍රායෝගික දෙයක් වූයේ නැත. එබැවින් මෙම නව සභාව වඩාත් මේරූ සහෝදරයෙකු වූ සීලස් සහ තිමෝතිගේ භාරයට පත් කළේය. (ක්‍රියා 17:13-15) තිමෝති සීලස්ගෙන් බොහෝ දේ ඉගෙනගත් බවට කිසිදු සැකයක් නැත. පසුව, තවත් වගකීම් භාරගැනීමට තිමෝති සූදානම් වූ අවස්ථාවේ, තෙසලෝනිකයේ තිබූ සභාව දිරිගැන්වීමට පාවුල් ඔහුව පිටත් කර හැරියේය.—1 තෙසලෝනික 3:1-3.

පාවුල් සහ තිමෝති අතර තිබූ සම්බන්ධය කිසිම හැඟීමකින්, මිත්‍රශීලී ගතියකින්, සුහද බවකින් තොර එකක් වූයේ නැත. ඔවුන් අතර ඉතා ලෙන්ගතු උණුසුම් බැඳීමක් තිබුණි. කොරින්ති සභාවට ලියන විට පාවුල් එහි පිටත් කර හැරීමට සිටි තිමෝති ගැන සඳහන් කරමින් ලීවේ, “මාගේ ප්‍රිය වූ විශ්වාස දරුවා” යනුවෙනි. “[ක්‍රිස්තුස්] තුළ ඇත්තාවූ මාගේ මාර්ගයන් ඔහු [තිමෝති] නුඹලාට සිහි කරනවා ඇත” කියා ඔහු තවදුරටත් පැවසීය. (1 කොරින්ති 4:17) පාවුල්ගෙන් ලැබූ පුහුණුව නිසා තිමෝති තමන්ගේ පැවරුම් හොඳින් ඉටු කිරීමට සුදුසුකම් ලබාගත්තේය. යෞවන සහෝදරයන් බොහෝදෙනෙක් දක්ෂ සභා සේවකයන් වීමට, වැඩිමහල්ලන් වීමට හෝ චාරිකා අවේක්ෂකයන් පවා වීමට සුදුසුකම් ලැබ සිටිති. එසේ වී ඇත්තේ, පාවුල් තිමෝති ගැන දැඩි සැලකිල්ලක් දක්වා පුහුණු කළාක් මෙන්, සැලකිල්ල දක්වන වැඩිමහල්ලන් විසින් ඔවුන්ටද දී ඇති පුහුණුවෙන් ගත් ප්‍රයෝජන නිසයි.

වැඩිමහල්ලෙනි, අනුන්ව පුහුණු කරන්න!

යෙසායා 60:22හි සඳහන් අනාවැකිය අදදින ඉටු වෙමින් තිබෙන බවට අබමල් රේණුවක තරම්වත් සැකයක් නැත. යෙහෝවා “සුළු තැනැත්තා බලවත් ජාතියක්” කරමින් සිටී. එම ජාතිය “බලවත්” ජාතියක් සේ පැවතීමට නම්, එය හොඳින් සංවිධානය කළ යුතුයි. වැඩිමහල්ලෙනි, අමතර පුහුණුව ලැබීමට සුදුසු වූ කැප වූ පුරුෂයන්ට එය ලබා දීමට හැකි යම් ක්‍රම ගැන ඔබ සිතා නොබලන්නේ මන්ද? සෑම සභා සේවකයෙකුම තමන් ලබා ඇති ප්‍රගතිය දෙස බලා තමන් විසින් දියුණු කරගත යුතු පැති ගැන මනා අවබෝධයෙන් සිටින බවට සහතික වන්න. බව්තීස්ම වූ සහෝදරයෙනි, ඔබහට වැඩිමහල්ලන් දක්වන මොනයම් අවධානයක් වෙතොත්, ඉන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔබගේ හැකියාවන්, දැනුම සහ අද්දැකීම් දියුණු කරගැනීමට ඇති ප්‍රස්තාවන් හොඳින් ප්‍රයෝජනයට ගන්න. ප්‍රේමනීය සහයෝගය සපයන එවන් සැලසුමකට යෙහෝවා ආශීර්වාද කරනවා නොඅනුමානයි.—යෙසායා 61:5.

[පාදසටහන]

a පසුව, පාවුල් යළිත් වරක් යොහන් මාර්ක් සමඟ වැඩ කළේය.—කොලොස්සි 4:10.

[30වන පිටුවේ කොටුව]

සභා සේවකයන්ට කළ හැකි දේ

වැඩිමහල්ලන් විසින් සභා සේවකයන්හට පුහුණුව දෙන අතරතුර, තමන්ගේ ආත්මික ප්‍රගතිය තවදුරටත් ඇති කරගැනීමට සභා සේවකයන්ට බොහෝ දේ කළ හැකියි.

—සභා සේවකයන් තමන්ට පවරා ඇති වගකීම් කඩිසරව හා විශ්වාසවන්තව ඉටු කළ යුතුය. තවද ඔවුන් හොඳ අධ්‍යයන පුරුදු ප්‍රවර්ධනය කරගත යුතුය. සැලකිය යුතු ප්‍රමාණයකට ප්‍රගතිය රඳා පවතින්නේ අධ්‍යයනය කිරීම සහ ඉගෙනගන්නා දේවල් අදාළ කරගැනීම මතයි.

—යම් සභා සේවකයෙකු ක්‍රිස්තියානි රැස්වීමක කතාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන විට, එම කතාවට අදාළ තොරතුරු ඉදිරිපත් කරන ආකාරය පිළිබඳව පළපුරුදු වැඩිමහල්ලෙකුගෙන් යෝජනා ලබාගැනීමට ඔහු පසුබට නොවිය යුතුය.

—තමන් ඉදිරිපත් කරන බයිබල් කතාවක් දෙස හොඳින් බලා සිට, දියුණු කරගැනීම සඳහා යම් උපදෙස් දෙන ලෙස වැඩිමහල්ලෙකුගෙන් ඉල්ලා සිටීමට සභා සේවකයෙකුට හැකියි.

සභා සේවකයන් වැඩිමහල්ලන්ගෙන් උපදෙස් ඉල්ලා සිට ඒවා භාරගත යුතුයි. එමෙන්ම ඒවා අදාළ කරගත යුතුයි. මේ අන්දමින්, ඔවුන්ගේ දියුණුව, ‘සියල්ලන්ට පෙනෙනවා’ ඇත.—1 තිමෝති 4:15.