Skip to content

පටුනට යන්න

නොනවත්වාම යහපත්කම විදහමින් සිටින්න

නොනවත්වාම යහපත්කම විදහමින් සිටින්න

නොනවත්වාම යහපත්කම විදහමින් සිටින්න

“ආලෝකයේ ඵල නම්, සියලු ආකාර යහපත්කමත් ධර්මිෂ්ඨකමත් සැබෑකමත්ය.”—එපීස 5:9.

1. අද සිටින දශලක්ෂ ගණන් ජනයා ගීතාවලිය 31:19හි ඇති දේ සමඟ එකඟ වන බව පෙන්වන්නේ කෙසේද?

 ඕනෑම කෙනෙකුට කළ හැකි ලොකුම යහපත වන්නේ යෙහෝවාට ගෞරවය ගෙන ඒමයි. අද සිටින දශලක්ෂ ගණන් ජනයා දෙවිගේ යහපත්කම ගැන ඔහුට ප්‍රශංසා කරමින් එම යහපත කරති. ‘ඔබ කෙරෙහි භය ඇත්තන්ට නිධාන කොට තැබුවාවූ ඔබගේ යහපත්කම කොපමණ මහත්ද!’ කියා ගායනා කළ ගීතිකාකරුවා සමඟ යෙහෝවාගේ පක්ෂපාත සාක්ෂිකරුවන් වශයෙන් අපි එකඟ වන්නෙමු.—ගීතාවලිය 31:19.

2, 3. ගෝලයන් සෑදීමේ වැඩයට අපේ යහපත් හැසිරීමේ අනුබලය නොලැබුණොත් කුමක් සිදු විය හැකිද?

2 යෙහෝවා කෙරෙහි ඇති ගෞරවාන්විත භය ඔහුගේ යහපත්කම ගැන ප්‍රශංසා කිරීමට අපව පොලඹවයි. තවදුරටත්, ‘යෙහෝවාව පසසන්ටත්, ඔහුව උසස් කරන්ටත්, ඔහුගේ රජකමේ තේජස ගැන දන්වන්ටත්’ එය අපව පොලඹවයි. (ගීතාවලිය 145:10-13, NW) අප දේවරාජ්‍යය ගැන දේශනා කිරීමෙහි සහ ගෝලයන් සෑදීමෙහි කඩිසරව කටයුතු කරන්නේ ඒ නිසයි. (මතෙව් 24:14; 28:19, 20) අපේ දේශනා කර්තව්‍යය සාක්ෂාත් කරගැනීමට අපේ යහපත් හැසිරීමේ අනුබලය අත්‍යවශ්‍යය. එසේ නොවුණොත්, අප විසින් යෙහෝවාගේ ශුද්ධ නාමයට නින්දා ගෙනෙනු ලබනවා ඇත.

3 දෙවිට නමස්කාර කරන බව බොහෝදෙනා කියා සිටියත්, ඔවුන්ගේ හැසිරීම දේවානුභාවයෙන් ලියූ බයිබලයෙහි ඇති ප්‍රමිතිවලට එකඟ නැත. යහපත කරන බව කියා සිටියත් එසේ නොකළ අය සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “අනිකෙකුට උගන්වන්නාවූ නුඹ නුඹටම උගන්වාගන්නේ නැද්ද? සොරකම් නොකළ යුතුයයි දේශනා කරන්නාවූ නුඹ සොරකම් කරනවාද? කාමමිථ්‍යාචාරය නොකළ යුතුයයි කියන්නාවූ නුඹ කාමමිථ්‍යාචාරය කරනවාද? . . . මක්නිසාද ලියා තිබෙන ප්‍රකාරයට නුඹලා කරණකොටගෙන අන්‍යජාතීන් අතරෙහි [දෙවිගේ] නාමය අපහාස කරනු ලබයි.”—රෝම 2:21, 22, 24.

4. අපේ යහපත් හැසිරීමෙන් ඇති වන බලපෑම කුමක්ද?

4 යෙහෝවාගේ නාමයට නින්දා ගෙනෙනවා වෙනුවට, අපේ යහපත් හැසිරීම මගින් ඔහුගේ නාමය ගෞරවයට පත් කිරීමට අපි වෙර දරන්නෙමු. එසේ කිරීම ක්‍රිස්තියානි සභාවට පිටින් සිටින අය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරයි. අපේ විරුද්ධවාදීන්ව නිහඬ කිරීමට එය අපට අතකොළුවක් වෙන බවත් නිසැකයි. (1 පේතෘස් 2:15) අපේ යහපත් හැසිරීමෙන් සිදු වන වඩාත් වැදගත් දෙය නම්, ජනයා යෙහෝවාගේ සංවිධානය වෙත ආකර්ෂණය වීමයි. එමගින්, යෙහෝවාට ගෞරවයත්, එම පුද්ගලයාට සදාකාල ජීවනයත් අත් වේ.—ක්‍රියා 13:48.

5. අප දැන් සලකා බැලිය යුතු ප්‍රශ්න මොනවාද?

5 අප අසම්පූර්ණ බව ඇත්තකි. එනමුත්, යෙහෝවාව අගෞරවයට පත් කරන හා සැබෑව සොයන අයව බාධාවට පත් කළ හැකි හැසිරීමෙන් අප වැළකී සිටින්නේ කෙසේද? කොටින්ම කියනවා නම්, නොනවත්වාම අපට යහපත්කම විදහාපාමින් සිටිය හැක්කේ කෙසේද?

ආලෝකයේ ඵලයක්

6. “අන්ධකාරයේ ඵල නැති ක්‍රියා” සමහරක් මොනවාද? එහෙත්, ක්‍රිස්තියානීන්ට තිබිය යුත්තේ කිනම් ඵලද?

6 කැප වූ ක්‍රිස්තියානීන් හැටියට, “අන්ධකාරයේ ඵල නැති [ක්‍රියාවලින්]” වැළකී සිටීමට අපට උදව් වන යමක් අප සතුය. එම අන්ධකාරයේ ක්‍රියාවලට බොරු කීම, සොරකම් කිරීම, අවකැපෙන කතා, ලිංගිකත්වය පිළිබඳ නුසුදුසු කතා බහ, නින්දිත හැසිරීම, අශික්ෂිත විහිළු සහ බේබදුකම වැනි දෙවිව අගෞරවයට පත් කරන ක්‍රියා ඇතුළත්ය. (එපීස 4:25, 28, 31; 5:3, 4, 11, 12, 18) එවැනි ක්‍රියාවල නිරත නොවී අපි “ආලෝකයේ දරුවන් මෙන් [හැසිරෙන්නෙමු].” ප්‍රේරිත පාවුල් කියන්නේ “ආලෝකයේ ඵල නම්, සියලු ආකාර යහපත්කමත් ධර්මිෂ්ඨකමත් සැබෑකමත්ය” කියාය. (එපීස 5:8, 9) ඉතින්, අප නොනවත්වාම යහපත්කම විදහමින් සිටින්න නම්, ආලෝකයේ ගමන් කරමින් සිටිය යුතුය. නමුත්, මෙය කුමන ආකාරයේ ආලෝකයක්ද?

7. දිගටම යහපත්කම නමැති ඵලය විදහාපෙන්වීමට නම් අප කුමක් කළ යුතුද?

7 අප අසම්පූර්ණ වුණත්, අප ආත්මික ආලෝකයේ ගමන් කරනවා නම්, අපට යහපත්කම විදහාපෑ හැකිය. “ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්” යයි ගීතිකාකරු ගායනා කළේය. (ගීතාවලිය 119:105) ‘සියලු ආකාර යහපත්කම් කරමින් ආලෝකයේ ඵල’ විදහාපෑමට අපට ඕනෑ නම්, අප නිරතුරුවම දෙවිගේ වචනයෙන් ලැබෙන ආත්මික ආලෝකයෙන් ප්‍රයෝජන ගනිමින් සිටිය යුතුය. මෙය ක්‍රිස්තියානි ප්‍රකාශනවල ඉතා සියුම් ලෙස විමර්ශනය කර ඇති අතර, නමස්කාරය සඳහා පවත්වන අපේ රැස්වීම්වලදී නිතිපතා සාකච්ඡා කෙරේ. (ලූක් 12:42; රෝම 15:4; හෙබ්‍රෙව් 10:24, 25) “ලෝකයේ ආලෝකය” සහ “[යෙහෝවාගේ] තේජසේ ප්‍රතිබිම්බය” වන යේසුස් ක්‍රිස්තුස්ගේ ආදර්ශය සහ ඉගැන්වීම් කෙරෙහිද අප විශේෂ අවධානයක් දිය යුතුය.—යොහන් 8:12; හෙබ්‍රෙව් 1:1-3, NW.

ආත්මයේ ඵලයක්

8. අපට යහපත්කම විදහාපෑමට හැක්කේ මන්ද?

8 යහපත්කම විදහාපෑමට ආත්මික ආලෝකය අනිවාර්යයෙන්ම උදව් වෙයි. ඊට අමතරව, අප දෙවිගේ ශුද්ධාත්මයෙන් නැතහොත් ක්‍රියාකාරක බලයෙන් මඟ පෙන්වීම ලබන නිසා මේ ගුණාංගය විදහාපෑමට අපට හැකියි. යහපත්කම ‘ආත්මයේ ඵලවලින්’ එකකි. (ගලාති 5:22, 23) අප යෙහෝවාගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීමට අවනත වුවහොත්, එය අප තුළ යහපත්කම නමැති පුදුමාකාර ඵලය හටගන්වන්නේය.

9. ලූක් 11:9-13හි වාර්තා කර ඇති යේසුස්ගේ වචනවලට අනුව අපට ක්‍රියා කළ හැක්කේ කෙසේද?

9 අපේ ඒකායන ආශාව වන්නේ ආත්මයේ ඵලයක් වන යහපත්කම විදහාපා යෙහෝවාව සතුටු කිරීමයි. එය අපව යේසුස්ගේ මෙම වචනවලට එකඟව ක්‍රියා කිරීමට පෙලඹවිය යුතුය. ‘ඉල්ලන්න, එවිට නුඹලාට දෙනු ලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බ වේ; තට්ටු කරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ. මක්නිසාද ඉල්ලන සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට දොර හරිනු ලැබේ. නුඹලා අතරෙන් කොයි පියෙක් තමාගේ පුත්‍රයා රොටියක් ඉල්ලුවාම ඔහුට ගලක් දෙයිද? නොහොත් මත්ස්‍යයෙකු ඉල්ලුවාම මත්ස්‍යයා වෙනුවට ඔහුට සර්පයෙකු දෙයිද? නොහොත් බිත්තරයක් ඉල්ලුවාම ඔහුට ගෝනුස්සෙකු දෙයිද? මෙසේ [අසම්පූර්ණකම නිසා යම් තරමකට] නපුරු වූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දනිව් නම්, කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය පියා තමන්ගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය නොදෙන්නේද?’ (ලූක් 11:9-13) ඒ නිසා, යෙහෝවාගේ ආත්මයේ ඵලයක් වන යහපත්කම දිගටම විදහාපෑමට අපට හැකි වන පිණිස, යේසුස් දුන් උපදෙස අපි අනුගමනය කරමින් දෙවිගේ ශුද්ධාත්මය ඉල්ලා යාච්ඤා කරමු.

“දිගටම යහපත කරමින් සිටින්න”

10. නික්මයාම 34:6, 7හි සඳහන් වන්නේ යෙහෝවාගේ යහපත්කමේ කිනම් පැතිද?

10 දෙවිගේ වචනයෙන් ලැබෙන ආත්මික ආලෝකයෙන් සහ දෙවිගේ ශුද්ධාත්මයෙන් ලැබෙන උපකාරයෙන් “දිගටම යහපත කරමින් සිටින්න” අපට හැකිය. (රෝම 13:3, NW) ස්ථාවර පදනමක් මත බයිබලය අධ්‍යයනය කිරීම මගින්, අප යෙහෝවාගේ යහපත්කම අනුකරණය කරන්නේ කොහොමදැයි වැඩි වැඩියෙන් ඉගෙනගන්නෙමු. කලින් ලිපියේදී, නික්මයාම 34:6, 7හි [NW] වාර්තා කර ඇති මෝසෙස්ට කළ ප්‍රකාශයෙහි දෙවිගේ යහපත්කමේ විවිධ අංග ගැන අපි විමසා බැලුවෙමු. එහි කියා තිබුණේ මෙසේය. “යෙහෝවා, යෙහෝවා, ඔහු දයාබරිත වූ, අනුග්‍රහයෙන් යුක්ත වූ, උදහස් වීමට ප්‍රමාද වන්නාවූ ප්‍රේමනීය කරුණාවෙන් සහ සැබෑකමෙන් පූර්ණ වූ දෙවි කෙනෙක්ය. ඔහු දහස් ගණනකට ප්‍රේමනීය කරුණාව පවත්වන්නේය. අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමා කරන්නේය. වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරන්නේය.” යෙහෝවාගේ යහපත්කම ප්‍රකාශ වී ඇති මේ ආකාර ඉතා කිට්ටුවෙන් සලකා බැලීම, ‘දිගටම යහපත කරමින් සිටීමට’ අපට උදව් වෙයි.

11. යෙහෝවා දයාබරිත මෙන්ම අනුග්‍රහයෙන් යුක්ත කෙනෙකු බව දැන සිටීම අපට බලපෑ යුත්තේ කෙසේද?

11 යෙහෝවා මෙන් දයාබරිත වීමට සහ අනුග්‍රහයෙන් යුක්ත වීමට එම ප්‍රකාශය අපට මතක් කරයි. “දයාවන්තයෝ සන්තෝෂවත්ය [NW]” කියා යේසුස් පැවසීය. මන්ද “ඔවුහු දයාව ලබන්නෝය.” (මතෙව් 5:7; ලූක් 6:36) යෙහෝවා අනුග්‍රහයෙන් යුක්ත බව දැන සිටීම, දේශනා සේවයේදී ඇතුළුව අන් අය සමඟ කටයුතු කිරීමේදී අනුග්‍රහයෙන් යුතු වීමට හා ප්‍රියමනාපව හැසිරීමට අපව පොලඹවයි. මෙය පාවුල්ගේ උපදෙස හා බැඳී පවතී. “නුඹලා එකිනෙකාට උත්තර දිය යුත්තේ කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කතාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.”—කොලොස්සි 4:6.

12. (අ) දෙවි උදහස් වීමට ප්‍රමාද කෙනෙකු බැවින් අප අන් අය සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද? (ආ) යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව කුමක් කිරීමට අපව පොලඹවයිද?

12 දෙවි උදහස් වීමට ප්‍රමාද කෙනෙකු බැවින්, යහපත කිරීමට වූ අපේ ආශාව සෙසු ඇදහිලිවන්තයන් අතින් සිදු වන සුළු සුළු අත් වැරදි නොසලකා හැරීමටත් ඔවුන්ගේ යහපත් ගුණාංග කෙරෙහි අවධානය යොමු කිරීමටත් අපව පොලඹවයි. (මතෙව් 7:5; යාකොබ් 1:19) ඉතාම පීඩාකාරි තත්වයන් මධ්‍යයෙහි පවා පක්ෂපාත ප්‍රේමය විදහාපෑමට යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව අපව පොලඹවයි. මෙය නිසැකවම ප්‍රියමනාප දෙයකි.—හිතෝපදේශ 19:22.

13. යෙහෝවා “සැබෑකමෙන් පූර්ණ” කෙනෙක් බව පෙන්වීමට අප ක්‍රියා කළ යුත්තේ කෙසේද?

13 අපේ ස්වර්ගික පියාණන් “සැබෑකමෙන් පූර්ණ” කෙනෙක් බැවින් ‘සත්‍යතාවේ දේවසේවකයන් ලෙස [අපි අපවම] නිර්දේශ කරගැනීමට’ ප්‍රස්තා සොයන්නෙමු. (2 කොරින්ති 6:3-7, NW) යෙහෝවා පිළිකුල් කරන කාරණා හත අතරට, “බොරුකාර දිව” සහ ‘මුසා බස් නික්මවන බොරු සාක්ෂිකාරයාද’ ඇතුළත්ය. (හිතෝපදේශ 6:16-19) මෙසේ, දෙවිව සතුටු කිරීමට තිබෙන අපේ ආශාව ‘බොරු කීම අත්හැර දමා සැබෑව කතා කරන්ට’ අපව පොලඹවා ඇත. (එපීස 4:25) මේ අත්‍යවශ්‍ය අංශයෙන් යහපත්කම විදහාපෑමට අපි කිසිවිටෙකත් පසුබට නොවෙමු.

14. අප අන්‍යයන්ට සමාව දීමට කැමති විය යුත්තේ මන්ද?

14 යෙහෝවා සමාව දීමට සූදානමින් සිටින කෙනෙකු බැවින්, දෙවි මෝසෙස්ට කළ ප්‍රකාශය අන්‍යයන්ට සමාව දීමට කැමැත්තක් අප තුළ ඇති කළ යුතුය. (මතෙව් 6:14, 15) ඇත්ත වශයෙන්ම, පසුතැවිලි නොවන පව්කාරයන්ට යෙහෝවා දඬුවම් කරන්නේය. එමනිසා, අප සභාවේ ආත්මික පවිත්‍රකම පවත්වාගැනීම සම්බන්ධයෙන් දෙවිගේ යහපත්කමේ ප්‍රමිති රැකිය යුතුය.—ලෙවී කථාව 5:1; 1 කොරින්ති 5:11, 12; 1 තිමෝති 5:22.

තියුණු අවධානයෙන් සිටින්න’

15, 16. පාවුල් එපීස 5:15-19හි වාර්තා කර ඇති උපදෙස්, දිගටම යහපත්කම් කිරීමට අපට උපකාර කරන්නේ කෙසේද?

15 අප අවට තිබෙන දුෂ්ටකම් අභිභවා යහපත්කමේ ජීවිත මාර්ගයක් අප ලුහුබඳින්න නම්, දෙවිගේ ආත්මයෙන් පූර්ණ වීමත් අප ගමන් කරන්නේ කෙසේදැයි සොයා බැලීමත් අවශ්‍යය. එයට එකඟව, එපීසයේ සිටි ක්‍රිස්තියානීන්ගෙන් පාවුල් උදක්ම මෙසේ ඉල්ලා සිටියේය. “නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන [තමන් ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ තියුණු අවධානයෙන් සිට, NW] දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න. මේ නිසා, නුඹලා අනුවණයෝ නොවී, [යෙහෝවාගේ] කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න. මුද්‍රිකපානයෙන් මත් නොවන්න. එයින් අනාචාරකම් හටගන්නේය; නුමුත් [ආත්මයෙන්] පූර්ණ වී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කතා කොට, නුඹලාගේ සිත්වලින් [යෙහෝවාට] ගායනාද ගීතිකාද [කරන්න].” (එපීස 5:15-19) මේ උපදේශය මේ දුෂ්කර අවසාන දවස්වලට ඉතාම උචිතය.—2 තිමෝති 3:1.

16 අප දිගටම යහපත්කම විදහාපෙන්වීමට නම්, දිව්‍ය ප්‍රඥාවෙන් කටයුතු කරන අය මෙන් වී අප ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ තියුණු අවධානයෙන් සිටිය යුතුය. (යාකොබ් 3:17) අප බරපතළ පාපවලින් වැළකී සිටිය යුතු අතර, ශුද්ධාත්මයෙන් පිරී, එමගින් මඟ පෙන්වීම ලැබිය යුතුය. (ගලාති 5:19-25) ක්‍රිස්තියානි රැස්වීම්වලින්, එක්රැස්වීම් සහ සමුළුවලින් දෙන ආත්මික උපදෙස් අදාළ කරගැනීමෙන් අපට දිගටම යහපත්කම විදහාපෑමට හැකිය. පාවුල් එපීසවරුන්ට ලියූ දේ අපට තවදුරටත් මතක් කර දෙන්නේ නමස්කාරය සඳහා රැස් වෙන බොහෝ අවස්ථාවලදී එහි ගැයෙන “ආත්මික ගීවලින්” අප ප්‍රයෝජන ලබන බවය. ඒවායෙන් වැඩි හරියක් යහපත්කම වැනි ආත්මික ගුණාංග උලුප්පා දක්වයි.

17. බරපතළ ලෙස රෝගාතුරව සිටින ක්‍රිස්තියානීන්ගේ තත්වයන් නොකඩවාම රැස්වීම්වලට පැමිණීමෙන් ඔවුන්ව වළක්වයි නම්, එවැනි අයට කුමක් සම්බන්ධයෙන් නිසැක විය හැකිද?

17 බරපතළ නිදන්ගත රෝග නිසා ක්‍රිස්තියානි රැස්වීම්වලට නොකඩවාම පැමිණීමට නොහැකි අපේ සෙසු ඇදහිලිවන්තයන් ගැන කුමක් කිව හැකිද? ඇතැම්විට තම ආත්මික සහෝදර සහෝදරියන් සමඟ එකට එක්ව යෙහෝවාගේ නමස්කාරයේ සෑමවිටම යෙදීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ හදවත් වේදනාවෙන් පෙළෙනවා විය හැකිය. යෙහෝවාට ඔවුන්ගේ තත්වයන් තේරෙන බවත්, ඔවුන්ව ආලෝකයෙහි රඳවාගන්නා බවත් ඔවුන්ට ශුද්ධාත්මය දෙන බවත් එමෙන්ම, නොකඩවාම යහපත කිරීමට ඔවුන්ට උපකාර කරන බවත් නිසැක වීමට ඔවුන්ට පුළුවන.—යෙසායා 57:15.

18. යහපත්කමේ ජීවන රටාවක් ලුහුබැඳීමට අපට කුමක් උපකාර වේද?

18 යහපත්කමේ ජීවන රටාවක් ලුහුබඳිනවා යන්නට අයත් වන්නේ අප ආශ්‍රය කරන අය ගැන පරෙස්සම් වීමත්, ‘යහපතට ප්‍රේම නොකරන’ අයගෙන් ඉවත්ව සිටීමත්ය. (2 තිමෝති 3:2-5; 1 කොරින්ති 15:33) එවැනි උපදෙස් දෙවිගේ ශුද්ධාත්මයට විරුද්ධ දේ කර ‘දෙවිගේ ශුද්ධාත්මයට දුක් නොදී සිටීමට’ අපට උදව් වෙයි. (එපීස 4:30) තවදුරටත්, තමන්ගේ ජීවිතවලින් තමන් යහපතට ප්‍රේම කරන අය බව පෙන්වන, ශුද්ධාත්මයෙන් මඟ පෙන්වීම ලබන අය සමඟ අප කිට්ටුවෙන් ආශ්‍රය කරන විට, යහපත කිරීමට එය අපට උපකාරයක් වන්නේය.—ආමොස් 5:15; රෝම 8:14; ගලාති 5:18.

යහපත්කම හොඳ ඵල ගෙනේ

19-21. යහපත්කම විදහාපෑමෙන් ලැබුණු ප්‍රතිඵල දක්වන අද්දැකීම් කෙටියෙන් විස්තර කරන්න.

19 නපුරෙන් වැළකී ‘දිගටම යහපත කරමින් සිටීම’ සඳහා ආත්මික ආලෝකයේ ගමන් කිරීමත්, දෙවිගේ ආත්මයේ මඟ පෙන්වීමට යටත් වීමත්, අප ගමන් කරන්නේ කෙසේද කියා සෝදිසියෙන් සිටීමත් අපට උපකාරයක් වෙයි. ප්‍රතිඵලයක් හැටියට මෙමගින් හොඳ ඵල නෙළාගත හැකියි. නිදසුනක් හැටියට, දකුණු අප්‍රිකාවේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වන සොංගසීල්ගේ අද්දැකීම සලකා බලන්න. දිනක් උදෑසන ඔහු පාසැලට යන ගමන් තමන් බැංකුවේ ඉතිරි කර තිබූ සුළු මුදල පරීක්ෂා කර බැලීය. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් ලැබුණු වාර්තාව පරීක්ෂා කරද්දී වැරදීමකින් රැන්ඩ් 42,000ක (රු. 5,41,000ක් පමණ) අතිරික්තයක් එහි සඳහන්ව තිබෙනු ඔහු දුටුවේය. බැංකුවේ ආරක්ෂක නිලධාරියා ඇතුළු අනිත් අය එම මුදල ගිණුමෙන් ගෙන වෙනත් බැංකුවක තැන්පත් කරගන්නා ලෙස ඔහුට පැවසූහ. නමුත් ගිණුමෙන් එම මුදල නොගැනීම ගැන ඔහුට ප්‍රශංසා කළේ ඔහු නැවතී සිටි නිවසේ යෙහෝවාගේ සාක්ෂිකාර යුවළ පමණි.

20 ඊළඟ දවසේදී සොංගසීල් මේ අක්‍රමිකතාව ගැන බැංකුවට දැනුම් දුන්නේය. සිදුව ඇත්තේ කුමක්දැයි සොයා බලද්දී දැනගත්තේ, ඔහුගේ ගිණුම් අංකයට සමාන ගිණුම් අංකයක් ඇති ධනවත් ව්‍යාපාරිකයෙකු වැරදීමකින් තම මුදල් වැරදි ගිණුමේ තැන්පත් කර ඇති බවය. සොංගසීල් ඉන් සතයක්වත් වියදම් කර නොතිබීම ගැන පුදුමයෙන් පුදුමයට පත් ව්‍යාපාරිකයා ඔහුගෙන් මෙසේ ඇසීය. “ඔයාගේ ආගම මොකක්ද?” තමන් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු බව සොංගසීල් විස්තර කළේය. බැංකු නිලධාරීන්ද ඔහුව උණුසුම් ලෙස පැසසුමට ලක් කළ අතර, “හැමෝම යෙහෝවාගේ සාක්ෂිකරුවන් වගේ අවංක වුණා නම් කොච්චර හොඳද” යැයි පැවසීය. සැබවින්ම, අවංකකමේ සහ යහපත්කමේ ක්‍රියාවන් යෙහෝවාට ප්‍රශංසා ගෙන ඒමට අන් අයට හේතු ලබා දෙයි.—හෙබ්‍රෙව් 13:18.

21 හොඳ ප්‍රතිඵල ගෙන ඒමට යහපත්කමේ ක්‍රියා සැමවිටම විශිෂ්ට ගණයේ ඒවා විය යුතු නැත. මේ නිදසුන බලන්න. සැමෝවා දූපතක වෙසෙන පූර්ණ කාලීන සේවයේ යෙදෙන යෞවන යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් දිනක් රෝහලකට ගියේය. වෛද්‍යවරයෙකු හමුවීමට සෙනඟ පෝලිමේ සිටියහ. තමන්ට පිටුපසින් සිටි මහලු කාන්තාවක් ඉතාම රෝගී තත්වයක සිටින බව මේ සාක්ෂිකරුවාට පෙනුණි. තමාට කලින් ඇයට වෛද්‍යවරයා මුණගැසීම සඳහා ඔහු ඇයට පෝලිමේ තම ස්ථානය ලබා දුන්නේය. පසු අවස්ථාවක මේ සාක්ෂිකරුවාට වෙළඳපොළේදී මෙම මහලු කාන්තාව නැවත වරක් මුණ ගැසුණි. ඇයට ඔහුවත් රෝහලේදී ඔහු දැක්වූ කරුණාවත් මතක් වුණි. එවිට ඇය “දැන් මං දන්නවා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇත්තටම තමන්ගේ අසල්වැසියන්ට ආදරෙයි කියලා” යැයි පැවසීය. කලින් අවස්ථාවලදී රාජ්‍ය පණිවිඩයට අසංවේදීව සිටි ඇය මේ සාක්ෂිකරුවා පෙන්වූ යහපත්කමෙන් හොඳ ප්‍රතිඵල පෙන්වීය. ඇය නිවාස බයිබල් පාඩමකට කැමති වූ අතර, මෙසේ දෙවිගේ වචනය පිළිබඳ දැනුම ලබාගැනීමට පටන්ගත්තාය.

22. ‘දිගටම යහපත කරමින් සිටිය’ හැකි විශිෂ්ට ක්‍රමයක් සඳහන් කරන්න.

22 යහපත්කමේ වටිනාකම දක්වන මේ හා සමාන වෙනත් අද්දැකීම් ඔබටත් ඇති. ‘දිගටම යහපත කරමින් සිටිය’ හැකි විශිෂ්ට ක්‍රමයක් වන්නේ, දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි නොකඩවා හවුල් වීමය. (මතෙව් 24:14) මෙය, විශේෂයෙන්ම අවංක ලෙස ප්‍රතිචාරය දක්වන සියල්ලන්ටම යහපත කළ හැකි එක් මාර්ගයක් බව වටහාගෙන මේ වරප්‍රසාද ලත් වැඩයෙහි දිගටම ජ්වලිතවත්ව යෙදෙමු. මේ සියල්ලටම වඩා අපේ දේවසේවය සහ යහපත් හැසිරීම මගින් යහපත්කමේ උල්පත වන යෙහෝවාව ගෞරවයට පත් වේ.—මතෙව් 19:16, 17.

නොනවත්වාම ‘යහපත්කම් කරන්න’

23. ක්‍රිස්තියානි දේවසේවය යහපත් වැඩක් වන්නේ මන්ද?

23 අපේ දේවසේවය යහපත් වැඩක් බව අවිවාදයෙන්ම පිළිගත යුත්තකි. එහි ප්‍රතිඵලයක් හැටියට බයිබලයේ ඇති පණිවිඩයට ඇහුම්කන් දෙන අයගේත් අපේත් ගැළවීම ස්ථිර කරගත හැක. එමගින් සදාකාල ජීවනයට යන මාර්ගය වෙත අපව මඟ පෙන්වයි. (මතෙව් 7:13, 14; 1 තිමෝති 4:16) අපට තීරණ ගැනීමට සිදු වන අවස්ථාවලදී යහපත කිරීමට තිබෙන අපේ ආශාව අපෙන් මෙසේ අසාගැනීමට අපව පොලඹවාවි. ‘මේ තීරණය මගේ රාජ්‍යය දේශනා කිරීමේ වැඩයට බලපාන්නේ කොහොමද? මම ගන්න යන ක්‍රියාමාර්ගය ඥානවන්තද? අනිත් අයට “සදාකාල ශුභාරංචිය” පිළිගන්වන්නත් යෙහෝවා දෙවි සමඟ සමීප සම්බන්ධයක් ඇති කරගැනීමට උපකාර කිරීමටත් මෙය මට උදව් වෙයිද?’ (එළිදරව් 14:6) රාජ්‍යය වෙනුවෙන් බොහෝ දේවල් කිරීමට ඉඩ කඩ සලසමින් ගන්නා වූ තීරණයකින් මහත් සන්තෝෂයක් අත් කරගත හැකිය.—මතෙව් 6:33; ක්‍රියා 20:35.

24, 25. සභාව තුළ යහපත කළ හැකි සමහර විධි මොනවාද? අප නොනවත්වාම යහපත්කම විදහමින් සිටිනවා නම් කුමක් සම්බන්ධයෙන් සහතික විය හැකිද?

24 යහපත්කමේ ප්‍රයෝජන අපි කිසිදාක අවතක්සේරු නොකරමු. ක්‍රිස්තියානි සභාවේ වැඩවලට සහයෝගය දීමෙන් සහ එහි වැඩ කටයුතු බලාකියා ගැනීමෙන් හා එහි ශුභසාධනය වෙනුවෙන් දේවල් කිරීම මගින් අපට මේ ගුණාංගය නොනවත්වාම විදහාපෙන්විය හැක. අපි ක්‍රිස්තියානි රැස්වීම්වලට නොකඩවාම පැමිණීමෙන් සහ සහභාගි වීම මගින්ද නිසැකවම යහපත කරන්නෙමු. රැස්වීම්වලට පැමිණ සිටීමෙන්ම අපේ සෙසු නමස්කාරකයන්ව දිරිගැන්වෙන අතර, හොඳින් සූදානම් වී ඉදිරිපත් කරන අදහස් එකිනෙකාව ආත්මිකව ගොඩනංවනු ඇත. රාජ්‍ය ශාලාවල නඩත්තුව සඳහාත් ඒවා බලාගැනීමටත් අපේ සම්පත් යෙදවීමෙන්ද අපි යහපත කරන්නෙමු. (2 රාජාවලිය 22:3-7; 2 කොරින්ති 9:6, 7) මෙසේ, “අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට යහපත්කම් කරමු.”—ගලාති 6:10.

25 යහපත්කම විදහාපෑමට කොයි මොහොතක මොන වගේ ප්‍රස්තා උදා වේද කියා සිතාගැනීම දුෂ්කරය. කෙසේවෙතත්, අපි අලුත් අභියෝගවලට මුහුණ දෙද්දී, දේවවචනය තුළින් ඥානාලෝකය ලබාගනිමු. යෙහෝවාගේ ශුද්ධාත්මය ඉල්ලා යාච්ඤා කරමු. ඔහුගේ යහපත් සහ සම්පූර්ණ කැමැත්ත ඉටු කිරීම සඳහා අපේ උපරිමය කරමු. (රෝම 2:9, 10; 12:2) අපි නොනවත්වාම යහපත්කම විදහමින් සිටින විට, යෙහෝවා බොහෝ සේ අපට ආශීර්වාද කරන බවටද සහතික වෙමු.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• අපට කළ හැකි ලොකුම යහපත ඉටු කළ හැක්කේ කෙසේද?

• යහපත්කම ‘ආලෝකයේ ඵලයකැයි’ කියන්නේ මන්ද?

• යහපත්කම ‘ශුද්ධාත්මයේ ඵලයකැයි’ කියන්නේ මන්ද?

• අපේ යහපත් හැසිරීමෙන් ඇති වන බලපෑම කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ පින්තූරය]

දෙවිගේ වචනයත් ඔහුගේ ශුද්ධාත්මයත් යහපත්කම විදහාපෑමට අපට උපකාර කරයි

[18වන පිටුවේ පින්තූර]

යහපත්කම හොඳ ඵල ගෙනේ