Skip to content

පටුනට යන්න

යෙහෝවා යහපත්කමේ පරමාදර්ශය

යෙහෝවා යහපත්කමේ පරමාදර්ශය

යෙහෝවා යහපත්කමේ පරමාදර්ශය

“සේනාවල යෙහෝවා පසසන්න. මන්ද යෙහෝවා යහපත්ය!”—යෙරෙමියා 33:11, NW.

1. දෙවිගේ යහපත්කම සම්බන්ධයෙන් ඔහුට ප්‍රශංසා කිරීමට අප පෙලඹී ඇත්තේ මන්ද?

 යෙහෝවා දෙවි හැම අතින්ම යහපත්ය. ‘ඔහුගේ යහපත්කම කොපමණ මහත්ද!’ කියා ප්‍රොපේත සෙකරියා හඬගා කීය. (සෙකරියා 9:17) මිහිතලය අපේ ආස්වාදය පිණිස සකස් කිරීමේදී ඔහු කළ සෑම දෙයකින්ම ඔහුගේ යහපත්කම පිළිබිඹු වේ. (උත්පත්ති 1:31) දෙවි විශ්වය මවද්දී, එහි ක්‍රියාකාරිත්වය සඳහා යොදාගත් සෑම සංකීර්ණ නීතියක්ම වටහාගැනීමට කිසිමදාක අපේ මනසට නොහැකි වනු ඇත. (දේශනාකාරයා 3:11; 8:17) එහෙත්, විශ්වය ගැන අපේ අල්ප දැනුම දෙවිගේ යහපත්කම ගැන ප්‍රශංසා කිරීමට අපව පොලඹවයි.

2. ඔබ යහපත්කම නිර්වචනය කරන්නේ කෙසේද?

2 යහපත්කම යනු කුමක්ද? සදාචාරයෙන් උත්කෘෂ්ටබව හෝ සුචරිතවත් බවයි. නමුත් එය සෑම නපුරකින්ම වැළකීමට වඩා වැඩි යමකි. යහපත්කම කියන්නේ ශුද්ධාත්මයේ ඵලවලින් එකකි. එය ක්‍රියාශීලී, ඒකාන්ත ගුණාංගයකි. (ගලාති 5:22, 23) අපි අනිත් අය වෙනුවෙන් හොඳ සහ ප්‍රයෝජනවත් දේවල් කර දෙද්දී යහපත්කම විදහාපාන්නෙමු. මේ ලෝක ක්‍රමය තුළ, එක් සමාජ කවයක සිටින කෙනෙකුට යහපත් දෙයක් තවත් එකක සිටින කෙනෙකුට නරක දෙයක් වන්ට පුළුවන. නමුත් අප සාමය සහ සන්තෝෂය භුක්ති විඳින්ට නම්, යහපත්කම පිළිබඳ එක ප්‍රමිතියක් තිබිය යුතුය. නිශ්චිතවම එවැනි ප්‍රමිතියක් පිහිටුවිය හැක්කේ කාටද?

3. යහපත්කම පිළිබඳ ප්‍රමිතිය ගැන උත්පත්ති 2:16, 17හි අඟවන්නේ කුමක්ද?

3 යහපත්කම පිළිබඳ ප්‍රමිතිය නියම කරන්නේ දෙවිය. මිනිස් ඉතිහාසයේ ආරම්භයේදී “නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය” කියා මුල්ම මනුෂ්‍යයාට ආඥා කළේ යෙහෝවාය. (උත්පත්ති 2:16, 17) සැබවින්ම, යහපත සහ නපුර පිළිබඳ දැනුම ලබාගැනීමට මනුෂ්‍යවර්ගයා තම මැවුම්කරු දෙස බැලිය යුතුමය.

ලබන්ට නොවටිනා වූ යහපත්කමේ නිරූපණය

4. ආදම් පව් කළ දා සිට යෙහෝවා මිනිසා වෙනුවෙන් කර තිබෙන්නේ කුමක්ද?

4 ආදම් පව් කර, යහපත්කම පිළිබඳ ප්‍රමිති නියම කිරීමට යෙහෝවාට ඇති අයිතිය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ විට, මිනිසාට පරිපූර්ණව සතුටින් සදහටම ජීවත් වීමට තිබූ අපේක්ෂාව තර්ජනයට ලක් විය. (උත්පත්ති 3:1-6) කෙසේවෙතත්, පාපයේ සහ මරණයේ උරුමක්කාරයන් වූ ආදම්ගේ දරුවන් ඉපදීමටත් පෙර, පරිපූර්ණ වංශයක පැමිණීම ගැන දෙවි පුරෝකථනය කළේය. සාතන් නමැති යක්ෂයා වන ඒ ‘පුරාණ සර්පයාව’ කෙළින්ම අමතමින් යෙහෝවා මෙසේ ප්‍රකාශ කළේය. “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේය. තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.” (එළිදරව් 12:9; උත්පත්ති 3:15) පව්කාර මිනිසාව පාපයෙන් මුදවාගැනීම සඳහා යෙහෝවාගේ අරමුණ වූයේ එයයි. යෙහෝවා මිනිසාට මෙම ලබන්ට නොවටිනා වූ යහපත්කම විදහාපෑවේ, තම ආදරණීය පුත්‍රයාගේ මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල දක්වන අයට ගැළවීම ලබා දීම සඳහායි.—මතෙව් 20:28; රෝම 5:8, 12.

5. නපුරට නැඹුරුවාවක් උරුම කරගෙන සිටියත්, අපට යම් ප්‍රමාණයකට හෝ යහපත්කම පෙන්විය හැක්කේ මන්ද?

5 ආදම්ගේ පාපය නිසා, අප නපුරට නැඹුරුවාවක් උරුම කරගෙන සිටිනවා යන්න කියන්ට දෙයක් නොවේ. (උත්පත්ති 8:21) එහෙත්, ප්‍රීතියට හේතුවක් වන්නේ යම් ප්‍රමාණයකට හෝ යහපත්කම පෙන්වීමට යෙහෝවා අපට උදව් කිරීමයි. දෙවිගේ අනර්ඝ ලියවිල්ලෙන් ඉගෙනගත් දේවල දිගින් දිගටම නියැලීම, ‘ගැළවීම අත් කරගැනීම සඳහා අපට ප්‍රඥාව ලබා දෙන’ අතර ‘සියලු යහපත් ක්‍රියාවලට අපව සූදානම්’ කරවයි. එපමණක්ද නොව, දෙවිගේ ඇස් ඉදිරියේ යහපත කිරීමටත් අපට හැකි කරවයි. (2 තිමෝති 3:14-16) එහෙත්, ශුද්ධ ලියවිලිමය උපදෙස්වලින් ප්‍රයෝජන ලැබීමට සහ යහපත්කම විදහාපෑමට නම්, මෙසේ ගයන ගීතිකාකරුවාගේ ආකල්පය අපටත් තිබිය යුතුය. ‘ඔබ [යෙහෝවා] යහපත්ය, යහපත කරන්නේය. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.’—ගීතාවලිය 119:68.

යෙහෝවාගේ යහපත්කම වර්ණනා කෙරේ

6. දාවිත් රජ ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනා පසු, ලෙවීවරුන් ගැයූ ගීතිකාවේ විශේෂ කොටස කුමක්ද?

6 පුරාණයේ විසූ දාවිත් රජ දෙවිගේ යහපත්කම ගැන දැන සිටි අතර, ඔහුගේ මඟ පෙන්වීම සෙවීය. ‘යෙහෝවා යහපත්ය, අවංකය. ඔහු පව්කාරයන්ට මාර්ගය උගන්වන්නේ ඒ නිසාය’ කියා දාවිත් පැවසීය. (ගීතාවලිය 25:8) ඉශ්‍රායෙල්වරුන්ට දුන් දිව්‍ය උපදෙස් අතරට දස පනත නමැති වැදගත් නීති දසයද ඇතුළත් විය. ඒවා ලියා තිබුණේ ගල් පුවරු දෙකකය. එම පුවරු ගිවිසුම් පෙට්ටිය නමැති පරිශුද්ධ පෙට්ටියේ සුරක්ෂිතව තිබුණි. දාවිත් ඉශ්‍රායෙල්හි අගනුවරට ගිවිසුම් පෙට්ටිය ගෙනා පසු, ලෙවීවරු මෙසේ ගැයූහ. “සෙනඟෙනි, යෙහෝවාට ස්තුති කරන්න. මක්නිසාද ඔහු යහපත්ය. ඔහුගේ ප්‍රේමනීය කරුණාව සදාකල් පවතින්නේය.” (1 ලේකම් 16:34, 37-41, NW) ලෙවී ගීතිකාකරුවන්ගේ මුවින් එවන් වචන පිටවීම මොනතරම් ප්‍රියජනක දෙයක් වන්ට ඇද්ද!

7. ගිවිසුම් පෙට්ටිය අතිශුද්ධස්ථානයට ගෙනා පසුත්, සාලමොන් කැප කිරීමේ යාච්ඤාව නිම කළ පසුත් සිදු වූයේ කුමක්ද?

7 දාවිත්ගේ පුත් සාලමොන් යෙහෝවාගේ දේවමාළිගාව කැප කළ අවස්ථාවේදී, එම ප්‍රශංසාත්මක වචනම කාවද්දනු ලැබීය. අලුතෙන් සෑදූ දේවමාළිගාවේ අතිශුද්ධස්ථානය තුළ ගිවිසුම් පෙට්ටිය තැන්පත් කළ පසු, ලෙවීවරු යෙහෝවාව පසසන්ට පටන්ගත්හ. ඔවුහු මෙසේ කීහ. “මක්නිසාද ඔහු යහපත්ය. ඔහුගේ ප්‍රේමනීය කරුණාව සදාකල් පවතින්නේය.” ඒ මොහොතේම, යෙහෝවාගේ තේජාන්විත පැමිණ සිටීම සංකේතවත් කරමින් දේවමාළිගාව වලාපටලයකින් වැසී ගියේය. (2 ලේකම් 5:13, 14, NW) සාලමොන් කැප කිරීමේ යාච්ඤාව නිම කළ විට “අහසින් ගිනි බැස ඇවිත් දවන පූජාවද යාගයන්ද දවා දැම්මේය.” මෙය දුටු විගස, ‘සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගල් අතුළ බිමට තමුන්ගේ මුහුණු නමා නමස්කාර කොට, මක්නිසාද ඔහු යහපත්ය. ඔහුගේ කරුණාව [ප්‍රේමනීය කරුණාව, NW] සදාකල් පවතින්නේය කියමින් යෙහෝවාට ස්තුති කළෝය.’ (2 ලේකම් 7:1-3) ඉශ්‍රායෙල් සෙනඟ දවස් දහහතරක මංගල්‍යයකින් පසු, ‘යෙහෝවා දාවිත්ටත් සාලමොන්ටත් තමන්ගේ සෙනඟ වූ ඉශ්‍රායෙල්ටත් කළ යහපත ගැන ප්‍රීතිව සන්තෝෂ සිතින්’ තම තමුන්ගේ නිවෙස්වලට හැරී ගියෝය.—2 ලේකම් 7:10.

8, 9. (අ) ඉශ්‍රායෙල්වරුන් යෙහෝවාගේ යහපත්කම ගැන ප්‍රශංසා කළත්, ඔවුන් ලුහුබැන්දේ කිනම් ජීවන රටාවක්ද? (ආ) යෙරුසලම ගැන යෙරෙමියා තුළින් පුරෝකථනය කළේ කුමක්ද? එම අනාවැකිය ඉටු වූයේ කෙසේද?

8 කනගාටුදායක ලෙස ඉශ්‍රායෙල්වරු දෙවිට කළ ප්‍රශංසා ගීතිකාවලට එකඟව ජීවත් නොවූහ. කාලයාගේ ඇවෑමෙන් යූදා සෙනඟ ‘යෙහෝවාට තොල්වලින් පමණක් ගෞරව’ කළෝය. (යෙසායා 29:13, NW) යහපත්කම පිළිබඳ දෙවිගේ ප්‍රමිතිවලට අනුකූල වනවා වෙනුවට, ඔවුහු වැරදි ක්‍රියා කරන්ට පටන්ගත්හ. ඔවුන් කළ වැරදි ක්‍රියා මොනවාද? ඔවුහු රූප වන්දනාව, දුරාචාරය, දිළිඳුන්ව පෙළීම සහ වෙනත් බරපතළ පව් රාශියක් සම්බන්ධයෙන් වරදකරුවෝ වූහ. ප්‍රතිඵලයක් හැටියට, යෙරුසලම විනාශ වූ අතර, යූදාහි වැසියන්ව පො.යු.පෙ. 607දී බබිලෝනියේ වහල්භාවයට ගෙනයනු ලැබීය.

9 මෙසේ දෙවි තම සෙනඟව හික්මවීය. කෙසේවෙතත්, “සේනාවල යෙහෝවා පසසන්න. මන්ද යෙහෝවා යහපත්ය. ඔහුගේ ප්‍රේමනීය කරුණාව සදාකල් පවතින්නේය” යන හඬ යෙරුසලම පුරා ඇසෙන බව අනාගතවක්තෘ යෙරෙමියා තුළින් දෙවි පුරෝකථනය කළේය. (යෙරෙමියා 33:10, 11, NW) එය ඒ ආකාරයෙන්ම සිදු විය. දේශය අවුරුදු 70ක පාළුවීමකින් පසු, පො.යු.පෙ. 537දී ඉතිරි වූ යුදෙව්වන් කණ්ඩායමක් නැවතත් යෙරුසලමට පැමිණියහ. (යෙරෙමියා 25:11; දානියෙල් 9:1, 2) ඔවුහු මොරියා කන්දේ පිහිටි දේවමාළිගා ප්‍රදේශයේ පූජාසනයක් තනා පූජා ඔප්පු කිරීමට පටන්ගත්හ. නැවත පැමිණීමේ ඔවුන්ගේ දෙවෙනි අවුරුද්දේදී ඔවුහු දේවමාළිගාවේ අත්තිවාරම දැමූහ. එය මොනතරම් උද්වේගකර කාලයක් වීද! එස්රා ඒ ගැන මෙසේ කියයි. “ගොඩනඟන්නෝ [යෙහෝවාගේ] මාළිගාවේ අත්තිවාරම දමන කල ඉශ්‍රායෙල්හි රජ වූ දාවිත්ගේ පිළිවෙළේ හැටියට [යෙහෝවාට] ප්‍රශංසා කරන පිණිස පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇතුවද ආසාප්ගේ පුත්‍රයෝ වන ලෙවීවරු අත්තල් ඇතුවද සිටගත්තෝය. ඔවුහු [යෙහෝවාට] ස්තුති ප්‍රශංසා කරමින්: [ඔහු] යහපත්ය, මක්නිසාද ඉශ්‍රායෙල් කෙරෙහි [ඔහුගේ] කරුණාව [ප්‍රේමනීය කරුණාව, NW] සදාකල්ම පවතින්නේය කියා ඔවුනොවුන් ගී කීවෝය.”—එස්රා 3:1-11.

10. ගීතාවලිය 118 පටන්ගන්නේත් අවසන් වන්නේත් කිනම් විශිෂ්ට වචනවලින්ද?

10 ගීතාවලියේ ගීතිකා ගණනාවකම යෙහෝවාගේ යහපත්කම ගැන කියැවෙන එවන් ප්‍රශංසාත්මක කියමන් සඳහන් වේ. ඉශ්‍රායෙල්වරුන් පාස්කුව පැවැත්වූ විට ගැයූ ගීතාවලියේ 118වන ගීතිකාව ඒ අතර වේ. එම ගීතිකාව පටන්ගන්නේත් අවසන් වන්නේත් මේ වචනවලිනි. “යෙහෝවාට ස්තුති කරන්න. මක්නිසාද ඔහු යහපත්ය. ඔහුගේ ප්‍රේමනීය කරුණාව සදාකල් පවතින්නේය.” (ගීතාවලිය 118:1, 29, NW) යේසුස් පො.යු. 33 තම මරණයට පෙර රාත්‍රියේදී ඔහුගේ ඇදහිලිවන්ත ප්‍රේරිතයන් සමඟ ගායනා කළ අවසාන ප්‍රශංසා ගීතයේ වචනද මේවාම වූවා විය හැකිය.—මතෙව් 26:30.

“අනේ ඔබගේ තේජස මට පෙන්නුව මැනව”

11, 12. දෙවිගේ තේජසේ අංශු මාත්‍රයක් පමණක් දකින අතරතුර මෝසෙස්ට ඇසුණු ප්‍රකාශය කුමක්ද?

11 යෙහෝවාගේ යහපත්කම සහ ඔහුගේ ප්‍රේමනීය කරුණාව අතර ඇති සම්බන්ධය මුලින්ම ගෙනහැර පෑවේ එස්රාගේ කාලයටත් සියවස් ගණනාවකට කලිනි. ඉශ්‍රායෙල්වරුන් කාන්තාරයේදී රන් වස්සාට නමස්කාර කිරීමෙන් හා එහි වැරදිකරුවන්ව මරණයට පත් කිරීමෙන් වැඩි කල් යන්ට මත්තෙන් මෝසෙස් යෙහෝවාට මෙසේ කන්නලව් කළේය. “අනේ ඔබගේ තේජස මට පෙන්නුව මැනව.” තම මුහුණ දුටුවහොත් මෝසෙස් ජීවත් නොවන බව තේරුම්ගත් යෙහෝවා ඔහුට මෙසේ කීවේය. “මම මාගේ යහපත්කම සම්පූර්ණයෙන්ම දකින්ට සලස්වන්නෙමි [NW].”—නික්මයාම 33:13-20.

12 ඊළඟ දවසේදී සීනයි කන්දේ සිටියදී යෙහෝවා මෝසෙස්ගේ මුහුණ ඉදිරියෙන් තම යහපත්කම යන්ට සැලැස්වූයේය. ඒ අවස්ථාවේදී, මෝසෙස්ට යෙහෝවාගේ තේජසින් දැකගත හැකි වූයේ අංශු මාත්‍රයක් පමණකි. ඒ සමඟම මෙම ප්‍රකාශයද ඔහුට ඇසුණි. “යෙහෝවා, යෙහෝවා, ඔහු දයාබරිත වූ, අනුග්‍රහයෙන් යුක්ත වූ, උදහස් වීමට ප්‍රමාද වන්නාවූ ප්‍රේමනීය කරුණාවෙන් සහ සැබෑකමෙන් පූර්ණ වූ දෙවි කෙනෙක්ය. ඔහු දහස් ගණනකට ප්‍රේමනීය කරුණාව පවත්වන්නේය. අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමා කරන්නේය. වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරන්නේය. තුන්වෙනි සතරවෙනි පරම්පරාව දක්වා දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන ප්‍රතිඵල දෙන්නේය.” (නික්මයාම 34:6, 7, NW) මේ වචනවලින් යොමු දක්වන්නේ, යෙහෝවාගේ යහපත්කම ඔහුගේ ප්‍රේමනීය කරුණාව සමඟ මෙන්ම ඔහුගේ පෞද්ගලිකත්වයේ වෙනකුත් පැති සමඟ බැඳී තිබෙන බවයි. මේ දේවල් සලකා බැලීම යහපත්කම විදහාපෑම සඳහා අපට උපකාරවත් වන්නේය. දැන් අපි දෙවිගේ යහපත්කමේ මෙම පුදුමාකාර ප්‍රකාශයේ දෙවතාවක්ම සඳහන් කර ඇති ගුණාංගය විමසුමට ලක් කරමු.

‘ප්‍රේමනීය කරුණාවෙන් පූර්ණ දෙවි කෙනෙකි’

13. දෙවිගේ යහපත්කම ගැන කෙරෙන ප්‍රකාශය තුළ දෙවතාවක් සඳහන් කර ඇති ගුණාංගය කුමක්ද? එසේ සඳහන් කිරීම උචිත වන්නේ මන්ද?

13 ‘යෙහෝවා . . . ප්‍රේමනීය කරුණාවෙන් පූර්ණ . . . දහස් ගණනකට ප්‍රේමනීය කරුණාව පවත්වන . . . දෙවි කෙනෙකි.’ “ප්‍රේමනීය කරුණාව” හැටියට පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයෙන් “පක්ෂපාත ප්‍රේමය” යන්නද අදහස් වේ. දෙවි මෝසෙස්ට කළ ප්‍රකාශයේ දෙවතාවක්ම සඳහන් කර තිබෙන්නේ එම ගුණාංගය පමණයි. යෙහෝවාගේ ප්‍රධාන ගුණාංගය ප්‍රේමය බැවින් එය කොතරම් උචිත දෙයක්ද! (1 යොහන් 4:8) “මක්නිසාද ඔහු යහපත්ය. ඔහුගේ ප්‍රේමනීය කරුණාව සදාකල් පවතින්නේය” යන යෙහෝවාට තුති ප්‍රශංසා කිරීම සඳහා යොදාගැනෙන ප්‍රකාශයෙහිද මේ ගුණාංගය උලුප්පා දක්වයි.

14. දෙවිගේ යහපත්කම සහ ප්‍රේමනීය කරුණාව විශේෂයෙන්ම භුක්ති විඳින්නේ කවුරුන්ද?

14 ‘ප්‍රේමනීය කරුණාවෙන් පූර්ණකම’ යෙහෝවාගේ යහපත්කමේ එක් ප්‍රකාශනයකි. යෙහෝවා තමන්ගේ කැප වූ ඇදහිලිවන්ත මිනිස් සේවකයන් කෙරෙහි දක්වන මුදු මොළොක් සැලකිල්ල දෙස බලද්දී මෙය මනාව පැහැදිලි වේ. (1 පේතෘස් 5:6, 7) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සැබෑ අද්දැකීම්වලින් පැහැදිලි වන ලෙස, යෙහෝවා තමන්ට ආදරය කරන සහ සේවය කරන අය කෙරෙහි ‘ප්‍රේමනීය කරුණාව පවත්වයි.’ (නික්මයාම 20:6, NW) ස්වාභාවික ඉශ්‍රායෙල් ජාතිය යෙහෝවාගේ පුත්‍රයාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුගේ ප්‍රේමනීය කරුණාව නැතහොත් පක්ෂපාත ප්‍රේමය අත් විඳීමේ ප්‍රස්තාව නැති කරගත්හ. එහෙත්, සියලු ජාතීන්ට අයත් ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ට දෙවි යහපත්කමත් පක්ෂපාත ප්‍රේමයත් සදාකල්ම පෙන්වනු ඇත. —යොහන් 3:36.

යෙහෝවා—දයාබරිතය, අනුග්‍රහයෙන් යුක්තය

15. (අ) සීනයි කන්දේදී මෝසෙස්ට ඇසුණු ප්‍රකාශය ඇරඹුණේ කිනම් ආකාරයටද? (ආ) දයාව යන්නට ඇතුළත් වන්නේ කුමක්ද?

15 සීනයි කන්දේදී මෝසෙස්ට ඇසුණු ප්‍රකාශය ඇරඹුණේ මෙසේය. ‘යෙහෝවා, යෙහෝවා, ඔහු දයාබරිත වූ, අනුග්‍රහයෙන් යුක්තවූ දෙවි කෙනෙක්ය.’ ‘දයාව’ ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය “බඩවැල්වලට” යොමු දක්වනවා විය හැකිය. එම වචනය “ගර්භාශය” යන වදන සමඟද ඉතාම සමීපව බැඳී පවතී. එමනිසා, දයාව යන්නට කෙනෙකුගේ හද ගැබේ අභ්‍යන්තරයේ ඇති මුදු මොළොක් දයානුකම්පාව ඇතුළත් වේ. එහෙත්, දයාව යන්නට සැබෑ අනුකම්පාවට වඩා වැඩි යමක්ද අයත්ය. එය අපව අනිත් තැනැත්තා විඳින වේදනාවෙන් බේරාගෙන ඔහුට සහනයක් ලබා දීමට පෙලඹවිය යුතුය. උදාහරණයක් හැටියට, සෙසු ඇදහිලිවන්තයන්ට දයාව දැක්වීමේ අවශ්‍යතාව දකින ප්‍රේමනීය ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ, සුදුසු අවස්ථාවලදී “සතුටින් යුතුව දයාව පෙන්වති.”—රෝම 12:8, NW; යාකොබ් 2:13; යූද් 22, 23.

16. යෙහෝවා අනුග්‍රහයෙන් යුතු දෙවි කෙනෙකැයි අප කියන්නේ මන්ද?

16 දෙවිගේ යහපත්කම ඔහුගේ අනුග්‍රහයෙන්ද පිළිබිඹු වේ. “අනිකෙකුගේ හැඟීම් ගැන සැලකිලිමත් වීම” අනුග්‍රහයෙන් යුතු කෙනෙකුගේ “ප්‍රධාන ලක්ෂණයකි.” එවන් කෙනෙක් විශේෂයෙන්ම ‘තමන්ට වඩා පහත් අයට වුවත් සිත් ඇදගන්නාසුලු කරුණා ගුණයක්’ විදහාපායි. තම ඇදහිලිවන්ත සේවකයන් සමඟ අනුග්‍රහයෙන් යුතුව කටයුතු කිරීම සම්බන්ධයෙන් උතුම්ම ආදර්ශය සපයන්නේ යෙහෝවාය. උදාහරණයක් හැටියට, දේවදූතයන් මාර්ගයෙන් දෙවි අනුග්‍රහයෙන් යුතුව මහලු දානියෙල්ව ශක්තිමත් කළ අතර, යේසුස්ව බිහි කිරීමේ වරප්‍රසාදය මරියා නමැති තරුණියට ලබා දෙන බවද දැන්වීය. (දානියෙල් 10:19; ලූක් 1:26-38) දෙවි තම වචනය තුළින් අනුග්‍රහයෙන් යුතුව අපට අයදින ආකාරය වෙත යෙහෝවාගේ සෙනඟ හැටියට අප ආකර්ෂණය වන බව අමුතුවෙන් කිව යුතු නැත. ඔහුගේ යහපත්කමේ මෙම විදහාපෑම ගැන අප ඔහුට ප්‍රශංසා කරන අතර, අනිත් අය සමඟ කටයුතු කරද්දී අනුග්‍රහය දැක්වීමටද මං සොයන්නෙමු. ආත්මික සුදුසුකම් ඇති අය “මෘදුකමේ ආත්මයෙන් යුක්තව” සෙසු ඇදහිලිවන්තයෙකුව යළි සකස් කිරීමේදී, මුදු මොළොක් මෙන්ම අනුග්‍රහයෙන් යුක්ත වීමට උත්සාහ කරති.—ගලාති 6:1.

උදහස් වීමට ප්‍රමාද වන්නා වූ දෙවි කෙනෙකි

17. යෙහෝවා ‘උදහස් වීමට ප්‍රමාද වීම’ ගැන අප කෘතඥපූර්වක විය යුත්තේ මන්ද?

17 ‘උදහස් වීමට ප්‍රමාද වන්නාවූ දෙවි කෙනෙකි.’ එම වචන දෙවිගේ යහපත්කමේ තවත් පැත්තක් ගෙනහැර පායි. යෙහෝවා අප එක් එක්කෙනාගේ අඩුපාඩුකම් ඉවසමින්, බරපතළ දුර්වලකම් ජයගැනීමටත්, ආත්මික ප්‍රගතියක් ලැබීමටත් කාලය දෙන්නේය. (හෙබ්‍රෙව් 5:12–6:3; යාකොබ් 5:14, 15) තවම දෙවිගේ නමස්කාරකයන් නොවන අයටත් ඔහුගේ ඉවසිලිවන්තකමෙන් ප්‍රයෝජන තිබේ. රාජ්‍ය පණිවිඩයට ප්‍රතිචාරය දක්වා පසුතැවිලි වීමට ඔවුන්ට තවම අවස්ථාව ඇත. (රෝම 2:4) යෙහෝවා ඉවසිලිවන්ත දෙවි කෙනෙක් වුවත්, ඔහුගේ යහපත්කම ඇතැම් අවස්ථාවලදී ඔහුගේ උදහස ප්‍රකාශ කිරීමට හේතුවක් වී තිබේ. මෝසෙස් සීනයි කන්දේ සිටියදී ඉශ්‍රායෙල්වරුන් රන් වස්සෙකුට නමස්කාර කිරීම එවන් අවස්ථාවකි. සාතන්ගේ දුෂ්ට ක්‍රමයට අවසානයක් ගෙනෙන විට දෙවිගේ උදහස ඊට වඩා ප්‍රබල ආකාරයට ඇවිළෙණු ඇත.—එසකියෙල් 38:19, 21-23.

18. සැබෑව කතා කිරීම සම්බන්ධයෙන්, යෙහෝවා සහ මිනිස් පාලකයන් අතර ඇති වෙනස කුමක්ද?

18 ‘යෙහෝවා සැබෑකමෙන් පූර්ණ දෙවි කෙනෙකි.’ මිනිස් පාලකයන්ට වඩා යෙහෝවා මොනතරම් වෙනස්ද! මහ බරපතළ පොරොන්දු දුන්නාට ඒවා ඉෂ්ට කිරීමට ඔවුන්ට හැකියාවක් නැත. එහෙත්, යෙහෝවා එසේ නොවෙයි. ඔහුගේ ආනුභාවයෙන් ලියැවුණු බයිබලයේ ඔහු කියා ඇති සෑම දෙයක් කෙරෙහිම විශ්වාසය තබන්ට ඔහුගේ නමස්කාරකයන්ට හැකියි. දෙවි සැබෑකමෙන් පූර්ණ බැවින් ඔහුගේ පොරොන්දු ගැන සෑමවිටම අපට විශ්වාසය තැබිය හැකියි. අපේ ස්වර්ගීය පියාණන්ගේ යහපත්කම හේතුවෙන් සැබෑකම නොහොත් සත්‍යය පිළිබඳ ආත්මික දැනුම ලබාගැනීම උදෙසා කෙරෙන අපේ යාච්ඤාවලට ඔහු නොවරදවාම කන් දෙමින් එම අවබෝධය බහුල වශයෙන් සපයන්නේය.—ගීතාවලිය 43:3; 65:2.

19. පසුතැවිලි වන පව්කාරයන්ට යෙහෝවා පෙන්වන යහපත්කමේ විශිෂ්ට විදහාපෑම කුමක්ද?

19 ‘යෙහෝවා අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමා කරන දෙවි කෙනෙකි.’ තම යහපත්කම නිසාම පසුතැවිලි වන පව්කාරයන්ට සමාව දීමට යෙහෝවා සූදානමින් සිටින්නේය. අපේ ප්‍රේමනීය ස්වර්ගීය පියාණන් යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් සමාව ලබාගැනීමේ විධිවිධානය සපයා තිබීම ගැන අපි මහත් සේ කෘතඥපූර්වක වන්නෙමු. (1 යොහන් 2:1, 2) මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල පවත්වමින් සිටින සියලුදෙනාටම පොරොන්දු වී තිබෙන නව ලෝකය තුළ නිමක් නැති ජීවිතයක් පිළිබඳ අපේක්ෂාව ඇතුව යෙහෝවා සමඟ අනුමැතිය ලත් සබඳතාවක් භුක්ති විඳීමට හැකිය යන කාරණය ගැන අපි ඇත්තටම සතුටු වන්නෙමු. මිනිසා කෙරෙහි යෙහෝවා පෙන්වන යහපත්කම ඔහුට ප්‍රශංසා කිරීමට කොතරම් විශිෂ්ට හේතුවක්ද!—2 පේතෘස් 3:13.

20. දෙවි කිසිම නරක ක්‍රියාවක් නොසලකා නොහරින බවට ඇති සාක්ෂිය කුමක්ද?

20 ‘යෙහෝවා වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරන්නේය.’ යෙහෝවාගේ යහපත්කම පැසසීමට තවත් හේතුවකි මෙය. ඒ මන්ද? යහපත්කමේ වැදගත්ම අංගයක් වන්නේ කොයිම ආකාරයකින්වත් නරක ක්‍රියාවක් නොසලකා නොහැරීමයි. තවදුරටත්, ‘ස්වාමි වූ යේසුස් තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමඟ ස්වර්ගයෙන් එළිදරව් වන කල, දෙවිව නාඳුනන්නන්ටත් ශුභාරංචියට කීකරු නොවන්නන්ටත්’ විරුද්ධව උදහස වගුරුවන්නේය. මෙසේ ඔවුහු “සදාකාල විනාශයේ දඬුවම විඳින්නෝය.” (2 තෙසලෝනික 1:6-10) ඉතුරු වන යෙහෝවාගේ නමස්කාරකයන්ට, ‘යහපතට ප්‍රේම නොකරන’ අභක්තිකයන්ගේ හිංසාවට ගොදුරු නොවී ජීවිතය සහමුලින්ම භුක්ති විඳීමට හැකි වනු ඇත.—2 තිමෝති 3:1-3.

යෙහෝවාගේ යහපත්කම අනුකරණය කරමු

21. අප යහපත්කම විදහාපෑ යුත්තේ මන්ද?

21 යෙහෝවාගේ යහපත්කම ගැන ප්‍රශංසා කිරීමටත් ස්තුති කිරීමටත් අපට අප්‍රමාණ හේතු ඇති බව නිසැකයි. ඔහුගේ සේවකයන් හැටියට, මේ ගුණාංග විදහාපෑමට අප අපේ උපරිමය කළ යුතු නොවේද? නිසැකවම! ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට උදක්ම කියා සිටියේ, ‘නුඹලා ප්‍රිය දරුවන් මෙන් දෙවි අනුව යන්නෝ වෙන්න’ කියාය. (එපීස 5:1) අපේ ස්වර්ගික පියාණන් සෑමවිටම යහපත්කම විදහාපාන්නේය. එබැවින් අපත් එසේ කළ යුතුය.

22. ඊළඟ ලිපියේදී අප සලකා බලන්නේ කුමක්ද?

22 අපි යෙහෝවාට හද පත්ලෙන්ම කැප වී සිටින්නෙමු නම්, ඔහුගේ යහපත්කම අනුකරණය කිරීමට අප මහත් ආශාවකින් සිටින බව සහතිකයි. අප පව්කාර ආදම්ගෙන් පැවතෙන්නන් බැවින් යහපත්යැයි කියන දේ කිරීම පහසු දෙයක් නොවෙයි. කෙසේවෙතත්, ඊළඟ ලිපියේදී අප සලකා බලන්නේ යහපත්කම විදහාපෑමට අපට හැක්කේ ඇයි යන කාරණයයි. තවදුරටත්, යහපත්කමේ පරමාදර්ශය වන යෙහෝවාව අනුකරණය කිරීමට අපට හැකි ක්‍රම මෙන්ම එය කළ යුතු විවිධ ආකාරත් එහිදී අපි සලකා බලන්නෙමු.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• යහපත්කම යනු කුමක්ද?

• දෙවිගේ යහපත්කම කාවද්දන ශුද්ධ ලියවිලි ප්‍රකාශය කුමක්ද?

• යෙහෝවාගේ යහපත්කම ප්‍රකාශ වන ආකාර සමහරක් මොනවාද?

• අප යෙහෝවාගේ යහපත්කමේ ආදර්ශය අනුකරණය කළ යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ පුරාණ සෙනඟ ඔවුන්ගේ ප්‍රශංසාවේ වචනවලට එකඟව ජීවත් නොවූ නිසා ඔහු ඔවුන්ට තරවටු කළේය

[12වන පිටුවේ පින්තූරය]

ඇදහිලිවන්ත ඉතිරි කොටසක් නැවත යෙරුසලමට ගියේය

[13වන පිටුවේ පින්තූරය]

දෙවිගේ යහපත්කම පිළිබඳ පුදුමාකාර ප්‍රකාශයක් මෝසෙස්ට ඇසුණි

[15වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ යහපත්කම දැකගත හැකි වන්නේ බයිබලයේ පිටු තුළින් ඔහු අපට අයදින ආකාරයෙනි