Skip to content

පටුනට යන්න

‘වචනය දේශනා කිරීමෙන්’ සහනය ලැබේ

‘වචනය දේශනා කිරීමෙන්’ සහනය ලැබේ

‘මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි’

‘වචනය දේශනා කිරීමෙන්’ සහනය ලැබේ

ඔහු ඉතා වැදගත් කාර්යයක නිරත වූ පරිපූර්ණ මනුෂ්‍යයෙකි. ඔහු ඉගැන්වූ ආකාරය කොතරම් බලපෑමෙන් යුත්ද යත් “සමූහයෝ [ඔහුගේ] ඉගැන්වීම ගැන විස්මයට පත් වූවෝය” යයි බයිබලයේ වාර්තා වේ. (මතෙව් 7:28) ඔහු වෙහෙස නොබලා දේශනා කළේය. ඔහුගේ කාලය, සම්පත් හා ශක්තිය මූලිකව වැය කළේ දේවරාජ්‍යය ගැන දේශනා කිරීමටයි. ඔව්, යේසුස් තමා ජීවත් වූ ප්‍රදේශය පුරා සැරිසැරූ අද්විතීය දේශනාකරුවෙක් හා ගුරුවරයෙක් විය.—මතෙව් 9:35.

යේසුස් අප්‍රමාදව කළ යුතුව තිබුණේ ඔහුගේ සමකාලීනයන්ට ‘රාජ්‍යයේ ශුභාරංචිය’ දේශනා කිරීම හා ලෝක ව්‍යාප්තව එම පැවරුම ඉටු කිරීමට ගෝලයන්ව සූදානම් කිරීමයි. (මතෙව් 4:23; 24:14; 28:19, 20) හදිසිතාවෙන් කළ යුතුව තිබූ එම දේශනා කිරීමේ පැවරුමේ ඇති බරපතළකම හා විශාලත්වය සීමිත හැකියාවන් තිබුණු මෙම අසම්පූර්ණ ගෝලයන්ට පීඩනයක් වුණාද?

කිසිසේත් නැහැ! යේසුස් “ගොයමේ ස්වාමියාට” එනම් යෙහෝවාට තව සේවකයන් එවන මෙන් යාච්ඤා කරන්නැයි ගෝලයන්ට උපදෙස් දුන් පසු අනික් අයව දැනුවත් කිරීමට ඔවුන්ව පිටත් කර යැවීය. (මතෙව් 9:38; 10:1) ඔවුන් තම අනුගාමිකයන් වී දේශනා කිරීමේ පැවරුම ඉටු කිරීම මගින් සැබෑ සහනයක් හා සැනසිල්ලක් අද්දකින බව ඔහු ඔවුන්ට සහතික විය. යේසුස් එය මෙසේ පැවසුවේය. ‘මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි.’—මතෙව් 11:28.

ප්‍රීතියේ උල්පත

මෙය කෙතරම් දයානුකම්පිත, ප්‍රේමනීය හා කරුණාවන්ත ඇරයුමක්ද! එයින් යේසුස් තම ගෝලයන් කෙරෙහි දැක්වූ සංවේදී හැඟීම මනාව පෙන්නුම් කෙරේ. දේවරාජ්‍යයේ “ශුභාරංචිය” දේශනා කිරීමේ පැවරුම ඉටු කිරීමෙන් ඔහුගේ ගෝලයෝ සැබවින්ම සහනයක් ලබති. මෙය ඔවුන්ට සැබෑ ප්‍රීතිය හා තෘප්තිය ලබා දෙන්නේය.—යොහන් 4:36.

යේසුස් මේ පොළොවට පැමිණීමට බොහෝ කාලයකට පෙර, දෙවිට පරිශුද්ධ සේවය පිරිනැමීමේදී ප්‍රීතිය පවත්වාගත යුතු බව ශුද්ධ ලියවිලිවල සඳහන් වී තිබුණි. මේ කරුණ ගීතිකාකරු කළ ගායනයෙන් තහවුරු වේ. ‘පොළොවේ සියල්ලෙනි, යෙහෝවාට ප්‍රීති ඝෝෂා පවත්වන්න. යෙහෝවාට ප්‍රීතියෙන් සේවය කරන්න. ප්‍රීති ගී ගයමින් ඔහු ඉදිරියට පැමිණෙන්න.’ (ගීතාවලිය 100:1, 2) අද විවිධ ජාතීන්ට අයත් ජනයා යෙහෝවාට ප්‍රීති ඝෝෂා පවත්වමින් ඔහුට ප්‍රශංසා ගී ගයන විට, එය හරියට ජයග්‍රහණය ලැබූ හමුදාවකගේ ප්‍රීති ඝෝෂා වැනිය. ඇත්ත වශයෙන්ම යෙහෝවා දෙවිට කැප වූ සෙනඟ ඔහු අභිමුඛයට පැමිණෙන්නේ ‘ප්‍රීති ගී ගයමිනි.’ එය යෙහෝවාගේ ගුණාංග හා හොඳින් ගැළපේ. යෙහෝවා “සන්තෝෂවත් දෙවි” නිසා තම සේවකයන් ඔවුන්ගේ කැපවීමට එකඟව ප්‍රීතියෙන් සේවය කරනවා දැකීමට ඔහු කැමතියි.—1 තිමෝති 1:11, NW.

සහනය අද්දුටු දේවසේවකයන්

ක්ෂේත්‍රයේ මහන්සි වී කරන සේවය අපව විඩාවට පත් කරනවා වෙනුවට ප්‍රබෝධයක් ලබා දෙන්නේ කෙසේද? යෙහෝවාට සේවය කිරීම ප්‍රාණවත් බව ලබා දෙන කෑම හා සමාන බව යේසුස් පැවසීය. ‘මාගේ කෑම නම් මා එවූ තැනැත්තාගේ කැමැත්ත කොට ඔහුගේ වැඩ ඉෂ්ට කිරීමයි’ කියා ඔහු ප්‍රකාශ කළේය.—යොහන් 4:34.

ඒ හා සමානව අදත් ජ්වලිත ක්‍රිස්තියානීන් ‘වචනය දේශනා කිරීමෙන්’ මහත් ප්‍රීතියක් ලබයි. (2 තිමෝති 4:2) මැදි වියේ කාන්තාවක් වන කොනී මාසයකට පැය 70කට වැඩිය දේශනා සේවයේ නියැලෙන්නීය. ඇය පවසන්නේ “දවස අවසානයේ මහන්සියක් දැනුණත් ක්ෂේත්‍ර සේවයට සහභාගි වීම නිසා මට තෘප්තියක් හා හද පිරී සතුටක් දැනෙනවා” යනුවෙනි.

නමුත් රාජ්‍ය ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් නොලැබුණොත් තත්වය කුමක්ද? කොනී මෙසේ කියයි. “ප්‍රතිචාරය මොකක් වුණත් මම කවදාවත් ක්ෂේත්‍ර සේවයට සහභාගි වීම ගැන පසුතැවිලි වෙලා නැහැ. මම දන්නවා මම කරන දෙයින් යෙහෝවා සතුටු වෙනවා කියා. අනිත් එක සත්‍යය ගැන කතා කරන විට බයිබලයේ සඳහන් තේජාන්විත බලාපොරොත්තුව කෙරෙහි මගේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් වෙන නිසා මම එයින් ලොකු සතුටක් ලබනවා.”

අන් අයට යෙහෝවා ගැන ඒකාන්ත දැනගැන්ම ලබාගැනීමට උපකාර කිරීම, තමන්ගේ ජීවිතයට අරුතක් එක් කරන බව තවත් සමහරුන්ගේ අද්දැකීමයි. තරුණ කාන්තාවක් වන මෙලනි, මාස් පතා පැය 50කට වඩා අධික කාලයක් ක්ෂේත්‍ර සේවයේ නියැලෙයි. ඇයගේ අද්දැකීම නම් මෙයයි. “ක්ෂේත්‍ර සේවයෙන් ප්‍රබෝධයක් ලැබෙන අතර මගේ ජීවිතයට හරි මඟ පෙන්වීමක් හා අරමුණක් ලැබී තිබෙනවා. ජීවිතයේ ගැටලු හා එදිනෙදා මුහුණ පෑමට සිදු වන තාඩන පීඩන ගැන අනවශ්‍ය ලෙස කරදර නොවීමටත් දේශනා සේවය මට උපකාරවත් වෙනවා.”

මිලිසන්ට් තවත් ජ්වලිතවත් යෙහෝවාගේ සාක්ෂිකාරියකි. සේවය සම්බන්ධව ඇගේ ආකල්පය මෙයයි. “මනුෂ්‍යවර්ගයා සඳහා දෙවිගේ අරමුණ ගැන හා මුළු පොළොවම පාරාදීස තත්වයකට පත්වීම ගැන මට කතා කරන්න ලැබෙන හැම දවසක්ම මට හුඟක් වටිනවා. යෙහෝවා සැබෑ පුද්ගලයෙක් බව මට හැඟෙන අතර මනසේ සාමය හා ඇතුළාන්ත සතුට භුක්ති විඳීමටත් එය මඟ පාදා තිබෙනවා. මේ සාමය හා සතුට මට වෙන කිසිම දෙයකින් ලබාගන්න බැහැ.”

සහනය ලබාගත් අය

ක්‍රිස්තියානි දේවසේවය නිතැතින්ම සහනය ලබා දෙන්නක් බව රාජ්‍ය ප්‍රචාරකයෝ දනිති. ඒ වගේම එම ජීවනදායක පණිවිඩයට ප්‍රතිචාරය දක්වන අයට එමගින් සැනසීමක් ලැබේ. කන්‍යා සොහොයුරියන් හා පූජකයන්ගෙන් පුහුණුවක් ලැබූ පෘතුගාලයේ එක් පාසැල් ගුරුවරියකට හැඟුණේ ඇයගේ ආත්මික අවශ්‍යතා පල්ලියෙන් නොසැපිරුණු බවයි. බයිබලය පිළිබඳව තිබූ ඇයගේ සමහර ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණේ නැත. යෙහෝවාගේ සාක්ෂිකාරියක් සමඟ නිතිපතා කළ බයිබල් පාඩමේ ප්‍රතිඵලය වූයේ ලියවිලි සම්බන්ධව ඇගේ තීක්ෂ්ණ බුද්ධිය දවසින් දවස වැඩිවීමය. මේ ගැන උද්දාමයට පත්ව ගුරුවරිය කියා සිටියේ “මම හැම බදාදාවකම පාඩම කිරීමට සහෝදරිය එන තුරු නොඉවසිල්ලෙන් බලා සිටියා. මගේ සෑම බයිබල් ප්‍රශ්නයකටම සෑහීමක් ගෙන දෙන පිළිතුරු ලැබුණා.” අද මෙම කාන්තාව යෙහෝවාට කැප වූ සේවිකාවකි. දැන් ඇයද බයිබල් සත්‍යය මගින් අන් අයට සහනය ලබා දෙන්නීය.

මෙයින් පැහැදිලි වන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ට පැවරී ඇති ලෝක ව්‍යාප්තව මහා පරිමාණයෙන් කළ යුතු සේවයත් එහි බැරෑරුම්කමත් නිසා පසුබට වන්නේ නැති බවයි. අන් අය දක්වන උදාසීනකම හෝ විරුද්ධවාදිකම් නිසා ඔවුන්ගේ උද්‍යෝගය හීන වී යන්නේ නැත. ඔවුහු රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයෙහි ක්‍රියාශීලීව නියැලෙති. අමෙරිකා එක්සත් ජනපදයේ ට්‍රක් රථ ගාලක (1), කොරියාවේ ගුවන් තොටුපළේ (2), ඇන්ඩීස්හි (3) එංගලන්තයේ කඩ සාප්පුවක (4) වැනි සෑම තැනකම සිටින මනුෂ්‍යයන් සමඟ ඔවුහු ශුභාරංචිය බෙදාගනිති. නවීන දින යේසුස්ගේ අනුගාමිකයෝ ප්‍රීතියෙන් ලෝක ව්‍යාප්තව මෙම ඵලදායී සේවයේ නිරත වෙති. යේසුස් පොරොන්දු වුණාක් මෙන් ඔහු තම අනුගාමිකයන්ට සහනය දෙන අතර ඔවුන් ලවා අන් අයටද සහනය ලබා දෙයි.—එළිදරව් 22:17.