සැබෑ දෙවි වන යෙහෝවාව විශ්වාස කරන්න
සැබෑ දෙවි වන යෙහෝවාව විශ්වාස කරන්න
පැහැබර රාත්‍රියකදී අහස් කුස දීප්තිමත් කරවන සිය ගණන් තාරකා දෙස ඔබ බලා සිට ඇද්ද? ඒවා පැමිණියේ කොහෙන්ද කියා ඔබ කල්පනා කර බැලුවාද?
පුරාණ ඉශ්රායෙලයේ විසූ දාවිත් රජුට නිසසල රාත්‍රි අහසේ සිට හඬ නැඟූ තාරකා මෙසේ ලිවීමට ඔහුව පෙලඹෙව්වේය. “අහස [දෙවිගේ] මහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලය [ඔහුගේ] හස්ත කර්මාන්තය දක්වයි.” (ගීතාවලිය 19:1) ඔව්, “ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට [වටින්නේ]” මවන ලද දේවල් නොව, මැවුම්කරුයි.—එළිදරව් 4:11; රෝම 1:25.
‘සියලු දේවල් පිහිටෙවූ තැනැත්තා දෙවිය’ කියා බයිබලයේ පවසා ඇත. (හෙබ්‍රෙව් 3:4) ඔව්, ‘යෙහෝවා නම් වූ [සැබෑ දෙවි] මුළු පොළොවටම මහෝත්තම තැනැත්තාය.’ (ගීතාවලිය 83:17) ඔහු මිරිඟුවක් වැනි මුළා කරවනසුලු යමක් නොවේ. ස්වර්ගයේ වෙසෙන තම පියා වන යෙහෝවා පිළිබඳව යේසුස් ක්‍රිස්තුස් පැවසුවේ “මා එවූ තැනැත්තා සැබෑ පුද්ගලයෙකි” කියාය.—යොහන් 7:28, NW.
යෙහෝවා සිය අරමුණු ඉටු කරයි
හෙබ්‍රෙව් ලියවිලිවල පමණක් යෙහෝවා නම් වූ දෙවිගේ අද්විතීය නාමය 7000 වාරයක් පමණ දක්නට ලැබේ. දෙවි සැබෑ කෙනෙකු බවට වූ සාක්ෂි එම නාමය තුළම ගැබ්ව ඇත. දෙවිගේ නාමයේ පදගතාර්ථ අදහස වන්නේ “ඔහු සිදුවීමට සලස්වයි” යන්නය. මෙමගින් තම අරමුණු ඉටු කරන්නා වශයෙන් යෙහෝවා දෙවි තමාවම හඳුන්වා දෙයි. දෙවිගේ නාමය කුමක්ද කියා මෝසෙස් ඇසූ විට තම නාමයෙහි අර්ථය පිළිබඳව වැඩි විස්තර සපයමින් යෙහෝවා මෙසේ පැවසීය. “මා යම් තත්වයකට පත්වීමට බලාපොරොත්තු වෙම්ද එසේම ඒ තත්වයට පත් වෙමි.” (නික්මයාම 3:14, NW) රොදර්හම්ගේ බයිබල් පරිවර්තනයේ පැහැදිලිව මෙසේ පවසා ඇත. “මා කැමති කුමන තත්වයකට හෝ මම පත් වන්නෙමි.” යෙහෝවා තමන්ගේ ධර්මිෂ්ඨ අරමුණු හා පොරොන්දු සැබෑ කරවීමට අවශ්‍ය කුමන තත්වයකට හෝ පත් වේ. මැවුම්කරු, පියා, පරමාධිපති ස්වාමි, එඬේරා, සේනාවල යෙහෝවා, යාච්ඤා අසන තැනැත්තා, විනිශ්චයකරු, උදාර උපදේශක, මිදුම්කරු වැනි පදවි නාම ගණනාවක් ඔහුට දැරිය හැක්කේද එම හේතුව නිසාය.—විනිශ්චයකාරයා 11:27; ගීතාවලිය 23:1; 65:2; 73:28, NW; 89:26; යෙසායා 8:13; 30:20, NW; 40:28; 41:14.
තමන්ගේ සැලසුම් සාර්ථක වෙයිද නැද්ද කියා මනුෂ්‍යයන්ට කිසිවිටෙක සහතික විය නොහැකි නිසා සැබෑ දෙවිට පමණයි යෙහෝවා යන නාමය දැරීමට අයිතිය ඇත්තේ. (යාකොබ් 4:13, 14) “වැස්ස සහ හිම අහසෙන් බැස පොළොව පොඟවා, සශ්‍රීක කර, ඵල හටගන්වා, වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙන තුරු එහි හැරී නොයන්නාක් මෙන්, මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදු කොට, මා නියම කළ කාරණය සඵල කරනවා ඇත” යනුවෙන් පැවසිය හැක්කේ යෙහෝවාට පමණයි.—යෙසායා 55:10, 11.
යෙහෝවා තම අරමුණ ඉටු කිරීම සම්බන්ධයෙන් කොතරම් විශ්වාසවන්තව කටයුතු කරනවාද කියා පවසනවා නම් මනුෂ්‍යයන් කිසිවිටෙක සැබෑ විය නොහැකියි කියා විශ්වාස කරන යමක් ඔහු දකින්නේ සැබෑවක් ලෙසයි. ආබ්‍රහම්, ඊසාක් හා යාකොබ් මිය ගොස් බොහෝ කල් ගත වී තිබුණත් යේසුස් ඔවුන් ගැන සඳහන් කරමින් මෙසේ පැවසීය. ‘ඔහු [යෙහෝවා] මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවිය. මක්නිසාද සියල්ලෝම ඔහු ඉදිරියෙහි ජීවත්ව සිටිති.’ ලූක් 20:37, 38) ඒ වන විට එම විශ්වාසවන්ත කුලදෙටුවන් තිදෙනා මිය ගොස් තිබුණි. එහෙත් ඔවුන්ව නැවත නැඟිටුවීමට වූ දෙවිගේ අරමුණ නියත වශයෙන්ම ඉටු වන නිසා ඔහුගේ ඇස් හමුවෙහි ඔවුන් තවමත් ජීවතුන් අතර සිටිනවා හා සමානය. භූමියේ දූවිල්ලෙන් පළමු මිනිසාව මැවූ යෙහෝවාට පුරාණයේ විසූ මෙම විශ්වාසවන්ත සේවකයන්ව නැවත ජීවත් කරවීම අසීරු කාර්යයක් නොවේ.—උත්පත්ති 2:7.
(දෙවි සිය අරමුණු ඉටු කරන බවට වූ කාරණය සඳහා තවත් උදාහරණයක් ප්‍රේරිත පාවුල් ගෙනහැර දක්වයි. ආබ්‍රහම්ව ශුද්ධ ලියවිලිවල හඳුන්වා ඇත්තේ “බොහෝ ජාතීන්ගේ පියා” වශයෙනි. (රෝම 4:16, 17, නව අනුවාදය) ආබ්‍රම්ට දරුවෙක් නොසිටි අවස්ථාවකදී යෙහෝවා ඔහුගේ නම වෙනස් කරමින් “විශාල පරපුරක (සමූහයක) පියා” යන අර්ථය ඇති ආබ්‍රහම් යන නාමය ඔහුට තැබුවේය. එම නමේ අර්ථය සැබෑ කරවමින් යෙහෝවා ආශ්චර්යමත් ලෙස වියපත් වූ ආබ්‍රහම්ට හා ඔහුගේ බිරිඳ වූ සාරාට දරුවන් උපදවීමේ හැකියාව ලබා දුන්නේය.—හෙබ්‍රෙව් 11:11, 12.
මහත් බලයක් හා අධිකාරියක් සතු යේසුස් ක්‍රිස්තුස්ට සැබෑව පිළිබඳව තිබුණේ මිනිසාට වඩා උසස් දෘෂ්ටිකෝණයකි. ඔහුගේ කිට්ටු මිත්‍රයෙකු වූ ලාසරුස් මිය ගොස් සිටියද යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවසුවේ “අපගේ මිත්‍ර වූ ලාසරුස් සැතපී ඉන්නේය. ඔහු පුබුදුවන පිණිස යමියි” යනුවෙනි. (යොහන් 11:11) මිය ගොස් සිටි මිනිසෙකු නිදාගෙන සිටිනවායයි යේසුස් පැවසුවේ මන්ද?
ලාසරුස්ගේ ගම වන බෙතානියට පැමිණි විට යේසුස් සොහොන් ගෙය වෙත ගොස් එහි ඇතුල් වන ස්ථානයේ තිබූ ගල අහක් කර දමන්න කියා පැවසුවේය. ඉන්පසු සියල්ලන්ටම ඇසෙන පිණිස යාච්ඤා කළ ඔහු මෙසේ අණ කළේය. “ලාසරුස් පිටතට එන්න.” සියලුදෙනාම සොහොන් ගේ දෙස බලා සිටියදීම, “මැරී සිටි තැනැත්තේ පිටතට ආවේය. ඔහුගේ අත් පා වස්ත්‍රවලින් බැඳ මුහුණද රෙදිකඩකින් ඔතා තිබුණේය.” එවිට “මොහු මුදා යන්ට හරින්න” කියා යේසුස් කීවේය. (යොහන් 11:43, 44) යේසුස් ලාසරුස්ව නැවත නැඟිටෙව්වේය. ඔව්, දින සතරක් මිය ගොස් සිටි තැනැත්තෙකුව ඔහු නැවත ජීවත් කළේය! මිය ගොස් සිටි කෙනෙකු නිදාගෙන සිටිනවායයි පැවසීමේදී යේසුස් කීවේ බොරුවක් නොවේ. යෙහෝවාගේ හා යේසුස්ගේ දෘෂ්ටිකෝණයෙන් බැලූ කල ලාසරුස් සිටියේ නිදාගෙන සිටිනවා හා සමාන තත්වයකයි. ඔව්, යේසුස් සහ ඔහුගේ පියා කාරණා දෙස බලන්නේ යථාර්ථවාදී ලෙසයි.
අපේ බලාපොරොත්තු සැබෑ කරවන්න යෙහෝවාට පුළුවන
මුළා කරවනසුලු රූප හා සැබෑ දෙවි අතර තිබෙන්නේ කොයිතරම් ලොකු පරතරයක්ද! තමන් අදහන දේවලට අද්භූත බලයක් ඇති බව විශ්වාස කරමින් රූප නමස්කාර කරන්නෝ මුළා වී සිටිති. ඔවුන් එම රූපවලට කොයිතරම් භක්ත්‍යාදරයක් පිරිනැමුවත් ආශ්චර්යයන් කිරීමට ඒවාට බලයක් නොලැබේ. ඊට හාත්පසින්ම වෙනස්ව, බොහෝ කාලයකට කලින් මිය ගිය තම සේවකයන්ව නැවත ජීවත් කරවන්න යෙහෝවා දෙවිට බලයක් ඇති නිසා තවමත් ජීවත්ව සිටිනවා හා සමානව ඔවුන් ගැන කතා කිරීමට ඔහුට අයිතියක් ඇත. ඔව්, ‘යෙහෝවා සැබෑ වූ දෙවිය.’ ඔහු කෙදිනකවත් ඔහුගේ සෙනඟව මුළා නොකරයි.—යෙරෙමියා 10:10.
යෙහෝවාගේ නියමිත කාලයේදී ඔහුගේ මතකයේ රැඳී සිටින මළවුන්ව නැවත නැඟිටුවන බව දැනගන්න ලැබීම කොයිතරම් සැනසිලිදායක දෙයක්ද! (ක්‍රියා 24:15) නැවත නැඟිටවීමේදී යමෙකු මිය යෑමට පෙර තිබූ චින්තනයන්, මතකයන්, අද්දැකීම් යනාදිය ඇතුළත් කලින් ගත කළ ජීවිතයම ඔහුට නැවත ලැබේ. මළවුන් කලින් ගත කළේ කොයි ආකාරයේ ජීවිතයක්දැයි මතක් කරගනිමින් ඔවුන්ව නැවත නැඟිටවීම අසීමිත ප්‍රඥාවත් බලයත් ඇති මැවුම්කරුට ගැටලුවක් නොවේ. (යෝබ් 12:13; යෙසායා 40:26) යෙහෝවාගේ ප්‍රේමයට නිමක් නැත. එනිසා ඔහුගේ පරිපූර්ණ වූ මතකය යොදාගනිමින් පාරාදීස පොළොවක් මත ජීවත් වීම සඳහා මිය ගිය අයව ඔහු යළි ජීවත් කරවන්නේය. මෙසේ නැවත නැඟිටුවනු ලබන අයගේ පෞද්ගලිකත්වයන් කිසිසේත් වෙනස් නොවී තිබෙනු ඇත.—1 යොහන් 4:8.
සාතන්ගේ ලෝකයේ අවසානය ළඟා වෙත්ම සැබෑ දෙවි කෙරෙහි විශ්වාස කරන අයගේ අනාගතය දීප්තිමත් එකක් මෙන් දිස් වේ. (හිතෝපදේශ 2:21, 22; දානියෙල් 2:44, 45ආ; 1 යොහන් 5:19) ගීතිකාකරු මෙසේ සහතික කරයි. “මද කලකින් දුෂ්ටයා නැති වන්නේය. . . . නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය. ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.” (ගීතාවලිය 37:10, 11) සැහැසිකකම හා අපරාධ යළි කිසිදා මතු නොවේ. යුක්තිය රජයන අතර ආර්ථික දුෂ්කරතා සදහටම නැති වී යන්නේය. (ගීතාවලිය 37:6; 72:12, 13; යෙසායා 65:21-23) සමාජීය, වාර්ගික, ගෝත්‍රික හා ජාතීන් වශයෙන් මිනිසා අතර පවතින බෙදීම් අතීතයේ යමක් බවට පත් වේ. (ක්‍රියා 10:34, 35) යුද්ධ හා යුධායුද නැත්තටම නැති වී යයි. (ගීතාවලිය 46:9) ඒ කාලයේදී “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.” (යෙසායා 33:24) සියලුදෙනාටම පරිපූර්ණ සෞඛ්‍යයක් භුක්ති විඳීමට හැකි වේ. (එළිදරව් 21:3, 4) ළඟදීම පාරාදීස පොළොව සැබෑවක් වන බවට කිසිම සැකයක් නැත. මන්ද එය අරමුණු කර තිබෙන්නේ යෙහෝවාය!
ඔව්, බයිබලය මත පදනම් වූ සෑම බලාපොරොත්තුවක්ම ළඟදීම ඉටු වනු ඇත. අපට යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබීමට ඇති තරම් හේතු තිබෙද්දී, අපව මුළා කිරීමට මේ ලෝකයේ දේවත්වයට පත් කරනු ලැබූ පුද්ගලයන්ට හෝ දේවලට ඉඩ දෙන්නේ මන්ද? ‘දෙවිගේ කැමැත්ත වන්නේ සියලු මනුෂ්‍යයන් ගැළවීම ලබාගැනීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය.’ (1 තිමෝති 2:3, 4, NW) එසේ නම්, මේ ලෝකයේ මිරිඟුවන් හා දෙවිවරුන් වෙනුවෙන් අපේ කාලය හා සම්පත් අපතේ නොහැර සැබෑ දෙවි පිළිබඳව දැනුම වර්ධනය කරගනිමින් මුළු හදින්ම ඔහු කෙරෙහි විශ්වාස කිරීමට අදිටන් කරගනිමු.—හිතෝපදේශ 3:1-6; යොහන් 17:3.
[6වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ හා යේසුස්ගේ දෘෂ්ටිකෝණයෙන් බැලූ කල ලාසරුස් සිටියේ නිදාගෙන සිටිනවා හා සමාන තත්වයකයි
[7වන පිටුවේ පින්තූර]
පාරාදීස පොළොව ළඟදීම සැබෑවක් වනු ඇත