Skip to content

පටුනට යන්න

කඳු මුදුනක නගරයක්

කඳු මුදුනක නගරයක්

කඳු මුදුනක නගරයක්

“නුඹලා ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්ට නොහැකිය” කියා යේසුස් තම ප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවේදී ගෝලයන්ට පැවසුවේය.—මතෙව් 5:14.

යූදා සහ ගලීල නගරවලින් බොහෝමයක් පිහිටුවා තිබුණේ පහත් මිටියාවත්වල නොව කඳු ඉස්මත්තෙයි. කඳු මුදුන් තෝරාගැනීමට ප්‍රධාන හේතුව වූයේ ආරක්ෂාව සලසාගැනීමයි. ආක්‍රමික හමුදාවන් පමණක් නොව කොල්ලකරුවන් විසින්ද ඉශ්‍රායෙල් ගම්මාන විනාශ කරනු ලැබීය. (2 රාජාවලිය 5:2; 24:2) ආරක්ෂාව සඳහා විශාල පවුරක් අවශ්‍ය කරන පහත් බිමක පිහිටි නගරයක් ආරක්ෂා කිරීමට වඩා කඳු ඉස්මත්තේ එක පොකුරට පිහිටි නිවෙස් ආරක්ෂා කිරීම, තිර අදිටනක් ඇති එම වැසියන්ට වඩා පහසු කාර්යයක් වූවා විය හැකියි.

යුදෙව් නිවාස ඉදි කොට තිබුණේ සුදු හුණු ගෑ බිත්තිවලින් නිසා කඳු ඉස්මත්තේ එක පොදියට තිබූ සුදු ගෙවල් ඈත මානයේ සිට පවා පහසුවෙන් දැකිය හැකි විය. (ක්‍රියා 23:3) පලස්තීනයේ දිදුලන හිරු රැසින් නැහැවී ගිය කඳු ඉස්මත්තේ වූ මෙම නගර දිස් වූයේ පහන් කණු මෙනි. දැනටත් මැදපෙරදිග නගර එවන් ස්වරූපයක් ගනී.

යේසුස් තම අනුගාමිකයන්ට සැබෑ ක්‍රිස්තියානියෙකුගේ කාර්යභාරය ඉගැන්වීම සඳහා ගලීල හා යූදා කඳු පෙදෙස්වල ඇස ගැටෙන මෙම මනස්කාන්ත දසුන යොදාගත්තේය. “එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ [පියාණන්ට] ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා” කියා ඔහු ඔවුන්ට පැවසීය. (මතෙව් 5:16) ක්‍රිස්තියානීන් යහපත් ක්‍රියා කරන්නේ මිනිසුන්ගෙන් පැසසුම් ලැබීමට නොවන නමුත් ඔවුන්ගේ යහපත් හැසිරීම වසන් කිරීමටද නොහැකියි.—මතෙව් 6:1.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවලදී යහපත් හැසිරීම විශේෂයෙන්ම කැපීපෙනේ. ස්පාඤ්ඤයේ එක් පුවත්පතක මෑතකදී පැවැත්වූ සමුළුවක් සම්බන්ධයෙන් මෙසේ වාර්තා විය. “වෙනත් ආගමික සංවිධානවල ආගමික විෂයන් ගැන දක්වන උනන්දුව හීන වෙමින් පැවතුණත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ තත්වය එය නොවෙයි. බයිබලයේ ප්‍රායෝගික වටිනාකම අගය කරන නිසා ඔවුහු දෙවිගේ වචනය පිළිපදිති.”

සාක්ෂිකරුවන් නිතිපතා භාවිත කළ වයඹදිග ස්පාඤ්ඤයේ ක්‍රීඩාංගණයක් භාරව සිටි තොමස් දේවවචනය පිළිපදින ජනයා මධ්‍යයේ සිටීමට ප්‍රිය කළේය. ඔහුගේ විශ්‍රාම දිනය සති කීපයකට කල් දැමුවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුව පවත්වද්දී ක්‍රීඩාංගණයේ සිටීමට තිබූ කැමැත්ත නිසාය. වසර ගණනාවක් පුරා ඔහු දැක්වූ සහයෝගයට ස්තුති කිරීමට හා ඔහුගේ විශ්‍රාම දිවියට සුබ පැතීමට සමුළුවෙන් පසු බාලයන් ඇතුළු බොහෝ නියෝජිතයන් ඔහු කරා ගිය විට ඔහුගේ දෙනෙතට කඳුළු පිරුණේ නිරායාසයෙනි. “ඔයගොල්ලන්ව දැනහඳුනා ගන්න ලැබීම මගේ ජීවිතයේ මා ලබපු හොඳම අද්දැකීමයි” කියා ඔහු පැවසීය.

කඳු මුදුන අරා සිටින, ගගන තලාවටම නැඟ සිටින්නාක් මෙන් දිස් වන නගරයක් එය දෙස බලන්නෙකුගේ නෙත් ඇද බැඳගන්නේ එහි වූ සුදු හුණු ගෑ ගෙවල් මත පතිත වන රිවි කිරණ දසත ආලෝකය විහිදුවන නිසාය. මෙලෙස සැබෑ ක්‍රිස්තියානීන්ද කැපීපෙනෙන්නන් බවට පත්ව සිටින්නේ, උසස් ශුද්ධ ලියවිලි ප්‍රමිති වන අවංකකම, සදාචාරත්වය හා දයානුකම්පාව ක්‍රියාවට නැංවීමට වෑයම් කරන නිසාය.

ඊට අමතරව, ක්‍රිස්තියානීහු තම දේශනා සේවය මගින්ද සත්‍යාලෝකය විහිදුවති. පළමුවන සියවසේ ක්‍රිස්තියානීන් ගැන ප්‍රේරිත පාවුල් මෙසේ පැවසීය. “අපට කරුණාව ලැබුණු ලෙසම මේ සේවයත් ලැබී තිබෙන බැවින්, අපි ක්ලාන්ත නොවී සිටිමුව. . . . සැබෑව ප්‍රකාශ කිරීමෙන්ම [දෙවි] ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදය සාක්ෂියට එකඟ වෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.” (2 කොරින්ති 4:1, 2) ඔවුන් දේශනා කළ සෑම තැනකදීම විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට ඔවුන්ට සිදු වුවත් යෙහෝවා ඔවුන්ගේ දේවසේවයට ආශීර්වාද කළේය. එබැවින් පො. යු. 60දී පමණ “අහසින් යට මුළු මැවිල්ලෙහි” ශුභාරංචිය දේශනා කරනු ලැබුවේය කියා ලිවීමට පාවුල්ට හැකි විය.—කොලොස්සි 1:23.

යේසුස් අණ කළ පරිදි අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවෝද ‘මිනිසුන් ඉදිරියේ තම ආලෝකය බැබළවීම’ සඳහා තමන් සතු වගකීම සැහැල්ලුවට නොගනිති. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වාචිකව මෙන්ම පොත් පත් මගින් ලිඛිතවද ලොව පුරා රටවල් 235ක රාජ්‍යයේ ශුභාරංචිය පතළ කරති. හැකි සෑම කෙනෙකුටම බයිබලයේ සත්‍යාලෝකය ලබාගැනීමට හැකි කරවනු වස් ඔවුන් තම බයිබල් ප්‍රකාශන භාෂා 370කින් පමණ නිකුත් කොට තිබේ.—මතෙව් 24:14; එළිදරව් 14:6, 7.

බොහෝ ස්ථානවල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්, දේශනා සේවය තහනම් කර තිබෙන රටවලින් පැමිණ සිටින ජනයාගේ භාෂාවන් ඉගෙනගැනීමේ අභියෝගය භාරගෙන තිබේ. උදාහරණයක් වශයෙන්, උතුරු අමෙරිකාවේ විශාල නගර ගණනාවකටම චීනයෙන් හා රුසියාවෙන් විශාල ජනකායක් ඇදී එමින් පවතී. නව ප්‍රවේශකයන්ට ශුභාරංචිය දේශනා කිරීම සඳහා චීන, රුසියානු සහ වෙනත් භාෂා ඉගෙනගැනීමට එහි සාක්ෂිකරුවන් මහත් පරිශ්‍රමයක් දරා ඇත. ඇත්තවශයෙන්ම, ඉක්මනින් භාෂා ඉගෙනගැනීමට හැකි කරවීම සඳහා භාෂා පාඨමාලා පවත්වා තිබේ. එමනිසා කෙතේ ‘ගොයම් කැපීමට පැහී තිබෙන’ කාලයේ තව බොහෝදෙනෙකුට ශුභාරංචිය දේශනා කිරීමට හැකි වනු ඇත.—යොහන් 4:35.

ප්‍රොපේත යෙසායා මෙසේ පුරෝකථනය කළේය. “මතු දවස්වලදී [යෙහෝවාගේ] ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවන ලදුව හෙල්වලට වඩා උස් වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය.” යෙහෝවාගේ සාක්ෂිකරුවෝ තම හැසිරීම හා දේවසේවය මගින් දසත වෙසෙන ජනයාට ‘යෙහෝවාගේ ගෘහයේ කන්දට’ පැමිණීමට උපකාර කරති. එහිදී දෙවිගේ මාර්ග සම්බන්ධයෙන් උපදෙස් ලැබීමට හා දෙවිගේ මාවතේ ගමන් කිරීම සඳහා ඉගෙනගැනීමට හැකි වේ. (යෙසායා 2:2, 3) යේසුස් පෙන්නුම් කළාක් මෙන් එහි ප්‍රීතිමත් ප්‍රතිඵලය වන්නේ ඔවුන් එක්ව ‘තම ස්වර්ගික පිය වූ’ යෙහෝවා දෙවිට ‘ගෞරවය දීමය.’—මතෙව් 5:16; 1 පේතෘස් 2:12.