Skip to content

පටුනට යන්න

දෙවි ප්‍රේම කරන අය අතර ඔබත් සිටිනවාද?

දෙවි ප්‍රේම කරන අය අතර ඔබත් සිටිනවාද?

දෙවි ප්‍රේම කරන අය අතර ඔබත් සිටිනවාද?

‘යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂා කෙරේද, මට ප්‍රේම කරන්නේ ඔහුය. මට ප්‍රේම කරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේම කරනු ලබන්නේය.’—යොහන් 14:21.

1, 2. (අ) යෙහෝවා මනුෂ්‍යවර්ගයාට තම ප්‍රේමය පෙන්වූයේ කෙසේද? (ආ) යේසුස් විසින් පො.යු. 33 නීසාන් 14වනදා රාත්‍රියේදී පිහිටුවනු ලැබුවේ කුමක්ද?

යෙහෝවා තම මිනිස් මැවිල්ලට ප්‍රේම කරන්නේය. සැබවින්ම, ඔහු මිනිසාට කොතරම් ප්‍රේම කළාද කිවහොත්, ‘ස්වකීය ඒකජාතක පුත්‍රයාව පවා ඔවුන් වෙනුවෙන් දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පවත්වන සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.’ (යොහන් 3:16) යෙහෝවා “අපට ප්‍රේම කොට, අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බව,” ක්‍රිස්තුස්ගේ මරණය සැමරීම පවත්වන කාලය ළං වනවාත් සමඟම සැබෑ ක්‍රිස්තියානීන් වෙන කිසිදාකට වඩා ගැඹුරින් කල්පනා කළ යුතුය.—1 යොහන් 4:10.

2 ඉශ්‍රායෙල්වරුන් මිසරයෙන් බේරී පැමිණීම අනුස්මරණය කරන පාස්කුව සැමරීමට යේසුස් තම ප්‍රේරිතයන් 12දෙනා සමඟ පො.යු. 33 නීසාන් 14වනදා රාත්‍රියේ යෙරුසලමේ එක් නිවසක උඩුමහල් කාමරයේ රැස් වූයේය. (මතෙව් 26:17-20) මේ යුදෙව් මංගල්‍යය සැමරීමෙන් පසු, යේසුස් යූදස් ඉස්කාරියොත්ව පිටත් කර, දැන් ක්‍රිස්තියානීන් පවත්වන ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම නමැති අනුස්මරණීය භෝජනය පිහිටෙව්වේය. * යේසුස් ඉතිරිව සිටි ප්‍රේරිතයන් 11දෙනාව මේ හවුල් භෝජනයට සහභාගි කරවාගත්තේ තම ශරීරය සහ රුධිරය සලකුණු කරන නැතහොත් සංකේතවත් කරන මුහුන් නොමුසු රොටි සහ රතු වයින් යොදාගනිමින්ය. යේසුස් මෙය කළ ආකාරය පිළිබඳ තොරතුරු මතෙව්, මාර්ක් සහ ලූක් යන සුවිශේෂ ලේඛකයන් විසින් දක්වා ඇති අතර, ප්‍රේරිත පාවුල් මෙය ‘ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය’ ලෙස හැඳින්වීය.—1 කොරින්ති 11:20; මතෙව් 26:26-28; මාර්ක් 14:22-25; ලූක් 22:19, 20.

3. යේසුස් තම ගෝලයන් සමඟ උඩුමහල් කාමරයේ ගත කළ අවසාන පැය කිහිපය පිළිබඳ ප්‍රේරිත යොහන්ගේ වාර්තාව අනිත් ඒවාට වඩා වෙනස් වන්නේ කිනම් වැදගත් ආකාරවලින්ද?

3 රොටි සහ වයින් අතිනත යැවීම ගැන ප්‍රේරිත යොහන් කිසිම සඳහනක් නොකිරීම උනන්දුව ඇති කරවන කාරණයකි. සමහරවිට මීට හේතුව විය හැක්කේ, ඔහු (පො.යු. 98දී පමණ) තම සුවිශේෂ වාර්තාව ලියන විට, ඉහත පිළිවෙත මුල් ක්‍රිස්තියානීන් අතර මැනවින් ස්ථාපිත වී තිබීමයි. (1 කොරින්ති 11:23-26) කෙසේවෙතත්, යේසුස් තම මරණය සිහි කිරීම පිහිටුවීමට මොහොතකට පෙර සහ පසු කළ කී දේවල් පිළිබඳ වැදගත් තොරතුරු සමහරක් දේවානුභාවයෙන් ලියා ඇත්තේ යොහන් පමණකි. එවැනි උද්වේගකර තොරතුරු යොහන්ගේ සුවිශේෂයේ පරිච්ඡේද පහකට වඩා වැඩි ප්‍රමාණයක ඇතුළත් කර තිබේ. දෙවි ප්‍රේම කරන්නේ මොන වගේ අයටද කියා ඒවායේ පැහැදිලිව සඳහන් වේ. අපි යොහන් 13 සිට 17 දක්වා පරිච්ඡේද විමසමු.

යේසුස්ගේ ආදර්ශවත් ප්‍රේමයෙන් ඉගෙනගනිමු

4. (අ) යේසුස් තම මරණය සිහි කිරීම පිහිටුවද්දී තම ගෝලයන් සමඟ පැවැත්වූ රැස්වීමේ ප්‍රධාන තේමාව යොහන් කාවද්දන්නේ කෙසේද? (ආ) යෙහෝවා යේසුස්ට එතරම් ප්‍රේම කිරීමට එක් හේතුවක් කුමක්ද?

4 යේසුස් තම අනුගාමිකයන්ගෙන් සමුගැනීමට පෙර දුන් උපදෙස් අඩංගු මේ පරිච්ඡේද පුරා දිවෙන ප්‍රධාන තේමාව වන්නේ ප්‍රේමයයි. ඇත්තටම, 31 වතාවක් “ප්‍රේමය” යන වචනයේ විවිධ ස්වරූප එහි දක්නට ලැබේ. තම පියා වන යෙහෝවා කෙරෙහිත් තම ගෝලයන් කෙරෙහිත් යේසුස් තුළ වූ ගැඹුරු ප්‍රේමය මේ පරිච්ඡේදවල තරම් වෙන කොතැනකවත් දකින්ට නැත. යෙහෝවා කෙරෙහි යේසුස් තුළ වූ ප්‍රේමය ඔහුගේ ජීවිතය පිළිබඳ සුවිශේෂ වාර්තා සැමෙකකම දැකගත හැකි වුවත්, ‘මම පියාට ප්‍රේම කරමි’ යන පැහැදිලි ප්‍රකාශය වාර්තා කරන්නේ යොහන් පමණකි. (යොහන් 14:31) යෙහෝවා තමන්ට ප්‍රේම කරන බව පැවසූ යේසුස් එසේ කිරීමට හේතුවද පැහැදිලි කළේය. ඔහු මෙසේ කීවේය. “[පියා] මට ප්‍රේම කළාක් මෙන්ම මමත් නුඹලාට ප්‍රේම කෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න. මම මාගේ [පියාගේ] ආඥා රක්ෂා කොට [ඔහුගේ] ප්‍රේමයෙහි යම් සේ පවතිම්ද, එසේම නුඹලාත් මාගේ ආඥා රක්ෂා [කරන්නේ] නම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.” (යොහන් 15:9, 10) එසේය, තම පුත්‍රයාගේ අතිශය කීකරුකම හේතුවෙන් යෙහෝවා ඔහුට ප්‍රේම කරන්නේය. යේසුස් ක්‍රිස්තුස්ගේ සියලුම අනුගාමිකයන්ට මෙය මොනතරම් වටිනා පාඩමක්ද!

5. යේසුස් තම ගෝලයන් කෙරෙහි තිබූ ප්‍රේමය විදහාපෑවේ කෙසේද?

5 සමුගැනීමට පෙර අවසාන වරට රැස් වූ අවස්ථාව ගැන යොහන් ලියූ වාර්තාව ආරම්භයේදීම තම අනුගාමිකයන් ගැන යේසුස් තුළ තිබූ ගැඹුරු ප්‍රේමය කාවද්දා ඇත. යොහන් මෙසේ සඳහන් කරයි. “පාස්කු මංගල්‍යයට පළමුවෙන්, [යේසුස්] මේ ලෝකයෙන් පිටත්ව [පියා] ළඟට යන තමන්ගේ පැය පැමිණ තිබෙන බව දැන, ලෝකයෙහි සිටියාවූ ස්වකීය සෙනඟට ප්‍රේමයෙන් සිට, අන්තිම දක්වා ඔවුන්ට ප්‍රේම [කළේය].” (යොහන් 13:1) ඒ අමරණීය සන්ධ්‍යාවේදී, අන් අය වෙනුවෙන් ප්‍රේමනීය ලෙස සේවය කිරීම පිළිබඳ අමතක නොවන අන්දමේ ආදර්ශයක් ඔහු සැපයුවේය. ඔහු ඔවුන්ගේ පාද සේදුවේය. යේසුස් වෙනුවෙන් සහ සෙසු සහෝදරයන් වෙනුවෙන් එසේ කිරීමට කැමැත්තෙන් සිටිය යුතු වූයේ ඔවුන්ය. එහෙත් ඔවුන් එසේ කළේ නැත. යේසුස් එම නිහතමානි ක්‍රියාව කර, ඔහුගේ ගෝලයන් අමතමින් මෙසේ කීවේය. “ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. මක්නිසාද මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි.” (යොහන් 13:14, 15) සැබෑ ක්‍රිස්තියානීන් තම සහෝදරයන් වෙනුවෙන් සේවය කිරීමට කැමැත්තෙන් හා සතුටෙන් සිටිය යුතුය.—මතෙව් 20:26, 27; යොහන් 13:17.

අලුත් ආඥාව අනුගමනය කරමු

6, 7. (අ) සිහි කිරීම පිහිටුවීම සම්බන්ධයෙන් යොහන් සපයන්නේ කිනම් වැදගත් තොරතුරුද? (ආ) යේසුස් තම ගෝලයන්ට දෙන අලුත් ආඥාව කුමක්ද? එය අලුත්යැයි පවසන්නේ මන්ද?

6 නීසාන් 14වනදා රාත්‍රියේ උඩුමහලේදී වූ සිදුවීම ගැන කතා කරද්දී, යූදස් ඉස්කාරියොත්ගේ පිටවීම නිශ්චිතවම සඳහන් කරන්නේ යොහන්ගේ වාර්තාවේ පමණයි. (යොහන් 13:21-30) යේසුස් තම මරණය සිහි කිරීම පිහිටුවන්නේ මේ ද්‍රෝහියා පිට වී ගියාට පසුව බව සුවිශේෂ වාර්තා සන්සන්දනය කරද්දී පැහැදිලි වෙයි. ඉන්පසු අවසන් වශයෙන් යේසුස් තම ඇදහිලිවන්ත ප්‍රේරිතයන්ට සවිස්තර වූ උපදෙස් සහ මඟ පෙන්වීම් සැපයීය. සිහි කිරීමට සූදානම් වන මෙම කාල වකවානුවේදී, එදා ඒ මොහොතේදී යේසුස් පැවසුවේ කුමක්දැයි දැනගැනීමට අප මහත් සේ ආශාවෙන් සිටිය යුතු අතර, විශේෂයෙන්ම එසේ සිටිය යුතු වන්නේ, දෙවි ප්‍රේම කරන අය අතරේ සිටීමට අප ඉමහත් කැමැත්තෙන් සිටින නිසාය.

7 තම මරණය සිහි කිරීම හඳුන්වා දීමෙන් අනතුරුව යේසුස් තම ගෝලයන්ට දුන් මුල්ම මඟ පෙන්වීම් කිහිපය අලුත් යමක් විය. ඔහු මෙසේ ප්‍රකාශ කළේය. “මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන ලෙස, එකිනෙකාට ප්‍රේම කරන්න කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි. නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:34, 35) මේ ආඥාව අලුත්යැයි පවසන්නේ මන්ද? එම සන්ධ්‍යාවේම පසු වේලාවක යේසුස් මේ කාරණය තවත් පැහැදිලි කරමින් මෙසේ කීවේය. “මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන්න යනුය. යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.” (යොහන් 15:12, 13) ‘තමන්ට මෙන් තමන්ගේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ කියා මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ඉශ්‍රායෙල්වරුන්ට අණ කර තිබුණි. (ලෙවී කථාව 19:18) එහෙත් යේසුස්ගේ ආඥාව ඊටත් ඔබ්බට කෙනෙකුව ගෙන ගියේය. ක්‍රිස්තියානීන්ද ක්‍රිස්තුස් කළා සේ තම සහෝදරයා වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කිරීමට වුවත් කැමැත්තෙන් එකිනෙකාට ප්‍රේම කළ යුතු විය.

8. (අ) ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමය යන්නට අයත් වන්නේ මොනවාද? (ආ) යෙහෝවාගේ සාක්ෂිකරුවන් අදදින ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමය විදහාපාන්නේ කෙසේද?

8 සැබෑ ක්‍රිස්තියානියෙකුගේ හඳුනාගැනීමේ ලකුණ වන ක්‍රිස්තු බඳු ප්‍රේමය අප තුළත් තිබෙනවාද කියා පුද්ගලිකවත් සභාවක් වශයෙනුත් අප එකිනෙකාව සෝදිසි කර බැලීමට මරණය සිහි කිරීමේ සමය උචිත කාලයකි. සමහර අවස්ථාවලදී මෙවැනි ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමයක් තමාගේ සහෝදරයාව පාවා දීමට නොව තමන්ගේ ජීවිතය පවා අවදානමේ හෙළන්ට සමහර ක්‍රිස්තියානීන්ව පොලඹවා තිබේ. බොහෝ දුරට මින් අදහස් වන්නේ අපගේ සහෝදරයන්ට සහ අන් අයට උපකාර කිරීමටත් සේවය කිරීමටත් අපගේ පුද්ගලික ආශාවන් පරිත්‍යාග කිරීමයි. මේ සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් කදිම ආදර්ශයකි. (2 කොරින්ති 12:15; පිලිප්පි 2:17) තම සහෝදරයන්ටත් අසල්වැසියන්ටත් උපකාර කිරීමට හා අනිත් අයට බයිබල් සත්‍යතා ගැන කතා කිරීමට තමන්ව වැය කිරීම හේතුවෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුන්ගේ ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවය සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රසිද්ධව සිටිති. *ගලාති 6:10.

අනර්ඝ කොට තැකිය යුතු සබඳතා

9. දෙවිත් ඔහුගේ පුත්‍රයාත් සමඟ ඇති අපේ වටිනා සබඳතාව පවත්වාගැනීම සඳහා කුමක් කිරීමට අපි සතුටු වන්නෙමුද?

9 යෙහෝවාගේත් ඔහුගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්ගේත් ප්‍රේමයට පාත්‍රවීමට වඩා වටිනා දෙයක් අපට නැත. කෙසේවෙතත්, මේ ප්‍රේමය ලබන්ටත්, විඳින්ටත් අප යමක් කළ යුතුය. තම ගෝලයන් සමඟ ගත කළ අවසාන රාත්‍රියේදී යේසුස් මෙසේ කීවේය. ‘යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂා කෙරේද, මට ප්‍රේම කරන්නේ ඔහුය. මට ප්‍රේම කරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේම කරනු ලබන්නේය. මමද ඔහුට ප්‍රේම කොට ඔහුට [පැහැදිලිව, NW] ප්‍රකාශ වන්නෙමි.’ (යොහන් 14:21) අපි දෙවි සහ ඔහුගේ පුත්‍රයා සමඟ තිබෙන සම්බන්ධතාව අනර්ඝ කොට තකන බැවින්, ඔවුන්ගේ ආඥාවලට සතුටින් අවනත වන්නෙමු. ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමය පෙන්වීම සඳහා දුන් අලුත් ආඥාවත්, ක්‍රිස්තුස් තම නැවත නැඟිටීමෙන් පසු දුන් අණ වන “සෙනඟට දේශනා කිරීම හා සාක්ෂි දැරීමත්,” ශුභාරංචිය පිළිගන්නාවූ අයව වෙහෙස වී ‘ගෝලයන් කිරීමත්’ මේ ආඥාවලට අයත්ය.—ක්‍රියා 10:42, NW; මතෙව් 28:19, 20.

10. ආලේප ලත් අයටත් ‘වෙනත් බැටළුවන්ටත්’ විවෘතව ඇති වටිනා සබඳතා මොනවාද?

10 එදින රාත්‍රියේ පසු අවස්ථාවකදී ඇදහිලිවන්ත ප්‍රේරිත යූදස් (තද්දියස්) ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් යේසුස් මෙසේ කීවේය. “යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂා කරන්නේය. මාගේ [පියාණන්ද] ඔහුට ප්‍රේම [කරන්නේය]. අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරමු.” (යොහන් 14:22, 23) ස්වර්ගයේ සිටින ක්‍රිස්තුස් සමඟ පාලනය කිරීමට කැඳවා ඇති ආලේප ලත් ක්‍රිස්තියානීහු පොළොවේ සිටින විටදී පවා යෙහෝවා සහ ඔහුගේ පුත්‍රයා සමඟ ඉතා කුලුපග සම්බන්ධතාවක් භුක්ති විඳිති. (යොහන් 15:15; 16:27; 17:22; හෙබ්‍රෙව් 3:1; 1 යොහන් 3:2, 24) එහෙත්, පොළොවේ සදාකාලයටම ජීවත් වීමේ අපේක්ෂාව ඇති ‘වෙනත් බැටළුවන්’ වන ඔවුන්ගේ ආශ්‍රිතයෝද ඔවුන්ගේ ‘එක එඬේරා’ වන යේසුස් ක්‍රිස්තුස් සහ ඔවුන්ගේ දෙවි වන යෙහෝවා සමඟ වටිනා සබඳතාවක් භුක්ති විඳිත්. මෙය භුක්ති විඳින්නේ ඔවුන් කීකරුව සිටින තාක් කල් පමණි.—යොහන් 10:16; ගීතාවලිය 15:1-5; 25:14.

‘නුඹලා ලෝකයාගෙන් නොවේ’

11. යේසුස් තම ගෝලයන්ට දුන් බැරෑරුම් අනතුරු ඇඟවීම කුමක්ද?

11 යේසුස් තම මරණයට පෙර ඇදහිලිවන්ත ගෝලයන් සමඟ පැවැත්වූ අවසන් රැස්වීමේදී මෙවැනි බැරෑරුම් අනතුරු ඇඟවීමක් කළේය. එනම්, යමෙක් දෙවිගේ ප්‍රේමයට පාත්‍ර වේද, ලෝකයා ඔහුට වෛර වන්නේය යන්නයි. ඔහු මෙසේ ප්‍රකාශ කළේය. “ලෝකයා නුඹලාට වෛර වෙනවා නම්, නුඹලාට පළමුවෙන් මට වෛර වුණ බව නුඹලා දනිහුය. නුඹලා ලෝකයට අයිති නම්, ලෝකයා තමුන්ගේම අයට ආදරේ වන්නෝය. නුමුත් නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛර වෙති. දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේයයි නුඹලාට මා කී වචනය සිහි කරන්න. ඔවුහු මට පීඩා කළෝ නම් නුඹලාටත් පීඩා කරන්නෝය; මාගේ වචනය රක්ෂා කළෝ නම් නුඹලාගේ වචනයත් රක්ෂා කරන්නෝය.”—යොහන් 15:18-20.

12. (අ) ලෝකයා තම ගෝලයන්ට වෛර කරන බව යේසුස් ඔවුන්ට අනතුරු ඇඟවූයේ මන්ද? (ආ) සිහි කිරීමේ කාලය ළඟා වනවාත් සමඟම සියලුදෙනාම සලකා බැලිය යුත්තේ කුමක්ද?

12 යේසුස් මේ අනතුරු ඇඟවීම දුන්නේ, මේ ප්‍රේරිතයන් 11දෙනා සහ ඔවුන්ට පසුව එන සෑම සැබෑ ක්‍රිස්තියානියෙකුම ලෝකයාගෙන් පැමිණෙන වෛරය නිසා අධෛර්යය වී අත්හැර නොයන පිණිසය. ඔහු ඊට මෙසේද එක් කළේය. “නුඹලා බාධා නොවන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ඔවුහු සිනගෝගවලින් නුඹලා අහක් කරන්නෝය. එසේය, නුඹලා මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් [දෙවිට] කරන මෙහෙයක්යයි සිතන කාලය පැමිණෙන්නේය. ඔවුන් [පියාත්] මාත් නාඳුනන බැවින් මේ දේවල් කරනවා ඇත.” (යොහන් 16:1-3) මෙහි සඳහන් ‘බාධාවට පත්වීම’ යන්න සඳහා යොදන ක්‍රියා ස්වරූපයේ අර්ථය එක් බයිබල් අකාරාදියක විස්තර කරන්නේ, “කෙනෙකු විශ්වාස කළ යුතු සහ අවනත විය යුතු පුද්ගලයාව අවිශ්වාස කොට ඔහුව අත්හැර පලා යන තත්වයට පත් කරවීම; වැටී යෑමට සැලැස්වීම” ලෙසය. සිහි කිරීමේ කාලය ළඟා වෙනවාත් සමඟම, අතීතයේ සිටි මෙන්ම වර්තමානයේද සිටින ඇදහිලිවන්තයන්ගේ ජීවිත ගැන මෙනෙහි කර පරීක්ෂා හමුවේ නොසැලුණු ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කිරීමට අප සැවොම සිතට ගැනීම යෙහෙකි. යෙහෝවාව සහ යේසුස්ව අත්හැර පලා යෑමට විරෝධතා සහ පීඩාවලට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට, ඔවුන්ව විශ්වාස කිරීමටත් ඔවුන්ට අවනත වීමටත් අදිටන් කරගන්න.

13. යේසුස් තම පියාට කළ යාච්ඤාවේදී ඔහුගේ ගෝලයන් වෙනුවෙන් ඉල්ලා සිටියේ කුමක්ද?

13 යෙරුසලමේ එම උඩුමහල් කාමරයෙන් පිටවීමට පෙර තම පියාට කළ අවසාන යාච්ඤාවේදී යේසුස් මෙසේ කීවේය. “මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛර වුණෝය. ඔබ ලෝකයෙන් ඔවුන් අහක් කරන පිණිස නොව, නපුරාගෙන් ඔවුන් ආරක්ෂා කරන පිණිස යාච්ඤා කරමි. මා ලෝකයෙන් නොවන්නාක් මෙන්ම ඔවුහුද ලෝකයෙන් නොවෙති.” (යොහන් 17:14-16) ලෝකයෙන් වෙන්ව සිටීමට වෙර දරන අයට ශක්තිය දීම සඳහා යෙහෝවා තමන් ප්‍රේම කරන ඒ සියල්ලන් දෙස බලා සිටින බවට සහතික වීමට අපට හැකිය.—යෙසායා 40:29-31.

පියාගේ ප්‍රේමය තුළත් පුත්‍රයාගේ ප්‍රේමය තුළත් රැඳී සිටින්න

14, 15. (අ) යේසුස් තමාව සමාන කරගත්තේ කුමකටද? ඊට වෙනස් වූ “නරක් වූ මිදි වැල” කුමක්ද? (ආ) ‘සැබෑ මිදි වැලේ’ “අතු” වන්නේ කවුරුන්ද?

14 නීසාන් 14වනදා රාත්‍රියේ යේසුස් තම ඇදහිලිවන්ත ගෝලයන් සමඟ කළ කුලුපග සංවාදයේදී, “නරක් වූ මිදි වැල” වන නොඇදහිලිකාර ඉශ්‍රායෙල්ට වෙනස්ව, තමාව ‘සැබෑ මිදි වැලට’ සමාන කරගත්තේය. ඔහු මෙසේ කීවේය. “මම සැබෑ වූ මිදි වැලය, මාගේ [පියා] ගොවියාය.” (යොහන් 15:1) සියවස් ගණනාවකට පෙර, කැරලිකාර සෙනඟට යෙහෝවා පැවසූ දේ ප්‍රොපේත යෙරෙමියා මෙසේ වාර්තා කළේය. ‘මා විසින් නුඹ හොඳ මිදි වැලක් හැටියට සිටුවා තිබුණේය. එසේ වී නම් නුඹ වෙනස් වී මට වල් මිදි වැලක නරක් වූ පැළයක් [රිකිලි, NW] වුණේ කොහොමද?’ (යෙරෙමියා 2:21) තවදුරටත් ප්‍රොපේත හොෂෙයා මෙසේ ලීවේය. “ඉශ්‍රායෙල් නරක් වූ මිදි වැලක්ය. ඔහු තමාටම ඵල උපදවාගන්නේය. . . . ඔවුන්ගේ හදවත් කුහක වෙන්ට පටන්ගෙන ඇත.”—හොෂෙයා 10:1, 2, NW.

15 ඉශ්‍රායෙල් සෙනඟ සැබෑ නමස්කාරය උදෙසා ඵල නිපදවනවා වෙනුවට, ඇදහිල්ල අත්හැර තමන් වෙනුවෙන්ම ඵල උපදවාගත්තෝය. තම ඇදහිලිවන්ත ගෝලයන් සමඟ එම අවසාන හමුවට දින තුනකට පෙර, යේසුස් ඒ කුහක යුදෙව් නායකයන්ට මෙසේ පැවසීය. “නුඹලාට මම කියමි—[දෙවිගේ] රාජ්‍යය නුඹලාගෙන් අහක් කොට එහි ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේය.” (මතෙව් 21:43) මේ අලුත් ජාතිය වන්නේ, යේසුස් ක්‍රිස්තුස් නමැති ‘සැබෑ මිදි වැලේ’ ‘අතුවලට’ සමාන කළ ආලේප ලත් ක්‍රිස්තියානීන් 1,44,000දෙනාගෙන් සැදුම් ලත් ‘දෙවිගේ ඉශ්‍රායෙල්ය.’—යොහන් 15:5; ගලාති 6:16; එළිදරව් 14:1, 3.

16. ඇදහිලිවන්ත ප්‍රේරිතයන් 11දෙනාගෙන් යේසුස් උදක්ම ඉල්ලා සිටියේ කුමක් කිරීමටද? මේ අවසාන කාලයේදී ඇදහිලිවන්ත ඉතිරි කොටස ගැන කිව හැක්කේ කුමක්ද?

16 තමන් සමඟ උඩුමහල් කාමරයේ සිටි ප්‍රේරිතයන් 11දෙනාට යේසුස් මෙසේ කීවේය. ‘මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු ඔහු පහ කරන්නේය. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස ඔහු පවිත්‍ර කරන්නේය. මා තුළ පවතින්න. මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදි වැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවා සේ, නුඹලා මා තුළෙහි නොපවතී නම්, ඵල දරන්ට නුඹලාටත් බැරිය.’ (යොහන් 15:2, 4) ඇදහිලිවන්ත ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටස ඔවුන්ගේ හිස වන යේසුස් ක්‍රිස්තුස් තුළ සෑමවිටම එක්සත්ව සිට ඇති බව යෙහෝවාගේ සෙනඟගේ වත්මන් ඉතිහාසය කියාපායි. (එපීස 5:23) ඔවුන් තමන්ව පවිත්‍ර කිරීම සහ පාහිනු ලැබීම පිළිගෙන තිබේ. (මලාකී 3:2, 3) වර්ෂ 1919 සිට, ඔවුන් බහුල ලෙස රාජ්‍යය වෙනුවෙන් ඵල දරා තිබේ. මුලින්ම අනෙකුත් ආලේප ලත් ක්‍රිස්තියානීන්වද පසුව, 1935 සිට දිනෙන් දින වැඩි වෙන ‘මහත් සමූහයේ’ සාමාජිකයන්වද එක් රැස් කොට තිබේ.—එළිදරව් 7:9; යෙසායා 60:4, 8-11.

17, 18. (අ) යෙහෝවාගේ ප්‍රේමයෙහි පැවතීමට ආලේප ලත් අයටත් වෙනත් බැටළුවන්ටත් උදව් කරන්නේ යේසුස් කී කිනම් වචනද? (ආ) මරණය සිහි කිරීමට පැමිණීම අපට උපකාර කරන්නේ කිනම් ආකාරයෙන්ද?

17 යේසුස් තවදුරටත් කී වචන සියලුම ආලේප ලත් ක්‍රිස්තියානීන්ටත් ඔවුන්ගේ සගයන්ටත් අදාළ වේ. “මාගේ [පියාට] ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය; මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය. [පියා] මට ප්‍රේම කළාක් මෙන්ම මමත් නුඹලාට ප්‍රේම කෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න. මම මාගේ [පියාගේ] ආඥා රක්ෂා කොට [ඔහුගේ] ප්‍රේමයෙහි යම් සේ පවතිම්ද, එසේම නුඹලාත් මාගේ ආඥා රක්ෂා කරවු නම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.”—යොහන් 15:8-10.

18 දෙවිගේ ප්‍රේමයෙහි පවතින්ට අප සැමෝටම ඕනෑය. එය ඵල දරන ක්‍රිස්තියානීන් වීමට අපව පොලඹවන්නේය. අප මෙය කරන්නේ, ‘රාජ්‍යයේ ශුභාරංචිය’ දේශනා කිරීම සඳහා හැකි සෑම ප්‍රස්තාවක්ම අල්ලාගැනීමෙනි. (මතෙව් 24:14) අපේ පුද්ගලික ජීවිතවල ‘ආත්මයේ ඵල’ විදහාපෑමටත් අපි අපේ උපරිමය කරන්නෙමු. (ගලාති 5:22, 23) එසේ කිරීමට තිබෙන අපේ අදිටන ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට පැමිණීමෙන් ශක්තිමත් කරගත හැකි වේ. මන්ද අප කෙරෙහි දෙවි තුළත් ක්‍රිස්තුස් තුළත් තිබෙන අතිශයින් මහත් වූ ප්‍රේමය එමගින් අපට මතක් කර දෙන බැවිනි.—2 කොරින්ති 5:14, 15.

19. ඊළඟ ලිපියේ සාකච්ඡා කෙරෙනු ඇත්තේ කිනම් අමතර උපකාරය ගැනද?

19 යේසුස් තම මරණය සිහි කිරීම පිහිටුවීමෙන් පසු, ඔහුගේ ඇදහිලිවන්ත අනුගාමිකයන්ට තම පියා විසින් “උපකාරකයෙක්, එනම් ශුද්ධාත්මය” එවන බවට පොරොන්දු විය. (යොහන් 14:26, NW) ආලේප ලත් අයට සහ වෙනත් බැටළුවන්ට යෙහෝවාගේ ප්‍රේමයෙහි පැවතීමට මේ ශුද්ධාත්මය උපකාර කරන්නේ කෙසේද යන්න ගැන ඊළඟ ලිපියෙන් විමසනු ඇත.

[පාදසටහන්වල]

^ 2 ඡේ. බයිබලයට අනුව දින ගණන් බැලීමේදී නීසාන් 14වනදා 2002දී වැටෙන්නේ, මාර්තු 28වන බ්‍රහස්පතින්දාටයි. එම සන්ධ්‍යාවේදී ලොව වටා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම සඳහා රැස් වෙති.

^ 8 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇති දේවරාජ්‍යය ප්‍රචාරය කරන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ (සිංහලෙන් නොමැත) නමැති පොතේ 19 සහ 32 පරිච්ඡේද බලන්න.

පුනරීක්ෂණ ප්‍රශ්න

• ප්‍රේමනීය ලෙස එකිනෙකාට සේවය කිරීම ගැන යේසුස් තම ගෝලයන්ට ඉගැන්වූ ප්‍රායෝගික පාඩම කුමක්ද?

• මරණය සිහි කිරීමේ සමය උචිත කාලයක් වන්නේ කුමක් සම්බන්ධයෙන් ආත්ම-සෝදිසියක් කිරීමටද?

• ලෝකයාගෙන් පැමිණෙන වෛරය සහ පීඩා පිළිබඳ යේසුස්ගේ අනතුරු ඇඟවීමෙන් අප බාධාවට පත් නොවිය යුත්තේ මන්ද?

• “සැබෑ වූ මිදි වැල” කවුද? “අතු” කවුද? ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

යේසුස් තම ප්‍රේරිතයන්ට අන් අය වෙනුවෙන් ප්‍රේමනීය ලෙස සේවය කිරීම පිළිබඳ අමතක නොවන අන්දමේ පාඩමක් කියා දුන්නේය

[16, 17වන පිටුවේ පින්තූර]

ආත්ම පරිත්‍යාගී ප්‍රේමය පෙන්වීම පිළිබඳ ආඥාවට ක්‍රිස්තුස්ගේ ගෝලයෝ කීකරු වෙති