Skip to content

පටුනට යන්න

නිකොදේමුස්ගෙන් පාඩමක් ඉගෙනගනිමු

නිකොදේමුස්ගෙන් පාඩමක් ඉගෙනගනිමු

නිකොදේමුස්ගෙන් පාඩමක් ඉගෙනගනිමු

“යමෙක් මා පස්සේ එන්ට කැමති නම්, ඔහු තමාගේම ආශා වලකාගෙන, දවස්පතා තමාගේ [වධකණුව, NW] රැගෙන, මා අනුව ඒවා.” (ලූක් 9:23) යටහත් පහත් ධීවරයන් හා සමාජය විසින් හෙළා දකින ලද අයබදු එකතුකරන්නෙකු එම ඇරයුම පිළිගත්තේ කිසිදු පැකිලීමකින් තොරවයි. යේසුස් අනුව යෑමට ඔවුන් පියවර ගත්තේ සෑම දෙයක්ම පසෙක තබමිනි.—මතෙව් 4:18-22; ලූක් 5:27, 28.

යේසුස් කළ එම ඇරයුම අදදිනත් සිදු කෙරෙන අතර, බොහෝදෙනෙකු එය පිළිගෙන තිබේ. කෙසේවෙතත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට කැමති සමහරුන් ‘තමන්ගේ ආශා වළකාගෙන තමන්ගේ වධකණුව රැගෙන යෑම’ ගැන සිටින්නේ දෙගිඩියාවෙනි. යේසුස්ගේ ගෝලයෙකු වීමෙන් දැරීමට සිදු වන වගකීම් හා එයින් අත් වන අනගි ප්‍රස්තාවන් පිළිගැනීමට ඔවුහු අදිමදි කරති.

යේසුස්ගේ ඇරයුම පිළිගනිමින් යෙහෝවා දෙවිට තමන්ගේ ජීවිත කැප කිරීමෙන් ඇතැමුන් වැළකී සිටින්නේ මන්ද? එක දෙවි කෙනෙකුව පමණක් විශ්වාස කිරීමේ යුදෙව් හා ක්‍රිස්තියානි ආගමික සංකල්පය පැවති පරිසරයක හැදී වැඩී නොමැති අයට පෞද්ගලිකත්වයක් ඇති සර්වබලධාරි මැවුම්කරුවෙකුගේ පැවැත්ම හොඳින් තේරුම්ගැනීමට සෑහෙන කාලයක් අවශ්‍ය විය හැක. එහෙත්, දෙවි සැබෑ පුද්ගලයෙකු බව ඒත්තුගැනීමෙන් පසුව පවා ඔවුන් වැඩි කැමැත්තක් දැක්වූයේ යේසුස්ගේ අඩිපාරේ ගමන් නොකර සිටීමටයි. තමන් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වුවහොත් තමාගේ නෑදෑයන් හා මිත්‍රයන් තමන්ව කොන් කරයි කියන බිය ඔවුන්ට තිබිය හැක. අප ජීවත් වන්නේ ඉක්මනින් පියවරක් ගත යුතු කාලයක බව නොසලකා හරින තවත් සමහරු කීර්තිය හා ධනය පසුපස හඹා යති. (මතෙව් 24:36-42; 1 තිමෝති 6:9, 10) සැබෑ හේතුව කුමක් වුවත්, යේසුස්ගේ අනුගාමිකයෙකු වීමේ තීරණය කල් දමමින් සිටින අයට යේසුස්ගේ කාලයේ සිටි ධනවත් යුදෙව් පාලකයෙකු වූ නිකොදේමුස් ගැන ලියවී තිබෙන වාර්තාවෙන් පාඩමක් ඉගෙනගත හැක.

උතුම් ප්‍රස්තා ලැබූ පුද්ගලයෙක්

යේසුස් ඔහුගේ භූමික සේවය ආරම්භ කර ගත වී තිබෙන්නේ මාස හයක් වැනි කාලයක් පමණි. එසේ වුවත්, යේසුස් ‘දෙවි කෙරෙන් ආවාවූ ගුරුවරයෙකු’ බව නිකොදේමුස් පිළිගනියි. මින් ටික කලකට පෙර, එනම් පො.යු. 30දී යෙරුසලමේ පැවැත්වූ පාස්කුවේදී යේසුස් සිදු කළ ප්‍රාතිහාර්යයන් නිසා ඔහු ගැන දැනගැනීමට උනන්දු වූ නිකොදේමුස් රාත්‍රියේදී ඔහුව හමුවීමට පැමිණෙයි. තමා යේසුස්ව විශ්වාස කරන බවත්, ඔහු උගන්වන දේවල් ගැන තවදුරටත් ඉගෙනගන්න කැමති බවත් නිකොදේමුස් පවසයි. මේ අවස්ථාවේදී යේසුස් ඔහුට පවසන්නේ දෙවිගේ රාජ්‍යයට ඇතුල් වීම සඳහා “නැවත උත්පාදනය වීම” [NW] අවශ්‍ය බවයි. මෙය ගැඹුරින් අධ්‍යයනය කළ යුතු සත්‍යයකි. මේ අවස්ථාවේදී යේසුස් තවදුරටත් මෙසේද පවසයි. ‘දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.’—යොහන් 3:1-16.

නිකොදේමුස් ඉදිරියෙහි තිබෙන්නේ මොනතරම් මවිතකර අපේක්ෂාවක්ද! යේසුස් පොළොව මත ජීවත්ව සිටින කාලය තුළදී කරන කියන දේවල් පෞද්ගලිකව දැකගැනීමට හා ඒවාට සවන් දීමට ප්‍රස්තාව විවෘත වී තිබෙන ඔහුට යේසුස් සමඟ කිට්ටු ඇසුරක්ද භුක්ති විඳීමේ හැකියාව තිබේ. යුදෙව්වන්ගේ පාලකයෙකු මෙන්ම ඉශ්‍රායෙල්හි ගුරුවරයෙකු ලෙස කටයුතු කරන නිකොදේමුස්ට දේවවචනය ගැන හොඳ දැනුමක් ඇත. දෙවි විසින් එවන ලද ගුරුවරයෙකු වශයෙන් යේසුස්ව පිළිගැනීමෙන් පැහැදිලි වන්නේ ඔහුට කාරණා නිවැරදිව වටහාගැනීමේ හොඳ හැකියාවක් තිබෙන බවයි. ආත්මික කාරණා ගැන උනන්දුවක් දක්වන නිකොදේමුස් සුවිශේෂ ආකාරයකින් නිහතමානිකම පෙන්වන පුද්ගලයෙකි. දුප්පත් වඩුවෙකුගේ පුත්‍රයෙකුව දෙවි විසින් එවන ලද මිනිසෙකු ලෙස පිළිගැනීම යුදෙව් මහාධිකරණයේ සාමාජිකයෙකුට කොපමණ අමාරු දෙයක්ද! යමෙකුට යේසුස්ගේ ගෝලයෙකු බවට පත්වීම සඳහා එම ගුණාංග තිබීමේ වටිනාකම කිසිවිටකත් අවතක්සේරු කළ නොහැක.

නාසරෙත්වලින් පැමිණ සිටින මේ මිනිසා ගැන නිකොදේමුස් තුළ තිබෙන උනන්දුව මොහොතකට පමණක් සීමා වූවක් නොවේ. අවුරුදු දෙකහමාරකට පසු කූඩාරම් මංගල්‍යයේදී නිකොදේමුස් සැන්හීඩ්‍රින් කියා හඳුන්වන යුදෙව් මහාධිකරණයේ රැස්වීමකට සහභාගි වෙයි. මේ අවස්ථාව වන විටත් නිකොදේමුස් ‘ඔවුන්ගෙන් [ඵරිසිවරුන්ගෙන්] එක්කෙනෙකි.’ නායක පූජකයා හා ඵරිසිවරු යේසුස්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන්ව යවති. නිලධාරීන් හිස් අතින් ආපසු පැමිණෙන්නේ මෙම වාර්තාව සමඟිනි. “මනුෂ්‍යයෙක් කිසිකලක මෙසේ කතා කළේ නැත.” ඵරිසිවරු ඔවුන්ව පහත් කොට සලකමින් මෙසේ පවසති. “නුඹලාත් මුළාවෙලාද? මුලාදෑනීන්ගෙන්වත් ඵරිසිවරුන්ගෙන්වත් යමෙක් ඔහු කෙරෙහි අදහාගත්තේද? නුමුත් ව්‍යවස්ථාව නොදන්නාවූ මේ සමූහයා ශාප ලද්දෝය.” මේ අවස්ථාවේදී නිකොදේමුස්ට නිහඬව සිටිය නොහැක. ඔහු මෙසේ පවසයි. “යම් මනුෂ්‍යයෙකුගෙන් පළමුකොට නොඅසා, ඔහු කරන්නේ කිමෙක්දැයි ඔහුගෙන්ම නොදැන, අපගේ ව්‍යවස්ථාව ඔහු විනිශ්චය කෙරේද?” අනතුරුව ඵරිසිවරු ඔහුව විවේචනයට ලක් කරමින් මෙසේ පවසති. “නුඹත් ගලීලයෙන්ද? ගලීලයෙන් අනාගතවක්තෘ කෙනෙක් නොනැගිටින බව සොයා බලන්න.”—යොහන් 7:1, 10, 32, 45-52.

මාස හයකට පමණ පසු, එනම් පො.යු. 33 පාස්කුවේදී මිය ගිය යේසුස්ගේ දේහය වධකණුවෙන් ඉවත් කරනවා නිකොදේමුස් දකියි. ඔහු සැන්හීඩ්‍රින්හි තවත් සාමාජිකයෙකු වන අරිමාතියේ යෝසෙප් සමඟ එක්ව යේසුස්ගේ දේහය භූමදානය සඳහා සූදානම් කරයි. මේ සඳහා ඔහු “ගන්ධරස මිශ්‍ර වූ අගිලි” ගෙන එයි. රෝමානු මිනුම් ක්‍රමයට අනුව එහි බර රාත්තල් 100ක් වන අතර, බ්‍රිතාන්‍ය මිනුම් ක්‍රමයට අනුව එය රාත්තල් 72ක් වේ. මේ සඳහා සෑහෙන මිලක් වැය වේ. “ඒ වංචාකාරයා” කියා සෙසු ඵරිසිවරුන්ව හැඳින්වූ යේසුස්ගේ පැත්ත තමන් ගන්න බව ඇඟවීමට නිර්භීතකම අවශ්‍යයි. යේසුස්ගේ දේහය භූමදානය සඳහා ඉක්මනින් පිළියෙළ කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා එය තැන්පත් කරන්නේ ඒ අසල තිබෙන අලුත් සොහොන් ගෙයකය. කෙසේවෙතත් මේ අවස්ථාව වන විටත් නිකොදේමුස්ව යේසුස්ගේ ගෝලයෙකු ලෙස හඳුන්වා නැත.—යොහන් 19:38-42; මතෙව් 27:63; මාර්ක් 15:43.

ඔහු පියවර නොගැනීමට හේතු

නිකොදේමුස් ‘යේසුස්ගේ වධකණුව රැගෙන යමින්’ ඔහු අනුව නොයෑමට හේතුව යොහන් සිය වාර්තාවේ හෙළි කර නැත. කෙසේවෙතත් මේ ඵරිසියා දෙගිඩියාවෙන් සිටීමට හේතු වූ දෑ පිළිබඳව යම් ඉඟි ඔහුගේ වාර්තාවෙන් සොයාගත හැක.

යොහන් මුලින්ම මේ යුදෙව් පාලකයා ගැන සඳහන් කරන අවස්ථාවේදී පෙන්වා දෙන්නේ ඔහු ‘රාත්‍රියේදී යේසුස් ළඟට’ පැමිණි බවයි. (යොහන් 3:2) එසේ ඔහු රාත්‍රියේදී පැමිණීමට හේතුව ගැන එක් බයිබල් විශාරදයෙක් මෙසේ පැහැදිලි කරයි. “නිකොදේමුස් රාත්‍රියේදී පැමිණියේ බිය නිසා නොව, යේසුස් සමඟ කතා කරද්දී සෙනඟගෙන් පැමිණිය හැකිව තිබූ බාධා වළක්වාගැනීම සඳහාය.” එහෙත් යොහන් නිකොදේමුස්ව “පළමුවෙන් රාත්‍රියෙහි [යේසුස්] ළඟට ආවාවූ [තැනැත්තා]” ලෙස විස්තර කිරීමට කලින් ඔහු අරිමාතියේ යෝසෙප්ව විස්තර කළේ “යුදෙව්වරුන්ට භය නිසා රහසින් [යේසුස්ගේ] ගෝලයෙක්ව සිටි” කෙනෙකු ලෙසය. (යොහන් 19:38, 39) මේ නිසා නිකොදේමුස් යේසුස්ව හමුවීමට රාත්‍රියේදී පැමිණියේ ඔහුගේ කාලයේ සිටි ඇතැම් අය මෙන් ඔහුද ‘යුදෙව්වරුන්ට භය’ වූ නිසා විය හැක.—යොහන් 7:13.

යේසුස්ගේ ගෝලයෙකු වීමට තීරණය කිරීම ඔබ කල් දමමින් සිටින්නේ ඔබේ නෑදෑයන්, මිතුරන් හා වෙනත් ආශ්‍රිතයන් ඔබට පැවසිය හැකි දේවල් ගැන සිතන නිසාද? හිතෝපදේශයක මෙසේ පැවසේ. “මනුෂ්‍යයාට භයවීම මලපතක්ය.” එම බියට මුහුණ දීමට ඔබට හැක්කේ කෙසේද? එම හිතෝපදේශයේම මෙසේ සඳහන් වේ. “[යෙහෝවා] කෙරෙහි විශ්වාස කරන්නා සුරක්ෂිතව සිටියි.” (හිතෝපදේශ 29:25) යෙහෝවා කෙරෙහි එවන් විශ්වාසයක් ගොඩනඟා ගැනීමට නම් දුෂ්කරතා අද්දකින අවස්ථාවලදී දෙවි ඔබව උසුලන බව ඔබම පෞද්ගලිකව අද්දැකිය යුතුයි. යෙහෝවාට යාච්ඤා කරන්න. ඔබේ නමස්කාරය සම්බන්ධයෙන් කුඩා තීරණයක් වුවත් ගැනීමට සිදු වන විටදී ඔහුගෙන් ධෛර්යය ඉල්ලන්න. මෙසේ ක්‍රමානුකූලව වර්ධනය වන යෙහෝවා කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල හා විශ්වාසය ඔහුගේ කැමැත්ත කිරීම සම්බන්ධයෙන් බැරෑරුම් තීරණ ගැනීමට තරම්ම ශක්තිමත් වනු ඇත.

තමාව නොසලකා හැරීමේ වැදගත් පියවර ගැනීමෙන් වැළකී සිටීමට නිකොදේමුස්ට බලපෑ තවත් හේතුවක් විය හැක්කේ පාලක පන්තියේ කෙනෙකු වශයෙන් ඔහුට හිමි වී තිබූ තනතුර හා ගරුබුහුමන්ය. ඒ අවස්ථාව වන විටත් ඔහු යුදෙව් මහාධිකරණයේ සාමාජිකයෙකු වශයෙන් ඔහුගේ තත්වය රැකගැනීමට දැඩි කැමැත්තක් දැක්වූවා විය යුතුයි. ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු වීමට ඔබ අදිමදි කරන්නේ සමාජයේ ඔබට තිබෙන තත්වය අහිමි වෙයි කියන බිය නිසාද? නැත්නම් සමාජයේ ඉහළ තැනකට ළඟාවීමේ ඇතැම් ඉලක්ක අත්හැරීමට ඔබට සිදු වන නිසාද? මේ කිසිම දෙයක් මුළු විශ්වයේම මහෝත්තමයාට සේවය කිරීමේ ගෞරවනීය තත්වය සමඟ සැසඳිය නොහැක. ඔහුගේ කැමැත්තට එකඟව ඔබ කරන ඕනෑම ඉල්ලීමක් ඉටු කර දෙන්න ඔහු කැමැත්තෙන් සිටියි.—ගීතාවලිය 10:17; 83:17; 145:18.

යේසුස්ගේ ගෝලයෙකු වීමට නිකොදේමුස් කල් දැමීමට හේතු වූ තවත් දෙයක් වූයේ ඔහුගේ පොහොසත්කම විය හැකියි. ඵරිසිවරයෙකු වූ ඔහු ‘මුදලට ආශා කළ’ සෙසු ඵරිසිවරුන්ගේ බලපෑමට ලක් වී සිටින්න ඇති. (ලූක් 16:14) වටිනා සුගන්ධ ද්‍රව්‍ය මිල දී ගැනීමෙන් පැහැදිලි වන්නේ ඔහු ධනවත් කෙනෙකු බවයි. අදදින සිටින සමහරුන් ක්‍රිස්තියානියෙකු වීමේ වගකීම් භාරගැනීමේ තීරණය ප්‍රමාද කරමින් සිටින්නේ ඔවුන් සතු ද්‍රව්‍යමය වස්තුවට සිදු විය හැකි දේ ගැන කනස්සල්ලෙන් සිටින නිසාය. කෙසේවෙතත්, යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙම උපදේශය දුන්නේය. “කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. . . . මක්නිසාද මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය [පියා දනියි]. නුමුත් පළමුකොට [ඔහුගේ] රාජ්‍යයද [ඔහුගේ] ධර්මිෂ්ඨකමද සොයන්න. මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය.”—මතෙව් 6:25-33.

ඔහුට අහිමි වීමට තිබූ දෑ බොහෝය

නිකොදේමුස් කෙදිනක හෝ යේසුස්ගේ අනුගාමිකයෙකු වූවාද නැද්ද යන්න ගැන ඔහු පිළිබඳව යොහන්ගේ සුවිශේෂයේ පමණක් දැකිය හැකි වාර්තාවෙහි සඳහන් නොවී තිබීම උනන්දුව දනවනසුලු කරුණකි. එක් මතයකට අනුව, නිකොදේමුස් යේසුස්ගේ පැත්ත ගෙන බව්තීස්ම වීම නිසා යුදෙව්වන්ගේ හිංසා පීඩාවලට ගොදුරු වී ඔහු දැරූ තනතුරුවලින් ඔහුව ඉවත් කර අවසානයේදී යෙරුසලමෙන් පිටුවහල් කළ බව විශ්වාස කෙරේ. සිදු වූ දෙය කුමක් වුවත්, එක දෙයක් නම් ස්ථිරයි. එනම් යේසුස් පොළොව මත සිටි කාලයේදී ඔහුගේ ගෝලයෙකු වීමේ තීරණය කල් දමමින් සිටීම නිසා ඔහු වටිනා ප්‍රස්තාවන් බොහෝමයක් අහිමි කරගත් බවය.

යේසුස්ව හමු වූ මුල් කාලයේදීම නිකොදේමුස් ඔහුව අනුගමනය කිරීමට පටන්ගත්තා නම්, ස්වාමීන්ගේ කිට්ටු ගෝලයෙකු වීමේ ප්‍රස්තාව ඔහු හමුවෙහි විය. එමෙන්ම දැනුම, අවබෝධය, නිහතමානිකම මෙන්ම ආත්මික අවශ්‍යතා ගැන සාවධානව සිටීම නිසා යේසුස්ගේ ප්‍රමුඛ ගෝලයෙකු වීමේ අවස්ථාවද තිබිණ. අසන්නන්ව විස්මයට පත් කළ උතුම් ගුරුවරයාගේ කතාවලට සවන් දීම, යේසුස්ගේ උපහැරණවලින් වටිනා පාඩම් ඉගෙනගැනීම, යේසුස් සිදු කළ ප්‍රාතිහාර්යයන් තමාගේ ඇස්වලින්ම දැකගැනීම හා යේසුස් ඔහුගේ ගෝලයන්ගෙන් සමුගැනීමේදී ඔවුන්ට දුන් උපදෙස්වලින් ශක්තිය ලබාගැනීම වැනි කදිම ප්‍රස්තා ඔහු ඉදිරියෙහි විය. එහෙත් මේ සියල්ලම ඔහු අහිමි කරගත්තේය.

නිකොදේමුස් දෙගෙඩියාවෙන් සිටීම නිසා ඔහුට බොහෝ දේවල් අහිමි විය. ඒවා අතර යේසුස්ගේ මෙම උණුසුම් ආරාධනාවද විය. “වෙහෙස වෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.” (මතෙව් 11:28-30) යේසුස්ව කිට්ටුවෙන් ඇසුරු කිරීමෙන් සහනය ලබාගැනීමේ අවස්ථාවද නිකොදේමුස් අහිමි කරගත්තේය.

ඔබ ගැන කුමක් කිව හැකිද?

වර්ෂ 1914 සිට යේසුස් ක්‍රිස්තුස් දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ රජු ලෙස පැමිණ සිටීමේ කාලය ආරම්භ වී තිබේ. ඒ කාලයේදී සිදු වන බවට ඔහු පුරෝකථනය කළ දේවල් අතර මෙයද විය. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) අන්තිමය පැමිණෙන්න කලින් ලොව පුරාම දේශනා කිරීමේ කාර්යය සිදු කළ යුතුයි. මෙම කාර්යය සඳහා අසම්පූර්ණ මිනිසුන්ව යොදවාගැනීමට යේසුස් ක්‍රිස්තුස් සතුටෙන් සිටී. ඔබටත් මෙම කාර්යයෙහි හවුල් විය හැක.

යේසුස් දෙවි වෙතින් පැමිණි බව නිකොදේමුස් පිළිගත්තේය. (යොහන් 3:2) බයිබලය පාඩම් කිරීමෙන් ඔබද එම නිගමනයට පැමිණ තිබෙන්න පුළුවනි. එමෙන්ම බයිබල් ප්‍රමිතිවලට අනුකූලව ඔබේ ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා නොයෙක් වෙනස්කම්ද ඔබ කර තිබෙනවා විය හැකියි. බයිබලය පිළිබඳව වැඩි දැනුමක් ලබාගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට පවා ඔබ යනවා වන්න පුළුවන්. මේ දේවල් කිරීම සඳහා ඔබ දරන වෑයම් ඇත්තෙන්ම පැසසුමට ලක් කිරීම වටී. යේසුස්ව දෙවි විසින් ඒවා තිබුණු බව තේරුම්ගැනීමට වඩා වැඩි යමක් නිකොදේමුස් කළ යුතුව තිබිණ. එනම් ‘ඔහු තමාගේම ආශා වලකාගෙන, දවස්පතා තමාගේ වධකණුව රැගෙන, [යේසුස්] අනුව යා’ යුතු විය.—ලූක් 9:23.

ප්‍රේරිත පාවුල් අපට පවසන මෙම වදන් සිතට ගන්න. ‘අපි දෙවි සමඟ හවුල් වැඩ කරන්නෝ වන්නෙමු. නුඹලා ඔහුගේ අනුග්‍රහය නිෂ්ප්‍රයෝජනයේ නොලබන [දෙවිගේ මහත් කරුණාව පිළිගෙන එහි අරමුණ වරදවා තේරුම් නොගන්නා, NW] ලෙස ඉල්ලා සිටිමුව. මක්නිසාද, පිළිගත යුතුවූ කාලයකදී නුඹට ඇහුම්කන් දුනිමි. ගැළවීමේ දවසකදී නුඹට පිහිට වුණෙමියි කියා ඔහු කියයි. මෙන්න, දැන් පිළිගත යුතුවූ කාලයය. මෙන්න, දැන් ගැළවීමේ දවසය.’—2 කොරින්ති 6:1, 2.

ඔබව ක්‍රියාවට පොලඹවන ආකාරයේ ඇදහිල්ලක් ගොඩනඟා ගැනීමට කාලය දැන්ය. මේ සඳහා ඔබ බයිබලයෙන් ඉගෙනගන්න දේවල් මෙනෙහි කිරීමට කාලය ගන්න. යෙහෝවාට යාච්ඤා කරන්න. එවන් ඇදහිල්ලක් ඇති කරගැනීම සඳහා ඔහුගෙන් උපකාර ඉල්ලන්න. ඔහුගේ උපකාරය ඔබ ලබද්දී ඔහුට කෘතගුණ දැක්වීමටත් ප්‍රේම කිරීමටත් ඔබ තුළ පෙලඹීමක් ඇති වනු ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ‘ඔබේ ආශා වලකාගෙන, දවස්පතා ඔබේ වධකණුව රැගෙන යේසුස් අනුව දිගටම යන්න’ ඔබ තුළ සැබෑ වුවමනාවක් ඇති වේ. යේසුස් අනුව යෑමට ඔබ දැන්ම පියවර ගනීවිද?

[9වන පිටුවේ පින්තූරය]

මුලින්, නිකොදේමුස් නිර්භීතව යේසුස්ගේ පැත්ත ගත්තේය

[9වන පිටුවේ පින්තූරය]

විරුද්ධවාදිකම් මැද පවා නිකොදේමුස් භූමදානය සඳහා යේසුස්ගේ දේහය සකස් කිරීමට උපකාර කළේය

[10වන පිටුවේ පින්තූරය]

පියවර ගැනීමට අවශ්‍ය ශක්තිය පෞද්ගලික අධ්‍යයනයෙන් හා යාච්ඤාවෙන් ඔබට ලබාගත හැක

[10වන පිටුවේ පින්තූරය]

යේසුස් ක්‍රිස්තුස්ගේ නායකත්වය යටතේ සේවය කිරීමේ වරප්‍රසාදය ඔබ පිළිගන්නවාද?