Skip to content

පටුනට යන්න

පිරිසිදුකම එහි නියම අරුත කුමක්ද?

පිරිසිදුකම එහි නියම අරුත කුමක්ද?

පිරිසිදුකම එහි නියම අරුත කුමක්ද?

දහඅටවන හා දහනවවන සියවස්වල යුරෝපයේ හා එක්සත් ජනපදයේ පැවතුණේ ඉතාම පිළිකුල්සහගත තත්වයක්. ඊට පිළියමක් වශයෙන් ඒ කාලයේ සිටි මිෂනාරිවරුන් “පිරිසිදුකමේ මූලධර්මය” ලෙස හැඳින්විය හැකි ප්‍රතිපත්ති මාලාවක් ගැන දේශනා කළා. අපිරිසිදුකම පාපයට සමාන බවත් පිරිසිදුකම අපව දෙවිට තව තවත් ළං කරවන බවත් මෙහිදී උගන්වා තිබුණා. “පවිත්‍රත්වය දෙවෙනි වන්නේ දේවත්වයට පමණි” යන ඉංග්‍රීසි කියමන ප්‍රචලිත වුණේ ඒ නිසා විය හැකියි.

විලියම් සහ කැතරින් බූත් විසින් පිහිටෙවූ ගැළවීමේ හමුදාව කටයුතු කළේත් මෙම ප්‍රතිපත්තියට එකඟවයි. රෙපරමාදු සම්ප්‍රදායට අනුකූල සෞඛ්‍යය හා වෛද්‍ය ප්‍රතිකාරය යන කෘතියට අනුව ඔවුන් මුලින්ම ප්‍රකාශ කළ උද්‍යෝග පාඨ අතරින් එකක් වූයේ “සබන්, සුප් හා ගැළවීම” යන්නයි. ඉන්පසු ලුවී පාස්චර් සහ වෙනත් අය බැක්ටීරියා හා රෝග ඇතිවීම අතර ඇති සම්බන්ධය ස්ථිරසාර ලෙස ඔප්පු කළා. මෙය මහජන සෞඛ්‍ය දියුණු කිරීම උදෙසා වැඩසටහන් සංවිධානය කිරීමට තවත් රුකුල් දුන් අතර ඒ සඳහා විද්‍යාත්මක පදනමකුත් සැපයුවා.

මෙම සොයාගැනීම්වලට එකඟව උසාවියේදී සාක්ෂි දෙන අය බයිබලය සිප ගත යුතුයි යන නීතිය අහෝසි කිරීමටත් පාසැල්වල හා දුම්රිය ස්ථානවල පොදු කෝප්පයකින් වතුර බීමේ සිරිත අත්හැරීමටත් ඉක්මන් පියවර ගත්තා. පල්ලියේ ආගමික මෙහෙයන්වලදී සැමෝටම එක කුසලානයකින් බොන්න දෙනවා වෙනුවට එක් එක්කෙනාට වෙන වෙනම කෝප්ප දීමටත් උත්සාහ කළා. ඔව්, පිරිසිදුකම පිළිබඳ ජනයාගේ මතය වෙනස් කිරීමට පුරෝගාමී වූවන් සෑහෙන දුරකට සාර්ථක වූ බවක් පෙනෙන්ට තිබුණා. ඔවුන් කොතරම් සාර්ථක වූවාද කිව්වොත් එක් ලේඛකයෙක් පැවසුවේ ඔවුන් “පිරිසිදුකම සමඟ අත්වැල් බැඳගැනීමක්” සිදු කළ බවයි.

කනගාටුදායක ලෙස, “පිරිසිදුකම සමඟ” ඇති වූ මෙම “අත්වැල් බැඳගැනීම” පෙනෙන්න තිබුණේ මතුපිටින් පමණයි. වැඩි කල් යන්න කලින් දක්ෂ වෙළෙන්දෝ දෛනික ජීවිතයේ භාවිත කරන සබන් රුව වඩවන ද්‍රව්‍යයක් බව විශ්වාස කිරීමට ජනයාව පෙලඹුවා. යම් සනීපාරක්ෂක ද්‍රව්‍ය භාවිත කිරීමෙන් අන්‍යයන් තුළ ඊර්ෂ්‍යාසහගත හැඟීම් ඇති කරවනසුලු සමාජයේ හොඳ පිළිගැනීමක් ලබාගත හැකියි යන අදහස සූක්ෂ්ම වෙළෙඳ දැන්වීම් මගින් පාරිභෝගිකයාගේ මනස තුළට ඇතුල් කළා. රූපවාහිනිය මෙම මුළා කරවනසුලු අදහස්වලට දිගින් දිගටම උල්පන්දම් දෙමින් සිටිනවා. වෙළඳ දැන්වීම්වල සහ ටෙලි වෘත්තාන්තවල සිටින සාර්ථක දිවි පෙවෙතක් ගත කරන කාගෙත් සිත් ඇදගන්නා පුද්ගලයන්, ගෙවල් දොරවල් අස් පස් කිරීම, මිදුල අතු ගෑම, කුණු කසළ ඉවත් කිරීම නැත්නම් සුරතල් සතුන්ගේ මළ මූත්‍රා ඉවත් කිරීම වගේ වැඩ කරන බව නම් පෙන්වන්නේ කලාතුරකින්.

බිල්පත් ගෙවාගන්න නම් ගෙදර ඉඳලා හරියන්නේ නැහැ, වැඩට යන්න ඕනේ. ගෙවල් දොරවල් අස් පස් කරලා, පිරිසිදු කරලා ආර්ථිකය ගොඩනඟා ගන්න බැහැයි කියා තර්ක කරන අයත් සිටිනවා. අනික, පරිසරය රැක්කයි කියලා මුදලක් ලැබෙන්නේ නැහැනේ, ඉතිං මොකටද ඒ ගැන කරදර වෙන්නේ කියා ඇතමෙක් කල්පනා කරන්න පුළුවන්. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පිරිසිදුකම තම ශාරීරික සනීපාරක්ෂාවට පමණක් සීමා වූ දෙයක් බව සිතීමට ඇතමෙක් පෙලඹී තිබෙනවා.

පිරිසිදුකම පිළිබඳ දේවදෘෂ්ටිය

පිරිසිදුකම ගැන ඉගැන්වීමට දැරූ එම අතීත වෑයම් මිනිසුන්ගේ ජීවන රටාව දියුණු කිරීමට දායක වූ බව නිසැකයි. ඇත්තෙන්ම එවන් පියවර ගැනීම සුදුසු දෙයක්. මන්ද පිරිසිදුකම යනු පිරිසිදු හා ශුද්ධ දෙවි වන යෙහෝවාට ආවේනික වූ ගුණාංගයක්. එහි උල්පත වන්නේද ඔහුයි. අපේ සියලු මාර්ගවලදී ශුද්ධකම හා පිරිසිදුකම රැකීමට උගන්වන ඔහු එමගින් අපට ප්‍රයෝජන අත් කර දෙයි.—යෙසායා 48:17; 1 පේතෘස් 1:15.

යෙහෝවා දෙවි පිරිසිදුකමේ පරමාදර්ශයයි. පිරිසිදුකම ඇතුළු ඔහුගේ අනිකුත් ගුණාංග මැවිල්ල තුළින් පැහැදිලිව දැකගන්න පුළුවන්. (රෝම 1:20) මැවිල්ලෙන් පරිසරයට දිගුකාලීන හානියක් සිදු නොවන බව අපි දන්නවා. මන්ද ස්වාභාවික චක්‍ර ගණනාවකින් යුත් ආශ්චර්යමත් පෘථිවිය ස්වයංක්‍රීය ලෙස පිරිසිදු වෙනවා. ඒ වගේම, එය නිර්මාණය කර තිබෙන්නේ පිරිසිදු මෙන්ම සනීපාරක්ෂිත ජීවිතයක් ගත කිරීමට හැකි වන ආකාරයකටයි. මෙවන් පිරිසිදු නිර්මාණයක් කළ හැක්කේ පිරිසිදු මනසකින් යුත් නිර්මාතෘවරයෙකුට පමණයි. මෙයින් අපට නිගමනය කළ හැකි එක් දෙයක් වන්නේ දෙවිගේ නමස්කාරකයන්ද ඔවුන්ගේ ජීවිතයේ සෑම අංගයකදීම පිරිසිදු විය යුතු බවයි.

පිරිසිදුකමේ අංග හතර

දෙවිගේ නමස්කාරකයන් විසින් ලුහුබැඳිය යුතු පිරිසිදුකමට පැති හතරක් ඇති බව බයිබලයේ පෙන්වා දෙනවා. මෙම පැති හතරම අපි වෙන් වෙන් වශයෙන් සලකා බලමු.

ආත්මික. මෙය පිරිසිදුකමේ වැදගත්ම අංගය බව පැවසිය හැකියි. මන්ද සදාකාල ජීවනය ලබාගැනීමට යමෙකුට ඇති ප්‍රස්තාව රඳා පවතින්නේ ඒ මතයි. පිරිසිදුකමේ වැඩියෙන්ම නොසලකා හරින අංගයත් එය බව කනගාටුවෙන් වුවද කිව යුතුයි. සරලව කිව්වොත් ආත්මික පිරිසිදුකම කියන්නේ සත්‍ය හා බොරු නමස්කාරය අතර දෙවි තබා ඇති සීමා මායිම්වලින් පිට නොපැනීමයි. මන්ද, දෙවි ඕනෑම ආකාරයක බොරු නමස්කාරයක් සලකන්නේ අපිරිසිදු දෙයක් හැටියටයි. ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා. ‘ඔබ ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න. අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නයයි යෙහෝවා කියන්නේය. එවිට මම ඔබව පිළිගන්නෙමි.’ (2 කොරින්ති 6:17) ක්‍රිස්තුස්ගේ ගෝලයෙක් වූ යාකොබ්ද ඉතා පැහැදිලිව මෙසේ ප්‍රකාශ කළා. ‘අපගේ පිය වූ දෙවි ඉදිරියෙහි පිරිසිදු වූ නොකිලුටු වූ භක්තිය නම් ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාවම ආරක්ෂා කරගැනීමයි.’—යාකොබ් 1:27.

සත්‍ය නමස්කාරය සමඟ බොරු නමස්කාරය මිශ්‍ර කිරීම ගැන දෙවි තම අප්‍රසාදය ඍජුවම ප්‍රකාශ කළා. බොහෝවිට, අපවිත්‍ර හැසිරීමත් පිළිකුල් වූ රූප හා දෙවිවරුන් ඇදහීමත් බොරු නමස්කාරයේ දැකගත හැකියි. (යෙරෙමියා 32:35) එමනිසා අපවිත්‍ර නමස්කාරයට සුළු වශයෙන් හෝ සහභාගි නොවන මෙන් සැබෑ ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා තිබෙනවා.—1 කොරින්ති 10:20, 21; එළිදරව් 18:4.

සදාචාරාත්මක. මෙහිදීත් දෙවි පිරිසිදු හා අපිරිසිදු හැසිරීම පැහැදිලි ලෙස වෙන් කොට දක්වා තිබෙනවා. එපීස 4:17-19ට [NW] අනුව, සමස්තයක් වශයෙන් ලෝකයේ ජනයා ‘සිටින්නේ මනසින් අඳුරුව හා දේවභක්තික ජීවිතයට විදේශීයවයි. සදාචාර හැඟීම්වලින් තොර ඔවුන් සල්ලාලකමෙහි ඇලී ගැලී සිටිමින් ඉවක් බවක් නොමැතිව ගිජු ලෙස අනාචාරයේ යෙදෙනවා.’ මෙම දුරාචාරමය සිතුවිලි විවිධාකාරවලින්, එනම් වක්‍රාකාරව හා සූක්ෂ්මව පිළිබිඹු කළ හැකි නිසා ක්‍රිස්තියානීන් සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුයි.

ගණිකා වෘත්තිය, සමලිංගික සේවනය, විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම හා කාමුක කෘති නැරඹීම වැනි දේවල නිරත වීම සදාචාරාත්මක පිරිසිදුකම පිළිබඳ දෙවිගේ නීති උල්ලංගනය කිරීමක් බව දෙවිට ප්‍රේම කරන අය දන්නවා. නමුත් විලාසිතා ලෝකයේ හා විනෝදාස්වාදය තුළ මෙම ක්‍රියාවන් සාමාන්‍ය දේවල් බවට පත් වී තිබෙන අතර එම මාධ්‍යයන් ඔස්සේ ඒවා යම් ආකාරයකින් හෝ නිරූපණය කෙරෙනවා. එමනිසා එවැනි ප්‍රවණතාවලට හසු නොවී සිටීමට නම් ක්‍රිස්තියානීන් සුපරීක්ෂාකාරි විය යුතුයි. ක්‍රිස්තියානි රැස්වීම්වලට හෝ ප්‍රිය සම්භාෂණවලට සහභාගි වන විට ඉතා කෙටි වූ, ශරීරය නුසුදුසු ලෙස නිරාවරණය වන, ඇඟටම හිර වූ හෝ ඇඟ විනිවිද පෙනෙන ඇඳුම් ඇඳීමෙන් ශරීරයට අනවශ්‍ය අවධානයක් ඇදගන්නා අතර එය විනීතකමේ ඌනතාවක් පිළිබිඹු කරනවා. මෙයින් ක්‍රිස්තියානි සභාව තුළ පිළිකුල් වූ ලෞකික ආකල්ප වර්ධනය වීමට ඉඩ තිබෙනවාට අමතරව අන්‍යයන් තුළ අශික්ෂිත හැඟීම් පුබුදුවාලීමට පවා හේතුවක් වෙන්න පුළුවන්. මෙම කාරණය සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන් “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” විදහාපෙන්වීමට දැඩි උත්සාහයක් දැරිය යුතුයි.—යාකොබ් 3:17.

මානසික. කාටත් නොපෙනෙන අපේ මනසට අපිරිසිදු සිතුවිලිවල තෝතැන්නක් වීමට අපි ඉඩ නොදිය යුතුයි. අපවිත්‍ර සිතුවිලි ඇති කරගැනීම ගැන අනතුරු අඟවමින් යේසුස් මෙසේ පැවසුවා. “ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමඟ සිතින් [පරදාර සේවනය, NW] කළේය.” (මතෙව් 5:28; මාර්ක් 7:20-23) කාමුක කෘති හා චිත්‍රපටි නැරඹීම, අශික්ෂිත ලිංගික හැසිරීම විස්තර කරන පොත් පත් කියවීම හා ලිංගික හැඟීම් පුබුදුවාලන ගීතවලට සවන් දීම සම්බන්ධයෙන්ද මෙම වචන අදාළයි. එමනිසා පිළිකුල් වූ අශුද්ධ කතාවලට හෝ ක්‍රියාවලට පෙරළිය හැකි අශික්ෂිත සිතුවිලිවලින් තමන්වම දූෂණය කරගැනීමෙන් ක්‍රිස්තියානීන් වැළකී සිටියි යුතුයි.—මතෙව් 12:34; 15:18.

ශාරීරික. ශුද්ධකම හා ශාරීරික පිරිසිදුකම අතර කිට්ටු සම්බන්ධයක් ඇති බව බයිබලයේ පෙන්වයි. නිදසුනකට ප්‍රේරිත පාවුල් ලිවූ දේ සලකා බලන්න. “ප්‍රේමවන්තයෙනි, . . . මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍ර කරගනිමින්, [දෙවි] කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණ කරගනිමු.” (2 කොරින්ති 7:1) එමනිසා සැබෑ ක්‍රිස්තියානීන් තමන්ගේ පෞද්ගලික තත්වයන්ට අනුව හැකි තාක් දුරට තමන්ගේ ශරීරය, නිවස සහ වටපිටාව පිරිසිදුව හා පිළිවෙළකට තබාගත යුතුයි. සේදීමට හා නෑමට ජලය ප්‍රමාණවත්ව නොලැබෙන ප්‍රදේශවල සිටින ක්‍රිස්තියානීන් පවා පිරිසිදුව හා ප්‍රසන්න පෙනුමක් ඇතුව සිටීමට උපරිම වෑයමක් දරන්න අවශ්‍යයි.

ශාරීරිකව පිරිසිදුව සිටීමට නම් පමණට වඩා මත්පැන් පානය කිරීමෙන් හා මොනයම් ආකාරයකින් හෝ දුම්කොළ භාවිත කිරීමෙන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් වැළකී සිටින්න අවශ්‍යයි. මන්ද මේ සෑම දෙයකින්ම ශරීරය කිලිටි වන අතර එයට හානි පමුණුවයි. සාලමොන්ගේ ගීතිකාවේ විස්තර කර ඇති එඬේරා ෂූලම්මීය ළඳගේ ඇඳුම්වලින් හැමූ මිහිරි සුවඳ අගය කළා. (සාලමොන්ගේ ගීතිකාව 4:11) අපේ පෞද්ගලික සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වීම ප්‍රේමනීය දෙයක්. මන්ද උහුලගන්න බැරි දුගඳක් අපෙන් නික්මෙනවා නම් එය අන්‍යයන්ව අපහසුතාවකට ලක් කරන්න පුළුවන්. සුවඳ විලවුන් භාවිත කිරීමෙන් ශරීරයට නැවුම් සුවඳක් ලබාගත හැකි බව ඇත්තයි. ඒ වුණත් නිතිපතා නෑම හා ඇඳුම් සේදීම වෙනුවට එය විකල්පයක් නෙවෙයි.

සමබර දෘෂ්ටියක් පවත්වාගැනීම

ශාරීරික පිරිසිදුකම සම්බන්ධයෙන් මිනිසුන් අන්තයට යන්න ඉඩ තිබෙනවා. එක් අතකින්, පිරිසිදුකම ගැන අන්තවාදී වීමෙන් ජීවිතයේ ප්‍රීතිය නැති වී යා හැකියි. එයින් වටිනා කාලයද අපතේ යන්න පුළුවන්. අනික් අතට, අපිළිවෙළකට තබාගන්නා කිලිටි ගෙවල් අලුත්වැඩියා කිරීම සඳහා අධික මුදලක් වැය විය හැකියි. මේ අන්තයන් දෙකටම නොයා, ප්‍රායෝගික හා සමබර ආකාරයකින් අපේ නිවෙස් පවිත්‍රව හා ප්‍රියමනාපව තබාගන්න අපට පුළුවන්.

සරල වෙන්න. සෑම තැනම බඩු මුට්ටු තිබෙන නිවෙස් හෝ කාමර පිරිසිදු කිරීම අපහසුයි. ඒ වගේම, ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නැති තරමට බඩු තිබෙන විට කුණු දැකගැනීමත් අපහසු විය හැකියි. ඕනෑවට වැඩිය බඩු නොමැති චාම් නිවෙස් පිරිසිදු කිරීමට ගත වන කාලය අඩුයි. “කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටු වන්නෙමු” යනුවෙන් පවසමින් බයිබලය සරල ජීවන රටාවක් ගත කරන්න කියා නිර්දේශ කරනවා.—1 තිමෝති 6:8.

පිළිවෙළකට තබාගන්න. නිවසක ජීවත් වන සියලුදෙනාටම එය පිරිසිදුව තබාගැනීමේ වගකීම තිබෙනවා. බොහෝවිට කාමර අපිළිවෙළකට නම් තිබෙන්නේ ක්‍රමක්‍රමයෙන් මුළු නිවසම ඒ තත්වයට පත් වෙනවා. පිළිවෙළකට තබාගැනීම කියන්නේ සෑම දෙයක්ම නියමිත ස්ථානයෙහි තබාගැනීමයි. උදාහරණයකට, කිලිටි ඇඳුම් නිදන කාමරයේ බිම විසි කර නොදැමිය යුතුයි. ඒ වගේම, සෙල්ලම් බඩු, උපකරණ ආදිය එහෙ මෙහෙ දැමීම අනතුරුදායක විය හැකියි. ඇත්තෙන්ම බොහෝ අනතුරු සිදු වන්නේ අපිළිවෙළකට සිටීම නිසයි.

පිරිසිදුකම ක්‍රිස්තියානි ජීවන මඟට නැතුවම බැරි දෙයක් බව මින් පැහැදිලියි. ප්‍රොපේත යෙසායා දේවභක්තික ජීවිතය විස්තර කළේ “ශුද්ධකමේ මාර්ගය” ලෙසයි. “අපිරිසිදු කෙනෙක් එහි නොයන්නේය” යන බැරෑරුම් වචනද ඔහු එම විස්තරයට ඇතුළත් කළා. (යෙසායා 35:8) ඔව්, දැන් පිරිසිදුකම සම්බන්ධ හොඳ පුරුදු වර්ධනය කරගැනීමෙන්, නුදුරු අනාගතයේදී පිරිසිදු පාරාදීස පොළොවක් ස්ථාපිත කිරීමට වූ දෙවිගේ පොරොන්දුව කෙරෙහි අපට ඇදහිල්ල තිබෙන බවට අප ස්ථිරසාර සාක්ෂි සපයනවා. ඒ කාලයේදී, මෙම මනහර පොළොව මත වෙසෙන සියල්ලන්ම පිරිසිදුකම පිළිබඳ යෙහෝවා දෙවිගේ පරිපූර්ණ ප්‍රමිති සියල්ලක්ම පවත්වමින් ඔහුට ප්‍රශංසාව ගෙන දෙන බව නිසැකයි.—එළිදරව් 7:9.

[6වන පිටුවේ පින්තූරය]

නිවසේ ජීවත් වන සියලුදෙනාටම එය පිරිසිදුව තබාගැනීමේ වගකීම තිබෙනවා

[7වන පිටුවේ පින්තූරය]

පෘථිවිය ආශ්චර්යවත් ආකාරයකින් ස්වයංක්‍රීයව පිරිසිදු වෙනවා