Skip to content

පටුනට යන්න

පිරිසිදුකම කොතරම් වැදගත්ද?

පිරිසිදුකම කොතරම් වැදගත්ද?

පිරිසිදුකම කොතරම් වැදගත්ද?

පිරිසිදුකම නිර්වචනය කරන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. නිදසුනකට, අත් දෙකයි මුහුණයි සෝදාගන්න කියා අම්මා කෙනෙක් තම පුංචි පුතාට කිව්වොත්, අත් දෙක වතුරට අල්ලා ඉක්මනට කට තෙමාගන්න එක ප්‍රමාණවත් කියා ඔහුට සිතෙන්න පුළුවන්. ඒත් අම්මා ඔහුව නැවත වරක් නාන කාමරයට ඇදගෙන ගිහිං සබනුයි වතුරයි දාලා හොඳින් අතුල්ලලා කුණු යවනවා. පුතා කොතරම් බෙරිහන් දුන්නත් වැඩක් නැහැ!

පිරිසිදුකම මනින ආකාරය රටින් රටට වෙනස් වන බව ඇත්ත වශයෙන්ම පිළිගත යුතුයි. හැදෙන වැඩෙන පරිසරය අනුවත් පිරිසිදුකම පිළිබඳ මිනිසුන්ගේ ආකල්පය වෙනස් වෙනවා. අතීතයේ, බොහෝ රටවල පාසැල් භූමි තබාගත්තේ ඉතා පිරිසිදුව හා පිළිවෙළකටයි. පිරිසිදුකම සම්බන්ධයෙන් හොඳ පුරුදු වර්ධනය කරගැනීමට පාසැල් සිසුන්ට මෙය රුකුලක් වුණ බව නිසැකයි. අද නම් තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. කුණු කසළ සෑම තැනම විසිරී ඇති පාසැල් පිට්ටනි දිස් වෙන්නේ ක්‍රීඩා හා ව්‍යායාම් කරන භූමි වගේ නෙවෙයි කුණු ගොඩගසන තැන් වගෙයි. පංති කාමරවල තත්වය කුමක්ද? ඕස්ට්‍රේලියාවේ උසස් පෙළ අධ්‍යාපනය ලබා දෙන පාසැලක් බලා කියාගන්නා වන ඩැරන් මෙසේ කියනවා. “පංති කාමරවලත් දැන් ගන්න දෙයක් නෑ.” සමහර ශිෂ්‍යයන්ට “අරක ඇහිඳින්න” නැත්නම් “ඔතන සුද්ද කරන්න” කියා උපදෙස් දෙන විට ඔවුන් එය සලකන්නේ දඬුවමක් ලෙසයි. සමහර ගුරුවරුන් දඬුවම් කිරීම සඳහා ශිෂ්‍යයන්ට යම් දෙයක් පිරිසිදු කරන්න දීම මෙයට එක් හේතුවක් වෙන්න පුළුවන්.

අනෙක් අතට, වැඩිහිටියන් පවා එදිනෙදා ජීවිතයේ හෝ ව්‍යාපාරික කටයුතුවලදී පිරිසිදුකම පිළිබඳව එතරම්ම හොඳ ආදර්ශයක් තබන්නේ නැහැ. බොහෝ ප්‍රසිද්ධ ස්ථානවල දකින්න ලැබෙන්නේ ඉතා අවුල්සහගත, අප්‍රසන්න තත්වයක්. ඇතැම් කර්මාන්ත ශාලා පරිසරය දූෂණය කරනවා. ඇත්තෙන්ම දූෂණය සිදු කරන්නේ මිනිසුන් මිසක අප්‍රාණික කර්මාන්ත ශාලා හා ව්‍යාපාරික ස්ථාන නෙවෙයි. හානිකර ප්‍රතිඵල ඇති කරන පරිසර දූෂණය නමැති ජාත්‍යන්තර ගැටලුවට ප්‍රධානතම හේතුව ගිජුකමයි. ඒත් මිනිසුන්ගේ අපිරිසිදු පුරුදුත් ඊට යම් ආකාරයකින් දායක වන බව පිළිගත යුතුයි. ඕස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මීට එකඟ වෙමින් මෙසේ පැවසුවා. “මහජන සෞඛ්‍යය පිළිබඳ සෑම ගැටලුවක් පිටුපසම සෑම පිරිමියෙකුගේ, ගැහැනියකගේ සහ ළමයෙකුගේ පිරිසිදුකම රැඳී තිබෙයි.”

කොහොම වුණත්, පිරිසිදුකම පෞද්ගලික කාරණයක් බවත් එක් එක්කෙනාගේ පුරුදු ගැන අනිත් අය කරදර විය යුතු නැති බවත් ඇතැමෙකුගේ මතයයි. ඇත්තෙන්ම එසේ පැවසිය හැකිද?

අපේ ආහාර සම්බන්ධයෙන් ගත් කල, පිරිසිදුකම කොතරම් වැදගත්ද කියා අමුතුවෙන් කිව යුතු නැහැ. කඩයකින්, ආපන ශාලාවකින් හෝ මිතුරෙකුගේ නිවසකින් ආහාර ගත්තත් අපි කොයි කවුරුත් ආහාරවල පිරිසිදුකම ගැන උනන්දු වෙනවා. ආහාර පිළියෙළ කරන හෝ ඒවා පිළිගන්වන අයගේ පිරිසිදුකම ඉතා උසස් මට්ටමක පවතියි කියාත් අපි අපේක්ෂා කරනවා. ආහාර පිළියෙළ කරන හෝ කන අයගේ අත් අපිරිසිදු තත්වයක පවතියි නම් විවිධ ලෙඩ රෝග වැළඳිය හැකියි. අනිත් සෑම ස්ථානයකටම වඩා පිරිසිදුව තිබිය යුතු තැනක් වන රෝහල් ගැන කියන්න තිබෙන්නේ කුමක්ද? රෝහල්ගතව සිටින ලෙඩුන්ට ආසාදන ඇතිවීමට වෛද්‍යවරුන් හා හෙදියන් අත් නොසේදීම හේතු විය හැකි බව වෛද්‍ය ජ’නලයක (The New England Journal of Medicine) වාර්තා කර තිබුණා. මෙවැනි ආසාදන නිසා වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන දහයක් පමණ වියදම් වෙනවා. අන් අයගේ අපිරිසිදු පුරුදු අපේ සෞඛ්‍යයට හානියක් වෙනවාට අපි කවුරුත් කැමති නැති බව නිසැකයි.

තවත් ඉතා බරපතළ කාරණයක් වන්නේ යමෙක් හිතාමතා හෝ නොසැලකිලිමත් ලෙස අපේ වතුර සැපයුම දූෂණය කිරීමයි. ඒ වගේම, අද බොහෝවිට මත් ලෝලීන් හෝ වෙනයම් අය විසින් දමා ගිය පරණ බෙහෙත් විඳින කටුවලින් දූෂණය වූ මුහුදු වෙරළවල් දිගේ පාවහන් නොමැතිව ඇවිදගෙන යෑම ආරක්ෂා සහිතයි කියා පැවසිය හැකිද? ඊටත් වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ අපේම නිවෙස් තුළ පිරිසිදුකම පවත්වගන්නවාද යන කාරණයයි.

කුණු ඉවත් කරගැනීම නම් තම කෘතියෙහි සූලන් හොයි මෙම ප්‍රශ්නය ඉස්මතු කළා. “අපි ඉස්සර තරම්ම පිරිසිදුද?” “එසේ නොවෙනවා වෙන්න පුළුවන්” කියා ඇයම පිළිතුරු සපයනවා. එයට ප්‍රධානතම හේතුව වන්නේ සමාජයේ සාරධර්ම වෙනස් වීමයි කියා ඇය පවසනවා. නිවෙස් තුළ ගත කරන කාලය එන්න එන්නම අඩු වන නිසා තමන්ගේ ගෙවල් පිරිසිදු කිරීම සඳහා කෙනෙක්ව වැඩට ගැනීමට ජනයා පෙලඹෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සිතන්නේ වටපිටාව පිරිසිදුව තබාගැනීම කෙරෙහි තමන් පෞද්ගලික අවධානයක් දිය යුතු නැති බවයි. “මම පිරිසිදු කරන්නේ මගේ නාන කාමරය නෙවෙයි මගේ ශරීරයයි. මගේ ගේ කොහොම තිබ්බත් කමක් නෑ. මං පිරිසිදුව හිටියොත් ඒ ඇතිනේ” කියා එක් මිනිසෙක් පැවසුවා.

කොහොම වුණත්, පිරිසිදුකම යනු මතුපිට පෙනුම පමණක් නෙවෙයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට දායක වන සියලුම සාරධර්ම ඊට ඇතුළත්. එය අපේ මනස හා හදවත තුළ පවතින තත්වයක්. ඒ වගේම එය සදාචාරය මෙන්ම නමස්කාරය හා බැඳී පවතිනවා. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීමට අපි ඊළඟ ලිපිය කියවමු.