Skip to content

පටුනට යන්න

යෙහෝවා විඳදරාගැනීමත් අඛණ්ඩ උත්සාහයත් අපට ඉගැන්නුවා

යෙහෝවා විඳදරාගැනීමත් අඛණ්ඩ උත්සාහයත් අපට ඉගැන්නුවා

ජීවිත කතාව

යෙහෝවා විඳදරාගැනීමත් අඛණ්ඩ උත්සාහයත් අපට ඉගැන්නුවා

පැවසුවේ ඇරිස්ටොටලීස් ඇපස්ටොලීඩීස්

පියැටිගොස්ක් නගරය පිහිටා තිබෙන්නේ කොකෙසස් කඳුවැටියේ උතුරු දිශාවට වෙන්න තිබෙන කුඩා කඳු වැටියකයි. මෙම රුසියානු නගරය එහි තිබෙන ස්වාභාවික ජල උල්පත්වලට සහ සෞම්‍ය දේශගුණයට ප්‍රසිද්ධයි. මගේ දෙමාපියන් රුසියාවේ සිටි ග්‍රීක සරණාගතයන් දෙන්නෙක්. මම උපත ලැබුවේ 1929දියි. ඉන් අවුරුදු 10කට පසු ස්ටාලින්වාදයේ කුරිරුකම්, ප්‍රචණ්ඩත්වය සහ වාර්ගික ශුද්ධීකරණය නිසා සරණාගතයන් ලෙස අපට නැවත ග්‍රීසියට යන්න සිදු වුණා.

ග්‍රීසියේ පිරුයැෆ්ස් නගරයට ගියාට පසු අපිට දැනුණේ අපි හරියට ආගන්තුකයෝ වගේ. අපි අපේම රටේ “සරණාගතයන්” වුණා. මගේ අයියටයි මටයි සොක්‍රටීස් සහ ඇරිස්ටෝටල් යන ප්‍රසිද්ධ ග්‍රීක දර්ශනවාදීන් දෙදෙනාගේ නම් තිබුණට ඒ නම්වලින් අපිට අඬගැහැව්වේ කලාතුරකින්. හැමෝම අපිට කිව්වේ පුංචි රුසියානුවන් කියලා.

දෙවන ලෝක මහ යුද්ධය ආරම්භ වී ස්වල්ප දිනකින් මගේ අම්මා මිය ගියා. ගෙදර හැම දෙයක්ම කෙරුණේ අම්මාගේ අතින්. ඒ නිසා අම්මා නැති පාඩුව කියා නිම කරන්න බැහැ. ඇය ලෙඩ ඇඳට වැටුණු දා පටන් ගෙදර දොරේ වගකීම් බොහෝමයක් මට ඉගැන්නුවා. මේ පුහුණුව පසු කාලයකදී හුඟාක් ප්‍රයෝජනවත් වුණා.

යුද්ධයයි නිදහසයි

යුද්ධයත් නාට්සි අණසකත් මිත්‍ර පාක්ෂික හමුදාව ඉවරයක් නොමැතිව ෂෙල් වෙඩි හෙළීමත් නිසා හෙට දවස ගැන බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. දුප්පත්කම, බඩගින්න හා මරණය තමයි රජ කළේ. තුන්දෙනෙකුගෙන් යුත් අපේ පවුලේ ඕනෑ එපාකම් සපුරාලන්න මට අවුරුදු 11දිම තාත්තාත් එක්ක මහන්සි වෙලා වැඩ කරන්න සිදු වුණා. ග්‍රීක් භාෂාව පිළිබඳ මට තිබූ සීමිත දැනුමත්, යුද්ධයත්, යුද්ධයට පසු ඇති වූ තත්වයනුත් නිසා මගේ අධ්‍යාපනය ඇණ හිටියා.

වර්ෂ 1944 ඔක්තෝබර්වලදී ග්‍රීසියේ තිබූ ජර්මන් අණසක අවසන් වුණා. ඉන් ටික කාලයකට පසු මට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණ ගැසුණා. කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්නකොට, දෙවිගේ රාජ්‍යය යටතේ ලැබෙන දීප්තිමත් අනාගතය පිළිබඳ බලාපොරොත්තුවට මගේ හිත ගියා. (ගීතාවලිය 37:29) පොළොව මත සාමකාමී වාතාවරණයක් යටතේ සදාකාලික ජීවිතය පිළිබඳ දෙවිගේ පොරොන්දුව සිත් තැවුලෙන් හිටිය මට ලැබුණු දිව්‍ය ඖෂධයක් වගෙයි. (යෙසායා 9:7) යෙහෝවාට වූ අපේ කැපවීම සංකේතවත් කරමින් තාත්තයි මමයි බව්තීස්ම වුණේ 1946දියි.

ඊළඟ අවුරුද්දේ පිරුයැෆ්ස් නගරයේ පිහිටෙවූ දෙවන සභාවේ සඟරා අංශය භාරව කටයුතු කරන්න මට පැවරුමක් ලැබුණා. අපේ ක්ෂේත්‍රය පිරුයැෆ්ස් ඉඳන් ඉල්‍යූසස් දක්වා කිලෝ මීටර 50ක් පමණ ඈතට විහිදුණා. ඒ කාලයේ ආත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හුඟදෙනෙක් සභාවේ වැඩවල නිරත වුණා. ඔවුන් සමඟ වැඩ කිරීමටත් ඔවුන්ගෙන් ඉගෙනගැනීමටත් හැකිවීම මට ලැබුණ භාග්‍යයක්. දේශනා සේවය සඳහා අවශ්‍ය වෑයම සම්බන්ධව නොසෑහෙන්න අත්දැකීම් ඔවුන්ට තිබූ නිසා ඔවුන්ව ඇසුරු කරන්න මම කැමැත්තක් දැක්වුවා. ඔවුන් ජීවිතය ගත කරන ආකාරයෙන් පැහැදිලි වුණා, යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන්න නම් ඉවසීම සහ අඛණ්ඩ උත්සාහය අවශ්‍යයි කියලා. (ක්‍රියා 14:22) දැන් මෙම පළාතේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා 50කට වඩා තිබෙනවා දකිනකොට මට දැනෙන ප්‍රීතිය කියා නිම කරන්න බැහැ!

කිසිදා නොසිතූ අභියෝගයක්

කාලයක් ගත වුණායින් පසු පැට්ට්‍රාස් නගරයේ සිටි ජ්වලිත ක්‍රිස්තියානියෙක් වූ එලනිව දැනහඳුනා ගන්න ලැබුණා. ඇය ලස්සන තරුණියක්. වර්ෂ 1952 අවසාන භාගයේදී පමණ අපි විවාහ ගිවිසගත්තා. ඉන් මාස කිහිපයකට පස්සේ එලනි හොඳටම අසනීප වුණා. ඇගේ මොළයේ ගෙඩියක් තිබෙන බව වෛද්‍යවරු සොයාගත් අතර ඈ සිටියේ ඉතා අසාධ්‍ය තත්වයක. හැකි විගස සැත්කමකට භාජන කළ යුතුව තිබුණා. එවකට තිබූ සීමිත පහසුකම් මැද අපගේ විශ්වාසයන්ට ගරු කරමින් රුධිරය රහිතව සැත්කම කිරීමට කැමති වෛද්‍යවරයෙක්ව ඇතන්ස් නුවරින් සොයාගන්න මහත් පරිශ්‍රමයක් දරන්න සිදු වුණා. කෙසේ හෝ වෑයම සාර්ථක වුණා. (ලෙවී කථාව 17:10-14; ක්‍රියා 15:28, 29) සැත්කමෙන් පසු වෛද්‍යවරු සෑම දෙයක්ම හොඳින් සොයා බලා මගේ පෙම්වතිය පිළිබඳ තබාගත හැකි බලාපොරොත්තු ගැන පවසන විට, ආයෙත් තත්වය දරුණු වෙන්න තිබෙන හැකියාව පිළිබඳව පැවසුවා.

මෙවැනි අවස්ථාවක මම මොන වගේ තීරණයක්ද ගන්නේ? මගේ පොරොන්දුව කඩ කරනවාද කියලා මම කල්පනා කළා. මා දුන් පොරොන්දුවට එකඟව කටයුතු කරමින් එසේය, එසේය කියා වේවා කියන ප්‍රතිපත්තිය ඉටු කරන්න මට අවශ්‍ය වුණා. (මතෙව් 5:37) මගේ තීරණය වෙනස් කරන්න ඕනේ කියලා මම නිකමටවත් හිතුවේ නැහැ. එලනිගේ අක්කාගේ උපකාරය ඇතිව ඇය යම් තාක් දුරකට සුවය ලැබූ අතර, 1954 දෙසැම්බරයේදී අපි විවාහ දිවියට පා තැබුවා.

වසර තුනකට පසු එලනිගේ තත්වය දරුණු වූ අතර, කලින් ප්‍රතිකාර කළ වෛද්‍යවරයාම ඇයව තව සැත්කමකට භාජන කළා. මේ වතාවේදී වෛද්‍යවරයා මොළය තුළ තිබූ ගෙඩිය සම්පූර්ණයෙන්ම අරන් දැම්ම නිසා, එම සැත්කම ටිකක් බැරෑරුම් එකක්. සැත්කමෙන් පසු මගේ භාර්යාවට අංශභාගය හැදුණ අතර, මොළය තුළ කතා කිරීමේ හැකියාව පාලනය වන කොටසටද එය ඉතාමත් තදබල ලෙස බලපා තිබුණා. අපි දෙන්නටම අලුත් අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වුණේ නොසිතූ ලෙසයි. මගේ භාර්යාවට පුංචි දෙයක් පවා කරගැනීම දුෂ්කර දෙයක් බවට පත් වුණා. ඇගේ දුර්වලකම් නිසා අපගේ එදිනෙදා කටයුතුවල විශාල වෙනස්කම් කිරීමට සිදු වුණා. මේ හැම දෙයකටම වඩා විඳදරාගැනීම සහ අඛණ්ඩ උත්සාහය අවශ්‍ය වුණා.

මගේ අම්මාගෙන් ලැබුණ පුහුණුව කොයිතරම් වටිනවාද කියලා මේ අවස්ථාවේදී තමයි තේරුණේ. හැමදාම උදේට මම උයන්න අවශ්‍ය දේවල් ලෑස්ති කළාම එලනි කෑම පිසිනවා. අපි නිතර අමුත්තන්ට ඒ කියන්නේ පූර්ණ කාලීන සේවකයන්ට, අපත් සමඟ බයිබල් පාඩම් කළ අයට ඒ වගේම සභාවේ අවශ්‍යතා තිබුණ ක්‍රිස්තියානීන්ට සංග්‍රහයන් සඳහා අපේ නිවසට ආරාධනා කරනවා. මේ එන හැමෝම වගේ කෑම රසයි කියලා වර්ණනා කළා. එලනියි මමයි නිවසේ අනෙකුත් වැඩත් හවුලේ කළ නිසා අපේ නිවස පිරිසිදුවට සහ පිළිවෙළකට තිබුණා. මේ තත්වය වසර 30ක කාලයක් දක්වා දිගටම පැවතුණා.

දුබලකම් මැද ජ්වලිතය

මගේ භාර්යාව තුළ යෙහෝවා සඳහා තිබූ ප්‍රේමයත් ඔහුගේ සේවය සඳහා තිබූ ජ්වලිතයත් නැති කිරීමට මොනම දෙයකටවත් නොහැකි වීම, මා තුළත් අන් අය තුළත් පැහැදීමක් ඇති කළා. කාලය ගත වන විට නිරන්තර උත්සාහය නිසා එලනිට යන්තම් කතා කිරීමට හැකියාවක් ලැබුණා. මඟ තොට ගමන් කරන අයට බයිබලයේ තිබෙන ශුභාරංචිය ගැන කතා කිරීමට ඇය හරිම ආසයි. මම ව්‍යාපාර වැඩ සඳහා යන විට ඇයවත් රැගෙන ගිහින් මිනිසුන් ගැවසෙන තැනක කාර් එක නවතා තබනවා. එවිට ඇය වීදුරුව ඇර තබා පිබිදෙව්! සහ මුරටැඹ සඟරා ලබාගන්න කියා ඇයව පසු කර යන්නන්ට ආරාධනා කරනවා. මෙසේ ගිය එක් වතාවකදී සඟරා 80ක් පැය දෙකක් තුළ ඇය බෙදාහැරියා. මේ සඳහා සභාවේ ගොඩගැහී තිබෙන පරණ සඟරා ඇය හුඟාක් විට යොදාගන්නවා. අනෙකුත් දේශනා ක්‍රියාකාරකම්වලත් එලනි නොකඩවා සහභාගි වුණා.

ජීවිත කාලය පුරාම මගේ භාර්යාව ලෙඩෙක් වුණත් මාත් සමඟ එක්රැස්වීම්වලටත් සමුළුවලටත් ගියා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ග්‍රීසියේ කරදර තිබුණ නිසා වෙනත් රටවලට යන්න සිදු වුණත් ඇය එක සමුළුවක්වත් එක්රැස්වීමක්වත් අතපසු කළේ නැහැ. කොතරම් අමාරුකම් ඇයට තිබුණත් ඔස්ට්‍රියාවේ, ජර්මනියේ, සයිප්‍රස් සහ වෙනත් රටවල පැවැත්වූ සමුළුවලට සහභාගි වුණේ සතුටෙන්. යෙහෝවාගේ සේවයේ මට තිබුණු වගකීම් නිසා සමහර අවස්ථාවල අපහසුතාවන්ට පවා මුහුණ දෙන්න සිදු වුණත් එලනි කන් කෙඳිරි ගෑවේවත් අනවශ්‍ය ලෙස මට කරදර කළේවත් නැහැ.

මේ තත්වය, විඳදරාගන්නා ආකාරයත් අඛණ්ඩ උත්සාහයත් මට ඉගැන්නුවා. යෙහෝවාගේ උපකාරය මම බොහෝ අවස්ථාවල අද්දැක්කා. සහෝදර සහෝදරියන් පවා තමන්ට හැකි අයුරින් උපකාර කළා. ඒ වගේම වෛද්‍යවරුන් තම කාරුණික සහයෝගය ලබා දුන්නා. කාලය හුඟාක් වැය වන වාතාවරණයක් තිබූ නිසා පූර්ණ කාලීනව රැකියාවක නිරත වෙන්න නොහැකි වුවත් එම දුෂ්කර කාලවල අපට අගහිඟයක් තිබුණේ නැහැ. යෙහෝවාටත් ඔහුගේ සේවයටත් සැමවිටම මුල් තැන හිමි වුණා.—මතෙව් 6:33.

එම දුෂ්කර කාලවලට මුහුණ දෙන්න අපට උපකාරවත් වුණේ මොකක්ද කියලා හැමෝම අහනවා. අතීතය දෙස බලද්දී මට තේරුම් ගියා බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කිරීම, දෙවිට හෘදයෙන්ම යාච්ඤා කිරීම, නොකඩවා ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීම, ජ්වලිතව දේශනා සේවයේ සහභාගි වීම වැනි ක්‍රියාකාරකම් තමයි, විඳදරාගන්නත් අඛණ්ඩව උත්සාහයක් දරන්නත් අපව ශක්තිමත් කළේ කියලා. අපි සැමවිටම ගීතාවලිය 37:3-5 සඳහන් ‘යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරන්න. යෙහෝවා කෙරෙහි ප්‍රීතිමත් වෙන්න. ඔබේ මාර්ගය යෙහෝවාට භාර දෙන්න. ඔහු කෙරෙහි විශ්වාසයද තබන්න. එවිට ඔහු එය ඉෂ්ට කරන්නේය [හැම දෙයක්ම ඉටු කර දෙන්නේය, නව අනුවාදය]’ යන බයිබල් පදය සිහි කරනවා. අපට උපකාරවත් වුණ තවත් අගනා බයිබල් පදයක් තමයි ගීතාවලිය 55:22. ‘ඔබේ බර යෙහෝවා පිට තබන්න. ඔහු ඔබ උසුලන්නේය.’ දරුවෙක් තම පියා කෙරෙහි පූර්ණ විශ්වාසය තබනවා වගේ අපිත් අපේ බර යෙහෝවා මත තැබුවා විතරක් නෙමෙයි ඔහුටම එය භාර දුන්නා.—යාකොබ් 1:6.

වර්ෂ 1987 අප්‍රියෙල් 12වෙනිදා මගේ භාර්යාව අපේ නිවස ඉදිරිපිට දේශනා කරමින් සිටින විට ඇයට පිටුපසින් තිබූ යකඩ දොර වැසුණු අතර, පාර අයිනට විසි වී ගිය ඇය දරුණු ලෙස තුවාල ලැබුවා. එම අනතුරෙන් පසු ඇය වසර තුනක කාලයක් සිහිසුන් තත්වයක සිටියා. වර්ෂ 1990 මුල් භාගයේදී ඇය අවසන් හුස්ම හෙළුවා.

මගේ උපරිම ශක්තියෙන් යෙහෝවාට සේවය පිරිනැමීම

වර්ෂ 1960දී පිරුයැෆ්ස්හි නිකායියාවල සභා සේවකයෙක් ලෙස මාව පත් කළා. ඉන් පසු පිරුයැෆ්ස් නගරයේ බොහෝ සභා ගණනක සේවය කිරීමට මට භාග්‍යය ලැබුණා. මට මගේම කියලා දරුවෝ නැතත් සත්‍යයේ ස්ථාවර සිටීමට ආත්මික දරුවන්ට උපකාර කිරීමට ලැබීම ඇත්තෙන්ම සතුටක්. ඒ අයගෙන් සමහරෙක් දැන් සභාවන්වල වැඩිමහල්ලන්, සභා සේවකයන්, පුරෝගාමින් සහ බෙතෙල් පවුලේ සාමාජිකයන් ලෙස කටයුතු කරනවා.

වර්ෂ 1975 ප්‍රජාතන්ත්‍රවාදය ග්‍රීසියේ ස්ථාපිත කළ නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට කැලේ හැංගි හැංගි රැස් වෙන්නේ නැතුව නිදහසේ තම සමුළු පවත්වන්න හැකි වුණා. අපගෙන් සමහරෙකු පිට රටවලට ගොස් සමුළු සංවිධානය කර තිබූ නිසා එම අද්දැකීම් මෙහිදී ප්‍රයෝජනවත් වුණා. වසර ගණනාවක් පුරා සමුළු සංවිධානය කිරීමේ කමිටුවල වැඩ කිරීමෙන් මම ප්‍රීතියක් ලැබුවා.

ඉන්පසු 1979දී ඇතන්ස් නුවරට ආසන්න ප්‍රදේශයක ග්‍රීසියේ ප්‍රථම සමුළු ශාලාව ගොඩනැඟීමට සැලසුම් යෙදුවා. මෙම සුවිසල් ව්‍යාපෘතිය සංවිධානය කිරීමට හා ගොඩනැඟීමට සහාය වීම සඳහා මට පැවරුමක් ලැබුණා. මේ වැඩය සඳහාත් විඳදරාගැනීම සහ අඛණ්ඩ උත්සාහය අවශ්‍ය වුණා. වසර තුනක් පුරා ආත්ම පරිත්‍යාගී සහෝදර සහෝදරියන් සමඟ එකට වැඩ කරන විට ප්‍රේමයෙන් සහ එකමුතුකමෙන් අපි බැඳුණා. මෙම ව්‍යාපෘතියේ වැඩ කළ දවස්වල මතක සටහන් තවමත් මගේ හිතේ රැඳිලා තියෙනවා.

සිරකරුවන්ගේ ආත්මික අවශ්‍යතා සන්සිඳුවීම

වසර කිහිපයකට පසු මට අලුත් ප්‍රස්තාවක් උදා වුණා. මගේ සභාව තිබුණු කොරිඩේලොස් ප්‍රදේශයේ තමයි ග්‍රීසියේ ලොකුම සිර ගෙය තිබෙන්නේ. වර්ෂ 1991 අප්‍රියෙල්වල සිට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේවසේවකයෙකු වශයෙන් මෙම සිරගෙදරට සතියකට වතාවක් යෑමට මාව පත් කළා. උනන්දුවක් දක්වන සිරකරුවන් සමඟ බයිබල් පාඩම් සහ ක්‍රිස්තියානි රැස්වීම් පැවැත්වීමට මට අවසර ලැබී තිබෙනවා. දෙවිගේ වචනයට ඇති බලය කොතරම්ද කියා පෙන්වමින් බොහෝදෙනෙකු ජීවිතයේ විශාල වෙනස්කම් සිදු කර තිබෙනවා. (හෙබ්‍රෙව් 4:12) මෙය සිරගෙදර නිලධාරීන් සහ අනෙකුත් සිරකරුවන් තුළ පැහැදීමක් ඇති කළා. මාත් සමඟ බයිබලය පාඩම් කළ සමහර සිරකරුවන් නිදහස් වෙලා දැන් ශුභාරංචිය ප්‍රකාශ කරනවා.

මත්ද්‍රව්‍ය වෙළඳාම් කළ චණ්ඩියෝ තුන්දෙනෙකු සමඟ මම ටික කාලයක් පාඩම් කළා. එම සිරකරුවන් ආත්මිකව ප්‍රගතියක් ලබන විට, එයාලා බයිබල් පාඩමට ආවේ හොඳට රැවුල කපලා, කොණ්ඩේ හොඳින් පීරා කමිසයක් සහ ටයිපටියක් පැළඳගෙනයි. මෙලෙස ආවේ ග්‍රීසියේ උණුසුම්ම මාසය වන අගෝස්තුවේ මැද භාගයෙදියි! සිරගෙදර අධ්‍යක්ෂකතුමයි, ප්‍රධාන භාරකරුයි, සමහර සේවකයනුයි තමන්ගේ කාර්යාලවල සිට මෙම පුදුමය බලන්න දුවගෙන ආවා. ඔවුන්ට තම දෙනෙත් අදහාගන්න බැරි වුණා!

තවත් කදිම අද්දැකීමක් තියෙනවා. ඒ තමයි සිරගෙදර කාන්තා අංශයේ, මිනිමැරීම නිසා ජීවිතාන්තය දක්වා දඬුවම් විඳින ස්ත්‍රියක් සමඟ මම කළ බයිබල් පාඩම. ඇය මුරණ්ඩු කෙනෙකු ලෙස ප්‍රසිද්ධයි. නමුත් වැඩිකල් යන්න පෙර තමන් ඉගෙනගනිමින් සිටි බයිබලයෙහි ඇති සත්‍යය නිසා ඇය කැපීපෙනෙන වෙනස්කම් කිරීමට පටන්ගත්තා. හුඟදෙනෙක් කියා සිටියේ සිංහයෙක් වගේ සිටි ඇය බැටළුවෙක් වුණා කියා. (යෙසායා 11:6, 7) ඉක්මනින්ම ඇය සිරගෙය භාරව සිටි අධ්‍යක්ෂකවරියගේ ගෞරවය සහ විශ්වාසය දිනාගත්තා. ඇය ආත්මිකව වර්ධනය වෙමින් යෙහෝවාට තම ජීවිතය කැප කිරීමට පියවර ගන්නකොට මට ලොකු සතුටක් දැනුණා.

දුබල සහ මහලු අයට උපකාරය

මගේ භාර්යාව ලෙඩ සමඟ පොර බැදපු විදිහ මගේ ඇස් දෙකින්ම දැක්ක නිසා, අප අතර සිටින ලෙඩ අය සහ වයසක අය සමඟ සංවේදීව කටයුතු කරන්න මට හැකි වුණා. එවැනි අය වෙත ගොස් ප්‍රේමනීය සැලකිල්ල දක්වන්න කියා උනන්දු කරන අපගේ ප්‍රකාශනවල තිබෙන ලිපි මම මහත් ආශාවෙන් එකතු කළා. වසර කිහිපයක් යන විට මේ ලිපිවලින් පිටු සියයක පොතක් සෑදුවා. එකතු කළ පළවෙනි ලිපිය තමයි 1962 ජූලි 15 මුරටැඹ කලාපයේ (ඉංග්‍රීසියෙන්) “මහලු අයට සහ පීඩා විඳින අයට සැලකිල්ල දක්වන්න” යන ලිපිය. මෙම ලිපි බොහෝමයක පෙන්නුම් කරලා තියෙන්නේ සෑම සභාවක්ම සංවිධානය වී රෝගී සහ මහලු අයට උපකාර කිරීම ප්‍රයෝජනදායක දෙයක් බවයි.—1 යොහන් 3:17, 18.

සභාවේ සිටි මහලු අයවත් අවශ්‍යතා තිබූ රෝගී අයවත් බලාගැනීමට කැමැත්තක් දැක්වූ සහෝදර සහෝදරියන් කණ්ඩායමක් වැඩිමහල්ලන් විසින් සූදානම් කළා. දවල් වරුවේ උදව් කරන්න කැමති අය, රෑට උදව් කරන්න කැමති අය, ගමන් බිමන් පහසුකම් ලබා දෙන්න කැමති අය සහ පැය විසිහතරේම සූදානම් අය ලෙස ස්වේච්ඡා සේවකයන් කණ්ඩායම් වශයෙන් සංවිධානය කළා. පැය විසිහතරේම සූදානමින් සිටින කණ්ඩායම හරියට විශේෂ හමුදාවක් වගේයි.

එවැනි වෑයම්වල ප්‍රතිඵල දිරිගන්වනසුලුයි. මෙයට එක උදාහරණයක් මම කියන්නම්. අපි, තනිව ජීවත් වන එක් අසනීප සහෝදරියක්ව දිනපතා බලන්න ගියා. දිනක් ඇය සිහිසුන්ව බිම වැටී සිටිනවා දුටු අපි වහාම ළඟපාත සිටි වාහනයක් තිබූ සහෝදරියකට ඒ බව දැනුම් දුන්නා. ඇය එම සහෝදරියව ළඟ තිබූ රෝහලට විනාඩි දහයක් ඇතුලත ගෙන ගිය අතර අසනීප සහෝදරියගේ දිවි රැකුණේ විගස ගෙනා නිසා කියා වෛද්‍යවරු පැවසුවා.

දුබල සහ මහලු අය විසින් මෙම කණ්ඩායමට පිරිනමන ස්තුතිය ඔවුන්ට තෘප්තියක් ලබා දෙනවා. දෙවිගේ නව ක්‍රමය තුළ මෙම සහෝදර සහෝදරියන් සමඟ විවිධ තත්වයන් යටතේ එකට විසීම පිළිබඳ බලාපොරොත්තුව ඇත්තෙන්ම හදට සතුටක්. ඒ වගේම ඔවුන්ගේ පීඩාකාරි කාලවලදී විඳදරාගැනීමට උපකාර කරන්න ලැබුණා කියන එකත් සතුටක්.

අඛණ්ඩ උත්සාහය නිසා ලැබූ ආශීර්වාද

දැන් මම පිරුයැෆ්ස් නගරයේ තිබෙන එක් සභාවක වැඩිමහල්ලෙක් ලෙස සේවය කරනවා. මහලු වයස සහ සෞඛ්‍ය ගැටලු තිබුණත් මට තවමත් සභාවේ වැඩ වෙහෙස මහන්සි වී කරන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා.

පසුගිය කාලය පුරා දුෂ්කර අභියෝගයන් විඳදරාගන්නත් නොසිතූ ආකාරයේ තත්වයන්ට මුහුණ දීමටත් සිදු වූ නිසා නිර්භීතකමත් අඛණ්ඩ උත්සාහයත් අවශ්‍ය වුණා. ඒත් මේ සෑම දෙයකින්ම ගොඩ ඒමට යෙහෝවා මට අවශ්‍ය ශක්තිය දුන්නා. මම නිතරම ගීතිකාකරුගේ වචනවල සත්‍යය අද්දැක්කා. “මාගේ පාද ලිස්සෙනවායයි මා කී විට, යෙහෝවා ඔබගේ ප්‍රේමනීය කරුණාව මා ඉසිලීය. මා තුළ කැලඹීමක් ඇති කළ සිතිවිලි අධික වූ කල ඔබේම සැනසිල්ල මාගේ ආත්මයට පහසක් විය.”—ගීතාවලිය 94:18, 19, NW.

[25වන පිටුවේ පින්තූරය]

මගේ භාර්යාව එලනි, 1957දී කළ ඇගේ දෙවෙනි සැත්කමෙන් පසු

[26වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1969දී ජර්මනියේ නුරෙම්බර්ග්වල සමුළුවකදී

[28වන පිටුවේ පින්තූරය]

අසනීප සහ මහලු අයට උපකාර කළ සහෝදර සහෝදරියන්