Skip to content

පටුනට යන්න

“සත්‍යතාවේ ආත්මය” ඔබට ලැබී තිබේද?

“සත්‍යතාවේ ආත්මය” ඔබට ලැබී තිබේද?

“සත්‍යතාවේ ආත්මය” ඔබට ලැබී තිබේද?

‘පියාණන්, නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු [උපකාරකයෙකු, NW] නුඹලාට දෙන්නේය. ඒ සත්‍යතාවේ ආත්මයය.’—යොහන් 14:16, 17.

1. උඩුමහල් කාමරයේ ගත කළ අවසන් හෝරා කිහිපයේදී යේසුස් තම ගෝලයන්ට දුන් වැදගත් තොරතුරු මොනවාද?

‘ස්වාමිනි, ඔබ කොතැනට යන්නේද?’ යෙරුසලමේ උඩුමහල් කාමරයේ ගත කළ අවසන් හෝරා කිහිපයේදී යේසුස්ගේ ප්‍රේරිතයන් ඇසූ ප්‍රශ්නවලින් එකකි එය. (යොහන් 13:36) එම රැස්වීම කෙරීගෙන යන අතරේ, තමන් ඔවුන්ව අත්හැරදා තම පියා වෙතට යෑමට සූදානම් බව යේසුස් පැවසීය. (යොහන් 14:28; 16:28) ඔවුන්ට උපදෙස් දීමට සහ ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔහු තවදුරටත් ගතින් ඔවුන් සමඟ සිටින්නේ නැත. කෙසේවෙතත්, මෙසේ කියමින් ඔහු ඔවුන්ව සැනසුවේය. ‘මම පියාගෙන් ඉල්ලන්නෙමි. එවිට ඔහු, නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු [උපකාරකයෙකු, NW] නුඹලාට දෙන්නේය.’—යොහන් 14:16.

2. යේසුස් ආපසු ගිය විට තම ගෝලයන් වෙත එවන බවට පොරොන්දු වූයේ කුමක්ද?

2 යේසුස් මේ උපකාරකයාව හඳුන්වා දුන් අතර, එය ගෝලයන්ට උදව් කරන ආකාරය පැහැදිලි කළේය. ඔහු ඔවුන්ට මෙසේ කීවේය. ‘මේ දේවල් පටන්ගැන්මේ සිට නුඹලාට නොකීවේ මා නුඹලා සමඟ සිටි නිසාය. නුමුත් දැන් මා එවූ තැනැත්තා ළඟට යමි. . . . මාගේ අහක්ව යෑම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව නොගියොත්, සැනසිලිකාරයා [උපකාරකයා, NW] නුඹලා ළඟට එන්නේ නැත; නුමුත් ගියොත්, ඔහු නුඹලා වෙතට එවන්නෙමි. . . . ඔහු, එනම් සත්‍යතාවේ ආත්මය ආ කල, ඔහු මුළු සත්‍යය කරා නුඹලාට මඟ පෙන්වන්නේය.’—යොහන් 16:4, 5, 7, 13.

3. (අ) මුල් ක්‍රිස්තියානීන්ට “සත්‍යතාවේ ආත්මය” එවනු ලැබුවේ කවදාද? (ආ) ආත්මය ඔවුන්ට “උපකාරකයෙකු” වූ එක් වැදගත් ආකාරයක් නම් කරන්න.

3 ප්‍රේරිත පේතෘස් සාක්ෂි දැරූ පරිද්දෙන්, පො.යු. 33 පෙන්තකොස්ත දිනයේදී මේ පොරොන්දුව ඉටු විය. ‘මෙම යේසුස් දෙවි විසින් නැඟිටෙව්වේය. ඊට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝය. එහෙයින් ඔහු දෙවිගේ දකුණතින් උසස් කරනු ලැබ, පොරොන්දු වූ ශුද්ධාත්මය පියාගෙන් ලබා, නුඹලා අසන දකින මේ දේ වැගිරෙව්වේය’ යනුවෙන් ඔහු පැවසීය. (ක්‍රියා 2:32, 33) අප පසුව දකින්ට යන ආකාරයට පෙන්තකොස්තයේදී වැගිරෙවූ ශුද්ධාත්මය මුල් ක්‍රිස්තියානීන්ට බොහෝ දේවල් අත් කරගැනීමට උපකාර වුණි. ‘සත්‍යතාවේ ආත්මය තමා ඉගැන්වූ සියල්ල ඔවුන්ට සිහි කරවන’ බවට යේසුස් පොරොන්දු විය. (යොහන් 14:26) යේසුස්ගේ දේවසේවය සහ ඔහුගේ ඉගැන්වීම් පමණක් නොව ඔහු තෙපුල වචන ඒ ආකාරයෙන්ම ලේඛනගත කිරීම සඳහා මතකය අවදි කරවීමට සත්‍යතාවේ ආත්මය ඔවුන්ට හැකියාව ලබා දුන්නේය. පොදු යුගයේ මුල් සියවස අගිස්සේ සිටි මහලු ප්‍රේරිත යොහන්ට තම සුවිශේෂය ලිවීමට මෙය විශේෂයෙන්ම උපකාරයක් වන්ට ඇත. යේසුස් තම මරණය සිහි කිරීම පිහිටුවීමේදී දුන් වටිනා උපදෙස් එම සුවිශේෂයේ අඩංගුය.—යොහන් 13-17 දක්වා පරිච්ඡේද.

4. “සත්‍යතාවේ ආත්මය” මුල් ආලේප ලත් ක්‍රිස්තියානීන්ට උදව් කළේ කෙසේද?

4 එම ආත්මය ‘ඔවුන්ට සියල්ල උගන්වන’ බවත් ‘මුළු සත්‍යය කරා ඔවුන්ට මඟ පෙන්වන’ බවත් යේසුස් තම මුල් ගෝලයන්ට පොරොන්දු විය. ශුද්ධ ලියවිල්ලේ තිබෙන ගැඹුරු කාරණා තේරුම්ගන්ටත් සිතුවිල්ලෙන්, තේරුම්ගැනීමෙන් සහ අරමුණෙන් එක්සත්කම පවත්වාගන්ටත් එම ආත්මය ඔවුන්ට උදව් කරනු ඇත. (1 කොරින්ති 2:10; එපීස 4:3) මෙසේ, එක් එක් ආලේප ලත් ක්‍රිස්තියානිවරයාට “නියම වේලාවට [අවශ්‍ය ආත්මික] කෑම දෙන්ට” පත් කළ සාමූහික ‘විශ්වාස වූ නුවණ ඇති දාසයෙකු’ ලෙස ක්‍රියා කිරීමට එම ආත්මය මුල් ක්‍රිස්තියානීන්හට ශක්තිය සැපයීය.—මතෙව් 24:45.

ආත්මය සාක්ෂි දරයි

5. (අ) පොදු යුගයේ 33 නීසාන් 14වනදා රාත්‍රියේදී යේසුස් තම ගෝලයන්ට විවෘත කළ අලුත් අපේක්ෂාව කුමක්ද? (ආ) යේසුස්ගේ පොරොන්දුව ඉටු කිරීමෙහිලා ශුද්ධාත්මයෙන් ඉටු වන කාර්යභාරය කවරේද?

5 පොදු යුගයේ 33 නීසාන් 14වෙනිදා යේසුස් තම ගෝලයන්ට ඇඟවූයේ තමන් ඔවුන්ව ස්වර්ගයට ගනු ලබන බවත් ඔහු සහ පියා සමඟ ඔවුන් වාසය කරන්ට යන බවත්ය. ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “මාගේ [පියාගේ] ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය; එසේ නොවූයේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත; මක්නිසාද නුඹලාට ස්ථානයක් පිළියෙළ කරන පිණිස යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙළ කරම් නම්, මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි.” (යොහන් 13:36; 14:2, 3) ඔවුන් ඔහු සමඟ ඔහුගේ රාජ්‍යයේ සිට පාලනය කරනු ඇත. (ලූක් 22:28-30) ඔවුන් මෙම ස්වර්ගීය අපේක්ෂාව ඇතුව සිටීමට නම්, ඔවුන් දෙවිගේ ආත්මික දරුවන් ලෙස ‘ආත්මයෙන් ඉපදී’ ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ සිට රජුන් සහ පූජකයන් ලෙස සේවය කිරීමට ආලේප කරනු ලැබිය යුතුය.—යොහන් 3:5-8; 2 කොරින්ති 1:21, 22; තීතස් 3:5-7; 1 පේතෘස් 1:3-5; එළිදරව් 20:6.

6. (අ) ස්වර්ගීය කැඳවීම ඇරඹුණේ කවදාද? එම කැඳවීම කීදෙනෙකුට ලැබේද? (ආ) එසේ කැඳවූවන් බව්තීස්ම වී ඇත්තේ කුමක් තුළටද?

6 මේ “ස්වර්ගීය කැඳවීම” ඇරඹුණේ පො.යු. 33 පෙන්තකොස්ත දිනයේදීය. එය ප්‍රධාන වශයෙන් 1930 ගණන්වල මැද භාගයේදී අවසන් වූ බව පෙනිණ. (හෙබ්‍රෙව් 3:1) ආත්මික ඉශ්‍රායෙල්ගේ කොටසක් වීමට ශුද්ධාත්මය මගින් මුද්‍රා කර තිබෙන සංඛ්‍යාව “මනුෂ්‍යයන් අතරෙන් මිලේට ගන්නා [ලද]” 1,44,000දෙනෙකි. (එළිදරව් 7:4; 14:1-4) මේ අයව ක්‍රිස්තුස්ගේ ආත්මික ශරීරය තුළටත්, ඔහුගේ සභාව තුළටත්, ඔහුගේ මරණය තුළටත් බව්තීස්ම කරන ලදි. (රෝම 6:3; 1 කොරින්ති 12:12, 13, 27; එපීස 1:22, 23) වතුර බව්තීස්මයෙන් සහ ශුද්ධාත්මය මගින් ආලේප කිරීමෙන් පසු, ඔවුහු ජීවිත පරිත්‍යාගික ජීවන රටාවකට ඇතුල් වෙති. එය ඔවුන්ගේ මරණය සිදු වන තුරු දෙවි කෙරෙහි අඛණ්ඩතාව රකින ජීවිත රටාවකි.—රෝම 6:4, 5.

7. සිහි කිරීමේදී ආලේප ලත් ක්‍රිස්තියානීන් පමණක් සංකේතවල නිසි පංගුකාරයන් වන්නේ මන්ද?

7 ආත්මික ඉශ්‍රායෙල්වරුන් හැටියට මේ ආලේප ලත් ක්‍රිස්තියානීන් සිටියේ යෙහෝවා හා ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ අතර සිදු කළ අලුත් ගිවිසුම තුළය. (ගලාති 6:16; යෙරෙමියා 31:31-34) අලුත් ගිවිසුම වලංගු කළේ, ක්‍රිස්තුස් වැගිරූ රුධිරය කරණකොටගෙනය. යේසුස් තම මරණය සිහි කිරීම පිහිටෙවූ මොහොතේදී මේ කාරණය මතක් කළේය. ලූක් එය මෙසේ වාර්තා කරයි. ‘ඔහු රොටි ගෙන ස්තූති කොට කඩා, ඔවුන්ට දී: මේක නුඹලා උදෙසා දෙන ලද මාගේ ශරීරයය; මා සිහි කිරීම පිණිස මේක කරන්නැයි කීවේය. එලෙසම රාත්‍රි කෑමට පසු කුසලාන දී: මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමයයි කීවේය.’ (ලූක් 22:19, 20) ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමේදී යොදාගැනෙන සංකේතමය රොටි සහ වයින්වල නිසි පංගුකාරයන් වන්නේ ඉතිරි කොටස නැතහොත් 1,44,000දෙනාගෙන් පොළොව මත ඉතිරිව සිටින සාමාජිකයන්ය.

8. තමන්ට ස්වර්ගීය කැඳවීම ලැබී තිබෙන බව ආලේප ලත් අය දැනගන්නේ කෙසේද?

8 තමන්ට ස්වර්ගීය කැඳවීම ලැබී තිබෙන බව ආලේප ලත් අය දන්නේ කෙසේද? ඔවුන් ශුද්ධාත්මයේ නොවරදින සාක්ෂිය ලබන හෙයිනි. ප්‍රේරිත පාවුල් එවැනි අයට මෙසේ ලීවේය. ‘දෙවිගේ ආත්මය විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද, එපමණදෙනා දෙවිගේ පුත්‍රයෝය. . . . අපි දෙවිගේ දරුවෝයයි ආත්මයම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙයි. තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවිගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස් හා සමඟ හවුල් උරුමක්කාරයෝය. ඔහු හා සමඟ මහිමය ලබන පිණිස, ඔහු සමඟ දුක් විඳිමු නම්, මෙසේ වන්නේය.’ (රෝම 8:14-17) ආත්මයේ මේ සාක්ෂිය කොතරම් ප්‍රබලද කිවහොත්, ස්වර්ගීය කැඳවීම සම්බන්ධයෙන් කෙනෙකුට අල්ප මාත්‍රයක හෝ සැකයක් තිබේ නම්, තමන්ට එවන් කැඳවීමක් නැති බවට නිගමනය කරන්නට පුළුවන. මේ අනුව, එවන් අය සිහි කිරීමේදී සංකේතවලට පංගුකාරයන් වීමෙන් වැළකී සිටිති.

ආත්මය සහ වෙනත් බැටළුවෝ

9. සුවිශේෂවල සහ එළිදරව් පොතේ වෙන් වෙන්ව දක්වා ඇති කණ්ඩායම් දෙක කුමක්ද?

9 ආත්මික ඉශ්‍රායෙලය සෑදීමට කැඳවන්නේ ක්‍රිස්තියානීන්ගෙන් සීමිත සංඛ්‍යාවක් බව මනසේ තබාගෙන යේසුස් ඔවුන්ව “කුඩා රැළ” ලෙස හැඳින්වීය. අලුත් ගිවිසුමේ “ගාලට” ඔවුන් ඇතුළත්ය. මීට වෙනස්ව, එක්රැස් කළ යුතුයැයි යේසුස් කී “වෙනත් බැටළුවෝ” ගණනින් අසීමිත සංඛ්‍යාවක් වෙති. (ලූක් 12:32; යොහන් 10:16) අන්තිම කාලයේ ඒකරාශි වී සිටින මේ වෙනත් බැටළුවන්ගෙන් “මහත් සමූහය” සෑදෙන අතර, ඔවුන් පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඇතුව ‘මහත් පීඩාවෙන්’ බේරීමට බලාපොරොත්තු වේ. පොදු යුගයේ මුල් සියවස අවසානයේදී යොහන් ලද දර්ශනය මහත් සමූහයත් ආත්මික ඉශ්‍රායෙල්ගේ සාමාජිකයන් 1,44,000දෙනාත් අතර වෙනස පෙන්වා දෙන අන්දම සිත් ගන්නකි. (එළිදරව් 7:4, 9, 14) වෙනත් බැටළුවන්ද ශුද්ධාත්මය ලබාවිද? එසේ නම්, එය ඔවුන්ගේ ජීවිතවලට බලපාන්නේ කෙසේද?

10. වෙනත් බැටළුවන් ‘පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට’ බව්තීස්ම වන්නේ කෙසේද?

10 වෙනත් බැටළුවන්ගේ ජීවිතවලද වැදගත් කාර්යභාරයක් ශුද්ධාත්මය මගින් ඉටු කරයි. ‘පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට’ බව්තීස්ම වීම මගින් ඔවුහු යෙහෝවාට වූ තම කැපවීම සංකේතවත් කරති. (මතෙව් 28:19) ඔවුහු යෙහෝවාගේ පරමාධිපත්‍යය පිළිගනිති. තමන්ගේ රජු සහ මිදුම්කරු හැටියට ඔවුහු ක්‍රිස්තුස්ට යටත්කම දක්වති. තම ජීවිත මෙහෙයවීමට දෙවිගේ ක්‍රියාකාරක බලයේ නැතහොත් ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වයට ඉඩහරිති. ගෙවී යන දිනක් දිනක් පාසා තම ජීවිත තුළ “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම-දමනය” නමැති “ආත්මයේ ඵල” නිපදවීමට පියවර ගනිති.—ගලාති 5:22, 23, NW.

11, 12. (අ) ආලේප ලත් අයව සුවිශේෂී ආකාරයකින් විශුද්ධ කරන්නේ කෙසේද? (ආ) වෙනත් බැටළුවන්ව විශුද්ධ කර ශුද්ධ බවට පත් කර ඇත්තේ කිනම් ආකාරයටද?

11 වෙනත් බැටළුවන්ද තමන්ව පවිත්‍ර කිරීමට හෝ විශුද්ධ කිරීමට දේවවචනයට සහ ඔහුගේ ආත්මයට ඉඩහැරිය යුතුය. ආලේප ලත් අය ඉතාම විශේෂිත වූ ආකාරයකට විශුද්ධ වී සිටිති. එනම් ඔවුන් සිටින්නේ ක්‍රිස්තුස්ගේ මනාලියන් හැටියට ධර්මිෂ්ඨ වූ සහ ශුද්ධ වූ තත්වයකයි. (යොහන් 17:17, 18; 1 කොරින්ති 6:11; එපීස 5:23-27) අනාගතවක්තෘ දානියෙල් ඔවුන්ව හඳුන්වා දෙන්නේ ‘මනුෂ්‍ය පුත්‍රයා’ වන යේසුස් ක්‍රිස්තුස් යටතේ රාජ්‍යය ලබන ‘මහෝත්තමයාගේ ශුද්ධවන්තයන්’ ලෙසය. (දානියෙල් 7:13, 14, 18, 27) මීට කලින් මෝසෙස් සහ ආරොන් මාර්ගයෙන් යෙහෝවා ඉශ්‍රායෙල් ජාතියට මෙසේ ප්‍රකාශ කළේය. “මම නුඹලාගේ දෙවි වූ [යෙහෝවාය]. මා ශුද්ධ බැවින් නුඹලාත් පවිත්‍ර වී [විශුද්ධ වී, NW] ශුද්ධව සිටින්න.”—ලෙවී කථාව 11:44.

12 “විශුද්ධ වීම” යන්නෙන් මූලිකවම අදහස් කරන්නේ, “යෙහෝවා දෙවිගේ පාවිච්චිය හෝ සේවය සඳහා ශුද්ධ කිරීමේ, වෙන්ව තැබීමේ හෝ වෙන් කර තැබීමේ ක්‍රියාව හෝ ක්‍රියාවලියටයි; එනම් එය ශුද්ධ වූ, විශුද්ධ හෝ පවිත්‍ර කරන ලද තත්වයකි.” වර්ෂ 1938 තරම් මුල් අවධියේදී ද වොච්ටවර් සඟරාව යෝනාදාබ් නැතහොත් වෙනත් බැටළුවන් ගැන මෙසේ සඳහන් කළේය. “මහත් සමූහයේ කොටසක් වී පොළොව මත ජීවත් වන සෑම කෙනෙක්ම [කැපවීම] සහ විශුද්ධ වීම අත්‍යවශ්‍ය දෙයක් බව ඉගෙනගත යුතුය.” එළිදරව් පොතේ වාර්තා කර ඇති මහත් සමූහය පිළිබඳ දර්ශනයේ ඔවුන්ව දක්වා ඇත්තේ යෙහෝවාට ‘රෑ දාවල් ඔහුගේ මාළිගාවේ සිට සේවය කරන’ “තමුන්ගේ සළු [බැටළුපැටවාගේ] ලෙයින් සෝදා සුදු කරගත්” අය හැටියටය. (එළිදරව් 7:9, 14, 15) ශුද්ධාත්මයේ උපකාරය ඇතුව යෙහෝවාගේ ශුද්ධකමේ ප්‍රමිතිවලට අනුකූල වීමට වෙනත් බැටළුවෝ තමන්ට කළ හැකි සෑම දෙයක්ම කරති.—2 කොරින්ති 7:1.

ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ට යහපත කිරීම

13, 14. (අ) එළුවන් සහ බැටළුවන් සම්බන්ධ යේසුස්ගේ උපමාවට අනුව, බැටළුවන්ගේ ගැළවීම රඳා පවතින්නේ කුමක් මතද? (ආ) මේ අන්තිම කාලයේදී, වෙනත් බැටළුවන් ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ට යහපත කර තිබෙන්නේ කෙසේද?

13 “පවතින ක්‍රමයේ අවසාන කාලපරිච්ඡේදය” පිළිබඳ අනාවැකියේ එළුවන් සහ බැටළුවන් ගැන සඳහන් උපමාව මගින් වෙනත් බැටළුවන් සහ කුඩා රැළ අතර ඇති කිට්ටු බැඳීම යේසුස් උලුප්පා දැක්වීය. යේසුස් ‘මාගේ සහෝදරයන්’ ලෙස හඳුන්වන ආලේප ලත් අය කෙරෙහි දක්වන සැලකිල්ල වෙනත් බැටළුවන්ගේ ගැළවීම සඳහා බෙහෙවින් බලපාන බව එම උපමාවෙන් යේසුස් පැහැදිලි ලෙස පෙන්වා දුන්නේය. ඔහු මෙසේ සඳහන් කළේය. ‘රජ්ජුරුවන් තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට මෙසේ කියන්නේය: මාගේ පියාගෙන් ආශීර්වාද ලත්තෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න. . . . සැබවක් නුඹලාට කියමි—මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටය.’—මතෙව් 24:3, NW; 25:31-34, 40.

14 “නුඹලා ඒක කළහුද” යන කියමන යොමු දක්වන්නේ, අමුතු සෙනඟක් ලෙස සාතන්ගේ ලෝකය විසින් සලකා, සිරගෙට පවා යැවූ ආත්මයෙන් උත්පාදනය වූ ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ගෙන් සමහරෙකුට දැක්වූ ප්‍රේමනීය සහයෝගයයි. ඔවුන්ට ආහාර පාන, ප්‍රමාණවත් ඇඳුම් පැළඳුම් සහ සෞඛ්‍ය පහසුකම්වල අවශ්‍යතාවක් තිබුණි. (මතෙව් 25:35, 36, NWහි පාදසටහන) 1914 සිට ඇරඹූ මේ අන්තිම කාලයේදී ආලේප ලත් බොහෝදෙනෙක් එවැනි තත්වයන්ට මුහුණ දී ඇත. එහෙත්, ඔවුන්ගේ පක්ෂපාත සහකරුවන් වන වෙනත් බැටළුවන් ශුද්ධාත්මයෙන් පෙලඹී ඔවුන්ට සහයෝගය දක්වා ඇති බව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වත්මන් ඉතිහාසය සාක්ෂි දෙයි.

15, 16. (අ) වෙනත් බැටළුවන් පොළොවේ සිටින ක්‍රිස්තුස්ගේ ආලේප ලත් සහෝදරයන්ට උදව් කර ඇත්තේ විශේෂයෙන්ම කිනම් ක්‍රියාකාරකම අතින්ද? (ආ) ආලේප ලත් අය වෙනත් බැටළුවන්ට තම අගය ප්‍රකාශ කර ඇත්තේ කිනම් ආකාරයෙන්ද?

15 මේ අන්තිම කාලයේ සිටින ක්‍රිස්තුස්ගේ ආලේප ලත් සහෝදරයන්ට වෙනත් බැටළුවන්ගේ ක්‍රියාකාරි සහයෝගය ලැබී ඇත. විශේෂයෙන්ම එසේ ලැබී ඇත්තේ, ‘සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේම රාජ්‍යයේ මේ ශුභාරංචිය දේශනා කිරීමට’ දෙවිගෙන් ලද මෙහෙය ඉටු කිරීම සම්බන්ධයෙනි. (මතෙව් 24:14; යොහන් 14:12) පසුගිය වසර ගණනාව පුරා ආලේප ලත් අයගේ සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු වේගන යන විට වෙනත් බැටළුවන්ගේ සංඛ්‍යාව දශලක්ෂ ගණන් කරා ඉහළ ගොස් ඇත. මොවුන්ගෙන් දහස් සංඛ්‍යාත අය පූර්ණ කාලීන එවැන්ජලිස්ත සේවකයන් වන පුරෝගාමීන් සහ මිෂනාරිවරුන් ලෙස “පොළොවේ සීමාව දක්වා” රාජ්‍යයේ ශුභාරංචිය පතුරුවා ඇත. (ක්‍රියා 1:8) අනිත් අය තමන්ට හැකි ආකාරයෙන් සාක්ෂි දැරීමේ වැඩයේ හවුල් වන අතර, මේ වැදගත් කර්තව්‍යයට තුටු සිතින් මූල්‍යාධාරද පිරිනමති.

16 වෙනත් බැටළුවන්ගේ මේ පක්ෂපාත සහයෝගය ක්‍රිස්තුස්ගේ ආලේප ලත් සහෝදරයෝ මොනතරම් අගය කරත්ද! ඔවුන්ගේ හැඟීම් 1986දී දාස පංතිය ඉදිරිපත් කළ “සමාදානයේ කුමාරයා” යටතේ ලෝක ව්‍යාප්ත සුරක්ෂිතභාවය (සිංහලෙන් නොමැත) නමැති පොතේ මනාව විස්තර කර තිබුණි. එහි මෙසේ කියවෙයි. “IIවන ලෝක සංග්‍රාමයේ සිට ‘පවතින ක්‍රමයේ අවසාන කාලපරිච්ඡේදය’ පිළිබඳ යේසුස්ගේ අනාවැකියේ ඉටුවීම විශාල වශයෙන් සිදුව ඇත්තේ, ‘වෙනත් බැටළුවන්ගෙන් යුත් මහත් සමූහයේ’ කාර්යභාරය නිසයි. . . . මතෙව් 24:14හි ඇති [යේසුස්ගේ] අනාවැකිය ඉටු කිරීමේ ඉතාම භාරදූර කාර්යයක් ඉටු කිරීම වෙනුවෙන් ලොව පුරා විසිර සිටින, විවිධ භාෂා කතා කරන ‘මහත් සමූහයට’ අපේ නොමසුරු ස්තුතිය පුදන්නෙමු!”

‘අප නැතුව සම්පූර්ණ නොවේ’

17. පොළොවෙහි නැවත නැඟිටින පැරණි ඇදහිලිවන්තයන් ආලේප ලත් අය “නැතුව සම්පූර්ණ [නොවන්නේ]” කිනම් ආකාරයටද?

17 ප්‍රේරිත පාවුල් ආලේප ලත් කෙනෙකු හැටියට ක්‍රිස්තුස්ට පෙර සිටි ඇදහිලිවන්ත ස්ත්‍රීන් සහ පුරුෂයන්ට යොමු දක්වමින් මෙසේ ලියයි. “මොවුන් සියල්ලෝ ස්වකීය ඇදහිල්ල කරණකොටගෙන සාක්ෂිය ලැබත්, පොරොන්දුව නොලැබුවෝය. එසේ වුණේ ඔවුන් අප [ආලේප ලත් අය] නැතුව සම්පූර්ණ නොවන පිණිස [දෙවි] වඩා උතුම් දෙයක් අප ගැන කලින් පිළියෙළ කර තිබුණු නිසාය.” (හෙබ්‍රෙව් 11:35, 39, 40) දහස් අවුරුදු පාලනය තුළදී, ස්වර්ගයේ සිටින ක්‍රිස්තුස් සහ ඔහුගේ ආලේප ලත් සහෝදරයන් 1,44,000දෙනා රජුන් සහ පූජකයන් ලෙස සේවය කරමින් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාවේ ප්‍රයෝජන පොළොවෙහි සිටින අයට පිරිනමනු ඇත. මෙසේ වෙනත් බැටළුවන් කායිකව සහ මානසිකව ‘සම්පූර්ණ වනු’ ඇත.—එළිදරව් 22:1, 2.

18. (අ) ශුද්ධ ලියවිලිමය සත්‍යතා, වෙනත් බැටළුවන්ට කුමක් වටහාගැනීමට උපකාරවත් විය යුතුද? (ආ) වෙනත් බැටළුවන් ‘දෙවිගේ පුත්‍රයන්ගේ එළිදරව් වීම’ බලා සිටින්නේ කුමක් අපේක්ෂාවෙන්ද?

18 ක්‍රිස්තුස් සහ ඔහුගේ ආලේප ලත් සහෝදරයන් ගැන මෙන්ම යෙහෝවාගේ අරමුණ ඉටු කිරීමේදී ඔවුන්ගේ ප්‍රධාන භූමිකාව ගැන ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ලෙහි මෙතරම්ම සඳහන් වන්නේ මන්දැයි යන්න ගැන වෙනත් බැටළුවන්ට ගැඹුරින් කාවැදිය යුතුය. ඔවුහු අර්මගෙදොනයේදීත් දහස් අවුරුදු පාලනය තුළදීත් ‘දෙවිගේ පුත්‍රයන්ගේ එළිදරව් වීම’ බලා සිටින අතරේ, හැකි සෑම ආකාරයකින්ම ආලේප ලත් දාස පංතියට සහයෝගය දැක්වීම වරප්‍රසාදයක් ලෙස සලකති. මෙසේ ‘ජරාවේ වහල්කමින් නිදහස් වී, දෙවිගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණීම’ වෙත ඔවුන්ට නෙත් යොමු කරගෙන සිටිය හැකිය.—රෝම 8:19-21.

සිහි කිරීමේදී ආත්මයෙන් එක්සත් වීම

19. ආලේප ලත් අයටත් ඔවුන්ගේ සහයකයන්ටත් “සත්‍යතාවේ ආත්මය” මගින් කර ඇත්තේ කුමක්ද? මාර්තු 28වෙනිදාට ඔවුන් විශේෂයෙන්ම එක්සත් වනු ඇත්තේ කෙසේද?

19 පොදු යුගයේ 33 නීසාන් 14වෙනිදා රාත්‍රියේදී යේසුස් කළ අවසාන යාච්ඤාවේදී ඔහු මෙසේ කීවේය. “ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස, පිය වූ ඔබ මා තුළෙහිද මා ඔබ තුළෙහිද සිටින්නාක් මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාස කරන පිණිසත්, අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාච්ඤා කරමි.” (යොහන් 17:20, 21) ප්‍රේමය නිසාම ආලේප ලත් අයගේ මෙන්ම කීකරු මනුෂ්‍යවර්ගයාගේ ගැළවීම සඳහා ජීවිතය පිදීමට දෙවි තම පුත්‍රයාව එව්වේය. (1 යොහන් 2:2) “සත්‍යතාවේ ආත්මය” ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ව සහ ඔවුන්ගේ සහයකයන්ව එක්සත් කර ඇත. මාර්තු 28වෙනිදා සන්ධ්‍යාවේ හිරු බැස යෑමෙන් පසු, මේ දෙගොල්ලන්ම ක්‍රිස්තුස්ගේ මරණය මෙන්ම යෙහෝවා තම ආදරණීය පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ පූජාව මගින් කළ සෑම දෙයක්ම මතක් කරමින් සිහි කිරීමේ උත්සවයට රැස් වනු ඇත. එම වැදගත් අවස්ථාවට පැමිණීමෙන් ඔවුන්ගේ එක්සත්කම ශක්තිමත් වී, දෙවිගේ කැමැත්ත කිරීමට වූ ඔවුන්ගේ අධිෂ්ඨානය තව තවත් පණගැන්වේවා! මෙසේ යෙහෝවා ප්‍රේම කරන අය අතර සිටීම ඔවුන්හට ප්‍රීතියක් බව එමගින් තහවුරු වේවා!

පුනරීක්ෂණය සඳහා

• මුල් ක්‍රිස්තියානීන්ට “සත්‍යතාවේ ආත්මය” එවනු ලැබුවේ කවදාද? එය “උපකාරකයෙකු” බව ඔප්පු වූයේ කෙසේද?

• තමන්ට ස්වර්ගීය කැඳවීම ලැබී ඇති බව ආලේප ලත් අය දන්නේ කෙසේද?

• දෙවිගේ ආත්මය වෙනත් බැටළුවන් මත ක්‍රියාත්මක වන්නේ කිනම් ආකාරවලින්ද?

• වෙනත් බැටළුවන් ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ට යහපත කර තිබෙන්නේ කෙසේද? ආලේප ලත් අය ‘නැතුව ඔවුන් සම්පූර්ණ නොවන්නේ’ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

“සත්‍යතාවේ ආත්මය” ගෝලයන් මත වගුරුවනු ලැබුවේ පො.යු. 33 පෙන්තකොස්තයේදීය

[23වන පිටුවේ පින්තූර]

දේශනා කිරීමට වූ දිව්‍ය මෙහෙය ඉටු කිරීමට සහයෝගය දීම මගින් වෙනත් බැටළුවෝ ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ට යහපත කර ඇත