Skip to content

පටුනට යන්න

ස්වීඩනයට සාක්ෂි දැරූ නවීන දින දිවි පිදූවෝ

ස්වීඩනයට සාක්ෂි දැරූ නවීන දින දිවි පිදූවෝ

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

ස්වීඩනයට සාක්ෂි දැරූ නවීන දින දිවි පිදූවෝ

ග්‍රීක භාෂාවේ මාටර් (martyr) යන වචනයෙහි අරුත නම් “සාක්ෂිය” යන්නයි. ඉංග්‍රීසි භාෂාවට මෙම වචනය එකතු වී තිබෙන්නේ ග්‍රීක භාෂාවෙන් වන අතර, එහි තේරුම නම් “දිවි පිදීමෙන් සාක්ෂි දැරූ කෙනෙක්” යන්නයි. පළවෙනි ශතවර්ෂයේ බොහෝ ක්‍රිස්තියානීන් යෙහෝවා කෙරෙහි තිබූ ඇදහිල්ල නිසා තම දිවි පිදූ අතර එය ප්‍රබල සාක්ෂියක් විය.

ඒ හා සමානව, විසිවන ශතවර්ෂයේදී දහස් ගණන් සාක්ෂිකරුවෝ හිට්ලර්ගේ සහචරයන් අතින් මැරුම් කෑහ. මෙයට හේතුව දේශපාලනය හා ජාතිවාදය සම්බන්ධයෙන් ඔවුන් මධ්‍යස්ථව කටයුතු කිරීමයි. මෙම නවීන දින දිවි පිදූවන්ද ප්‍රබල සාක්ෂියක් සපයයි. මෑතකදී ස්වීඩනයේ සිදු වූ දෙය එයට කදිම උදාහරණයකි.

දෙවන ලෝක මහා යුද්ධය නිමා වී වසර 50ක් පිරීම නිමිත්තෙන්, ස්වීඩන රජයේ ප්‍රමුඛත්වයෙන් එදා සිදු වූ සමූලඝාතන සම්බන්ධව දේශය පුරා අධ්‍යාපන මෙහෙයුමක් දියත් කරන ලදි. මෙම ව්‍යාපෘතිය නම් කර තිබුණේ ජීවමාන ඉතිහාසය යනුවෙනි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ටද ඒ සඳහා තම අද්දැකීම් ඉදිරිපත් කිරීමට ආරාධනා කරන ලදි.

මෙම ආරාධනාවට ප්‍රතිචාරයක් වශයෙන් සාක්ෂිකරුවෝ මතකයෙන් ගිලිහුණු සමූලඝාතනයට ගොදුරුවූවන් යන නමින් ප්‍රදර්ශනයක් ඉදිරිපත් කළහ. මෙය ස්ට්‍රෑංනස් නගරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළු ශාලාවේදී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදි. සමූලඝාතනයෙන් දිවි ගළවාගත් සමහර සාක්ෂිකරුවෝ ඔවුන්ගේ අද්දැකීම් පළමුවෙනි දවසේ පැමිණි 8,400කට වැඩි සංඛ්‍යාවක් සමඟ බෙදාගත්හ. වර්ෂ 1999 අවසන් වන විට කෞතුකාගාර 100කදී හා ස්වීඩනයේ පිහිටි මහජන පුස්තකාලවලදී 1,50,000ක් පමණ ජනයා මෙම ප්‍රදර්ශනය නරඹා තිබිණ. මේ අය අතර ආණ්ඩුවේ නිලධාරීන් කිහිපදෙනෙකු සිටි අතර, ඔවුහු තමන් නැරඹූ දේවල් පිළිබඳව සතුටුදායක ප්‍රතිචාරයක් දැක්වූහ.

ස්වීඩනයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට මින් පෙර කිසිම ක්‍රියාකාරකමකින් නොලැබුණ මහත් ප්‍රසිද්ධියක් හා පැසසුමක් මෙම ප්‍රදර්ශනයෙන් ලැබිණි. එය නැරඹූ බොහෝදෙනා මෙසේ ඇසූහ. “ඇයි ඔයගොල්ලන් මේ සමූලඝාතනයේ අද්දැකීම් අපිට කලින් නොකිව්වේ?”

මෙම ප්‍රදර්ශනයෙන් පසු එක් සභාවක බයිබල් පාඩම් සීයට 30කින් වැඩි වූ බව කියැවේ! එක් සාක්ෂිකරුවෙක් තමා සමඟ වැඩ කරන කෙනෙකුට මෙම ප්‍රදර්ශනය නැරඹීමට ආරාධනා කළේය. ඔහු මෙම ආරාධනාව කැමැත්තෙන් පිළිගත් අතර ඔහු පැමිණියේ තවත් යෙහෙළියක් සමඟයි. ප්‍රදර්ශනය නැරඹීමෙන් පසු ඇය කිව්වේ ඇදහිල්ලෙන් ඉවත් වන බවට ලියවිල්ලක් අත්සන් කර දීමට වඩා මරණයට යටත් වීමට තරම් මේ අයට ශක්තිමත් ඇදහිල්ලක් තිබීම ගැන ඇය පුදුම වූ බවයි. මෙම දේවල් ඇය සමඟ සාකච්ඡාවලට මඟ පෑදූ අතර බයිබල් පාඩමක් පටන්ගන්නා ලදි.

පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන් හා සමානව මේ 20වන සියවසේදී දිවි පිදූවන්ද, යෙහෝවා එකම සැබෑ දෙවි බවත් අපේ නොසැලෙන ඇදහිල්ල පෙන්වීමට හා පක්ෂපාතකම ලැබීමට වටින බවත් නිර්භීතව සාක්ෂි දරා තිබේ.—එළිදරව් 4:11.

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

කඳවුරේ සිරකරුවෙක්: Państwowe Muzeum Oświęcim-Brzezinka, USHMM Photo Archives අනුග්‍රහයෙන්